ගුරුවරයෙක් වෙන්න ඔබටත් පුළුවන්!
1. සෑම ප්‍රචාරකයෙකුටම තිබෙන වරප්‍රසාදය කුමක්ද?
1 දේවසේවයේදී අප ලබන ප්‍රීතිමත් අද්දැකීම්වලින් එකක් වන්නේ කෙනෙකුට සත්‍යය ඉගැන්වීමයි. යම් කෙනෙක් සත්‍යය පිළිගන්නවා දැකීමත් විශ්වයේ බලවත්ම පුද්ගලයාට සමීප වීමට ඔහුට උපකාර කරන්න ලැබීමත් වරප්‍රසාදයක්! (යාකො. 4:8) එමනිසා සත්‍යය සෙවීමට උනන්දුවක් දක්වන කෙනෙකුට ඉගැන්වීමත් ඔහුගේ ජීවිතයේ වෙනස්කම් කරගැනීමට ඔහුට උපකාර කිරීමත් සෑම ප්රචාරකයෙකුගේම ඉලක්කය විය යුතුයි.—මතෙ. 28:19, 20.
2. සමහර අය බයිබල් පාඩම් පැවැත්වීමට අදිමදි කරන්නේ ඇයි? එයින් මිදෙන්න ඔවුන්ට හැක්කේ කෙසේද?
2 දෙවිව විශ්වාස කරන්න: තමන්ට දෙවි පැවරූ කාර්යය ඉටු කිරීමට හැකියාවක් නැහැ කියා පුරාණයේ සිටි දෙවිගේ සමහර ඇදහිලිවන්ත සේවකයන්ට හැඟුණා. මෝසෙස්, යෙරෙමියා හා ආමොස් ඔවුන්ගෙන් කිහිපදෙනෙක්. නමුත් දෙවිව විශ්වාස කළ නිසා ඔවුන්ට බිය සැක දුරු කරගැනීමට හැකි වුණා. (නික්. 4:10-12; යෙරෙ. 1:6, 7; ආමො. 7:14, 15) පාවුල් පවා “නිර්භීතකම” ඇති කරගත්තා. එසේ කළේ දෙවිගේ උපකාරයෙන් කියා ඔහු පැවසුවා. (1 තෙස. 2:2) සාර්ථකව බයිබල් පාඩම් පැවැත්වීමට අවශ්‍ය උපකාරය, ප්‍රඥාව හා ශක්තිය සැපයීමට යෙහෝවා දෙවිට හැකි බව අපද විශ්වාස කළ යුතුයි.—යෙසා. 41:10; 1 කොරි. 1:26, 27; 1 පේතෘ. 4:11.
3, 4. ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීම සඳහා අපට ලැබෙන පුහුණුව කුමක්ද?
3 පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න: අපේ උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවි සමර්ථ ගුරුවරුන් වීම සඳහා බයිබලය මත පදනම් වූ පුහුණුවක් නිතිපතාම අපට සපයනවා. (යෙසා. 54:13; 2 තිමෝ. 3:16, 17) එම පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් බයිබලය පිළිබඳ අපේ අවබෝධය වැඩි කරගැනීමටත් බයිබල් සත්‍යයන් ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමටත් හැකි වෙනවා. එම අරමුණු ඉටු කරගැනීමට දිව්‍යාණ්ඩු සේවා පාසැල හා සේවා රැස්වීම මූලිකව උපකාර වුණත් අනිත් රැස්වීම් මගින්ද ගුරුවරුන් වීම සඳහා අපව පුහුණු කරනවා.
4 ගැඹුරු සත්‍යයන් සරලව ඉගැන්වීමට ඉගෙනගන්න. සේවා පාසැල් පොතේ 227වන පිටුවේ මේ හා සමාන අදහසක් ඉදිරිපත් කරනවා. ‘යම් කරුණක් අන් අයට තේරුම්ගත හැකි වන ලෙස ඉගැන්වීමට පෙර එය ඔබ තේරුම්ගත යුතුයි.’ රැස්වීම්වලදී පිළිතුරු දෙන විට මූලික කරුණු මනසේ තැන්පත් වන අතර පසුව ඒවා ඉගැන්වීම සඳහා යොදාගත හැකියි. ඒ නිසා රැස්වීම්වලට හොඳින් සූදානම් වන්න. එවිට ගුරුවරෙක් වීමට ඔබටත් හැකි බවට විශ්වාසයක් ඔබ තුළ ඇති වෙයි.
5. ගුරුවරුන් ලෙස දියුණු වීමට සභාවෙන් ලැබෙන අමතර පුහුණුව කුමක්ද?
5 ගෝලයන් කිරීමේ කාර්යය පටන්ගත් මුල් කාලයේ සිටම දේවසේවකයන් එකිනෙකාගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. (ලූක් 10:1) හැකි නම් අද්දැකීම්ලත් ප්‍රචාරකයන්ව, පුරෝගාමීන්ව, වැඩිමහල්ලන්ව හා සංචාරක අවේක්ෂකයන්ව බයිබල් පාඩම්වලට රැගෙන යන්න. ඔවුන් ඉගැන්වීම සඳහා අපේ පොත් පත්වල තිබෙන පින්තූර හා උදාහරණ වැනි දේවල් යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න. වඩාත් හොඳ ගුරුවරයෙක් වීමට ඔබ කුමක් කළ යුතුද කියා ඔවුන්ගෙන් අසන්න. (හිතෝ. 1:5; 27:17) සහෝදරයන් මාර්ගයෙන් එම පුහුණුව සපයන්නේ දෙවි නිසා එය අගය කොට සලකන්න.—2 කොරි. 3:5.
6. ගුරුවරයෙක් වීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
6 යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔහු සපයන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න. දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න. (ගීතා. 25:4, 5) එවිට ඔබ මෙන් දේවවචනය උගන්වන ගුරුවරයෙක් වීමට කෙනෙකුට උපකාර කරන්න ඔබටත් හැකි වෙයි. ඉන් අද්දැකිය හැකි ප්‍රීතිය මොන තරම්ද කියා සිතා බලන්න.