දෙවිගෙන් ඉගෙනගැනීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න
1. ඉගෙනගැනීම දෙවි සලකන්නේ කෙසේද?
1 අපගේ “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවි කැමති අපි ඉගෙනගන්නවාටයි. (යෙසා. 30:20) දෙවි ඉගැන්වීමට පටන්ගත්තේ ඔහුගේ මුල්ම නිර්මාණය වූ යේසුස්ගෙනුයි. (යොහ. 8:28) ආදම් සහ ඒව දෙවිට විරුද්ධ වූ පසුව පවා දෙවි මිනිස් වර්ගයාට ප්‍රේමණීයව මඟ පෙන්වීම් ලබා දෙමින් ඔවුන්ට දිගටම උගන්වමින් සිටිනවා.—යෙසා. 48:17, 18; 2 තිමෝ. 3:14, 15.
2. දැන් දියත් කර තිබෙන්නේ කුමනාකාරයේ අධ්‍යාපනික වැඩසටහනක්ද?
2 ඉතිහාසයේ මෙතෙක් නොවූ ආකාරයේ විශාල අධ්‍යාපනික වැඩසටහනක් දෙවි දියත් කර තිබෙනවා. දෙවිගේ මාර්ග ඉගෙනගැනීමට ලොව සතරදිගින් මිලියන ගණනක් ‘යෙහෝවා දෙවිගේ ගෘහයට එක් රොක් වෙමින් සිටිනවා. (යෙසා. 2:2) ශුභාරංචිය ප්‍රකාශ කරමින් සහ උගන්වමින් ලොව පුරා දෙවිගේ සෙනඟ 2010 සේවා වර්ෂය තුළ වැය කළ පැය ගණන බිලියන 1.6කටත් වඩා වැඩියි. ඊට අමතරව ලොව පුරා සභාවන් 1,05,000ක බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන සෑම සතියකම දැනුම ලබා දෙනවා. ඒ වගේම එවැනි ඉගැන්වීම් ඇතුළත් ප්‍රකාශන විශ්වාසවන්ත නුවණ ඇති දාසයා භාෂා 500කට වඩා වැඩි ගණනකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
3. දෙවි ලබා දෙන අධ්‍යාපනයෙන් ඔබ පෞද්ගලිකව ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?
3 සම්පූර්ණයෙන් ප්‍රයෝජන ගන්න: දෙවිගෙන් අප ලබා ඇති අධ්‍යාපනය ඇත්තෙන්ම මිල කළ නොහැකියි. දෙවිට පෞද්ගලික නමක් තිබෙන බවත් ඔහු අප ගැන සැලකිලිමත් බවත් අප ඉගෙනගෙන තිබෙනවා. (ගීතා. 83:18; 1 පේතෘ. 5:6, 7) ඒ වගේම ජීවිතයේ වැදගත් ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු දැනගැනීමටද හැකි වී තිබෙනවා. ඒවායින් කිහිපයක් නම් මිනිසුන් දුක් විඳ මිය යන්නේ ඇයි, සැබෑ සතුට ලැබෙන්නේ කුමකින්ද සහ ජීවිතයේ අරමුණ කුමක්ද යන්නයි. අපගේ ජීවිතයේ සෑම පැත්තක්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද දෙවි සපයා තිබෙනවා.—යොෂු. 1:8.
4. දෙවිගේ සේවකයන්ට විවෘත වී ඇති සමහර අවස්ථා මොනවාද? සෑමවිටම අප ඒවායින් ප්‍රයෝජන ගත යුත්තේ ඇයි?
4 දෙවිට කරන සේවය තවත් පුළුල් කිරීමට ඔහු බොහෝදෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් විවෘත වී ඇති අවස්ථා සමහරක් 4-6 දක්වා පිටුවල සඳහන් වෙයි. අප එක් එක් කෙනාගේ තත්වයන්ට අනුව සමහර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට නොහැකි විය හැකියි. නමුත් අපිට හැකි අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටිනවාද? උසස් අධ්‍යාපනයක් ලබන්න කියා යෞවනයන්ට අද සමාජයෙන් පීඩනයක් එල්ල වුණත් දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ ඉලක්ක තබාගැනීමට අප ඔවුන්ව දිරිගන්වනවාද? අපට දෙවිගෙන් ඉගෙනගැනීමට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමෙන් දැන් සතුටින් ජීවත් වීමටත් ඉදිරියේදී සදාකාල ජීවනය භුක්ති විඳීමටත් හැකි වෙනවා.—ගීතා. 119:105; යොහ. 17:3.
යෙහෝවා දෙවිගේ සංවිධානය මගින් සැලසුම් කර තිබෙන අධ්‍යාපනික වැඩසටහන් අතරින් කිහිපයක්
කියවීමට හා ලිවීමට උගන්වන පන්ති
• අරමුණ: බයිබලය කියවා එහි තොරතුරු අධ්‍යයනය කිරීමටත් තවත් අයට ඉගැන්වීමටත් හැකියාව ලබා දීම.
• කාලය: අවශ්‍යතාව අනුව.
• ස්ථානය: නමස්කාර මධ්‍යස්ථානය.
• සහභාගි විය හැකි අය: සියලුම ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන අය.
• අයදුම් කරන ආකාරය: ප්‍රදේශයේ පවතින අවශ්‍යතාව අනුව වැඩිමහල්ලන් එවැනි පන්ති සංවිධානය කරන අතර ඉන් ප්‍රයෝජන ගැනීමට හැකි සියල්ලන්ටම ආරාධනා කරයි.
සේවා පාසැල
• අරමුණ: බලපෑමෙන් යුතුව ශුභාරංචිය දේශනා කිරීමට හා ඉගැන්වීමට ප්‍රචාරකයන්ව පුහුණු කිරීම.
• කාලය: සෑම සතියකම.
• ස්ථානය: නමස්කාර මධ්‍යස්ථානය.
• ඇතුල් වීම සඳහා සුදුසුකම්: ප්‍රචාරකයෙකු වීම. නොකඩවා රැස්වීම් පැමිණෙන, බයිබලයේ ඇති ඉගැන්වීම් පිළිගෙන ඒ අනුව ජීවත් වන අයටද ඊට සහභාගි විය හැකියි.
• අයදුම් කරන ආකාරය: සේවා පාසැල මෙහෙයවන සහෝදරයාගෙන් විමසන්න.
වෙනත් භාෂාවක් උගන්වන පන්ති
• අරමුණ: වෙනත් භාෂාවක් කතා කරන ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කිරීම.
• කාලය: මාස හතරක් හෝ පහක්. පැයකට හෝ දෙකකට සීමා වන මෙවැනි පන්ති සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනයන්වල උදෑසනයි.
• ස්ථානය: සහභාගි වන අයට ළඟම ඇති නමස්කාර මධ්‍යස්ථානය.
• සහභාගි විය හැකි අය: වෙනත් භාෂාවකින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට කැමති ආදර්ශවත් ප්‍රචාරකයන්.
• අයදුම් කරන ආකාරය: අවශ්‍යතාවට අනුව ශාඛා කාර්යාලය මගින් එවැනි පන්ති සැලසුම් කරයි.
නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම
• අරමුණ: නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම හා අලුත්වැඩියා කිරීම. මෙය පාසැලක් නොවුණත් ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට සහභාගි වීම සඳහා විවිධ ක්ෂේත්රවල වැඩ කිරීමට ස්වේච්ඡා සේවකයන්ට උගන්වයි.
• කාලය: ස්වේච්ඡා සේවකයන්ගේ තත්වයන්ට අනුව.
• ස්ථානය: ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටුව විසින් පැවරුම් ලබාදෙන ඕනෑම ස්ථානයක. යම් විපතකින් හානි සිදු වී ඇති දුර ඈත ප්‍රදේශවල සහනාධාර කටයුතුවලට සහය වීමට සමහර අවස්ථාවලදී ස්වේච්ඡා සේවකයන්ට ආරාධනා කරයි.
• සුදුසුකම්: බව්තීස්ම ලත්, වැඩිමහල් මණ්ඩලය විසින් අනුමත කරන ආදර්ශවත් අය වීම. යම් දක්ෂතා තිබීම හෝ නොතිබීම ගැටලුවක් නොවෙයි.
• අයදුම් කරන ආකාරය: නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සේවය කිරීමට ඉල්ලුම් කරන පෝරමය (S-82) පුරවා වැඩිමහල්ලන්ට භාර දෙන්න.
පුරෝගාමි පාසැල
• අරමුණ: ‘දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කිරීම’ සඳහා පුරෝගාමීන්ට උපකාර කිරීම.—2 තිමෝ. 4:5.
• කාලය: සති දෙකයි.
• ස්ථානය: ශාඛා කාර්යාලයේ තීරණය පරිදි අදාළ ප්‍රදේශයේ ඇති නමස්කාර මධ්‍යස්ථානයක.
• සුදුසුකම්: අඩුම තරමින් අවුරුද්දක කාලයක්වත් ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදී සිටීම.
• ඇතුළත් විය හැකි ආකාරය: අදාළ පාසැලට සුදුසුකම් ලබන පුරෝගාමීන්ව තෝරාගෙන චාරිකා සේවක ඔවුන්ට ආරාධනා කරයි.
නවක බෙතෙල් සේවකයන් සඳහා පවත්වන පාසැල
• අරමුණ: බෙතෙල් නිවසේ නවක සාමාජිකයන්ට ඔවුන්ගේ සේවය සාර්ථකව ඉටු කිරීමට උපකාර කිරීම.
• කාලය: සතියකට පැය බැගින් සති 16ක්.
• ස්ථානය: ශාඛා කාර්යාලය.
• සුදුසුකම්: බෙතෙල් පවුලේ නිවසේ ස්ථිර සාමාජිකයෙකු වීම හෝ අවුරුද්දකට නොඅඩු කාලයක් පුරා තාවකාලික පදනම මත ස්වේච්ඡාවෙන් සේවය කිරීම.
• ඇතුළත් විය හැකි ආකාරය: එම පාසැලට ඇතුළත් වීමට අවසර තිබෙන බෙතෙල් පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරයි.
පත් කළ සහෝදරයන් සඳහා පාසැල
• අරමුණ: වැඩිමහල්ලන්ට හා සහායක සේවකයන්ට භාර දී ඇති වගකීම් නිසියාකාරයෙන් ඉටු කිරීම සඳහා ඔවුන්ව පුහුණු කිරීම. (ක්‍රියා 20:28) පාලක මණ්ඩලයේ තීරණය මත මෙම පාසැල වර්ෂ කිහිපයකට වරක් පැවැත්වෙයි.
• කාලය: පසුගිය වර්ෂවලදී වැඩිමහල්ලන් සඳහා දින එකහමාරක් සහ සහායක සේවකයන් සඳහා එක් දිනක් බැගින් මෙම පාසැල පවත්වා තිබෙනවා.
• ස්ථානය: සහභාගිවන්නන්ට ළඟම ඇති නමස්කාර මධ්‍යස්ථානයක් හෝ එක්රැස්වීම් ශාලාවක්.
• සුදුසුකම්: වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් වීම.
• ඇතුළත් විය හැකි ආකාරය: සුදුසුකම් ලබා ඇති වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට චාරිකා සේවක ආරාධනා කරයි.
වැඩිමහල්ලන් සඳහා පාසැලa
• අරමුණ: වැඩිමහල්ලන්ට පවරා ඇති වගකීම් ඉටු කිරීම සඳහා උපකාර කිරීම.
• කාලය: දින පහයි.
• ස්ථානය: ශාඛා කාර්යාලය මගින් තීරණය කළ සහභාගිවන්නන්ට ළඟම ඇති නමස්කාර මධ්‍යස්ථානයක් හෝ එක්රැස්වීම් ශාලාවක්.
• සුදුසුකම්: වැඩිමහල්ලෙකු වීම.
• ඇතුළත් විය හැකි ආකාරය: ශාඛා කාර්යාලය මගින් සුදුසු වැඩිමහල්ලන්ව තෝරා ඔවුන්ට ආරාධනා කරයි.
චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පවත්වන පාසැලb
• අරමුණ: බලපෑමෙන් යුතුව සභාවල සේවය කිරීමට, දෙවිගේ ඉගැන්වීම් ගැන ‘මහත් වෙහෙසක් දරමින් කතා කිරීමට හා ඉගැන්වීමට’ මෙන්ම තමන්ට භාර දී ඇති රැළ රැකබලා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම.—1 තිමෝ. 5:17; 1 පේතෘ. 5:2, 3.
• කාලය: මාස දෙකයි.
• ස්ථානය: ශාඛා කාර්යාලය මගින් තීරණය කරන ස්ථානයක්.
• සුදුසුකම්: චාරිකා සේවකයෙකු හෝ දිස්ත්‍රික් සේවකයෙකු වීම.
• ඇතුළත් විය හැකි ආකාරය: ශාඛා කාර්යාලය මගින් අදාළ සංචාරක සේවකයන්ව හා ඔවුන්ගේ භාර්යාවන්ව තෝරාගෙන ඔවුන්ට ආරාධනා කරයි.
තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලc
• අරමුණ: තනිකඩ වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව අමතර වගකීම් සඳහා පුහුණු කිරීම. පුහුණුව ලැබූ සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුව ඔවුන්ගේ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට පත් කරයි. වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලැබිය හැකියි.
• කාලය: මාස දෙකයි.
• ස්ථානය: ශාඛා කාර්යාලය මගින් තීරණය කළ සහභාගිවන්නන්ට ළඟම ඇති නමස්කාර මධ්‍යස්ථානයක් හෝ එක්රැස්වීම් ශාලාවක්.
• සුදුසුකම්: සෙසු සහෝදරයන්ට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින සහ අවශ්‍යතාව ඇති ප්‍රදේශයක සේවය කිරීමට කැමති වයස අවුරුදු 23ත් 62ත් අතර හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන තනිකඩ සහෝදරයන් වීම. (මාක් 10:29, 30) ඔවුන් අඩුම තරමින් පත් කළ සහෝදරයන් ලෙස නොකඩවා අවුරුදු දෙකක්වත් සේවය කර තිබීම අවශ්‍යයි.
• ඇතුළත් විය හැකි ආකාරය: ඔබේ රටේ මෙම පාසැල පැවැත්වේ නම් චාරිකා එක්රැස්වීමේදී එවැනි අය වෙනුවෙන් රැස්වීමක් පැවැත්වෙනවා. වැඩි විස්තර එම රැස්වීමෙන් ලබාගත හැකියි.
විවාහක ක්‍රිස්තියානි යුවළයන් සඳහා පවත්වන පාසැලd
• අරමුණ: දෙවිගේ සංවිධානයේ කටයුතුවලට විශේෂාකාරයෙන් හවුල් කරගැනීම සඳහා පුහුණුවක් ලබා දීම. ඉන් පුහුණුව ලබන බොහෝ යුවළයන්ට ඔවුන්ගේ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට පැවරුම් ලැබෙයි. වෙනත් රටකට ගොස් සේවය කිරීමට කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලැබිය හැකියි.
• කාලය: මාස දෙකයි.
• ස්ථානය: මෙහි පළමු පන්ති කිහිපය එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ පැටසන්හි පිහිටි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පැවැත්වෙනවා. ඉන්පසුව මෙම පාසැල ශාඛා කාර්යාලයේ තීරණය පරිදි එක්රැස්වීම් ශාලාවක හෝ නමස්කාර මධ්‍යස්ථානයක පැවැත්වෙයි.
• සුදුසුකම්: “මම යන්න කැමතියි. මාව යවන්න” යන ආකල්පය ඇති අවශ්‍යතාව ඇති ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට හැකියාව ඇති අවුරුදු 25ත් 50ත් අතර හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන විවාහක යුවළක් වීම. (යෙසා. 6:8) ඒ වගේම විවාහ වී අඩුම තරමින් අවුරුදු දෙකක්වත් ගත වී ඇති සහ අවුරුදු දෙකකට නොඅඩු කාලයක් පුරා නොකඩවා පූර්ණකාලීන සේවයේ හවුල් වී තිබීම.
• ඇතුළත් විය හැකි ආකාරය: ඔබේ රටේ මෙම පාසැල පැවැත්වේ නම් චාරිකා එක්රැස්වීමේදී එවැනි අය වෙනුවෙන් රැස්වීමක් පැවැත්වෙනවා. වැඩි විස්තර එම රැස්වීමෙන් ලබාගත හැකියි.
ගිලියද් මුරටැඹ බයිබල් පාසැල
• අරමුණ: මිෂනාරි සේවය සඳහා පුරෝගාමීන්ව සහ පූර්ණකාලීන දේවසේවයේ විවිධ අංගවල නිරත වී සිටින අයව මිෂනාරී සේවය සඳහා පුහුණු කිරීම.
• කාලය: මාස පහයි.
• ස්ථානය: එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ පැටසන්හි පිහිටි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.
• සුදුසුකම්: වයස අවුරුදු 21ත් 38ත් අතර පසු වන බව්තීස්ම වී අවුරුදු තුනක් ගත වී ඇති ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි විවාහක යුවළක් වීම. ඔවුන් අඩුම තරමින් විවාහ වී අවුරුදු දෙකක්වත් ගත වී තිබීම සහ නොකඩවා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් පූර්ණකාලීන සේවයේ හවුල් වී තිබීම. හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වීම. වෙනත් රටකට ගොස් සේවය කරන පුරෝගාමීන්ට (ගිලියද් පාසැලෙන් පුහුණුව නොලැබූ නමුත් මිෂනාරිවරුන් ලෙස සේවය කරන අය ඇතුළුව), සංචාරක සේවකයන්ට, බෙතෙල් සේවකයන්ට, දේවසේවා පුහුණු පාසැලට (කලින් හැඳින්වූ නම) හා තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වූ අයට, විවාහක ක්‍රිස්තියානි යුවළයන් සඳහා පවත්වන පාසැලට සහභාගි වූ අයට ඊට අයදුම් කළ හැකියි.
• ඇතුළත් විය හැකි ආකාරය: දිස්ත්‍රික් සමුළුවේදී මෙම පාසැල සඳහා අයදුම් කිරීමට කැමති අය වෙනුවෙන් රැස්වීමක් පවත්වයි. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සපයනු ලබන්නේ එම රැස්වීමේදීයි. ඔබ මෙම පාසැලට සහභාගි වීමට ආශා කළත් සමහරවිට ඔබේ රටේ පවත්වන දිස්ත්‍රික් සමුළුවේදී ඒ සඳහා රැස්වීමක් පවත්වන්නේ නැත්නම් අවශ්‍ය තොරතුරු ශාඛා කාර්යාලයෙන් ලබාගත හැකියි.
ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පවත්වන පාසැල
• අරමුණ: බෙතෙල් නිවසේ කාර්යයන්, සභාවල සේවය හා සම්බන්ධ කාර්යයන්, දිස්ත්‍රික් හා චාරිකාවන්ට අදාළ කාර්යයන්, පරිවර්තන අංශ, මුද්‍රණ අංශ, පොත් පත් බෙදාහැරීමේ අංශ වැනි විවිධ අංශවල සියලුම වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා කමිටු සාමාජිකයන්ව පුහුණු කිරීම.—ලූක් 12:48ආ.
• කාලය: මාස දෙකයි.
• ස්ථානය: එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ පැටසන්හි පිහිටි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය.
• සුදුසුකම්: ශාඛා කමිටු සාමාජිකයෙක් හෝ රටක කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර ඇති කමිටු සාමාජිකයෙක් වීම.
• ඇතුළත් විය හැකි ආකාරය: සුදුසුකම් තිබෙන සහෝදරයන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට පාලක මණ්ඩලය විසින් ආරාධනා කරයි.
[පාදසටහන්වල]
a සමහර රටවල මෙම පාසැල් ආරම්භ කර නැහැ.
b සමහර රටවල මෙම පාසැල් ආරම්භ කර නැහැ.
c සමහර රටවල මෙම පාසැල් ආරම්භ කර නැහැ.
d සමහර රටවල මෙම පාසැල් ආරම්භ කර නැහැ.