ජීවිත කතාව
දෙවියන්ට සේවය කරලා මම අද්දකින සතුට
1958දී තමයි කැනඩාවේ බෙතෙල් එකේ මම සේවය කරන්න පටන්ගත්තේ. එතකොට මට වයස අවුරුදු 18යි. මුලින්ම මට කරන්න තිබුණේ මුද්‍රණාලයේ තිබුණ ගොඩනැඟිල්ල අතුගාන එක. ඊටපස්සේ මට වෙන පැවරුමක් ලැබුණා. ඒ තමයි මුද්‍රණය කරපු සඟරාවල අයිනේ තිබුණ වැඩිපුර කොටස් මැෂින් එකකින් කපන එක. බෙතෙල් එකේ සේවය කරන්න ලැබුණ එක ගැන මම හිටියේ හරිම සතුටින්.
ඊළඟ අවුරුද්දේ බෙතෙල් එකෙන් නිවේදනය කළා දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයෙන් මුද්‍රණ කටයුතු වැඩියෙන් කරන්න යන නිසා එහේ ගිහින් සේවය කරන්න කැමති අයගේ නම් දෙන්න කියලා. ඒකට මාවත් තෝරගෙන තියෙනවා කියලා දැනගත්තාම මට ලොකු සතුටක් දැනුණා. මාව විතරක් නෙවෙයි අපේ බෙතෙල් එකේ සේවය කරන ඩෙනිස් ලීච්, බිල් මැක්ලෙලන් සහ කෙන් නෝඩින් කියන සහෝදරයන් තුන්දෙනාවත් ඒකට තෝරගෙන තිබුණා. අපිට එහේ ගොඩ කාලයක් ඉන්න වෙනවා කියලත් අපිට දැනුම් දුන්නා.
දකුණු අප්‍රිකාවට යන එක ගැන මම අම්මාට කෝල් කරලා කිව්වා. අපේ අම්මා වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගේ විශ්වාසය නම් හරිම ශක්තිමත්. ඉතින් මම කෝල් කරපු වෙලාවේ අම්මා මට ගොඩක් දේවල් කිව්වේ නැති වුණත් මම දැනන් හිටියා අම්මා අනිවාර්යයෙන්ම මට උදව් කරනවා කියලා. මං දුර රටකට යන එක ගැන අම්මාටයි තාත්තාටයි දුකක් දැනුණත් මං ගත්ත තීරණය ගැන එයාලා කවදාවත් මට දොස් කිව්වේ නැහැ.
දකුණු අප්‍රිකාවට ගිය ගමන
ඩෙනිස් ලීච්, කෙන් නෝඩින් සහ බිල් මැක්ලෙලන් එක්ක 1959දී කේප් ටවුන්වල ඉඳන් ජොහැන්නස්බර්ග්වලට කෝච්චියකින් යන ගමන්
අවුරුදු 60කට පස්සේ අපි හතරදෙනා 2019 දී දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේදී
දකුණු අප්‍රිකාවට යන්න කලින් අපි මුලින්ම ගියේ බෘක්ලින් බෙතෙල් එකට. එහෙදී අපේ පැවරුම හොඳට කරන්න මටයි අනිත් සහෝදරයන් තුන්දෙනාටයි මාස තුනක පුහුණුවක් ලැබුණා. ඊටපස්සේ අපි නැවකින් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වලට ගියා. ඒ වෙද්දී මට අවුරුදු 20ක් වුණා විතරයි. කේප් ටවුන්වලට ආවාට පස්සේ ජොහැන්නස්බර්ග්වලට යන්න අපි කෝච්චියකට නැග්ගා. ඒ වෙද්දී හවස් වෙලයි තිබුණේ. පහුවෙනිදා එළිය වැටීගෙන එද්දී කෝච්චිය නතර කරපු නගරය හරියට පුංචි කාන්තාරයක් වගේ. හරිම රස්නෙයි. දූවිලි පිරිලා. මේ වගේ පළාතකට අපි මීට කලින් කවදාවත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි කල්පනා කළා අපිට මේ මොකද වෙන්න යන්නේ කියලා. පස්සේ කාලෙක ඒ නගරෙට ආයෙත් එන්න ලැබුණාම අපි තේරුම්ගත්තා ඒක කොච්චර නිස්කලංක, සුන්දර තැනක්ද කියලා.
එහෙදී අවුරුදු ගාණක් යන කල්ම මං කළේ ලයිනොටයිප් මැෂින් එකකින් අච්චු අකුරු අමුණපු එක. ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා මුද්‍රණය කරන්න ඒක උදව් වුණා. දකුණු අප්‍රිකානු භාෂාවලින් වගේම උතුරු අප්‍රිකානු භාෂාවලිනුත් එහේ ශාඛා කාර්යාලයෙන් සඟරා මුද්‍රණය කළා. ඉතින් කැනඩාවේ ඉඳන් එහෙට ගිහින් හුඟක් සහෝදරයන් වෙනුවෙන් සේවය කරන්න ලැබිච්ච එක ගැන අපිට ලොකු සතුටක් දැනුණා.
කාලයක් යද්දී සඟරා මුද්‍රණය කරන වැඩවලට විතරක් නෙවෙයි ඒවා බෙදාහරින වැඩවලටත් පරිවර්තනය කරන වැඩවලටත් හවුල් වෙන්න මට පුළුවන් වුණා. ඒ වැඩ නිසා මම කාර්යබහුල වුණත් ඒ හැම දෙයක්ම මම කළේ හරිම සතුටින්.
විවාහය සහ අලුත් පැවරුමක්
1968දී ලෝරායි මමයි පුරෝගාමි සේවය කරන ගමන්
1968දී මම ලෝරා බෝවන් එක්ක විවාහ වුණා. ලෝරාගේ ගෙදර තිබුණේ බෙතෙල් එක කිට්ටුවෙන් නිසා එයා පුරෝගාමි සේවය කරන ගමන් බෙතෙල් එකේ පරිවර්තන වැඩවලටත් උදව් කළා. ඒ කාලේ අලුතෙන් විවාහ වුණ අයට බෙතෙල් එකේ සේවය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්නාට විශේෂ පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒත් අවුරුදු දහයක්ම මම බෙතෙල් එකේ ජීවිතයට හුරු වෙලා හිටපු නිසා එළියට ගිහින් වෙන පැවරුමක් කරන්න මට ටිකක් බය හිතුණා. මොකද බෙතෙල් එකේ ඉද්දී කෑම බීම, ඉඳුම්හිටුම් අපිට ලැබුණා. හැබැයි පුරෝගාමි සේවය කරද්දී මටයි මගේ බිරිඳටයි හැම මාසෙකම ලැබෙන්නේ ග්‍රෑන්ඩ් 25 ගාණේ. ඒ කියන්නේ එදා වටිනාකමින් රුපියල් 7,000ක් විතර. ඒකත් අපිට ලැබුණේ මාසෙට අදාළ පැය ගාණ, නැවත බැලීම් ගාණ, බෙදන්න ඕන ප්‍රකාශන ප්‍රමාණය අපි සම්පූර්ණ කරලා තිබුණොත් විතරයි. ඒ සල්ලිවලින් තමයි අපේ කෑම බීම, ගෙවල් කුලිය, ප්‍රවාහන ගාස්තු, බෙහෙත් වගේ දේවලට යන වියදම් අපිට පියවගන්න වුණේ.
අපිට පැවරුම ලැබුණේ ඩර්බන් නගරය ළඟ තිබුණ පුංචි කණ්ඩායමක සේවය කරන්න. එහේ ඉන්දියානුවන් ගොඩක් හිටියා. 1800 ගණන්වල උක් වගා කරන්න කම්කරුවන් විදිහට ඇවිල්ලා හිටපු අයගෙන් තමයි එයාලා පැවතෙන්නේ. හැබැයි දැන් නම් එයාලා උක් වගා කරන්නේ නැහැ. වෙන වෙන රස්සාවල් කරන්නේ. හැබැයි එයාලගේ සංස්කෘතිය, කෑම බීම නම් එයාලා වෙනස් කරලා නැහැ. එයාලා හොඳට ඉංග්‍රීසි භාෂාව කතා කරන නිසා අපිට වෙන භාෂාවක් ඉගෙනගන්න ඕනෙ වුණේ නැහැ.
විශේෂ පුරෝගාමීන් හැම මාසෙකම පැය 150ක් සේවයේ හවුල් වෙන්න ඕනේ. ඉතින් මමයි ලෝරායි හිතුවා පළවෙනි දවසේ පැය හයක් සේවේ යමු කියලා. ඒ වෙද්දී අපිට බයිබල් පාඩම්වත් නැවත බැලීම්වත් තිබුණේ නැති නිසා පැය හයම ගෙයින් ගෙට සේවේ තමයි යන්න වුණේ. එදා නම් පුදුම රස්නේ දවසක්. දැනුණ මහන්සිය නිසා මම වෙලාව බැලුවාම ගිහින් තිබුණේ විනාඩි 40ක් විතරයි! මම කල්පනා කළා ඇත්තටම අපිට පුරෝගාමි සේවය කරගන්න පුළුවන් වෙයිද කියලා.
අපි හිතුවා සේවය හොඳට සැලසුම් කරගන්න ඕනෙ කියලා. ඉතින් අපි හැම දවසකම සැන්ඩ්විච් ටිකක් හදාගෙන සුප් හරි කෝපි හරි උණු වතුර බෝතලේකට දාගෙන ගියා. ඉතින් සේවේ යද්දී අපිට මහන්සි දැනුණාම ළඟපාත තිබුණු ගහක් යටින් අපේ වාහනය නතර කරලා ටිකක් විවේක ගත්තා. ඒ වෙලාවට අහළ පහළ හිටපු ඉන්දියානු ළමයි අපි දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා. වැඩි දවසක් යන්න කලින් ඒ සේවයට අපි හුරු වුණා. දවසේ මුල් පැය දෙක තුන තමයි ටිකක් අමාරු වුණේ ඊටපස්සේ නම් දවස ගෙවෙනවා අපිට තේරුණේවත් නැහැ.
ඉන්දියානු ජාතිකයන් මිනිසුන්ට ආදරෙන්, ගෞරවයෙන් සලකන දෙවියන් ගැන ලොකු ආදරයක් තියෙන අය කියලා අපිට තේරුණා. හින්දු අය හුඟදෙනෙක් අපේ පණිවිඩය සතුටින් පිළිගත්තා. යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන, බයිබලය ගැන, අනාගතේ ලැබෙන්න යන ලස්සන කාලය ගැන වගේම මැරුණු අය සම්බන්ධයෙන් තියෙන බලාපොරොත්තුව ගැන දැනගන්න එයාලා ගොඩක් ආස වුණා. අවුරුද්දක් යද්දී බයිබල් පාඩම් 20ක් කරන්න අපිට පුළුවන් වුණා. හැම දවසකම අපි දවල් කෑම කෑවේ බයිබල් ශිෂ්‍යයන්ගේ ගෙවල්වල ඉඳන්. ඇත්තටම එහේ සේවයෙන් අපි ලොකු සතුටක් අද්දැක්කා.
හැබැයි වැඩි කාලයක් යන්න කලින් අපේ පැවරුම ආයෙත් වෙනස් වුණා. මේ වතාවේ අපිට ලැබුණේ වෙරළාසන්නයේ තිබුණ සභාවල චාරිකා සේවය කරන්න. ඉතින් හැම සතියකම අපි එක එක සභාවලට ගිහින් සහෝදරයන් එක්ක සේවේ හවුල් වෙලා එයාලව දිරිගැන්නුවා. ඒ සහෝදරයන් අපිව සැලකුවේ එයාලගෙම පවුලේ අය විදිහට. ඇත්තටම අපි එයාලා එක්කත් එයාලගේ පුංචි දරුවෝ එක්කත් සුරතල් සතුන් එක්කත් කාලේ ගෙව්වේ හරිම සතුටින්. අවුරුදු දෙකක්ම ගෙවුණා අපිට දැනුණේවත් නැහැ. ඔහොම ඉද්දී දවසක් බෙතෙල් එකෙන් අපිට කෝල් එකක් ආවා. ඒ සහෝදරයා ඇහුවා ආයෙත් බෙතෙල් එකට ඇවිත් සේවය කරන්න කැමතිද කියලා. එතකොට මට කියවුණා “අපි මෙහේ සේවය කරන්නේ හරිම සතුටින්නෙ” කියලා. හැබැයි අපිට ලැබෙන ඕනම පැවරුමක් භාරගන්න අපි කැමැත්තෙනුයි හිටියේ.
ආයෙත් බෙතෙල් එකට
බෙතෙල් එකට ගියාම මට පැවරුම ලැබුණේ සේවා අංශයේ වැඩ කරන්න. එහෙදී මට අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන් ගොඩක් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේදී චාරිකා සේවකයන් එයාලා යන හැම සභාවක් ගැනම වාර්තාවක් ශාඛා කාර්යාලයට එව්වා. ඊටපස්සේ ඒ තොරතුරු පදනම් කරගෙන ඒ සභාවලට අවශ්‍ය දිරිගැන්වීම්, මඟ පෙන්වීම් ඇතුළත් ලියුමක් ශාඛා කාර්යාලයෙන් ඒ සභාවලට යැව්වා. ඒ නිසා සේවා අංශයේ සහෝදරයන්ට ගොඩක් වැඩ කරන්න තිබුණා. මොකද ක්සෝසා, සූලූ වගේ අප්‍රිකානු භාෂාවලින් ලැබුණු ලියුම් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නත් සේවා අංශයෙන් යවන ලියුම් ඒ භාෂාවලට පරිවර්තනය කරන්නත් සිද්ධ වුණා. ඒ පරිවර්තන වැඩවලට හවුල් වුණ සහෝදරයන් වෙහෙස මහන්සි නොබලා වැඩ කළා. ඒ වගේම අප්‍රිකානු කළු ජාතික සහෝදරයන් කොච්චර ප්‍රශ්නවලට මුහුණ දෙනවාද කියලා තේරුම්ගන්නත් එයාලා මට උදව් කළා.
ඒ කාලේ එහේ කළු සුදු භේදය කොච්චර තදට තිබුණාද කිව්වොත් කළු ජාතිකයන් ජීවත් වෙන්න ඕනෙ කොහෙද, සුදු ජාතිකයන් ජීවත් වෙන්න ඕනෙ කොහෙද, වෙනත් ජාතිකයන් ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලා රජයෙන් නීතියක් පනවලා තිබුණා. ඒ නිසා තමන්ගේ ජාතියේ අයව ඇරෙන්න අනිත් අයව ආශ්‍රය කරන්න එයාලට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් කළු ජාතියට අයිති වුණ අපේ අප්‍රිකානු සහෝදරයන් කතාබහ කළේ, දේශනා කළේ, රැස්වීම් පැවැත්තුවේ එයාලගේ ජාතියේ අය කතා කරපු භාෂාවලින් විතරයි.
මට ලැබුණු හැම පැවරුමකදීම මං හිටියේ ඉංග්‍රීසි භාෂාව කතා කරපු සභාවල නිසා කළු ජාතික අප්‍රිකානු සහෝදරයන්ව ආශ්‍රය කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි දැන් මං එයාලගේ සංස්කෘතිය ගැනත් චාරිත්‍ර වාරිත්‍ර ගැනත් දන්නවා. ඒ වගේම ලෝකේ මිනිස්සු පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර, විශ්වාසයන් අනුගමනය කරන්නේ නැති නිසා අපේ සහෝදරයන් කොච්චර පීඩා අද්දකිනවාද කියලත් මං දැන් දන්නවා. පවුලේ අයගේ, ගමේ අයගේ, දැඩි විරුද්ධවාදිකම් මැද වුණත් බයිබලයට පටහැනි චාරිත්‍ර වාරිත්‍ර අත්හරින්න එයාලට පුළුවන් වුණේ එයාලා ධෛර්යවන්තව වැඩ කරපු නිසයි. ඒ වගේම ඈත පැතිවල හිටපු අය ජීවිතය ගැටගහගත්තේ බොහොම අමාරුවෙන්. මූලික අධ්‍යාපනයවත් එයාලට ලැබිලා නැති තරම්. හැබැයි බයිබලය ගැන නම් එයාලට ලොකු ගෞරවයක් තිබ්බා.
නිදහසේ නමස්කාර කටයුතු කරන්න තියෙන අයිතිය සහ දේශපාලනයටත් යුද්ධවලටත් හවුල් නොවී ඉන්න තියෙන අයිතිය වෙනුවෙන් නඩු විභාගවලට පෙනී ඉන්න සිද්ධ වුණු සහෝදරයන්ට උදව් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඉස්කෝලෙන් අස් වෙන්න සිද්ධ වුණත් වෙන ආගමික යාච්ඤාවලට සහ ගීතිකාවලට හවුල් නොවුණ අපේ යෞවනයන්ගේ විශ්වාසය ගැන දැනගන්න ලැබුණාම ඒකෙන් මගේ විශ්වාසයත් තවත් ශක්තිමත් වුණා.
ඒ කාලේ ස්වාසිලන්තය විදිහට හඳුන්වපු අප්‍රිකාවේ පුංචි රටක හිටපු සහෝදරයන්ට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහේ පාලනය කරපු දෙවෙනි සබූසා රජ මැරුණාම මළවුන්ට සම්බන්ධ චාරිත්‍ර අනුගමනය කරන්න කියලා රජයෙන් අණ කළා. ඒ චාරිත්‍රවලට අනුව හැම පිරිමි කෙනෙක්ටම කොණ්ඩය බූ ගාන්නත් හැම ගැහැණු කෙනෙක්ටම කොණ්ඩය කොටට කපන්නත් සිද්ධ වුණා. මුතුන්මිත්තන්ට කරන නමස්කාරයට සම්බන්ධ ඒ චාරිත්‍ර අනුගමනය කළේ නැති නිසා අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් පීඩා අද්දකින්න සිද්ධ වුණා. හැබැයි ඒ පීඩා මැද්දේ වුණත් එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න විදිහ ගැන අහන්න ලැබුණාම අපි ගොඩක් සතුටු වුණා. ඒ වගේම දිගටම විශ්වාසවන්තව, ඉවසීමෙන් වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා අපි එයාලගෙන් ඉගෙනගත්තා. ඇත්තටම එයාලා නිසා අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.
ආයෙත් මුද්‍රණ අංශයට
1981දී පරිගණක පාවිච්චි කරලා මුද්‍රණ කටයුතු කරන වැඩවලට උදව් කරන්න මට පැවරුමක් ලැබුණා. ඒ වෙද්දී මුද්‍රණ කටයුතු සිද්ධ වෙන විදිහේ ලොකු වෙනස්කම් වෙලා තිබුණා. ඒ කාලේ මුද්‍රණ යන්ත්‍ර විකුණපු කෙනෙක් අලුත්ම මුද්‍රණ යන්ත්‍රයක් අත්හදා බලන්න අපේ ශාඛා කාර්යාලයට දීලා තිබුණා. ඒකට එයා කිසිම අය කිරීමක් කළේ නැහැ. ඒක සාර්ථක වෙච්ච නිසා අපි කලින් පාවිච්චි කරපු ලයිනොටයිප් කියලා හඳුන්වපු මුද්‍රණ යන්ත්‍ර නවය වෙනුවට ෆොටෝටයිප්සෙටර් විදිහට හඳුන්වපු ඒ අලුත් මුද්‍රණ යන්ත්‍ර පහක් අපි සල්ලිවලට ගත්තා. ඒ වගේම අලුත් මුද්‍රණාලයකුත් අපි ඉදි කළා. ඒ නිසා වෙන කවදාටත් වැඩියෙන් අපේ ප්‍රකාශන මුද්‍රණය කරන්න අපිට පුළුවන් වුණා.
තාක්ෂණයේ දියුණුව නිසා මෙප්ස් කියන පරිගණක වැඩසටහන යොදාගෙන පරිවර්තන වැඩ තවත් වේගවත් කරන්න අපිට පුළුවන් වුණා. මීට අවුරුදු ගාණකට කලින් මමයි මගේ යාළුවෝ තුන්දෙනායි කැනඩාවේ බෙතෙල් එකේ ඉඳලා දකුණු අප්‍රිකාවට ආවාම මුද්‍රණ කටයුතු සිද්ධ වුණු විදිහයි දැන් ඒ දේවල් සිද්ධ වෙන විදිහයි ගැන හිතද්දී අපිට පුදුමත් හිතෙනවා. (යෙසා. 60:17) මං වගේම මගේ යාළුවෝ තුන්දෙනාත් විවාහ වුණේ අවබෝධයෙන් වැඩ කරන පුරෝගාමි සහෝදරියන් තුන්දෙනෙක් එක්ක. ඒ කාලේ වෙද්දී මායි බිලුයි බෙතෙල් එකේ සේවය කළා. කෙනුයි ඩෙනිසුයි එයාලගේ දරුවන් එක්ක පදිංචි වෙලා හිටියේ බෙතෙල් එක ළඟ.
අපේ ප්‍රකාශන පරිවර්තනය කරන භාෂා ගාණත් මුද්‍රණය කරන ප්‍රමාණයත් එන්න එන්නම වැඩි වුණ නිසා බෙතෙල් එකේ වැඩත් ගොඩක් වැඩි වුණා. ඒ නිසා ඒ වැඩ කටයුතු කරගෙන යන්න අපිට අලුත් ගොඩනැඟිල්ලක් ඕනෙ වුණා. ඉතින් අපේ සහෝදරයන් ජොහැන්නස්බර්ග්වල ලස්සන ගොඩනැඟිල්ලක් ඉදි කළා. ඒක කැප කළේ 1987දී. අවුරුදු ගාණක් තිස්සේ දකුණු අප්‍රිකාවේ ඒ සිද්ධ වුණ වෙනස්කම් දැක බලා ගන්න ලැබුණ එක ගැනත් ශාඛා කමිටුවේ සේවය කරන්න ලැබුණ එක ගැනත් හිතද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.
තවත් අලුත් පැවරුමක්
අපිට ඊළඟට ලැබුණේ අපි හිතුවේවත් නැති පැවරුමක්. 2001දී එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා. දකුණු අප්‍රිකාවේ අපේ යාළුවන්ව දාලා යන එක අපිට ලේසි වුණේ නැහැ. හැබැයි එක්සත් ජනපදයේ බෙතෙල් පවුලත් එක්ක සේවය කරන්න ලැබුණ එක ගැන අපි ගොඩක් සතුටු වුණා.
ඒත් අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ලෝරාගේ අම්මා ඒ වෙද්දී හිටියේ මහලු වයසේ නිසා අපි නිව්යෝක්වලට ගියාම අම්මාව බලාගන්නේ කවුද කියලා අපි කල්පනා කළා. හැබැයි එයාව ආදරෙන් රැකබලා ගන්න ලෝරාගේ නංගිලා තුන්දෙනා කැමති වුණා. එයාලා අපිට මෙහෙම කිව්වා. “අපිට පූර්ණකාලීන සේවය කරන්න බැහැනේ. හැබැයි අපි අම්මාව බලාගද්දී ඔයාලට පුළුවන් ඔයාලගේ පැවරුම දිගටම කරන්න.” එයාලා අපි වෙනුවෙන් කරපු ඒ දේ අපි ගොඩක් අගය කරනවා.
තාත්තා මැරුණාට පස්සේ මගේ අම්මාව බලාගත්තේ කැනඩාවේ හිටපු මගේ අයියායි එයාගේ බිරිඳයි. එයාලා ඒක කළේ කැමැත්තෙන්මයි. ඇත්තටම අවුරුදු 20කට වඩා වැඩි කාලයක් අම්මා හිටියේ එයාලා එක්කම තමයි. අපි නිව්යෝක්වලට ඇවිත් වැඩි කාලයක් යන්න කලින් අම්මා මැරුණා. ඒ වෙන කල්ම මගේ අයියායි නෑනායි අම්මාව ආදරෙන් බලාගත්ත එක අපිට ලොකු සහනයක් වුණා. මහලු වයසේ ඉන්න දෙමව්පියන්ව බලාගන්න එක සමහර වෙලාවට අභියෝගයක් වුණත් අපේ පවුල්වල අය කැමැත්තෙන්ම ඒක කරපු එක අපිට ලැබුණ ආශීර්වාදයක් කියලයි අපි හිතන්නේ.
එක්සත් ජනපදයට ආපු මුල මං සේවය කළේ අපේ ප්‍රකාශන මුද්‍රණය කරන අංශයේ. තාක්ෂණයේ දියුණුව නිසා දැන් ඒ වැඩ තවත් සරලව, වේගයෙන් සිද්ධ වෙනවා. මෑතකදී ඉඳන් මං බඩු මිල දී ගන්න අංශයේ සේවය කරනවා. දැන් මෙහේ බෙතෙල් පවුලේ සාමාජිකයන් 5000ක් විතර ඉන්නවා. තවත් 2000ක් විතර එයාලගේ ගෙවල්වල ඉඳන් බෙතෙල් එකේ වැඩවලට උදව් කරන්න එනවා. ගෙවුණු අවුරුදු 20ම අපි මෙහේ සේවය කළේ හරිම සතුටින්.
මීට අවුරුදු 60කට කලින් මං කවදාවත් හිතුවේ නැහැ මට මේ වගේ සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා. ගෙවුණු කාලය පුරාම ලෝරා උපරිමයෙන්ම මට සහයෝගය දුන්නා. මේ වෙන කල් අපිට ලැබුණ හැම පැවරුමක්ම ගැනත් ලෝකේ වටේම ඉන්න යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරය කරන අයව දැන හඳුනා ගන්න ලැබුණු එක ගැනත් අපි ගොඩක් සතුටු වෙනවා. දැන් මට වයස අවුරුදු 80කටත් වඩා වැඩියි. ඒ නිසා දැන් මට ගොඩක් දේවල් කරන්න බැහැ. හැබැයි වැඩ කරන්න හුඟක් යෞවනයන්ව හොඳින් පුහුණු කරලා තියෙන නිසා එයාලා ඒ හැම වැඩක්ම හොඳට කරගෙන යනවා. ඇත්තටම මං මගේ ජීවිතයේ නියම සතුට අද්දැක්කා.
ගීතිකාකරු කිව්වා, ‘යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතිය සන්තෝෂවත්’ කියලා. (ගීතා. 33:12) ඒක නම් ඇත්තටම ඇත්තක්! සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරන ඔහුගේ සෙනඟ අතරට එකතු වෙන්න ලැබුණ එක ගැන හැඟෙන විදිහ විස්තර කරන්න මට වචන නැහැ.