ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ඔක්තෝබර් 12-17 පි.
  • යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනිත් අයව දිරිගන්වන්න
  • දේවවචනය තේරුම්ගන්න උදව් කරන්න
  • ‘තෑගි වශයෙන් දුන්න පුරුෂයෙක්’ වෙන්න උදව් කරන්න
  • යේසුස් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයා ගොඩක් වටින කෙනෙක්!
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනිත් අය වෙනුවෙන් දෙද්දී සතුට වැඩි වෙනවා
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ඔක්තෝබර් 12-17 පි.

පාඩම් ලිපිය 41

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න

‘යේසුස් දවස් හතළිහක් පුරා විටින් විට තම නියෝජිතයන් ඉදිරියේ පෙනී සිටියේය. දෙවිගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට ඔහු බොහෝ දේවල් කියා දුන්නේය.’—ක්‍රියා 1:3.

ලිපියේ අරමුණ

යේසුස් මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් 40දී කරපු දේවල් අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

1-2. ගෝලයෝ දෙන්නෙක් එම්මාවුස්වලට යන අතරතුරේදී වුණේ මොකක්ද?

ඒ, ක්‍රි.ව. 33 නීසාන් මාසයේ 16වෙනිදා. මේ වෙද්දී යේසුස්ගේ ගෝලයෝ ඉන්නේ බයෙන්, දුකෙන් යටපත් වෙලා. එයාලාගෙන් දෙන්නෙක් දැන් යෙරුසලමේ ඉඳලා එම්මාවුස් ගමට යනවා. එම්මාවුස් තියෙන්නේ යෙරුසලමේ ඉඳන් කි.මී. 11ක් විතර දුරින්. එයාලත් ඉන්නේ හොඳටම කලකිරිලා. එයාලා හිතුවේ ගැලවුම්කරු විදිහට යේසුස් යුදෙව්වන් වෙනුවෙන් මීට වඩා දෙයක් කරයි කියලා. හැබැයි දැන් එයාලා විශ්වාසේ තිබ්බ ඒ කෙනාව මරලා දාලා. ඒත් ඊළඟට වෙන්නේ එයාලා හිතපුම නැති දෙයක්.

2 ඔහොම යද්දී අඳුරන්නේ නැති කෙනෙක් එයාලාගේ ගමනට එකතු වෙනවා. ඊටපස්සේ එයාලා යේසුස්ට වුණ දේවල් ඒ කෙනාට පැහැදිලි කරනවා. මේ නාඳුනන කෙනා එයාලත් එක්ක කවදාවත් අමතක නොවෙන විදිහේ සාකච්ඡාවකට මුලපුරනවා. “ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන්” ගැලවුම්කරු ගැන කියලා තියෙන අනාවැකි ගැන පැහැදිලි කරනවා. ඒ වගේම ඔහු දුක් විඳලා මැරෙන්න ඕන හේතුවත් පැහැදිලි කරනවා. ඒ තුන්දෙනාම එම්මාවුස්වලට ආවාට පස්සේ මේ ගෝලයෝ දෙන්නා දැනගන්නවා ඇත්තටම එයාලත් එක්ක ආවේ කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි නැවත නැඟිට්ට යේසුස්! ගැලවුම්කරු ජීවත් වෙනවා කියලා දැනගත්තාම එයාලට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද?—ලූක් 24:13-35.

3-4. යේසුස් දිරිගන්නපු නිසා ගෝලයන්ට වුණේ මොකක්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (ක්‍රියා 1:3)

3 යේසුස් මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් 40 පුරාම ගොඩක් සැරයක් ඔහුගේ ගෝලයන් ඉදිරියේ පෙනී හිටියා. (ක්‍රියා 1:3 කියවන්න.) දුකෙන්, බයෙන් හිටපු ගෝලයන්ව ඔහු දිරිගැන්නුවා. ඒ නිසා එයාලාගේ දුක, බය සතුටට පෙරළුණා. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න, උගන්නන්න එයාලට ලොකු ධෛර්යයකුත් ලැබුණා.a

4 ඒ දවස් 40 ඇතුළත යේසුස් කරපු දේවල් ගැන අධ්‍යයනය කරන එකෙන් අපිටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ ලිපියෙන් යේසුස් ඒ කාලය (1) ඔහුගේ ගෝලයන්ව දිරිගන්වන්න පාවිච්චි කරපු විදිහ, (2) ශුද්ධ ලියවිලි ගැන එයාලට තිබුණ අවබෝධය වැඩි කරන්න පාවිච්චි කරපු විදිහ සහ (3) වගකීම් කරට ගන්න එයාලව පුහුණු කරන්න පාවිච්චි කරපු විදිහ බලමු. ඒ පැති තුනෙන් යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් විදිහත් බලමු.

අනිත් අයව දිරිගන්වන්න

5. යේසුස්ගේ ගෝලයන්ට දිරිගැන්වීම් ඕන වුණේ ඇයි?

5 යේසුස්ගේ ගෝලයන්ට දිරිගැන්වීම් ඕන වුණේ ඇයි? සමහරු යේසුස් පස්සේ ආවේ ගෙවල් දොරවල්, පවුලේ අයව, ව්‍යාපාර ඔක්කොම අතහැරලා. (මතෙ. 19:27) යේසුස්ගේ ගෝලයන් වුණ නිසා තවත් අයව සමාජයෙන් කොන් කළා. (යොහ. 9:22) එයාලා මේ හැම කැප කිරීමක්ම කළේ යේසුස් තමයි පොරොන්දු වුණ ගැලවුම්කරු කියලා විශ්වාස කරපු නිසයි. (මතෙ. 16:16) හැබැයි නොහිතපු විදිහට යේසුස්ව මැරුවාම එයාලාගේ හැම බලාපොරොත්තුවක්ම හුළඟට ගහගෙන ගියා.

6. නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් මොනවාද කළේ?

6 ඔහුගේ මරණයෙන් පස්සේ ගෝලයන්ට ඒ වගේ දුකක් දැනෙන එක සාමාන්‍යයි කියලා යේසුස් තේරුම්ගත්තා. ඒත් ඔහු ඒක දැක්කේ එයාලාගේ විශ්වාසේ අඩුවක් විදිහට නෙවෙයි. ඒ නිසා නැවත නැඟිට්ට දවසේම ඔහු තමන්ගේ යාළුවන්ව දිරිගන්වන්න පටන්ගත්තා. උදාහරණෙකට සොහොන් ගේ ගාව මරියා මග්දලේනා අඬඅඬ ඉද්දී යේසුස් එයා ඉස්සරහා පෙනී හිටියා. (යොහ. 20:11, 16) ඊටපස්සේ මේ ලිපියේ මුලින් බලපු විදිහට එම්මාවුස්වලට යන ගෝලයෝ දෙන්නා ඉස්සරහත් යේසුස් පෙනී හිටියා. පස්සේ පේතෘස්ව හම්බ වෙන්නත් ගියා. (ලූක් 24:34) යේසුස්ගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? ඒක තේරුම්ගන්න ඔහු මුල්ම වතාවට මරියා මග්දලේනා ඉස්සරහා පෙනී හිටපු සිද්ධිය බලමු.

7. මරියා මොනවා කරනවාද යේසුස් දැක්කේ? ඔහු එයා වෙනුවෙන් කළේ මොකක්ද? (යොහන් 20:11-16) (පින්තූරයත් බලන්න.)

7 යොහන් 20:11-16 කියවන්න. නීසාන් 16වෙනිදා පාන්දරින්ම විශ්වාසවන්ත ස්ත්‍රීන් කීපදෙනෙක් යේසුස්ගේ දේහය තැන්පත් කරපු තැනට ගියා. (ලූක් 24:1, 10) අපි දැන් එයාලා අතරේ හිටපු එක් කෙනෙක්ට අවධානය දෙමු. ඒ, මරියා මග්දලේනා. එයා එතනට ආවාම දැනගන්නවා ඔහුගේ දේහය එතන නැහැ කියලා. ඉතින් එයා දුවලා ගිහින් ඒ ගැන පේතෘස්ටයි, යොහන්ටයි කියනවා. පස්සේ තුන්දෙනාම ඇවිත් බලනවා. දේහය නැහැ කියලා දැක්කාම ගෝලයෝ දෙන්නා ආයෙත් ගෙදර යනවා. හැබැයි මරියා අඬඅඬ එතන්ටම වෙලා ඉන්නවා. එයා දැනන් හිටියේ නැහැ මේ හැම දේම යේසුස් බලන් ඉන්නවා කියලා. එයාගේ ඇස්වලින් වැටෙන හැම කඳුළක්ම යේසුස් දැක්කා. ඔහුට ඕන වුණා එයාව දිරිගන්වන්න. ඒ නිසා යේසුස් මරියා ඉස්සරහා පෙනී ඉඳලා එයාට දිරියක් වෙන පුංචි දෙයක් කරනවා. ඔහු එයාට කතා කරලා විශේෂ පැවරුමක් භාර දෙනවා. ඒ, යේසුස් නැවත නැඟිට්ටා කියන ආරංචිය ඔහුගේ සහෝදරයන්ට කියන එක.—යොහ. 20:17, 18.

හිස් සොහොන් ගේ ඉස්සරහා ඉන්න මරියා මග්දලේනා එක්ක නැවත නැඟිට්ට යේසුස් කතා කරනවා.

යේසුස් වගේ අනිත් අය මූණ දෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉඳලා, එයාලව තේරුම් අරන් එයාලව සනසන්න (7 ඡේදය බලන්න)


8. යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

8 යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපිටත් පුළුවන් යේසුස් වගේ අපේ සහෝදරයන් මූණ දෙන ප්‍රශ්න ගැන හොඳ අවධානයෙන් ඉඳලා එයාලට දැනෙන විදිහ තේරුම්ගන්න. ඒ වගේම එයාලව සනසන්න. එතකොට අපිටත් පුළුවන් දිගටම යෙහෝවාට සේවේ කරන්න එයාලට පොඩි තල්ලුවක් දෙන්න. සහෝදරි ජොස්ලින්ගේ නංගි ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එයා මෙහෙම කියනවා. “මේ ගෙවුණ මාස ගාණම මං හිටියේ ලොකු දුකක් හිතේ හිර කරගෙන.” ඒක තේරුම්ගත්ත යුවළක් එයාව එයාලාගේ ගෙදරට ආරාධනා කරලා එයාගේ හිතේ තියෙන දේවල් කියන්න එයාට ඉඩ දුන්නා. එයාට හොඳට ඇහුම්කන් දුන්නා. යෙහෝවාට එයාව ගොඩක් වටිනවා කියලා එයාට පැහැදිලි කළා. බලන්න ජොස්ලින් කියන දේ. “මට දැනුණේ මං කුණාටු මුහුදක ගිලෙනවා වගේ. හැබැයි යෙහෝවා එයාලව පාවිච්චි කරලා මාව බෝට්ටුවකට ඇදලා ගත්තා. යෙහෝවාට සේවේ කරන්න මට තිබ්බ ආසාව නැති වෙලා තිබුණේ. ඒක ආයේ ඇති කරගන්න එයාලා මට උදව් කළා.” අනිත් අයට දුක කියන්න ඉඩ දීලා එයාලට ඇහුම්කන් දෙද්දී, එයාලාගේ හිත සැනසෙන විදිහට කතා කරද්දී අපිත් කරන්නේ එයාලව දිරිගන්වන එකයි. ඒක එයාලට උදව් වෙයි දිගටම යෙහෝවාට සේවේ කරන්න.—රෝම 12:15.

දේවවචනය තේරුම්ගන්න උදව් කරන්න

9. යේසුස්ගේ ගෝලයන් මූණ දුන්නේ මොන අභියෝගයටද? යේසුස් එයාලට උදව් කළේ කොහොමද?

9 යේසුස්ගේ ගෝලයන්ට දෙවියන්ගේ වචනය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒකේ තියෙන දේවල් පිළිපදින්න එයාලා උපරිමය කළා. (යොහ. 17:6) හැබැයි යේසුස් අපරාධකරුවෙක් විදිහට වධකණුවක මැරුණේ ඇයි කියලා එයාලට තේරුණේ නැහැ. ගෝලයන්ට දෙවියන් ගැන ආදරයක්, විශ්වාසයක් තිබුණත් එයාලට ශුද්ධ ලියවිලි ගැන අවබෝධයේ අඩුවක් තිබුණා කියලා යේසුස් දැනන් හිටියා. (ලූක් 9:44, 45; යොහ. 20:9) ඒ නිසා ඔහු ශුද්ධ ලියවිලි තේරුම්ගන්න එයාලට උදව් කළා. යේසුස් ඒක කරපු විදිහ දැන් අපි බලමු.

10. යේසුස් ගැලවුම්කරු කියලා තේරුම්ගන්න ඔහු ගෝලයන්ට උදව් කළේ කොහොමද? (ලූක් 24:18-27)

10 ලූක් 24:18-27 කියවන්න. යේසුස් එකපාරටම ගෝලයන් දෙන්නාට ඔහු කවුද කියලා හෙළි කළේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාලාගෙන් ප්‍රශ්න ඇහුවා. සමහරවිට ඔහුට ඕන වෙන්න ඇති එයාලාගේ මනසෙයි, හදවතෙයි තිබුණ දේවල් එයාලාගෙම කටින් එළියට ගන්න. එයාලා හිතේ තිබුණ දේ කිව්වා. එයාලා කිව්වා එයාලා හිතුවේ යේසුස් ඊශ්‍රායෙලයේ රජ වෙලා රෝම පාලනයෙන් යුදෙව්වන්ව ගලවගනියි කියලා. ඒ ගැන කිව්වාට පස්සේ යේසුස් ශුද්ධ ලියවිලි පාවිච්චි කරලා සිද්ධ වුණ දෙයින් අනාවැකි ඉටු වුණ විදිහ එයාලට පෙන්නුවා.b එදාම හවස ඔහු අනිත් ගෝලයන්වත් හම්බ වෙලා ඒ අනාවැකි තේරුම්ගන්න එයාලටත් උදව් කළා. (ලූක් 24:33-48) මොකක්ද අපි ඉගෙනගන්නේ?

11-12. (අ) යේසුස් බයිබලේ තියෙන සත්‍යයන් උගන්නපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරත් බලන්න.) (ආ) එක සහෝදරයෙක් එයාගේ බයිබල් ශිෂ්‍යයාට උදව් කළේ කොහොමද?

11 යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? මුලින්ම බයිබල් ශිෂ්‍යයාගේ මනසේ, හිතේ තියෙන දේවල් එළියට ඇදලා ගන්න ප්‍රශ්න අහන්න. (හිතෝ. 20:5) ඊටපස්සේ එයා මූණ දෙන තත්වයට ගැළපෙන බයිබල් පද හොයාගන්න විදිහ එයාට පෙන්නන්න. හැබැයි ‘ඔයා මෙන්න මේකයි කරන්න ඕනෙ’ කියලා නම් කියන්න එපා. ඒ වෙනුවට බයිබල් පදවලින් එයාගෙන් ප්‍රශ්න අහන්න. කියවපු දේ තේරුම්ගන්න, අදාළ කරගන්න පුළුවන් පැති හිතන්න එයාට දිරිගන්වන්න. අපි දැන් ඝානාවල ඉන්න නෝටේගේ අද්දැකීම බලමු.

12 අවුරුදු 16දී නෝටේ බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් එයාට පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් ආවා. ඒත් දිගටම පාඩම කරන්න එයාට උදව් වුණේ මොකක්ද? විරුද්ධවාදිකම් එන්න කලින් පාඩම කරපු කෙනා මතෙව් 10වෙනි පරිච්ඡේදෙන් එයාට පැහැදිලි කරලා දුන්නා සැබෑ ක්‍රිස්තියානීන්ට අනිවාර්යයෙන්ම පීඩාවලට මූණ දෙන්න වෙනවා කියලා. නෝටේ කියනවා “විරුද්ධවාදිකම් ආවාම මට තේරුණා මං ඉන්නේ සත්‍යයේ කියලා.” එයාට පාඩම කරපු කෙනා මතෙව් 10:16 පාවිච්චි කරලා කිව්වා පවුලේ අය ආගම ගැන කතා කරද්දී වාද කරන්නේ නැතුව, එයාලව පහත් නොකර, හොඳට හිතලා කතා කරන්න කියලා. බව්තීස්ම වුණාම නෝටේට ඕන වුණා පුරෝගාමි කරන්න. ඒත් තාත්තාට ඕන වුණේ එයා විශ්වවිද්‍යාලේ යනවා දකින්න. ඒ වෙලාවෙත් එයාත් එක්ක පාඩම කරපු කෙනා ප්‍රශ්න පාවිච්චි කරලා නෝටේට උදව් කළා බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගන්න. අන්තිමේදී නෝටේ තෝරගත්තේ පූර්ණකාලීන සේවේ. ඉතින් තාත්තා කිව්වා ගෙදරින් යන්න කියලා. නෝටේ කියනවා “මං ගත්ත තීරණේ හරියටම හරි කියලා මට දැන් කිසිම සැකයක් නෑ” කියලා. අපිත් අනිත් අයට බයිබල් ප්‍රතිපත්ති ගැන හිතන්න උදව් කරනවා නම් එයාලාගේ විශ්වාසේ ශක්තිමත් කරගන්නත් දිගටම යෙහෝවාට සේවේ කරන්නත් එයාලට උදව් කරන්න අපිට පුළුවන්.—එෆී. 3:16-19.

පින්තූරවල අදහස: 1. බයිබල් පාඩම අතරතුරේදී සහෝදරයෙක් ශිෂ්‍යයාත් එක්ක බයිබල් ප්‍රතිපත්තියක් සාකච්ඡා කරනවා. 2. ශිෂ්‍යයා එයා ළඟ තිබුණ නත්තල් සැරසිලි කුණු බක්කියට දානවා.

අනිත් අයට බයිබලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්න යේසුස් වගේ උදව් කරන්න (11 ඡේදය බලන්න)e


‘තෑගි වශයෙන් දුන්න පුරුෂයෙක්’ වෙන්න උදව් කරන්න

13. ස්වර්ගයට ගියාට පස්සෙත් දේශනා සේවේ හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්න යේසුස් මොනවාද කළේ? (එෆීස 4:8)

13 පොළොවේ ඉද්දී යේසුස් යෙහෝවා බලාපොරොත්තු වුණ විදිහටම සේවේ කළා. (යොහ. 17:4) ඒත් ඔහු හිතුවේ නැහැ ‘මං කළොත් විතරයි මේ වැඩේ හරියටම වෙන්නේ’ කියලා. ඔහු සේවේ කරපු අවුරුදු තුනහමාර ඇතුළත අනිත් අයවත් පුහුණු කළා. ස්වර්ගයට යන්න කලින් යෙහෝවාගේ බැටළුවන්ව බලාගන්න, දේශනා සේවේ සහ උගන්නන වැඩේ පෙරමුණ ගන්න ඔහු ගෝලයන්ව පුහුණු කළා. (එෆීස 4:8 කියවන්න.) ඒ වෙද්දී සමහර ගෝලයන්ට වයස අවුරුදු 30ක්වත් නැහැ. යේසුස්ගේ ගෝලයෝ කැප වෙලා, මහන්සි වෙලා වැඩ කරපු විශ්වාසවන්ත අය. ඉතින් මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් 40දී ‘තෑගි වශයෙන් දුන්න පුරුෂයන්’ වෙන්න යේසුස් එයාලට උදව් කළේ කොහොමද?

14. යේසුස් පොළොවේ හිටපු අන්තිම දවස් 40දී ගෝලයන්ට ඉගැන්නුවේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

14 යේසුස් ගෝලයන්ට කෙළින් ඒත් ආදරෙන් උපදෙස් දුන්නා. උදාහරණෙකට යේසුස් තේරුම්ගත්තා සමහර ගෝලයෝ ඔහු නැවත නැඟිට්ටා කියලා පිළිගන්නේ නැහැ කියලා. ඉතින් ඔහු එයාලට උපදෙස් දීලා ඇත්ත තේරුම්ගන්න උදව් කළා. (ලූක් 24:25-27; යොහ. 20:27) යේසුස් එයාලට මතක් කළා වැදගත්ම දේ සල්ලි පස්සේ යන එක නෙවෙයි යෙහෝවාගේ බැටළුවන්ව බලාගන්න එක කියලා. (යොහ. 21:15) යෙහෝවාට සේවේ කරද්දී තමන් කරන දේ අනිත් අය එක්ක සසඳන්න එපා කියලත් ඔහු කිව්වා. (යොහ. 21:20-22) සමහර ගෝලයන්ට දේවරාජ්‍යය ගැන තිබුණ වැරදි අදහස් ඔහු නිවැරදි කළා. දේශනා කරන වැඩේට මුල් තැන දෙන්න ඕනෙ කියලත් යේසුස් කිව්වා. (ක්‍රියා 1:6-8) යේසුස්ගෙන් වැඩිමහල්ලන්ට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

මාළු පුච්චන අතරේ යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක මුහුදු වෙරළේ ඉඳන් කතා කරනවා.

වගකීම් කරට ගන්න යේසුස් වගේ අනිත් අයව පුහුණු කරන්න (14 ඡේදය බලන්න)


15-16. (අ) වැඩිමහල්ලන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න. (ආ) උපදෙස්වලින් පැට්ට්‍රික් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

15 යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? වැඩිමහල්ලන් සහෝදරයන්ව පුහුණු කරන්න ඕනේ. යෞවන වයසේ අයටත් සභාවේ වැඩ කරට අරන් කරන්න උගන්නන්න ඕනේ.c හැබැයි එයාලා හැම දේම හරියටම කරයි කියලා වැඩිමහල්ලන් බලාපොරොත්තු වෙන්න නරකයි. ඒ වෙනුවට ආදරෙන් එයාලට අවශ්‍ය උපදෙස් දෙන්න. එතකොට එයාලා තේරුම්ගනියි නිහතමානී වෙන එක, විශ්වාසවන්තව වැඩ කරන එක, අනිත් අයට කැමැත්තෙන්ම උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා.—1 තිමෝ. 3:1; 2 තිමෝ. 2:2; 1 පේතෘ. 5:5.

16 පැට්ට්‍රික් උපදෙස්වලින් ප්‍රයෝජන ගත්ත සහෝදරයෙක්. එයා යෞවන වයසේදී අනිත් අයට කතා කළේ හරිම සැරෙන්. වැඩ කළෙත් අනිත් අයගේ හිත පෑරෙන විදිහට. සහෝදරියන්ට කියලත් වෙනසක් නැහැ. පැට්ට්‍රික්ට තිබුණ මේ දුර්වලකම තේරුම්ගත්ත වැඩිමහල්ලෙක් එයාට ආදරෙන් හැබැයි කෙළින් උපදෙසක් දුන්නා. පැට්ට්‍රික් මෙහෙම කියනවා. “එයා එහෙම කරපු එකට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ දවස්වල මං ආසාවෙන් හිටපු පැවරුම් අනිත් අයට ලැබෙද්දී මට අප්සෙට් ගියා. ඒත් මං වැඩි අවධානයක් දෙන්න ඕනෙ වගකීම් ගන්න නෙවෙයි, නිහතමානී වෙලා සභාවේ අයට ආදරෙන් උදව් කරන්න කියලා තේරුම්ගන්න ඒ උපදෙස මට උදව් වුණා.” පැට්ට්‍රික් එයාගේ දුර්වලකම හදාගත්ත නිසා එයාට පුළුවන් වුණා අවුරුදු 23දීම වැඩිමහල්ලෙක් වෙන්න.—හිතෝ. 27:9.

17. යේසුස් ඔහුගේ ගෝලයන්ව විශ්වාස කළා කියලා පෙන්නුවේ කොහොමද?

17 යේසුස් ගෝලයන්ට භාර දුන්නේ දේශනා කරන වැඩේ විතරක් නෙවෙයි. අනිත් අයට උගන්නන වැඩෙත් ඔහු එයාලට දුන්නා. (මතෙ. 28:20) ගෝලයන්ට හිතෙන්න ඇති ඒ වගේ දෙයක් කරන්න එයාලට සුදුසුකම් නැහැ කියලා. හැබැයි යේසුස්ට එයාලා ගැන විශ්වාසයක් තිබ්බා. එයාලා ඒක හරියටම කරයි කියලා ඔහු දැනන් හිටියා. ඒකයි ඔහු එයාලට කිව්වේ “පියාණන් මාව එවූ ආකාරයටම මමත් ඔබව යවනවා” කියලා.—යොහ. 20:21.

18. වැඩිමහල්ලන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

18 යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? අද්දැකීම් තියෙන වැඩිමහල්ලන් වගකීම් දීලා අනිත් අයව පුහුණු කරනවා. (ෆිලි. 2:19-22) වැඩිමහල්ලෙනි, නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ, නඩත්තු කිරීමේ වැඩවලට යෞවනයන්ව හවුල් කරගන්න. සහෝදරයන්ට වැඩක් භාර දීලා ඒක කරන විදිහ කියලා දෙන්න. එයාලා ඒක හොඳට කරයි කියලා එයාලා ගැන විශ්වාසේ තියන්න. මැතිව් වැඩිමහල්ලෙක් වුණේ ළඟදී. සභාවේ වගකීම් දරන්න වැඩිමහල්ලන් එයාව පුහුණු කරපු එක ගැන, ඒවා එයා හොඳට කරයි කියලා විශ්වාස කරපු එක ගැන එයා වැඩිමහල්ලන්ව ගොඩක් අගය කරනවා. එයා මෙහෙම කියනවා. “මට වැරදුණ වෙලාවලදී ඒකෙන් ඉගෙනගන්න පුළුවන් දේ තේරුම්ගන්න වැඩිමහල්ලෝ මට උදව් කළා. ඊළඟ සැරේ ඊටත් වඩා හොඳට ඒ වැඩේ කරන්න එයාලා මාව පුහුණු කළා.”d

19. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

19 මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් 40 යේසුස් පාවිච්චි කළේ අනිත් අයව දිරිගන්වන්න, එයාලට උගන්නන්න සහ එයාලව පුහුණු කරන්න. අපිත් යේසුස්ව ආදර්ශයට ගන්න අධිෂ්ඨාන කරගමු. (1 පේතෘ. 2:21) ඒක කරද්දී අපි තනි වෙලා නැහැ. අපේ උදව්වට යේසුස් ඉන්නවා. ඔහු අපිට පොරොන්දු වුණා “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා.—මතෙ. 28:20.

යේසුස් මේ පොළොවේ හිටපු අන්තිම දවස් 40 . . .

  • අනිත් අයව දිරිගැන්නුවේ කොහොමද?

  • ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් ලබාගන්න අනිත් අයට උදව් කළේ කොහොමද?

  • වගකීම් කරට ගන්න අනිත් අයව පුහුණු කළේ කොහොමද?

ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

a සුවිශේෂ පොත් සහ අනිත් පොත් දිහා බලද්දී පේනවා යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ හුඟක් අය ඉස්සරහා පෙනී හිටියා කියලා. මරියා මග්දලේනා (යොහ. 20:11-18); අනිත් ස්ත්‍රීන් (මතෙ. 28:8-10; ලූක් 24:8-11); ගෝලයන් දෙන්නා (ලූක් 24:13-15); පේතෘස් (ලූක් 24:34); තෝමස් ඇරෙන්න අනිත් නියෝජිතයන් (යොහ. 20:19-24); තෝමස් එක්ක අනිත් නියෝජිතයන් (යොහ. 20:26); ගෝලයෝ හත්දෙනා (යොහ. 21:1, 2); ගෝලයෝ 500කට වඩා වැඩිදෙනෙක් (මතෙ. 28:16; 1 කොරි. 15:6); තමන්ගේ මල්ලි වුණ යාකොබ් (1 කොරි. 15:7); නියෝජිතයන් හැමෝම (ක්‍රියා 1:4); බෙතානිය ළඟදී නියෝජිතයන්. (ලූක් 24:50-52) ඊට අමතරව යේසුස් පෙනී හිටපු තවත් අවස්ථා ඇති. හැබැයි ඒවා බයිබලේ වාර්තා වෙලා නැතුව ඇති.—යොහ. 21:25.

b ගැලවුම්කරු ගැන තියෙන අනාවැකි දැනගන්න jw.org එකේ තියෙන “ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?” කියන ලිපිය බලන්න.

c අවුරුදු 25ත් 30ත් අතරේ ඉන්න සමහර යෞවන වැඩිමහල්ලන්ව චාරිකා සේවකයන් විදිහට පත් කරන්න පුළුවන්. හැබැයි මුලින්ම එයාලා වැඩිමහල්ලන් විදිහට සේවේ කරලා අද්දැකීම් ලබාගෙන තියෙන්න ඕනේ.

d යෞවනයන්ට උදව් කරන්න පුළුවන් තව විදි දැනගන්න 2018 අගෝස්තු ‘මුරටැඹ’ සඟරාවේ 11-12 පිටුවල 15-17 ඡේදත් 2015 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ 3-13 පිටුත් බලන්න.

e පින්තූරවල අදහස: සහෝදරයෙක් එයාගේ ශිෂ්‍යයාට බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කළාට පස්සේ ශිෂ්‍යයා තීරණේ කරනවා යෙහෝවා සතුටු වෙන දේ කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න