වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දැරීම
1. දේශනා සේවයේ යෙදෙන විට මොන ප්‍රස්තාවද උදා වෙන්නේ?
1 මුළු ලොව පුරා “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස” ශුභාරංචිය දේශනා කරනු ලබන බව යේසුස් පවසා තිබුණා. දේශනා කිරීමේ හා ඉගැන්වීමේ හවුල් වන සෑම දේවසේවකයෙකුටම එම වදන් හොඳින් මතකයි. (මතෙ. 24:14; 28:19, 20) මෙලෙස සේවයේ නියැලෙන අපට සමහරවිට වෙනත් භාෂා කතා කරන අයව හමු වෙනවා. ඔවුන්ටත් ශුභාරංචියට සවන් දෙන්නත් දෙවිගේ මහත් දවසෙදී බේරී ජීවත් වෙන්නත් අවස්ථාව ලබා දිය යුතුයි. (මලා. 3:18) වෙනත් භාෂාවක් කතා කරන අය හමු වූ විට කුමක් කළ හැකිද?
2. යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නවා නම් වෙනත් භාෂා කතා කරන අය සම්බන්ධයෙන් අපි කරන්නේ කුමක්ද?
2 යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න: දෙවි මෙන් අපේ ප්‍රදේශයේ සිටින සෑමදෙනාටම එක හා සමානව සැලකීමට නම් ඕනෑම භාෂාවක් කතා කරන අයට සැබෑ දෙවි වන යෙහෝවා ගැන නිවැරදි දැනුම ලබා දීමට අප තුළ ආශාවක් තිබිය යුතුයි. (ගීතා. 83:18; ක්‍රියා 10:34, 35) අපි සිංහල සභාවකට නම් යන්නේ එම භාෂාව කතා කරන අය ගැන අපි මූලික අවධානයක් දුන්නත් වෙනත් භාෂා කතා කරන අය ගැනත් අප සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට දේවරාජ්‍යයේ පණිවිඩය පැවසීමට ක්‍රම සෙවිය යුතුයි. එවැනි අයව නොසලකාහැරීම සියලු ජාතීන්ට සාක්ෂි දැරිය යුතුයි යන යෙහෝවා දෙවිගේ අරමුණට පටහැනියි. එමනිසා වෙනත් භාෂා කතා කරන අයට අපි උපකාර කරන්නේ කොහොමද?
3. අපට ලබා දී තිබෙන්නේ කුමන පොත්පිංචයද? එය භාවිත කිරීමට සූදානම් විය හැක්කේ කෙසේද?
3 සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත්පිංචය භාවිත කරන්න: මෙය සකස් කර තිබෙන්නේ වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් මුණගැසුණු විට භාවිත කිරීමටයි. එහි තිබෙන දේවල් ගැන දැනුවත් වී සැමවිටම එය රැගෙන යන්න. අවශ්‍ය අවස්ථාවේදී එය භාවිත කිරීමට සූදානමින් සිටින්න. ඔබේ ප්‍රදේශයේ වැඩියෙන්ම භාවිත වන භාෂා මොනවාද? ඒවා ඉක්මනින් සොයාගත හැකි වන සේ එහි ලකුණු යොදන්න. එම භාෂාවලින් පොත් පත් මුද්‍රණය කෙරෙනවා නම් මෙම පොත්පිංචයේ ඇති පණිවිඩය පෙන්වූ පසු දීමට එම පොත් පත් කීපයක් ළඟ තබාගැනීම සුදුසුයි.
4. සේවයේදී සියලු ජාතීන්ට යන පොත්පිංචය යොදාගත හැක්කේ කෙසේද?
4 වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් ඔබට මුණගැසුණු විට ඔහු කතා කරන්නේ මොන භාෂාවද කියා ඔබ හරියටම දන්නේ නැත්නම් පොත්පිංචයේ කවරය ඇතුළේ තිබෙන සිතියමට හරවන්න. මුලින්ම ඔබවම පෙන්වා ඔබේ රට පෙන්වන්න. ඉන්පසු ඔහුව පෙන්වා ඔහුගේ රට පෙන්වීමට ඔහුට අවස්ථාව දෙන්න. ඒ ආකාරයට ඔහුගේ භාෂාව දැනගත් පසු පොත්පිංචයේ පටුනට හරවා එම භාෂාව තිබෙන පිටු අංකය බලන්න. ඉන්පසු එම පිටුවට පෙරළන්න. පිටුවේ උඩ තද කලු අකුරින් තිබෙන කොටසට ඔහුගේ අවධානය යොමු කරවන්න. ඔහු එම කොටස කියවනවා නම් ඔබ කැමති බව ඔහුට අඟවන්න. කියවා අවසන් වූ පසු ඔහුගේ භාෂාවෙන් පත්‍රිකාවක් දෙන්න. නැතහොත් එම පිටුවේ අළු පාටින් ලකුණු කර තිබෙන වාක්‍යය පෙන්වන්න. එහි තිබෙන්නේ ඔහුගේ භාෂාවෙන් තිබෙන පොතක් ඔහුට ගෙනැවිත් දෙන්න ඔබ කැමතියි කියායි. ඉන්පසු “මගේ නම” යනුවෙන් තද කලු අකුරින් දක්වා තිබෙන කොටස පෙන්වා ඔබේ නම පැහැදිලිව කියන්න. ඊටත් පසු “ඔබේ නම” ලෙස තද කලු අකුරින් දක්වා තිබෙන කොටස පෙන්වා ඔහුගේ නම දැනගන්න. නැවත බැලීමකට වෙලාවක් හා දිනයක් යොදාගන්න.
5. වෙනත් භාෂාවක් කතා කරන අය උනන්දුවක් දක්වන විට කුමක් කළ යුතුද?
5 නැවත බැලීම සඳහා සැලසුම් යොදන්න: රාජ්‍ය පණිවිඩයට උනන්දුවක් දක්වන අය මොන භාෂාවක් කතා කළත් ඔවුන්ව නැවත බැලීමට වෑයම් කළ යුතුයි. එවැනි කෙනෙක් දෙවි ගැනත් බයිබලය ගැනත් උනන්දුවක් දක්වන බව අපි තේරුම්ගත් පසු නැවත ගොස් බලන්න (S- 43) නම් පෝර්මය පුරවා අපේ සභාවේ ලේකම්ට භාර දිය යුතුයි. ඔහුව හෝ ඇයව හමු වීමට එම භාෂාව දන්නා ප්‍රචාරකයෙකුව එවීම සඳහා ලේකම් විසින් පෝර්මය ශාඛා කාර්යාලයට යවයි. ශාඛා කාර්යාලයද එම භාෂාව කතා කරන කණ්ඩායමක් වෙත එම පෝර්මය යවනු ලබයි. එය ලද වහාම එම පුද්ගලයාව මුණගැසීමට කෙනෙක් එයි. සමහරවිට ලේකම් එම පෝර්මයේ පිටපතක් සේවා අවේක්ෂකටද දීමට ඉඩ තිබෙනවා. එවිට ප්‍රදේශයේ එම භාෂාව කතා කරන අය ඉන්න බවත් ඔවුන් දක්වන උනන්දුව ගැනත් සේවා අවේක්ෂකට දැනගත හැකියි. මෙම පෝර්මය පිරවිය යුත්තේ අවංක උනන්දුවක් දක්වන අය වෙනුවෙන් පමණයි.
6. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් උනන්දුවක් දැක්වුවොත් අපේ වගකීම කුමක්ද?
6 එම පෝර්මය භාර දුන් පසු උනන්දුව දක්වන පුද්ගලයාගේ භාෂාව කතා කරන ප්‍රචාරකයෙක් ඔහුව මුණගැසෙන තෙක් යම් කාලයක් ගත වෙයි. එතෙක් නොකඩවාම එම පුද්ගලයාව නැවත ගොස් බැලීමෙන් ඔහුගේ උනන්දුව වැඩි කිරීමට පෝර්මය භාර දුන් සහෝදරයාට හැකියි. සමහරවිට බයිබල් පාඩමක් පටන්ගැනීමට පවා හැකි වෙයි. නමුත් මේ කාලය අතරතුර ප්‍රචාරකයා උනන්දුව දක්වන පුද්ගලයාගේ භාෂාවෙන් පොත් පත් ලබාගන්නේ කොහොමද?
7. වෙනත් භාෂාවලින් පොත් පත් ලබාගත හැක්කේ කෙසේද?
7 වෙනත් භාෂාවලින් පොත් පත්: වෙනත් භාෂාවලින් පොත් පත් විශාල තොගයක් සභාවල තබාගත යුතු නැහැ. යම් භාෂාවක් කතා කරන පිරිසක් තමන්ගේ ප්‍රදේශයේ සිටින බව සේවා අවේක්ෂකට දැනුණොත් ප්‍රචාරකයන්ගේ භාවිතය සඳහා එම භාෂාවෙන් පොත් පත් යම් ප්‍රමාණයක් තබාගැනීම යෝග්‍යයි. සභාවේ එම පොත් පත් නැත්නම් ඉල්ලුම් කළ හැකියි. නමුත් එම පොත් පත් ලැබෙන්න යම් කාලයක් ගත වෙනවා. ඊට කලින් යම් පොත් පත් අවශ්‍ය නම් www.watchtower.org යන වෙබ් අඩවියෙන් අවශ්‍ය පිටපත් ලබාගත හැකියි. මෙසේ ප්‍රචාරකයාට හෝ උනන්දුව දක්වන කෙනාට හෝ විවිධ ප්‍රකාශන බොහෝ භාෂාවලින් ඉක්මනින්ම ලබාගත හැකියි. වෙනත් භාෂාවන් කතා කරන අයගේ උනන්දුව වර්ධනය කිරීමට මෙම සැපයුම ප්‍රයෝජනවත් වන බව නිසැකයි.
8. වෙනත් භාෂා කතා කරන අයගේ උනන්දුව වර්ධනය කිරීමට සභාව මගින් කළ හැකි කාර්යය කුමක්ද?
8 සභාවෙන් කෙරෙන කාර්යය: වෙනත් භාෂා කතා කරන අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් උනන්දුවක් දැක්විය හැකි නමුත් එම ප්‍රදේශයේ සභාවක් නොතිබිය හැකියි. එවිට උනන්දුව දක්වන එම අයව ඔබේ රැස්වීම්වලට ආරාධනා කළ හැකියි. ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන විට නිතිපතා රැස්වීම්වලට පැමිණීමට ඔවුන් පෙලඹිය හැකියි. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකු රැස්වීම්වලට පැමිණෙන විට භාෂාව හා සංස්කෘතිය වෙනස් නිසා මුලින් ඔහුට එය බාධාවක් විය හැකියි. නමුත් සභාවෙන් ඔහු අද්දකින සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමයට බාධා කරන්න කිසිවකට නොහැකියි. (ශෙප. 3:9; යොහ. 13:35) ඔබ චතුර ලෙස වෙනත් භාෂාවක් කතා කරනවාද? එම භාෂාව කතා කරන අයව නැවත බැලීමට ඔබ කැමති නම් ඔබේ සභාවේ ලේකම්ට ඒ ගැන කියන්න. ඔහු ඒ ගැන ශාඛා කාර්යාලයට දැනුම් දෙයි. ශාඛා කාර්යාලයෙන් එවැනි ප්‍රචාරකයෙක්ව සොයමින් සිටිනවා නම් එය උපකාරයක් වෙයි.
9. ඔබට තවත් භාෂාවක් ඉගෙනගැනීමට කළ හැකි වන්නේ කුමක්ද? ඔබේ සේවය පුළුල් කිරීමට එය දායක වන්නේ කෙසේද?
9 වෙනත් භාෂාවක් ඉගෙනගැනීම: ඔබේ සභාවට අයත් ප්‍රදේශයේ සිටින ජනයා කතා කරන වෙනත් භාෂාවක් ඉගෙනගන්න වෑයමක් දරන්න ඔබට පුළුවන්ද? උදාහරණයකට ඔබ දන්නේ සිංහල භාෂාව විතරක් නම් ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව ඉගෙනගන්න ඔබට පුළුවන්ද? ඉංග්‍රීසි සහ දෙමළ විතරක් දන්න අයටත් එවැනිම දෙයක් කළ හැකියි. ශ්‍රී ලංකාවේ වැඩිහරියක් භාවිත වෙන්නේ මේ භාෂා තුනයි. එමනිසා වෙනත් භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරන්න. ඒ සඳහා පංතියකට යා හැකියි. සමහරවිට ඔබට උපකාර කරන්න පුළුවන් කෙනෙක් ඔබේ සභාවේම සිටිය හැකියි. ඔබේ මව්භාෂාව හැර වෙනත් භාෂාවලින් තිබෙන අපේ ප්‍රකාශන කියවන්න ඔබට ඉගෙනගත හැකියි. රැස්වීම්වලට සූදානම් වෙන විට යම් කරුණක් වෙනත් භාෂාවකින් ඉදිරිපත් කර තිබෙන ආකාරය සසඳා බලන්න. එවිට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුට දේවරාජ්‍යය පිළිබඳ තොරතුරු පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙනවා. මෙලෙස ඔබේ ප්‍රදේශයේ සිටින වැඩිදෙනෙකුට උපකාර කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා.
10. වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
10 කණ්ඩායමක් පිහිටුවීම: යම් ප්‍රදේශයක වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක් පිහිටුවීමට මූලික අවශ්‍යතාවන් හතරක් තිබිය යුතුයි. (1) එම භාෂාව කතා කරන සැලකිය යුතු පිරිසක් සිටිය යුතු අතර ඔවුන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් උනන්දුව දැක්විය යුතුයි. (2) එම භාෂාව දන්නා හෝ ඉගෙනගනිමින් සිටින ප්‍රචාරකයන් කීපදෙනෙක්ද සිටිය යුතුයි. (3) අඩුම තරමින් එම භාෂාවෙන් සතිපතා එක රැස්වීමක් හෝ පැවැත්වීමට හැකි සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් හෝ සභා සේවකයෙක් සිටිය යුතුයි. (4) එම කණ්ඩායම බලාගැනීම සඳහා ඊට කිට්ටුවෙන් තිබෙන සභාවක වැඩිමහල් මණ්ඩලය කැමැත්තක් දැක්විය යුතුයි. මෙම අවශ්‍යතාවන් සෑහෙන දුරකට සපුරාගත හැකි නම් වැඩිමහල් මණ්ඩලය එම කණ්ඩායම පිළිබඳව ශාඛා කාර්යාලයට ලියමින් වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක් බලාගන්නා සභාවක් ලෙස අනුමැතිය ලබාගනියි. (වර්ෂ 2007 පෙබරවාරි රාජ්‍ය සේවාවේ 6 සිට 7 දක්වා පිටු බලන්න.) කණ්ඩායම රැකබලා ගන්නා වැඩිමහල්ලා හෝ සභා සේවකයා වගකීමකින් යුතුව කණ්ඩායමේ පෙරමුණ ගත යුතුයි.
11. වෙනත් භාෂා කතා කරන අය ගැන සලකිලිමත් වීම අත්‍යවශ්‍ය ඇයි?
11 අපට පවරා තිබෙන ප්‍රදේශයේ සිටින වෙනත් භාෂාවක් කතා කරන අය ගැන සැලකිලිමත් වීමත් අවශ්‍ය නම් කණ්ඩායමක් පිහිටුවීමත් යේසුස් ආරම්භ කළ ලොව පුරා සිදු කරනු ලබන දේශනා සේවයේ අත්‍යවශ්‍ය අංගයක්. අපි අපේ කොටස කරමු. එවිට යෙහෝවා දෙවි ‘සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට ගෙනෙන’ ආකාරය දැකගත හැකියි. (හග්. 2:7) මෙම සේවයට සම්පූර්ණ සහයෝගය දැක්වීමෙන් අපිට මොන තරම් තෘප්තියක් ලැබේවිද! අපේ සභාවන්ට අයත් ප්‍රදේශවල වෙනත් භාෂා කතා කරන අයට උපකාර කිරීම සඳහා අප දරන වෑයමට ආශීර්වාද ලැබේවා! වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි. භාෂාවන් දෙවිට බාධාවක් නොවන බව අපි මතක තබාගත යුතුයි.—1 කොරි. 3:6-9.