ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 අගෝස්තු 26-31 පි.
  • සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘ඒ දුෂ්ට කෙනාව අයින් කරලා දාන්න’
  • සභාවෙන් අයින් කරපු අයට වැඩිමහල්ලන් උදව් කරයි
  • සභාවේ අයට කරන්න පුළුවන් දේ
  • යෙහෝවාගේ දයාව ආදර්ශයට ගන්න
  • වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වරදක් කරපු කෙනෙක් දිහා යෙහෝවා බලන විදිහට බලන්න සභාවට පුළුවන් කොහොමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගමෙන් ඉවත් කරපු අය එක්ක කිසිම ආශ්‍රයක් නැද්ද?
    නිතර අසන ප්‍රශ්න
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 අගෝස්තු 26-31 පි.

පාඩම් ලිපිය 35

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න

“පසුතැවිලි වෙන්න හේතුවක් නැති ධර්මිෂ්ඨයන් 99දෙනෙක් ගැන සතුටු වෙනවාට වඩා පසුතැවිලි වෙන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ ඉන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා!”—ලූක් 15:7.

ලිපියේ අරමුණ

සමහරුන්ව සභාවෙන් අයින් කරන්නේ ඇයි කියලත් ඒ වගේ අයට පසුතැවිලා යෙහෝවාට ආයේ ළං වෙන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

1-2. (අ) පසුතැවිලි වෙන්නේ නැතුව බරපතළ වැරදි කරන අය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද? (ආ) වැරදි කරන අය මොනවා කරයි කියලද යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ?

යෙහෝවා අනිත් අය කරන ඕනම දෙයක් ගණන් ගන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. වැරදි ක්‍රියා ඔහු පිළිකුල් කරනවා. (ගීතා. 5:4-6) ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා බයිබලේ ඔහු දීලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුව අපි ජීවත් වෙයි කියලා. ඇත්ත, අපි පාපය උරුම කරගත්ත අය නිසා යෙහෝවා දන්නවා ඔහුගේ නීති අපිට අකුරටම පිළිපදින්න අමාරුයි කියලා. (ගීතා. 130:3, 4) ඒත් ‘දෙවියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති, ඔහු පෙන්නන මහත් කරුණාව කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන්න නිදහසට හේතුවක් කරගෙන ඉන්න අයට’ හැමදාම ඉන්න යෙහෝවා ඉඩහරින්නේ නැහැ. (යූද් 4) බයිබලේ කියනවා “දෙවියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති” ඒ වගේ මිනිස්සුන්ව ඔහු අර්මගෙදොන් යුද්දේදී විනාශ කරනවා කියලා.—2 පේතෘ. 3:7; එළි. 16:16.

2 ඒ වුණාට යෙහෝවා ආස නැහැ කවුරුත් විනාශ වෙනවා දකින්න. මේ ලිපි මාලාවේ කලින් ලිපිවල අපි ඉගෙනගත්තා වගේ යෙහෝවාට ඕනෙ “හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.” (2 පේතෘ. 3:9) වැරදි කරපු කෙනෙක්ට පසුතැවිලා ආයේ යෙහෝවාට ළං වෙන්න උදව් කරද්දී වැඩිමහල්ලන් යෙහෝවා වගේ ඉවසීමෙන් තමයි ඒක කරන්නේ. හැබැයි වැරදි කරපු හැම කෙනෙක්ම පසුතැවිලි වෙන්නේ නැහැ. (යෙසා. 6:9) වැඩිමහල්ලන් කොච්චර උදව් කරන්න හැදුවත් සමහරු එයාලා කරන වැරදිවලින් අයින් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ?

‘ඒ දුෂ්ට කෙනාව අයින් කරලා දාන්න’

3. (අ) පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ට මොනවා කරන්න කියලද බයිබලේ කියන්නේ? (ආ) කෙනෙක් පසුතැවිලි වෙන්න අකමැති වුණොත් ඒක හරියට එයා එයාවම සභාවෙන් අයින් කරගන්නවා වගේ කියන්නේ ඇයි?

3 වරදක් කරපු කෙනෙක් පසුතැවිලි වෙන්නේ නැත්නම් වැඩිමහල්ලන් 1 කොරින්ති 5:13 කියන දේ අදාළ කරගන්න ඕනේ. එතන කියන්නේ “ඒ දුෂ්ට කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න” කියලයි. වරදක් කරපු කෙනෙක් දන්නවා එයා පසුතැවිලි වෙන්නේ නැත්නම් එයාව සභාවෙන් අයින් කරනවා කියලා. ඉතින් පසුතැවිලි වෙන්නේ නැහැ කියන්නේ එයාම සභාවෙන් අයින් වෙන්න තීරණේ කරනවා වගේ දෙයක්. එයා නෙළාගන්නේ එයා වපුරපු දේ. (ගලා. 6:7) ඇයි එහෙම කියන්නේ? මොකද එයාට පසුතැවිලා වරද හදාගන්න වැඩිමහල්ලන් කීප සැරයක්ම උදව් කළත් එයා ඒ උදව් පිළිගත්තේ නැහැ. (2 රාජා. 17:12-15) එයා වැඩ කරන විදිහෙන් පේනවා යෙහෝවාගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න එයාට කිසිම වුවමනාවක් නැහැ කියලා.—ද්වි. 30:19, 20.

4. පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ව සභාවෙන් අයින් කළාම ඒ ගැන නිවේදනය කරන්නේ ඇයි?

4 පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ව සභාවෙන් අයින් කළාම එයා තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි කියලා නිවේදනය කරනවා.a එහෙම කරන්නේ වැරදි කරපු කෙනාට ලැජ්ජ කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඒ වගේ කෙනෙක්ව “ආශ්‍රය කරන එක නතර කරන්න,” කොටින්ම කිව්වොත් “ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නවත් එපා” කියලා බයිබලේ කියන දේට කීකරු වෙන්න සභාවේ අයට උදව් කරන්නයි. (1 කොරි. 5:9-11) ඒ වගේ මඟ පෙන්වීමක් දුන්නේ හොඳ හේතු ඇතුවයි. පාවුල් කියනවා “මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා” කියලා. (1 කොරි. 5:6) ඉතින් පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ව සභාවෙන් අයින් කළේ නැත්නම් සභාවේ අනිත් අයත් යෙහෝවාගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න පෙලඹෙයි.—හිතෝ. 13:20; 1 කොරි. 15:33.

5. සභාවෙන් අයින් කරපු කෙනෙක් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

5 දෙවියන්ගේ සේවකයෙක්ව සභාවෙන් අයින් කළාම ඒ කෙනා ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඇත්ත, අපි එයාත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි එයා ගැන තියෙන බලාපොරොත්තු අපි නැති කරගන්නෙත් නැහැ. අපිට එයා ගැන හැඟෙන්න ඕනෙ එයා නැති වුණ බැටළුවෙක් කියලයි. බැටළුවෙක් අයාලේ ගියාම ඌ ආයේ රැළට එකතු වෙන්න පුළුවන්. මතක තියාගන්න එයා යෙහෝවාට කැප වුණ කෙනෙක්. ඒත් දැන් එයා ඒ කැප වීමට එකඟව ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා ඉන්නේ භයානක තැනක. (එස. 18:31) යෙහෝවා එයාට දයාව පෙන්නන්න තාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. එයාට තාමත් කාලේ තියෙනවා. ඒ නිසා අපිත් බලාගෙන ඉන්නවා එයා වෙනස් වෙලා කවදා හරි ආයේ එයි කියලා. ඒ වගේ කෙනෙක්ට වෙනස් වෙන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

සභාවෙන් අයින් කරපු අයට වැඩිමහල්ලන් උදව් කරයි

6. සභාවෙන් අයින් කරපු කෙනෙක්ට උදව් කරන්න වැඩිමහල්ලන් කරන්නේ මොනවාද?

6 සභාවෙන් අයින් කරපු කෙනෙක්ව සම්පූර්ණයෙන්ම අතහැරලා දානවාද? යෙහෝවා ගාවට එන්න ඕන පාර එයාට හොයාගන්න වෙන්නේ තනියමද? කොහෙත්ම නැහැ. පසුතැවෙන්නේ නැති කෙනෙක්ට එයාව සභාවෙන් අයින් කරනවා කියලා වැඩිමහල්ලන් කියද්දීම එයාට ආයේ සභාවට එන්න ඕන නම් එයා ගන්න ඕන පියවර මොනවාද කියලත් කියනවා. හැබැයි වැඩිමහල්ලෝ එතනින් නතර වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වැඩිමහල්ලන් ඒ කෙනාට කියනවා එයා හිතන විදිහ වෙනස් වෙලාද කියලා බලන්න තව මාස කීපයකින් එයාව හම්බ වෙන්න කැමතියි කියලා. මාස කීපයකට පස්සේ එයා වැඩිමහල්ලන්ව හම්බ වෙන්න කැමති වුණොත් ඒ වතාවේදීත් වැඩිමහල්ලන් එයාගෙන් ආදරෙන් ඉල්ලනවා පසුතැවිලි වෙලා ආයේ එන්න කියලා. ඒ අවස්ථාවේදීත් එයා පසුතැවිලි වෙන පාටක් පේන්න තිබුණේ නැතත් වැඩිමහල්ලෝ ආයෙත් ගිහින් පසුතැවිලි වෙන්න කියලා එයාට දිරිගන්වනවා.

7. සභාවෙන් අයින් කරපු කෙනෙක් එක්ක වැඩ කරද්දී වැඩිමහල්ලන් යෙහෝවා වගේ අනුකම්පාව පෙන්නන්නේ කොහොමද? (යෙරෙමියා 3:12)

7 සභාවෙන් අයින් කරපු කෙනෙක්ට වැඩිමහල්ලන් උදව් කරද්දී එයාලා යෙහෝවා වගේ අනුකම්පාව පෙන්නනවා. උදාහරණෙකට අකීකරු වුණ ඊශ්‍රායෙල් ජාතියට උදව් කරන්න යෙහෝවා එයාලා පසුතැවෙන කල්ම හිටියේ නැහැ. පසුතැවිලි වෙන ලකුණක්වත් පේන්න තිබුණේ නැතත් එයාලට උදව් කරන්න යෙහෝවා මුල් පියවර ගත්තා. අපි මේ ලිපි මාලාවේ දෙවෙනි ලිපියෙන් බලපු විදිහට හොෂෙයාට එයාගේ බිරිඳට සමාව දීලා එයාව ආයේ භාරගන්න කියලා යෙහෝවා කිව්වේ බිරිඳ බරපතළ වරදක් කරකර ඉද්දීමයි. ඒකෙන් යෙහෝවා පෙන්නුවා ඔහු අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක් කියලා. (හොෂෙ. 3:1; මලා. 3:7) යෙහෝවාව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට ඇත්තටම ඕනෙ වැරදි කරපු කෙනා පසුතැවිලා ආයේ සභාවට එනවා දකින්න. ඒ එන ගමන එයාලා ලේසි කරනවා මිසක් කවදාවත් අමාරු කරන්නේ නැහැ.—යෙරෙමියා 3:12 කියවන්න.

8. යේසුස් කියපු උදාහරණෙන් යෙහෝවාගේ දයාව ගැන තව පැහැදිලි වෙන්නේ කොහොමද? (ලූක් 15:7)

8 මේ ලිපි මාලාවේ දෙවෙනි ලිපියේ කතා කරපු අකීකරු පුතා ගැන උදාහරණේ මතක් කරගන්න. ඒ කතාවේ ඉන්න පුතා ඈත තියා එනවා දැක්කාම තාත්තා “පුතා ගාවට දුවගෙන ගිහින් එයාව බදාගෙන ආදරෙන් ඉඹගත්තා.” (ලූක් 15:20) ඒ තාත්තා සමාව ඉල්ලලා පුතා දණින් වැටෙන කල් බලාගෙන හිටියේ නැහැ. ඒ වෙනුවට තාත්තා පුතා ළඟට දුවලා ගියේ ඒ පුතාට තිබුණ ආදරේ නිසයි. යෙහෝවාව දාලා ගිය අය ගැන ඔහුට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. ඒ නිසා වැඩිමහල්ලොත් යෙහෝවාව ආදර්ශයට ගන්න එයාලට පුළුවන් හැම දේම කරනවා. වැඩිමහල්ලන්ට ඕනෙ නැති වුණ බැටළුවා “ආයේ ගෙදර එනවා” දකින්න. (ලූක් 15:22-24, 32) එහෙම එද්දී ස්වර්ගයේ ඉන්න හැමෝම වගේම සභාවේ ඉන්න හැමෝමත් සතුටු වෙනවා.—ලූක් 15:7 කියවන්න.

9. වැරදි කරන අය මොනවා කරනවා දකින්නද යෙහෝවා කැමති?

9 අපි මෙච්චර වෙලා බලපු දේවල්වලින් පැහැදිලියි පසුතැවිලි වෙන්නේ නැති අයට යෙහෝවා සභාවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි යෙහෝවා ඒ අයව අමතක කරන්නෙත් නැහැ. ඔහුට ඕනෙ එයාලා ආයෙත් සභාවට එනවා දකින්න. පසුතැවිලි වෙන අය ගැන යෙහෝවාට හැඟෙන විදිහ හොෂෙයා 14:4 මෙහෙම කියනවා. “මම ඔවුන්ව සුව කරන නිසා ඔවුන් ආයෙත් මට ද්‍රෝහි වෙන්නේ නැහැ. මං මගේ හදවතින්ම ඔවුන්ට ආදරේ කරනවා. මොකද මගේ කේන්තිය දැන් නිවිලා ගිහින්.” කෙනෙක් පසුතැවෙනවා කියලා පොඩි හරි ලකුණක් පෙන්නනවාද කියලා බලන්න වැඩිමහල්ලන්ට ඒක දිරිගැන්වීමක් නෙවෙයිද? ඒ වගේම යෙහෝවාව අතහැරලා ගිය කෙනෙක්ට කල් දදා ඉන්නේ නැතුව ආයේ යෙහෝවා ළඟට එන්න ඒක දිරිගැන්වීමක් නෙවෙයිද?

10-11. කාලෙකට කලින් සභාවෙන් අයින් කරපු අයට වැඩිමහල්ලන් උදව් කරන්නේ කොහොමද?

10 මීට කාලෙකට කලින්, සමහරවිට අවුරුදු ගාණකට කලින් සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? සමහර අයව සභාවෙන් අයින් කරන්න හේතු වුණ වැරැද්ද දැන් එයාලා හදාගෙන ඇති. සමහර අයට එයාලව අයින් කරපු හේතුවවත් මතක නැහැ. ඒ කොහොමවුණත් වැඩිමහල්ලන් ඒ අයව හොයලා එයාලව හම්බ වෙන්න යනවා. එයාලව හම්බ වුණාම ඒ කෙනාත් එක්ක යාච්ඤාවක් කරනවා. එයාලට ආයේ සභාවට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. කෙනෙක් සභාවෙන් අයින් වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා නම් දැන් එයාගේ විශ්වාසේ ගොඩක් දුර්වල වෙලා ඇති. ඉතින් එයා ආයෙත් සභාවට එන්න කැමතියි කියලා කිව්වොත් එයාව සභාවට පිළි අරන් තිබුණේ නැතත් එයාත් එක්ක බයිබල් පාඩමක් කරන්න සැලසුම් කරන්න පුළුවන්. හැබැයි වැඩිමහල්ලන් තමයි ඒ සැලසුම කරන්නේ.

11 යෙහෝවා අනිත් අයට අනුකම්පාව පෙන්නනවා වගේ අනුකම්පාව පෙන්නන්න වැඩිමහල්ලන් ලොකු උත්සාහයක් ගන්නවා. එයාලා යෙහෝවාව දාලා ගිය හැම කෙනෙක්වම හොයලා ආයෙත් ඔහුට ළං වෙන්න ඒ අයට උනන්දු කරනවා. කෙනෙක් එයා හිතන, වැඩ කරන විදිහ වෙනස් කරගෙන පසුතැවිලි වෙනවා කියලා පෙන්නනවා නම් කල් දදා ඉන්නේ නැතුව එයාව ආයෙත් සභාවට පිළිගන්නවා.—2 කොරි. 2:6-8.

12. (අ) වැඩිමහල්ලන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද? (ආ) යෙහෝවාගේ දයාව ලබන්න සමහර වැරදි කරපු අයට කවදාවත් බැහැ කියලා අපි හිතන්න හොඳ නැත්තේ ඇයි? (පාදසටහනත් බලන්න.)

12 සමහර වැරදි කරපු අයව ආයේ සභාවට පිළිගන්න කලින් වැඩිමහල්ලන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණෙකට කෙනෙක් ළමා අපචාරයක් කරපු කෙනෙක් නම්, සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලිගහපු කෙනෙක් නම්, විවාහ වුණ කෙනාගෙන් අයින් වෙන්න හිතාමතාම සැලසුම් කරපු කෙනෙක් නම් ඒ වගේ අය අවංකවම පසුතැවිලි වෙනවාද කියලා වැඩිමහල්ලන් 100%ක් ස්ථිර කරගන්න ඕනේ. (මලා. 2:14; 2 තිමෝ. 3:6) මොකද වැඩිමහල්ලන් රැළ ආරක්ෂා කරගන්න අය. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ ඕනෑම බරපතළ වරදක් කරපු කෙනෙක් අවංකවම පසුතැවිලා, එයා කරපු වැරදි දේ නතර කරනවා නම් යෙහෝවා එයාව ආයේ පිළිගන්නවා කියලා. ඒ විදිහට අනිත් අයට ද්‍රෝහි වුණ කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද කියලා ස්ථිර කරගන්න අතරේම ඒ වගේ වැරදි කරන කෙනෙක්ට නම් කවදාවත් යෙහෝවාගේ දයාව ලැබෙන්නේ නැහැ කියලා වැඩිමහල්ලන් හිතන්නේ නැහැ.b—1 පේතෘ. 2:10.

සභාවේ අයට කරන්න පුළුවන් දේ

13. වැඩිමහල්ලන්ගේ කමිටුවකින් අවවාද කරපු කෙනෙක්ට සලකන විදිහයි, සභාවෙන් අයින් කරපු කෙනෙක්ට සලකන විදිහයි අතර තියෙන වෙනස මොකක්ද?

13 අපි කලින් ලිපියේ බලපු විදිහට වැඩිමහල්ලන්ගේ කමිටුවකින් කෙනෙක්ට අවවාද කරලයි තියෙන්නේ කියලා සමහරවිට නිවේදනයක් දෙයි. එහෙම වෙලාවලදී අපි එයාත් එක්ක ආශ්‍රය කරන එක නතර කරන්නේ නැහැ. මොකද අපි දන්නවා එයා ඒ වැරැද්ද හදාගෙන පසුතැවිලි වෙලා ඉන්නේ කියලා. (1 තිමෝ. 5:20) එයා තාමත් අපේ සභාවට අයිති කෙනෙක්. එයාට හරි දේ කරන්න අපේ දිරිගැන්වීම්, අපේ ආශ්‍රය ඕනේ. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වුණාට සභාවෙන් අයින් කරපු කෙනෙක් එක්ක අපි වැඩ කරන විදිහ ඊට වඩා වෙනස්. අපි එයාව ‘ආශ්‍රය කරන එක නතර කරනවා.’ අපි ‘ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නෙවත් නැහැ.’—1 කොරි. 5:11.

14. සභාවෙන් අයින් කරපු කෙනෙක් එක්ක වැඩ කරන විදිහ ගැන ක්‍රිස්තියානීන්ට ගන්න පුළුවන් තීරණේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

14 අපි ඒ බලපු තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ සභාවෙන් අයින් කරපු කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරන්නවත් එයා රැස්වීම් ආවොත් එයාට “හලෝ” කියන්නවත් බැහැ කියන එකද? නැහැ. ඇත්ත, අපි එයාත් එක්ක ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි පුහුණු කරපු අපේ හෘද සාක්ෂියට අනුව අපි එක් එක් කෙනාට තීරණේ කරන්න පුළුවන් එහෙම කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරනවාද නැද්ද කියලා. සමහරවිට එයා අපේ නෑදෑයෙක්, කලින් අපිට ගොඩක් කිට්ටු වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා රැස්වීම් ආවොත්? කලින් නම් එහෙම කෙනෙක් ආවාම අපි එයාව දැක්කා නොදැක්කා වගේ ඉන්නවා. හැබැයි දැන් ඒ වගේ වෙලාවලදීත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කරපු අපේ හෘද සාක්ෂියට අනුව අපිට පුළුවන් කරන්නේ මොකක්ද කියලා තීරණේ කරන්න. එයාට “හලෝ” කියන එක, “ඔයා ආපු එක ලොකු සතුටක්” කියන එක සමහරුන්ට ප්‍රශ්නයක් නැති වෙයි. හැබැයි අපි එයාත් එක්ක කතා කරකර ඉන්නෙවත් එයාව වෙන වෙලාවක හම්බ වෙලා කාලේ ගත කරන්නෙවත් නැහැ.

පින්තූරවල අදහස: 1. සහෝදරියක් සභාවෙන් අයින් කරපු කෙනෙක්ට කෝල් කරලා රැස්වීම්වලට ආරාධනා කරනවා. 2. ඒ සහෝදරියයි, එයාගේ මහත්තයායි ඒ කෙනා රැස්වීමට ආවාම එයාව ආදරෙන් පිළිගන්නවා.

සභාවෙන් අයින් කරපු කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරනවාද, එයා රැස්වීමට ආවාම වචනෙකින් දෙකකින් එයාට සුබ පතනවාද කියලා පුහුණු කරපු හෘද සාක්ෂියට අනුව එක් එක් කෙනාට තීරණේ කරන්න පුළුවන් (14 ඡේදය බලන්න)


15. 2 යොහන් 9-11 කතා කරන්නේ මොන වගේ වැරදි කරන අය ගැනද? (“යොහනුයි, පාවුලුයි දෙන්නාම කතා කළේ එකම විදිහේ වැරදි ගැනද?” කියන කොටුවත් බලන්න.)

15 සමහරු මෙහෙම හිතනවා. ‘ඉතිං බයිබලේ කියනවානේ ඒ වගේ වැඩ කරන කෙනෙක් එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල් වෙනවා කියලා.’ (2 යොහන් 9-11 කියවන්න.) හැබැයි ඒ පදවල අවට පද බැලුවොත් තේරෙනවා යොහන් ඒ මඟ පෙන්වීම දෙන්නේ සත්‍ය නමස්කාරය අතහැරලා ගිය අය ගැන සහ බයිබලේට පටහැනි දේවල් කරන්න අනිත් අයව පොලඹවන අය ගැන කියලා. (එළි. 2:20) කෙනෙක් සත්‍යය අතහැරලා ගිය අයගේ ඉගැන්වීම් දිගින් දිගටම පතුරුවනවා නම්, බයිබලේ හෙළා දැකලා තියෙන දේවල් කරන එක “කමක් නෑ” කියලා කියනවා නම් වැඩිමහල්ලන් එයාව හම්බ වෙන්න යන්නේ නැහැ. හැබැයි ඒ වගේ කෙනෙක් වුණත් පසුතැවිලා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ වෙන කල් අපි ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන්නෙවත් එහෙම කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරන්නෙවත් නැහැ.

යොහනුයි, පාවුලුයි දෙන්නාම කතා කළේ එකම විදිහේ වැරදි ගැනද?

යොහන්ගේ දෙවෙනි ලියුමේ එයා මෙහෙම ලිව්වා. “කෙනෙක් ඔයාලා ළඟට ඇවිත් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ දෙයක් උගන්වනවා නම් ඒ වගේ කෙනෙක්ව ඔයාලාගේ ගෙදරට පිළිගන්නවත් එයාට සුබ පතන්නවත් එපා. මොකද එයා එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කරුවෙක් වෙනවා.”—2 යොහ. 10, 11.

1 කොරින්ති 5:11 පාවුල් කිව්වා සභාවෙන් අයින් කරපු අයව ආශ්‍රය කරන්න එපා කියලා. යොහන් “සුබ පතන්නවත් එපා” කියන්නේ ඒ වගේ අයටද? පාවුල් සහ යොහන් කතා කරන්නේ එකම විදිහේ වැරදි ගැනද? නැහැ.

පාවුල් ඒ මඟ පෙන්වීම දෙන්නේ ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් සම්බන්ධයෙන්. ඊට අවුරුදු 43කට විතර පස්සේ යොහන් කතා කරන්නේ සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලිගහන අය සම්බන්ධයෙන්. එයාලා බොරු ඉගැන්වීම් පතුරුවනවා සහ බයිබලේ හෙළා දැකලා තියෙන දේවල් කරන්න අනිත් අයව පොලඹවනවා. උදාහරණෙකට සමහරු ඉගැන්නුවා යේසුස් කියන්නේ ක්‍රිස්තුස් නෙවෙයි කියලා.—1 යොහ. 2:22; 4:2, 3.

යොහන් ලිපි ලියද්දී බොරු ඉගැන්වීම් පතුරුවන හුඟක් අය සභාවල හිටියා. එයා දැනන් හිටියා එයාලව සම්පූර්ණයෙන්ම නවත්තන්න එයාට බැහැ කියලා. ඒත් අනිත් නියෝජිතයන් වගේ එයාත් ඒ අයට ‘එළිපිට වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ.’ ඒ විදිහට ඒ අයගෙන් මුළු සභාවම දූෂණය වෙන එකෙන් එයා වැළැක්කුවා.—2 තෙස. 2:7.

ඒ නිසයි යොහන් අනතුරු අඟවන්නේ රැවටිලිකාරයන්ට සහ බොරු ගුරුවරුන්ට අහු වෙන්න එපා කියලා. යොහන් කිව්වා ඒ වගේ කෙනෙක්ව ගෙදරට වද්දගන්නවත් එයාට සුබ පතන්නවත් එපා කියලා. සත්‍යය අතහැරපු කෙනෙක්ට සුබ පතන එකෙන් එයාලා ඒ කෙනාට අවස්ථාව දෙනවා බොරු ඉගැන්වීම් ගැන කියන්න. අදත් අපි සත්‍යය අතහැරලා ගිය කෙනෙක්ගේ වෙබ් සයිට් එකකට, සෝෂල් මීඩියා එකකට කමෙන්ට්ස් දානවා නම් ඒකම තමයි වෙන්නේ. සත්‍යය අතහැරලා ගිය කෙනෙක්ට සුබ පතන ඕනෑම කෙනෙක් “එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කරුවෙක් වෙනවා.”

ඊට වෙනස්ව 1 කොරින්ති 5 පාවුල් කියන්නේ ලිංගික දුරාචාරය නිසා සභාවෙන් අයින් කරන්න ඕන කෙනෙක් ගැනයි. ඒත් පේන විදිහට එයා සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලිගහපු කෙනෙක් නෙවෙයි. දෙවියන්ගේ ප්‍රමිති කඩන්න කියලා අනිත් අයට බලපෑම් කරපු කෙනෙකුත් නෙවෙයි. (එළි. 2:20) ඒ වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න එපා, එයාත් එක්ක එකට කෑම කන්න එපා කියලා කිව්වාට පාවුල් කිව්වේ නැහැ එයාට වචනෙකින් දෙකකින් සුබ පතන්නවත් එපා කියලා.

යෙහෝවාගේ දයාව ආදර්ශයට ගන්න

16-17. (අ) වැරදි කරපු අය මොනවා කරනවා දකින්නද යෙහෝවා කැමති? (එසකියෙල් 18:32) (ආ) වැඩිමහල්ලන්ට යෙහෝවාත් එක්ක වැඩ කරන්න පුළුවන් කොහොමද?

16 අපි මේ ලිපි පහෙන් ඉගෙනගත්තේ මොනවාද? යෙහෝවා කිසිම කෙනෙක් විනාශ වෙනවාට කැමති නැහැ. (එසකියෙල් 18:32 කියවන්න.) ඔහුට ඕනෙ වැරදි කරපු හැම කෙනෙක්ම ඔහුත් එක්ක සමාදාන වෙනවා දකින්න. (2 කොරි. 5:20) ඒ නිසයි ඉතිහාසය පුරාම යෙහෝවා ඔහුව අතහැරලා ගිය සෙනඟගෙන්, එක් එක් පුද්ගලයාගෙන් ආයේ ආයේ ඉල්ලන්නේ පසුතැවිලා ඔහු ළඟට එන්න කියලා. ඉතින් වැඩිමහල්ලන් බරපතළ වැරදි කරපු අයට පසුතැවිලි වෙන්න උදව් කරද්දී ඇත්තටම කරන්නේ යෙහෝවා එක්ක එකට වැඩ කරන එකයි.—රෝම 2:4; 1 කොරි. 3:9.

17 වැරදි කරපු කෙනෙක් පසුතැවිලි වෙද්දී ස්වර්ගයේ හැමෝම ඒ ගැන සතුටු වෙන විදිහ හිතාගන්න පුළුවන්ද? නැති වුණ බැටළුවන් සභාවට හැරිලා එන වාරයක් වාරයක් ගාණේ අපේ ආදරණීය තාත්තා යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඔහු පෙන්නන අනුකම්පාව, දයාව, මහත් කරුණාව ගැන හිතන්න හිතන්න ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙන්නේ නැද්ද?—ලූක් 1:78.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සමහරුන්ව සභාවෙන් අයින් කරන්න ඕනෙ ඇයි?

  • යෙහෝවා වගේ අනුකම්පාවෙන් වැඩ කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

  • සභාවෙන් අයින් කරපු කෙනෙක් ගැන එක් එක් කෙනාට ගන්න පුළුවන් තීරණේ මොකක්ද?

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

a අපි දැන් ඒ වගේ අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය කියලා හඳුන්වන්නේ නැහැ. ඒ වෙනුවට 1 කොරින්ති 5:13 කියන විදිහට අපි දැන් කියන්නේ සභාවෙන් අයින් කරපු අය කියලයි.

b බයිබලේ කියනවා සමහරුන්ගේ වැරදිවලට සමාව දෙන්න බැහැ කියලා. හැබැයි ඒක තීරණේ වෙන්නේ එයාලා කරන වැරැද්ද අනුව නෙවෙයි. ඒ වෙනුවට එයාලා දෙවියන්ට විරුද්ධව ඉන්න හිත දරදඬු කරගෙන තියෙන නිසයි. ඒ වගේ අය කවුද කියලා විනිශ්චය කරන්න පුළුවන් යෙහෝවාටයි, යේසුස්ටයි විතරයි.—මාක් 3:29; හෙබ්‍රෙ. 10:26, 27.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න