පාඩම් ලිපිය 18
ගීතිකාව 65 දියුණු වන්න
යෞවන සහෝදරයෙනි මාක්වයි, තිමෝතිවයි ආදර්ශයට ගන්න
“ඔයා එද්දී මාක්වත් එක්කන් එන්න. මොකද මගේ සේවය හොඳින් කරන්න එයා මට උදව් කරයි.”—2 තිමෝ. 4:11.
ලිපියේ අරමුණ
අනිත් අයට තව වැඩියෙන් සේවේ කරන්න ඕන කරන ගුණාංග දියුණු කරගන්න මාක්ගෙයි, තිමෝතිගෙයි ආදර්ශ යෞවන සහෝදරයන්ට උදව් වෙන්නේ කොහොමද?
1-2. අනිත් අය වෙනුවෙන් සේවේ කරන්න මාක්ටයි, තිමෝතිටයි බාධාවක් වෙන්න තිබුණේ මොන වගේ දේවල්ද?
යෞවන සහෝදරයෙනි, යෙහෝවාට කරන සේවේ තව වැඩි කරන්නත් සභාවේ අයට තව වැඩියෙන් උදව් කරන්නත් ඔයාලා ආසයිද? හුඟක් යෞවන සහෝදරයන් කැමැත්තෙන්ම අනිත් අයට සේවේ කරනවා දකින එක අපිට ලොකු සතුටක්. (ගීතා. 110:3) හැබැයි එහෙම කරන්න ඔයාට අභියෝගත් ඇති. ඉස්සරහට මොනවා වෙයිද කියලා තියෙන බය නිසා සේවේ වැඩි කරන්න ඔයා අදිමදි කරනවාද? ඔයාට ලැබුණ පැවරුමක් හරියට කරගන්න බැරි වෙයි කියලා හිතලා ඔයා ඒක භාර නොගෙන ඉඳලා තියෙනවාද? ඒක එහෙමනම් ඒ විදිහට හැඟුණ එකම කෙනා ඔයා නෙවෙයි කියලා මතක තියාගන්න.
2 මාක්ටයි, තිමෝතිටයිත් ඒ අභියෝගම තිබ්බා. ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා එයාලටත් බයක් දැනෙන්න ඇති. එයාලට වැඩි අද්දැකීම් තිබුණෙත් නැහැ. හැබැයි ඒ දේවල් අනිත් අයට සේවේ නොකර ඉන්න එයාලා හේතුවක් කරගත්තේ නැහැ. පාවුලුයි, බානබසුයි මිෂනාරි ගමන්වලට මාක්ට එන්න කියද්දී මාක් එයාගේ අම්මාත් එක්ක සැපපහසු ගෙදරක ජීවත් වෙන්න ඇති. (ක්‍රියා 12:12, 13, 25) හැබැයි එයාට හුරු ඒ පැත්ත අත්හැරලා එයා සේවේ වැඩි කළා. මුලින්ම එයා අන්තියෝකියටත් පස්සේ පාවුලුයි, බානබසුයි එක්ක ගොඩක් දුර පැතිවලටත් ගියා. (ක්‍රියා 13:1-5) පාවුල් තිමෝතිට අඬගහද්දී එයාත් ජීවත් වුණේ එයාගේ දෙමාපියන් එක්ක. තරුණ නිසාත් අද්දැකීම් අඩු නිසාත් තිමෝතිට හිතෙන්න ඇති පාවුල් එක්ක යන්න තරම් එයාට සුදුසුකම් නැහැ කියලා. (1 කොරි. 16:10, 11; 1 තිමෝ. 4:12) ඒත් එයා ඒ ආරාධනාව භාර අරන් පාවුල් එක්ක ගියා. ඒ නිසා එයාට ගොඩක් ආශීර්වාද ලැබුණා.—ක්‍රියා 16:3-5.
3. (අ) මාකුයි, තිමෝතියි පාවුල්ට ගොඩක් වටින අය වුණා කියලා අපි දන්නේ කොහොමද? (2 තිමෝති 4:6, 9, 11) (පින්තූරත් බලන්න.) (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
3 තරුණ කාලෙම සභාවේ වගකීම් කරට අරන් කරන්න මාකුයි, තිමෝතියි ඉගෙනගත්තා. පාවුල්ට මේ තරුණයෝ දෙන්නා ගැන ලොකු අගයක් තිබුණා. කොච්චරද කියනවා නම් එයා තව ටික කාලයයි ජීවත් වෙන්නේ කියලා දැනගත්තාම එයාට ඕන වුණා ඒ දෙන්නා එයා ළඟ ඉන්නවා දකින්න. (2 තිමෝති 4:6, 9, 11 කියවන්න.) එච්චර ආදරයක්, විශ්වාසයක් ඇති වෙන්න තරම් මාක්ටයි, තිමෝතිටයි තිබුණේ මොන වගේ ගුණාංගද? අද ඉන්න යෞවනයන්ට ඒ දෙන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? පාවුල් ආදරෙන් දීපු උපදෙස්වලින් යෞවන සහෝදරයන්ට තියෙන ප්‍රයෝජන මොනවාද?
මාකුයි, තිමෝතියි පාවුල්ට ගොඩක් කිට්ටු වුණා. ඒ, එයාලා යෞවන වයසේ ඉඳන්ම සභාවේ වගකීම් කරට අරන් කරපු නිසයි (3 ඡේදය බලන්න)b
මාක් වගේ කැමැත්තෙන්ම සේවේ කරන්න
4-5. අනිත් අයට සේවේ කරන්න කැමතියි කියලා මාක් පෙන්නුවේ කොහොමද?
4 එක පොතක කියන විදිහට අනිත් අය වෙනුවෙන් සේවේ කරනවා කියන්නේ “අනිත් අයට උදව් කරන්න මහන්සි වෙනවා, කොච්චර අමාරු වුණත් අත්හරින්නේ නැතුව ඒක දිගටම කරනවා” කියන එකයි. මාක් ඒක කළා. දෙවෙනි මිෂනාරි ගමනට පාවුල් මාක්ව එක්කන් යන්න බැහැ කිව්වාම මාක්ගේ හිත රිදෙන්න ඇති. එයා කලකිරෙන්නත් ඇති. (ක්‍රියා 15:37, 38) හැබැයි එයා සහෝදරයන්ට සේවේ කරන එක අත්හැරියේ නැහැ.
5 මාක් ඥාති සහෝදරයෙක් වුණ බානබස් එක්ක වෙන පැත්තක සේවේ කරන්න ගියා. ඔය සිද්ධියෙන් අවුරුදු 11කට විතර පස්සේ පාවුල් රෝමයේ හිරේ ඉද්දී එයාට උදව් කරපු අය අතරේ මාකුත් හිටියා. (ෆිලෙ. 23, 24) ඒ උදව් පාවුල් ගොඩක් අගය කළා. ඒකයි මාක් “මට ලොකු සහනයක්” වුණා කියලා එයා කිව්වේ.—කොලො. 4:10, 11.
6. යෙහෝවාට කාලයක් සේවේ කරලා තිබුණ අයව ආශ්‍රය කරපු එක මාක්ට උදව් වුණේ කොහොමද? (පාදසටහන බලන්න.)
6 කාලයක් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු අයව ආශ්‍රය කරලා මාක් ගොඩක් ප්‍රයෝජන ලැබුවා. පාවුල් එක්ක ටික කාලයක් රෝමයේ හිටියාට පස්සේ එයා පේතෘස් එක්ක බැබිලෝනියේ සේවේ කරන්න ගියා. ඒ කාලේදී එයාලා කිට්ටු යාළුවෝ වුණා. කොච්චරද කියනවා නම් පේතෘස් මාක්ට කිව්වේ “මගේ පුතා” කියලා. (1 පේතෘ. 5:13) යේසුස් කරපු කියපු දේවල් ගැන, ඔහුගේ සේවේ ගැන රසවත් කතා පේතෘස් එයාගේ මේ යාළුවාට කියන්න ඇති. ඒවා තමයි මාක් පස්සේ කාලෙක එයා ලියපු සුවිශේෂයට ඇතුළත් කළේ.a
7. යෞවනයෙක් වුණ සෙංවූ මාක්ව ආදර්ශයට ගත්තේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
7 මාක් සේවේ අඩු කළේ නැහැ වගේම අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන්ටත් කිට්ටුවෙන් හිටියා. එයාව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයාත් වැඩිමහල්ලෙක්, සහායක සේවකයෙක් විදිහට සේවේ කරන්න ආසාවෙන් හිටියත් තාම ඒ අවස්ථාව හම්බ වෙලා නැතුව ඇති. එහෙමනම් අධෛර්යය වෙන්න එපා. යෙහෝවා වෙනුවෙන්, සභාව වෙනුවෙන් සේවේ කරන්න පුළුවන් තවත් විදි හිතන්න. වැඩිමහල්ලෙක් වන සෙංවූගේ අද්දැකීම බලන්න. යෞවන කාලේදී එයා අනිත් යෞවනයන් එක්ක එයාව සන්සන්දනය කළා. සමහර අයට එයාට කලින් වගකීම් ලැබෙද්දී එයාට දුකක්, කලකිරීමක් දැනුණා. එයා ඒ ගැන වැඩිමහල්ලන් එක්ක කතා කළා. එක වැඩිමහල්ලෙක් එයාට කිව්වා එයාට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හොයලා ඒවා කරන්න කියලා. එයා කරන හොඳ දේවල් අනිත් අය දැක්කේ නැතත් ඒවා දිගටම කරන්න කියලත් කිව්වා. ඒ දේ හිතට අරන් එයා සභාවේ වයසක අයටයි, රැස්වීම් එන්න විදිහක් තිබුණේ නැති අයටයි උදව් කළා. සෙංවූ මෙහෙම කියනවා. “අනිත් අයට සේවේ කරනවා කියන්නේ මොකක්ද කියලා මං හරියටම තේරුම්ගත්තේ එතකොටයි. උදව් ඕන පැති හොයලා බලලා උදව් කරද්දී ලැබෙන සතුට මං අද්දැක්කා.”
අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන් එක්ක නිතරම කාලේ ගත කරන එක යෞවන සහෝදරයන්ට හොඳ ඇයි? (7 ඡේදය බලන්න)
තිමෝති වගේ ආදරේ පෙන්නන්න
8. පාවුල් එක්ක සේවේ කරන්න යන්න එයා තිමෝතිව තෝරගත්තේ ඇයි? (ෆිලිප්පි 2:19-22)
8 සමහර නගරවල සේවේ කරද්දී පාවුල්ට විරුද්ධවාදිකම් ආවා. ඒ නගරවලට ආයෙත් යද්දී එයාත් එක්ක යන්න නිර්භීත සහෝදරයන්ව ඕන වුණා. එයා මුලින්ම එක්කන් ගියේ කාලයක් යෙහෝවාට සේවේ කරපු සීලස්ව. (ක්‍රියා 15:22, 40) පස්සේ තිමෝතිව තෝරගත්තා. ඇයි තිමෝතිව? මොකද එයාට අනිත් අය අතරේ හොඳ නමක් තිබුණා. (ක්‍රියා 16:1, 2) ඒ වගේම එයා අනිත් අයට අවංකව ආදරේ කරපු කෙනෙක්.—ෆිලිප්පි 2:19-22 කියවන්න.
9. තිමෝති සහෝදරයන් ගැන ඇත්තටම සැලකිලිමත් වුණා කියලා පෙන්නුවේ කොහොමද?
9 පාවුල් එක්ක සේවේ කරපු මුල් කාලේ ඉඳන්ම තිමෝති පෙන්නුවා එයා එයා ගැන හිතනවාට වඩා අනිත් අය ගැන හිතනවා කියලා. ඒ නිසයි පාවුල් ලොකු විශ්වාසෙකින් බෙරීයේ හිටපු අලුත් සහෝදර සහෝදරියන්ව දිරිගන්නන්න තිමෝතිව එහේ නතර කරලා ආවේ. (ක්‍රියා 17:13, 14) ඒ කාලේදී බෙරීයේ නතර වෙලා හිටපු සීලස්ගෙන් තිමෝති ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. පස්සේ කාලෙක තෙසලෝනිකයේ සහෝදරයන්ව ශක්තිමත් කරන්නත් පාවුල් තිමෝතිව තනියෙන් එහෙට යැව්වා. (1 තෙස. 3:2) ඊළඟ අවුරුදු 15 පුරාම සහෝදරයන් ගැන තිමෝතිගේ හිතේ තිබුණ ආදරේ තව වැඩි වුණා. එයා “දුකෙන් ඉන්න අයත් එක්ක අඬන්න” ඉගෙනගත්තා. (රෝම 12:15; 2 තිමෝ. 1:4) යෞවනයන්ට තිමෝතිව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
10. අනිත් අය ගැන තව වැඩියෙන් සැලකිලිමත් වෙන්න වූජේ ඉගෙනගත්තේ කොහොමද?
10 අනිත් අය ගැන තව වැඩියෙන් සැලකිලිමත් වෙන්න වූජේ ඉගෙනගත්තා. තරුණ කාලේදී වයසක අයත් එක්ක කතාබහ කරන එක එයාට ටිකක් අමාරු වුණා. ඉතින් රැස්වීම්වලදී වයසක කෙනෙක් හම්බ වුණාම එයා “හලෝ” කියලා ටක් ගාලා එතනින් යනවා. දවසක් වැඩිමහල්ලෙක් එයාට කිව්වා කතාබහක් පටන්ගන්න පුළුවන් හොඳම විදිහ තමයි කෙනෙක්ගේ අගය කරන්න පුළුවන් පැති බලලා ඒවා ගැන කියන එක කියලා. එයාලා කතා කරන්න කැමති මොන වගේ දේවල් ගැනද කියලා හිතන්න කියලත් කිව්වා. වූජේ ඒ වැඩිමහල්ලා කියපු විදිහට කළා. දැන් වූජේත් වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “දැන් මට එක එක වයස්වල ඉන්න අයත් එක්ක කතාබහ කරන්න කලින්ට වඩා ලේසියි. ඉස්සරට වඩා දැන් එයාලා ඉන්න තත්වේ මට තේරෙනවා. ඒක මට උදව් වෙලා තියෙනවා එයාලට ඕන කරන්නේ මොනවාද කියලා බලලා ඒවා කරලා දෙන්න.”
11. සභාවේ ඉන්න අය ගැන තව වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඉගෙනගන්න යෞවන සහෝදරයන්ට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
11 යෞවන සහෝදරයෙනි, ඔයාලටත් පුළුවන් අනිත් අයට සැලකිල්ල පෙන්නන්න ඉගෙනගන්න. රැස්වීම් ගියාම එක එක වයස්වල, පසුබිම්වල අයත් එක්ක ටිකක් කතා කරන්න. “ඔයාලට කොහොමද” කියලා එයාලාගෙන් අහන්න. ඊටපස්සේ එයාලා කියන දේවල් අහන් ඉන්න. කල් යද්දී ඔයාට තේරෙයි එයාලට උදව් ඕනෙ පැති මොනවාද කියලා. සමහරවිට ඔයා දකියි වයසක යුවළකට ‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන්න උදව් ඕනෙ කියලා. නැත්නම් ඔයා දකියි සේවේ යන්න එයාලා කාත් එක්කවත් කතා කරගෙන නැහැ කියලා. ඔයාට පුළුවන්ද ඒ වගේ අයට ෆෝන් එක, ටැබ් එක පාවිච්චි කරන විදිහ ගැන පොඩ්ඩක් කියලා දෙන්න? නැත්නම් එයාලත් එක්ක සේවේ යන්න දාගන්න? අනිත් අයට උදව් කරන්න මුල් පියවර ගද්දී ඔයා සභාවේ අයට හොඳ ආදර්ශයක් වෙයි.
යෞවන සහෝදරයන්ට ගොඩක් විදිවලින් සභාවට උදව් කරන්න පුළුවන් (11 ඡේදය බලන්න)
ඔයාටත් ප්‍රයෝජනවත්!
12. පාවුල් තිමෝතිට දීපු උපදෙස්වලින් යෞවන සහෝදරයන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
12 සතුටින් ජීවිතේ ගත කරන්නත් සේවේ සාර්ථක කරගන්නත් ඕන උපදෙස් පාවුල් තිමෝතිට දුන්නා. (1 තිමෝ. 1:18; 2 තිමෝ. 4:5) යෞවන සහෝදරයෙනි, තාත්තා කෙනෙක් වගේ පාවුල් දීපු ඒ උපදෙස්වලින් ඔයාටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. පාවුල් තිමෝතිට ලියපු ලියුම් දෙක කියවද්දී ඒවා ඔයාට ලියපු ඒවා කියලා හිතන්න. ඒ උපදෙස් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනත් හිතන්න. දැන් අපි උදාහරණ කීපයක් බලමු.
13. යෙහෝවාට තවත් ළැදි වෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?
13 “දෙවියන් ගැන ලොකු භක්තියක් ඇති කරගන්න අරමුණින් ඔයාවම පුහුණු කරගන්න.” (1 තිමෝ. 4:7ආ) දෙවියන් ගැන භක්තියක් තියෙන කෙනෙක් දෙවියන්ට ළැදියි. ඔහු කැමති දේ කරන්න එයාගේ හිතේ ලොකු ආසාවකුත් තියෙනවා. දෙවියන් ගැන භක්තියක් ඉබේ එන්නේ නැහැ. ඒක අපි මහන්සි වෙලා වර්ධනය කරගන්න ඕන දෙයක්. “පුහුණු කරගන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ තරඟෙකට සූදානම් වෙන තරඟකරුවෙක්ව විස්තර කරන්න. ඒ වගේ තරඟකරුවෙක් දිනන්න බාධාවක් වෙන දේවල් නොකර ඉන්න එයාවම පාලනය කරගන්නවා. අපිත් දෙවියන්ට තව ළං වෙන්න උදව් වෙන පුරුදු ඇති කරගන්න අපිවම පාලනය කරගන්න ඕනේ.
14. බයිබලේ කියවද්දී අපේ ඉලක්කේ වෙන්න ඕනෙ මොකක්ද? උදාහරණයක් දෙන්න.
14 හැමදාම බයිබලේ කියවන පුරුද්ද ඇති කරගද්දී කියවන එකේ අරමුණ මතක තියාගන්න එකත් වැදගත්. ඒ, යෙහෝවාට තව ළං වෙන එක. උදාහරණෙකට තරුණ ධනවත් පාලකයා ගැන සිද්ධිය ඔයා කියවනවා කියලා හිතන්න. (මාක් 10:17-22) යේසුස් තමයි ගැලවුම්කරු කියලා එයා විශ්වාස කළා. හැබැයි ඔහුගේ ගෝලයෙක් වෙන්න තරම් විශ්වාසයක් එයාට තිබ්බේ නැහැ. ඒත් යේසුස්ට “එයා ගැන ආදරයක් ඇති වුණා.” යේසුස් ඒ තරුණයාට කතා කරපු විදිහ ඔයාගේ හදවතට දැනුණේ නැද්ද? යේසුස්ට ඕන වුණේ එයා හොඳ තීරණයක් ගන්නවා දකින්න. යේසුස් එයාට ආදරේ කරපු විදිහටමයි යෙහෝවාත් එයාට ආදරේ කළේ. (යොහ. 14:9) ඒ වාර්තාවයි, ඔයා ඉන්න තත්වෙයි ගැන හිතලා ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘යෙහෝවාට තව ළං වෙන්නත් අනිත් අයට තව වැඩියෙන් සේවේ කරන්නත් මට මොනවාද කරන්න පුළුවන්?’
15. යෞවන සහෝදරයෙක් අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනෙ ඇයි? (1 තිමෝති 4:12, 13)
15 “දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වෙන්න.” (1 තිමෝති 4:12, 13 කියවන්න.) උගන්නන එක, කියවන එක වගේ හැකියාවන් විතරක් නෙවෙයි ආදරේ, විශ්වාසේ, නිර්මලකම වගේ ගුණාංග වර්ධනය කරගන්න කියලත් පාවුල් තිමෝතිට කිව්වා. මොකද වචන දාහකින් කියන්න බැරි දේ ආදර්ශයෙන් පෙන්නන්න පුළුවන්. හිතන්න, සේවේ උද්‍යෝගය වැඩි කරගන්න විදිහ ගැන ඔයාට දේශනයක් දෙන්න වෙනවා කියලා. ඔයා සේවේ මහන්සි වෙලා, උපරිමෙන් හවුල් වෙන කෙනෙක් නම් ඒක දෙද්දී ඔයාට අපහසුතාවක් දැනෙන එකක් නැහැ. ඔයාගේ ආදර්ශය නිසා ඔයා කියන වචනවලත් ලොකු බරක් තියෙයි.—1 තිමෝ. 3:13.
16. (අ) යෞවන සහෝදරයන්ට අනිත් අයට ආදර්ශයක් වෙන්න පුළුවන් පැති පහ මොනවාද? (ආ) “කතා කරන විදිහෙන්” යෞවන සහෝදරයෙක්ට හොඳ ආදර්ශයක් තියන්න පුළුවන් කොහොමද?
16 1 තිමෝති 4:12 යෞවන සහෝදරයෙක්ට හොඳ ආදර්ශයක් වෙන්න පුළුවන් පැති පහක් ගැන පාවුල් කිව්වා. පෞද්ගලික අධ්‍යයනයේදී ඒ පැති ගැන අධ්‍යයනය කරන්න. “කතා කරන විදිහෙන්” අනිත් අයට ආදර්ශයක් වෙන්න ඔයාට ඕනෙ කියලා හිතන්න. අනිත් අයව දිරිගන්නන්න ඔයාට කියන්න පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. දෙමාපියන් ඔයා වෙනුවෙන් කරන දේවල් මීට වඩා අගය කරන්න ඔයාට මොනවාද කියන්න පුළුවන්? රැස්වීමේදී කෙනෙක් කරපු කොටසක ඔයාගේ හිතට වැදුණ දෙයක් එයාට කියන්න පුළුවන්ද? රැස්වීම්වලදී ඔයාගෙම වචනවලින් අදහස් දෙන්න උත්සාහ කරන්න පුළුවන්ද? කතා කරන විදිහෙන් හොඳ ආදර්ශයක් තියන්න ඔයා මහන්සි වෙද්දී ඔයා කලින්ට වඩා දියුණුයි කියලා අනිත් අය දකියි.—1 තිමෝ. 4:15.
17. යෙහෝවාට වැඩි සේවයක් කරන්න තියලා තියන ඉලක්කෙට යන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද? (2 තිමෝති 2:22)
17 ‘තරුණ කාලේ ඇති වෙන ආශාවන් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. ඒ වෙනුවට ධර්මිෂ්ඨකම ඔයාගේ ජීවිතේට එකතු කරගන්න හුඟක් මහන්සි වෙන්න.’ (2 තිමෝති 2:22 කියවන්න.) වැඩි සේවයක් කරන්න තියලා තියෙන ඉලක්කවලට බාධා වෙන, යෙහෝවාත් එක්ක තියෙන බැඳීමට හානි වෙන දේවලින් පරෙස්සම් වෙන්න කියලා පාවුල් තිමෝතිට කිව්වා. ඔයා කරන සමහර දේවල් වැරදි නැතත් ඒවා නිසා දෙවියන් වෙනුවෙන් ඔයාට දෙන්න ඉතුරු වෙන්නේ පොඩි වෙලාවයි කියලා ඔයාට හිතෙයි. උදාහරණෙකට සෙල්ලම් කරන්න, ඉන්ටර්නෙට් යන්න, වීඩියෝ ගේම් ගහන්න ඔයා කොච්චර කාලයක් දෙනවාද? ඒකෙන් ටිකක් යෙහෝවා වෙනුවෙනුයි, අනිත් අය වෙනුවෙනුයි දෙන්න ඔයාට පුළුවන්ද? සමහරවිට සභාවේ නඩත්තු වැඩවලට උදව් කරන්න නැත්නම් කාට් එකේ ඉන්න ඔයාට පුළුවන් වෙයි. ඔයා ඒ වගේ දේවල්වල වැඩිපුර හවුල් වෙද්දී ඔයාට පුළුවන් අලුත් යාළුවන්ව හොයාගන්න. එයාලා ඔයාට උදව් කරයි හොඳ ඉලක්ක තියලා ඒවා ජය ගන්න.
අනිත් අයට කරන සේවෙන් ආශීර්වාද!
18. මාකුයි, තිමෝතියි සතුට පිරුණ ජීවිත ගත කළා කියලා අපි කියන්නේ ඇයි?
18 අනිත් අයට තව වැඩියෙන් සේවේ කරන්න ඕන නිසා මාකුයි, තිමෝතියි ගොඩක් කැප කිරීම් කළා. ඒ කැප කිරීම් එයාලාගේ ජීවිත සතුටින් පිරෙව්වා. (ක්‍රියා 20:35) සහෝදර සහෝදරියන්ට සේවේ කරන්න ඕන නිසා මාක් එක එක පැතිවලට ගියා. එයා යේසුස්ගේ ජීවිතේ ගැන, ඔහු කරපු සේවේ ගැන රසබර වාර්තාවකුත් ලිව්වා. ඒ වගේම තිමෝති සභා පිහිටුවන්න, සහෝදරයන්ව දිරිගන්නන්න පාවුල්ට උදව් කළා. ඇත්තටම මාකුයි, තිමෝතියි එයාලාගේ ජීවිතවල කරපු කැප කිරීම් ගැන යෙහෝවා ගොඩක් සතුටු වුණා.
19. පාවුල් තිමෝතිට දීපු උපදෙස් යෞවන සහෝදරයන් අදාළ කරගන්න ඕනෙ ඇයි? ඒකෙන් එයාලට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද?
19 පාවුල් තිමෝතිට කොච්චර ආදරෙයිද කියලා එයා තිමෝතිට ලියපු ලියුම්වලින් පේනවා. ඒත් ඒ ලියුම් ලියන්න පාවුල්ට මඟ පෙන්නුවේ යෙහෝවා. ඉතින් ඒ ලියුම් කියවද්දී යෙහෝවා යෞවන ඔයාට කොච්චර ආදරෙයිද කියලා තේරෙනවා. ඔහුට ඕනෙ ඔයාට හොඳම ජීවිතේ දෙන්න. තාත්තා කෙනෙක් වගේ පාවුල් දීපු උපදෙස් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. අනිත් අය වෙනුවෙන් තව වැඩියෙන් සේවේ කරන්න ඔයාට තියෙන ආසාව වැඩි කරගන්න. ඔයා එහෙම කරනවා නම් ආශීර්වාදවලින් පිරුණ ජීවිතයක් දැන් භුක්ති විඳින්න පුළුවන් වගේම “සැබෑ ජීවිතය තදින් අල්ලගන්නත්” ඔයාට පුළුවන්.—1 තිමෝ. 6:18, 19.
ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
a පේතෘස් කියන්නේ එයාට හැඟුණ, දැනුණ දේවල් ඉක්මනින්ම එළියට දාපු කෙනෙක්. ඒ නිසයි යේසුස් කියපු කරපු දේවල් විතරක් නෙවෙයි යේසුස්ට හැඟුණ, දැනුණ විදිහත් මාක්ට විස්තර කරන්න පේතෘස්ට පුළුවන් වුණේ. ඒ නිසා වෙන්න ඇති මාක් එයාගේ සුවිශේෂයේ යේසුස් කරපු දේවල් සහ ඔහුට හැඟුණ විදිහ ගැන වැඩිපුර විස්තර කරන්න ඇත්තේ.—මාක් 3:5; 7:34; 8:12.
b පින්තූරවල අදහස: පාවුල් සහ බානබස් ගිය මිෂනාරි ගමන්වලදී මාක් එයාලට උදව් කළා. තිමෝති කැමැත්තෙන්ම සභාවකට ගිහින් එහේ සහෝදරයන්ව ශක්තිමත් කරලා දිරිගන්නනවා.