පාඩම් ලිපිය 43
ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු
ඔයාව වට්ටන සිතුවිලි පරද්දන්න
“සෑම දෙයක්ම සෝදිසි කර බලන්න.”—1 තෙස. 5:21.
ලිපියේ අරමුණ
යෙහෝවාට කරන සේවේට බාධා වෙන සැකයන් ඔයාගේ හිතට ආවොත් මොනවාද කරන්න පුළුවන්?
1-2. (අ) යෙහෝවාට සේවේ කරන සමහරදෙනෙක්ගේ හිතට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
අපි යෞවන අය වුණත් මහලු අය වුණත් අපි ඕනම කෙනෙක්ට කාලෙන් කාලෙට මනසින් වට්ටන සිතුවිලි, සැකයන්a එන්න පුළුවන්. උදාහරණෙකට යෞවනයෙක් හිතයි ‘යෙහෝවා මට ආදරෙයිද’ කියලා. ඒ නිසා එයා බව්තීස්ම වෙන එක ගැන දෙපාරක් හිතනවා. එහෙම නැත්නම් හිතන්න මැදි වයසේ ඉන්න සහෝදරයෙක් ගැන. දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕන නිසා හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක් එයා යෞවන කාලේ අත්හැරියා. හැබැයි දැන් එයාට ලොකුවට සල්ලි බාගේ නැහැ. පවුලේ අයගේ අවශ්‍යතා විතරයි එයාට දෙන්න පුළුවන්. ඉතින් එයා හිතනවා ‘මං ඒ කාලේ ගත්ත තීරණේ හරිම එකද’ කියලා. දැන් හිතන්න මහලු වයසේ ඉන්න සහෝදරියක් ගැන. එයාට එච්චර හයිය හත්තිය නැති නිසා ඉස්සර කරපු තරම් දේවල් කරන්න බැහැ. ඉතින් එයාට හිතෙනවා ‘දැන් මගෙන් වැඩක් තියෙනවාද’ කියලා. ඔයාගේ හිතටත් ඒ වගේ ප්‍රශ්න ඇවිත් තියෙනවාද?
2 ඒ වගේ ප්‍රශ්නවලට උත්තර හෙව්වේ නැත්නම් යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ අඩු වෙන්න පුළුවන්. ඔහුට නමස්කාර කරන එක අපි සම්පූර්ණෙන්ම අත්හරින්න වුණත් පුළුවන්. (1) යෙහෝවා මට ආදරෙයිද, (2) මං ගත්ත සමහර තීරණ හරිම ඒවාද, (3) යෙහෝවාට තාම මගෙන් වැඩක් තියෙනවාද වගේ සැකයන් අපිටත් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ ලිපියෙන් බලමු ඒ වගේ සැකයන්වලින් ගොඩ එන්න බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙන්නේ කොහොමද කියලා.
මනසින් වට්ටන සිතුවිලි එද්දී . . .
3. මනසින් වට්ටන සිතුවිලි පරද්දන්න පුළුවන් කොහොමද?
3 මනසින් වට්ටන සිතුවිලි, සැකයන් එද්දී ඒවා පරද්දන්න පුළුවන් එක විදිහක් තමයි බයිබලෙන් උත්තර හොයන එක. අපි එහෙම කරනවා නම් යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ, ඔහුත් එක්ක තියෙන යාළුකම තව වැඩි වෙයි. එතකොට අපිට පුළුවන් අපේ “විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව ඉන්න.”—1 කොරි. 16:13.
4. අපිට “සෑම දෙයක්ම සෝදිසි කර බලන්න” පුළුවන් කොහොමද? (1 තෙසලෝනික 5:21)
4 1 තෙසලෝනික 5:21 කියවන්න. බයිබලේ අපිට උනන්දු කරන්නේ “සෑම දෙයක්ම සෝදිසි කර බලන්න” කියලා. අපේ හිතට ප්‍රශ්නයක්, සැකයක් ආවාම අපි ඒ ගැන බයිබලේ මොකක්ද කියන්නේ කියලා හොයන්න ඕනේ. උදාහරණෙකට ‘යෙහෝවා මට ආදරෙයිද’ කියලා කල්පනා කරපු යෞවනයා ගැන හිතන්න. එයාට එහෙම හිතුණා කියලා ඒක හරියි කියලා කියන්න බැහැ. හරි නම් එයා කරන්න ඕනෙ හැම දෙයක්ම සෝදිසි කරලා බලන එක. ඒ කියන්නේ බයිබලේ අධ්‍යයනය කරලා යෙහෝවාට ඇත්තටම එයා ගැන හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එක.
5. අපේ ප්‍රශ්නවලට යෙහෝවා දෙන උත්තර දැනගන්නේ කොහොමද?
5 බයිබලේ කියවද්දී අපි කරන්නේ යෙහෝවාගේ හඬට “ඇහුම්කන්” දෙන එක. හැබැයි අපේ හිතට එන සැකයන්වලට යෙහෝවා දෙන උත්තරේ දැනගන්න නම් අපි නිකම්ම බයිබලේ කියවනවාට වඩා දෙයක් කරන්න ඕනේ. අපේ හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න උදව් වෙන බයිබල් පද හොයලා ඒවා අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට සංවිධානයෙන් දීලා තියෙන පොත් පත්වල තියෙන තොරතුරු ගැඹුරට හාරන්න ඕනේ. (හිතෝ. 2:3-6) යෙහෝවාට යාච්ඤා කරලා අපේ ප්‍රශ්නෙට ඔහු දෙන උත්තරේ මොකක්ද කියලා හොයාගන්න උදව් ඉල්ලන්න. ඊටපස්සේ ඒකට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති, උදව් වෙන තොරතුරු හොයන්න. අපිට තිබුණා වගේ ප්‍රශ්න තිබුණ අය ගැන බයිබලෙන් කියවන්න.
6. සැකයන්වලින් ගොඩ එන්න රැස්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද?
6 රැස්වීම්වලිනුත් අපිට යෙහෝවාගේ “හඬ ඇහෙනවා.” අපි නිතිපතා රැස්වීම් යද්දී අපිට ඇහෙන දේශනයක, කෙනෙක් දෙන අදහසක අපේ හිතේ තියෙන සැකයට, ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න පුළුවන්. (හිතෝ. 27:17) දැන් අපි බලමු මනසින් අපිව වට්ටන සිතුවිලි තුනක් පරද්දන විදිහ ගැන.
‘යෙහෝවා මට ආදරෙයිද?’
7. සමහරුන්ගේ හිතට එන ප්‍රශ්නේ මොකක්ද?
7 ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවාද ‘යෙහෝවා මං ගැන හිතනවාද’ කියලා. ‘මගේ විශේෂත්වයක් නෑ’ කියලා ඔයාට හිතෙනවා නම් ඔයා කල්පනා කරයි ‘මං වගේ කෙනෙක් කොහොමද මේ විශ්වයේ නිර්මාතෘගේ යාළුවෙක් වෙන්නේ’ කියලා. දාවිත්ටත් එහෙම හිතෙන්න ඇති. මොකද එයාත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ අවධානයට ලක් වීමට තරම් මිනිසුන් වටින්නේද?” (ගීතා. 144:3) යෙහෝවා ඇත්තටම අපි ගැන හිතනවාද, ඔහු අපිට ආදරෙයිද කියන ප්‍රශ්නවලට උත්තර කොහෙන්ද අපිට හොයාගන්න පුළුවන්?
8. යෙහෝවා බලන්නේ මොකක් දිහාද? (1 සාමුවෙල් 16:6, 7, 10-12)
8 මිනිස්සු එච්චර වැදගත් නැහැ කියලා හිතුවට ඒ අය ගැන යෙහෝවා හොඳට දන්නවා. ඊශ්‍රායෙල්වල ඊළඟ රජ විදිහට යෙස්සේගේ පුතෙක්ව අභිෂේක කරන්න කියලා යෙහෝවා සාමුවෙල්ව යවපු අවස්ථාව මතකද? යෙස්සේට පුතාලා අටදෙනෙක් හිටියාට එයා එතනට කතා කරන්නේ හත්දෙනෙක්ට විතරයි. එයාගේ බාලම පුතා වුණ දාවිත්ව එතනට ගෙන්නන්න ඕනෙ කියලවත් එයා හිතන්නේ නැහැ.b ඒත් යෙහෝවා තෝරගත්තේ දාවිත්ව. (1 සාමුවෙල් 16:6, 7, 10-12 කියවන්න.) මොකද දාවිත් කොයි වගේ කෙනෙක්ද කියලා යෙහෝවා දැක්කා. එයා යෞවනයෙක් වුණත් යෙහෝවාට ගොඩක් ආදරෙයි කියලා ඔහු දැනන් හිටියා.
9. යෙහෝවා ඔයාට ආදරෙයි කියලා සහතික වෙන්න පුළුවන් ඇයි? (පින්තූරයත් බලන්න.)
9 යෙහෝවා ඔයාට ආදරෙයි කියලා දැනටමත් පෙන්නලා තියෙන විදි ගැන හිතන්න. ඔයාට ඕනම කරන උපදෙස්, මඟ පෙන්වීම් ඔහු හරිම වෙලාවට දෙනවා. (ගීතා. 32:8) යෙහෝවා ඔයා ගැන හොඳට දන්නේ නැත්නම් කොහොමද එහෙම කරන්නේ? (ගීතා. 139:1) මඟ පෙන්වීම් අදාළ කරගෙන ප්‍රයෝජන ලබද්දී යෙහෝවා ඔයාට ආදරෙයි කියන දේ ඔයාට තව ස්ථිර වෙයි. (1 ලේක. 28:9; ක්‍රියා 17:26, 27) යෙහෝවාට සේවේ කරන්න, කීකරු වෙන්න ඔයා ඔයාගේ පැත්තෙන් ගන්න හැම උත්සාහයක්ම ඔහු දකිනවා. ඔයාගේ ලස්සන ගුණාංගත් ඔහු දකිනවා. ඒකයි ඔයාට ළං වෙන්න ඔහු පෙලඹුණේ. (යෙරෙ. 17:10) ඔහු ඔයාට අත දෙද්දී ඔයා ඒ අත අල්ලගන්නවා දකින්නයි ඔහු කැමති.—1 යොහ. 4:19.
“ඔබ නිතරම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.”—1 ලේක. 28:9. (9 ඡේදය බලන්න)c
‘මං ගත්ත තීරණේ හරිද?’
10. අපි ගත්ත සමහර තීරණ ගැන හිතද්දී අපේ හිතට මොන වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද?
10 කාලෙකට කලින් එයාලා ගත්ත තීරණේ හරිද කියලා සමහරු කල්පනා කරනවා. සමහරවිට එයාලා යෙහෝවාට වැඩියෙන් සේවේ කරන්න තිබ්බ කැමැත්ත නිසා ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සා අත්හැරලා ඇති. නැත්නම් ලොකු ලොකු ව්‍යාපාරවලට අතගහන්නේ නැතුව ඉන්න ඇති. හැබැයි දැන් සෑහෙන කාලයක් ගිහින්. සමහරවිට දශක ගාණක් ගෙවිලා ගිහින්. එයාලත් එක්ක එකට වැඩ කරපු, දන්න අඳුරන අය ඊට වඩා වෙනස් තීරණ ගන්න ඇති. දැන් එයාලට හොඳට සල්ලි බාගේ තියෙනවා. සැප ජීවිත ගත කරනවා. මේවා දකිද්දී මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මං යෙහෝවා වෙනුවෙන් කරපු කැප කිරීම්වලින් වැඩක් තියෙනවාද? එදා ඒ තීරණේ ගත්තේ නැත්නම් අද මං මීට වඩා හොඳ තැනක ඉඳීද?’
11. ගීතිකාකරු අධෛර්යය වුණේ ඇයි?
11 ඔයාගේ හිතටත් ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් 73වෙනි ගීතිකාව ලියපු කෙනාට දැනුණ විදිහ ගැන ටිකක් බලන්න. එයා දැක්කා යෙහෝවාට සේවේ නොකරන අය ලෙඩක් දුකක් නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව සැප ජීවිත ගත කරනවා. (ගීතා. 73:3-5, 12) ඒවා දැකලා ගීතිකාකරුට හිතුණා ‘යෙහෝවාට සේවේ කරන්න මං ගන්න උත්සාහයේ වැඩක් තියෙනවාද’ කියලා. මනසින් වට්ටන ඒ වගේ සිතුවිලි නිසා එයා “දවස පුරාම බොහෝ වේදනාවෙන් හිටියා.” (ගීතා. 73:13, 14) ඒ සිතුවිලිවලින් එයා ගොඩ ආවේ කොහොමද?
12. හිතට ආපු සැකයන් නැති කරගන්න ගීතිකාකරුට පුළුවන් වුණේ කොහොමද? (ගීතාවලිය 73:16-18)
12 ගීතාවලිය 73:16-18 කියවන්න. ගීතිකාකරු හරිම නිස්කලංක තැනක් වුණ යෙහෝවාගේ ශුද්ධස්ථානයට ගියා. දෙවියන්ගේ සෙනඟ එක්ක ඉද්දී එයාට දේවල් ගැන හොඳට හිතන්න පුළුවන් වුණා. එතකොට එයාට තේරුණා සමහරු සැප පහසු ජීවිත ගත කළාට එයාලට අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා. ඒක තේරුම්ගත්ත නිසා මනසින් වට්ටන සිතුවිලි එයා පැරැද්දුවා. යෙහෝවාට එයාගේ ජීවිතේ මුල් තැන දෙන්න එයා ගත්ත තීරණේ තමයි හරිම තීරණේ කියලා එයාට ස්ථිර වුණා. ඒ නිසා ඒ තීරණේට ඇලිලා ඉන්න එයා අදිටන් කරගත්තා.—ගීතා. 73:23-28.
13. ඔයා ගත්ත සමහර තීරණ ගැන ඔයා පසුතැවෙනවා නම් මොකක්ද කරන්න පුළුවන්? (පින්තූරයත් බලන්න.)
13 බයිබලේ උදව්වෙන් ඔයාටත් පුළුවන් මනසින් වට්ටන සිතුවිලි පරද්දන්න. ඒකට ඔයාට තියෙන දේවල්, යෙහෝවාට සේවේ නොකරන අයට තියෙන දේවල් එක්ක සසඳලා බලන්න. ඔයා රැස් කරලා තියෙන්නේ ස්වර්ගයේ වස්තු. ඒත් එයාලා රැස් කරලා තියෙන්නේ නැති වෙලා යන මේ ලෝකේ වස්තු. එයාලා රස්සාවට, සැප පහසු ජීවිතේට අංක එක දීලා තියෙන්නේ එයාලට අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැති නිසයි. හැබැයි ඔයාට එහෙම නෙවෙයි. යෙහෝවා දැනුත් අනාගතේදීත් ඔයාට හිතාගන්න බැරි විදිහට ආශීර්වාද කරනවා. (ගීතා. 145:16) මේ ගැනත් හිතන්න. ඔයා වෙනස් තීරණයක් ගත්තා නම් ඔයාගේ ජීවිතේ මීට වඩා හොඳ එකක් වෙයි කියලා ඔයාට හරියටම කියන්න පුළුවන්ද? හැබැයි එක දෙයක් නම් හරියටම කියන්න පුළුවන්. ඒ තමයි යෙහෝවාටයි, අසල්වැසියන්ටයි තියෙන ආදරේ නිසා තීරණ ගන්න අයට කිසිම අඩුවක් වෙන්නේ නැහැ.
අනාගතේදී යෙහෝවා දෙන ආශීර්වාද ගැන නිතරම හිතන්න (13 ඡේදය බලන්න)d
‘යෙහෝවාට මගෙන් වැඩක් තියෙනවාද?’
14. සමහරු ඉන්නේ මොන වගේ තත්වයකද? එයාලට හිතෙන්න පුළුවන් මොකක්ද?
14 මහලු වයස, අසනීප, ආබාධ නිසා සමහරුන්ට දැන් ඉස්සර තරම්ම සේවේ කරන්න බැහැ. ඒ නිසා එයාලට හිතෙනවා යෙහෝවා ඉස්සරහා එයාලාගේ කිසි වටිනාකමක් නැහැ කියලා. අන්න ඒකයි ‘දැන් යෙහෝවාට මගෙන් කිසි වැඩක් තියෙනවාද’ කියන සැකේ එයාලාගේ හිතට එන්නේ.
15. 71වෙනි ගීතිකාව ලියපු කෙනාට කිසිම සැකයක් තිබුණේ නැත්තේ මොකක් ගැනද?
15 71වෙනි ගීතිකාව ලියපු කෙනාටත් ඒ විදිහටම දැනුණා. ඒකයි එයා දෙවියන්ට කිව්වේ “මා දුර්වල වූ විට මාගෙන් ඈත්ව නොයන්න” කියලා. (ගීතා. 71:9, 18) දුර්වල වුණත් විශ්වාසවන්තව සේවේ කරනවා නම් යෙහෝවා එයාගේ උදව්වට ඉන්නවා කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. අන්තිමේදී එයා තේරුම්ගත්තා පුළුවන් උපරිමේ කරන අය ගැන යෙහෝවා ගොඩක් සතුටු වෙනවා කියලා.—ගීතා. 37:23-25.
16. මහලු අයටත් යෙහෝවා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? (ගීතාවලිය 92:12-15)
16 මහලු සහෝදර සහෝදරියනි, යෙහෝවා ඔයාලව දකින විදිහ ගැන හිතන්න. ඔයාගේ ශක්තිය එන්න එන්න අඩු වෙලා ගියත් ඔහුට විශ්වාසවන්තව ඉන්න ඔයාව ශක්තිමත් කරන්න ඔහුට පුළුවන්. (ගීතාවලිය 92:12-15 කියවන්න.) ඒ නිසා කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. උදාහරණෙකට ඔයාගේ ආදර්ශයෙන් අනිත් අයව ශක්තිමත් කරන්න. එයාලට ආදරේ පෙන්නන්න. මේ අවුරුදු ගාණ පුරාම යෙහෝවා ඔයාට උදව් කරපු විදි ගැනත් ඔහුගේ පොරොන්දු ඔයාට කොච්චර විශ්වාසද කියලත් අනිත් අය එක්ක කතා කරන්න. අනිත් අය වෙනුවෙන් ඔයා කරන යාච්ඤාවල තියෙන බලය කවදාවත් අවතක්සේරු කරන්න එපා. (1 පේතෘ. 3:12) අපේ තත්වය මොකක් වුණත් අපි හැමෝටම පුළුවන් යෙහෝවා වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙනුත් පුංචි දෙයක් හරි දෙන්න.
17. අපි අපිව අනිත් අය එක්ක සන්සන්දනය කරන්න හොඳ නැත්තේ ඇයි?
17 යෙහෝවා වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න බැරි නිසා ඔයා ඉන්නෙත් කලකිරිලා නම් ඔයා කරන පුංචි දේ වුණත් යෙහෝවාට රත්තරන් වගේ වටිනවා කියලා මතක තියාගන්න. සමහරවිට ඔයා, ඔයා කරන දේවල් අනිත් අය කරන දේවල් එක්ක සසඳනවා ඇති. ඒක නතර කරන්න. මොකද යෙහෝවා කවදාවත් ඔයාවයි, තව කෙනෙක්වයි සසඳන්නේ නැහැ. (ගලා. 6:4) මතකද දවසක් මරියා හරිම ගණන්, සුවඳ තෙලක් යේසුස් වෙනුවෙන් ගෙනාවා? (යොහ. 12:3-5) හැබැයි දුප්පත් වැන්දඹුව සම්මාදම් කළේ සුළු වටිනාකමක් තිබුණ, පොඩි කාසි දෙකක්. (ලූක් 21:1-4) ඒත් යේසුස් කවදාවත් එයාලා දීපු දේවල් සන්සන්දනය කළේ නැහැ. ඔහු දැක්කේ එයාලට යෙහෝවා ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලයි. යේසුස් වැඩ කළේ ඔහුගේ තාත්තා වගේමයි. ඉතින් ඔයාත් යෙහෝවා ගැන තියෙන විශ්වාසෙන්, ආදරෙන් පෙලඹිලා කරන පුංචි දෙයක් වුණත් යෙහෝවාට ගොඩක් වටිනවා.
18. අපිව මනසින් වට්ටන සිතුවිලිවලින් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද? (“ඔයාව ගොඩට ගන්න යෙහෝවාගේ වචනයට පුළුවන්” කියන කොටුවත් බලන්න.)
18 අපි හැමෝටම කාලෙන් කාලෙට සැකයන්, මනසින් වට්ටන සිතුවිලි එනවා. හැබැයි අපි බලපු විදිහට ඒවායින් ගොඩ එන්න ඔයාට උදව් කරන්න බයිබලේට පුළුවන්. ඉතින් ඔයාගේ හිතට ප්‍රශ්නයක් ආවාම ඒකට උත්තර බයිබලෙන් හොයන්න. එතකොට අධෛර්යය වෙනවා වෙනුවට ඔයා ශක්තිමත් වෙයි. යෙහෝවා ඔයාව හොඳට අඳුරනවා. ඔහුට ජීවිතේ මුල් තැන දෙන්න ඔයා කරන හැම කැප කිරීමක්ම ඔහු අගය කරනවා. ඔයාට ආශීර්වාද කරනවා කියලා ඔහු දීලා තියෙන පොරොන්දුව ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහුගේ විශ්වාසවන්ත හැම සේවකයෙක්ටම ඔහු ගොඩක් ආදරෙයි. ඔහු එයාලා ගැන නිතරම හිතනවා.
ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
a පැහැදිලි කිරීමක්: මේ ලිපියේ “සැකයන්” කියලා කියන්නේ යෙහෝවා ගැනයි, ඔහුගේ පොරොන්දු ගැනයි විශ්වාසේ අඩු වෙද්දී හිතට එන සැකයන් ගැන නෙවෙයි.
b යෙහෝවා දෙවියන් දාවිත්ව තෝරගද්දී එයාගේ වයස හරියටම බයිබලේ කියලා නැහැ. හැබැයි එයා වයස 13ත් 19ත් අතර ඉන්න ඇති කියලා හිතන්න පුළුවන්. 2011 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 29වෙනි පිටුවේ 2වෙනි ඡේදය බලන්න.
c පින්තූරේ අදහස: හිතේ තියෙන ප්‍රශ්නෙකට යෙහෝවා දෙන උත්තරේ දැනගන්න යෞවනියක් බයිබලෙන් තොරතුරු හොයනවා.
d පින්තූරවල අදහස: පවුලේ අයව බලාගන්න සහෝදරයෙක් රස්සාවක් විදිහට ජනෙල් හෝදනවා. හැබැයි එයා මනසින් ඉන්නේ පාරාදීසේ.