පවුලේ කාලසටහන—පවුලේ පාඩම
1 ක්‍රිස්තියානි දෙමාපියෙකු හැටියට ඔබට තම දරුවන් සඳහා දිය හැකි උතුම්ම ත්‍යාගය නම්, ඔබ තුළ යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමය හා සමාන ප්‍රේමයක් ඔවුන් තුළත් ඇති කිරීමයි. ඒ සඳහා හොඳම අවස්ථාව වන්නේ “ඔබ ගෙයි හිඳින කල” සතිපතා කරන පවුලේ බයිබල් පාඩමයි. (ද්වි. 6:5-7) ඔබට ඇදහිලිවන්ත කලත්‍රයෙක් සිටියත්, පවුලේ අනිත් අය වෙනත් ආගම්වල සිටියත් නැතිනම් ඔබ තනි මාපියෙක් වුවත් නිතිපතා පවුලේ පාඩම පැවැත්වීමෙන් ඔබටත් යෙහෝවාටත් ළංවීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට හැකියි.
2 පටන්ගැනීම: පවුලක් ලෙස අධ්‍යයනය කිරීම පුරුද්දක් කරගැනීම පළමු පියවරයි. පාඩම පවත්වන්නේ කවදාද කොයි වෙලාවේද කියලා නිශ්චිත නැත්නම් පවුලක් හැටියට ඒ ගැන සාකච්ඡා නොකරන්නේ මන්ද? (හිතෝ. 15:22) ඔබට කුඩා දරුවෝ සිටී නම් කෙටි පාඩම් කිහිපයක් සතිය පුරා පවත්වන්න ඔබ කැමති විය හැකියි. ඔබේ පවුලේ අයට ගැළපෙන්නේ කොයි කාලසටහනද කියා තීරණය කරන්න. ඔබේ පවුලේ කාලසටහනේ පාඩම සඳහා නිශ්චිත කාලයක් වෙන් කර එයට ඇලී සිටින්න.
3 ඔබට පාඩම් කළ හැක්කේ මොනවාද? සමහරු පොත් පාඩමට හෝ මුරටැඹ පාඩමට සූදානම් වෙනවා. තවත් සමහරු යෞවනයන් සඳහා විශේෂයෙන් මුද්‍රණය කර තිබෙන දේවල් සලකා බලනවා. යෞවන පුතෙක් හා දුවෙක් සිටින පියෙක් මෙසේ කියනවා. “අපි මගේ බයිබල් කතන්දර පොතේ කතා රඟ දක්වන නිසා ළමයි සතිපතා පවත්වන පාඩමට හුඟක් ආසයි. ඒ පාඩම කොතරම් දුරට කාවැදුණාද කියන එකත් ඒක තේරුම් ගියාද කියන එකත් තමයි අපි පියවන ඡේද ගණනට වඩා වැදගත් වෙන්නේ.”
4 සතිපතා පාඩම් කරන්න: පවුලේ පාඩම නිතිපතා පැවැත්විය යුතු අතර එය පවුලේ සියල්ලන්ටම සිත්ගන්නා දෙයක්ද විය යුතුයි. අනපේක්ෂිත අවස්ථාවලදී දවස හා වේලාව වෙනස් කරගැනීමට සිදු විය හැකියි. සාකච්ඡා කළ යුතු විෂය වෙනස් කිරීමටත් සිදු වෙන අවස්ථාවන් තිබිය හැකියි. නමුත් පවුලේ පාඩම සඳහා වෙන් කර තිබෙන කාලය වෙනස් කිරීම දිගින් දිගටම නොකළ යුතුයි. එක පවුලක දියණියක් අදහස් දක්වන්නේ මෙහෙමයි. “අපේ පවුලේ පාඩම පවත්වන වෙලාව වෙනස් කරන්න වෙනවා නම් තාත්තා ඒක පවත්වන දවස හා වෙලාව කොළයක සටහන් කරලා හැමෝටම පෙනෙන තැනක එල්ලනවා.” නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වීමට දරන එවන් වෑයමක් කෙතරම් අගය කළ යුතුද! “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඔබේ දරුවන්ව ඇති දැඩි කරන්න ගන්නා වෑයමෙන් නිරූපණය වන්නේ ඔබේ දරුවන්ටත් අපගේ ස්වර්ගික පියාණන්ටත් ඔබ දක්වන ප්‍රේමයයි.—එෆී. 6:4.