‘යහපත කිරීම වළක්වා නොගන්න’
1. ‘යහපත කිරීම වළක්වා නොගන්න’ අපිට හැක්කේ කෙසේද?
1 අපේ බලප්‍රදේශයේ සිටින ජනයාට ‘යහපත කිරීම වළක්වා නොගන්න’ අපිට හැක්කේ කෙසේද? (හිතෝ. 3:27) ඔවුන්ට ශුභාරංචිය උද්යෝගයෙන් දේශනා කිරීමෙන් අපිට එය කළ හැකියි. මිනිසුන් සමඟ බෙදාගත හැකි හොඳම පණිවිඩය වන්නේ දෙවිගේ පාලනය යටතේ භුක්ති විඳින යහපත් කාලය පිළිබඳ ශුභාරංචිය නොවෙයිද? ඔබ අවිධිමත් ආකාරවලින් ඒ ගැන ජනයාට පවසනවා විය හැකියි. එමෙන්ම සඟරා පොත් පත්ද ඔවුන්ට දෙනවා විය හැකියි. නමුත් ඔබට බයිබල් පාඩමක් තිබෙනවාද? ඔබට බයිබල් පාඩමක් නැත්නම් ඒ සඳහා ඉලක්කයක් තබාගන්න.
2. සමහරුන් බයිබල් පාඩමක් පැවැත්වීමෙන් වැළකී සිටින්නේ ඇයි?
2 සමහර අවස්ථාවල බයිබල් පාඩමක් පැවැත්වීමට තිබෙන ලොකුම බාධකය වන්නේ අපි සිතන ආකාරයයි. බයිබල් පාඩමක් පවත්වන්න තමන්ට එතරම් හැකියාවක් නැහැ කියා සිතන නිසා හෝ සතිය පුරාම කාර්ය බහුලව සිටින නිසා සමහරුන් බයිබල් පාඩම් පැවැත්වීමෙන් වැළකී සිටිනවා. කෙසේවෙතත් බයිබල් පාඩමක් පැවැත්වීම සඳහා මතු දැක්වෙන යෝජනා ඔබට උපකාරවත් විය හැකියි.—මතෙ. 28:19; ක්‍රියා 20:20.
3. බයිබලය ගැන අන් අයට ඉගැන්වීමට අපට සුදුසුකම් තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි?
3 තමන්ට හැකියාවක් නැහැ කියා සිතීම: ඔබ ලබා තිබෙන්නේ අඩු අධ්‍යාපනයක් කියා සිතීම නිසා හෝ වෙනත් හේතු නිසා බයිබල් පාඩමක් පවත්වන්න තරම් ඔබට හැකියාවක් නැහැයි කියා හැඟෙන්න පුළුවන්. දක්ෂ ලෙස ශුභාරංචිය දේශනා කළ මුල් සියවසේ දේවසේවකයන් “නූගත්, සාමාන්‍ය මිනිසුන්” බව අමතක කරන්න එපා. අන් අයට සත්‍යය ඉගැන්වීමට ඔවුන්ට හැකි වුණේ කුමක් නිසාද? ඔවුන් ‘යේසුස් සමඟ සිටි’ නිසයි. (ක්‍රියා 4:13) ඔවුන් ඉගෙනගත්තේ උතුම් ගුරුවරයා වන යේසුස්ගෙන්. ඔහු ජනයාට ඉගැන්වූ දේවල් හා ඒ සඳහා යොදාගත් ක්‍රම ගැන අපටත් බයිබලයෙන් දැනගන්න පුළුවන්. ඔබ ලබා තිබෙන්නේ අඩු අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. ඒ වුණත් දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඔබ දැන් ලබමින් සිටින අධ්‍යාපනය වෙනත් කිසිම අධ්‍යාපනයකට වඩා වටිනවා.—යෙසා. 50:4; 2 කොරි. 3:5.
4. ආමොස්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?
4 වැරදි කළ පාලකයන්ට හා වෙනත් උසස් නිලතල දැරූ පුද්ගලයන්ට අවවාද කිරීමට දෙවි ඇතැම් අවස්ථාවලදී අනාගතවක්තෘවරුන්ව යොදාගත්තා. ආමොස් එවැනි කෙනෙක්. ඔහු දැන උගත් පුද්ගලයෙක් නොවෙයි. ආමොස් තමා ගැන පැවසුවේ මෙසේයි. “මම අනාගතවක්තෘවරයෙක්වත් අනාගතවක්තෘවරයෙක්ගේ පුත්‍රයෙක්වත් නොවෙමි. මම කලින් එඬේරෙක් ලෙසත් අත්තික්කා ගස් බලාගන්නෙක් ලෙසත් වැඩ කළෙමි.” (ආමො. 7:14, NW) එහෙත් ආමොස් වසු නමස්කාරයේ නියැළුණු අමශියා නම් පූජකයාට දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැහැ. (ආමො. 7:16, 17) අපි කරන්නේ දෙවි පවරා තිබෙන වැඩක් බවත් ඒ සඳහා ඔහු අපිව සමර්ථ පුද්ගලයන් බවට පත් කරන බවත් අපි කිසිවිටක අමතක නොකළ යුතුයි.—2 තිමෝ. 3:17.
5. අපි වැඩ බහුල වුණත් බයිබල් පාඩම් පැවැත්වීමට වෑයම් කළ යුත්තේ ඇයි?
5 කාර්ය බහුල වුණත්: ඔබ කාර්ය බහුල වුණත් නිතිපතා දේවසේවයේ හවුල් වීම සඳහා ඔබ දැනටමත් කාලය වෙන් කර තිබෙනවා ඇති. බයිබල් පාඩමක් පැවැත්වීමෙන් අපි කරන සේවයෙන් ලබන ප්‍රීතිය තවත් වැඩි කරගත හැකියි. දෙවිගේ වචනය අදාළ කරගෙන පුද්ගලයෙක් තම ජීවිතය වෙනස් කරනවා දකින්න ලැබීම මොන තරම් සතුටක් මෙන්ම වරප්‍රසාදයක්ද! (හෙබ්‍රෙ. 4:12) අප විවිධ පරිත්‍යාග කරමින් “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම” සඳහා මිනිසුන්ට උපකාර කරනවා දකින විට යෙහෝවා දෙවි ප්‍රීති වෙනවා. (1 තිමෝ. 2:4) එමෙන්ම කෙනෙක් කලින් ගත කළ ජීවිතය සම්පූර්ණයෙන්ම අත්හැර සත්‍යයේ ප්‍රගතියක් ලබනවා දකින විට දේවදූතයන් පවා ප්‍රීති වෙනවා.—ලූක් 15:10.
6. දෙවිගේ කැමැත්ත ඉටු කිරීමේදී අපිට තිබෙන සුවිශේෂි ප්‍රස්තාව කුමක්ද?
6 දෙවිගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝ. 2:4) බයිබල් පාඩම් පැවැත්වීමෙන් දෙවිගේ කැමැත්තට එකඟව අපටත් යම් කොටසක් ඉටු කරන්න ලැබී තිබීම මොන තරම් සුවිශේෂි ප්‍රස්තාවක්ද!