දේවසේවකයෙනි යාච්ඤා කරන්න
1. දේවසේවය සම්පූර්ණ කිරීම සඳහා අප කුමක් කළ යුතුද?
1 අපේම හැකියාවෙන් දේවසේවය සම්පූර්ණ කළ නොහැකි නිසා යෙහෝවා දෙවි අපිට ශක්තිය දෙනවා. (ෆිලි. 4:13) ඔහු අපට සුදුස්සන්ව සොයන්න දේවදූතයන්ගේ උපකාරය ලබා දෙනවා. (එළි. 14:6, 7) අපි සත්‍යයේ බීජ පැළ කරන විට හා ඊට වතුර දමන විට එය වර්ධනය කරන්නේ යෙහෝවා දෙවියි. (1 කොරි. 3:6, 9) එමනිසා දේවසේවකයන් හැටියට අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් ඔහු මත රඳා සිටීම කොයි තරම් වැදගත්ද!
2. යාච්ඤා කළ හැක්කේ කුමන දේවල් ගැනද?
2 අප වෙනුවෙන්: දේවසේවයේ යෙදෙන සෑම අවස්ථාවකදීම අපි යාච්ඤා කළ යුතුයි. (එෆී. 6:18) යාච්ඤා කළ හැකි දේවල් මොනවාද? අපේ ප්‍රදේශයේ සිටින ජනයා ගැන ධනාත්මක ආකල්පයක් තබාගන්නත් නොබියව සාක්ෂි දරන්නත් උපකාර ඉල්ලා යාච්ඤා කළ හැකියි. (ක්‍රියා 4:29) බයිබල් පාඩමක් කිරීමට කැමති අයව සොයාගන්න මඟ පෙන්වන්න කියාත් ඉල්ලිය හැකියි. නිවැසියා අපෙන් ප්‍රශ්නයක් අසන විට නිවැරදි පිළිතුර දෙන්න උපකාර කරන්න කියා අපිට නිහඬ කෙටි යාච්ඤාවක් කළ හැකියි. (නෙහෙ. 2:4) දේවසේවයට මුල් තැන දීම සඳහා අවශ්‍ය ප්‍රඥාවද ඉල්ලන්න පුළුවන්. (යාකො. 1:5) ඊට අමතරව, දේවසේවකයන් වීමේ වරප්‍රසාදය ලබා දීම ගැන දෙවිට ස්තුති කරන්නද අපට පුළුවන්.—කොලො. 3:15.
3. අන් අය වෙනුවෙන් කරන යාච්ඤා සේවය සාර්ථක කරගැනීමට උපකාරයක් වන්නේ කෙසේද?
3 අන් අය වෙනුවෙන්: සුදුසු අවස්ථාවලදී සභාවේ අනික් අයගේ නම් පවා සඳහන් කරමින් “එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න” අපට පුළුවන්. (යාකො. 5:16; ක්‍රියා 12:5) දුර්වල සෞඛ්‍ය තත්වය නිසා ඔබේ සේවය සීමා වී තිබෙනවාද? ඒ වුණත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින දේවසේවකයන් වෙනුවෙන් යාච්ඤා කරන්න ඔබට පුළුවන්. අන් අය වෙනුවෙන් ඔබ කරන යාච්ඤාවලින් කිසිම පලක් නැහැ කියා කිසිවිටෙක නොසිතන්න. අපේ සේවයට බාධා නොකිරීමට උසස් බලධාරීන්ව පොලඹවන්න කියාද යාච්ඤා කිරීම සුදුසුයි. එවිට ‘සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කරමින්’ සේවය කරන්න අපේ සහෝදරයන්ට පුළුවන් වෙයි.—1 තිමෝ. 2:1, 2.
4. අපි නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි?
4 ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීම අපේ හැකියාවෙන් කළ හැකි දෙයක් නොවෙයි. එමනිසා අපි ‘නොකඩවාම යාච්ඤා කරමු.’ එවිට යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපේ සේවය සම්පූර්ණ කරන්න අපිට පුළුවන් වෙයි.—රෝම 12:12.