අප විසින් අන් අයට ගෙවීමට තිබෙන ණයක්
1 මනුෂ්‍යයන්ට දේශනා කිරීම තමන් ගෙවිය යුතු ණයක් හැටියටයි ප්‍රේරිත පාවුල්ට හැඟුණේ. යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ අනර්ඝ රුධිරය මාර්ගයෙන් සියලු ආකාර මිනිසුන්ට ගැලවීම ලබාගැනීමට මාර්ගය සලසා තිබෙන බව ඔහු දැනගෙන සිටියා. (1 තිමෝ. 2:3-6) එමනිසා පාවුල් මෙසේ ලීවා. “ග්‍රීකයන් හා ග්‍රීකයන් නොවන්නන්ටද, ප්‍රඥාවන්තයන් හා අඥානයන්ටද මම ණයගැතිව සිටිමි.” මනුෂ්‍යයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම ණයක් ලෙස සැලකුව නිසා එම ණය ගෙවීමට ඔහු උනන්දුවෙන් හා වෙහෙස නොබලා වැඩ කළා.—රෝම 1:14, 15.
2 පාවුල් හා සමානව අද දින ක්‍රිස්තියානීන්ද තම අසල්වාසීන් සමඟ ශුභාරංචිය බෙදාගැනීම සඳහා සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවා. “මහත් පීඩාව” ළඟා වෙත්ම අපගේ කාර්යය වන අවංක හදවත් ඇති අයව සෙවීම හදිසි කාරණයක්. මෙම ජීවිත ගලවන කාර්යයේ උද්යෝගයෙන් හවුල් වීමට මනුෂ්‍යයන් සඳහා තිබෙන අව්‍යාජ ප්‍රේමය අපව පොලඹවනු ලැබේවා!—එස. 33:8.
3 අපේ ණය ගෙවීම: අප මනුෂ්‍යයන්ව හමු වන ප්‍රධාන ක්‍රමය නම් ගෙයින් ගෙට ගොස් දේශනා කිරීමයි. නමුත් අප නිවෙස්වලට යන විට මිනිසුන් හුඟදෙනෙක් තම නිවෙස්වල නොසිටින අවස්ථාවලදී එම නිවෙස් ගැන නිවැරදි වාර්තාවක් තබාගෙන වෙනත් වෙලාවකදී ඒ නිවෙස්වලට යෑමෙන් මනුෂ්‍යයන් හුඟදෙනෙකුව මුණගැසීමට අපට හැකියි. (1 කොරි. 10:33) ඒ වගේම ව්‍යාපාර ප්‍රදේශවල, වීථිවල, උද්‍යානවල, වාහන නවතන ස්ථානවල සාක්ෂි දැරීම සහ දූරකථනයෙන් සාක්ෂි දැරීම තුළින් පුද්ගලයන්ව මුණගැසීමටත් අපට හැකියි. ‘ජීවනයේ පණිවුඩය බෙදාහැරීම සඳහා මම හැම ක්‍රමයක්ම යොදාගන්නවාද?’ කියා අපි අපෙන්ම අසාගනිමු.—මතෙ. 10:11.
4 එක් පුරෝගාමි සහෝදරියකට මේ ණය බර දැනුණා. එනම් ඇගේ බල ප්‍රදේශයේ සෑම කෙනෙකුවම මුණගැසීම ඇගේ වගකීමක් ලෙස ඇයට හැඟුණා. ඇය ගිය එක් නිවසක ජනෙල් සෑමදාම වසා තිබූ අතර නිවසේද කිසිවෙක් සිටියේ නැහැ. කෙසේවෙතත්, එක් දිනක් මෙම පුරෝගාමි සහෝදරිය සේවයේ සහභාගි නොවන අවස්ථාවක එම නිවස ඉදිරිපිට වාහනයක් නවතා තිබෙනවා දැක්කා. මෙම අවස්ථාව අත් නොහැරීමට සිතූ ඇය දොරේ සීනුව නාද කළා. එක් තැනැත්තෙක් සමඟ සංවාදයක් ඇරඹීමට අවස්ථාව ඇයට ලැබුණු අතර තම සැමියා සමඟ නැවත බැලීම් කිහිපයක් සඳහා යෑමටත් ඇයට හැකි වුණා. අන්තිමේදී මේ තැනැත්තා බයිබලය පාඩම් කළ අතර, දැන් ඔහු බව්තීස්ම ලත් සහෝදරයෙක්. අන් අයට දේශනා කිරීම තමන්ට ගෙවීමට තිබෙන ණයක් හැටියට මෙම සහෝදරියට හැඟීම ගැන එම තැනැත්තා අගය පළ කරනවා.
5 අවසානය ඉක්මනින්ම ළඟා වෙමින් තිබෙනවා. ඒ නිසා අපගේ අසල්වැසියන්ට ණය ගෙවිය යුතු සුදුසුම කාලය මෙයයි. ඉතින් ඒ නිසා, අපි වෙහෙස නොබලා උනන්දුවෙන් දේශනා සේවයේ හවුල් වෙමු.—2 කොරි. 6:1, 2.
[Caption on page 1]
මෙවර සිහි කිරීමට 10,310යි!