පාඩම් ලිපිය 6
බයිබලය එහි කර්තෘව හෙළි කරයි
“මා ඔබට පවසන සෑම දෙයක්ම ලියවිල්ලක සටහන් කරගන්න.”—යෙරෙ. 30:2.
ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි
මේ ලිපියෙන්a
1. බයිබලේ ඔයා ගොඩක් අගය කරන්නේ ඇයි?
බයිබලේ දීපු එක ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න අපිට කොච්චර නම් හේතු තියෙනවාද! ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න, ජීවිතේ සාර්ථක කරගන්න වටිනා උපදෙස් බයිබලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතේ ගැන ලස්සන බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. ඒ හැම දේටම වඩා තමන් කොයි වගේ කෙනෙක්ද කියලා යෙහෝවා දෙවියන් බයිබලෙන් හෙළි කරලා තියෙනවා. ඔහුගේ ලස්සන ගුණාංග ගැන හිතන තරමටම ඔහුට තව ළං වෙන්න අපේ හිතේ තියෙන ආසාව තවත් වැඩි වෙනවා.—ගීතා. 25:14.
2. යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට තමන් ගැන හෙළි කළේ මොන විදිවලින්ද?
2 මිනිස්සු තමන් ගැන දැනගන්නවාට යෙහෝවා දෙවියන් ගොඩක් ආසයි. ඒ නිසා අතීතයේදී ඔහු සිහින, දර්ශන සහ සමහර වෙලාවට දේවදූතයන් මාර්ගයෙන් මිනිස්සුන්ට ඔහු ගැන දැන්නුවා. (ගණන්. 12:6; ක්‍රියා 10:3, 4) හැබැයි ඒ තොරතුරු කොහේ හරි ලියලා තිබුණේ නැත්නම් අද ඉන්න අපි කොහොමද ඒවා අධ්‍යයනය කරන්නේ? “සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණ” නිසා අපිට තොරතුරු දැනුම් දෙන්න ඕන හොඳම විදිහ ඔහු දන්නවා. (ගීතා. 18:30) ඒ නිසයි අපි දැනගන්න ඕන හැම දෙයක්ම “ලියවිල්ලක සටහන් කරගන්න” කියලා ඔහු මිනිස්සුන්ට මඟ පෙන්නුවේ. (යෙරෙ. 30:2) ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි හැමෝගෙම ප්‍රයෝජනය වෙනුවෙන් අද අපි අතේ බයිබලේ තියෙනවා.
3. බයිබලේ මේ වෙන කල් ආරක්ෂා කරන්න දෙවියන් කළේ මොනවාද? (යෙසායා 40:8)
3 යෙසායා 40:8 කියවන්න. දෙවියන් අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔහුගේ වචනය මාර්ගයෙන් මිනිස්සුන්ට වටිනා මඟ පෙන්වීම් දීලා තියෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද? බයිබලේ මුල් ලියවිලි ලිව්වේ ලේසියෙන් දිරාපත් වෙන සත්ව හම්, පැපිරස් කොළ වගේ දේවල්වල නිසා අද වෙද්දී ඒ හැම එකක්ම විනාශ වෙලා ගිහින්. හැබැයි යෙහෝවා දෙවියන් ඒ ශුද්ධ ලියවිලි පිටපත් කරන්න මිනිස්සුන්ට කලින්ම මඟ පෙන්නුවා. ඒ පිටපත්කරුවන් අතින් සුළු සුළු වැරදි නොවුණාම නෙවෙයි. හැබැයි එයාලා ඒක නිවැරදිව පිටපත් කරන්න ලොකු මහන්සියක් දැරුවා. බලන්න, හෙබ්‍රෙව් ලියවිලි අධ්‍යයනය කරපු එක ප්‍රවීණයෙක් කියන දේ. “වෙන කිසිම පැරණි පොතකට වඩා හෙබ්‍රෙව් ලියවිලි නිවැරදිව පිටපත් වෙලා අපේ අතට ඇවිල්ලා තියෙනවා කියලා අපිට බයක් සැකක් නැතුව කියන්න පුළුවන්.” ඒ විදිහට බලද්දී බයිබලේ ලියලා කොච්චර කාලයක් ගත වුණත් මුල් පිටපත් විනාශ වෙලා ගියත් පිටපත්කරුවන් අතින් අඩුපාඩුකම් වුණත් අපිට එක දෙයක් පැහැදිලියි. ඒ බයිබලේ තියෙන්නේ දෙවියන්ගෙම අදහස් කියන එක.
4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
4 “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” අපිට ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්. (යාකො. 1:17) ඒ අතරින් වටිනාම තෑග්ගක් තමයි බයිබලය. සාමාන්‍යයෙන් තෑග්ගකින් ඒක දීපු කෙනා ගැන අපිට ගොඩක් දේවල් තේරුම්ගන්න පුළුවන්. එයා අපි ගැන කොච්චර දන්නවාද, අපේ ඕනෑ එපාකම් කොච්චර හොඳට තේරුම් අරන් ඉන්නවාද කියන එක ඒ තෑග්ගෙන් අපිට හෙළි වෙනවා. බයිබලේ ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. ඒක කියවද්දී ඒ තෑග්ග දුන්න යෙහෝවා දෙවියන් අපි ගැන කොච්චර සැලකිලිමත්ද, අපිව කොච්චර හොඳට තේරුම් අරන් ඉන්නවාද කියන එක පැහැදිලි වෙනවා. දෙවියන්ගේ ප්‍රඥාව, යුක්තිය සහ ආදරය ගැන බයිබලෙන් හෙළි වෙන්නේ මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලමු. මුලින්ම අපි ඔහුගේ ප්‍රඥාව ගැන බලමු.
අසමසම ප්‍රඥාව
5. බයිබලෙන් දෙවියන්ගේ ප්‍රඥාව දකින්න පුළුවන් එක විදිහක් මොකක්ද?
5 යෙහෝවා දන්නවා අපේ ජීවිතේට හොඳ මඟ පෙන්වීම් ඕනෙ කියලා. ඒ නිසා ඔහු අපිට දීපු තෑග්ගේ, ඒ කියන්නේ බයිබලේ පිටු අතරේ ඔහුගේ ප්‍රඥාව පිරිලා ඉතිරිලා යන්න ඔහු සලස්වලා තියෙනවා. ඒ ප්‍රඥාවන්ත උපදෙස්වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. මෝසෙස් බයිබලේ පළවෙනි පොත් පහ ලියද්දී දෙවියන්ගේ සෙනඟට මෙහෙම කිව්වා. “මා පවසන මේ දේවල් කිසි වැදගැම්මකට නැති දේවල් කියා කෙදිනකවත් නොසිතන්න. ඔබේ ජීවිත රඳා පවතින්නේ ඒ මතයි.” (ද්වි. 32:47) කෙනෙක් දෙවියන්ගේ මඟ පෙන්වීම් සහ උපදෙස් පිළිපදිනවා නම් සතුටින් ඉන්න, සාර්ථක වෙන්න එයාට පුළුවන්. (ගීතා. 1:2, 3) බයිබලේ ලියලා අවුරුදු දහස් ගාණක් ගෙවිලා තිබුණත් ජීවිත වෙනස් කරන්න ඒකට තියෙන බලය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. උදාහරණෙකට බයිබලේ නිසා ජීවිත වෙනස් කරගත්ත අයගේ අද්දැකීම් 50කට වඩා jw.org වෙබ් අඩවියේ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවේ තියෙනවා. ඒවා කියවද්දී “දෙවිට සේවය කරන ඔබේ හදවත් තුළ ක්‍රියා කරන්නේ ඒ පණිවිඩයේ තිබෙන බලයයි” කියන වචන කොච්චර ඇත්තද කියලා පැහැදිලියි.—1 තෙස. 2:13.
6. බයිබලේ වෙන කිසිම පොතකට සම කරන්න බැහැ කියලා කියන්න පුළුවන් ඇයි?
6 මේ ලෝකේ කතුවරු, ලේඛකයෝ කාලෙත් එක්කම මැරෙනවා. සමහර වෙලාවට එයාලා ලියපු පොත් පත් දිගටම තියෙයි. ඒත් ඒවාවල තියෙන අදහස් කල් ඉකුත් වෙනවා. හැබැයි බයිබලේ ඊට හාත්පසින්ම වෙනස්. මොකද ඒකේ කතුවරයා නම් කවදාවත් මැරෙන්නේ නැහැ. ඔහු සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන, සියලු බලැති, අසමසම ප්‍රඥාවක් තියෙන දෙවි කෙනෙක්. ඒ නිසා ඒකේ තියෙන මඟ පෙන්වීම්, ප්‍රතිපත්ති කවදාවත් කල් ඉකුත් වෙන්නේ නැහැ. අතීතයේ හිටපු අයට වගේම අද කාලේ ඉන්න අයටත් ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. බයිබලේ අනිත් හැම පොතකටම වඩා සුවිශේෂියි කියන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පොත කියවද්දී, ඉගෙනගත්ත දේවල් ගැන ගැඹුරින් හිතද්දී ඒ පොතේ කතුවරයා ඔහුගේ අසීමිත බලය දීලා ඒ දේවල් ජීවිතේට අදාළ වෙන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරනවා. (ගීතා. 119:27; මලා. 3:16; හෙබ්‍රෙ. 4:12) ඔව්, බයිබලේ කර්තෘ ඔහුගේ පාඨකයන්ට උදව් කරන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒ ගැන හිතද්දී හැම දවසකම බයිබලේ කියවන්න ඔයාගේ හිතෙත් පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද?
එදා වගේම අදත් බයිබලේ දෙවියන්ගේ සෙනඟව එක්සත් කරලා තියෙන්නේ කොහොමද? (7-8 ඡේද බලන්න)
7. අතීතයේ හිටපු දෙවියන්ගේ සෙනඟට එකමුතුව ඉන්න බයිබලේ උදව් වුණේ කොහොමද?
7 දෙවියන්ගේ සෙනඟට එකමුතුව ඉන්න දේවවචනය උදව් වෙලා තියෙන විදිහෙනුත් පේනවා ඒ මඟ පෙන්වීම් කොච්චර ප්‍රඥාවන්තද කියලා. ඒක තේරුම්ගන්න අපි ඊශ්‍රායෙල් කාලෙට යමු. ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශය පුරාම විසිරිලා හිටියා. සමහරු කළේ ධීවර රස්සාව. තවත් අය සත්තු හැදුවා. ඒ වගේම ගොවිතැන් කරපු අයත් හිටියා. ඒ නිසා පොරොන්දු දේශයේ එක කෙළවරක ජීවත් වුණ කෙනෙක්ට අනිත් කෙළවරේ හිටපු කෙනෙක්ට සැලකිල්ල දක්වන එක ලේසියෙන්ම අතපසු වෙන්න ඉඩ තිබුණා. හැබැයි දෙවියන් අණ කළා විටින් විට දේශය පුරාම විසිරිලා ඉන්න සෙනඟව එක තැනකට රැස් කරන්න කියලා. ඊටපස්සේ ශුද්ධ ලියවිලි කියවලා ඒවා සෙනඟට පැහැදිලි කරන්න කියලා ඔහු කිව්වා. (ද්වි. 31:10-13; නෙහෙ. 8:2, 8, 18) ටිකක් හිතන්න, යෙරුසලමට ආපු ඊශ්රායෙල්වරයෙක්ට දස දෙසින් රැස් වෙලා ඉන්න මිලියන ගාණක් සහෝදරයන්ව දකිද්දී කොහොම දැනෙන්න ඇද්ද! ඒ විදිහට යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කළා දිගටම එකමුතුව ඉන්න. දැන් අපි මුල් ක්‍රිස්තියානීන් ගැන බලමු. එයාලා අතරෙත් ලොකු විවිධත්වයක් තිබුණා. මොකද එක එක භාෂා කතා කරපු, එක එක පසුබිම්වලින් ආපු දුප්පත්, පොහොසත් හුඟදෙනෙක් සභාවට එකතු වුණා. හැබැයි එයාලා අතරේ එක සමානකමක් තිබුණා. ඒ තමයි දේවවචනයට තිබුණ ආදරේ. ඉතින් අලුතින් ක්‍රිස්තියානීන් වුණ අයට ශුද්ධ ලියවිල්ල තේරුම්ගන්න අනිවාර්යයෙන්ම අනිත් අයගේ උදව් ඕනෙ වුණා. (ක්‍රියා 2:42; 8:30, 31) ඒ විතරක් නෙවෙයි ශුද්ධ ලියවිලි ඉගෙනගන්න එයාලා නිතරම එකට රැස් වුණා. ඒ නිසා එක්සත්ව දෙවියන්ට නමස්කාර කරන්න එයාලට පුළුවන් වුණා.
8. බයිබලේ අද අපිව එක්සත් කරලා තියෙන්නේ කොහොමද?
8 එදා වගේම අදත් අපිට උගන්වන්න, අපිව එක්සත් කරන්න යෙහෝවා දෙවියන් බයිබලේ පාවිච්චි කරනවා. දෙවියන් ගැන ඇත්ත දැනගන්න, ඔහුට තවත් ළං වෙන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙන්නේ බයිබලේ. රැස්වීම්වලදී, සමුළුවලදී අපි බයිබලේ කියවනවා. ඒක පැහැදිලි කරනවා. ඒ වගේම ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විවිධ පැති ගැන අපි සාකච්ඡා කරනවා. ඇත්තෙන්ම කිව්වොත් දෙවියන්ගේ සෙනඟට ‘එක්සත්කමින් ඔහුට සේවය කරන්න’ පුළුවන් වෙලා තියෙන්නේ බයිබලේ නිසයි.—ශෙප. 3:9.
9. බයිබලේ තියෙන පණිවිඩය හරියටම තේරුම්ගන්න නම් කෙනෙක්ට තියෙන්නම ඕනෙ ගුණාංගය මොකක්ද? (ලූක් 10:21)
9 යෙහෝවාගේ ප්‍රඥාව පේන තවත් පැත්තක් දැන් අපි බලමු. ඔහු බයිබලේට ගොඩක් තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ නිහතමානී අයට විතරක් තේරුම්ගන්න පුළුවන් විදිහට. (ලූක් 10:21 කියවන්න.) අද ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැමෝම වගේ බයිබලේ කියවනවා. එක විශාරදයෙක් කියන විදිහට “වැඩියෙන්ම කියවන පොත විතරක් නෙවෙයි හුඟදෙනෙක් කාලේ අරන් හරිම වුවමනාවෙන් කියවන පොතත් බයිබලයයි.” හැබැයි ඒ කොහොම වුණත් බයිබලේ තියෙන දේවල් නිවැරදිව තේරුම්ගන්නත් ඒවා අදාළ කරගන්නත් පුළුවන් වෙන්නේ නිහතමානී හදවත් තියෙන අයට විතරයි.—2 කොරි. 3:15, 16.
10. දෙවියන්ගේ ප්‍රඥාව පේන තව විදිහක් මොකක්ද?
10 දෙවියන් කණ්ඩායමක් විදිහට විතරක් නෙවෙයි අපි එක් එක් කෙනාටත් බයිබලෙන් අවශ්‍ය මඟ පෙන්වීම්, සහනය දෙනවා. බයිබලේ කියවද්දී අපි හැමෝටම යෙහෝවාගේ ආදරේ දැනිලා තියෙනවා නේද? (යෙසා. 30:21) ප්‍රශ්නෙක ඉද්දී ‘මේක නම් මටම ලියපු එකක්’ කියලා ඔයාටත් දැනිලා නැද්ද? ඒත් බයිබලේ ලියලා තියෙන්නේ එක් කෙනෙක්, දෙන්නෙක් වෙනුවෙන් නෙවෙයි, මිලියන ගාණක් වෙනුවෙන්. එහෙමනම් ඒක ඔයා වෙනුවෙන්ම ලියපු එකක් කියලා ඔයාට දැනෙන්නේ කොහොමද? ඒකට තියෙන්නේ එකම එක උත්තරයයි. ඒ, අසමසම ප්‍රඥාවක් තියෙන යෙහෝවා දෙවියන් බයිබලේ කර්තෘ නිසයි.—2 තිමෝ. 3:16, 17.
නොවෙනස් වෙන යුක්තිය
11. දෙවියන් හැමෝටම එක වගේ සලකනවා කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද?
11 යුක්තිය කියන්නේ යෙහෝවා දෙවියන්ගේ තවත් ගුණාංගයක්. (ද්වි. 32:4) ඒ නිසා ඔහු හැමෝටම එක වගේ සලකනවා. (ක්‍රියා 10:34, 35; රෝම 2:11) ඒක බයිබලේ ලියවුණ විදිහෙනුත් හොඳටම පේනවා. බයිබලේ මුල් පොත් 39න් වැඩි හරියක්ම ලියලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන්. මොකද ඒ කාලේ හිටපු දෙවියන්ගේ සේවකයන්ගෙන් හුඟදෙනෙක්ට තේරුණේ ඒ භාෂාව. හැබැයි මුල් සියවස වෙද්දී වැඩිදෙනෙක් කතා කළේ ග්‍රීක භාෂාව. ඒ නිසා බයිබලේ අන්තිම පොත් 27 ග්‍රීක භාෂාවෙන් ලියන්න දෙවියන් මඟ පෙන්නුවා. හැබැයි දෙවියන් බයිබලේ එක භාෂාවකට, දෙකකට විතරක් සීමා කළේ නැහැ. අද ලෝකේ පුරා බිලියන 8ක විතර සෙනඟක් ඉන්නවා. එයාලා භාෂා දහස් ගාණක් කතා කරනවා. ඉතින් ඒ හැමෝම දෙවියන් ගැන දැනගන්නේ කොහොමද?
12. අන්තිම කාලේදී දානියෙල් 12:4 ඉටු වෙලා තියෙන එක විදිහක් කියන්න.
12 යෙහෝවා දෙවියන් දානියෙල්ට කිව්වා අන්තිම කාලේදී ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා’ කියලා. (දානියෙල් 12:4 කියවන්න.) ඒක ඉටු වෙලා තියෙන්නේ කොහොමද? මේ වෙද්දී බයිබලේ සහ බයිබලේ මත පදනම් ප්‍රකාශන භාෂා දහස් ගාණකට පරිවර්තනය කරනවා. ඒ වගේම ලෝකේ පුරාම බෙදාහරිනවා. අදටත් ලෝකේ වැඩිපුරම පරිවර්තනය කරන සහ බෙදාහරින පොත බයිබලයයි. අද පොත් සාප්පුවල ඕන තරම් බයිබල් ගන්න තියෙනවා. හැබැයි ඒවා ගිනි ගණන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ සම්පූර්ණයෙන් හරි කොටස් වශයෙන් හරි භාෂා 240කටත් වඩා වැඩි ගාණකින් පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි අපි ඒවා දෙන්නේ සත පහක්වත් අය කරන්නේ නැතුව. ඒ නිසා අවසානය එන්න කලින් හැම ජාතියකම ඉන්න අයට “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” දැනගෙන ඒකට කීකරු වෙන්න පුළුවන් වෙනවා. (මතෙ. 24:14) අපේ දෙවියන් යුක්තියට කැමති කෙනෙක්. ඒ නිසා ඔහුට ඕනෙ බයිබලේ කියවලා ඔහුව දැන හඳුනා ගන්න පුළුවන් තරම් දෙනෙක්ට අවස්ථාව දෙන්න. මොකද ඔහු අපි හැමෝටම ගොඩක් ආදරෙයි.
අසීමිත ආදරය
13. බයිබලෙන් දෙවියන්ගේ ආදරේ දකින්න පුළුවන් කොහොමද? (යොහන් 21:25)
13 බයිබලේ පිටු අතරේ අපිට යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය ඒ කියන්නේ ආදරය දැකගන්න පුළුවන්. (1 යොහ. 4:8) ඔහු බයිබලේට ඇතුළත් කරපු දේවල් සහ ඇතුළත් නොකරපු දේවල් ගැන ටිකක් හිතන්න. ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න, සතුටින් ඉන්න, සදාකාල ජීවිතේ ලබාගන්න අපි දැනගන්න ඕනෙ හැම දෙයක්ම ඔහු බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි අපිට දරන්න බැරි තරම් තොරතුරු ප්‍රමාණයක් ඔහු ඒකට පටවලා නැහැ. ඒ අපිට ආදරේ නිසයි.—යොහන් 21:25 කියවන්න.
14. යෙහෝවා අපිට ආදරේ පෙන්නලා තියෙන තව විදිහක් කියන්න.
14 යෙහෝවා දෙවියන් අපේ ජීවිතේ හැම පුංචි කාරණයකටම අගක් මුලක් නැති නීති මාලාවක් දාලා අපිව කොටු කරලා නැහැ. ඒ වෙනුවට ඔහු අපිටම හිතලා බලලා හොඳ තීරණයක් ගන්න උදව් වෙන මඟ පෙන්වීම්, සැබෑ ජීවිත අද්දැකීම් සහ අනාවැකි බයිබලේට ඇතුළත් කළා. ඒ විදිහට ඔහු අපිට ගෞරවය පෙන්නලා තියෙනවා. ඒකෙනුත් පේන්නේ ඔහු අපිට කොච්චර ආදරේද කියලයි. ඒ නිසා මේ අද්විතීය පොත කියවද්දී දෙවියන්ට ආදරේ කරන්න, ඔහුට කීකරු වෙන්න අපි මුළු හදවතින්ම පෙලඹෙනවා.
දෙවියන් ඔහුගේ සෙනඟ එක්ක වැඩ කරපු විදිහ ගැන හිතන්න අපි කාලේ ගන්න ඕනෙ ඇයි? (15 ඡේදය බලන්න)
15. (අ) දෙවියන් අපි ගැන ගොඩක් සැලකිලිමත් කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද? (ආ) පින්තූරෙන් පෙන්නන විදිහට පුංචි දුව, යෞවන සහෝදරයා සහ මහලු සහෝදරිය කල්පනා කරන්නේ මොන බයිබල් චරිත ගැනද? (උත්. 39:1, 10-12; 2 රාජා. 5:1-3; ලූක් 2:25-38)
15 යෙහෝවා දෙවියන් අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අපිට බයිබලේ කියවද්දී තේරෙනවා. මොකද අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන්ට හැඟුණ, දැනුණ විදිහ ඔහු බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. ඒ චරිත ගැන කියවද්දී අපිට තේරෙනවා එයාලත් ‘අපි වගේම හැඟීම් තියෙන’ අය කියලා. (යාකො. 5:17) ඒ හැම දේටමත් වඩා යෙහෝවා එයාලත් එක්ක වැඩ කරපු විදිහ, එයාලට සලකපු විදිහ ගැන කියවද්දී අපිට තේරෙනවා “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්” කියලා.—යාකො. 5:11.
16. වැරදි කරපු අයත් එක්ක යෙහෝවා වැඩ කරපු විදිහෙන් අපිට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (යෙසායා 55:7)
16 දෙවියන්ගේ ආදරේ දකින්න පුළුවන් තවත් පැත්තක් බලමු. බයිබලේ සහතික කරනවා අපේ අතින් වරදක් වුණත් දෙවියන් කවදාවත් අපිව අත්හරින්නේ නැහැ කියලා. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු ආයේ ආයේ යෙහෝවාට විරුද්ධව පව් කළා. ඒත් එයාලා පසුතැවිලි වෙලා ආයෙත් ඔහු ගාවට එද්දී ඔහු අහක බැලුවේ නැහැ. එයාලට හදවතින්ම සමාව දුන්නා. (යෙසායා 55:7 කියවන්න.) දෙවියන් මුල් ක්‍රිස්තියානීන්ටත් තේරුම් කරලා දුන්නා ඔහුගේ ආදරේ කොච්චර ගැඹුරුද කියලා. ඒ නිසයි දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් පාවුල් කිව්වේ බරපතළ වරදක් කරලා පසුතැවිලි වුණ කෙනාට “සමාව දීලා ඔහුව සනසන්න” කියලා. (2 කොරි. 2:6, 7; 1 කොරි. 5:1-5) අපිට ඒකෙන් යෙහෝවා දෙවියන් ගැන ලස්සන දෙයක් ඉගෙනගන්න පුළුවන්. කෙනෙක් අතින් වරදක් වුණ පළියට ඔහු එයාව අවලංගු කාසියක් වගේ අහක දාන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාට ළං වෙලා ඒ වැරැද්ද හදාගන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි එයා ආයෙත් ඔහුගේ තුරුලට එන කල් ඔහු ආසාවෙන් බලන් ඉන්නවා.—යාකො. 4:8-10.
“යහපත් දීමනාව” අගය කරන්න
17. බයිබලේ මිල කරන්න බැරි තෑග්ගක් කියන්නේ ඇයි?
17 අපි මේ ලිපියෙන් බලපු විදිහට දෙවියන්ගේ ප්‍රඥාව ගැන, යුක්තිය ගැන සහ ඔහුගේ ආදරේ ගැන ගොඩක් දේවල් බයිබලෙන් හෙළි වෙනවා. ඒ වගේම බයිබලේ කියවද්දී අපිට පැහැදිලි වෙනවා ඔහුට ඕනෙ අපි ඔහුව වඩාත් හොඳින් දැන හඳුනා ගෙන ඔහුගේ යාළුවන් වෙනවා දකින්න කියලා. ඒකයි බයිබලේ අපිට ලැබුණ මිල කරන්න බැරි තෑග්ගක් කියන්නේ.
18. යෙහෝවා දීලා තියෙන මේ “යහපත් දීමනාව” අගය කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?
18 යෙහෝවා දීලා තියෙන “යහපත් දීමනාව” වන ඔහුගේ වචනය අපි කවදාවත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. (යාකො. 1:17) ඒත් ඒ ගැන ඔයාගේ හිතේ තියෙන අගය පෙන්නන්න පුළුවන් කොහොමද? හැම දවසකම යාච්ඤා කරලා බයිබලෙන් කොටසක් කියවන්න. කියවපු දේ ගැන ගැඹුරින් හිතන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් ඔයාට ආශීර්වාද කරයි. ඒ වගේම මේ තෑග්ග දීපු ශ්‍රේෂ්ඨ කර්තෘව වඩාත් හොඳින් “දැන හඳුනා ගන්නත්” ඔයාට පුළුවන් වෙයි.—හිතෝ. 2:5.
ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
a යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව, යුක්තිය සහ අසීමිත ආදරේ බයිබලෙන් හෙළි වෙන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න එකෙන් බයිබලේ ගැන ඔයාගේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙයි. ඒක ඇත්තටම දෙවියන්ගෙන් ඔයාට ලැබුණ වටිනා තෑග්ගක් කියලා ඔයාට දැනෙයි. ඔව්, මේ අද්විතීය පොත දෙවියන්ට තව තවත් ළං වෙන්න ඔයාට උදව් කරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.