සියලු ආකාර මිනිසුන් ගලවනු ලබයි
1. යෙහෝවා ඉදිරියෙහි අපට හොඳ නමක් ලැබෙන්නේ කුමකින්ද?
1 දෙවිගේ මහත් කරුණාව නිසා අපට ගැලවීමේ මඟ විවෘතව තිබෙනවා. “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” යෙහෝවාගේ කැමැත්තයි. (1 තිමෝ. 2:3, 4) දෙවි ඉදිරියෙහි අපට හොඳ නමක් ලැබෙන්නේ අපගේ ජාතිය, සමාජ මට්ටම, හැකියාවන් හෝ පිටාතර පෙනුම නිසා නොව නමුත් යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙනුයි. (යොහ. 3:16, 36) දෙවිගේ හවුල් සේවකයන් වන අප තුළ මොනයම් ආකාරයේ හෝ අගතිසහගත හැඟීමක් තිබේ නම් එය ඉවත් කරගත යුතුයි. එසේ කිරීමෙන් යෙහෝවා පිළිගන්න අයව ප්‍රතික්ෂේප නොකිරීමට අපගේ සිත් තුළ පෙලඹීමක් ඇති වෙනවා.
2, 3. පුද්ගලයෙකුගේ පිටාතරය දෙස බලා විනිශ්චය නොකිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?
2 විනිශ්චය කිරීමෙන් වළකින්න: යෙහෝවා වෛරයකින් හෝ උස් පහත් භේදයකින් තොරව බලන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරයයි. (1 සාමු. 16:7) එමෙන්ම හරි දේ කිරීමට ඔවුන් අවංකව දරන උත්සාහයද ඔහු දකිනවා. එම නිසා ඔහුව ප්‍රසන්න කිරීමට කැමති අය දෙස ඔහු බලන්නේ සුදුස්සන් හැටියටයි. (හග්. 2:7) අපත් අන් අය දෙස බලන්නේ දෙවි බලන ආකාරයටමද?
3 අපට දේවසේවයේදී මුණගැසෙන සමහරෙකුගේ පෙනුම දුටු විට අප තිගැස්සෙන්න ඉඩ තිබෙනවා. ඔවුන් අපිළිවෙළට හෝ අවිනීතව ඇඳ පැළඳගෙන සිටිය හැකියි. එසේ නැතහොත් රැවුල වවාගෙන, නහයේ හෝ තොලේ මුදු පැළඳගෙන සිටිය හැකියි. සමහරෙකුට ඉන්න හිටින්න තැනක් පවා නොතිබෙන්න පුළුවන්. තවත් සමහරෙකු අපට නපුරු විදිහට සලකන්නත් පුළුවන්. එවැනි අය කවමදාකවත් යෙහෝවාගේ නමස්කාරකයන් වෙන්නේ නැහැයි කියා විනිශ්චය කරනවා වෙනුවට ඒ අය ගැන ඒකාන්ත ආකල්පයක් තබාගත යුතුයි. ‘මන්ද අපි පවා වරක් අඥානව, අකීකරුව, නොමඟ ගොස්’ සිටියා. (තීත. 3:3) මෙය තේරුම්ගැනීමෙන් සෑම කෙනෙකුට මෙන්ම පිටාතරයෙන් වැදගැන්මකට නැතැයි කියා පෙනෙන කෙනෙකුට වුණත් දේශනා කිරීමට අප උනන්දු වේවි.
4, 5. යේසුස්ගේ හා පාවුල්ගේ ආදර්ශවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
4 පළමු ශතවර්ෂයේ ආදර්ශ: කිසිවිටකත් නමස්කාරකයන් වෙයි කියා වෙනත් අය බලාපොරොත්තු නොතැබුව අයගේ පවා යහපතක් දැකීමට යේසුස් ක්‍රිස්තුස් කාලය මිඩංගු කළා. (ලූක් 8:26-39) ඔහු කිසිවිටකත් වැරදි ක්‍රියාවන් අනුමත නොකළත් මිනිසුන් වරදට වැටෙන්න ඉඩ තිබෙන බව ඔහු දැනගෙන සිටියා. (ලූක් 7:37, 38, 44-48) “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි හෙයින් ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹී” ඔවුන් සිටි තත්වය තේරුම්ගත්තා. (මාක් 6:34) අපටත් ඔහුගේ ආදර්ශය පූර්ණ ලෙස අනුගමනය කළ හැකිද?
5 ප්‍රේරිත පාවුල්ට ගල් ගසනු ලැබුවා; පහර දුන්නා එමෙන්ම සිර ගෙයි දමනු ලැබුවා. (ක්‍රියා 14:19; 16:22, 23) එවැනි දරුණු අද්දැකීම් නිසා ඔහු කෝප වී තමා ඇතැම් ජාතීන් සහ වාර්ගික කණ්ඩායම් වෙනුවෙන් කාලය නාස්ති කළා කියා නිගමනය කළාද? ඇත්තෙන්ම නැහැ. අවංක හදවත් ඇති අය ඕනෑම වාර්ගික කණ්ඩායමක් අතර සිටිය හැකි බව ඔහු දැන සිටි අතර ඔවුන්ව සොයාගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. අපගේ බල ප්‍රදේශයේ සිටින විවිධ පසුබිම්වලට හා සංස්කෘතීන්වලට අයත් අය ගැන අප දරන්නේ එවැනිම අදහසක්ද?
6. සභා රැස්වීම්වලදී අපට මුණගැසෙන නවකයන් ගැන අපගේ ආකල්පය ඔවුන් මත ඇති කරන්නේ කිනම් බලපෑමක්ද?
6 අද දින අන් අයව පිළිගමු: තමන්ගේ පිටාතර පෙනුම නොබලා සහෝදර සහෝදරියන් තමන්ව සභාවට පිළිගත් නිසා දෙවිගේ සෙනඟ අතරේ සිටින බොහෝදෙනෙක් සතුටු වෙනවා. එක් පුද්ගලයෙක් ජර්මනියේ රාජ්‍ය ශාලාවකට රැවුල වවාගෙන උරහිස ළඟට කොණ්ඩෙත් වවාගෙන, කිලුටු ඇඳුම් ඇඳගෙන පැමිණියා. ඔහු ප්‍රසිද්ධ වී සිටියේ නරක කෙනෙක් ලෙසයි. ඒත් ඔහු රැස්වීමට පැමිණි විට ඔහුව සාදරයෙන් පිළිගත්තා. ඔහු ඒ ගැන මොනතරම් මවිතයට පත් වුණාද කියනවා නම් සතියකින් පසු ඔහු නැවතත් පැමිණියා. කෙටි කාලයකින් ඔහුගේ පෙනුම වෙනස් කරගත්තා. දුම්බීම නවතා දැමූ ඔහු සිය පෙම්වතිය සමඟ නීත්‍යනුකූලව විවාහ වුණා. වැඩි කල් නොගොස් ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ දරුවන් එකමුතු පවුලක් ලෙස යෙහෝවාට සේවය කිරීමට පටන්ගත්තා.
7. තරාතිරම් නොබලන දෙවිව අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?
7 දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලබන්න කියා අප සෑම කෙනෙකුටම ආරාධනා කරමින් තරාතිරම් නොබලන අපේ දෙවිව අනුකරණය කරමු.
[Blurb on page 3]
“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.”—ක්‍රියා 10:34, 35.