ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 17 පරි. 182-191 පි.
  • දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට කියා දුන්නා’
  • ශුභාරංචිය දේශනා කරන්න පුහුණු කරයි
  • විශේෂ වගකීම් ඉටු කරන්න සහෝදරයන්ව පුහුණු කරයි
  • දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දේශනා සේවය කරන්න පුහුණුව ලැබෙන්නේ කොහොමද?
    නිතර අසන ප්‍රශ්න
  • දෙවිගෙන් ඉගෙනගැනීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • පුරෝගාමීන්ට තියෙන පාසැල් මොනවාද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 17 පරි. 182-191 පි.

17වෙනි පරිච්ඡේදය

දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

පැවරුම් හොඳින් ඉටු කරන්න විවිධ පාසැල්වලින් දෙවිගේ සේවකයන්ව පුහුණු කරන විදිහ

1-3. දේශනා සේවය තවත් වැඩියෙන් කරන්න ඕනෙ නිසා යේසුස් කළේ මොනවාද? අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?

යේසුස් අවුරුදු දෙකක් පුරාම ගලීලයේ දේශනා කළා. (මතෙව් 9:35-38 කියවන්න.) විවිධ නුවරවලටත් ගම්වලටත් ගිය ඔහු සිනගෝගවල උගන්වමින් ශුභාරංචිය ගැන දේශනා කළා. ඔහු දේශනා කරපු හැම අවස්ථාවකදීම සෙනඟ ඔහු වටේ එක් රැස් වුණා. “අස්වැන්න නම් විශාලයි” කියලත් තව වැඩකරුවන්ව ඕනෙ කියලත් යේසුස් කිව්වේ ඒ නිසයි.

2 දේශනා සේවය තවත් වැඩියෙන් කරන්න ඕනෙ නිසා ඔහු ගෝලයන් 12දෙනාව “දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට” යැව්වා. (ලූක් 9:1, 2) ඒක කරන්නේ කොහොමද කියලා සමහරවිට ගෝලයන් කල්පනා කරන්න ඇති. කොහොමවුණත් ඒ අයව පිටත් කරන්න කලින් යේසුස් ඒ අයව පුහුණු කළා. හරියට යේසුස් පොළොවට එන්න කලින් යෙහෝවා දෙවි ඔහුව පුහුණු කළා වගේ.

3 යේසුස්ට ඔහුගේ පියාගෙන් ලැබුණේ මොන වගේ පුහුණුවක්ද? යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්නේ මොන වගේ පුහුණුවක්ද? දේශනා සේවය කරන්න ඕන විදිහ ගැන ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ව අදටත් පුහුණු කරනවාද? පුහුණු කරනවා නම් ඒ කොහොමද? අපි දැන් ඒ ප්‍රශ්නවලට උත්තර හොයමු.

‘පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට කියා දුන්නා’

4. යේසුස්ට ඔහුගේ පියාගෙන් පුහුණුව ලැබුණේ කොයි කාලයේ ඉඳන්ද? ඒ කොහේදීද?

4 පියාණන් තමන්ට ඉගැන්නුවා කියලා යේසුස් පැහැදිලිවම කිව්වා. “පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත් ඔබට වැටහෙයි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (යොහ. 8:28) දෙවිගේ කුලුඳුල් නිර්මාණය වන ඔහුට ඒ පුහුණුව ලැබුණේ ඔහුව නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳලමයි. (කොලො. 1:15) “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවිත් එක්ක සෑහෙන කාලයක් ස්වර්ගයේ ඉද්දී ඔහුට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. (යෙසා. 30:20) ඒ නිසා වෙන කිසිම කෙනෙක්ට වඩා වැඩියෙන් යෙහෝවා දෙවිගේ ගතිගුණ, නිර්මාණ සහ අරමුණු ගැන ඔහු ඉගෙනගත්තා.

5. පොළොවේදී කරන්න ඕන සේවය ගැන යෙහෝවා දෙවි ඔහුගේ පුතාට ඉගැන්නුවේ මොනවාද?

5 පොළොවේදී කරන්න ඕන සේවය ගැන යෙහෝවා දෙවි සුදුසුම කාලයේදී යේසුස්ට ඉගැන්නුවා. උදාර උපදේශකයා වන දෙවි ඔහුගේ කුලුඳුල් පුතාට උගන්වන විදිහ ගැන සඳහන් අනාවැකිය ගැන ටිකකට හිතන්න. (යෙසායා 50:4, 5 කියවන්න.) යෙහෝවා දෙවි “උදයක් උදයක් පාසා” ඔහුගේ පුතාව අවදි කළා කියලා ඒකේ සඳහන් වෙනවා. ඒක හරියට ගුරුවරයෙක් හැම උදේකම ඔහුගේ ශිෂ්‍යයාව අවදි කරලා ඔහුට උගන්වනවා වගෙයි. එක පොතක ඒ ගැන සඳහන් වුණේ මෙහෙමයි. “දේශනා කරන්න ඕනෙ මොනවා ගැනද සහ ඒක කරන්න ඕනෙ කොහොමද කියලා යෙහෝවා දෙවි යේසුස්ට ඉගැන්නුවේ හරියට ශිෂ්‍යයෙක්ව පාසැලකට අරන් ගිහින් උගන්වනවා වගෙයි.” “මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා” කියලා යේසුස් කියපු දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. (යොහ. 12:49) අනිත් අයට උගන්වන්න ඕන විදිහ ගැනත් පියා ඔහුගේ පුතාට ඉගැන්නුවා.a යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒ පුහුණුව අදාළ කරගෙන යේසුස් තමන්ට පැවරිලා තිබුණු සේවය ඉටු කරන ගමන් අනුගාමිකයන්ට ඔවුන්ගේ සේවය සාර්ථකව කරන්නත් පුහුණු කළා.

6, 7. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්නේ මොන වගේ පුහුණුවක්ද? ඒ පුහුණුව නිසා ඔවුන්ට කරන්න පුළුවන් වුණේ මොනවාද? (ආ) යේසුස් අපිට දීලා තියෙන්නේ මොන වගේ පුහුණුවක්ද?

6 යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්නේ මොන වගේ පුහුණුවක්ද? දේශනා සේවය කරන්න ඕන විදිහ ගැන යේසුස් ඒ අයට නිශ්චිත මඟ පෙන්වීම් දුන්නා. උදාහරණයකට දේශනා කරන්න ඕනෙ කොහේද (මතෙ. 10:5, 6), දේශනා කරන්න ඕනෙ මොනවා ගැනද (මතෙ. 10:7), යෙහෝවා දෙවි මත විශ්වාසය තියන එක කොච්චර වැදගත්ද (මතෙ. 10:9, 10), මිනිසුන්ට පණිවිඩය ගැන කියන්න ඕනෙ කොහොමද (මතෙ. 10:11-13), පණිවිඩය ප්‍රතික්ෂේප කරද්දී කරන්න ඕනෙ මොනවාද (මතෙ. 10:14, 15) සහ විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද (මතෙ. 10:16-23) කියලා ඔහු පැහැදිලි කළා.b යේසුස්ගෙන් ලැබුණු ඒ කදිම පුහුණුව නිසා පළවෙනි සියවසේදී ඔහුගේ නියෝජිතයන්ට ශුභාරංචිය තවත් වැඩියෙන් දේශනා කරන්න පුළුවන් වුණා.

7 අපි ගැන කියන්න පුළුවන් මොනවාද? දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට යේසුස් “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය . . . සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස මුළු පොළොව පුරාම දේශනා” කරන පැවරුම අපිට දීලා තියෙනවා. (මතෙ. 24:14) අපිට ලැබිලා තියෙන වැදගත්ම පැවරුම හැටියට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ පැවරුම ඉටු කරන්න රජු අපිව පුහුණු කරලා තියෙනවාද? ඔව්. ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ කොහොමද කියලත් සභාවට අදාළ විශේෂ වගකීම් ඉටු කරන්න ඕනෙ කොහොමද කියලත් ඔහු අපිව පුහුණු කරලා තියෙනවා.

ශුභාරංචිය දේශනා කරන්න පුහුණු කරයි

8, 9. (අ) සේවා පාසැලේ අරමුණ වුණේ මොකක්ද? (ආ) දක්ෂ දේවසේවකයෙක් වෙන්න සතිය මැද පවත්වන රැස්වීම ඔබට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

8 දේශනා සේවය සාර්ථකව කරන්නේ කොහොමද කියලා සමුළුවලින් වගේම සේවා රැස්වීම වගේ සභා රැස්වීම්වලින් දෙවිගේ සංවිධානය හුඟ කාලයක් තිස්සේ අපිව පුහුණු කරනවා. අපිව තවත් හොඳින් පුහුණු කරන්න 1940 ගණන්වල ඉඳන් අපේ මූලස්ථානයේ සහෝදරයන් විවිධ පාසැල් සංවිධානය කරන්න පටන් අරන් තියෙනවා.

9 සේවා පාසැල. මේ පාසැල පටන්ගත්තේ 1943දියි. මේ පාසැලේ මූලික අරමුණ වුණේ රැස්වීම්වලදී දක්ෂ විදිහට පැවරුම් ඉදිරිපත් කරන්න ශිෂ්‍යයන්ව පුරුදු කරන එක විතරක් නෙවෙයි. ඒකේ මූලිකම අරමුණ වුණේ දේශනා සේවයේදී යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරන්න දෙවිගේ සේවකයන්ව පුහුණු කරන එක. (ගීතා. 150:6) හැම සහෝදර සහෝදරියකටම දක්ෂ දේවසේවකයෙක් වෙන්න සතිය මැද පැවැත්වෙන රැස්වීමෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා.

10, 11. දැන් ගිලියද් පාසැලට සහභාගි වෙන්න අවස්ථාව තියෙන්නේ කාටද? පාසැලේ අරමුණ මොකක්ද?

10 ගිලියද් මුරටැඹ බයිබල් පාසැල. මේ පාසැල මුලින්ම පටන්ගත්තේ 1943 පෙබරවාරි 1වෙනිදා. මේ පාසැල සංවිධානය කළේ පුරෝගාමීන්ව සහ පූර්ණකාලීන සේවකයන්ව අවශ්‍යතාව තියෙන රටක සේවය කරන්න පුහුණු කරන්නයි. හැබැයි 2011 ඔක්තෝබර් මාසයේ ඉඳන් මේ පාසැලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ විශේෂ පූර්ණකාලීන සේවකයන්ට විතරයි. ඒ කියන්නේ විශේෂ පුරෝගාමීන්, සංචාරක සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන්, බෙතෙල් සේවකයන් සහ මේ පාසැලට සහභාගි වෙලා නැති මිෂනාරි සේවකයන්ට විතරයි.

11 ගිලියද් පාසැලේ අරමුණ මොකක්ද? මේ පාසැලේ උපදේශකයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “බයිබලය හොඳින් අධ්‍යයනය කරන්න උදව් කරලා ශිෂ්‍යයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන එක, ඒ අයගේ පැවරුමේදී එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය කරන ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන එක මේ පාසැලේ අරමුණට අයිතියි. ඒ වගේම ලොකු උනන්දුවකින් දේවසේවයේ හවුල් වෙන්න පෙලඹීමක් ඇති කරන එකත් මේ පාසැලේ මූලිකම අරමුණක් වෙනවා.”—එෆී. 4:11.

12, 13. ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා සේවයට ගිලියද් පාසැල දායක වෙලා තියෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

12 ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා සේවයට ගිලියද් පාසැල දායක වෙලා තියෙන්නේ කොහොමද? 1943 ඉඳන් මේ වෙන කල් 8,500දෙනෙක් මේ පාසැලෙන් පුහුණුව ලබලා තියෙනවා.c ඒ වගේම පාසැලෙන් පුහුණුව ලබපු මිෂනාරි සේවකයන් ලෝකෙ පුරා රටවල් 170කට වඩා වැඩි ප්‍රමාණයක සේවය කරලා තියෙනවා. පාසැලෙන් ලබපු පුහුණුව නිසා උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන ඒ අය උද්‍යෝගයෙන් සේවය කරන්න අනිත් අයවත් පුහුණු කරනවා. හුඟක් අවස්ථාවලදී ප්‍රචාරකයන් කිහිපදෙනෙක් හිටිය ප්‍රදේශවල නැත්නම් ප්‍රචාරකයන් එක්කෙනෙක්වත් හිටියේ නැති ප්‍රදේශවල දේශනා සේවය පටන්ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මිෂනාරි සේවකයන් නිසයි.

13 උදාහරණයක් බලමු. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ජපානයේ සභා මට්ටමින් සංවිධානය කරපු දේශනා සේවය සම්පූර්ණයෙන්ම නතර වෙලයි තිබුණේ. 1949 අගෝස්තු වෙද්දී ජපානයේ ප්‍රචාරකයන් 10දෙනෙක්වත් හිටියේ නැහැ. හැබැයි ඒ අවුරුද්දේ අග වෙද්දී ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු 13දෙනෙක් මිෂනාරි සේවකයන් විදිහට ජපානයේ සේවය කරන්න පටන්ගත්තා. ඊටපස්සේ තවත් මිෂනාරි සේවකයන් ජපානයට ආවා. මුලදී ඒ අය සේවය කළේ ලොකු නගරවල විතරයි. හැබැයි කාලෙකට පස්සේ ඒ අය වෙන නගරවලටත් ගියා. ඒ අයත් එක්ක එකතු වෙලා පුරෝගාමීන් විදිහට සේවය කරන්න එන්න කියලා ඔවුන් බයිබල් ශිෂ්‍යයන්ටත් අනිත් අයටත් දිරිගන්වලා තියෙනවා. ඒ විදිහට වෙහෙස බලන්නේ නැතුව වැඩ කරපු මිෂනාරි සේවකයන්ගේ වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ඔව්. දැන් ජපානයේ ප්‍රචාරකයන් 2,16,000කට වඩා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ අතරින් සියයට 40ක් විතර පුරෝගාමීන් විදිහට සේවය කරනවා.d

14. දෙවිගේ සේවකයන්ව පුහුණු කරන්න විවිධ පාසැල් තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? (“දේවසේවකයන්ව පුහුණු කරන පාසැල්” යන කොටුවත් බලන්න.)

14 තවත් පාසැල්. පුරෝගාමි පාසැලට, විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට සහ තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වුණු අය හුඟක් ප්‍රයෝජන ලබලා තියෙනවා. අවබෝධයෙන් ක්‍රියා කරන්නත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන්නත් ඒ අයට පුළුවන් වෙලා තියෙන්නේ ඒ පාසැල්වලින් ලැබුණු පුහුණුව නිසයි.e දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න අපේ රජු දිගටම ඔහුගේ අනුගාමිකයන්ට අවශ්‍ය කරන පුහුණුව දෙනවා කියලා කියන්න ඒ පාසැල් කදිම සාක්ෂියක්.—2 තිමෝ. 4:5.

විශේෂ වගකීම් ඉටු කරන්න සහෝදරයන්ව පුහුණු කරයි

15. යේසුස්ව ආදර්ශයට ගන්න වගකීම් දරන සහෝදරයන්ට පුළුවන් කොහොමද?

15 දෙවි, යේසුස්ට උගන්වන විදිහ ගැන යෙසායා පොතේ සඳහන් වුණු අනාවැකිය ඔබට මතකද? “විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා” කරන්න යේසුස් ඉගෙනගත්තේ දෙවිගෙන් ලැබුණු ඒ පුහුණුව නිසයි. (යෙසා. 50:4) යේසුස් ඉගෙනගත්ත ඒ දේ ඔහු පොළොවේ ඉද්දී අදාළ කරගත්තා. “වෙහෙස වූ බරින් පීඩිත වූ” අයට සහනයක් ලැබෙන විදිහට ඔහු ක්‍රියා කළේ ඒ නිසයි. (මතෙ. 11:28-30) අද ඉන්න වගකීම් ඉටු කරන සහෝදරයනුත් යේසුස් කළා වගේ සහෝදර සහෝදරියන්ට සහනයක් ලැබෙන විදිහට ක්‍රියා කරන්න ඕනේ. සුදුසුකම් තියෙන සහෝදරයන්ට ඒ දේ කරන්න උදව් කරන්න තමයි අද විවිධ පාසැල් සංවිධානය කරලා තියෙන්නේ.

16, 17. පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ අරමුණ මොකක්ද? (පාදසටහනත් බලන්න.)

16 පත් කළ සහෝදරයන් සඳහා පාසැල. මුලින්ම මේ පාසැල පවත්වලා තියෙන්නේ 1959 මාර්තු 9වෙනිදා නිව් යෝර්ක් නගරයේදියි. මාසයක් පුරා පවත්වපු ඒ පාසැලට ආරාධනා ලැබුණේ සංචාරක සේවකයන්ට සහ වැඩිමහල්ලන්ට. පස්සේ කාලෙක මේ පාසැල වෙනත් භාෂාවලිනුත් පවත්වන්න පටන්ගත්ත නිසා ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන්ට ඒ පාසැලෙන් පුහුණුව ලබන්න පුළුවන් වෙලා තියෙනවා.f

ලොයිඩ් බැරී 1970දී ජපානයේ පවත්වපු පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ උගන්වමින්

සහෝදර ලොයිඩ් බැරී 1970දී ජපානයේ පවත්වපු පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ උගන්වමින්

17 පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ අරමුණ ගැන ‘1962 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ මෙහෙම සඳහන් වුණා. “අපි ජීවත් වෙන්නේ හුඟක් කාර්යබහුල ලෝකයක නිසා වැඩිමහල්ලන් සභාවේ වැඩවලට හොඳ අවධානයක් දෙන්න පුළුවන් වෙන විදිහටත් සභාවේ අයට සහනයක් වෙන්න පුළුවන් වෙන විදිහටත් තමන්ගේ පෞද්ගලික වැඩ සැලසුම් කරගන්න ඕනේ. හැබැයි සභාවේ වැඩ නිසා පවුලේ වගකීම් පැහැරහරින එක සුදුසු නැහැ. ඒ වෙනුවට සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. පත් කළ සහෝදරයන් සඳහා පාසැලට හවුල් වෙලා බයිබලයේ සඳහන් වෙන විදිහට සභාවේ වගකීම් ඉටු කරන්න ඕනෙ කොහොමද කියලා ඉගෙනගන්න ලෝකෙ පුරාම ඉන්න වැඩිමහල්ලන්ට ලැබිලා තියෙන අවස්ථාව කොයි තරම් වටිනවාද!”—1 තිමෝ. 3:1-7; තීත. 1:5-9.

18. පත් කළ සහෝදරයන් සඳහා පාසැලෙන් සභාවේ හැමෝම ප්‍රයෝජන ලබනවා කියලා කියන්න පුළුවන් ඇයි?

18 පත් කළ සහෝදරයන් සඳහා පාසැලෙන් සභාවේ ඉන්න හැමෝම ප්‍රයෝජන ලබනවා. ඒ කොහොමද? ඒ පාසැලෙන් ලැබෙන පුහුණුව නිසා සභාවේ වැඩිමහල්ලන්ටත් සහායක සේවකයන්ටත් පුළුවන් වෙනවා යේසුස් වගේ අනිත් අයට සහනයක් වෙන විදිහට කටයුතු කරන්න. ඒ අය අපිව මුණගැහිලා දිරිගන්වද්දී එහෙමත් නැත්තම් හරිම ඉවසීමෙන් අපි කියන දේවල් අහගෙන ඉද්දී අපිට ඒකෙන් මොන තරම් සහනයක් ලැබෙනවාද! (1 තෙස. 5:11) ඒ සහෝදරයන් ඇත්තටම සභාවට ලොකු ආශීර්වාදයක්.

19. ඉගැන්වීම් කමිටුව සංවිධානය කරලා තියෙන තවත් පාසැල් මොනවාද? ඒ පාසැල්වලින් සිද්ධ වෙන්නේ මොනවාද?

19 තවත් පාසැල්. සංවිධානයේ වගකීම් ඉටු කරන විදිහ ගැන සහෝදරයන්ව පුහුණු කරන්න පාලක මණ්ඩලයේ ඉගැන්වීම් කමිටුව තවත් පාසැල් සංවිධානය කරලා තියෙනවා. වැඩිමහල්ලන්ට, සංචාරක සේවකයන්ට සහ ශාඛා කමිටුවල සේවය කරන සහෝදරයන්ට ඒ අයගේ වගකීම් තවත් හොඳින් ඉටු කරන්න ඒ පාසැල්වලින් හොඳ පුහුණුවක් ලැබෙනවා. ඒ පාසැල්වලින් සහෝදරයන්ව දිරිගන්වන්නේ විශ්වාසයෙන් ඒ අයට භාර දීලා තියෙන රැළ ආදරයෙන් රැකබලා ගන්න සහ දිගටම දෙවි කැමති ගුණාංග වර්ධනය කරගන්න කියලයි.—1 පේතෘ. 5:1-3.

මලාවිවල පවත්වපු දේවසේවා පුහුණු පාසැලේ පළවෙනි පන්තිය

2007දී මලාවිවල පවත්වපු දේවසේවා පුහුණු පාසැලේ පළවෙනි පන්තිය

20. “යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි” කියලා යේසුස් කිව්වේ ඇයි? ඔබ අදිටන් කරගත්තේ මොනවා කරන්නද?

20 දෙවිගේ රාජ්‍යයේ රජු දිගටම ඔහුගේ අනුගාමිකයන්ට අවශ්‍ය පුහුණුව දෙනවා කියලා හොඳින්ම පැහැදිලියි. ඒ පුහුණුව පටන් අරන් තියෙන්නේ ස්වර්ගයෙන්. මුලින්ම යෙහෝවා දෙවි ඔහුගේ පුතාව පුහුණු කළා. ඊටපස්සේ පුතා ඔහුගේ අනුගාමිකයන්ව පුහුණු කළා. “යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි” කියලා යේසුස් කියලා තියෙන්නේ ඒ නිසයි. (යොහ. 6:45; යෙසා. 54:13) අපේ රජු අපිට දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි අදිටන් කරගමු. ඒ වගේම ඒ පුහුණුව ලැබෙන්නේ අපිට දෙවි ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගෙන දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න කියලා අපි හැමදාමත් මතක තියාගමු.

a මිනිසුන්ට උගන්වන්න ඕන විදිහ ගැන යෙහෝවා දෙවි තම පුතාට කියලා දුන්නා කියලා අපි දන්නේ කොහොමද? යේසුස් මිනිසුන්ට උගන්වද්දී උපමා පාවිච්චි කරනවා කියලා යෙහෝවා දෙවි කියලා තිබුණා. ඒ අනාවැකිය යේසුස් පොළොවේ ඉද්දී ඉටු වුණා. (ගීතා. 78:2; මතෙ. 13:34, 35) ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් ඒ අනාවැකිය කියපු දෙවි උපමා පාවිච්චි කරලා උගන්වන්න යේසුස්ව පුහුණු කරලා තිබුණා කියලා.—2 තිමෝ. 3:16, 17.

b මාස කිහිපයකට පස්සේ යේසුස් දේශනා කරන්න “හැත්තෑදෙනෙකුව තෝරාගෙන . . . දෙදෙනා බැගින්” යැව්වා. එහෙම යවන්න කලින් යේසුස් ඒ අයව පුහුණු කළා.—ලූක් 10:1-16.

c සමහර අයට එක වතාවකට වඩා වැඩියෙන් ගිලියද් පාසැලට හවුල් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

d ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබුව මිෂනාරි සේවකයන් මොන තරම් සාර්ථක සේවයක් කරලා තියෙනවාද කියලා දැනගන්න 2004 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 15-16 පිටුවල 11-16 ඡේද බලන්න. තවත් විස්තර Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom පොතේ 23වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා.

e විවාහක යුවළයන් සහ තනිකඩ සහෝදරයන් සඳහා පවත්වපු බයිබල් පාසැල් දෙක එකතු කරලා තමයි දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල සංවිධානය කරලා තියෙන්නේ.

f අවුරුදු කිහිපයකට සැරයක් පවත්වන පත් කළ සහෝදරයන් සඳහා පාසැල හැම වැඩිමහල්ලෙක්ටම හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. 1984 ඉඳන් මේ පාසැලෙන් සහායක සේවකයන්වත් පුහුණු කරලා තියෙනවා.

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • යේසුස්ට ඔහුගේ පියාගෙන් ලැබුණේ මොන වගේ පුහුණුවක්ද?

  • ශුභාරංචිය දේශනා කරන්න රජු ඔහුගේ අනුගාමිකයන්ව පුහුණු කරලා තියෙන්නේ කොහොමද?

  • වගකීම් හොඳින් ඉටු කරන්න සුදුසුකම් තියෙන සහෝදරයන්ව පුහුණු කරලා තියෙන්නේ කොහොමද?

  • අපිව පුහුණු කරන්න රජු කරලා තියෙන දේවල් අගය කරන්න ඔබට පුළුවන් කොහොමද?

දේවසේවකයන්ව පුහුණු කරන පාසැල්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය

අරමුණ: දක්ෂ විදිහට ශුභාරංචිය දේශනා කරන්නත් දක්ෂ ගුරුවරුන් වෙන්නත් ප්‍රචාරකයන්ව පුහුණු කරන්න.

කාලය: සතිපතා.

ස්ථානය: නමස්කාර මධ්‍යස්ථානය.

ඇතුළත් වීම: දිගටම රැස්වීම් එන, බයිබලයේ තියෙන ඉගැන්වීම් පිළිගන්න, ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන හැමෝටම මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙන්න කැමති නම් ජීවිතය සහ දේවසේවය රැස්වීම මෙහෙයවන සහෝදරයා එක්ක ඒ ගැන කතා කරන්න.

ප්‍රයෝජන: ගැඹුරට ගවේෂණය කරන්නත් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්නත් සතිය මැද පවත්වන රැස්වීම උදව් වෙනවා. තමන් ගැනම හිතහිතා ඉන්නේ නැතුව අනිත් අයට ඇහුම්කන් දෙන්නත් දෙවිට ළං වෙන්න ඒ අයට උදව් කරන්නත් ඒ රැස්වීම හැමෝටම උදව් වෙනවා.

කාලයක් පුරා සංචාරක සේවකයෙක් විදිහට සේවය කරන ආනි මෙහෙම කිව්වා. “පොඩි කාලෙ ඉඳලා මම කතා කරද්දී ගොත ගැහුවා. කෙනෙක්ගේ මූණ බලලා කතා කරන එකත් මට හරි අමාරු දෙයක්. ඒත් මේකෙන් [රැස්වීමෙන්] දෙවි මාව පුහුණු කළා. කතා කරද්දී හොඳින් හුස්ම ගන්න ඕන විදිහත් හොඳින් අවධානය දෙන විදිහත් මං ඉගෙනගත්තා. සභාවේදීත් දේවසේවයේදීත් දෙවිට ප්‍රශංසා කරන්න හැකියාව තියෙන එක ගැන අද මං ගොඩක් සතුටු වෙනවා.”

කුඩා ප්‍රචාරකයෙක් සේවා පාසැලේ බයිබල් කියවීමක් ඉදිරිපත් කරමින්

වැඩිමහල්ලන් සඳහා පාසැලg

අරමුණ: දෙවි ගැන අවබෝධයක් ලබාගෙන ඔහුට ළං වෙන්නත් සභාවේ වගකීම් හොඳින් ඉටු කරන්නත් වැඩිමහල්ලන්ට උපකාර කරන්න.

කාලය: දවස් පහයි.

ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයයි. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක හෝ සමුළු ශාලාවක.

ඇතුළත් වීම: ශාඛා කාර්යාලයෙන් වැඩිමහල්ලන්ට ආරාධනා කරයි.

ප්‍රයෝජන: නිව් යෝර්ක් නගරයේ පැටර්සන්වල පවත්වපු 92වෙනි පන්තියට සහභාගි වුණු සමහර සහෝදරයන්ගේ අදහස් බලන්න.

“මගේ අඩුපාඩු මොනවද කියලා තේරුම්ගන්නත් දෙවිගේ රැළ හොඳින් රැකබලා ගන්නත් පාසැල පුදුම විදිහට මට උදව් වුණා.”

“ලැබුණු පුහුණුව මගේ ජීවිත කාලෙටම ප්‍රයෝජනවත්.”

පුරෝගාමි පාසැල

අරමුණ: “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” පුරෝගාමීන්ට උපකාර කරන්න.—2 තිමෝ. 4:5.

කාලය: දවස් හයයි.

ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයයි. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක.

ඇතුළත් වීම: අඩුම තරමින් අවුරුද්දක්වත් ස්ථාවර පුරෝගාමි සේවයේ හවුල් වෙලා තියෙන අයට පාසැලට ඇතුල් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ ගැන දැනුම් දෙන්නේ චාරිකා සේවක. පහුගිය අවුරුදු පහේදී පාසැලට හවුල් වුණේ නැති පුරෝගාමීන්ටත් ආපහු පාසැලට හවුල් වෙන්න කියලා ආරාධනාවක් ලැබෙන්න පුළුවන්.

ප්‍රයෝජන: ලිලී කියන සහෝදරිය මෙහෙම කිව්වා. “සේවයේදී වගේම මගේ ජීවිතයේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පාසැල මට උදව් වුණා. බයිබලය අධ්‍යයනය කරන විදිහ, උගන්වන විදිහ, බයිබලය දක්ෂ විදිහට පාවිච්චි කරන විදිහ මං ඉගෙනගත්තා. අන් අයට උපකාර කරන්නත් වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්න වගේම සභාවේ දියුණුවට අත දෙන්නත් මට දැන් පුළුවන්.”

පාසැලට දෙපාරක්ම හවුල් වෙලා තියෙන සහෝදරි බ්‍රෙන්ඩ කිව්වේ මෙහෙමයි. “නමස්කාර කටයුතුවලට හොඳින් අවධානය දෙන්න මට පුළුවන් වුණා. දෙවි හරියි කියලා හිතන දේ වඩා හොඳින් වටහාගන්නත් අනිත් අයට උදව් කරන්නත් මාව පුහුණු කළා. පාසැල දෙවිගෙන්ම ලැබුණු තෑග්ගක්!”

නවක බෙතෙල් සේවකයන් සඳහා පාසැල

අරමුණ: බෙතෙල් පැවරුම හොඳින් ඉටු කරන්න නවක බෙතෙල් සාමාජිකයන්ට උපකාර කරන්න.

කාලය: පැය 4 ගාණේ දවස 4ක්.

ස්ථානය: බෙතෙල් නිවස.

ඇතුළත් වීම: බෙතෙල් පවුලේ ස්ථිර සාමාජිකයෙක්ට සහ අවුරුද්දකට නැත්නම් ඊට වැඩි කාලයකට බෙතෙල් එකේ තාවකාලිකව සේවය කරන්න අනුමැතිය ලැබෙන අයට හවුල් වෙන්න පුළුවන්.

ප්‍රයෝජන: 1980දී මේ පාසැලට හවුල් වුණු සහෝදර දමීට්‍රීයස් මෙහෙම කිව්වා. “පෞද්ගලික අධ්‍යයනය කරන්නත් බෙතෙල් ජීවිතේ මෙච්චර දුරක් එන්නත් ඒ පාසැල මට උදව් වුණා. උපදේශකයන්ගෙන්, ඒ අය උගන්වපු දේවලින් සහ ඒ අය දීපු ප්‍රායෝගික යෝජනාවලින් දෙවි කොච්චර ප්‍රේමණීයද, මං බෙතෙල් එකේ ඉන්නවාට ඔහු කොච්චර කැමතිද කියලා මං තේරුම්ගත්තා.”

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලh

අරමුණ: පූර්ණකාලීන සේවයේ හවුල් වෙන විවාහකයන්ව සහ තනිකඩ සහෝදර සහෝදරියන්ව සංවිධානයේ වැඩවල තවත් වැඩියෙන් හවුල් කරගන්න විශේෂ පුහුණුවක් දෙන්න. පාසැලට හවුල් වෙන හුඟක් අයට ඒ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කරන්න පැවරුම් ලැබෙයි. ශුභාරංචිය දේශනා කරලා නැති දුර ඈත පළාත්වල තාවකාලික විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න අවුරුදු 50ට අඩු අයට අවස්ථාව ලැබෙන්න පුළුවන්.

කාලය: මාස දෙකයි.

ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයයි. බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක හෝ සමුළු ශාලාවක.

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් උපදේශකයෙකුට සවන් දෙමින්

සංවිධානයෙන් සැලසුම් කරලා තියෙන විවිධ පාසැල්වලින් සහෝදර සහෝදරියන් ප්‍රයෝජන ලබනවා

ඇතුළත් වීම: අවුරුදු 23ත් 65ත් අතර ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන පූර්ණකාලීන සේවකයන්ට හවුල් වෙන්න පුළුවන්. අවශ්‍යතාව තියෙන ඕනම පළාතක සේවය කරන්න හැකියාවත් “මම යන්න කැමතියි. මාව යවන්න” කියන ආකල්පයත් ඒ අයට තියෙන එක වැදගත්. (යෙසා. 6:8) පාසැලට හවුල් වෙන තනිකඩ සහෝදර සහෝදරියන් වගේම විවාහකයනුත් අවුරුදු දෙකක් පුරා එක දිගට පුරෝගාමීන් විදිහට සේවය කරලා තියෙන්න ඕනේ. විවාහක අය අඩුම තරමින් විවාහ වෙලා අවුරුදු දෙකක්වත් ගත වෙලා තියෙන්න ඕනේ. සහෝදරයන් අවුරුදු දෙකක්වත් සහායක සේවකයෙක් විදිහට හරි වැඩිමහල්ලෙක් විදිහට හරි සේවය කරලා තියෙන්නත් ඕනේ. මේ පාසැල පවත්වන්න සැලසුම් කරලා තියෙනවා නම් තුන්දින සමුළුවේදී සහභාගි වෙන්න කැමති අය වෙනුවෙන් රැස්වීමක් පවත්වනවා.

ප්‍රයෝජන: තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහ විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට හවුල් වුණු අයගෙන් ඒ පාසැල් ගැන හුඟක් හොඳ අදහස් ලැබිලා තියෙනවා. මේ පාසැල් දෙකම එකතු කරලා එක පාසැලක් විදිහට පවත්වන්න 2013දී පාලක මණ්ඩලය තීරණය කළා. දැන් ඒ පාසැල හඳුන්වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල කියලයි. මේ වෙනස නිසා පුරෝගාමි සේවයේ හවුල් වෙන තනිකඩ සහෝදරියන්ට වගේම තවත් පුරෝගාමීන්ට දැන් හුඟක් ප්‍රයෝජන ලබන්න පුළුවන්.

ගිලියද් මුරටැඹ බයිබල් පාසැල

අරමුණ: ගිලියද් පාසැලෙන් පුහුණුව ලබන අයට මිෂනාරි සේවකයන්, සංචාරක සේවකයන් හෝ බෙතෙල් සේවකයන් විදිහට පැවරුම් ලැබෙන්න පුළුවන්. ඒ පුහුණුවෙන් ක්ෂේත්‍රයේ වගේම ශාඛා කාර්යාලයේ වැඩකටයුතු හොඳින් කරන්න ඒ අයට පුළුවන් වෙනවා.

කාලය: මාස පහයි.

ස්ථානය: නිව් යෝර්ක් නගරයේ පැටසන්වල වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.

දේවසේවයේ යෙදෙන සහෝදරියක්

නිව් යෝර්ක් නගරයේ පැටසන්වල ගිලියද් පන්තියක්

ඇතුළත් වීම: විශේෂ පූර්ණකාලීන සේවය කරන විවාහකයන්ට සහ තනිකඩ සහෝදර සහෝදරියන්ට හවුල් වෙන්න අවස්ථාව තියෙනවා. කලින් මේ පාසැලට හවුල් වෙලා නැති මිෂනාරි සේවකයන්, විශේෂ පුරෝගාමීන්, බෙතෙල් සේවකයන් වගේම සංචාරක සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් අතරින් අයදුම්පත් දෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ ශාඛා කමිටුවයි. අයදුම් කරන අය ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් ලියන්නත් දැනගෙන ඉන්න ඕනේ.

ප්‍රයෝජන: අවුරුදු කිහිපයක් පුරා තමන්ගේ පැවරුම ඉටු කරන එක්සත් ජනපදයේ ලාඩේ සහ මොනීක් කියන යුවළ කිව්වේ මෙහෙමයි.

“ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා ඕනෑම තත්වයක් යටතේ අපේ සහෝදරයන් එක්ක සේවය කරන්න පාසැලෙන් අපිව පුහුණු කළා” කියලා ලාඩේ කිව්වා.

“දෙවිගේ වචනයෙන් මං ඉගෙනගත්ත දේවල් අදාළ කරගද්දී මගේ පැවරුමෙන් මට ලොකු සතුටක් ලැබෙනවා. ඒ සතුට අද්දකිනකොට දෙවි මට කොච්චර ආදරේද කියලා මට දැනෙනවා” කියලා මොනීක් කිව්වා.

පත් කළ සහෝදරයන් සඳහා පාසැල

අරමුණ: සංචාරක සේවකයන්ට, වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට සංවිධානයෙන් ලැබිලා තියෙන වගකීම් හොඳින් ඉටු කරන්න පුහුණුවක් දෙන්න. (ක්‍රියා 20:28) සභාවන් මුහුණ දෙන විශේෂ අභියෝග සහ බලපෑම් ගැන මේ පාසැලේදී සාකච්ඡා කරනවා. පාලක මණ්ඩලයේ තීරණය අනුව මේ පාසැල අවුරුදු කිහිපයකට සැරයක් පවත්වනවා.

කාලය: මේ පාසැල පවත්වන කාල සීමාව වෙනස් වෙනවා.

ස්ථානය: බොහෝවිට නමස්කාර මධ්‍යස්ථානයක හෝ සමුළු ශාලාවක.

ඇතුළත් වීම: වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට චාරිකා සේවක ආරාධනා කරනවා. සංචාරක සේවකයන්ට ශාඛා කාර්යාලය ආරාධනා කරනවා.

ප්‍රයෝජන: “ඒක කෙටි පාසැලක් වුණාට ප්‍රීතියෙන් සහ පුරුෂයන් මෙන් දෙවිට සේවය කරන්න වැඩිමහල්ලන්ට ඒකෙන් අලුත් පණක් ලැබුණා. රැළ හොඳින් රැකබලා ගන්නත් එකම ආකල්පයක් ඇතුව එක හා සමාන විදිහට හිතන්නත් අලුතින් පත් වුණු සහ කාලයක් තිස්සේ සේවය කරන වැඩිමහල්ලන්ට හොඳ පුහුණුවක් ලැබුණා.”—ක්වින්.

“මේ පාසැලෙන් අපිට හැම අතින්ම හොඳ පුහුණුවක් ලැබුණා. එක පැත්තකින් නමස්කාරය හා සම්බන්ධ දේවල් ගැන අපේ අගය තවත් වැඩි වුණා. අනිත් අතින් භයානක දේවල් ගැන අපිට අනතුරු ඇඟවීම් ලැබුණා. ඒ වගේම දෙවිගේ රැළ හොඳින් බලාගන්න පුළුවන් විදිහ ගැන වටිනා මඟ පෙන්වීමුත් ලැබුණා.” —මයිකල්.

චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැලi

අරමුණ: චාරිකා සේවකයන්ව සභාවල සාර්ථක සේවයක් කරන්න පුහුණු කරන්න. ඒ වගේම දෙවි ගැන “කතා කිරීමටත් ඉගැන්වීමටත්” තමන් යටතේ ඉන්න අයව ආදරයෙන් රැක බලාගන්නත් ඔවුන්ව පුහුණු කරන්න.—1 තිමෝ. 5:17; 1 පේතෘ. 5:2, 3.

කාලය: මාසයයි.

ස්ථානය: තීරණය කරන්නේ ශාඛා කාර්යාලයයි.

ඇතුළත් වීම: චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන්ට මේ පාසැලට හවුල් වෙන්න ශාඛා කාර්යාලය ආරාධනා කරනවා.

ප්‍රයෝජන: “යේසුස් සංවිධානය මෙහෙයවන විදිහ තවත් හොඳින් වටහාගත්තා. සහෝදරයන්ව දිරිගන්වන්නත් එක්සත්කම රැකගන්න එයාලට උදව් කරන්නත් ඕනෙ කියලා පෙන්නලා දුන්නා. විටින් විට සහෝදරයන්ට උපදෙස් හා අවවාද දෙන්න සිද්ධ වුණත් අපේ මූලික අරමුණ වෙන්න ඕනෙ දෙවි එයාලට ආදරේ බව මතක් කරලා දෙන එකයි කියලා අපිට කාවැද්දුවා.”—1999දී පවත්වපු පළවෙනි පන්තියට සහභාගි වුණු ජොඑල් සහ කෝනි.

ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල

අරමුණ: බෙතෙල් එකටත් සභාවලටත් චාරිකාවලටත් අදාළ හැම දෙයක්ම හොඳින් අධීක්ෂණය කරන විදිහ ගැන ශාඛා කමිටුවල සේවය කරන අයව පුහුණු කරන්න.—ලූක් 12:48ආ.

කාලය: මාස දෙකයි.

ස්ථානය: නිව් යෝර්ක් නගරයේ පැටසන්වල වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.

ඇතුළත් වීම: ශාඛා කමිටුවල සහ දේශීය කමිටුවල සේවය කරන අයට සහ ඔවුන්ගේ භාර්යාවන්ට පාලක මණ්ඩලයේ සේවා කමිටුව ආරාධනා කරනවා.

ප්‍රයෝජන: දැන් නයිජීරියාවේ සේවය කරන ලොවල් සහ කාරා 25වෙනි පන්තියට සහභාගි වුණා.

ලොවල් කිව්වේ මෙහෙමයි. “දෙවිව සතුටු කරන්න පුළුවන් වෙන්නේ මං කොච්චර වැඩ කොටසක් කරනවාද මට තියෙන පැවරුම මොකක්ද කියන එකෙන් නෙමෙයි. ඒක කරන්න පුළුවන් ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් තියාගත්තොත් විතරයි කියලා මං ඉගෙනගත්තා.”

කාරා කිව්වේ මෙහෙමයි. “යම් දෙයක් සරලව පැහැදිලි කරන්න බැරි නම් ඒක වෙන කෙනෙක්ට කියලා දෙන්න කලින් මම ඒක හොඳට හදාරන්න ඕනෙ කියන එක මං තේරුම්ගත්තා.”

g දැනට මේ පාසැල පවත්වන්නේ සමහර රටවල විතරයි.

h දැනට මේ පාසැල පවත්වන්නේ සමහර රටවල විතරයි.

i දැනට මේ පාසැල පවත්වන්නේ සමහර රටවල විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න