ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 2වන කොටස:
පාඩමක් පැවැත්වීමට සූදානම් වීම
1 බයිබල් පාඩමකදී බලපෑමෙන් යුතුව ඉගැන්වීම යන්නට, තොරතුරු කියවා, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද බැලීම පමණක් ඇතුළත් වෙන්නේ නැත. අප ශිෂ්‍යයාගේ සිතට කාවදින ආකාරයෙන් එම තොරතුරු ඉදිරිපත් කිරීමද අවශ්‍යය. මේ සඳහා ශිෂ්‍යයාව මනසේ තබාගෙන සූදානම් වීම අවශ්‍යයි.—හිතෝ. 15:28.
2 සූදානම් වන ආකාරය: පාඩම කරන ශිෂ්‍යයාගේ සහ ඔහුගේ අවශ්‍යතා ගැන යෙහෝවාට යාච්ඤා කරමින් සූදානම් වීමට පටන්ගන්න. එම ශිෂ්‍යයාගේ සිතට කාවදින අන්දමින් ඉගැන්වීමට ඔබට උපකාර කරන මෙන් යෙහෝවාගෙන් ඉල්ලන්න. (කොලො. 1:9, 10) පාඩමේ තේමාවෙන් කියැවෙන දෙය පැහැදිලි ලෙස තේරුම්ගැනීම පිණිස, එම පරිච්ඡේදයේ හෝ පාඩමේ මාතෘකාව, උපමාතෘකා සහ යම් පින්තූරු ඇත්නම් ඒවා ගැනද මොහොතකට සිතන්න. ‘මෙම තොරතුරුවල පරමාර්ථය කුමක්දැයි’ ඔබගෙන්ම අසන්න. පාඩම කරන අතර ප්‍රධාන කරුණුවලට අවධානය යොමු කිරීමට මේ මගින් ඔබට හැකි වේවි.
3 මෙම තොරතුරු ඡේදයෙන් ඡේදයට හොඳින් කියවා බලන්න. මුද්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු හඳුනාගෙන, ප්‍රධාන වචන සහ යෙදුම් පමණක් සලකුණු කරගන්න. සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද ඡේදයේ ප්‍රධාන කරුණුවලට සම්බන්ධ වෙන ආකාරය හොඳින් බලා, පාඩම කරන අතරතුර කියවන්නේ කිනම් ශුද්ධ ලියවිලි පදදැයි නිශ්චය කරගන්න. තවද ප්රකාශනයේ පිටුවල කෙළවරේ කෙටි සටහන් ගැනීමද ප්‍රයෝජනදායක බව ඔබට වැටහේවි. මෙසේ, තමා ඉගෙනගනිමින් සිටින දේ දෙවිගේ වචනයෙන් ඉගෙනගන්නා බව ශිෂ්‍යයා පැහැදිලි ලෙස දැකිය යුතුයි.—1 තෙස. 2:13.
4 ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට අනුව පාඩම සකස් කරගන්න: පාඩමට සූදානම් විය යුත්තේ ශිෂ්‍යයාව මනසේ තබාගෙනයි. ඔහුට තේරුම්ගැනීමට හෝ පිළිගැනීමට අමාරු ප්‍රශ්න සහ කරුණු පාඩමේ තිබෙන මුලින්ම තේරුම්ගන්න. ඔබෙන්ම මෙසේ අසන්න. ‘ආත්මික ප්‍රගතියක් ලැබීමට ඔහු තේරුම්ගත යුත්තේ කුමන දේවල්ද? නැතහොත් ඔහු දියුණු විය යුත්තේ කිනම් පැතිවලින්ද? මට ඔහුගේ සිතට කාවදින අන්දමින් කතා කළ හැක්කේ කොහොමද?’ ඊටපසු ඔබ උගන්වන දේ ඔහුට ගැළපෙන පරිදි සකස් කරගන්න. එක්තරා විශේෂ කරුණක් හෝ ශුද්ධ ලියවිලි පාඨයක් තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කිරීම සඳහා උපමාවක් යොදාගන්නට, යම් පැහැදිලි කිරීමක් කරන්නට හෝ ප්‍රශ්න වැලක් අසන්නට ඔබට ඇතැම් අවස්ථාවලදී සිදු වේවි. (නෙහෙ. 8:8) එහෙත් තේමාවට එතරම් අදාළ නැති අමතර තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න. පාඩම අවසානයේදී ප්‍රධාන කරුණු කෙටියෙන් පුනරීක්ෂණය කිරීමෙන් ඔහුට ඒවා මතකයේ රඳවා තබාගන්නට හැකි වනු ඇත.
5 නවකයන් යෙහෝවාගේ ප්‍රශංසාව සඳහා ධර්මිෂ්ඨකමේ පල නිපදවන විට එය අපට කොතරම් සතුටක්ද! (ෆිලි. 1:11, NW) ඔවුන්ට එම ඉලක්කය අත් කරගැනීමට උපකාර කිරීම සඳහා ඔබ බයිබල් පාඩමක් පවත්වන සෑම විටකදීම එයට හොඳින් සූදානම් වෙන්න.