ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 අප්‍රියෙල් 26-29 පි.
  • “දැන් මම සේවය කරන්නේ හරිම සතුටින්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දැන් මම සේවය කරන්නේ හරිම සතුටින්”
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ සතුට නැති වුණා
  • මං වටිනා පාඩමක් ඉගෙනගත්තා
  • ආයෙත් මං උද්‍යෝගයෙන් සේවේ කරන්න පටන්ගත්තා
  • මට විශේෂ යාළුවෙක් හම්බ වුණා
  • තවත් ආශීර්වාද
  • මීට වඩා තවත් සතුටක් නැහැ
  • ඔබ යාච්ඤා කළ යුත්තේ ඇයි?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’
    2007 පිබිදෙව්!
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප්‍රියෙල් මාසය ‘වීර්යය කරමින් වැඩ කිරීමට’ කාලයකි
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 අප්‍රියෙල් 26-29 පි.
වැනෙසා විචිනි.

ජීවිත කතාව

“දැන් මම සේවය කරන්නේ හරිම සතුටින්”

වැනෙසා විචිනි

මං හැදුණේ වැඩුණේ නවසීලන්තයේ බල්ක්ලූතා නගරයේ. පුංචි කාලේ ඉඳන් මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කළා. මං රැස්වීම් ගියේ හරිම ආසාවෙන්. සහෝදර සහෝදරියන් එක්ක කතා කරද්දී මට ලොකු සතුටක් දැනුණා. සාමාන්‍යයෙන් මං අනිත් අයත් එක්ක කතා කරන්න ලැජ්ජයි. හැබැයි මං හැම සතියෙම සේවේ ගියේ හරිම සතුටින්. ඉස්කෝලේ අයට සාක්ෂි දරන්නවත් මං බය වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබිච්ච එක ගැන මට ලොකු ආඩම්බරයක් දැනුණා. අවුරුදු 11දී මං බව්තීස්ම වුණා.

මගේ සතුට නැති වුණා

යෞවන වයසට එද්දී මට ඕනෙ වුණා මගේ ඉස්කෝලේ යාළුවෝ වගේ නිදහසේ ඉන්න. අම්මායි තාත්තායි දාන නීති, බයිබල් ප්‍රතිපත්ති, රැස්වීම්, සේවය මට දැනුණේ ලොකු බරක් විදිහට. යෙහෝවා සැබෑ දෙවියන් කියන එක ගැන මට කිසිම සැකයක් තිබුණේ නැහැ. හැබැයි ඔහුත් එක්ක මට තිබුණු බැඳීම ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගත්තා.

මං එකපාරම දේශනා සේවය නතර කළේ නැහැ. ඉඳලා හිටලා මං සේවේ ගියා. හැබැයි ඒ ගියෙත් කිසිම සූදානමක් නැතුව. ඒ නිසා නැවත බැලීම්, බයිබල් පාඩම් හොයාගන්න මට පුළුවන් වුණේ නැහැ. අන්තිමේදී සේවේ යන එක මට එපාම වුණා. ‘හැම සතියකම, හැම මාසෙකම මේ සේවය කරන්න පුළුවන් කාටද’ කියලා මං මටම කියාගත්තා.

අවුරුදු 17දී මං ඕස්ට්‍රේලියාවට ගියා. මොකද මට ඕන වුණේ මං කැමති විදිහට ජීවත් වෙන්න. මං ගෙදරින් යන එක ගැන අම්මායි තාත්තායි හුඟක් දුක් වුණා. හැබැයි එයාලා හිතුවා මං කොහේ ගියත් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරයි කියලා.

ඒත් මං ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ සේවේ යන එක, රැස්වීම් යන එක තවත් අඩු වුණා. මං යාළුවෝ කරගත්තේ මං වගේම ජොලියේ ජීවත් වෙන්න කැමති අයව. අපි ඉඳලා හිටලා රැස්වීම් ගියා. අනිත් දවස්වල අපි නයිට් ක්ලබ්ස් ගිහින් කාලා, බීලා, නටලා හොඳට ජොලි කළා. ඒ කාලේ ගැන කල්පනා කරද්දී මට හිතෙන්නේ ඒ දවස්වල මං එක කකුලක් සභාවෙත් අනිත් කකුල ලෝකෙත් තියන් හිටියා කියලයි. අන්තිමේදී ඒ දෙකෙන් එකකටවත් මං අයිති වුණේ නැහැ.

මං වටිනා පාඩමක් ඉගෙනගත්තා

අවුරුදු දෙකකට විතර පස්සේ මං ජීවත් වෙන විදිහ ගැන ආපහු හිතන්න මං පෙලඹුණා. ඒ වෙද්දී මං ජීවත් වුණේ තවත් තනිකඩ සහෝදරියන් හතරදෙනෙක් එක්ක. එක සැරයක් අපි චාරිකා යුවළකට අපේ ගෙදර නවාතැන් දුන්නා. ඒ සහෝදරයා සභාවේ වැඩවලට ගියාම එයාගේ බිරිඳ අපේ කිට්ටු යාළුවෙක් වගේ හරිම විනෝදෙන් අපිත් එක්ක කතා කරකර හිටියා. එයා දෙවියන්ට උපරිමෙන් සේවේ කරන ගමන් එච්චර සතුටින් ඉන්න එක ගැන මට පුදුම හිතුණා. එයා හරිම නිහතමානියි. එයා නිසා තමයි මගේ ජීවිතේ ගැන ආපහු වතාවක් හිතන්න මං පෙලඹුණේ.

එයාගේ නම තමාරා. එයා යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරේ කළා. සේවේ හවුල් වුණේ ලොකු උද්‍යෝගයකින්. එයා එච්චර සතුටින් හිටියේ එයාගේ උපරිමය දෙවියන්ට දීපු නිසයි කියලා මං තේරුම්ගත්තා. සේවෙන් මට සතුටක් ලැබුණේ නැත්තේ මං ඒක ඕනෑවට එපාවට කරපු නිසයි. ඇත්තටම තමාරාගේ ආදර්ශය මට ලොකු බලපෑමක් වුණා. ‘සතුටින් ප්‍රීති ඝෝෂා නඟමින්’ යෙහෝවා දෙවියන්ට සේවය කරන එක කොච්චර වැදගත්ද කියලා මං තේරුම්ගත්තා.—ගීතා. 100:2.

ආයෙත් මං උද්‍යෝගයෙන් සේවේ කරන්න පටන්ගත්තා

මටත් ඕනෙ වුණා තමාරා වගේ සතුටින් ඉන්න. හැබැයි ඒකට මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් කරගන්න වුණා. මං ටිකෙන් ටික ඒ වෙනස්කම් කරගන්න පටන්ගත්තා. අවුරුදු තුනකට විතර පස්සේ මං විටින් විට සහායක පුරෝගාමි සේවය කළා. ඒක මට උදව් වුණා සේවේ හවුල් වෙන්න තිබුණු බය නැති කරගන්න. සේවේ යද්දී මං වැඩිපුර බයිබලය පාවිච්චි කරපු නිසා සේවෙන් මට ලොකු සතුටක් ලැබුණා. වැඩි කාලයක් යන්න කලින් මං දිගටම සහායක පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා.

සභාවේ උද්‍යෝගයෙන් සේවේ කරපු හැමෝවම යාළුවන් කරගන්න මං උත්සාහ කළා. මගේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලත් හැමදාම බයිබලය අධ්‍යයනය කරන එක කොච්චර වැදගත්ද කියලත් මං එයාලගෙන් ඉගෙනගත්තා. සේවේ හවුල් වෙන්න මට තිබුණු ආසාව තවත් වැඩි වුණු නිසා මං ස්ථාවර පුරෝගාමියෙක් වුණා. අවුරුදු ගාණකට පස්සේ පුංචි කාලේ රැස්වීම් ගියාම දැනුණු සතුට මට ආයෙත් දැනෙන්න පටන්ගත්තා.

මට විශේෂ යාළුවෙක් හම්බ වුණා

අවුරුද්දකට පස්සේ මට ඇලෙක්ස්ව මුණගැහුණා. එයා හරිම කාරුණික, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, උද්‍යෝගයෙන් සේවේ හවුල් වෙන කෙනෙක්. ඒ වෙද්දී එයා සහායක සේවකයෙක්. අවුරුදු හයක්ම එයා පුරෝගාමි සේවය කරලා තිබුණා. මලාවිවල ප්‍රචාරකයන් අඩු නිසා එයා එහේ මාස හතඅටක් සේවේ කරලා තිබුණා. එහෙදී එයාට ආශ්‍රය කරන්න ලැබුණු මිෂනාරිවරුන් එයාව දිරිගන්වලා තියෙනවා දෙවියන්ට කරන සේවයට දිගටම මුල් තැන දෙන්න කියලා.

2003දී මායි ඇලෙක්සුයි විවාහ වුණා. එදා ඉඳන් දිගටම අපි පූර්ණකාලීන සේවය කරනවා. ජීවිතේට හුඟක් වටිනා පාඩම් ඉගෙනගන්නත් හිතාගන්නවත් බැරි පැතිවලින් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්නත් ඒක අපිට උදව් වුණා.

තවත් ආශීර්වාද

යෞවන සහෝදරියක් එක්ක වැනෙසා සේවේ යන ගමන්.

නැඟෙනහිර ටිමෝරයේ සේවේ යද්දී

2009දී නැඟෙනහිර ටිමෝරයේ මිෂනාරිවරුන් විදිහට සේවේ කරන්න අපිට ආරාධනාවක් ලැබුණා. ඒ ගැන අපිට පුදුම හිතුණා. ලොකු සතුටකුත් දැනුණා. ඒත් එක්කම පොඩි බයකුත් දැනුණා. මාස පහකට පස්සේ අපි එහේ අගනුවර වන ඩිලිවලට ගියා.

එහේ හැම දේටම අපිට අලුතින් හැඩගැහෙන්න වුණා. එහේ තිබුණු සංස්කෘතිය, භාෂාව, කෑම බීම ඒ හැම දෙයක්ම වෙනස්. සේවේ යද්දී හුඟක් දුප්පත් අයව, එච්චර ඉගෙනගෙන තිබුණේ නැති අයව, හුඟක් දුක් විඳින අයව අපිට මුණගැහුණා. ඒ වගේම යුද්දේ නිසා හරි වෙන ප්‍රචණ්ඩකාරී සිද්ධියක් නිසා හරි තුවාල වෙලා ඉන්න, මානසිකව වැටිලා ඉන්න හුඟදෙනෙක්වත් අපි දැක්කා.a

එහේ කරපු සේවය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දවසක් සේවේ යද්දී අවුරුදු 13ක් වයස මරියාවb මට මුණගැහුණා. අවුරුදු කීපයකට කලින් එයාගේ අම්මා මැරිලා. තාත්තා හිටියේ වෙන තැනක නිසා එයාට තාත්තාව දකින්න ලැබුණෙත් හරිම කලාතුරකින්. එහේ හිටිය හුඟක් ළමයින්ට වගේ මරියාගේ ජීවිතේටත් කිසිම අරමුණක් තිබුණේ නැහැ. දවසක් එයා අඬඅඬ එයාගේ හිතේ තියෙන දේවල් මට කිව්වා. හැබැයි එයා කියපු කිසිම දෙයක් මට තේරුණේ නැහැ. මොකද ඒ වෙද්දී එයාගේ භාෂාව ඉගෙනගන්න මං පටන් අරන් තිබුණා විතරයි. ඉතින් මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා එයාව දිරිගන්වන්න මට උදව් කරන්න කියලා. ඊටපස්සේ මං එයාට ඇහෙන්න බයිබල් පද ටිකක් කියෙව්වා. අවුරුදු කීපයක් යද්දී මරියා එයාගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගත්තා. එයා බව්තීස්ම වුණා. දැන් එයාටත් බයිබල් පාඩම් තියෙනවා. එයා දැන් ඉන්නේ හරිම සතුටින්. එයා තනි වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන්ට ආදරේ කරන ලොකු පවුලක් එයාට ලැබිලා තියෙනවා.

නැඟෙනහිර ටිමෝරයේ දේශනා සේවයට යෙහෝවා දෙවියන් හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. එහේ ඉන්න හුඟක් ප්‍රචාරකයන් බව්තීස්ම වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 10 ඇතුළත වුණත් එයාලගෙන් හුඟදෙනෙක් පුරෝගාමීන්, සහායක සේවකයන් සහ වැඩිමහල්ලන් විදිහට සේවය කරනවා. තවත් අය බයිබලය මත පදනම් ප්‍රකාශන එයාලගේ භාෂාවලට පරිවර්තනය කරන්න හවුල් වෙනවා. එයාලා රැස්වීම්වලට ඇවිත් ගීතිකා කියනවා ඇහෙද්දී, සතුටින් ඉන්නවා දකිද්දී, යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන තියෙන විදිහ දකිද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.

වැනෙසායි ඇලෙක්සුයි තවත් සහෝදරයන් තුන්දෙනෙකුයි මෝටර් සයිකල්වල ගිහින් සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදාහරින ගමන්.

ප්‍රචාරකයන් අඩු පළාතක ඇලෙක්ස් එක්ක සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදා දෙන ගමන්

මීට වඩා තවත් සතුටක් නැහැ

නැඟෙනහිර ටිමෝරයේ අපි ගත කරපු ජීවිතය ඕස්ට්‍රේලියාවේ අපි ගත කරපු ජීවිතේට වඩා හාත්පසින්ම වෙනස්. සමහර වෙලාවට අපි ගිය බස්වල ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ මදිවට කරවලයි, එළවළුයි පටවගෙනත් තිබුණා. සමහර වෙලාවට අපි බයිබල් පාඩම් කළේ හුඟක් පොඩි ගෙවල්වල. ඒවා ඇතුළේ හරිම රස්නෙයි. ඒ මදිවට කුකුල් පැටවුනුත් එහේ මෙහේ දුවනවා. කොච්චර අභියෝග තිබුණත් එහේ කරපු සේවය මට කවදාවත් එපා වුණේ නැහැ.

වැනෙසායි ඇලෙක්සුයි තවත් කීපදෙනෙකුයි සෙනඟ පිරුණු වෑන් එකක නැඟලා ඉන්නවා. සහෝදරයන් තුන්දෙනෙක් ඒකේ එල්ලිලා ඉන්නවා.

අපි සේවේ කරන ප්‍රදේශයට යන ගමන්

පුංචි කාලේ ඉඳන් විශේෂයෙන්ම මං මුරණ්ඩු විදිහට වැඩ කරපු යෞවන කාලෙදීත් මට යෙහෝවා දෙවියන් ගැන උගන්වලා මට ගොඩක් උදව් කරපු මගේ අම්මාටයි තාත්තාටයි මං හැමදාමත් ණයගැතියි. මගේ ජීවිතේ ගැන හිතද්දී හිතෝපදේශ 22:6 කියන දේ මොන තරම් ඇත්තක්ද කියලා පැහැදිලි වෙනවා. දැන් මගේ අම්මායි තාත්තායි මං ගැනයි ඇලෙක්ස් ගැනයි ගොඩක් ආඩම්බර වෙනවා. අපි දෙන්නා යෙහෝවා දෙවියන්ට සේවය කරන එක ගැන එයාලට හරිම සතුටුයි. 2016 ඉඳන් අපි දෙන්නාට ඔස්ට්‍රලේසියාවේ ශාඛා කාර්යාලය යටතේ තියෙන ප්‍රදේශවල චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබුණා.

නැඟෙනහිර ටිමෝරයේ දරුවන් කීපදෙනෙක්ට දුලේන්ගේ කාටූන් එකක් පෙන්නමින්

කාලයක් මං සේවේ යන්න අකමැති වුණේ ඇයි කියලා දැන් මට හිතාගන්නවත් බැහැ. ජීවිතේ මොන දේවලට මුහුණ දෙන්න වුණත් නියම සතුට ලැබෙන්නේ මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට සේවය කරන එකෙන් කියලා දැන් මං දන්නවා. ඇලෙක්ස් එක්ක යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ලැබුණු පහුගිය අවුරුදු 18 තමයි මගේ ජීවිතේ මං ගත කරපු හොඳම කාලය. දාවිත් යෙහෝවා දෙවියන් ගැන කියපු මේ දේ කොච්චර ඇත්තක්ද කියලා මං මගේ ජීවිතෙන්ම අද්දැක්කා. “ඔබේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය. සදහටම ඔවුහු සතුටින් ප්‍රීති ඝෝෂා නඟති. ඔබේ නාමයට ප්‍රේම කරන්නෝ සතුටින් ඉපිල යන්නෝය.”—ගීතා. 5:11.

වැනෙසායි ඇලෙක්සුයි මිදුලේ ඉඳගෙන කාන්තාවකටයි එයාගේ දරුවාටයි බයිබල් පාඩමක් කරනවා.

නිහතමානී අයට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න ලැබුණු එක මොන තරම් සතුටක්ද!

a 1975 ඉඳලා නැඟෙනහිර ටිමෝරය ස්වාධීන රාජ්‍යයක් පිහිටුවාගන්න අවුරුදු 20ක් තිස්සේ සටන් කළා.

b නම වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න