විඳදරාගැනීමට දේශනා සේවය අපට උපකාර වේ
1 ‘අප ඉදිරියෙහි තබා තිබෙන තරඟය විඳදරාගනිමින් දුවමු’ කියා දේවවචනය අපට උනන්දු කරනවා. (හෙබ්‍රෙ. 12:1) ධාවන තරඟයකදී ධාවකයෙකුට ජයගැනීමට විඳදරාගැනීම අවශ්‍ය වන්නාක් මෙන් අපටත් සදාකාල ජීවනය නමැති ත්‍යාගය දිනාගැනීමට විඳදරාගැනීම අවශ්‍යයි. (හෙබ්‍රෙ. 10:36) අවසානය දක්වා විශ්වාසවන්තව විඳදරාගැනීමට දේවසේවය අපට උපකාරවත් වන්නේ කොහොමද?—මතෙ. 24:13.
2 ඇදහිල්ල ශක්තිමත් වෙයි: ධර්මිෂ්ඨ නව ලෝකය ගැන බයිබලයෙහි සඳහන් පොරොන්දුව පිළිබඳව දේශනා කිරීමෙන් අප තුළ තිබෙන බලාපොරොත්තුව සම්බන්ධයෙන් නිසැකකමක් ඇති වෙයි. (1 තෙස. 5:8) අප ක්ෂේත්‍ර සේවයේ නිතිපතා සහභාගි වන විට බයිබලයෙන් අප ඉගෙනගත් සත්‍යයන් අන් අයට කියා දීමට අපට අවස්ථාව සැලසෙනවා. අපේ ඇදහිල්ල වෙනුවෙන් කතා කිරීමටද එය අවස්ථාවක් වන අතර අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගැනීමටත් එය උපකාරයක් වෙනවා.
3 අන් අයට බයිබල් සත්‍යයන් හොඳින් කියා දීමට පළමුවෙන් අප එම සත්‍යයන් අවබෝධ කරගත යුතුයි. අප ඒවා පර්යේෂණ කර මෙනෙහි කළ යුතුයි. එසේ වෑයම් කරද්දී අපේ දැනුම පුළුල් වෙනවා. ඒ වගේම අපේ ඇදහිල්ලත් දෙවි සමඟ තිබෙන සබඳතාවත් ශක්තිමත් වෙනවා. (හිතෝ. 2:3-5) මෙලෙස අප අන් අයට උදව් කරන්න වෑයම් කරද්දී අප අපවම ශක්තිමත් කරගන්නවා.—1 තිමෝ. 4:15, 16.
4 දේශනා සේවයෙහි උද්යෝගයෙන් සහභාගි වීම සාතන්ට සහ භූතයන්ට විරුද්ධව සිටීම සඳහා අත්‍යවශ්‍ය වන “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයේ” වැදගත් අංගයක්. (එෆී. 6:10-13, 15) දේශනා සේවයේ කඩිසර ලෙස සහභාගි වීමෙන් අපේ මනස ගොඩනංවනසුලු දේවල් කෙරෙහි යොමු කර තබාගන්නත්, සාතන්ගේ ලෝකයේ දේවලින් දූෂිත නොවීමටත් අපට හැකියාවක් ලැබෙනවා. (කොලො. 3:2) අප අන් අයට යෙහෝවාගේ මාර්ග ගැන උගන්වන විට අපේ හැසිරීම ශුද්ධව තබාගැනීමටත් එය අපට නිරන්තර සිහිගැන්වීමක් වෙනවා.—1 පේතෘ. 2:12.
5 දෙවිගෙන් බලය ලැබෙයි: යෙහෝවා මත රඳා සිටීමට අවශ්‍ය වන එක් අංගයක් වන්නේ දේශනා සේවයේ සහභාගි වීමයි. (2 කොරි. 4:1, 7) එය මොනතරම් ආශීර්වාදයක්ද! එවැනි විශ්වාසයක් ඇති කරගැනීම අපේ දේවසේවය ඉටු කිරීමට පමණක් නොව එදිනෙදා ජීවිතයේදී අද්දකින ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමටත් අපව සූදානම් කරනවා. (ෆිලි. 4:11-13) විඳදරාගැනීමට එකම මඟ යෙහෝවා මත රඳා සිටීමට ඉගෙනගැනීමයි. (ගීතා. 55:22) දේශනා සේවය අපට බොහෝ පැතිවලින් විඳදරාගැනීමට උපකාර කරනවා.