ප්‍රශ්න පෙට්ටිය
◼ අප ජීවත් වන බලප්‍රදේශයේ තිබෙන සභාවට යෑමේ තිබෙන ප්‍රයෝජන මොනවාද?
සභා විධිවිධානය මගින් “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන” ආකාරයේ දිරිගැන්වීමක් අපට ලැබෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) අප සත්‍යය ඉගෙනගන්නේ සභාව මාර්ගයෙනුයි. ඒ වගේම ගෝලයන් සෑදීමට අපට ලැබී තිබෙන පැවරුම ඉටු කිරීමට අපව සූදානම් කරවන්නේද සභාවයි. (මතෙ. 28:19, 20) එමෙන්ම පරීක්ෂණ හමුවෙහි විශ්වාසවන්තව විඳදරාගැනීමට එයින් අපට ශක්තිය ලැබෙන අතර දිනෙන් දින වැඩි වන පීඩන හා සිත්තැවුල් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර කරන ප්‍රේමණීය අවේක්ෂකයන්ද අපට සිටිනවා. අපේ ආත්මික දිවිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සභාව අත්‍යවශ්‍ය බව පැහැදිලියි. කෙසේවෙතත්, අප ජීවත් වෙන බලප්‍රදේශයේ තිබෙන සභාවට යෑමේ ප්‍රයෝජන තිබෙනවාද?
එක් එක් පුද්ගලයන්ගේ තත්වයන් වෙනස් වන අතර යම් කෙනෙක් යන්නේ කුමන සභාවටද කියන කාරණය සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණයට රැකියාව, නොඇදහිලිවන්ත කලත්‍රයෙකු සිටීම හා ප්‍රවාහනය යනාදිය බලපෑ හැකියි. කෙසේවෙතත් තමන් ජීවත් වෙන බලප්‍රදේශයේ තිබෙන සභාව සමඟ පුද්ගලයෙක් ඇසුරු කරන විට ඔහුට හෝ ඇයට ආත්මික මෙන්ම වෙනත් ආකාරවලින්ද නිසැකවම ප්‍රයෝජන නෙළාගන්න පුළුවන්. හදිසි අවස්ථාවලදී සියලුම ප්‍රචාරකයන්ට ඉතා ඉක්මනින් තොරතුරු දැනුම් දෙන්නත් වැඩිමහල්ලන්ට හැකියි. තවත් ප්‍රයෝජන රැසක් පසුගිය ප්‍රශ්න පෙට්ටිවල සඳහන් වෙනවා.—1991 මැයි, 1976 මාර්තු සහ 1967 ජනවාරි (අවසන් දෙක සිංහලෙන් නැත).
සාමාන්‍යයෙන් රැස්වීම් සඳහා ළඟම තිබෙන සභාවට යෑම වඩාත් පහසුයි. මේ නිසා වේලාසනින් පැමිණ අනිත් අයත් සමඟ කතා බහ කරන්නත් අවශ්‍ය වෙනත් කාරණා කරන්නත් පුළුවන්. ඒ වගේම එසේ වේලාසනින් පැමිණීමෙන් ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට හවුල් වීමටද අවස්ථාව ලැබෙනවා. උනන්දුව දක්වන අලුත් අය අපේ නිවෙස් කිට්ටුව සිටින විට ඔවුන්ව හමු වී නිවාස බයිබල් පාඩම් පැවැත්වීම වඩාත් පහසු වන අතර ඔවුන්ට ලෙහෙසියෙන් යා හැකි රැස්වීම්වලට ඔවුන්ව යොමු කරන්නත් පුළුවන්.
තම පවුලේ අයගේ ආත්මික හා ශාරීරික යහපත උදෙසා ගත යුතු හොඳම තීරණය කුමක්ද කියා තීරණය කිරීමේදී අදාළ සෑම කාරණයක්ම යාච්ඤාපූර්වකව පරෙස්සමින් සලකා බලා පවුල් මූලිකයන් තීරණයක් ගනියි කියා අප විශ්වාස කරනවා.—1 තිමෝ. 5:8.