අනාගතවක්තෘ ශෙපනියා අපිට ආදර්ශයක්!
1. ශෙපනියා අනාවැකි කිව්වේ මොන වගේ පරිසරයක් තුළද? ඔහු හොඳ ආදර්ශයක් වෙන්නේ ඇයි?
1 ක්‍රි. පූ. 600 ගණන්වල මැද භාගයේදී යූදා දේශයේ බාල් නමස්කාරය පැතිරිලා තිබුණා. ඒ වෙද්දී දුෂ්ට ආමොන් රජව මරලා වැඩි කල් ගිහින් තිබුණේ නැහැ. රජකම් කරමින් හිටියේ යොෂියා රජ. (2 ලේක. 33:21–34:1) යූදා දේශයට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්න යෙහෝවා දෙවි ශෙපනියාව පත් කළේ ඒ කාලයේ. ඔහු රජ පෙළපතට අයිති කෙනෙක් වෙන්න ඇති. ඒත් පාලකයන්ට විරුද්ධව කියන්න කියලා දෙවි දුන්න පණිවිඩය ඔහු දියාරු කළේ නැහැ. (ශෙප. 1:1; 3:1-4) අපිත් ශෙපනියාගේ නිර්භීතකම ආදර්ශයට ගන්නවා නම් දෙවිට කරන නමස්කාරය නවත්වන්න පවුලේ අයයි නෑදෑයනුයි උත්සාහ කළත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. (මතෙ. 10:34-37) ශෙපනියා කියපු පණිවිඩය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
2. යෙහෝවා දෙවිගේ උදහස් දවසෙන් බේරෙන්න නම් අපි කරන්න ඕන මොනවාද?
2 යෙහෝවා දෙවි වෙතට හැරෙන්න: දෙවිගේ මහත් දවසෙන් කෙනෙකුව බේරන්න පුළුවන් දෙවිට විතරයි. ඒ නිසා ඉතුරු වෙලා තිබුණු කෙටි කාලයේදී දෙවි වෙතට හැරෙන්න, දෙවිගේ ධර්මිෂ්ඨකම හොයන්න, නිහතමානීව කටයුතු කරන්න කියලයි ශෙපනියා කිව්වේ. (ශෙප. 2:2, 3) ඒ උපදෙස අදටත් අදාළයි. ශෙපනියා වගේ අපි යෙහෝවා දෙවි වෙතට හැරෙන්න අනිත් අයට දිරිගන්වනවා. ඒ විතරක් මදි අපිත් දෙවිගෙන් ඈත් නොවී ඉන්න අධිෂ්ඨානයක් ගන්න ඕනේ. (ශෙප. 1:6) දෙවි වෙතට හැරෙන්න පුළුවන් වෙන්නේ බයිබලය හොඳට අධ්‍යයනය කරලා මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කළොත් විතරයි. ධර්මිෂ්ඨකම හොයනවා කියන්නේ දෙවි කැමති විදිහේ නිර්මල ජීවිතයක් ගත කරන එකයි. නිහතමානීව කටයුතු කරනවා කියන්නේ දෙවිගේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් යටහත්පහත්ව පිළි අරන් ඊට ඉක්මනින්ම කීකරු වෙනවා කියන එකයි.
3. අපි අධෛර්යය නොවී දිගටම උද්යෝගයෙන් සේවය කරන්න ඕන ඇයි?
3 ලැබෙන ප්‍රතිඵල: ශෙපනියා කියපු විනිශ්චයේ පණිවිඩය වැඩිදෙනෙක් පිළිගත්තේ නැතත් යොෂියාගේ හිතට නම් ඒක හොඳට කාවැදුණා. යෞවන කාලයේදීම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතපු යොෂියා පස්සේ කාලයේදී දේශයේ රූප නමස්කාරය අයින් කරන්න ලොකු වැඩ පිළිවෙළක් යෙදුවා. (2 ලේක. 34:2-5) අදත් අපි කියන පණිවිඩය මඟ දිගේ වැටෙන, ගල් බිම්වල වැටෙන, කටු ගස් අතරේ වැටෙන බීජවලට සමාන වෙන්න පුළුවන්. ඒත් සමහර ඒවා සරු පසේ වැටෙනවා කියලා මතක තියාගන්න. (මතෙ. 13:18-23) අපි දිගටම උද්යෝගයෙන් ශුභාරංචිය කියනවා නම් අපේ වෑයම්වලට දෙවි ආශීර්වාද කරනවා.—ගීතා. 126:6.
4. දෙවිගේ දවස එන තුරු බලා සිටින්න ඕන ඇයි?
4 එදා යූදා දේශයේ හිටපු අය හිතුවේ දෙවි කිසිම පියවරක් ගන්නේ නැහැ කියලයි. ඒත් දෙවි ඔහුගේ දවස ළඟදීම එනවා කියලා සහතික කළා. (ශෙප. 1:12, 14) බේරෙන්නේ දෙවිව රැකවරණය කරගන්න අය විතරයි. (ශෙප. 3:12, 17) ‘අපිත් දෙවිගේ දවස එන තුරු බලා සිටින’ අතරේදී දෙවිගේ අනිත් සේවකයන් එක්ක එකතු වෙලා ප්‍රීතියෙන් සේවය කරමු.—ශෙප. 3:8, 9.