ඔබ ස්තුතිවන්ත වන බව පෙන්වන්න
1 අප ජීවත් වෙන්නේ “කටයුතු කිරීමට අසීරු” කාලවල වුණත්, යෙහෝවාට ස්තුති කිරීමට අපට බොහෝ හේතු තිබේ. (2 තිමෝ. 3:1, NW) මේ අතුරින් දෙවි සිය පුත්‍රයාගේ වටිනා ජීවිතය දීම ගැන අපි බොහෝසෙයින් කෘතඥපූර්වක වන්නෙමු. (යොහ. 3:16) එපමණක්ද නොව, බොරු ආගමේ සිටින අය ආත්මිකව හාමතේ සිටින අතරේදී, අපි බහුල ලෙස ආත්මික ආහාර භුක්ති විඳින්නෙමු. (යෙසා. 65:13) අපි ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක කොටසක් වන අතර, සැබෑ නමස්කාරයේ ව්‍යාප්තිය දැක සතුටු වීමට වරප්‍රසාද ලැබ සිටින්නෙමු. (යෙසා. 2:3, 4; 60:4-10, 22) යෙහෝවා අප මතට වගුරුවන ආශීර්වාදවලට ඔහුට ස්තුතිවන්ත වන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?—කොලො. 3:15, 17.
2 ප්‍රීතියෙන් මුළු සිතින් කරන සේවය: ද්‍රව්‍යමය දේවල් දීම ගැන සාකච්ඡා කරද්දී ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරි. 9:7, NW) මෙම ප්‍රතිපත්තිය අප දෙවිට කරන සේවයටද අදාළ වෙයි. ස්තුතිවන්තභාවය අප තුළින් පිළිබිඹු වන්නේ, සත්‍යය උදෙසා අපට ඇති උද්යෝගයෙනි. ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපට තිබෙන ප්‍රීතියෙනි. ක්ෂේත්‍ර සේවය තුළ අප දක්වන ජ්වලිතයෙනි. එමෙන්ම දිව්‍ය කැමැත්ත ඉෂ්ට කිරීමෙහිලා අප දක්වන ප්‍රීතිමත් ස්වභාවයෙනි.—ගීතා. 107:21, 22; 119:14; 122:1; රෝම 12:8, 11.
3 ඉපැරණි ඊශ්‍රායෙල් නීතිය තුළ යම් පූජා ඔප්පු කිරීමේදී විශේෂ ප්‍රමාණයක් නියම කෙරුණේ නැත. නමස්කාරයේ යෙදුණු සෑම කෙනෙකුටම, තමාට ‘යෙහෝවා දී තිබෙන ආශීර්වාදය හැටියට’ දීමෙන් තම කෘතඥතාව පළ කිරීමට හැකිකම තිබිණි. (ද්වි. 16:16, 17) ඒ හා සමානව අද දිනත් කෘතඥතාවෙන් පිරි හදවතක් අපට තිබෙනවා නම්, අපගේ තත්වයන් ඉඩ දෙන ආකාරයට රාජ්‍ය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයේ හැකි උපරිමය කිරීමට අප පෙලඹෙනවා ඇත. ඉදිරි නිවාඩු මාසවල අපට අපගේ ස්තුතිවන්තභාවය පෙන්වීමට අමතර ප්‍රස්තාවන් උදා කරයි. ඇතැම් අය ක්ෂේත්‍ර සේවයේ වැඩිපුර කාලයක් යෙදීම පිණිස, සමහරවිට උපකාරික පුරෝගාමි සේවයේ යෙදීම පිණිස පවා තමන්ගේ රැකියාවෙන් නිවාඩු ගනිති. පාසැලේ නිවාඩු කාලය යොදාගනිති. මේ අයුරින් මෙම වසරේදී ඔබගේ දේවසේවය පුළුල් කරගැනීමට ඔබට හැකිද?
4 ස්තුතිවන්තභාවයෙන් පිරී ඉතිරී යන්න: යෙහෝවාට අපගේ ස්තුතිවන්තභාවය ප්‍රකාශ කරන ප්‍රධාන ක්‍රමයක් නම් යාච්ඤාවයි. (1 තෙස. 5:17, 18) ‘ස්තුති දීමෙන් යුක්තව ඇදහිල්ලෙන් පිරී ඉතිරී යන්න” කියා දේවවචනය අපගෙන් උදක්ම ඉල්ලා සිටී. (කොලො. 2:7, NW) අප කොතරම් කාර්යබහුලව සිටියත්, මානසික වශයෙන් පීඩනයකට ලක්ව සිටියත් සෑමවිටම අපේ දෛනික යාච්ඤාවලදී ස්තුති කිරීම්ද කළ යුතුය. (පිලි. 4:6) එසේය, අපගේ දේවසේවය මගින් මෙන්ම අපගේ යාච්ඤා මගින්, අපි “දෙවිට බොහෝ ස්තුති දීම්” කරමු.—2 කොරි. 9:12, NW.