අපේ විශ්වාසය ශක්තිමත් කරන දේවසේවය!
1. දේවසේවයේ යෙදීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
1 අප දේවසේවයේ යෙදෙන්නේ යෙහෝවා දෙවිව සතුටු කරන්න කැමති නිසයි. නමුත් දේවසේවයේ යෙදෙන විට අපත් ලොකු සතුටක් අද්දකිනවා. එමෙන්ම අපි දෙවිට තව තවත් ළං වෙනවා. මෙසේ “වචනය දේශනා කරන්න” වැඩි වැඩියෙන් කාලය ගත කරන විට ඉන් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.—2 තිමෝ. 4:2; යෙසා. 48:17, 18.
2. දේවසේවය අපේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කෙසේද?
2 විශ්වාසය හා යහපත් ගුණාංග: අපේ විශ්වාසය ශක්තිමත් කිරීමට දේවසේවය බලපාන්නේ මේ ආකාරයටයි. අප දේවසේවයේ යෙදෙන විට අවධානය යොමු කරන්නේ අද තිබෙන ප්‍රශ්න ගැටලුවලට නොව දෙවිගේ රාජ්‍යයට හා ඉන් ලැබෙන ආශීර්වාදවලටයි. (2 කොරි. 4:18) බයිබලයේ තිබෙන තොරතුරු අන් අයට උගන්වන විට දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. එමෙන්ම දෙවිගේ වචනය සත්‍යය බවද වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. (යෙසා. 65:13, 14) කෙනෙකුට ‘ලෝකයේ කොටසක් නොවී’ දෙවිට ළං වෙන්න උපකාර කරන විට අපත් මේ ලෝකයෙන් ඈත් වී දෙවිට තව තවත් ළං වෙනවා.—යොහ. 17:14, 16; රෝම 12:2.
3. ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතු යහපත් ගුණාංග වර්ධනය කිරීමට දේවසේවය උපකාරවත් වන්නේ කෙසේද?
3 ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතු යහපත් ගුණාංග වර්ධනය කරගන්නද දේවසේවය අපට උපකාරවත් වෙනවා. ‘සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වෙන්න’ අප උත්සාහ කරන විට අප යටහත්පහත් අය වෙන්න ඉගෙනගන්නවා. (1 කොරි. 9:19-23) එමෙන්ම ‘එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින’ අයට උපකාර කරන විට දයානුකම්පාව පෙන්වන්න අප පුරුදු වෙනවා. (මතෙ. 9:36) ජනයා අපේ පණිවිඩයට උනන්දුවක් නොදක්වන විට හෝ අපට විරුද්ධ වන විට ඊට මුහුණ දීම සඳහා අප විඳදරාගැනීම වැඩි දියුණු කරගන්නවා. ඇත්තටම අන් අයට උපකාර කරන විට අපේ ප්‍රීතියද තවත් වැඩි වෙනවා.—ක්‍රියා 20:35.
4. දෙවි ඔබට දී තිබෙන පැවරුම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
4 අපේ නමස්කාරය ලබන්න වටින්නේ යෙහෝවා දෙවි පමණයි. අපේ දෙවිට ප්‍රශංසා ගෙන දෙන සේවයක් කිරීමට ලැබීම අපට ලැබී තිබෙන වරප්‍රසාදයක්! ඒ සේවයේ නියැළීම මගින් දෙවි සමඟ අපේ මිත්‍රත්වය වැඩි කරගන්න අපට හැකියි. ‘ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දෙන’ අයට ස්ථිර විශ්වාසයක් ඇතුළු බොහෝ ආශීර්වාද අද්දකින්න පුළුවන්.—ක්‍රියා 20:24.