පාඩම් ලිපිය 6
යෙහෝවා දෙවියන්ගේ තීරණ සැක කරන්න එපා!
“දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.”—ද්වි. 32:4.
ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
මේ ලිපියෙන්a
1-2. (අ) අධිකාරියක් තියෙන අයව විශ්වාස කරන්න අද ඉන්න හුඟදෙනෙක්ට අමාරු ඇයි? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
අද ඉන්න හුඟක් අය අධිකාරියක් තියෙන අයව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. නීතියෙන්, දේශපාලනයෙන් දුප්පත් මිනිස්සුන්ව පාගලා දාලා. අද සල්ලිවලට, බලයට යුක්තිය විකිණිලා. ඒ දේවල් දකිද්දී “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියලා බයිබලේ කියන දේ කොච්චර ඇත්තක්ද කියලා පැහැදිලි වෙනවා. (දේශ. 8:9) ඒ විතරක් නෙවෙයි ආගමික නායකයන් කරන වැරදි නිසා මිනිස්සුන්ගේ හිතේ දෙවියන් ගැන තියෙන විශ්වාසයත් බොඳ වෙලා. ඒ නිසා ඔයා කාත් එක්ක හරි බයිබල් පාඩමක් කරනවා නම් එයාගේ හිතේ දෙවියන් ගැන, දෙවියන් පත් කරපු අය ගැන විශ්වාසයක් ඇති කරන්න ඔයාට ලොකු සටනක් කරන්න වෙයි.
2 යෙහෝවා දෙවියන් ගැනයි, ඔහුගේ සංවිධානය ගැනයි විශ්වාසය තියන්න ඕනෙ බයිබල් ශිෂ්‍යයන් විතරක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ සත්‍යයේ ඉන්න අපිත් ඒක කරන්න ඕනේ. ‘යෙහෝවා දෙවියන් වැඩ කරන විදිහ හැම තිස්සේම හරියි’ කියන විශ්වාසය කවදාවත් හිතින් බොඳ වෙලා යන්න දෙන්න එපා. හැබැයි සමහර අවස්ථාවලදී ඒ ගැන අපිට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන්. අපි මේ ලිපියෙන් ඒ වගේ අවස්ථා 3ක් ගැන බලනවා. (1) බයිබලේ සඳහන් සමහර වාර්තා කියවද්දී, (2) දෙවියන්ගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී සහ (3) අනාගතයේදී එන අභියෝගවලට මුහුණ දෙද්දී. අපි මුලින්ම පළවෙනි කාරණය බලමු.
බයිබලේ තියෙන සමහර වාර්තා කියවද්දී
3. බයිබලේ තියෙන වාර්තා කියවද්දී සමහර අවස්ථාවලදී අපිට සැක මතු වෙන්න පුළුවන් ඇයි?
3 බයිබලය කියවද්දී යෙහෝවා දෙවියන් සමහර අයත් එක්ක වැඩ කරපු විදිහ ගැන, ඔහු ගත්ත තීරණ ගැන අපිට සැක මතු වෙන්න පුළුවන්. උදාහරණෙකට ගණන් කතාව පොතේ වාර්තා වෙනවා සබත් දවසේදී දර එකතු කරපු කෙනෙක් ගැන. යෙහෝවා කිව්වා එයා සබත කඩ කරපු නිසා එයාට මරණ දඬුවම දෙන්න කියලා. හැබැයි ඊට සියවස් ගාණකට පස්සේ අනාචාරයේ යෙදිලා පස්සේ මිනී මැරුමකුත් කරපු දාවිත් රජට යෙහෝවා දෙවියන් සමාව දුන්නා. (ගණන්. 15:32, 35; 2 සාමු. 12:9, 13) ‘දර ටිකක් එකතු කරපු මනුස්සයාට මරණ දඬුවම දීලා අච්චර බරපතළ වැරදි කරපු කෙනාට යෙහෝවා දෙවියන් සමාව දුන්නේ ඇයි?’ සමහරවිට අපිටත් එහෙම හිතෙන්න පුළුවන් නේද? ඒකට උත්තරේ දැනගන්න අපි බයිබලය කියවද්දී හිතලා බලන්න ඕනෙ පැති තුනක් ගැන බලමු.
4. යෙහෝවා දෙවියන් දෙන විනිශ්චයන් ගැන සැක නොකර ඉන්න උත්පත්ති 18:20, 21 සහ ද්විතීය කතාව 10:17 අපිට උදව් වෙන්නේ කොහොමද?
4 බයිබලේ සමහර සිද්ධි වාර්තා කරද්දී ඒකට අදාළ හැම තොරතුරක්ම සඳහන් කරලා නැහැ. උදාහරණෙකට දාවිත් ගැන හිතන්න. අපි දන්නවා කරපු වැරදි ගැන එයා අවංකවම පසුතැවිලි වෙලා ඒවා හදාගත්තා කියලා. (ගීතා. 51:2-4) ඒත් සබත් නීතිය කඩ කරපු කෙනා මොන වගේ කෙනෙක්ද? කරපු දේ ගැන එයා අවංකවම පසුතැවිලි වුණාද? එයා මීට කලිනුත් දෙවියන්ගේ නීති කඩලා තියෙනවාද? එයාට ඒ ගැන මඟ පෙන්වීම් දීලා එයා ඒවා ගණන් ගන්නේ නැතුව ඉඳලා තියෙනවාද? බයිබලේ ඒ ගැන කියලා නැහැ. ඒ මොනවා වුණත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි යෙහෝවා දෙවියන් අතින් “කිසිම අසාධාරණයක්” වෙන්නේ නැහැ කියන දේ. (ද්වි. 32:4) මිනිස්සු නම් අනිත් අය කියන දේවල් අහලා, දේවල් මතුපිටින් බලලා විනිශ්චයන් දෙන නිසා එයාලගේ විනිශ්චයන් වැරදෙනවා. හැබැයි යෙහෝවා විනිශ්චයන් කරන්නේ මිනිස්සු කරන විදිහට නෙවෙයි. ඒ වෙනුවට ඔහු විනිශ්චයක් දෙන්න කලින් හැම තොරතුරක් ගැනම හොඳට හොයලා බලනවා. (උත්පත්ති 18:20, 21; ද්විතීය කතාව 10:17 කියවන්න.) අපි යෙහෝවා ගැනත් ඔහු දීලා තියෙන ප්‍රතිපත්ති ගැනත් ඉගෙනගන්න ඉගෙනගන්න අපිට ඔහුගේ විනිශ්චයන් ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙනවා. ඔහු මොකක් හරි තීරණයක් ගත්තොත් ඒක 100%ක් හරියි කියලා එතකොට අපි දන්නවා. සමහර වාර්තා ගැන අපිට ඇති වෙන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න බැරි වුණත් යෙහෝවා කවුද කියලා තේරුම්ගන්න ඕන තරම් තොරතුරු බයිබලේ තියෙනවා. අපි දන්නවා යෙහෝවා ඕනම දෙයක් කරන්නේ හොඳ හේතුවක් ඇතුව කියලා. මොකද බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨයි” කියලා.—ගීතා. 145:17.
5. පාපය උරුම කරගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට සාධාරණ විනිශ්චයන් දෙන්න බැරි ඇයි? (“සාධාරණ විනිශ්චයන් බොඳ කරන පව්කාර ස්වභාවය” කියන කොටුව බලන්න.)
5 පාපය උරුම කරගෙන ඉන්න අය විදිහට ගොඩක් වෙලාවට අපිට සාධාරණ විනිශ්චයන් දෙන්න බැහැ. යෙහෝවා දෙවියන් අපිව ඔහුගේ ගතිලක්ෂණ ඇතුව හදපු නිසා අපි ආසයි හැම වෙලාවෙම සාධාරණය ඉටු වෙනවා දකින්න. (උත්. 1:26) හැබැයි අපි හැමෝම පාපය උරුම කරගෙනයි තියෙන්නේ. ඒ නිසා හැම තොරතුරක්ම සලකලා බලලා සාධාරණ විනිශ්චයක් දෙනවා කියලා හිතුණත් අපිට වැරදෙන්න පුළුවන්. උදාහරණෙකට යෝනා ගැන හිතන්න. යෝනා හිතුවේ නිනිවයේ වැසියන් ගැන එයා හැම දේම දන්නවා, එයාලා අනිවාර්යයෙන්ම විනාශ වෙන්න ඕනෙමයි කියලා. ඒ නිසා යෙහෝවා ගත්ත තීරණයට එයා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. (යෝනා 3:10–4:1) හැබැයි කරපු වැරදි ගැන ඒ වෙද්දී එයාලා ගොඩක් පසුතැවිලි වෙලයි හිටියේ. ඒක යෙහෝවා දැක්කාට යෝනා දැක්කේ නැහැ. හිතන්න, පසුතැවිලි වුණ ඒ අයව යෙහෝවා දෙවියන් විනාශ කළා නම් ඒක මොන තරම් අසාධාරණයක්ද! හැබැයි යෙහෝවා දෙවියන් එයාලට සමාව දුන්න නිසා 1,20,000ගේ ජීවිත ගැලවුණා. අන්තිමේදී තමන් හිතපු විදිහ වෙනස් කරගන්න වුණේ යෝනාට මිසක් යෙහෝවා දෙවියන්ට නෙවෙයි.
6. තමන් ගන්න තීරණ ගැන යෙහෝවා දෙවියන් අපිට පැහැදිලි කරන්න බැඳිලා නැත්තේ ඇයි?
6 තමන් ගන්න තීරණ ගැන මිනිසුන්ට පැහැදිලි කරන්න යෙහෝවා දෙවියන් බැඳිලා නැහැ. දෙවියන් ගත්ත තීරණයක් ගැන නැත්නම් ගන්න යන තීරණයක් ගැන හැඟුණ විදිහ කියන්න සමහර අවස්ථාවලදී ඔහු මිනිසුන්ට ඉඩ දීලා තියෙනවා. (උත්. 18:25; යෝනා 4:2, 3) ඒ වගේම තවත් අවස්ථාවලදී ඔහු ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලත් පැහැදිලි කරලා තියෙනවා. (යෝනා 4:10, 11) හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔහු ගන්න හැම තීරණයක් ගැනම ඔහු අපිට කියන්න බැඳිලා ඉන්නවා කියලා. යෙහෝවා දෙවියන් කියන්නේ අපේ නිර්මාතෘ. ඒ නිසා තීරණයක් ගන්න ඔහු අපෙන් අවසර ගන්න ඕනෙ නැහැ. ගත්තාට පස්සේ ඒකට හේතු කියන්න ඕනෙත් නැහැ.—යෙසා. 40:13, 14; 55:9.
සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී
7. සමහර වෙලාවට අපිට අභියෝගයක් වෙන්නේ මොකක්ද? ඒ ඇයි?
7 යෙහෝවා දෙවියන්ව මුළු හදවතින්ම විශ්වාස කළත් සමහර වෙලාවට ඔහු පත් කරපු අයව විශ්වාස කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. එයාලා සමහර තීරණ ගනිද්දී අපිට හිතෙයි ‘ඇත්තටම එයාලා වැඩ කරන්නේ යෙහෝවා දෙවියන් කියන විදිහටමද’ කියලා. සමහරවිට ඉස්සර කාලේ හිටපු අයටත් එහෙම හිතෙන්න ඇති. 3වෙනි ඡේදයේ කතා කරපු උදාහරණ ගැන ටිකක් හිතන්න. සබත් දවසේ දර එකතු කරපු කෙනාගේ පවුලේ කෙනෙක්ට සමහරවිට මෙහෙම හිතෙන්න ඇති. ‘මෝසෙස් මේ දඬුවම දෙන්න කලින් යෙහෝවාගෙන් ඒ ගැන ඇහුවාද?’ එහෙම නැත්නම් දාවිත් බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණාට පස්සේ උරියාගේ යාළුවෙක්ට මෙහෙම හිතෙන්න ඇති. ‘දාවිත් ඉතින් රජනේ. ඒ නිසා එයා කොහොමහරි මරණ දඬුවමෙන් බේරුණා.’ ඒ මොනවා වුණත් අපි මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් පත් කරපු අය ගැන අපිට විශ්වාසය තියන්න බැරි නම් අපිට බැහැ අපි යෙහෝවා ගැන විශ්වාසය තියෙනවා කියලා කියන්න.
8. ක්‍රිස්තියානි සභාව මුල් සියවසේ සංවිධානය වෙලා තිබුණ විදිහයි, දැන් සංවිධානය වෙලා තියෙන විදිහයි අතර තියෙන සමානකම් මොනවාද? (ක්‍රියා 16:4, 5)
8 අද යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ වැඩකටයුතු බලාගන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා.” (මතෙ. 24:45) මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලය වගේම මේ දාසයාත් ලෝකේ පුරාම වෙන දෙවියන්ගේ වැඩකටයුතු බලාගන්නවා. ඒ වගේම සභාවල ඉන්න වැඩිමහල්ලන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. (ක්‍රියා 16:4, 5 කියවන්න.) වැඩිමහල්ලන් ඒ ලැබෙන මඟ පෙන්වීම් සභාවේ ක්‍රියාත්මක කරනවා. වැඩිමහල්ලන්ගෙන්, සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන එකෙන් අපි පෙන්නන්නේ දෙවියන් වැඩ කරන විදිහ ගැන අපි විශ්වාස කරනවා කියන එකයි.
9. වැඩිමහල්ලන් ගන්න තීරණවලට කීකරු වෙන්න අමාරු වෙන්නේ මොන වගේ වෙලාවලටද? ඒ ඇයි?
9 සමහර අවස්ථාවලදී වැඩිමහල්ලන් ගන්න තීරණවලට කැමැත්තෙන්ම සහයෝගය දක්වන එක අමාරු වෙන්න පුළුවන්. උදාහරණෙකට පහුගිය අවුරුදු කීපයේ සමහර චාරිකාවල, සභාවල එක එක වෙනස්කම් වුණා. ඒ වගේ අවස්ථාවලදී වැඩිමහල්ලන් ඉඩ පහසුකම් ගැන සහ තවත් දේවල් ගැන සලකලා බලලා සමහර ප්‍රචාරකයන්ගෙන් ඇහුවා ‘වෙන සභාවකට යන්න කැමතිද’ කියලා. වැඩිමහල්ලන් ඔයාගෙන් ඒ දේ ඇහුවා නම් ඔයාට කොහොම හිතෙයිද? පවුලේ අයව, යාළුවන්ව දාලා වෙන සභාවකට යන එක ලේසි නැහැ. ඒ වගේ වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ‘යෙහෝවා වැඩිමහල්ලන්ට අද කෙළින්ම කියන්නේ නැහැනෙ කාවද යවන්න ඕනෙ කියලා. ඉතින් වෙන සභාවකට යන්න එයාලා මාවම තෝරගත්තේ ඇයි?’ කියලා. හැබැයි කොච්චර අමාරු වුණත් අපි කැමැත්තෙන්ම වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්න ඕනේ. මොකද වැඩිමහල්ලන් තීරණ ගන්නේ සභාව ගැන හොඳට හිතලා කියලා යෙහෝවා දෙවියන් විශ්වාස කරනවා. ඒ නිසා අපිත් එයාලව විශ්වාස කරන්න ඕනේ.b
10. හෙබ්‍රෙව් 13:17 කියන විදිහට අපි වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්න ඕනෙ ඇයි?
10 වැඩිමහල්ලන් ගන්න සමහර තීරණවලට සහයෝගය දෙන එක අමාරුයි කියලා හිතුණත් එහෙම කරන එක වැදගත් ඇයි? මොකද ඒකෙන් සභාවේ අය අතර තියෙන එක්සත්කම වැඩි වෙනවා. (එෆී. 4:2, 3) ඒ වගේම වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම්වලට නිහතමානීව කීකරු වෙන එක සභාවේ දියුණුවටත් දායක වෙනවා. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) ඒ විතරක් නෙවෙයි අපි මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවියන් අපිව බලාගන්න වැඩිමහල්ලන්ට භාර දීලා තියෙන්නේ එයාලා ගැන විශ්වාස කරන නිසයි කියන දේ. ඒ නිසා අපිත් යෙහෝවා වගේ එයාලව විශ්වාස කරන්න ඕනේ.—ක්‍රියා 20:28.
11. වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම් ගැන අපිට තියෙන විශ්වාසය වැඩි කරගන්න උදව් වෙන්නේ මොනවාද?
11 වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම් ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන දේවල් මොනවාද? එයාලා මඟ පෙන්වීමක් දෙන්න කලින් යෙහෝවාට ගොඩක් යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලනවා. ඒ වගේම බයිබල් ප්‍රතිපත්ති ගැනත් සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් ගැනත් හොඳට හොයලා බලනවා. වැඩිමහල්ලන් හැම තිස්සේම උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න. ඒ වගේම දෙවියන්ගේ බැටළුවන්ව බලාගන්න එයාලා එයාලගේ උපරිමය කරනවා. තමන්ට භාර දීලා තියෙන රැළ රැකබලා ගන්න විදිහ ගැන දෙවියන්ට ගණන් දෙන්න ඕනෙ කියලා විශ්වාසවන්ත එඬේරුන් තේරුම් අරගෙනයි ඉන්නේ. (1 පේතෘ. 5:2, 3) ඒ දේවල් ගැන කල්පනා කරද්දී වැඩිමහල්ලන් ගන්න තීරණ ගැන ඔයාගේ විශ්වාසය වැඩි වෙන්නේ නැද්ද? ටිකකට හිතන්න, මේ ලෝකේ මිනිස්සු ජාතිය, ආගම, දේශපාලනය වගේ හේතු නිසා බෙදිලා හිටියත් ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟ එක්සත් පවුලක් විදිහට යෙහෝවාට සතුටින් සේවේ කරනවා. මේ සංවිධානයට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තිබුණේ නැත්නම් කීයටවත් ඒ වගේ එක්සත්කමක් අද්දකින්න අපිට පුළුවන් වෙන්නේ නැහැ!
12. කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද කියලා දැනගන්න වැඩිමහල්ලන් සලකා බලන්නේ මොන වගේ පැති ගැනද?
12 සභාව පවිත්‍රව තියාගන්න දෙවියන් වැඩිමහල්ලන්ට බැරෑරුම් වගකීමක් දීලා තියෙනවා. ඒ නිසා ක්‍රිස්තියානියෙක් බරපතළ වරදක් කළොත් යෙහෝවා වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා එයා කරපු වැරැද්ද ගැන හොයලා බලලා එයාව සභාවේ දිගටම තියාගන්නවාද නැද්ද කියලා තීරණය කරන එක. එහෙම කරද්දී එයාලා කාරණා කීපයක් ගැන සලකලා බලන්න ඕනේ. එක දෙයක් තමයි කරපු වරද ගැන ඒ පුද්ගලයා අවංකවම පසුතැවිලි වෙනවාද කියන කාරණය. සමහරවිට කෙනෙක් කියන්න පුළුවන් එයා වරද ගැන පසුතැවිලි වෙනවා කියලා. හැබැයි එයා ඒක ඇත්තටම පිළිකුල් කරනවාද? ඒ වරද ආයෙත් නොකර ඉන්න එයා අධිෂ්ඨානයක් අරන් ඉන්නවාද? ඒක කරන්න එයාට බලපෑවේ නරක ආශ්‍රය නම් ඒ ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න එයා පියවර අරන් තියෙනවාද? ඒ තොරතුරු ගැන බැලුවාට පස්සේ බයිබලේ තියෙන මඟ පෙන්වීමුත් බලලා ඒ කෙනා ඇත්තටම පසුතැවෙනවාද කියලා අඳුරගන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. එහෙම කරද්දී හරි තීරණයකට එන්න උදව් ඉල්ලලා එයාලා දෙවියන්ට ගොඩක් යාච්ඤා කරනවා. ඊටපස්සේ තමයි වරද කරපු පුද්ගලයාව සභාවේ තියාගන්නවාද නැද්ද කියලා එයාලා තීරණය කරන්නේ. සමහරවිට ඒ කෙනාව සභාවෙන් ඉවත් කරන්න එයාලා තීරණය කරන්න පුළුවන්.—1 කොරි. 5:11-13.
13. අපිට කිට්ටු කෙනෙක්ව සභාවෙන් ඉවත් කළොත් ඒ ගැන අපිට හිතෙන්න පුළුවන් මොනවාද?
13 සමහර අවස්ථාවලදී වැඩිමහල්ලන් ගන්න තීරණ ගැන අපේ හිතේ සැක ඇති වෙන්නත් පුළුවන්. හිතන්න, ඔයාට වැඩිය කිට්ටු නැති කෙනෙක්ව සභාවෙන් ඉවත් කළා නම් වැඩිමහල්ලන් ගත්තේ හරි තීරණය කියන එක ගැන ඔයාට කිසිම සැකයක් නැහැ. හැබැයි සභාවෙන් ඉවත් කළේ ඔයාගේ කිට්ටු යාළුවෙක්, පවුලේ කෙනෙක් නැත්නම් නෑදෑයෙක් නම් ඔයාට කොහොම දැනෙයිද? ‘ඇත්තටම එයාලා ඒ තීරණය ගන්න කලින් හොඳට හොයලා බලන්න ඇතිද? වැඩිමහල්ලන් ගත්ත තීරණයට යෙහෝවා ඇත්තටම කැමති වෙයිද?’ සමහරවිට ඔයාටත් එහෙම හිතෙන්න පුළුවන්. ඒත් වැඩිමහල්ලන් ගන්න තීරණ ගැන සැක නොකර ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?
14. අපිට කිට්ටු කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලෝ තීරණය කළොත් ඒ දිහා හරි විදිහට බලන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
14 බරපතළ වරදක් කරපු කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියන්. ඒ වගේ සැලැස්මක් ඇති කරපු එකෙන් සභාව ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ඒ කෙනා දිගටම සභාවේ හිටියොත් ඒකෙන් අනිත් අයට ලොකු හානියක් වෙනවා. (ගලා. 5:9) අනිත් අතට ඒ වගේ සැලැස්මක් ඇති කරපු නිසා වරද කරපු කෙනාටත් ප්‍රයෝජනයක් ලබන්න අවස්ථාව ලැබෙනවා. හිතන්න, එයාව සභාවෙන් ඉවත් කළේ නැත්නම් එයා කරපු වරද කොච්චර බරපතළද කියලා එයාට තේරුම්ගන්න බැරි වෙයි. ඒ වගේම වැරදි හදාගෙන ආයෙත් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න එයාට පෙලඹීමක් ඇති වෙන එකකුත් නැහැ. (දේශ. 8:11) ඒ දේවල්වලින් පැහැදිලි වෙනවා කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක වැඩිමහල්ලන් සලකන්නේ හරිම බැරෑරුම් දෙයක් විදිහටයි කියන දේ. මොකද එදා ඊශ්‍රායෙලයේ හිටපු විනිශ්චකරුවන් වගේම එයාලත් තේරුම් අරන් ඉන්නවා එයාලා විනිශ්චය කරන්නේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි “යෙහෝවා දෙවි වෙනුවෙන්” කියලා.—2 ලේක. 19:6, 7.
අනාගතයේ එන අභියෝගවලට මුහුණ දෙද්දී
මහත් පීඩාව අතරතුරේදී ලැබෙන මඟ පෙන්වීම් විශ්වාස කරන්න, ඒවාට කීකරු වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (15 ඡේදය බලන්න)
15. වෙන කවරදාකටත් වඩා දැන් යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක වැදගත් ඇයි?
15 අවසානයට ළං වෙන්න ළං වෙන්න යෙහෝවා දෙවියන් වැඩ කරන විදිහ ගැන අපිට තියෙන විශ්වාසයත් තව වැඩි කරගන්න ඕනේ. ඒ ඇයි? මහත් පීඩාව අතරතුරේදී යෙහෝවා දෙවියන් කෙළින්ම ඇවිත් අපි එක් එක් කෙනාට මඟ පෙන්වීම් දෙන්නේ නැහැ. එදාටත් ඔහු මඟ පෙන්වීම් දෙන්නේ පත් කරපු සහෝදරයන් මාර්ගයෙන්. ඒ මඟ පෙන්වීමුත් සමහරවිට කිසි තේරුමක් නැති අමුතු ඒවා කියලා අපිට හිතෙන්න පුළුවන්. ‘ඇත්තටම මේවා යෙහෝවාගෙන් එන මඟ පෙන්වීම්ද? නැත්නම් එයාලා හිතුමතේට කියන ඒවාද’ කියලා ඒ වෙලාවට අපි සැක කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක මඟ පෙන්වීම් ගැන සැක කරන්න කාලයක් නෙවෙයි. මොකද අපි ඉන්නේ මහත් පීඩාව අතරතුරේ. එදාට ඔයා සැක කරන්නේ නැතුව මඟ පෙන්වීම්වලට ඉක්මනින්ම කීකරු වෙයිද? ඔයා දැන් මඟ පෙන්වීම්වලට කීකරු වෙනවාද නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන් වෙයි.—ලූක් 16:10.
16. යෙහෝවා වැඩ කරන විදිහ ගැන අපිට තියෙන විශ්වාසය ඉස්සරහට සෝදිසියට ලක් වෙන්න පුළුවන් කොහොමද?
16 යෙහෝවා දෙවියන් මේ දුෂ්ට සමාජයට විරුද්ධව ඔහුගේ විනිශ්චය දෙද්දී අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙයි. ඇයි එහෙම කියන්නේ? හිතන්න, අපි ගොඩක් ආදරේ කරන අපේ පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ විනාශයට කලින් කොහොමහරි සත්‍යයට එයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපි තවමත් එයාලා ගැන තියෙන බලාපොරොත්තු අත්හැරලා නැහැ. ඒත් එයාලට මොනවාද කරන්නේ කියලා හර්–මගෙදොන්වලදී යේසුස් මාර්ගයෙන් යෙහෝවා තීරණය කරනවා. (මතෙ. 25:31-33; 2 තෙස. 1:7-9) එදාට දෙවියන්ගේ දයාව ලබන්න ඕනෙ කවුද එහෙම නැත්තේ කවුද කියලා තීරණය කරන්න අපිට අයිතියක් නැහැ. (මතෙ. 25:34, 41, 46) හැබැයි ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක්ට දෙවියන්ගේ දයාව ලැබුණේ නැහැ කියලා ඔයාට දැනගන්න ලැබෙනවා කියලා හිතන්න. එතකොට ඔයාට කොහොම හැඟෙයිද? එදාට යෙහෝවාගේ විනිශ්චය සාධාරණයි කියලා ඔයා පිළිගනියිද? නැත්නම් ඔයාත් වැටිලා යයිද? ඒක අපි හැමෝගෙම විශ්වාසය සෝදිසියට ලක් වෙන කාලයක්! එදාට ශක්තිමත්ව ඉන්න නම් ඔයාගේ විශ්වාසය අද ශක්තිමත්ව තියෙන්න ඕනේ.
17. මේ දුෂ්ට සමාජය විනාශ කරන්න යෙහෝවා දෙවියන් ගත්ත තීරණය නිසා අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
17 යෙහෝවා දෙවියන් මේ දුෂ්ට සමාජය විනාශ කරන්න ගත්ත තීරණය නිසා ලැබෙන ප්‍රතිඵල ගැන ටිකක් හිතන්න. එදාට අවුරුදු දහස් ගාණක් පුරා මිනිස්සුන්ව රවට්ටපු අසත්‍යය උගන්වන ආගම් නැහැ. මිනිස්සුන්ව සූරා කන ව්‍යාපාර ලෝකය නැහැ. ඒ වගේම මිනිස්සුන්ව පාගලා දාන දේශපාලනයත් නැහැ. අසනීප, මහලු වයස, මරණය නිසා අපේ ජීවිත අන්ත අසරණ වෙන්නේ නැහැ. අවුරුදු දාහක් යන කල් සාතන්ටවත් භූතයන්ටවත් මිනිස්සුන්ට කිසිම බලපෑමක් කරන්නත් බැහැ. සාතන් සහ භූතයන් කැරලිගහපු නිසා ඇති වුණ හානිය එදාට නැහැ. (එළි. 20:2, 3) යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරපු එක ගැන අපි එදාට කොච්චර සතුටු වෙයිද!
18. ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ගණන් කතාව 11:4-6; 21:5)
18 පාරාදීසේදීත් අපිට සමහර අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒ කාලේදීත් යෙහෝවා දෙවියන් වැඩ කරන විදිහ ගැන ඔයාට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙයි. ඒක තේරුම්ගන්න අපි ඊශ්‍රායෙල්වරු ගැන බලමු. යෙහෝවා දෙවියන් එයාලව ඊජිප්තුවෙන් ගලවගන්න හරිම පුදුමාකාර දේවල් කළා. හැබැයි එච්චර දේවල් කරලත් එයාලට ඒ ගැන කිසිම අගයක් තිබුණේ නැහැ. මන්නා දුන්නාම එයාලා ඒවා කන්න බැහැ කියලා කෙඳිරුවා. ඒ වෙනුවට එයාලා ඊජිප්තුවේදී කාපු කෑම මතක් කරලා යෙහෝවාට දොස් කිව්වා. (ගණන් කතාව 11:4-6; 21:5 කියවන්න.) පරෙස්සම් වුණේ නැත්නම් අපිටත් එහෙම වෙන්න පුළුවන්. ළඟදීම පුදුමාකාර දේවල් කරලා යෙහෝවා අපිවත් මහත් පීඩාවෙන් ගලවාගනියි. ඊටපස්සේ විනාශ වුණ මේ පොළොව ලස්සන තැනක් කරන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඒකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පේන විදිහට පාරාදීසේ අපි ජීවත් වෙන මුල් කාලේදී සමහර අභියෝගවලටත් මුහුණ දෙන්න වෙයි. එහෙම වුණොත් ඔයා මොනවා කරයිද? එච්චර දුරක් ගිහිල්ලා යෙහෝවා දෙවියන්ට දොස් කියන්න ඔයා පෙලඹෙයිද? ඔයා දැන් යෙහෝවා දෙන දේවල් අගය කරන්න පුරුදු වුණොත් එදාට ඒ දේවල් ගැන ඔයාගේ හිතේ මීටත් වඩා ලොකු අගයක් ඇති වෙයි.
19. ඔයා මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවාද?
19 යෙහෝවා වැඩ කරන විදිහ කවදාවත් වැරදිලත් නැහැ, වැරදෙන්නෙත් නැහැ. ඒ ගැන අපිට 100%ක් විශ්වාසයි. අනිත් අතට ඔහු මඟ පෙන්වීම් දෙන්න පත් කරලා තියෙන සහෝදරයන් ගැනත් අපි ඒ වගේම විශ්වාස කරන්න ඕනේ. මහත් පීඩාව අත ළඟටම ඇවිල්ලා තියෙන නිසා යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් දුන්න මේ වචන කවදාවත් අමතක කරන්න එපා. “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.”—යෙසා. 30:15.
ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
a යෙහෝවා දෙවියන් ගැනත් අපිට මඟ පෙන්නන්න පත් කරලා තියෙන සහෝදරයන් ගැනත් තියෙන විශ්වාසය වැඩි කරගන්න ඕනෙ ඇයි? එහෙම කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අනාගතයේදී එන අභියෝගවලට මුහුණ දෙන්න ඒක උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.
b සමහර ප්‍රචාරකයන්ට, පවුල්වලට එයාලා ඉන්න තත්වය අනුව ඒ සභාවේම දිගටම ඉන්න සිද්ධ වෙනවා. වැඩි විස්තර දැනගන්න 2002 නොවැම්බර් ‘අපගේ රාජ්‍ය සේවාවේ’ “ප්‍රශ්න පෙට්ටිය” බලන්න.