පාඩම් ලිපිය 15
ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි
යෙහෝවාට තව තව ළං වෙන්න
“දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් මට වෙන්නේ යහපතක්.”—ගීතා. 73:28.
ලිපියේ අරමුණ
යෙහෝවාට තව ළං වෙන්න පුළුවන් කොහොමද? එහෙම කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
1-2. (අ) කෙනෙක් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න අපි මොනවාද කරන්න ඕනේ? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?
ඔයාගේ හොඳම යාළුවා ගැන ටිකක් හිතන්න. ඔය දෙන්නා හොඳ යාළුවෝ වුණේ කොහොමද? ඔයා අනිවාර්යයෙන්ම එයාත් එක්ක කාලේ ගත කරන්න ඇති. එයා මූණ දීපු අභියෝග, එයා කැමති අකමැති දේවල් ඔයා දැනගන්න ඇති. ඒ වගේම එයාගේ ලස්සන ගුණාංග ඔයා දකින්න ඇති. ඔයාටත් එයා වගේ වෙන්න ආස හිතෙන්න ඇති. එයා ගැන ඔයාට ලොකු ආදරයක් ඇති වෙන්නත් ඇති.
2 කෙනෙක් එක්ක හොඳ යාළුකමක් ඇති කරගන්න නම් ඔයා ඒ වෙනුවෙන් කාලේ දෙන්න ඕනේ. යෙහෝවාත් එක්ක හොඳ යාළුකමක් ඇති කරගන්න ඔයා කරන්න ඕනෙත් ඒ දේමයි. අපිට යෙහෝවාට ළං වෙන්න පුළුවන් විදිහ ගැනත් එහෙම කරන එකෙන් අපිට ලැබෙන යහපත් දේවල් ගැනත් මේ ලිපියෙන් අපි බලනවා. ඒත් ඊට කලින් අපි බලමු අපේ හොඳම යාළුවා යෙහෝවාට අපි ළං වෙලා ඉන්න එක යහපත් කියන්නේ ඇයි කියලා.
3. යෙහෝවාට ළං වෙන එකෙන් ලැබෙන හොඳ දේවල් ගැන හිතන එක වැදගත් ඇයි? පැහැදිලි කරන්න.
3 යෙහෝවාට ළං වෙලා ඉන්න එක හොඳයි කියලා ඔයාත් පිළිගන්නවා ඇති. හැබැයි දෙවියන්ට ළං වෙලා ඉන්න එක කොයි තරම් යහපත්ද කියලා හිතන්න හිතන්න ඔහුට තව තව ළං වෙන්න අපි පෙලඹෙනවා. (ගීතා. 63:6-8) උදාහරණෙකට සමබර ආහාර වේලක් ගන්න එක, ව්‍යායාම් වගේ ඇඟ වෙහෙසෙන දේවල් කරන එක, හොඳ විවේකයක් ගන්න එක, හොඳට වතුර බොන එක අපේ සෞඛ්‍යයට හොඳයි කියලා අපි දන්නවා. ගොඩක් අය ඒ ගැන එච්චර හිතන්නේ නැති නිසා ඒවා කරන්නෙත් නැහැ. ඒත් හොඳ සෞඛ්‍ය පුරුදු කොච්චර ප්‍රයෝජනවත්ද කියලා නිතර හිතන එකෙන් ඒවා පිළිපදින්න අපි පෙලඹෙනවා. ඒ වගේ තමයි යෙහෝවාට ළං වෙලා ඉන්න එක යහපත් කියලා අපි දැනන් හිටියත් ඒකෙන් අපිට ලැබෙන යහපත් දේවල් ගැන දිගටම හිතද්දී අපේ හොඳම යාළුවාට තව තව ළං වෙන්න ඒක අපිව පොලඹවනවා.—ගීතා. 119:27-30.
4. ගීතාවලිය 73:28 ලියපු කෙනා කිව්වේ මොනවාද?
4 ගීතාවලිය 73:28 කියවන්න. 73වෙනි ගීතිකාව ලියපු කෙනා දේවමාලිගාවේ සංගීතඥයෙක් විදිහට සේවේ කරපු ලෙවීවරයෙක්. එයා කාලයක් තිස්සේ යෙහෝවාට විශ්වාසවන්තව නමස්කාර කරන්න ඇති. ඒත් එයා තේරුම්ගත්තා “දෙවියන්ට ළං වෙලා ඉන්න එක” එයාටයි, අනිත් අයටයි කොච්චර යහපත්ද කියලා නිතරම මතක තියාගන්න ඕනෙ කියලා. ඒ ගැන අනිත් අයටත් කියන්නයි එයාට ඕන වුණේ. ඇත්තටම යෙහෝවාට ළං වෙන එකෙන් ලැබෙන යහපත් දේවල් මොනවාද?
සතුට ලැබෙනවා
5. (අ) යෙහෝවාට තව ළං වෙන එකෙන් අපිට සතුටක් ලැබෙන්නේ කොහොමද? (ආ) යෙහෝවාගෙන් ලැබෙන ප්‍රඥාව ඔයාට උදව්වක් වෙන්නෙත් ඔයාට ආරක්ෂාවක් වෙන්නෙත් කොහොමද? (හිතෝපදේශ 2:6-16)
5 යෙහෝවාට ළං වෙන තරමට ලැබෙන සතුටත් වැඩියි. (ගීතා. 65:4) ඒකට ගොඩක් හේතු තියෙනවා. උදාහරණෙකට බයිබලේ කියවලා ඒකේ තියෙන දේවල් පිළිපදිද්දී අපි ප්‍රඥාවන්ත අය වෙනවා. අපිට හානියක් වෙන දේවලින්, බරපතළ වැරදි කරන එකෙන් වළකින්න ඒ ප්‍රඥාව අපිට උදව් වෙනවා. (හිතෝපදේශ 2:6-16 කියවන්න.) ඒකයි බයිබලේ මෙහෙම කියන්නේ. “ප්‍රඥාව හොයාගෙන වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න කෙනා සන්තෝෂවත්.”—හිතෝ. 3:13.
6. ගීතිකාකරුගේ සතුට නැති වුණේ ඇයි?
6 යෙහෝවාගේ යාළුවන්ටත් දුකක් දැනුණ වෙලාවල් තිබුණා. 73වෙනි ගීතිකාව ලියපු කෙනාටත් එහෙම දැනුණා. ඒ, අසාධාරණයි කියලා එයා හිතපු දේවලට වැඩි අවධානයක් දුන්න නිසයි. දෙවියන් ගැන, ඔහුගේ ප්‍රමිති ගැන කිසි ගාණක් නැති මිනිස්සු හොඳ ජීවිත ගත කරනවා කියලා එයා හිතන්න ගත්තා. ඒ නිසා එයාට ලොකු කේන්තියක් දැනුණා. එයාටත් ඕන වුණා ඒ වගේ ජීවිතයක් ගත කරන්න. දරුණු, අහංකාර මිනිස්සුන්ට ඕන කරන හැම දේම ලැබෙනවා කියලත් එයාලා කිසිම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා කියලත් එයා හිතුවා. (ගීතා. 73:3-7, 12) ඒවා ගැන හිතපු එක එයාට කොච්චර බලපෑවාද කියනවා නම් එයාට හිතුණා යෙහෝවාට සේවේ කරන එකෙන් වැඩක් තියෙනවාද කියලා. ඒකයි එයා දුකෙන් මෙහෙම කිව්වේ. “ඉතින් මං හිත පවිත්‍ර කරගත්තත් ඒකෙන් වැඩක් තියෙනවාද? මගේ අත් හෝදගෙන නිදොස්ව ජීවත් වුණා කියලා ප්‍රයෝජනයක් තියෙනවාද?”—ගීතා. 73:13.
7. හිතේ සතුට නැති වෙද්දී අපිට කරන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)
7 දුකක් දැනුණත් ගීතිකාකරු ඒ දුකෙන් යට වෙලා හිටියේ නැහැ. හිතන විදිහ වෙනස් කරගන්න එයා පියවර ගත්තා. එයා “දෙවියන්ගේ ශුද්ධස්ථානයට” ගියා. එහෙදී එයා හිතපු විදිහ යෙහෝවා හරිගැස්සුවා. (ගීතා. 73:17-19) අපිත් දුකෙන් ඉද්දී අපේ හොඳම යාළුවා යෙහෝවා ඒක දන්නවා. දුකෙන් ඉද්දී අපිට පුළුවන් යාච්ඤා කරලා අපි කරන්න ඕනෙ මොනවාද කියලා ඔහුගෙන් අහන්න. දුකක් දැනුණත් දිගටම සේවේ කරන්න ඕන කරන ශක්තිය ඔහුගේ වචනයෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන දිරිගැන්වීම්වලින් අපිට ලැබෙනවා. ප්‍රශ්න අපේ ඉහටත් උඩින් ගිහින් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වෙද්දීත් යෙහෝවා අපිව සනසලා අපිව සන්සුන් කරනවා.—ගීතා. 94:19.a
73වෙනි ගීතිකාව ලියපු ලෙවීවරයා “දෙවියන්ගේ ශුද්ධස්ථානය” ඉස්සරහා හිටගෙන ඉන්නවා (7 ඡේදය බලන්න)
ජීවිතේට අරමුණක්, බලාපොරොත්තුවක් ලැබෙනවා
8. යෙහෝවාට ළං වෙන එකෙන් අපිට ලැබෙන තවත් යහපත් දේවල් මොනවාද?
8 දෙවියන්ට ළං වෙන එක යහපත් කියලා කියන්න තව වැදගත් හේතු දෙකක් තියෙනවා. (1) අපේ ජීවිතේට අරමුණක් ලැබෙනවා. (2) ලස්සන අනාගතේකට බලාපොරොත්තුවක් ලැබෙනවා. (යෙරෙ. 29:11) දැන් අපි ඒ දේවල් දෙක ගැන තව කිට්ටුවෙන් බලමු.
9. යෙහෝවාට ළං වෙන එකෙන් අපේ ජීවිත අර්ථවත් වෙන්නේ කොහොමද?
9 යෙහෝවාට ළං වෙන එකෙන් අපේ ජීවිතේට අරමුණක් ලැබෙනවා. අද ඉන්න හුඟක් අය දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එයාලට තේරුම්ගන්න බැහැ ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. එයාලා හිතන්නේ ඉස්සරහට මිනිස්සුන්ගේ පැවැත්ම නැති වෙයි කියලා. හැබැයි අපි බයිබලේ අධ්‍යයනය කරන නිසා ‘දෙවියන් ඉන්නවා, ඔහුව ලොකු උනන්දුවකින් හොයන අයට ඔහු ආශීර්වාද කරනවා’ කියලා අපිට විශ්වාසයි. (හෙබ්‍රෙ. 11:6) අපිව නිර්මාණය කරලා තියෙන්නේ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට නමස්කාර කරන අවශ්‍යතාව ඇතුව. අපි ඒක කරන නිසා දැනුත් අපේ ජීවිත සතුටින් පිරිලා තියෙනවා.—ද්වි. 10:12, 13.
10. යෙහෝවා ගැන විශ්වාසේ තියන අයට ඔහු දෙන පොරොන්දුව මොකක්ද? (ගීතාවලිය 37:29)
10 අද ඉන්න හුඟක් අය වැඩට යනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා, ඊටපස්සේ සැඳෑ සමය ගත කරන්න සැලසුම් කරනවා. එයාලාගේ ජීවිතවල එතනින් එහාට බලාපොරොත්තුවක් නැහැ. දෙවියන් කවුද, ඔහුගේ පොරොන්දු මොනවාද කියලා එයාලා දන්නේ නැහැ. හැබැයි දෙවියන්ගේ සෙනඟ ඊට වඩා වෙනස්. එයාලා බලාපොරොත්තු තියන්නේ දෙවියන් ගැන. (ගීතා. 25:3-5; 1 තිමෝ. 6:17) අපි ළං වෙලා ඉන්න අපේ දෙවියන්, අපේ හොඳම යාළුවා ගැන අපිට ගොඩක් විශ්වාසයි. අපි දන්නවා ඔහු අපි වෙනුවෙන් දීලා තියෙන පොරොන්දු ඉටු කරනවා කියලා. ඒකට පාරාදීස පොළොවක සදහටම ඔහුට නමස්කාර කරන එකත් ඇතුළත්.—ගීතාවලිය 37:29 කියවන්න.
11. දෙවියන්ට ළං වෙන එක අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන දෙවියන්ට දැනෙන්නේ කොහොමද?
11 දෙවියන්ට ළං වෙන එක යහපත් කියන්න තව ගොඩක් හේතු තියෙනවා. උදාහරණෙකට යෙහෝවාට ළං වෙලා ඉන්න අය පසුතැවෙද්දී ඔහු එයාලට සමාව දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 1:18) ඒ නිසා අපි කලින් කරපු වැරදි ගැන වධ වෙවී, ඒ බරත් එක්ක ජීවත් වෙන්න ඕනෙ නැහැ. (ගීතා. 32:1-5) ඒ වගේම යෙහෝවාව සතුටු කරන්න පුළුවන් කියලා දැනන් ඉන්න එකෙනුත් අපිට ලොකු සතුටක් ලැබෙනවා. (හිතෝ. 23:15) යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වුණ නිසා ඔයා අද්දකින තව ආශීර්වාද සමහරවිට ඔයාට දැන් මතක් වෙනවා ඇති. ඒත් දෙවියන්ට තව තව ළං වෙන්න අපිට පුළුවන් කොහොමද?
තව තව ‘දෙවියන්ට ළං වෙන්න’ පුළුවන් කොහොමද?
12. දෙවියන්ට තව ළං වෙන්න ඔයා කරලා තියෙන්නේ මොනවාද?
12 ඔයා බව්තීස්ම වුණ කෙනෙක් නම් මේ වෙද්දීත් ඔයා යෙහෝවාට ළං වෙන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔයා දැනටමත් දෙවියන් ගැන, යේසුස් ගැන ගොඩක් සත්‍යයන් ඉගෙනගත්තා. කලින් කරපු වැරදි ගැන ඔයා පසුතැවුණා. දෙවියන් ගැන ලොකු විශ්වාසයක් පෙන්නුවා. දෙවියන්ට කීකරු වෙන්න පුළුවන් හැම දේම ඔයා කළා. හැබැයි ඔහුට තව ළං වෙන්න නම් අපි ඒ දේවල් දිගටම කරන්න ඕනේ.—කොලො. 2:6.
13. යෙහෝවාට තව ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?
13 යෙහෝවාට තව ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද? (1) අපි දිගටම බයිබලේ කියවලා ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම කරද්දී අපේ ඉලක්කේ වෙන්න ඕනෙ දෙවියන් ගැන මූලික තොරතුරු දැනගන්න එක විතරක් නෙවෙයි. දෙවියන් හිතන විදිහ ගැනයි, ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැනයි අපි තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ඒ විදිහට ජීවත් වෙන්නත් ඕනේ. (එෆී. 5:15-17) (2) දෙවියන් ආදරේ පෙන්නලා තියෙන්නේ මොන වගේ විදිවලින්ද කියලා හිතලා අපේ විශ්වාසේ වැඩි කරගන්න ඕනේ. (3) අපි යෙහෝවා අකමැති දේවල් දිගටම පිළිකුල් කරලා, ඒ වගේ දේවල් කරන අයගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ.—ගීතා. 1:1; 101:3.
14. යෙහෝවා සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපිට හැම දවසකම කරන්න පුළුවන් මොකක්ද? (1 කොරින්ති 10:31) (පින්තූරත් බලන්න.)
14 1 කොරින්ති 10:31 කියවන්න. යෙහෝවා සතුටු වෙන විදිහට දේවල් කරන එක හරිම වැදගත්. ඒකට සේවේ යන එක, රැස්වීම් යන එක විතරක් නෙවෙයි අපි එදිනෙදා ජීවිතේ කරන හැම දෙයක්ම ඇතුළත්. උදාහරණෙකට අපි හැම දේකදීම අවංක වෙද්දී, අපිට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගද්දී යෙහෝවා අපි ගැන සතුටු වෙනවා. (2 කොරි. 8:21; 9:7) යෙහෝවා දීපු ජීවිතේ කියන තෑග්ග ගැන අපි අපේ අගය පෙන්නනවාට ඔහු කැමතියි. ඉතින් අපි කන බොන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙද්දී, නිරෝගීව ඉන්න උදව් වෙන තව දේවල් කරද්දී ජීවිතේ දුන්න කෙනාට අපි තව ළං වෙනවා. පොඩියි කියලා පේන දේවලදී පවා අපි ඔහුව සතුටු කරද්දී අපි ගැන ඔහුගේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙනවා.—ලූක් 16:10.
පරෙස්සමින් වාහන එළවද්දී, ව්‍යායාම් කරලා පෝෂ්‍යදායි ආහාර අරන් අපි අපි ගැනම සැලකිලිමත් වෙද්දී, අපිට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගද්දී අපි යෙහෝවාව සතුටු කරනවා (14 ඡේදය බලන්න)
15. යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ අපි අනිත් අයට කොහොම සලකයි කියලද?
15 යෙහෝවාට සේවේ කරන, නොකරන හැම කෙනෙක්ටම ඔහු කාරුණිකව සලකනවා. (මතෙ. 5:45) ඔහු අපෙනුත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට ‘කිසිම කෙනෙක්ගේ නමට හානියක් වෙන විදිහට කතා කරන්න හරි රණ්ඩු දබරවලට පැටලෙන්න හරි එපා කියලත් අනිත් අය එක්ක වැඩ කරද්දී හැම වෙලේම කාරුණිකව දේවල් කරන්න කියලත්’ යෙහෝවා අපිට කියනවා. (තීත. 3:2) ඉතින් යෙහෝවාව විශ්වාස නොකරන අයව අපි පහත් කරන්නේ නැහැ. (2 තිමෝ. 2:23-25) අපි හැම කෙනෙක්ටම, හැම වෙලාවෙම ආදරෙන්, කරුණාවෙන් සලකද්දී අපි යෙහෝවාට තව ළං වෙනවා.
පය ලිස්සුවත් ‘දෙවියන්ට ළං වෙන්න’ පුළුවන්
16. යෙහෝවාට කාලයක් සේවේ කරපු, 73වෙනි ගීතිකාව ලියපු කෙනාට දැනුණේ කොහොමද?
16 කාලයක් යෙහෝවාට සේවේ කළාට පස්සේ යෙහෝවාගේ ආදරේ ලබන්න ඔයා වටින්නේ නැහැ කියලා දැනුණොත්? 73වෙනි ගීතිකාව ලියපු කෙනාටත් එහෙම හැඟුණා. එයා කිව්වා “මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ. මගේ පය ලිස්සන්නයි ගියේ” කියලා. (ගීතා. 73:2) එයා පිළිගත්තා එයා ‘අධෛර්යය වුණා,’ එයාගේ ‘කල්පනා ශක්තිය බොඳ වුණා,’ එයා යෙහෝවා ඉස්සරහා ‘සිහි කල්පනාව නැති සතෙක් වගේ හැසිරුණා’ කියලා. (ගීතා. 73:21, 22) එයාට තිබුණ වැරදි අදහස් නිසා එයාගෙන් කිසිම වැඩක් නැහැ, එයා යෙහෝවාගේ ආදරේ ලබන්න වටින්නේ නැහැ කියලා එයා හිතුවාද?
17. (අ) අන්තිම අඩියට වැටිලා හිටියත් ගීතිකාකරු කළේ මොකක්ද? (ආ) ඒ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරත් බලන්න.)
17 යෙහෝවා එයාව අත්හැරලා කියලා ගීතිකාකරුට දැනුණා නම් එහෙම දැනුණේ හරිම ටික කාලෙකට. අන්තිම අඩියට වැටිලා ඉද්දීත් එයා තේරුම්ගත්තා එයා තව යෙහෝවාට ළං වෙන්න ඕනෙ කියලා. ඒකයි එයා මෙහෙම ලිව්වේ. “දැන් මම නිතරම ඉන්නේ ඔබ එක්කයි. ඔබ මගේ දකුණතින් අල්ලගෙන ඉන්නවා. ඔබ උපදෙස් දීලා මට මඟ පෙන්වනවා. ඊටපස්සේ ඔබ මාව ගෞරවයට පත් කරනවා.” (ගීතා. 73:23, 24) කරපු වරදක් නිසා අපි දුර්වල වෙලා ඉද්දී අපි කරන්න ඕනෙ අපේ පර්වතය වන යෙහෝවා දිහාවට හැරෙන එකයි. (ගීතා. 73:26; 94:18) අපි යෙහෝවාගේ පාරෙන් පිට පැන්නත් අපිට පුළුවන් ආයේ ඔහු ළඟට එන්න. මොකද ඔහු “සමාව දෙන්න කැමති” දෙවි කෙනෙක්. (ගීතා. 86:5) අපි අන්තිම අඩියට වැටිලා ඉන්න වෙලාවකදී වුණත් අපි කරන්න ඕනෙ යෙහෝවාට තව තව ළං වෙන එකයි.—ගීතා. 103:13, 14.
විශ්වාසේ දුර්වල වෙලා කියලා දැනෙද්දී නමස්කාරේ දේවල් තව වැඩියෙන් කරලා යෙහෝවාට තව ළං වෙන්න ඕනේ (17 ඡේදය බලන්න)
සදහටම ‘යෙහෝවාට ළං වෙන්න’
18. යෙහෝවාට ළං වෙන එක කවදාවත් නතර වෙන දෙයක් නෙවෙයි කියන්නේ ඇයි?
18 යෙහෝවාට ළං වෙන එක කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒක අපිට සදහටම කරන්න පුළුවන් දෙයක්. අපිට කවදාවත් යෙහෝවා ගැන ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. බයිබලේ කියනවා යෙහෝවා වැඩ කරන විදිහ, ඔහුගේ ප්‍රඥාව, ඔහුගේ දැනුම “වටහාගන්න එක කොච්චර අමාරුද” කියලා.—රෝම 11:33.
19. ගීතාවලියේ අපිට දෙන සහතිකය මොකක්ද?
19 ගීතාවලිය 79:13 මෙහෙම කියනවා. “ඔබේ සෙනඟත් ඔබේ තණබිමේ බැටළු රැළත් වන අපි, සදාකාලයටම ඔබට ස්තුති කරනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඔබට ප්‍රශංසා කරනවා.” ඔයාත් දිගටම යෙහෝවාට ළං වෙද්දී ඔහු ඔයාට සදාකාලෙටම ආශීර්වාද කරයි කියලා සැකයක් නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් දෙවියන්ට මෙහෙම කියන්න. “මගේ සිත ශක්තිමත් කරන පර්වතය ඔබයි. මට සදහටම හිමි උරුමයත් ඔබයි.”—ගීතා. 73:26.
ගීතිකාව 32 යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
a කාලයක් තිස්සේ දුකෙන්, පීඩනයෙන්, කනස්සල්ලෙන් ඉන්න සමහරුන්ට වෛද්‍යවරයෙක්ගේ උදව් ඕන වෙයි. තව විස්තර දැනගන්න 2023 අංක 1 ‘මුරටැඹ’ සඟරාව බලන්න.