ඔබේ ජීවිතයේ මුල් තැන කුමකටද?
1 ඔබ මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද? දේවරාජ්‍යය හා බැඳි කාරණාවලට මුල් තැන දීමට අපි කවුරුත් කැමතියි. (මතෙ. 6:33) නමුත් අපි මෙසේ අසමු. ‘මම ගන්න තීරණවලින් ඒ බව පේනවාද?’ බයිබලය අපට දිරිගන්වන්නේ “ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න” කියායි. (2 කොරි. 13:5) එසේනම්, අපි දේවරාජ්‍යය මුලින් තබනවා කියා අපිටම ඔප්පු කරගන්නේ කෙසේද?
2 අපේ කාලය: අපේ කාලය අපි වැය කරන හැටි මුලින්ම බලමු. (එෆී. 5:15, 16) අනුන්ව ඇසුරු කිරීමට, රූපවාහිනිය නැරඹීමට, අන්තර්ජාලය බැලීමට හෝ වෙනත් විනෝදාංශවලට සතියකට පැය කීයක් මිඩංගු කරනවාද? අප මේ දේවලට සහ දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට මිඩංගු කරන කාලය අතර සැසඳීමක් කළොත්, අපට පුදුම හිතේවි. දේවසේවය අතපසු වෙන විදිහට අපි රැකියාවේ අතිකාල වැඩ කරනවාද? එසේ කරන්නේ ජීවිතය සුව පහසු කරන දේවල් ලබාගන්නටද? සති අන්තයේ විනෝද සවාරි යන නිසා රැස්වීම් බොහෝවිට අතපසු වෙනවාද?
3 වැදගත් දේට මුල් තැන දෙන්න: අප කැමති හැම දෙයක්ම කිරීමට අපෙන් වැඩිදෙනෙකුට වේලාව නැහැ. ඒ නිසා දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල් තැන දීමට නම්, අපි මුලින් තබන දේ ගැන විමසා බලා, “වඩා වැදගත් දේවල්” සඳහා කාලය වෙන් කළ යුතුමයි. (ෆිලි. 1:10) දේවවචනය පාඩම් කිරීම, සේවයේ හවුල් වීම, පවුලේ කාරණා බලාගැනීම සහ රැස්වීම්වලට සහභාගි වීම ජීවිතයේ වැදගත්ම දේවල් හැටියට සලකන්න පුළුවන්. (ගීතා. 1:1, 2; රෝම 10:13, 14; 1 තිමෝ. 5:8; හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේම, සමබර ව්‍යායාම සහ විවේකය විනෝදයද ප්‍රයෝජනයි. (මාක් 6:31; 1 තිමෝ. 4:8) නමුත් මෙවැනි අමතර දේවල් ඒවායේ නිසි තැනේ තැබිය යුතුයි.
4 එක් යෞවන සහෝදරයෙක්, උසස් අධ්‍යාපනයක් ලබාගෙන ඉහළ පැළැන්තියේ රැකියාවක් කරනවාට වඩා පූර්ණ කාලීන සේවයට මුල් තැන දුන්නා. වෙනත් භාෂාවක්ද ඉගෙනගත් ඔහු අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවයට ගියා. ඔහු මෙසේ කීවා. “මම මෙහි ඉන්නේ හුඟක් සතුටින්. සේවයෙන් අපි ලොකු ප්‍රීතියක් ලබනවා. හැම යෞවනයෙක්ම මේ වගේ කරනවා නම් මම ලබන තෘප්තියම ඔවුනුත් ලබනවා නම් කොයි තරම් දෙයක්ද! අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරනවාට වඩා වටින වෙන කිසිවක් නැහැ.” ඔව්, ඇත්තෙන්ම, දේවරාජ්‍යයට මුල් තැන දීමෙන් මහත් ආශීර්වාද නෙළාගන්න පුළුවන්. ඊටත් වඩා අපිට අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිව සතුටට පත් කළ හැකියි.—හෙබ්‍රෙ. 6:10.