ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 මාර්තු 2-7 පි.
  • බව්තීස්ම වෙන එක කල් දාන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බව්තීස්ම වෙන එක කල් දාන්න එපා!
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමරිතානුවන් බව්තීස්ම වුණා
  • ටාසස්වලින් ආපු සාවුල් බව්තීස්ම වුණා
  • කොර්නේලියස් බව්තීස්ම වුණා
  • කොරින්තියේ හිටපු අය බව්තීස්ම වුණා
  • ඔයාගේ විශ්වාසෙට කඳු වුණත් අයින් කරන්න පුළුවන්
  • බව්තීස්මයෙන් පස්සෙත් යේසුස් අනුව යන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ට ජීවිතේ කැප කරන්න ඔයා ලෑස්තිද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයා බව්තීස්ම වෙන්න ලෑස්තිද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 මාර්තු 2-7 පි.

පාඩම් ලිපිය 9

ගීතිකාව 51 දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

බව්තීස්ම වෙන එක කල් දාන්න එපා!

“ඔයා තවත් පරක්කු කරන්නේ ඇයි? නැඟිටලා බව්තීස්ම වෙන්න.”—ක්‍රියා 22:16.

ලිපියේ අරමුණ

බව්තීස්මය කියන පියවරට යන්න සමරිතානුවන්, සාවුල්, කොර්නේලියස් සහ කොරින්තියේ අයගේ ආදර්ශ ඔයාට ශක්තියක් වෙන විදිහ බලන්න.

1. ඔයාට බව්තීස්ම වෙන්න තියෙන සමහර හේතු මොනවාද?

ඔයාට ජීවිතේ දීපු, හැම හොඳ තෑග්ගක්ම දීපු යෙහෝවාට ඔයා ආදරෙයිද? හිතේ තියෙන ඒ ආදරේ ඔහුට පෙන්නන්න ඔයාට ඕනද? ඒක කරන්න තියෙන හොඳම විදිහ තමයි ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරලා බව්තීස්ම වෙන එක. ඔයා ඒ පියවරවල් ගද්දී ඔයා යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙනවා. ඔයා යෙහෝවාට අයිති කෙනෙක් වෙන නිසා ආදරණීය තාත්තා විදිහට, ඔයාගේ යාළුවා විදිහට ඔහු ඔයාට මඟ පෙන්නයි. ඔයාව බලාගනියි. (ගීතා. 73:24; යෙසා. 43:1, 2) ඒ වගේම කැපවීම සහ බව්තීස්මය නිසා ඔයාට සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුවත් ලැබෙනවා.—1 පේතෘ. 3:21.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 බව්තීස්මය කල් දාන්න ඔයාටත් මොකක් හරි හේතුවක් තියෙනවාද? එහෙම දැනුණ එකම කෙනා ඔයා නෙවෙයි. ඇත්තටම මිලියන ගාණකට බව්තීස්ම වෙන්න ඕන කරන සුදුසුකම් ලබාගන්න එයාලාගේ හැසිරීම, හිතන විදිහ වෙනස් කරගන්න වුණා. ඒත් දැන් එයාලා සතුටින්, උද්‍යෝගයෙන් යෙහෝවාට සේවේ කරනවා. මුල් සියවසේ බව්තීස්ම වුණ සමහර අයගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? එයාලා මූණ දීපු අභියෝග ගැනත් එයාලාගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් දැන් අපි බලමු.

සමරිතානුවන් බව්තීස්ම වුණා

3. සමහර සමරිතානුවන්ට බව්තීස්ම වෙන්න කරන්න වුණේ මොන වගේ වෙනස්කම්ද?

3 සමරිතානුවන් කියන්නේ යේසුස්ගේ කාලේ ආගමික නිකායකට අයිති වුණ කට්ටියක්. එයාලාගෙන් හුඟදෙනෙක් ජීවත් වුණේ යුදයේ උතුරට වෙන්න තිබුණ ෂීකෙම් නුවර අවට සහ සමාරියේ. බව්තීස්ම වෙන්න කලින් සමරිතානුවන් දෙවියන්ගේ වචනය ගැන තව ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන වුණා. එයාලා විශ්වාස කළේ බයිබලේ උත්පත්ති ඉඳලා ද්විතීය කතාව වෙන කල් තිබුණ මුල් පොත් පහ විතරයි. සමහරවිට එයාලා යොෂුවා පොතත් පිළිගන්න ඇති. ද්විතීය කතාව 18:18, 19 දෙවියන් දීලා තිබුණ පොරොන්දුව නිසා එයාලත් ගැලවුම්කරුවෙක් එයි කියන බලාපොරොත්තුවෙන් හිටියා. (යොහ. 4:25) හැබැයි බව්තීස්ම වෙන්න නම් ඒ ගැලවුම්කරු යේසුස් කියලා එයාලා පිළිගන්න ඕන වුණා. “සමරිතානුවන් හුඟදෙනෙක්” ඒක පිළිගත්තා. (යොහ. 4:39) තවත් අයට සිද්ධ වෙන්න ඇති යුදෙව්වන් ගැන තිබුණ වැරදි අදහස් අයින් කරගන්න. මොකද මුල් සියවසේ ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් යුදෙව් අය.—ලූක් 9:52-54.

4. ක්‍රියා 8:5, 6, 14 කියන විදිහට ෆිලිප් දේශනා කරද්දී සමරිතානුවන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

4 බව්තීස්ම වෙන්න සමරිතානුවන්ට උදව් වුණේ මොකක්ද? ෆිලිප් “ක්‍රිස්තුස් ගැන දේශනා” කරද්දී සමරිතානුවන් සමහරදෙනෙක් “දෙවියන්ගේ පණිවිඩය පිළිගත්තා.” (ක්‍රියා 8:5, 6, 14 කියවන්න.) ෆිලිප් යුදෙව්වෙක් වුණත් සමරිතානුවන් එයාට කන් දුන්නා. සමහරවිට දෙවියන් හැමෝටම එක වගේ සලකනවා කියලා පංච පුස්තකයේ තිබුණ දේ එයාලට මතක තියෙන්න ඇති. (ද්වි. 10:17-19) යේසුස් ගැන ‘ෆිලිප් කියපු දේවලට එයාලා ඇහුම්කන් දුන්නා.’ දෙවියන්ගේ බලය ෆිලිප්ට තියෙනවා කියන්න තිබුණ පැහැදිලි සාක්ෂිත් එයාලා අඳුරගත්තා. අසනීප සුව කරන එක, භූතයන්ව දුරු කරන එක වගේ ගොඩක් ආශ්චර්යයනුත් ෆිලිප් කළා.—ක්‍රියා 8:7.

5. සමරිතානුවන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 ෆිලිප් යුදෙව්වෙක් නිසාත් එයා උගන්නපු දේවල් එයාලා කලින් අහලා තිබුණේ නැති නිසාත් සමරිතානුවන්ට ඕන නම් තිබුණා එයාට ඇහුම්කන් නොදී ඉන්න. හැබැයි එයාලා එහෙම කළේ නැහැ. ෆිලිප් කියපු දේවල් සත්‍යයයි කියලා ස්ථිර වුණාම එයාලා ඉක්මනින්ම බව්තීස්ම වුණා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ෆිලිප් දෙවියන්ගේ රාජ්‍යය සහ යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය කිව්වාම එයාලා එයාව විශ්වාස කරන්න පටන්ගත්තා. එයා කියන දේ අහලා පුරුෂයන් සහ ස්ත්‍රීන් දෙගොල්ලන්ම බව්තීස්මත් වුණා.” (ක්‍රියා 8:12) දෙවියන්ගේ වචනය සත්‍යයයි කියලා ඔයාටත් විශ්වාසයිද? සැබෑ ක්‍රිස්තියානීන් අතර තියෙනවා කියලා යේසුස් කියපු ඒ ආදරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තියෙනවා කියලා ඔයා දකිනවාද? (යොහ. 13:35) එහෙමනම් පරක්කු කරන්නේ නැතුව බව්තීස්ම වෙන්න. ඔයා ඒ අඩිය තියද්දී යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්.

6. රූබන්ගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?

6 රූබන් හැදී වැඩුණේ ජර්මනියේ. එයාගේ දෙමාපියෝ සාක්ෂිකරුවෝ. ඒත් යෞවන කාලේදී දෙවියන් ඇත්තටම ඉන්නවාද කියන සැකය එයාගේ හිතට ආවා. කොහොමද එයා ඒකෙන් ගොඩ ආවේ? එයා තේරුම්ගත්තා එයාට ඒ ගැන තාම හරි හැටි දැනුමක් නැහැ කියලා. එයා මෙහෙම කියනවා. “හිතට ආපු සැකයන් යට ගහන්නේ නැතුව පෞද්ගලික අධ්‍යයනයේදී ඒ ගැන තව හොයන්න මං තීරණේ කළා. මං කීප සැරයක්ම පරිණාමය ගැන අධ්‍යයනය කළා.” ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොත රූබන් කියෙව්වා. දෙවියන් ගැන එයාට තිබුණ විශ්වාසේ වැඩි කරගන්න ඒක එයාට ගොඩක් උදව් වුණා. එයා එයාටම කියාගත්තා ‘මාරයිනේ! යෙහෝවා ඇත්තටම ඉන්නවා’ කියලා. ඒ වගේම අපේ ලෝක මූලස්ථානයට ගිය වෙලාවේ ලෝකේ පුරා ඉන්න සහෝදරයන්ගේ ආදරේ, එක්සත්කම එයා දැක්කාම එයාගේ හිතට ඒක තදින් වැදුණා. එයා ජර්මනියට ආයේ ආවාම අවුරුදු 17දී බව්තීස්ම වුණා. ඔයාටත් බයිබලෙන් ඉගෙනගත්ත දෙයක් ගැන සැකයක් තියෙනවා නම් ඒ ගැන අපේ ප්‍රකාශනවලින් හොඳට හොයන්න. මොකද “නිවැරදි අවබෝධයට” පුළුවන් සැකයන් පරද්දන්න. (එෆී. 4:13, 14) ඔයාත් ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදරයන්ගේ ආදරේ සහ එක්සත්කම ගැන අහද්දී, ඒ ආදරේ ඔයාගේ සභාවේම දකිද්දී සහෝදර සහෝදරියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙයි.

ටාසස්වලින් ආපු සාවුල් බව්තීස්ම වුණා

7. සාවුල්ට වෙනස් කරගන්න වුණේ කොහොම හිතපු එකද?

7 ටාසස්වලින් ආපු සාවුල්ගේ අද්දැකීම බලන්න. එයා යුදෙව් නීතිය හදාරපු, යුදෙව්වන් අතරේ ලොකු තැනක් තිබුණ කෙනෙක්. (ගලා. 1:13, 14; ෆිලි. 3:5) ඒ කාලේ යුදෙව්වන් ක්‍රිස්තියානීන්ව සැලකුවේ සත්‍යයට විරුද්ධව කැරලිගහන අය විදිහට. ඉතින් සාවුල් ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කළා. එයා හිතුවේ එයා කරන්නේ දෙවියන්ගේ කැමැත්ත කියලා. (ක්‍රියා 8:3; 9:1, 2; 26:9-11) යේසුස්ව පිළි අරන් ක්‍රිස්තියානියෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් සාවුල් පීඩා විඳින්න ලෑස්ති පිට ඉන්න ඕන වුණා.

8. (අ) බව්තීස්ම වෙන්න සාවුල්ට උදව් වුණේ මොකක්ද? (ආ) අනනියස් සාවුල්ට උදව් කළේ කොහොමද? (ක්‍රියා 22:12-16) (පින්තූරයත් බලන්න.)

8 බව්තීස්ම වෙන්න සාවුල්ට උදව් වුණේ මොකක්ද? ස්වර්ගයේ හිටපු යේසුස් සාවුල්ට දර්ශනය වුණ වෙලාවේ එයා අන්ධ වුණා. (ක්‍රියා 9:3-9) දවස් තුනක් යන කල් එයා නොකා නොබී සිද්ධ වුණ ඒ දේ ගැන හිතන්න ඇති. යේසුස් තමයි ගැලවුම්කරු කියලත් ඔහුගේ අනුගාමිකයන් තමයි සැබෑ ආගම අදහන්නේ කියලත් එතකොට සාවුල්ට තේරුණා. ඒ වගේම ස්තේපන්ව මරන්න එයාත් සම්බන්ධ වුණ එක ගැන සාවුල් ගොඩක් පසුතැවෙන්න ඇති. (ක්‍රියා 22:20) දවස් තුනෙන් පස්සේ යේසුස්ගේ ගෝලයෙක් වුණ අනනියස් සාවුල්ව හම්බ වෙන්න ආවා. එයා සාවුල්ට ආයෙත් පෙනීම දීලා කල් දාන්නේ නැතුව බව්තීස්ම වෙන්න කියලා එයාව දිරිගැන්නුවා. (ක්‍රියා 22:12-16 කියවන්න.) සාවුල් නිහතමානීව අනනියස් කියපු දේ අහලා බව්තීස්ම වුණා.—ක්‍රියා 9:17, 18.

සාවුල් බව්තීස්ම වෙන්න වතුරට බහිනවා. කීපදෙනෙක් සතුටින් ඒ දිහා බලාගෙන ඉන්නවා.

සාවුල් වගේ ඔයාත් බව්තීස්ම වෙන්න අනිත් අයගෙන් ලැබෙන දිරිගැන්වීම් පිළිගන්නවාද? (8 ඡේදය බලන්න)


9. සාවුල්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 සාවුල්ගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් පාඩම් තියෙනවා. උඩඟුකමටයි, මිනිස්සුන්ට තිබුණ බයටයි එයා ඉඩ දුන්නේ නැහැ බව්තීස්ම වෙන එකෙන් එයාව වළක්වන්න. සාවුල් යේසුස් ගැන සත්‍යය පිළිගත්තාට පස්සේ නිහතමානීව වෙනස්කම් කරගත්තා. (ක්‍රියා 26:14, 19) පීඩා විඳින්න වෙනවා කියලා දැන දැනත් සාවුල් කැමැත්තෙන්ම ක්‍රිස්තියානියෙක් වුණා. (ක්‍රියා 9:15, 16; 20:22, 23) බව්තීස්මයෙන් පස්සෙත් එයාට එන පීඩා දරාගන්න එයා දිගටම යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කළා. (2 කොරි. 4:7-10) ඔයාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණාම ඔයාගේ විශ්වාසේ හෙල්ලෙන විදිහේ දේවල්වලට මූණ දෙන්න වෙයි. ඔයාට පීඩා එයි. හැබැයි ඔයා තනි වෙලා නැහැ. ඔයාට නිසැක වෙන්න පුළුවන් යෙහෝවාගෙයි, යේසුස්ගෙයි උදව් ඔයාට තියෙනවා කියලා.—ෆිලි. 4:13.

10. ආනාගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?

10 ආනා නැඟෙනහිර යුරෝපයේ හැදී වැඩුණ කර්ඩිෂ් ජාතික කෙනෙක්. එයාගේ අම්මා බව්තීස්ම වුණාට පස්සේ අවුරුදු නමයේදී ආනා තාත්තාගෙත් අවසර ඇතුව බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. ආනාගේ නෑදෑයෝ, පවුලේ හැමෝම ජීවත් වුණේ එකට. ආනා ගත්ත මේ තීරණේ එයාලට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද පරම්පරාවෙන් එන ආගම අත්හරින එක එයාලා සැලකුවේ පවුලට කරන අවනම්බුවක් විදිහට. අවුරුදු 12දී ආනා තාත්තාගෙන් ඇහුවා එයා බව්තීස්ම වුණාට කමක් නැද්ද කියලා. තාත්තාට දැනගන්න ඕන වුණා ආනා මේ තීරණේ ගත්තේ කාගේ හරි බල කිරීමකටද කියලා. හැබැයි ආනා කිව්වා “මං යෙහෝවාට ගොඩක් ආදරෙයි” කියලා. ඉතින් බව්තීස්ම වුණාට කමක් නැහැ කියලා තාත්තා කිව්වා. බව්තීස්මයෙන් පස්සේ ආනාට නෑදෑයෝ ගොඩක් වෙනස්කම් කළා, අපහාස කළා. සීයා එයාට කිව්වා “ඔයා සිගරට් බිව්වා නං, මිනිස්සු එක්ක ගියා නං මීට වඩා හොඳයි” කියලා. ඒ දේවල් කොහොමද ආනා දරාගත්තේ? එයා මෙහෙම කියනවා. “යෙහෝවා මගේ උදව්වට ඉඳලා මාව ශක්තිමත් කළා. අම්මායි, තාත්තායි මට ලොකු හයියක් වුණා.” යෙහෝවා උදව් කරපු නිශ්චිත අවස්ථා ගැන ආනා ලියලා තියාගත්තා. කාලෙන් කාලෙට එයා ඒවා කියෙව්වා. ඒක උදව් වුණා යෙහෝවා උදව් කරපු අවස්ථා අමතක කරන්නේ නැතුව ඉන්න. විරුද්ධවාදිකම් එයි කියලා ඔයාත් ඉන්නේ බයෙන් නම් ඔයාගේ උදව්වටත් යෙහෝවා ඉන්නවා කියලා අමතක කරන්න එපා.—හෙබ්‍රෙ. 13:6.

කොර්නේලියස් බව්තීස්ම වුණා

11. බව්තීස්ම නොවී ඉන්න කොර්නේලියස්ට තිබුණ හේතු මොනවාද?

11 කොර්නේලියස්ගෙනුත් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. එයා රෝම හමුදාවේ ‘සෙබළු සීයකට’ විතර අණ දුන්න නිලධාරියෙක්. (ක්‍රියා 10:1, පාදසටහන) ඒ තනතුර නිසාම එයාට සමාජයෙත් ලොකු තැනක් තිබුණා. “එයා නැති බැරි අයට උදව් කරන්න පුරුදු වෙලා හිටපු” කෙනෙක්. (ක්‍රියා 10:2) කොර්නේලියස්ට ශුභාරංචිය කියන්න යෙහෝවා පේතෘස්ව යැව්වා. සමාජයේ එයාට තිබුණ තැන නිසා කොර්නේලියස් බව්තීස්මය කල් දදා හිටියාද?

12. කොර්නේලියස්ට බව්තීස්ම වෙන්න උදව් වුණේ මොකක්ද?

12 කොර්නේලියස්ට බව්තීස්ම වෙන්න උදව් වුණේ මොකක්ද? බයිබලයේ කියනවා කොර්නේලියස්ටයි, එයාගේ පවුලේ හැමෝටමයි දෙවියන් ගැන “ලොකු ගෞරවයක් තිබුණා” කියලා. ඒ වගේම එයා නිතරම දෙවියන්ට කන්නලව් කරපු කෙනෙක්. (ක්‍රියා 10:2) පේතෘස් කොර්නේලියස්ට ශුභාරංචිය කිව්වාම එයායි, එයාගේ පවුලේ හැමෝමයි යේසුස්ව පිළි අරන් ඉක්මනටම බව්තීස්ම වුණා. (ක්‍රියා 10:47, 48) පවුලේ අයත් එක්ක එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් වෙන විදිහට ඕනම වෙනස්කමක් කරගන්න කොර්නේලියස් කැමැත්තෙන් හිටියා.—යොෂු. 24:15; ක්‍රියා 10:24, 33.

13. කොර්නේලියස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 සාවුල්ට වගේම කොර්නේලියස්ටත් ඕන නම් තිබුණා සමාජයේ එයාට තිබුණ පිළිගැනීම නිදහසට හේතුවක් කරගෙන බව්තීස්ම නොවී ඉන්න. ඒත් එයා එහෙම කළේ නැහැ. බව්තීස්ම වෙන්න ඔයාටත් ජීවිතේ ලොකු වෙනස්කම් කරගන්න තියෙනවාද? එහෙමනම් යෙහෝවා ඔයාගේ උදව්වට ඉන්නවා. යෙහෝවාට සේවේ කරන්න තියෙන ආසාව නිසා ඔයා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී ඒ අධිෂ්ඨානයට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.

14. සූයෝෂීගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?

14 ජපානයේ ඉන්න සූයෝෂීට බව්තීස්ම වෙන්න නම් රස්සාවේ වෙනස්කමක් කරගන්න වුණා. එයා වැඩ කළේ මල් සැරසිලි කරපු ඉකෙනොබො කියන පාසැලේ ප්‍රධානියාගේ දෙවෙනියා විදිහට. අවමංගල්‍ය වැඩවල මල් සැරසිලි කරන්න ප්‍රධානියාට යන්න බැරි වෙද්දී සූයෝෂී තමයි ගිහින් ඒ සැරසිලි කරලා බෞද්ධ චාරිත්‍ර කළේ. හැබැයි මරණය ගැන සත්‍යය දැනගත්තාම සූයෝෂීට තේරුණා බව්තීස්ම වෙන්න ඒ චාරිත්‍ර කරන එක බාධාවක් කියලා. ඉතින් එයා තීරණයක් ගත්තා ආයේ ඒවාට හවුල් නොවී ඉන්න. (2 කොරි. 6:15, 16) සූයෝෂී එයාගේ තීරණේ ගැන ප්‍රධානියාට කිව්වා. ඉතින් එයාට අවස්ථාව හම්බ වුණා බෞද්ධ චාරිත්‍රවලට හවුල් නොවී එයාගේ රස්සාව දිගටම කරන්න. පාඩම පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ එයා බව්තීස්ම වුණා.a යෙහෝවාව සතුටු කරන්න ඕන නිසා ඔයාටත් රස්සාවේ වෙනස්කම් කරගන්න වුණොත් මතක තියාගන්න ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි ඕන දේවල් යෙහෝවා අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා.—ගීතා. 127:2; මතෙ. 6:33.

කොරින්තියේ හිටපු අය බව්තීස්ම වුණා

15. කොරින්තියේ අයට බව්තීස්ම වෙන්න බාධාවක් වෙන්න ඇත්තේ මොනවාද?

15 අතීතයේ කොරින්තියේ හිටියේ ධන සම්පත් පස්සේ ගිය, සදාචාරය බින්දුවටම වැටුණ මිනිස්සු. එහේ හිටපු ගොඩක් අය කළේ දෙවියන් අකමැති දේවල්. ඒ වගේ වටපිටාවක ඉඳන් දෙවියන්ට සේවේ කරන්න පටන්ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් පාවුල් ඒ නගරයට ඇවිල්ලා ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය දේශනා කළාම ‘කොරින්තියේ හිටපු හුඟදෙනෙක් විශ්වාසයක් ඇති කරගෙන බව්තීස්ම වුණා.’ (ක්‍රියා 18:7-11) ඊටපස්සෙත් යේසුස් පාවුල්ට දර්ශනයකින් පෙනිලා කිව්වා “මේ නගරේ මට එකතු වෙන්න තවත් ගොඩක් අය ඉන්නවා” කියලා. ඉතින් පාවුල් තව අවුරුදු එකහමාරක්ම ඒ පැත්තේ දේශනා කළා.

16. බව්තීස්මයට තිබුණ බාධා ජය ගන්න කොරින්තියේ අයට උදව් වුණේ මොනවාද? (2 කොරින්ති 10:4, 5)

16 බව්තීස්ම වෙන්න කොරින්තියේ අයට උදව් වුණේ මොනවාද? (2 කොරින්ති 10:4, 5 කියවන්න.) දෙවියන්ගේ වචනේ සහ ඔහුගේ බලයේ උදව්වෙන් කොරින්තියේ හිටපු අය එයාලාගේ ජීවිතවල හිතාගන්න බැරි විදිහේ වෙනස්කම් කළා. (හෙබ්‍රෙ. 4:12) ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය පිළිගත්ත කොරින්තියේ හිටපු අය බේබදුකම, හොරකම් කරන එක, සමලිංගික ක්‍රියා වගේ පුරුදු අත්හැරියා.—1 කොරි. 6:9-11.b

17. කොරින්තියේ අයගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 ක්‍රිස්තියානීන් වෙන්න කොරින්තියේ හිටපු අයට ජීවිතේ ලොකු වෙනස්කම් කරගන්න වුණා. හැබැයි එයාලා කවදාවත් හිතුවේ නැහැ ඒ දේ එයාලට කීයටවත් කරගන්න බැහැ කියලා. එයාලා ජීවනයට යන පටු පාරට ඇතුල් වෙන්න පුළුවන් හැම දේම කළා. (මතෙ. 7:13, 14) බව්තීස්ම වෙන්න තියෙන කැමැත්ත නිසා ඔයාත් මොනවා හරි නරක පුරුද්දක් පරද්දන්න සටන් කරනවාද? එහෙමනම් ඒ සටන කවදාවත් අත්හරින්න එපා. ඒ නරක පුරුද්දට තියෙන ආසාව නැති කරගන්න බලය දෙන්න කියලා යෙහෝවාට කන්නලව් කරලා ඉල්ලන්න.

18. මොනිකාගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?

18 බව්තීස්ම වෙන්න තිබුණ කැමැත්ත නිසා ජෝර්ජියාවේ ඉන්න මොනිකා අසභ්‍ය කතාබහ සහ නුසුදුසු දේවල් අහන බලන එක නවත්තන්න ලොකු සටනක් කළා. එයා මෙහෙම කියනවා. “යෞවන කාලේ යාච්ඤාව තමයි මට හයියක් වුණේ. යෙහෝවා දන්නවා මට හරි දේ කරන්න ඕනෙ කියලා. ඒ නිසා ඔහු හැම තිස්සේම මට උදව් කළා. මඟ පෙන්නුවා.” මොනිකා අවුරුදු 16දී බව්තීස්ම වුණා. යෙහෝවා පිළිගන්න විදිහට සේවේ කරන්න නම් අත්හරින්න ඕන පුරුද්දක් ඔයා ළඟත් තියෙනවාද? එහෙමනම් ඒ වෙනස්කම කරගන්න දිගටම යෙහෝවාගෙන් බලය ඉල්ලන්න. ඔහුගෙන් බලය ඉල්ලන අයට ඔහු ලෝභ නැතුව ඒක දෙනවා.—යොහ. 3:34.

ඔයාගේ විශ්වාසෙට කඳු වුණත් අයින් කරන්න පුළුවන්

19. කඳු වගේ ප්‍රශ්න පරද්දන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

19 යෙහෝවා ඔයාට ආදරෙයි. ඔහුට ඕනෙ ඔයාව ඔහුගේ පවුලට එකතු කරගන්නයි කියන දේ ගැන සැක කරන්න එපා. ඔයාට බව්තීස්ම වෙන්න මොන වගේ බාධාවක් තිබුණත් ඒකේ වෙනසක් නැහැ. යේසුස් ඔහුගේ ගෝලයෝ පිරිසකට මෙහෙම කිව්වා. “අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔයාලට තියෙනවා නම් මේ කන්දට ‘මෙතනින් අතනට යන්න’ කියලා කිව්වොත් ඒක එතනට යයි. විශ්වාසය තියෙනවා නම් ඔයාලට ඕනෙම දෙයක් කරන්න පුළුවන්.” (මතෙ. 17:20) යේසුස් කියපු ඒ දේ අහන් හිටපු ගෝලයෝ ඔහු එක්ක ඉඳලා තිබුණේ අවුරුදු කීපයයි. ඒ නිසා එයාලා එයාලාගේ විශ්වාසේ තව වර්ධනය කරගන්න ඕන වුණා. ඒත් යේසුස් මේ කියන්නේ ඒගොල්ලෝ එහෙම කළොත් කඳු වගේ බාධා වුණත් පරද්දන්න යෙහෝවා එයාලට උදව් කරනවා කියලයි. ඒ දේම කරන්න යෙහෝවා ඔයාටත් උදව් කරනවා.

අලුතින් බව්තීස්ම වුණ අය ඇවිදගෙන එද්දී සමුළුවේ ඉන්න අය අත්පුඩි ගහලා සතුටින් එයාලව පිළිගන්නවා.

යෙහෝවා ඔයාට ආදරෙයි. ඔහුට ඕනෙ ඔයාව ඔහුගේ පවුලට එකතු කරගන්නයි කියලා විශ්වාස කරන්න (19 ඡේදය බලන්න)c


20. මේ ලිපියෙන් අපි බලපු අතීත සහ වර්තමාන අද්දැකීම් ඔයාට උදව් වුණේ කොහොමද?

20 බව්තීස්ම වෙන්න බාධා වෙන දෙයක් ඔයාට තියෙනවා නම් තවත් කල් දදා ඉන්නේ නැතුව ඒක අයින් කරන්න පියවර ගන්න. අතීත සහ වර්තමාන ක්‍රිස්තියානීන්ගේ ආදර්ශවලින් සහනයක්, ශක්තියක් ලබන්න. ඒ අද්දැකීම් ඔයාට දිරිගැන්වීමක් වෙයි කියලත් යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඒවා ඔයාව පොලඹවයි කියලත් අපිට විශ්වාසයි. ඒක තමයි ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණේ.

බව්තීස්ම වෙන්න තියෙන බාධා ජය ගන්න මේ අයගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • සමරිතානුවන්ගෙන්

  • ටාසස්වල සාවුල්ගෙන් සහ කොර්නේලියස්ගෙන්

  • කොරින්තියේ හිටපු අයගෙන්

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

a සහෝදර සූයෝෂී ෆුජීගේ අද්දැකීම 2005 අගෝස්තු 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 24-27 පිටුවල තියෙනවා.

b jw.org එකේ තියෙන ‘ඔයා බව්තීස්මය කල් දාන්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

c පින්තූරේ අදහස: එදා දවසේ බව්තීස්ම වුණ අයව සහෝදර සහෝදරියෝ ආදරෙන් පිළිගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න