“පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය”
1 යේසුස්ගේ අඩි පාරේ යන සෑම කෙනෙකුටම අසනීප, ආර්ථික ගැටලු, පරීක්ෂා හා විරුද්ධවාදිකම් යනාදි විවිධ පීඩා පැමිණෙනවා. (2 තිමෝ. 3:12) සාතන් ගෙනෙන පීඩාවල පරමාර්ථය වන්නේ අපි දෙවිට කරන සේවය අඩාළ කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සැලැස්වීමයි. (යෝබ් 1:9-11) පීඩා හා පරීක්ෂා විඳදරාගැනීම සන්තෝෂයට හේතු වන්නේ කෙසේද?—2 පේතෘ. 2:9.
2 පීඩා හා පරීක්ෂාවලට සූදානම් වන්න: යෙහෝවා දෙවි ඔහුගේ වචනය අපිට දී තිබෙනවා. යේසුස් මිනිසෙකු හැටියට ගත කළ ජීවිතය හා ඔහුගේ ඉගැන්වීම් ගැන එහි සඳහන් වෙනවා. යේසුස් කළ කී දේවල් හොඳින් දැන සිටීමෙන් අපේ ඇදහිල්ල ගොඩනඟා ගත හැකි ශක්තිමත් අත්තිවාරමක් දමාගන්න අපට පුළුවන්. පීඩා හා පරීක්ෂාවලට හොඳින් මුහුණ දීමට එමගින් ලැබෙන්නේ මහත් රුකුලක්. (ලූක් 6:47-49) සෙසු ඇදහිලිවන්තයන්, සභා රැස්වීම් හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා සපයන ප්‍රකාශනවලින්ද අපිට ශක්තිය ලැබෙනවා. දෙවි දී තිබෙන තවත් ත්‍යාගශීලී සැපයුමක් නම් යාච්ඤාවයි. මේ නිසා අපිට ඕනෑම වේලාවක දෙවිගේ උපකාර ඉල්ලන්න පුළුවන්.—මතෙ. 6:13.
3 ඔහු අපිට බලාපොරොත්තුවක්ද දී තිබෙනවා. ඔහුගේ පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගන්න විට අපේ බලාපොරොත්තුව “අපේ ජීවිතයට නැංගුරමක්” වන බව “සහතිකය, ස්ථිරය.” (හෙබ්‍රෙ. 6:19) බයිබල් කාලවලදී නැව් කවදාවත් නැංගුරමක් නැතිව වරායකින් පිටත් වුණේ නැහැ. කාලගුණය හොඳ වුණත් නැංගුරමක් රැගෙන ගියා. බලාපොරොත්තු නොවූ මොහොතක හදිසියේම කුණාටුවක් හැමුවා නම්, ඒ වෙලාවේ නැව කුණාටුවට ගසාගෙන ගොස් වෙරළ තීරයේ තිබූ ගල් පර්වතවල හැපී විනාශ වීම වළක්වාගැනීමට හැකි වුණේ නැංගුරම දැමූ නිසයි. ඒ හා සමානව දෙවිගේ පොරොන්දු කෙරෙහි දැන් අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමෙන් කුණාටු වැනි ප්‍රශ්න ගැටලු හමුවේ නොසැලී සිටීමට අපට හැකි වෙයි. කොයි මොහොතේ අපිට පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙයිද කියා අපි දන්නේ නැහැ. පාවුල් හා බානබස් ලිස්ත්‍රාවේදී දේශනා කළ මුල් අවස්ථාවේදී හොඳ ප්‍රතිචාරයක් ලැබුවත් යුදෙව් විරුද්ධවාදීන් එහි පැමිණි විට තත්වය විගස වෙනස් අතට හැරුණා.—ක්‍රියා 14:8-19.
4 විඳදරාගැනීමෙන් සන්තෝෂය ලැබෙයි: විරුද්ධවාදිකම් මැද පවා අත් නෑර සේවයේ හවුල් වීමෙන් අපේ සිතට ලොකු සහනයක් දැනෙනවා. යේසුස්ගේ නාමය නිසා නින්දා අපහාස විඳින්න පවා අපි වටින නිසා එවැනි අවස්ථාවලදී අපිට දැනෙන්නේ ප්‍රීතියක්. (ක්‍රියා 5:40, 41) පීඩා හා පරීක්ෂා දරාගන්න විට නිහතමානිකම, කීකරුකම හා විඳදරාගැනීම වැනි ගුණාංග තව තවත් වර්ධනය කරගත හැකියි. (ද්වි. 8:16; හෙබ්‍රෙ. 5:8; යාකො. 1:2, 3) පීඩාවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවි මත රඳා සිටින්නත්, ඔහුගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්නත් ඔහුව අපේ සරණ හා ශක්තිය කරගන්නත් අපි ඉගෙනගන්නවා.—හිතෝ. 18:10.
5 පීඩා පවතින්නේ තාවකාලිකවයි. (2 කොරි. 4:17, 18) යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් ප්‍රේමයක් අපිට තිබෙනවාද කියා පෙන්වීමට පීඩා අද්දකින විට අපිට අවස්ථාව උදා වෙනවා. පීඩා විඳදරාගැනීමෙන් සාතන්ගේ බොරු චෝදනාවලට පිළිතුරක් දීමට අපිට හැකියි. එමෙන්ම මෙම වන්දවල සත්‍යතාවද අද්දැකිය හැකියි. “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය.” (යාකො. 1:12) එනිසා විඳදරාගැනීම අත් නොහරිමු.