ඔවුන්ට ළං වන්න ඔබටත් හැකිද?
1. ප්‍රචාරකයෙකුගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සත්‍යයට එනවා දැකීම අපගේත් ආශාව විය යුත්තේ ඇයි?
1 යෙහෝවා දෙවිට නමස්කාර නොකරන සහකරුවෙකු හෝ සහකාරියෙකු සිටින ප්‍රචාරකයන් ඔබේ සභාවේ සිටිනවාද? ඔහු හෝ ඇය යම් දිනක සැබෑ නමස්කාරයේ හවුල් වෙනවා දැකීම ඒ ප්‍රචාරකයන්ගේ ආශාව බව නිසැකයි. ඔවුන් පමණක් නොව දෙවි මෙන් සභාවේ සැමගේ ආශාව වන්නේත් ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීම සහ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි.’ (1 තිමෝ. 2:4) අපේ සභාවේ සිටින එවැනි ප්‍රචාරකයන්ගේ ස්වාමිපුරුෂයන්ට හෝ භාර්යාවන්ට උපකාර කරන්න පුළුවන් කොහොමද?
2. දෙවිට නමස්කාර නොකරන කෙනෙකුට උපකාර කරන්න වටහාගැනීමේ හැකියාව උපකාරවත් වන්නේ කොහොමද?
2 මුලින්ම ඔහු හෝ ඇය සිතන ආකාරය තේරුම්ගැනීම අවශ්‍යයි. එවැනි බොහෝදෙනෙක් පවුලේ අයව ආදරයෙන් රැකබලා ගනිමින් හොඳ භාර්යාවක් හෝ ස්වාමිපුරුෂයෙක්, මවක් හෝ පියෙක් ලෙස කටයුතු කරනවා. ඔහු හෝ ඇය තම ආගම භක්තියෙන් පිළිපදිනවා ඇති. සමහරවිට ඔහු හෝ ඇය සාක්ෂිකරුවන් කවුද කියා හරියට දන්නේ නැතුව ඇති. නැත්නම් ඔවුන්ට අසන්න ලැබී ඇත්තේ අප ගැන අසත්‍යය තොරතුරු විය හැකියි. තම භාර්යාව හෝ ස්වාමිපුරුෂයා පවුල සමඟ කලින් ගත කළ කාලය නමස්කාරයේ කටයුතු සඳහා යොදවන නිසා ඔහු හෝ ඇය සිටින්නේ අකමැත්තෙන් විය හැකියි. එවැනි අවස්ථාවලදී අප වටහාගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරනවා නම් ඔහුට හෝ ඇයට ගෞරවාන්විතව සලකන්නත් කලබල නොවී කටයුතු කරන්නත් හැකි වෙයි.—හිතෝ. 16:20-23.
3. දෙවිට නමස්කාර නොකරන කෙනෙකුව දිනාගත හැකි හොඳම ක්‍රමය කුමක්ද?
3 පෞද්ගලික සැලකිල්ල: එවැනි කෙනෙකුව දිනාගැනීමට හැකි හොඳම ක්‍රමය වන්නේ කෙලින්ම බයිබල් සාකච්ඡාවක් ආරම්භ කිරීමට වඩා අපේ කතාබහ සහ හැසිරීම විය හැකියි. (1 පේතෘ. 3:1, 2) එහිදී ඔහු හෝ ඇය කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්. සහෝදරියන්ට සත්‍යයයේ නැති භාර්යාවන් ගැනත් සහෝදරයන්ට එවැනි ස්වාමිපුරුෂයන් ගැනත් පෞද්ගලික සැලකිල්ලක් පෙන්විය හැකියි. ඒ කොහොමද?
4. පෞද්ගලික සැලකිල්ල පෙන්වන්න අපට පුළුවන් කොහොමද?
4 ඔබට තවමත් ඔහුව හෝ ඇයව මුණගැසී නැත්නම් ප්‍රචාරකයාගෙන් මුලින්ම ඒ ගැන විමසන්න. මුල් හමුවීමේදී ඔහු හෝ ඇය එතරම් සුහදත්වයක් නොපෙන්ණුවත් අධෛර්යය වෙන්න එපා. අපේ මිත්‍රශීලී ස්වභාවය සහ පෞද්ගලික සැලකිල්ල නිසා සාක්ෂිකරුවන් ගැන ඔහු තුළ හොඳ ආකල්පයක් ඇති විය හැකියි. (රෝම 12:20) එවැනි අයව හොඳින් දැන හඳුනා ගැනීමටත් යම් වරදවා වටහාගැනීම් තිබෙනවා නම් ඒවා ඉවත් කරගැනීමටත් හැකි වන ලෙස සමහර ක්‍රිස්තියානීන් ඔවුන්ගේ මුළු පවුලටම තමන්ගේ නිවසේ කෑමකට ආරාධනා කර තිබෙනවා. එවැනි අවස්ථාවලදී බයිබලයේ තොරතුරු සාකච්ඡා කරනවා වෙනුවට ඔහු හෝ ඇය උනන්දුව දක්වන දේවල් ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ පුද්ගලයා සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟුණු පසු බයිබලයේ සඳහන් තොරතුරු සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙයි. එමෙන්ම තමාගේ සහකරු හෝ සහකාරිය රැස්වීම්වලට ගොස් ඉගෙනගන්නේ මොනවාද කියා දැනගැනීමට පැමිණෙන්න කියා කරන ආරාධනය ඔහු පිළිගත හැකියි. ඔහු දැනටමත් සභාවේ කිහිපදෙනෙකුව දන්න නිසා රැස්වීමට පැමිණීමට ඔහුට එය තවත් පහසුවක් වෙයි. ඔහු බයිබල් සත්‍යය දැනගැනීමට තවමත් කැමැත්ත පළ කර නැති වුණත් අපේ සහෝදරයාට හෝ සහෝදරියට දක්වන සහයෝගය ගැන ඔහුට ප්‍රශංසා කරන්න අපට පුළුවන්.
5. සත්‍යයයේ නැති පුද්ගලයාට උපකාර කරන්න වැඩිමහල්ලන්ට හැකි අවස්ථා මොනවාද?
5 සත්‍යයයේ නැති පුද්ගලයාට උපකාර කිරීමට හැකි අවස්ථා ගැන වැඩිමහල්ලන් විශේෂයෙන්ම උනන්දු විය යුතුයි. ඔහු හෝ ඇය බයිබල් පාඩමකට කැමති නොවුණත් රෝහල් ගත වී සිටින විටෙක හෝ බරපතළ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින විටෙක ශුද්ධ ලියවිල්ලෙන් ලබාදෙන දිරිගැන්වීමකට ඔහු හෝ ඇය කැමති විය හැකියි. එවැනි කෙනෙකු මුහුණ දෙන හදිසි තත්වයන්වලදී නිදසුනකට, පවුලේ සාමාජිකයෙකුගේ මරණයකදී වැඩිමහල්ලන් පවුලේ අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන විට සත්‍යයයේ නැති පුද්ගලයාටත් ඒ අවස්ථාවට ආරාධනා කළ හැකියි.
6. දෙවිට නමස්කාර නොකරන කෙනෙකුට උපකාර කිරීමට අපට තිබෙන හේතු මොනවාද?
6 සත්‍යයයේ නැති පුද්ගලයා දෙවිගේ නමස්කාරකයෙකු බවට පත් වන විට ඒ ගැන අපගේ සහෝදරයාට හෝ සහෝදරියට දැනෙන ප්‍රීතිය මොන තරම්ද! එය යෙහෝවා දෙවිටත් දේවදූතයන්ටත් මුළු ක්‍රිස්තියානි සභාවටත් විශාල ප්‍රීතියක්. (ලූක් 15:7, 10) කෙසේනමුත් ඒ පුද්ගලයා මුලින්ම හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත් ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට අකමැති, සියලුදෙනාටම පසුතැවිලි වීමේ ප්‍රස්තාව ලබා දෙන’ දෙවිව සතුටු කිරීමට අප දරන උත්සාහය ගැන ප්‍රීති වීමට අපට හැකියි.—2 පේතෘ. 3:9.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවිට නමස්කාර නොකරන කෙනෙකුව දිනාගැනීමට හැකි හොඳම ක්‍රමය වන්නේ කෙලින්ම බයිබල් සාකච්ඡාවක් ආරම්භ කිරීමට වඩා අපේ කතාබහ සහ හැසිරීම විය හැකියි