ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ජූනි 14-19 පි.
  • සාතන්ගේ උගුල්වලට අහු වෙන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාතන්ගේ උගුල්වලට අහු වෙන්න එපා!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උඩඟුකම
  • කෑදරකම
  • උගුල්වලට අහු වෙන්න එපා
  • ගිජුකමේ මලපත මඟ හැරීමෙහිලා සාර්ථක වන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ජූනි 14-19 පි.

පාඩම් ලිපිය 24

සාතන්ගේ උගුල්වලට අහු වෙන්න එපා!

‘යක්ෂයාගේ උගුලෙන් මිදෙන්න.’—2 තිමෝ. 2:26.

ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු

මේ ලිපියෙන්a

1. සාතන්ව දඩයක්කාරයෙක්ට සමාන කරන්න පුළුවන් ඇයි?

දඩයක්කාරයෙක්ට ඕනෙ එක්කෝ සතෙක්ව පණපිටින් අල්ලගන්න නැත්නම් ඌව මරලා දාන්න. ඒ දේ කරන්න එයා එක එක ජාතියේ උගුල් පාවිච්චි කරනවා. යෝබ්ව සනසන්න ආපු බොරු සැනසිලිකාරයෙකුත් ඒ වගේ උගුලක් ගැන කතා කළා. (යෝබ් 18:8-10) සතෙක්ව අල්ලගන්න දඩයක්කාරයෙක් කරන්නේ මොනවාද? මුලින්ම ඒ සතා යන එන තැන් ගැන, ඌ ආස කරන දේවල් ගැන එයා හොඳට නිරීක්ෂණය කරනවා. ඊටපස්සේ ඌව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් මොන උගුලෙන්ද කියලා එයා කල්පනා කරනවා. සාතන් කරන්නෙත් ඒ දේවල්ම තමයි. එයා අපි එක් එක් කෙනා ගැන ඇහැගහගෙනයි ඉන්නේ. අපි යන එන තැන් ගැන, අපි ආස දේවල් ගැන එයා හොඳට නිරීක්ෂණය කරනවා. ඊටපස්සේ අපිව ලේසියෙන්ම අහු කරගන්න පුළුවන් වෙයි කියලා හිතන උගුලක් සාතන් අටවනවා. හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද සාතන්ගේ උගුල්වලට අහු වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් දැනටමත් අපි උගුලකට අහු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කොහොමද කියලත් බයිබලේ සඳහන් වෙනවා.

පින්තූරවල අදහස: 1. වැඩිමහල්ලන් දෙන්නෙක්ගෙන් ලැබෙන මඟ පෙන්වීමක් සහෝදරයෙක් උඩඟු විදිහට ප්‍රතික්ෂේප කරනවා. 2. උගුලටක අහු වෙලා ඉන්න කෙනෙක් ඒකෙන් බේරෙන්න බැරිව අසරණ වෙලා ඉන්නවා. 3. බඩු ගොඩක් අරන් තියෙන සහෝදරියක් තවත් දේවල් දිහා ආසාවෙන් බලනවා.

සාතන් පාවිච්චි කරන උගුල් අතරින් ප්‍රධානම උගුල් දෙක තමයි උඩඟුකම සහ කෑදරකම (2 ඡේදය බලන්න)c

2. සාතන් පාවිච්චි කරන ප්‍රධාන උගුල් දෙක මොනවාද?

2 සාතන් පාවිච්චි කරන උගුල් අතරින් ප්‍රධානම උගුල් දෙකක් තමයි උඩඟුකම සහ කෑදරකම.b අවුරුදු දහස් ගාණක් තිස්සේ එයා ඒ උගුල් හරිම දක්ෂ විදිහට පාවිච්චි කරලා තියෙනවා. බයිබලේ සාතන්ව කුරුලු දඩයක්කරුවෙක් විදිහටත් හඳුන්වලා තියෙනවා. (ගීතා. 91:3) සාතන්ගේ උගුල්වලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? දැනටමත් අපි උගුලකට අහු වෙලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද කියලා දැන් අපි බලමු.—2 කොරි. 2:11.

පින්තූරවල අදහස: උඩඟු සහ කෑදර විදිහට වැඩ කරපු අය. සාතන්, උසියා රජ, දාවිත් රජ, යූදස් ඉස්කාරියොත්. ඒ අය ගැන මේ ලිපියේ 4, 7, 9, 10 සහ 12 ඡේදවල සඳහන් වෙනවා.

සාතන්ගේ උගුල්වලට අහු නොවී ඉන්නත් අහු වුණු උගුල්වලින් ගැලවෙන්නත් බයිබලේ සඳහන් සිද්ධීන් අපිට උදව් වෙනවා (3 ඡේදය බලන්න)d

3. අතීතයේ හිටිය සමහර අය ගැන දෙවියන් බයිබලේට ඇතුළත් කරලා තියෙන්නේ ඇයි?

3 බයිබලේ තියෙන තොරතුරු අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කෙනෙක්ව වුණත් උගුලකට අහු කරගන්න සාතන්ට පුළුවන් කියලා. හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද අපිට “අනතුරු ඇඟවීමක්” හැටියට සාතන්ගේ උගුල්වලට අහු වුණ අය ගැන යෙහෝවා දෙවියන් බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. (1 කොරි. 10:11) යෙහෝවා දෙවියන් දන්නවා ඒ අවාදර්ශවලින් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ තොරතුරු හොඳට අධ්‍යයනය කරනවා නම් සාතන්ගේ උගුල්වලට අහු නොවී ඉන්නත් දැනටමත් අහු වෙලා තියෙන උගුල්වලින් බේරෙන්නත් අපිට පුළුවන්.

උඩඟුකම

ඒදන් උයනේ සතුටින් ඉන්න ආදම් සහ ඒව දිහා සාතන් බලාගෙන ඉන්නවා.

4 ඡේදය බලන්න

4. අපි උඩඟු වුණොත් මොනවා වෙයිද?

4 උඩඟුකම නිසා හැමදාටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව සාතන් නැති කරගත්තා. එයාට ඕනෙ අපිත් උඩඟු වෙලා හැමදාටම ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරගන්නවා දකින්න. (හිතෝ. 16:18) ඒ නිසයි පාවුල් අනතුරු ඇඟෙව්වේ කෙනෙක් “තුළ අහංකාරකම ඇති විය හැකි අතර යක්ෂයාට ලැබුණු විනිශ්චය ඔහුටද ලැබිය හැක” කියලා. (1 තිමෝ. 3:6, 7) ඉතින් අපි සත්‍යයට අලුතෙන් ආපු කෙනෙක් වුණත් අවුරුදු ගාණක් තිස්සේ සත්‍යයේ ඉන්න කෙනෙක් වුණත් පරෙස්සම් වුණේ නැත්නම් අපෙන් ඕනම කෙනෙක් ඒ උගුලට වැටෙන්න පුළුවන්.

5. දේශනාකාරයා 7:16, 20 අනුව උඩඟු කෙනෙක් වැඩ කරන්නේ කොයි විදිහටද?

5 උඩඟු කෙනෙක් හිතන්නේ තමන් ගැනම විතරයි. සාතනුත් උත්සාහ කරන්නේ විශේෂයෙන්ම අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් ගැන හිතනවා වෙනුවට අපි ගැනම හිතන්න අපිව පොලඹවන්නයි. උදාහරණෙකට කවුරු හරි ඔයාට බොරු චෝදනාවක් කළාද? ඔයාට අසාධාරණ විදිහට සැලකුවාද? එහෙනම් ඔයා ඒ ගැන යෙහෝවා දෙවියන් එක්කත් සහෝදරයන් එක්කත් කේන්ති අරන් වැඩ කළොත් සාතන් ඒ ගැන ගොඩක් සතුටු වෙයි. ඒ වගේ වෙලාවට දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා වෙනුවට ඔයාට හරියි කියලා හිතෙන දේ කරන්න ඔයාව පොලඹවන්නයි සාතන් උත්සාහ කරන්නේ.—දේශනාකාරයා 7:16, 20 කියවන්න.

6. නෙදර්ලන්තයේ ඉන්න සහෝදරියගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

6 නෙදර්ලන්තයේ ඉන්න සහෝදරියකගේ අද්දැකීම බලන්න. අනිත් අය අතින් වෙන අඩුපාඩු ගැන එයාට හුඟක් කේන්ති ගියා. ඒ ගැන එයා කියන දේ බලන්න. “සහෝදරයන් ගැන මගේ හිතේ ඇති වුණු කේන්තිය මට නැති කරගන්න බැරි වුණා. මට ලොකු තනිකමක් දැනුණා. අන්තිමේදී මං මහත්තයාට කිව්වා ‘අපි වෙන සභාවකට යමු’ කියලා.” හැබැයි 2016 මාර්තු මාසේ බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ තිබුණු තොරතුරු එයාට උදව් වෙලා තියෙනවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඒක බලද්දී මට තේරුණා මං වැඩි අවධානයක් දෙන්න ඕනෙ මගේ අඩුපාඩුවලට මිසක් සහෝදරයන්ගේ අඩුපාඩුවලට නෙවෙයි කියලා. ඒ වගේම මං ගැන හිතනවා වෙනුවට යෙහෝවා දෙවියන් ගැන හිතන්නත් ඒක මට උදව් වුණා.” අපිත් ප්‍රශ්නවලට මුහුණ දෙද්දී දිගටම යෙහෝවා දෙවියන් ගැන හිතන එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් පැහැදිලියි නේද? ඉතින් අනිත් අය අතින් වැරදි වෙද්දී දිගටම එයාලා දිහා දෙවියන් බලන විදිහට බලන්න උදව් කරන්න කියලා ලොකු ඕනෙකමකින් යාච්ඤා කරන්න. මොකද යෙහෝවා දෙවියනුත් එයාලගේ අඩුපාඩු දකිනවා. ඒත් ඔහු කැමැත්තෙන්ම එයාලට සමාව දෙනවා. දෙවියන්ට ඕනෙ ඔයාත් ඒ දේම කරනවා දකින්නයි.—1 යොහ. 4:20.

උසියා රජ සුවඳ දුම් ඔප්පු කරන්න හදද්දී උත්තම පූජකයායි, අනිත් පූජකයනුයි එයාව නවත්වන්න හදනවා.

7 ඡේදය බලන්න

7. උසියා රජට වුණේ මොකක්ද?

7 උසියා රජ මුලදී නිහතමානී විදිහට වැඩ කරපු කෙනෙක්. එයා දක්ෂ විදිහට යුද්ධ ජයග්‍රහණය කළා. ඉදි කිරීම් කටයුතු කළා. වගා කටයුතු කළා. බයිබලේ කියන්නේ ‘සැබෑ දෙවි ඔහුට ආශීර්වාද කළා’ කියලයි. (2 ලේක. 26:3-7, 10) හැබැයි ‘බලවත් පාලකයෙක් වුණාට පස්සේ එයා උඩඟු විදිහට වැඩ කරන්න පටන්ගත්තා.’ උදාහරණෙකට දේවමාලිගාවේ සුවඳ දුම් ඔප්පු කරන්න පුළුවන් පූජකයන්ට විතරයි කියලා යෙහෝවා දෙවියන් පැහැදිලිව කියලා තිබුණත් හිතුමතේට වැඩ කරපු උසියා රජ දේවමාලිගාවේ සුවඳ දුම් ඔප්පු කළා. අන්තිමේදී යෙහෝවා දෙවියන් උසියාට දඬුවම් කරපු නිසා ජීවිත කාලය පුරාම ලාදුරු රෝගියෙක් විදිහට ඉන්න එයාට සිද්ධ වුණා.—2 ලේක. 26:16-21.

8. උඩඟු නොවී ඉන්න 1 කොරින්ති 4:6, 7 කියන දේ උදව් වෙන්නේ කොහොමද?

8 උසියා වගේ අපිත් උඩඟු විදිහට වැඩ කරන්න පෙලඹෙයිද? පරෙස්සම් වුණේ නැත්නම් එහෙම වෙන්න පුළුවන්. උදාහරණෙකට සහෝදර හොසේගේ අද්දැකීම බලන්න. එයා දක්ෂ විදිහට ව්‍යාපාර වැඩ කරන ගමන් වැඩිමහල්ලෙක් විදිහට එයාට තිබුණු වගකීමුත් හොඳින්ම ඉටු කළා. එයා සමුළුවලත් දේශන දුන්නා. ඒ විතරක් නෙවෙයි චාරිකා සේවකයනුත් එයාගෙන් උපදෙස් අරන් තියෙනවා. එයා මෙහෙම කියනවා. “කාලයක් යද්දී මං යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ගැන හොයලා බලනවා වෙනුවට මගේම හැකියාවන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවියන් මට අනතුරු ඇඟවීම්, උපදෙස් දුන්නත් මං ඒවා ගණන්ගත්තේ නැහැ.” අන්තිමේදී එයා බරපතළ වරදක් කරපු නිසා එයාව සභාවෙන් ඉවත් කළා. අවුරුදු කීපයකට කලින් එයාව ආයෙත් සභාවට පිළි අරන් තියෙනවා. දැන් එයා මෙහෙම කියනවා. “වැඩියෙන්ම වැදගත් වෙන්නේ යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක මිසක් තනතුරු දරන එක නෙවෙයි කියලා යෙහෝවා දෙවියන් මට ඉගැන්නුවා.” මොකක්ද පාඩම? අපිට වගකීම්, වරප්‍රසාද ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන් කියලා අපි කවදාවත් අමතක කරන්න නරකයි. (1 කොරින්ති 4:6, 7 කියවන්න.) මොකද අපි උඩඟු විදිහට වැඩ කළොත් යෙහෝවා දෙවියන් ඒ කිසිම දෙයක් අපිට දෙන්නේ නැහැ.

කෑදරකම

ගහක ඉන්න සර්පයෙක් මාර්ගයෙන් සාතන් කතා කරද්දී ඒව අහන් ඉන්නවා.

9 ඡේදය බලන්න

9. කෑදරකම නිසා සාතන් සහ ඒව කළේ මොකක්ද?

9 කෑදරකම ගැන හිතද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ සාතන්ව. යෙහෝවා දෙවියන්ගේ දේවදූතයෙක් විදිහට ඉද්දී එයා කොච්චර වරප්‍රසාද අද්දකින්න ඇද්ද! හැබැයි ඒ කිසිම දේකින් එයා සෑහීමට පත් වුණේ නැහැ. එයාට ඕනෙ වුණා යෙහෝවා දෙවියන්ට යන නමස්කාරය තමන්ට ලබාගන්න. එයා වගේ කෑදර විදිහට වැඩ කරන්න අපිවත් පොලඹවන්නයි සාතන් උත්සාහ කරන්නේ. එයා මුලින්ම ඒ දේ කළේ ඒවට. යෙහෝවා දෙවියන් උයනේ ‘සියලු ගස්වලින් ඇති තරම් කන්න’ ආදම්ටයි, ඒවටයි නිදහස දීලා තිබුණා. හැබැයි එක ගහකින් විතරක් කන්න එපා කියලා දෙවියන් එයාලට කිව්වා. (උත්. 2:16) දෙවියන් එපා කියපු ඒ ගහෙන් කන්න සාතන් හරිම කපටි විදිහට ඒවව පෙලඹෙව්වා. ඒව ඒ ගහෙන් කන්න පෙලඹුණේ තමන්ට ලැබිලා තිබුණු දේවලින් එයා සෑහීමට පත් වුණේ නැති නිසයි. අන්තිමේදී එයා වයසට ගිහින් මැරුණා.—උත්. 3:6, 19.

දාවිත් රජ සඳලුතලයේ ඉඳන් පහළ බලනවා.

10 ඡේදය බලන්න

10. දාවිත් කෑදරකම කියන උගුලට අහු වුණේ කොහොමද?

10 යෙහෝවා දෙවියන් දාවිත්ට ගොඩක් දේවල් දීලා තිබුණා. උදාහරණෙකට දෙවියන් එයාට ධන සම්පත් දුන්නා. රජකම දුන්නා. යුද්ධ දිනන්න උදව් කළා. ඒ දේවල් ගැන දාවිත්ගේ හිතේ කොච්චර අගයක් තිබුණාද කිව්වොත් එයා කිව්වා, “ඒවා ගණන් කිරීමට බැරි තරම්” කියලා. (ගීතා. 40:5) හැබැයි කාලයක් යද්දී දාවිත්ට ඒ හැම දෙයක්ම අමතක වුණා. එයා තිබුණ දේවලින් සෑහීමට පත් වුණේ නැහැ. එයාට ඇති තරම් භාර්යාවන් හිටියත් එයා උරියාගේ බිරිඳ වුණු බැත්-ෂෙබා ගැන වැරදි ආශාවක් ඇති කරගත්තා. අන්තිමේදී එයා බැත්-ෂෙබා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු නිසා බැත්-ෂෙබාට දරුවෙක් ලැබෙන්න හිටියා. දාවිත් කළේ මොන තරම් ලොකු වරදක්ද! ඒත් එයා එතනින් නතර වුණේ නැහැ. එයා උරියාව මරන්නත් සැලසුම් කළා. (2 සාමු. 11:2-15) දෙවියන්ට විශ්වාසවන්තව හිටපු දාවිත් ඒ තරම් ලොකු වැරදි කරන්න පෙලඹුණේ ඇයි? එහෙම වුණේ කෑදරකම කියන උගුලට එයා අහු වුණ නිසයි. හැබැයි තමන් අතින් වුණු බරපතළ වැරදි ගැන දාවිත් අවංකවම පසුතැවිලි වුණ නිසා එයාට ආයෙත් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ලැබුණා.—2 සාමු. 12:7-13.

11. කෑදරකම කියන උගුලට නොවැටී ඉන්න එෆීස 5:3, 4 උදව් වෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන දේවල් ගැන දිගටම අපේ හිතේ ලොකු අගයක් තියාගන්නවා නම් කෑදරකම කියන උගුලට නොවැටී ඉන්න පුළුවන් කියලා දාවිත්ට වුණු දෙයින් අපි ඉගෙනගත්තා. (එෆීස 5:3, 4 කියවන්න.) ඇත්තටම අපි හැමෝම සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න එක හරිම වැදගත්. ඒ දේ කරන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරද්දී අපි සාමාන්‍යයෙන් පාඩම පටන්ගත්ත මුලම එයාට කියනවා හැම දවසකම යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන දෙයක් ගැන හොඳට හිතලා ඒ ගැන ඔහුට ස්තුති කරන්න කියලා. එයා එහෙම කළොත් සතියක් අවසානයේදී දේවල් හතක් ගැනම එයා දෙවියන්ට ස්තුති කරලයි තියෙන්නේ. (1 තෙස. 5:18) යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන දේවල් ගැන ඔයාත් ඔහුට ස්තුති කරනවාද? ඔහුගෙන් ඔයාට කොච්චර දේවල් ලැබිලා තියෙනවාද කියලා කල්පනා කළොත් ඔහුට ස්තුති කරන්න ඔයාට ඕන තරම් හේතු තියෙයි. එතකොට ඒ දේවල් ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙයි. ඒ අගය වැඩි වෙන තරමටම තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේම කෑදරකම කියන උගුලට නොවැටී ඉන්නත් ඔයාට පුළුවන් වෙයි.

යූදස් ඉස්කාරියොත් මුදල් පෙට්ටියෙන් කාසියක් අරන් එයාගේ මුදල් පසුම්බියේ දාගන්නවා.

12 ඡේදය බලන්න

12. කෑදරකම නිසා යූදස් ඉස්කාරියොත් කළේ මොකක්ද?

12 යේසුස්ට ද්‍රෝහි වෙලා ඔහුව පාවලා දීපු යූදස් මුලදී හරිම හොඳ කෙනෙක්. ඒ නිසා තමයි යේසුස් එයාව නියෝජිතයෙක් විදිහට තෝරගත්තේ. (ලූක් 6:13, 16) එයා වගකීමෙන් වැඩ කරපු කෙනෙක් නිසා එයාට මුදල් පෙට්ටියත් භාර දීලයි තිබුණේ. ඒ පෙට්ටියේ තිබුණු සම්මාදම්වලින් තමයි දේශනා සේවයට යන වියදම් එයාලා පියවගත්තේ. ඒක හරියට අද අපි ලෝක ව්‍යාප්ත සේවයට දාන සම්මාදම් වගේ. කාලයක් යද්දී යූදස් වෙනස් වුණා. එයා මුදල් පෙට්ටියෙන් සල්ලි හොරකම් කරන්න පටන්ගත්තා. කෑදරකම ගැන යේසුස් කීපවතාවක්ම අනතුරු අඟවලා තිබුණත් එයා ඒවා කනකටවත් ගත්තේ නැහැ.—මාක් 7:22, 23; ලූක් 11:39; 12:15.

13. යූදස්ගේ හිතේ කෑදරකමක් ඇති වෙලා තිබුණා කියලා පැහැදිලි වුණේ මොන අවස්ථාවේද?

13 යේසුස් මැරෙන්න ටික දවසකට කලින් සිද්ධ වෙච්ච දේකින් පැහැදිලි වුණා යූදස්ගේ හිතේ කෑදරකමක් තිබුණා කියලා. ඒ සිද්ධිය වුණේ ලාදුරු රෝගියෙක් වුණු සීමොන්ගේ ගෙදරදී. එදා යේසුයි, මාර්තායි, මරියායි යේසුස්ගේ අනිත් ගෝලයනුයි එහෙට ඇවිල්ලයි තිබුණේ. එයාලා කෑම කකා ඉන්න අතරතුරේදී මරියා සුවඳ ඇති ජටාමාංස තෙල් යේසුස්ගේ හිසේ වත් කළා. ඒක හුඟක් වටින තෙල් ජාතියක්. ඒ නිසා මරියා කරපු ඒ දේ ගැන යූදස්ටයි අනිත් ගෝලයන්ටයි හුඟක් කේන්ති ගියා. සමහරවිට අනිත් ගෝලයන්ට හිතෙන්න ඇති ඒ තෙල් ටික විකුණලා ඒකෙන් ලැබෙන සල්ලි මුදල් පෙට්ටියට දැම්මා නම් කොච්චර හොඳද කියලා. හැබැයි යූදස්ගේ හිතේ තිබුණේ වෙන දෙයක්. මොකද ‘එයා හොරෙක්.’ එයාට ඕනෙ වුණේ මුදල් පෙට්ටියේ තියෙන සල්ලි හොරකම් කරන්න. අන්තිමේදී සල්ලිවලට තිබුණු කෑදරකම නිසා එයා හරිම සුළු මුදලකට යේසුස්ව පාවලා දුන්නා.—යොහ. 12:2-6; මතෙ. 26:6-16; ලූක් 22:3-6.

14. යුවළක් ලූක් 16:13 අදාළ කරගත්තේ කොහොමද?

14 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා, “දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ” කියලා. (ලූක් 16:13 කියවන්න.) රුමේනියාවේ යුවළක් ඒ උපදෙස අදාළ කරගත්තේ කොහොමද කියලා බලන්න. එයාලට හුඟක් පොහොසත් රටක හොඳ පඩියක් ලැබෙන රස්සාවක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන එයාලා මෙහෙම කියනවා. “අපිට ලොකු බැංකු ණයක් ගෙවන්න තිබුණා. ඉතින් අපිට හිතුණා මේ ජොබ් එක අපිට යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාදයක් කියලා.” හැබැයි ඒ රස්සාව ගැන හොයලා බලද්දී එයාලට තේරුණා ඒ රස්සාවට ගියොත් එයාලා යෙහෝවා දෙවියන්ට කරන සේවය අඩු කරන්න වෙනවා කියලා. ඒ නිසා හරි තීරණයක් ගන්න 2008 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ තිබුණු “මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න” කියන ලිපිය එයාලට උදව් වුණා. එයාලා ඒ ගැන මෙහෙම කියනවා. “අපි වෙන රටකට ගිහින් හොඳට සල්ලි හම්බ කළත් ඒකෙන් දෙවියන්ට කරන සේවය අඩු වෙනවා නම් ඒ කියන්නේ අපි කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ට දෙන්න ඕන තැන සල්ලිවලට දීලා තියෙනවා කියන එකයි. අපි තේරුම්ගත්තා අපි ඒ ජොබ් එකට ගියොත් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙයි කියලා.” ඒ නිසා ඒ රස්සාව එයාලා භාරගත්තේ නැහැ. ඊටපස්සේ මොකද වුණේ කියලා දන්නවාද? ඒ සහෝදරයාට ප්‍රමාණවත් මුදලක් ලැබෙන රස්සාවක් එයාලගේ රටෙන්ම ලැබුණා. ඒ ගැන ඒ සහෝදරිය කිව්වේ, “යෙහෝවා දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැ” කියලයි. මුදල් පස්සේ යනවා වෙනුවට යෙහෝවා දෙවියන්ට මුල් තැන දෙන්න පුළුවන් වුණු එක ගැන ඒ යුවළ ගොඩක් සතුටු වෙනවා.

උගුල්වලට අහු වෙන්න එපා

15. සාතන්ගේ උගුලකට අහු වුණු කෙනෙක්ට වුණත් ඒකෙන් ගොඩ එන්න පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

15 උඩඟුකම කියන උගුලට හරි කෑදරකම කියන උගුලට හරි අපි දැනටමත් අහු වෙලයි ඉන්නේ කියලා තේරුණොත් මොකද කරන්නේ? අපිට පුළුවන් ඒකෙන් ගොඩ එන්න. එක අවස්ථාවක පාවුල් යක්ෂයාගේ උගුල්වලට අහු වුණු අයව ‘පණපිටින් අල්ලාගත් සතුන්ට’ සමාන කළා. ඒ වගේම එයාලට යක්ෂයාගේ උගුල්වලින් මිදෙන්න පුළුවන් කියලත් එයා කිව්වා. (2 තිමෝ. 2:26) උදාහරණෙකට දාවිත් ගැන හිතන්න. එයා කෑදරකම කියන උගුලට අහු වුණත් නාතාන් දීපු උපදෙස් පිළි අරන් අවංකවම පසුතැවිලි වුණු නිසා එයාට ආයෙත් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවියන් යක්ෂයාට වඩා ගොඩක් බලවත් කියලා කවදාවත් අමතක කරන්න එපා. අපි යෙහෝවා දෙවියන්ගෙන් උදව් ගන්නවා නම් සාතන්ගේ ඕනම උගුලකින් ගොඩ එන්න අපිට පුළුවන්.

16. සාතන්ගේ උගුල්වලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

16 සාතන්ගේ උගුල්වලට අහු වෙන්න කලින්ම ඒ උගුල්වලට නොවැටී ඉන්න පුළුවන් කොහොමද කියලා හිතන එක හොඳයි නේද? හැබැයි ඒක කරන්න නම් අපිට දෙවියන්ගේ උදව්ව නැතුවම බැහැ. අවුරුදු ගාණක් දෙවියන්ට විශ්වාසවන්තව හිටිය අයත් උඩඟුකම සහ කෑදරකම කියන උගුල්වලට අහු වෙලා තියෙනවා. ඒ නිසා ‘මං නං කවදාවත් ඒ උගුල්වලට අහු වෙන්නෙ නැහැ’ කියලා හිතන් ඉන්න එපා. ඒ වෙනුවට උඩඟුකම, කෑදරකම වගේ දෙවියන්ට අප්‍රසන්න සිතුවිලි ඔයාගේ හිතේ කොනක හරි තියෙනවාද කියලා තේරුම්ගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (ගීතා. 139:23, 24) ඒ වගේ සිතුවිලිවලට ඔයාගේ හිතේ කිසිම ඉඩක් දෙන්න එපා.

17. අපේ සතුරා වන යක්ෂයාට ළඟදීම මොනවාද වෙන්නේ?

17 අවුරුදු දහස් ගාණක් තිස්සේ සාතන් මිනිසුන්ව දඩයම් කරලා තියෙනවා. හැබැයි තව වැඩි කාලයක් එයාට ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ. මොකද එයා සදහටම විනාශ වෙනවා. (එළි. 20:1-3, 10) ඒ කාලය එන කල් අපි හැමෝම බලාගෙන ඉන්නේ ලොකු ආසාවකින් නේද? ඉතින් ඉතිරි වෙලා තියෙන මේ ටික කාලෙදී සාතන්ගේ උගුල් ගැන හොඳ අවධානයකින් ඉන්න. උඩඟුකම සහ කෑදරකම කියන උගුල්වලට අහු නොවී ඉන්නත් උපරිමයෙන් වෑයම් කරන්න. “යක්ෂයාට විරුද්ධ වෙන්න” ඔයාට පුළුවන් හැම දේම කරන්න. එතකොට ‘සාතන් ඔයා වෙතින් පලා යයි.’—යාකො. 4:7.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • උඩඟුකම නිසා උසියාට වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • කෑදරකම නිසා දාවිත්ට සහ යූදස්ට වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • සාතන්ගේ උගුල්වලින් බේරෙන්න අපිට පුළුවන් කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

a සාතන් හරියට දක්ෂ දඩයක්කරුවෙක් වගෙයි. මොකද අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන කෙනෙක්ව වුණත් උගුල්වලට අහු කරගන්න එයාට පුළුවන්. උඩඟුකම සහ කෑදරකම කියන උගුල් දෙකට සාතන් දෙවියන්ගේ සෙනඟව අහු කරගන්න උත්සාහ කරන්නේ කොහොමද කියලා අපිට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඒ උගුල්වලට අහු වෙලා තියෙන්නේ කොහොමද කියලත් ඒවාට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

b පැහැදිලි කිරීමක්: මේ ලිපියේ උඩඟුකම කියන වචනය යොදාගෙන තියෙන්නේ තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන කෙනෙක්ව විස්තර කරන්න. කෑදරකම කියන වචනය යොදාගෙන තියෙන්නේ සල්ලි, බලය, ලිංගික ආශාවන් වගේ දේවල් පස්සේ යන අයව විස්තර කරන්න.

c පින්තූරයේ අදහස: තමන්ට ලැබෙන මඟ පෙන්වීමක් සහෝදරයෙක් උඩඟු විදිහට ප්‍රතික්ෂේප කරනවා. බඩු ගොඩක් අරන් තියෙන සහෝදරියක් තවත් දේවල් දිහා ආසාවෙන් බලනවා.

d පින්තූරයේ අදහස: දේවදූතයෙකුත් උසියා රජත් උඩඟු විදිහට වැඩ කළා. දෙවියන් කන්න එපා කියපු ගහෙන් ඒව කෑවෙත් දාවිත් බැත්-ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණෙත් යූදස් සල්ලි හොරකම් කළෙත් කෑදරකම නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න