ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 දෙසැම්බර් 18-23 පි.
  • යෞවනියෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනියෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳ ගුණාංග වර්ධනය කරගන්න
  • හැකියාවන් දියුණු කරගන්න
  • වගකීම් කරට ගන්න ලෑස්ති වෙන්න
  • යෞවනයෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 දෙසැම්බර් 18-23 පි.

පාඩම් ලිපිය 52

යෞවනියෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න

‘ස්ත්‍රීන්ද සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන, සියල්ලේදී විශ්වාසවන්තව කටයුතු කරන අය විය යුතුයි.’—1 තිමෝ. 3:11.

ගීතිකාව 133 යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

මේ ලිපියෙන්a

1. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

ගොඩක් අම්මලා, තාත්තලා කියනවා එයාලාගේ පුංචි දරුවා බලන් ඉද්දී ලොකු වෙනවා කියලා. ඔව්, දරුවෙක් උස් මහත් වෙන එක කාලෙත් එක්ක ඉබේම වෙන දෙයක්. හැබැයි අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන එක නම් කීයටවත් ඉබේම වෙන්නේ නැහැ.b (1 කොරි. 13:11; හෙබ්‍රෙ. 6:1) මොකද අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න නම් අපි යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම ඒකට අපිට දෙවිගේ බලයත් ඕනේ. මොකද ඔහුගේ බලය නැතුව හොඳ ගතිගුණ වර්ධනය කරගන්න, හැකියාවන් දියුණු කරගන්න, වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න අපිට බැහැ.—හිතෝ. 1:5.

2. උත්පත්ති 1:27න් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවියන් මිනිස්සුන්ව හැදුවේ පුරුෂයන් සහ ස්ත්‍රීන් විදිහට. (උත්පත්ති 1:27 කියවන්න.) අපි හැමෝම දන්නවා පෙනුම අතින් නම් පුරුෂයෙක් සහ ස්ත්‍රියක් ගොඩක් වෙනස් කියලා. හැබැයි එයාලා වෙනස් වෙන තව පැතිත් තියෙනවා. උදාහරණෙකට යෙහෝවා පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට වෙන වෙනම වගකීම් දුන්නා. ඒ වගකීම් හොඳින් ඉටු කරන්න එයාලට සමහර ගුණාංග සහ හැකියාවන් තියෙන්න ඕනේ. (උත්. 2:18) ඒවා දියුණු කරගෙන අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න එයාලට පුළුවන් කොහොමද? මුලින්ම අපි යෞවන සහෝදරියන්ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා බලමු. ඊළඟ සතියේ සහෝදරයන් ගැන බලමු.

හොඳ ගුණාංග වර්ධනය කරගන්න

පින්තූරවල අදහස: යෞවනියක් කණ්ණාඩියෙන් එයා දිහා බලන ගමන් එයා කියවපු අපේ ප්‍රකාශනයක තියෙන තොරතුරු ගැන හිතනවා. පොඩි පින්තූර: 1. ඔටුවන්ට බොන්න රෙබෙකා වතුර පුරවනවා. 2. එස්තර් මොර්දෙකයිට කෑම පිළිගන්වනවා. 3. අබිගායිල් දණ ගහලා එයාගේ සහ එයාගේ ගෙදර ඉන්න හැමෝගෙම ජීවිත බේරලා දෙන්න කියලා ඉල්ලනවා.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න රෙබෙකාගේ, එස්තර්ගේ සහ අබිගායිල්ගේ ආදර්ශ ඔයාට උදව් වෙයි (3-4 ඡේද බලන්න)

3-4. යෞවනියන්ට හොඳ ආදර්ශ හොයාගන්න පුළුවන් කොහෙන්ද? (පින්තූරයත් බලන්න.)

3 යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරපු, වෙහෙස මහන්සි වෙලා ඔහුට සේවේ කරපු සුවිශේෂී කාන්තාවන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. (jw.org වෙබ් අඩවියේ “බයිබලයේ සඳහන් ස්ත්‍රීන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?” කියන ලිපිය බලන්න.) අපේ ප්‍රධාන බයිබල් පදෙත් කියන විදිහට එයාලා ‘සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරපු, සියල්ලේදීම විශ්වාසවන්තව කටයුතු කරපු අය.’ ඊට අමතරව අපේ සභාවලත් ආදර්ශයට ගන්න පුළුවන් සහෝදරියන් ඕන තරම් ඉන්නවා.

4 යෞවනියෙනි, ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් ඒ වගේ සහෝදරියන්ව ඔයාට මතක් වෙනවාද? මුලින්ම එයාලා ගාව තියෙන්නේ මොන වගේ ලස්සන ගුණාංගද කියලා හිතන්න. ඊටපස්සේ එයාලව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතන්න. අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන් ගාව තියෙන්නම ඕනෙ ගුණාංග තුනක් ගැන අපි ඊළඟ ඡේදවලදී සාකච්ඡා කරනවා.

5. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න නිහතමානිකම තියෙන්නම ඕනෙ ඇයි?

5 නිහතමානිකම කියන්නේ ක්‍රිස්තියානීන්ට නැතුවම බැරි ගුණාංගයක්. සහෝදරියක් නිහතමානියි නම් එයාට යෙහෝවා එක්ක වගේම අනිත් අය එක්කත් හොඳ බැඳීමක් තියාගන්න පුළුවන්. (යාකො. 4:6) උදාහරණෙකට යෙහෝවාට ආදරේ කරන සහෝදරියක් දන්නවා මූලිකත්වය ගැන සැලැස්ම ඇති කළේ එයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවාමයි කියලා. ඒ නිසා එයා නිහතමානීව කැමැත්තෙන්ම ඒකට යටත් වෙනවා. (1 කොරි. 11:3) එයා තේරුම්ගන්නවා ඒ සැලැස්මට එයා සභාවේදී වගේම පවුලේදීත් කීකරු වෙන්න ඕනෙ කියලා.c

6. නිහතමානිකම ගැන රෙබෙකාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 රෙබෙකා කියන්නේ හරිම බුද්ධිමත්, හොඳ තීරණ ගත්ත කාන්තාවක්. එයාගේ මුළු ජීවිතේම දිහා බලද්දී අපිට පේනවා එයා අවශ්‍ය තැනදී බලබල ඉන්නේ නැතුව ඉක්මනින්ම පියවර ගත්ත කෙනෙක් කියලා. (උත්. 24:58; 27:5-17) ඒ වුණත් එයා අනිත් අයට ගොඩක් ගරු කළා. ඒ වගේම මූලිකත්වයට කැමැත්තෙන්ම යටත් වුණා. (උත්. 24:17, 18, 65) ඔයාත් රෙබෙකා වගේ යෙහෝවා ඇති කරලා තියෙන සැලසුම්වලට නිහතමානීව සහයෝගය දෙනවා නම් ඔයාගේ පවුලේ අයට, සභාවට වටිනා ආදර්ශයක් වෙන්න ඔයාට පුළුවන්.

7. සීමාව තේරුම් අරන් වැඩ කරන එක ගැන එස්තර්ගෙන් යෞවනියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 බයිබලේ කියනවා “නිහතමානී අය ප්‍රඥාවන්තයි” කියලා. (හිතෝ. 11:2) ඒ වගේ කෙනෙක් එයාගේ සීමාව තේරුම් අරන් වැඩ කරනවා. ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝම සීමාව තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. එස්තර් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. එයා හැම වෙලේම එයාව හදා වඩා ගත්ත එයාගේ ඥාතියෙක් වුණ මොර්දෙකයි දීපු මඟ පෙන්වීම්වලට කීකරු වුණා. අඩුම තරමේ රජ බිසවක් වුණාට පස්සෙවත් එයා හිතුමතේට වැඩ කළේ නැහැ. (එස්ත. 2:10, 20, 22) ඔයාටත් පුළුවන් නිහතමානීව අනිත් අයගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඒවා අදාළ කරගන්න.—තීත. 2:3-5.

8. ඇඳුම් පැලඳුම් ගැන හොඳ තීරණ ගන්න සහෝදරියකට පුළුවන් කොහොමද? (1 තිමෝති 2:9, 10)

8 සීමාව තේරුම් අරන් වැඩ කරන කෙනෙක් විනීතයි කියලත් කියන්න පුළුවන්. ඒක තේරුම්ගන්න අපි ආයෙත් එස්තර් ගැන බලමු. බයිබලේ කියනවා “ඇය ඉතා රූමත් තරුණියක්” කියලා. හැබැයි එහෙමයි කියලා එයා කවදාවත් අනිත් අයගේ අවධානය ඇදගන්න හැදුවේ නැහැ. (එස්ත. 2:7, 15) එස්තර්ව ආදර්ශයට ගන්න අපේ සහෝදරියන්ට පුළුවන් කොහොමද? එක විදිහක් ගැන 1 තිමෝති 2:9, 10 කියලා තියෙනවා. (කියවන්න.) පාවුල් කිව්වා ස්ත්‍රියක් අඳින පලඳින විදිහෙන් විනීතකම සහ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරනවා කියන එක පේන්න ඕනෙ කියලා. පාවුල් එතන පාවිච්චි කරපු ග්‍රීක වචනවලින් අදහස් වෙන්නේ සහෝදරියක් ගෞරවනීය විදිහට අඳින්න පලඳින්න ඕනෙ කියන එක. ඒ වගේම එයා අනිත් අයගේ හැඟීම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ කියන එක. ඒ විදිහට විනීතව අඳින පලඳින අපේ සහෝදරියන් ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්!

9. අබිගායිල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන් ගාව තියෙන්න ඕනෙ තවත් ගුණාංගයක් තමයි වටහාගැනීමේ හැකියාව. වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක්ට හරි වැරැද්ද තේරුම් අරන් ඥානවන්ත තීරණ ගන්න හැකියාව තියෙනවා. අබිගායිල් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. සැරයක් එයාගේ මහත්තයා හරිම මෝඩ තීරණයක් ගත්තා. ඒ නිසා තව පොඩ්ඩෙන් ගෙදර හිටපු හැමෝගෙම ජීවිත අනතුරේ වැටෙනවා. ඒක දැනගත්ත ගමන් අබිගායිල් ඉක්මනටම පියවර ගත්තා. හොඳට හිතලා බලලා එයා ගත්ත ඥානවන්ත තීරණය නිසා හැමෝගෙම ජීවිත බේරුණා. (1 සාමු. 25:14-23, 32-35) වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙන තවත් පැත්තක් තියෙනවා. ඒක උදව් වෙනවා අපි කතා කරන්න ඕනෙ කොයි වෙලාවෙද නිහඬව ඉන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා තේරුම්ගන්න. ඒ වගේම අනිත් අයව අපහසුතාවයට පත් කරන්නේ නැතුව එයාලට පෞද්ගලික සැලකිල්ල පෙන්නන්නත් ඒක අපිට උදව් වෙනවා.—1 තෙස. 4:11.

හැකියාවන් දියුණු කරගන්න

යෞවනියක් “යොවුන් සිතේ ගැටලු 10කට උත්තර” කියන සඟරාව කියවනවා. එයාගේ මේසේ උඩ දිග ඇරපු බයිබලයක්, සටහන් පොතක් සහ පෑනක් තියෙනවා.

හොඳට ලියන්න, කියවන්න ඉගෙනගත්ත එකෙන් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? (11 ඡේදය බලන්න)

10-11. හොඳට ලියන්න, කියවන්න ඉගෙනගන්න එකෙන් ඔයාටත් අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 අපේ සහෝදරියනුත් එයාලාගේ දක්ෂතා, හැකියාවන් දියුණු කරගන්න එක හරිම වැදගත්. සමහර දේවල් එයාලා ඉගෙනගන්න පටන්ගන්නේ පුංචි කාලේදීමයි. හැබැයි ඒවා එයාලාගේ මුළු ජීවිත කාලෙටම ප්‍රයෝජනවත්. මේ උදාහරණ කීපය බලන්න.

11 හොඳින් ලියන්න සහ කියවන්න ඉගෙනගන්න. සමහර සංස්කෘතිවල අය හිතන්නේ කාන්තාවන් ලියන්න, කියවන්න ඉගෙනගන්න එක අත්‍යවශ්‍ය නැහැ කියලා. හැබැයි ඇත්තටම ඒක හැම ක්‍රිස්තියානියෙක්ම දියුණු කරගන්න ඕනෙ දෙයක්.d (1 තිමෝ. 4:13) ඒ නිසා කොච්චර අමාරුයි කියලා හිතුණත් ඒක දියුණු කරගන්න එක අත්හරින්න එපා. මොකද රස්සාවක් හොයාගන්න, රස්සාව හොඳට කරන්න ඒ හැකියාව ඔයාට ගොඩක් උදව් වෙයි. ඒ වගේම හොඳට බයිබලේ අධ්‍යයනය කරන්න, බයිබලේ ගැන දක්ෂ විදිහට උගන්නන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒ හැම දේටම වඩා ඔයා බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතද්දී ඔයා යෙහෝවා දෙවියන්ට තව තවත් ළං වෙනවා.—යොෂු. 1:8; 1 තිමෝ. 4:15.

12. හිතෝපදේශ 31:26 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අපි හැමෝම හොඳින් ඇහුම්කන් දෙන්න, කාරුණිකව කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. යාකොබ් මෙහෙම කිව්වා. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.” (යාකො. 1:19) කෙනෙක්ට හොඳට ඇහුම්කන් දෙද්දී ඔයා පෙන්නනවා එයාව තේරුම්ගන්න ඔයාට ලොකු වුවමනාවක් තියෙනවා කියලා. ඒ වගේම එයා ගැන ලොකු “අනුකම්පාවක්” තියෙනවා කියලා. (1 පේතෘ. 3:8) ඒත් එයාව තේරුම්ගන්න ඔයාට අමාරු නම් මොකද කරන්නේ? එයාව අපහසුතාවයට පත් වෙන්නේ නැති විදිහේ ප්‍රශ්නයක් දෙකක් අහන්න. ඊටපස්සේ කතා කරන්න හදිස්සි වෙන්නේ නැතුව එයා කියපු දේ ගැන හොඳට හිතන්න. (හිතෝ. 15:28) ඊළඟට ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මං දැන් කියන්න යන දේ ඇත්තද? ඒකෙන් එයා දිරිගැන්වෙයිද? ඒකෙන් මං එයාට ආදරෙයි, මං එයාට ගෞරව කරනවා කියලා එයාට දැනෙයිද?’ ඒ වගේම අනිත් අයට හොඳින් ඇහුම්කන් දෙන, එයාලට ආදරෙන් කතා කරන සහෝදරියන්ගෙනුත් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (හිතෝපදේශ 31:26 කියවන්න.) එයාලා කියන දේ වගේම ඒක කියන විදිහ දිහාත් හොඳට බලන්න. ඉතින් ඔයා ඒ යෝජනා අදාළ කරගෙන මේ හැකියාව දියුණු කරගද්දී අනිත් අය එක්ක ඔයාට තියෙන බැඳීමුත් තව ශක්තිමත් වෙයි.

යෞවනියක් එයාගේ අම්මාත් එක්ක පොළේ ගිහින් බඩුවල ගාණ අඩු කරගන්න වෙළෙන්දා එක්ක කතා කරනවා.

ගෙදරදොරේ වැඩ හොඳට දන්න සහෝදරියක් පවුලේ අයට වගේම සභාවටත් ලොකු ආශීර්වාදයක්! (13 ඡේදය බලන්න)

13. ගෙදරදොරේ වැඩකටයුතු බලා කියා ගන්න ඉගෙනගන්න ඔයාට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 ගෙදරදොරේ වැඩකටයුතු බලා කියා ගන්න ඉගෙනගන්න. සාමාන්‍යයෙන් කාන්තාවන් තමයි ගෙදරදොරේ වැඩ වැඩිපුරම කරන්නේ. සහෝදරි සින්ඩි කියන දේ බලන්න. “මහන්සි වෙලා වැඩ කරන එකෙන් ලොකු සතුටක් ලැබෙනවා කියලා මං අම්මාගෙන් ඉගෙනගත්තා. ඇත්තටම ඒ පුහුණුව අම්මා මට දීපු වටිනාම තෑග්ගක්. හොඳට උයන්න පිහන්න, ගේදොර අස්පස් කරන්න, මැහුම් ගෙතුම් කරන්න අම්මා මට කියලා දුන්නා. ඒ වගේම සල්ලි නාස්ති කරන්නේ නැතුව තෝරලා බේරලා ගෙදරට ඕන කරන බඩු ගන්නත් අම්මා මාව පුහුණු කළා. ඇත්තටම කිව්වොත් ඒ දේ මට ගොඩක් උදව් වුණා යෙහෝවාට වැඩිපුර සේවේ කරන්න. ඒ වගේම අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නන විදිහත් අම්මා මට කියලා දුන්නා. ඒ නිසා හුඟක් හොඳ ගතිගුණ තියෙන සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න, එයාලාගෙන් ඉගෙනගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.” (හිතෝ. 31:15, 21, 22) මහන්සි වෙලා වැඩ කරන, ආගන්තුක සත්කාරයට ළැදි, හොඳින් ගෙදරදොරේ වැඩකටයුතු බලා කියා ගන්න සහෝදරියන් අපි අතරෙත් ඉන්නවා. එයාලාගෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඇත්තටම එයාලා පවුලේ අයට වගේම සභාවටත් ලොකු ආශීර්වාදයක්!—හිතෝ. 31:13, 17, 27; ක්‍රියා 16:15.

14. ඔයා ක්‍රිස්ටල්ගෙන් ඉගෙනගත්තේ මොනවාද? ඔයා වැඩියෙන්ම අවධානය දෙන්න ඕනෙ මොකකටද?

14 අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ට තියාගන්න පුළුවන් තව ඉලක්කයක් තමයි අනිත් අයට බරක් නොවී ජීවත් වෙන්න පුරුදු වෙන එක. (2 තෙස. 3:8) ඒක කරන්න උදව් වෙන්නේ මොකක්ද? සහෝදරි ක්‍රිස්ටල් මෙහෙම කියනවා. “ඉස්කෝලේ ලොකු පන්තිවලට ගියාම මං තෝරගන්නේ මොන විෂයන්ද කියලා තීරණය කරන්න අම්මලා මට උදව් කළා. තාත්තා මට කිව්වා විෂයක් විදිහට ගිණුම්කරණය කරන්න කියලා. ඒක ඇත්තට මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.” හැබැයි හොඳ රස්සාවක් කරන්න උදව් වෙන විෂයක් තෝරගත්තාට විතරක් මදි. රස්සාවක් කරද්දී ඔයාට ලැබෙන පඩිය අරපිරිමැස්මෙන් වියදම් කරන්න ඉගෙනගන්නත් ඕනේ. (හිතෝ. 31:16, 18) ඒක ඔයාට උදව් වෙනවා වියදම් තනියෙන් පිරිමහගෙන ඔයාට තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්න. හැබැයි ඒ මොන දේ වුණත් ඔයා වැඩියෙන්ම අවධානය දෙන්න ඕනෙ නමස්කාරය පැත්තෙන් ඉලක්ක තියාගන්න එකට. ඉතින් ඔයා අනවශ්‍ය විදිහට ණය වෙන්නේ නැත්නම්, සරල ජීවිතයක් ගත කරන්න පුරුදු වෙනවා නම් ඒ ඉලක්ක ජය අරන් යෙහෝවා වෙනුවෙන් වැඩි සේවයක් කරන්න ඔයාට පුළුවන්.—1 තිමෝ. 6:8.

වගකීම් කරට ගන්න ලෑස්ති වෙන්න

15-16. තනිකඩ සහෝදරියන් අපිට ගොඩක් වටින්නේ ඇයි? (මාක් 10:29, 30)

15 ඔයා දෙවියන් ආස ගුණාංග වර්ධනය කරගද්දී, ඔයාගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කරගද්දී ඔයා ඇත්තටම කරන්නේ අනාගත වගකීම් කරට ගන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන එක. මේ උදාහරණ බලන්න.

16 ඔයා කාලයක් තනිකඩව ඉන්න තීරණය කරන්න පුළුවන්. සමහර සංස්කෘතිවල ඉන්න අය හිතනවා කෙනෙක් අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනෙ කියලා. ඒ වුණත් සමහර සහෝදරියන් යේසුස් කියපු දේ හිතට අරන් විවාහ නොවී ඉන්න තීරණය කරනවා. (මතෙ. 19:10-12) තවත් අයට තනිකඩව ඉන්න වෙලා තියෙන්නේ වෙනත් හේතු නිසා. හැබැයි යෙහෝවාවත් යේසුස්වත් කීයටවත් හිතන්නේ නැහැ තනිකඩ අය විවාහ වුණ අයට වඩා වටිනාකමින් අඩුයි කියලා. ඇත්තම කිව්වොත් තනිකඩ සහෝදරියන් ලෝකේ පුරාම තියෙන සභාවල ලොකු වැඩ කොටසක් කරනවා. එයාලා අනිත් අයට ගොඩක් ආදරෙයි, අනිත් අයට අවංක සැලකිල්ලක් පෙන්නනවා. ඒ නිසා අපේ තනිකඩ සහෝදරියන් සභාවේ අයට සත්‍ය මාර්ගයේ දිගටම යන්න අත දෙන අපේම අක්කලා නංගිලා වගේ. අපේම අම්මලා වගේ.—මාක් 10:29, 30 කියවන්න; 1 තිමෝ. 5:2.

17. පූර්ණකාලීන සේවයට අඩිය තියන්න යෞවනියකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

17 ඔයා පූර්ණකාලීන සේවය කරන්න තීරණය කරන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ පුරා සිද්ධ වෙන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේට වැඩියෙන්ම හවුල් වෙන්නේ අපේ සහෝදරියන්. (ගීතා. 68:11) ඉතින් පූර්ණකාලීන සේවයට අඩිය තියන්න ඔයාට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න පුළුවන්ද? ඔයාට පුරෝගාමි සේවය, ඉදි කිරීම් සේවය එහෙම නැත්නම් බෙතෙල් සේවය කරන්න පුළුවන්. ඔයාගේ ඉලක්කය මොකක් වුණත් ඒ ගැන යෙහෝවාට කියන්න. ඒ ඉලක්කයට දැනටමත් ගිහින් ඉන්න අය එක්ක කතා කරන්න. ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕනෙ මොනවාද කියලත් එයාලාගෙන් අහන්න. ඊටපස්සේ ඒ ඉලක්කයට යන්න ඔයාගේ තත්වයට ගැළපෙන විදිහේ ප්ලෑන් එකක් හදාගන්න. ඔයා ඒ ඉලක්කයට ගියාම ඔයා හිතන්නෙවත් නැති විදිවලින් යෙහෝවා ඔයාව පාවිච්චි කරයි.

යෞවනියක් සහෝදරියන් කීපදෙනෙක් එක්ක කතා කරකර ඉන්නවා. එයා දකිනවා තනිකඩ සහෝදරයෙක් කිංඩම් හෝල් එක පිරිසිදු කරන විදිහ.

සහකරුවෙක්ව පරෙස්සමින් තෝරගන්න (18 ඡේදය බලන්න)

18. සහකරුවෙක්ව තෝරගද්දී සහෝදරියක් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.)

18 ඔයා විවාහ වෙන්න තීරණය කරන්න පුළුවන්. අපි මේ ලිපියෙන් බලපු ගුණාංග, හැකියාවන් වර්ධනය කරගන්න එක හොඳ බිරිඳක් වෙන්න ඔයාට උදව් වෙයි. ඔයා විවාහ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් සහකරුවෙක්ව තෝරගද්දී ඔයා ගොඩක් පැති ගැන හිතලා බලන්න ඕනේ. මොකද විවාහය කියන්නේ ජීවිතේ ඔයා ගන්න වැදගත්ම තීරණවලින් එකක්. විවාහ වුණාට පස්සේ ඔයාගේ ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් වෙන්න ඔයාට සිද්ධ වෙනවා. (රෝම 7:2; එෆී. 5:23, 33) ඉතින් තීරණයක් ගන්න කලින් ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහගන්න. ‘ඒ සහෝදරයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ද? එයා නමස්කාරයේ දේවල්වලට මුල් තැන දෙනවාද? එයා ගන්න තීරණ කොයි වගේද? එයා අතින් වැරැද්දක් වුණාම එයා ඒක පිළිගන්නවාද? එයා කාන්තාවන්ට ගෞරවයෙන් සලකනවාද? මට කන්න අඳින්න දෙන්න, මාව සතුටින් තියන්න, දෙවියන්ට තව ළං වෙන්න මට උදව් කරන්න එයාට පුළුවන්ද? එයා හැම වගකීමක්ම හොඳට ඉටු කරනවාද? උදාහරණෙකට සභාවේ එයාට තියෙන්නේ මොන වගේ වගකීම්ද? එයා ඒවා කරන්නේ කොහොමද?’ (ලූක් 16:10; 1 තිමෝ. 5:8) ඒ පැති ගැන හිතලා බලන එක හොඳ සහකරුවෙක් හොයාගන්න ඔයාට උදව් වෙයි. හැබැයි මතක තියාගන්න ඔයා හොඳ සහකරුවෙක්ව හොයනවා වගේම තමයි ඔයාත් හොඳ සහකාරියක් වෙන්න ඕනේ.

19. ස්වාමිපුරුෂයාට “සහකාරියක්” වෙන එක ගැන බිරිඳකට සතුටු වෙන්න පුළුවන් ඇයි?

19 බයිබලේ කියනවා හොඳ බිරිඳක් එයාගේ ස්වාමිපුරුෂයාට “ගැළපෙන සහකාරියක්” වෙනවා කියලා. (උත්. 2:18) තවත් විදිහකින් කියනවා නම් එයා එයාගේ ස්වාමිපුරුෂයාට “උදව් කරන කෙනෙක්.” ඒ කියන්නේ බිරිඳක් ස්වාමිපුරුෂයාට වඩා පහත් කියන එකද? නැහැ, බිරිඳට තියෙන්නේ පවුලේ හරිම ගෞරවනීය තැනක්. ඇත්තටම බයිබලේ කීප තැනකම යෙහෝවාවත් ‘උපකාර කරන කෙනෙක්’ විදිහට හඳුන්වලා තියෙනවා. (ගීතා. 54:4; හෙබ්‍රෙ. 13:6) ස්වාමිපුරුෂයා පවුලට බලපාන තීරණ ගද්දී බිරිඳකට පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන්න එයාට සම්පූර්ණ සහයෝගය දෙන්න. ඒකෙන් බිරිඳක් පෙන්නනවා එයා හොඳ සහකාරියක් කියලා. ඒ වගේම යෙහෝවා දෙවියන්ට ආදරේ කරන බිරිඳක් හැම වෙලේම වැඩ කරන්නේ එයාගේ ස්වාමිපුරුෂයාගේ හොඳ නම රැකෙන විදිහට. (හිතෝ. 31:11, 12; 1 තිමෝ. 3:11) ඉතින් දවසක හොඳ සහකාරියක් වෙන්න ඔයාට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොනවාද? ඒකට යෙහෝවා ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්න. පවුලේ අයට වගේම සභාවේ අයටත් ඔයාගේ උපරිම සහයෝගය දෙන්න.

20. හොඳ අම්මා කෙනෙක්ගෙන් පවුලට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

20 ඔයා දවසක අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ ඔයාලට දරුවෝ ලැබෙන්න ඉඩ තියෙනවා. (ගීතා. 127:3) ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගැනත් හිතලා තියෙන එක හොඳයි. අපි මේ ලිපියෙන් බලපු ගුණාංග, හැකියාවන් හොඳ බිරිඳක් වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්නත් ඔයාට උදව් වෙයි. ඔයා ආදරෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් වැඩ කරන අම්මා කෙනෙක් වුණොත් ඔයාගේ පුංචි කැදැල්ල දරුවන්ට සුරක්ෂිතව හැදී වැඩෙන්න හොඳ තැනක් වෙයි.—හිතෝ. 24:3.

පින්තූරවල අදහස: කලින් පින්තූරවල හිටපු සහෝදරියන් හරිම සතුටින් නමස්කාරයේ විවිධ අංගවල හවුල් වෙනවා. 1. කලින් අපේ ප්‍රකාශනයක තියෙන තොරතුරු ගැන කල්පනා කරපු සහෝදරිය බයිබලේ දිග ඇරගෙන සතුටින් හිනා වෙලා ඉන්නවා. 2. අම්මාත් එක්ක පොළේ ගිය සහෝදරිය බෙතෙල් එකේ කෑම මේසයක් ලෑස්ති කරනවා. 3. අපේ සඟරාවක් කියවපු සහෝදරිය සේවේදී කාන්තාවකට බයිබල් පදයක් පෙන්නනවා. 4. කිංඩම් හෝල් එක පිරිසිදු කරන සහෝදරයාව දැකපු සහෝදරිය මහලු සහෝදරියක් එක්ක පොදු සේවයේ හවුල් වෙනවා.

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා හුඟක් යෞවනියන්ට අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න පුළුවන් වෙලා තියෙනවා (21 ඡේදය බලන්න)

21. අපේ සහෝදරියන් ගැන අපිට හැඟෙන්නේ කොහොමද? ඒ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

21 ආදරණීය සහෝදරියෙනි, ඔයා ලස්සන ගුණාංග වර්ධනය කරගන්න, හැකියාවන් දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙනවා. එහෙම කරන එක ඔයාගේ ජීවිතේට වගේම අනිත් අයගේ ජීවිතවලටත් එළියක් වෙලා තියෙනවා. ඒ වගේම ඒක අනාගත වගකීම් කරට ගන්න ඔයාට හොඳ පුහුණුවක්. ඔයා ඒ හැම දෙයක්ම කරන්නේ යෙහෝවා වෙනුවෙන්, ඔහුගේ සෙනඟ වෙනුවෙන්. ඔයා කරන හැම දේම අපිට ගොඩක් වටිනවා. (හෙබ්‍රෙ. 6:10) එහෙම බලද්දී ඔයා ඇත්තටම යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට වටිනා මැණිකක්!

මේ බයිබල් පදවලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • 1 තිමෝති 2:9, 10

  • හිතෝපදේශ 31:26

  • මාක් 10:29, 30

ගීතිකාව 137 ගුණ යහපත් සහෝදරියන්

a යෞවන සහෝදරියෙනි, ඔයාලා සභාවට ගොඩක් වටිනවා. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ඔයාලට පුළුවන් කොහොමද? ඒකට ඔයා හොඳ ගුණාංග වර්ධනය කරගන්න ඕනේ. හැකියාවන් දියුණු කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අනාගත වගකීම් කරට ගන්න දැන් තියාම ලෑස්ති වෙන්නත් ඕනේ. ඔයා එහෙම කරද්දී යෙහෝවා ඔයාට ගොඩක් ආශීර්වාද කරයි.

b පැහැදිලි කිරීමක්: අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගෙන තියෙන ක්‍රිස්තියානියෙක් මේ ලෝකේ ප්‍රඥාවට අනුව නෙවෙයි දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුවයි හැම තිස්සේම වැඩ කරන්නේ. ඒ වගේ කෙනෙක් යේසුස්ව ආදර්ශයට ගන්නවා. යෙහෝවා එක්ක තියෙන බැඳීම රැකගන්න මහන්සි වෙනවා. ඒ වගේම අනිත් අයට අවංකව ආදරේ කරනවා.

c 2021 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ 14-19 පිටු බලන්න.

d හොඳට කියවන්න ඉගෙනගන්න එකේ වැදගත්කම ගැන වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ “දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 1වෙනි කොටස: කියවනවාද නැත්නම් බලනවාද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න