පාඩම් ලිපිය 22
ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!
යෙහෝවාගේ නම යේසුස්ට කොච්චර වටිනවාද?
“ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා. මං ඒ ගැන දිගටම කියලා දෙනවා.”—යොහ. 17:26.
ලිපියේ අරමුණ
යේසුස් යෙහෝවාගේ නම ගැන අනිත් අයට කියලා දුන්නේ කොහොමද? යෙහෝවාගේ නම ශුද්ධයි කියලා ඔහු පෙන්නුවෙත් ඒ නමට වුණ කැළල ඔහු අයින් කළේ කොහොමද?
1-2. (අ) යේසුස්ගේ මරණයට කලින් රාත්‍රියේ ඔහු මොනවාද කළේ? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
අපි දැන් ඉන්නේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනි බ්‍රහස්පතින්දා හවස. මේ වෙද්දී යේසුස් ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් එක්ක ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වලා ඉවරයි. යේසුස් දැනන් හිටියා තව ටිකකින් යූදස් එයාව පාවලා දෙනවා, ඊටපස්සේ ඔහුට ගොඩක් දුක් විඳලා මැරෙන්න වෙනවා කියලා. ඉතින් සන්ධ්‍යා භෝජනයෙන් පස්සේ යේසුස් ගෝලයන්ව ශක්තිමත් කරන්න එයාලට ගොඩක් දේවල් කියනවා. එයාලා එතනින් පිටත් වෙලා යන්න කලින් යේසුස් හරිම දිරිගැන්වෙන යාච්ඤාවකුත් කරනවා. අන්න ඒ යාච්ඤාව තමයි යොහන් 17වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ.
2 මේ ලිපියෙන් අපි බලනවා යේසුස්ගේ ඒ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් දෙකක් ගැන. (1) මරණයට ළං වෙලා තියෙද්දී යේසුස් වැඩියෙන්ම හිතුවේ මොකක් ගැනද? (2) මේ පොළොවේ හිටපු කාලේ ඔහුට වැදගත්ම වුණේ මොකක්ද?
“ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා”
3. යෙහෝවාගේ නම ගැන යේසුස් කිව්වේ මොකක්ද? ඒකෙන් ඔහු අදහස් කළේ මොකක්ද? (යොහන් 17:6, 26)
3 යේසුස් ඔහුගේ යාච්ඤාවේදී කිව්වා “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා” කියලා. ඔහු ඒක දෙපාරක්ම කිව්වා. ඒකෙන්ම තේරෙනවා දෙවියන්ගේ නම ඔහුට කොච්චර වැදගත් දෙයක් වුණාද කියලා. (යොහන් 17:6, 26 කියවන්න.) හැබැයි ඒකෙන් ඔහු අදහස් කළේ දෙවියන්ගේ නම යෙහෝවා කියලා ගෝලයන්ට කියලා දුන්නා කියන එකද? නැහැ. මොකද ඔහුගේ ගෝලයෝ යුදෙව්වන්. එයාලට ආයේ අමුතුවෙන් දෙවියන්ගේ නම යෙහෝවා කියලා කියන්න ඕන වුණේ නැහැ. ඒ නම හෙබ්‍රෙව් ලියවිලිවල 7,000 වතාවක් විතර තිබුණා. ඉතින් යේසුස් ඒකෙන් අදහස් කළේ ඒ නම අයිති දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා තව හොඳින් තේරුම්ගන්න ඔහු එයාලට උදව් කළා කියන එකයි. ඒ කියන්නේ යෙහෝවාගේ අරමුණ, ඔහු කරලා තියෙන දේවල්, ඔහුගේ ගුණාංග වෙන කාටත් වඩා හොඳට ඔහු පැහැදිලි කළා කියන එකයි.
4-5. (අ) කෙනෙක්ගේ නමකට තව වටිනාකමක් එකතු වෙන්නේ කොහොමද? උදාහරණයක් කියන්න. (ආ) යේසුස්ගේ ගෝලයන්ට දෙවියන්ගේ නම ගැන තිබුණ අගය තව වැඩි වුණේ කොහොමද?
4 හිතන්න, ඔයාගේ සභාවේ ඩේවිඩ් කියලා වැඩිමහල්ලෙක් ඉන්නවා කියලා. එයා වෛද්‍යවරයෙක්. ඔයා ඒ සහෝදරයාව අවුරුදු ගාණක් තිස්සේ අඳුරනවා. හැබැයි දවසක් ඔයාට හොඳටම අමාරු වෙලා ඒ සහෝදරයා වැඩ කරන ඉස්පිරිතාලෙට ඔයාව ඉක්මනින්ම අරන් යනවා. ඒ සහෝදරයා එයාට පුළුවන් හැම දේම කරලා ඔයාගේ ජීවිතේ බේරනවා. දැන් එයා ගැන ඔයාට කොහොමද දැනෙන්නේ? අනිවාර්යයෙන්ම එයාගේ නම ඇහෙද්දීත් ඔයාගේ හිතේ එයා ගැන ලොකු අගයක් ඇති වෙයි. දැන් ඔයාට මතක් වෙන්නේ එයා ඔයා අඳුරන වැඩිමහල්ලා කියලා විතරක් නෙවෙයි ඔයාගේ ජීවිතේ බේරපු කෙනා කියලයි.
5 යේසුස්ගේ ගෝලයොත් යෙහෝවාගේ නම දැනන් හිටියා. හැබැයි යෙහෝවාව තව හොඳින් අඳුරගන්න යේසුස් එයාලට උදව් කරපු නිසා යෙහෝවාගේ නම ගැන එයාලට තිබුණ අගය තව වැඩි වුණා. යේසුස් කරපු කියපු හැම දේකදීම ආදර්ශයට ගත්තේ යෙහෝවාව. ඒ නිසා ගෝලයන්ට පුළුවන් වුණා යේසුස් උගන්නන දේවල්වලට හොඳින් සවන් දීලා, ඔහු මිනිස්සුත් එක්ක වැඩ කරන විදිහ දිහා හොඳට බලලා තවත් හොඳින් යෙහෝවාව “අඳුරගන්න.”—යොහ. 14:9; 17:3.
“ඔයා මට නියෝජනය කරන්න භාර දුන්න නම”
6. යෙහෝවා ඔහුගේ නම යේසුස්ට භාර දුන්නා කියද්දී අදහස් කරන්නේ මොකක්ද? (යොහන් 17:11, 12)
6 යේසුස් ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “ඔයාගෙම නම වෙනුවෙන් එයාලව බලාගන්න. ඔයා මට නියෝජනය කරන්න භාර දුන්න නම වෙනුවෙන් එහෙම කරන්න.” (යොහන් 17:11, 12 කියවන්න.) නම භාර දුන්නා කියද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් දැන් යේසුස්ට යෙහෝවා කියන නමින් කතා කරන්න පුළුවන් කියලා. ඒත් ඒක වැරදියි. මොකද ඒ පදයේම කියනවා ඔහුට ඒ නම භාර දුන්නේ දෙවියන්ව “නියෝජනය කරන්න” කියලා. යේසුස් යෙහෝවාගේ නම නියෝජනය කළේ කොහොමද? යෙහෝවා යේසුස්ව මේ පොළොවට එව්වේ ඔහු වෙනුවෙන් කතා කරන්න. යේසුස් දෙවියන්ගේ නමින් ගොඩක් බලවත් දේවල් කළා. (යොහ. 5:43; 10:25) ඒ විතරක් නෙවෙයි යේසුස් කියන නමේ තේරුමත් “යෙහෝවා දෙන ගැලවීම” කියන එකයි. ඇත්තටම යේසුස්ගේ නම යෙහෝවාගේ නමත් එක්ක එකට බැඳිලයි තියෙන්නේ.
7. යෙහෝවා වෙනුවෙන් කතා කරන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? උදාහරණයක් කියන්න.
7 තානාපතියෙක් ගැන හිතන්න. එයා එයාගේ රටේ පාලකයාව නියෝජනය කරනවා. ඒ නිසා එයාට අයිතිය තියෙනවා ඒ පාලකයා වෙනුවෙන් කතා කරන්න. ඒ වගේ තමයි යෙහෝවා ඔහුව නියෝජනය කරන්න තමයි යේසුස්ව පොළොවට එව්වේ. ඉතින් යේසුස්ට අයිතිය තිබුණා යෙහෝවා වෙනුවෙන් කතා කරන්න.—මතෙ. 21:9; ලූක් 13:35.
8. පොළොවට එන්නත් කලින් යේසුස්ව ‘මගේ නාමයෙන් පෙනී ඉන්න කෙනා’ විදිහට යෙහෝවා හැඳින්නුවේ ඇයි? (නික්මයාම 23:20, 21)
8 යේසුස්ව මුල ඉඳන්ම හැඳින්නුවේ වචනය කියලා. මොකද දේවදූතයන්ට වගේම මිනිස්සුන්ටත් පණිවිඩ ගෙනියන්න යෙහෝවා පාවිච්චි කළේ යේසුස්ව. (යොහ. 1:1-3) ඊශ්‍රායෙල්වරු පාළුකරයේ හිටපු කාලේ එයාලව බලාගන්න පාවිච්චි කරපු දේවදූතයා යේසුස් කියලා හිතන්න පුළුවන්. ඒ දේවදූතයාට කීකරු වෙන්න කියලා යෙහෝවා කියද්දී එහෙම කරන්න ඕන හේතුවත් ඔහු කිව්වා. යෙහෝවා කිව්වා “ඔහු පෙනී ඉන්නේ මගේ නාමයෙන්” කියලා.a (නික්මයාම 23:20, 21 කියවන්න.) යෙහෝවා එහෙම කිව්වේ ඔහු කරන කිසිම දේක වරදක් නැහැ කියලත් ඔහු ශුද්ධයි කියලත් පෙන්නන, ඔහු වෙනුවෙන් කතා කරන ප්‍රධාන කෙනා යේසුස් නිසයි.
“පියාණෙනි, ඔයාගේ නම ගෞරවයට පත් කරන්න!”
9. යෙහෝවාගේ නම ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? පැහැදිලි කරන්න.
9 අපි බැලුවා වගේ පොළොවට එන්න කලින් ඉඳන්ම යේසුස්ට වැදගත්ම දේ වුණේ යෙහෝවාගේ නම. පොළොවට ආවාට පස්සෙත් ඔහු කරපු හැම දේකින්ම ඒක පැහැදිලි වුණා. ඒකයි ඔහු මැරෙන්න ටික දවසකට කලින් “පියාණෙනි, ඔයාගේ නම ගෞරවයට පත් කරන්න” කියලා ඉල්ලුවේ. ඒ වෙලාවෙම දෙවියන් ස්වර්ගයේ ඉඳන් හැමෝටම ඇහෙන්න “මම ඒක ගෞරවයට පත් කළා. මම ආයෙත් ඒක ගෞරවයට පත් කරනවා” කියලා කිව්වා.—යොහ. 12:28.
10-11. (අ) යේසුස් යෙහෝවාගේ නම ගෞරවයට පත් කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.) (ආ) යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්නත් ඔහුගේ නම නිදොස් කරන්නත් ඕන වුණේ ඇයි?
10 යේසුත් ඔහුගේ තාත්තාගේ නම ගෞරවයට පත් කළා. ඒක කරපු එක විදිහක් තමයි දෙවියන්ගේ ලස්සන ගුණාංග, ඔහු කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන අනිත් අයට උගන්නපු එක. හැබැයි ඔහුගේ නම ගෞරවයට පත් කරන එකට තව දෙයක් ඇතුළත්. ඒ, යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න එක සහ ඒක නිදොස් කරන්න එක.b එහෙම කරන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් ගෝලයන්ට යාච්ඤා කරන විදිහ ගැන කියද්දී පෙන්නුවා. ඔහු කිව්වා “ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා” කියලා.—මතෙ. 6:9.
11 යෙහෝවාගේ නම ශුද්ධයි කියලා පෙන්නන්නත් ඒක නිදොස් කරන්නත් ඕන වුණේ ඇයි? ඒදන් උයනේදී සාතන් යෙහෝවා දෙවියන් ගැන ගොඩක් බොරු දේවල් කියලා ඔහුගේ නමට මඩ ගැහුවා. සාතන් පෙන්නන්න හැදුවේ යෙහෝවා බොරුකාරයෙක්, ඔහු ආදම් සහ ඒවට හොඳ දෙයක් නොදී ඒක හංගන් ඉන්නවා කියලා. (උත්. 3:1-5) ඒකෙන් සාතන් ඇඟෙව්වේ යෙහෝවා දේවල් හරියට කරන්නේ නැහැ කියලයි. සාතන් කියපු බොරු නිසා යෙහෝවාගේ නමට කැළලක් ඇති වුණා. පස්සේ යෝබ්ගේ කාලේදීත් සාතන් කිව්වා මිනිස්සු දෙවියන්ට සේවේ කරන්නේ වාසි ප්‍රයෝජන බලාගෙන, නැතුව දෙවියන්ට ඇත්තටම ආදරේ නිසා නෙවෙයි කියලා. ඒ නිසා ප්‍රශ්න එද්දී මිනිස්සු දෙවියන්ව අත්හරිනවා කියලා සාතන් කිව්වා. (යෝබ් 1:9-11; 2:4) ඒ කතාවේ ඇත්ත නැත්ත ඔප්පු කරන්න කාලෙට ඉඩ දෙන්න වුණා.
දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා (10 ඡේදය බලන්න)
“මං මගේ ජීවිතය දෙන්නේ කැමැත්තෙන්මයි”
12. යෙහෝවාගේ නම ගැන තිබුණ ආදරේ නිසා යේසුස් කැමැත්තෙන්ම කළේ මොකක්ද?
12 මේ පොළොවේ හිටපු මුල්ම පරිපූර්ණ දෙන්නා වුණ ආදම් සහ ඒව සාතන්ගේ පැත්ත අරන් යෙහෝවාට අකීකරු වුණා. හැබැයි යේසුස් යෙහෝවාට ගොඩක් ආදරේ කළා. ඔහුට ඕන වුණේ යෙහෝවාගේ නමට ඇති වෙච්ච කැළල අයින් කරලා දෙවියන්ගේ නම ශුද්ධයි කියලා පෙන්නන්න. ඒකට ඔහු පුළුවන් හැම දේම කළා. ඔහු ‘ඔහුගේ ජීවිතය වුණත් දෙන්න කැමති වුණා.’c (යොහ. 10:17, 18) ඒ නිසයි ඔහු කැමැත්තෙන්ම මේ පොළොවට ඇවිල්ලා ඔහු කරපු කියපු හැම දේකදීම යෙහෝවාට කීකරු වුණේ. (හෙබ්‍රෙ. 4:15; 5:7-10) ඔහු වධකණුවේ අවසන් හුස්ම හෙළන කල්ම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. (හෙබ්‍රෙ. 12:2) ඒ විදිහට යේසුස් පෙන්නුවා යෙහෝවා ගැනයි, ඔහුගේ නම ගැනයි යේසුස්ට කොච්චර ආදරයක් තිබ්බාද කියලා.
13. සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න යේසුස් තමයි හොඳම කෙනා කියලා කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)
13 යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු හැම දේකින්ම පැහැදිලි වුණා යෙහෝවා නෙවෙයි, සාතන් තමයි බොරුකාරයා කියලා. (යොහ. 8:44) යේසුස් තරම් යෙහෝවාව දැනන් හිටපු තවත් කෙනෙක් නැහැ. ඉතින් සාතන් යෙහෝවාට කරපු බොරු චෝදනාවල පොඩි හරි ඇත්තක් තිබුණා නම් යේසුස් ඒ ගැන දන්නවා. හැබැයි ඒවායේ කිසිම ඇත්තක් තිබුණේ නැහැ. මොකද යේසුස් යෙහෝවාගේ නමට ඇති වෙලා තිබුණ කැළල අයින් කරලා ඒ නම නිදොස් කරන්න ඔහුට පුළුවන් හැම දේම කළා. යෙහෝවා ඔහුට දීපු බලය අයින් කළා කියලා දැනෙද්දීත් යෙහෝවාව අත්හරින්න යේසුස් හිතුවෙවත් නැහැ. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන්ම මරණයට මූණ දුන්නා.—මතෙ. 27:46.d
යේසුස් කරපු හැම දේකින්ම යෙහෝවා නෙවෙයි, සාතන් තමයි බොරුකාරයා කියලා ඔප්පු වුණා (13 ඡේදය බලන්න)
“ඔයා මට කරන්න දුන්න වැඩ කොටස ඉවර කළා”
14. යේසුස් විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවා ඔහුට ආශීර්වාද කළේ කොහොමද?
14 මැරෙන්න කලින් රාත්‍රියේ යේසුස් කරපු යාච්ඤාවේ ඔහු මෙහෙම කිව්වා. ‘ඔයා මට කරන්න දුන්න වැඩ කොටස මම ඉවර කළා.’ ඔහු දිගටම විශ්වාසවන්තව හිටියොත් යෙහෝවා ආශීර්වාද කරයි කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා. (යොහ. 17:4, 5) ඒ විශ්වාසේ යෙහෝවාත් කඩ කළේ නැහැ. යෙහෝවා ඔහුට දිගටම මරණ නින්දේ ඉන්න ඉඩ දුන්නේ නැහැ. (ක්‍රියා 2:23, 24) ඔහු යේසුස්ව නැවත නැඟිට්ටවලා ස්වර්ගයේ කලින් තිබුණාටත් වඩා උසස් තත්වයක් ඔහුට දුන්නා. (ෆිලි. 2:8, 9) කාලෙකට පස්සේ දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස්ව පත් කළා. ඒ රාජ්‍යයෙන් මොනවාද කරන්න යන්නේ? ඒකට උත්තරේ යේසුස් යාච්ඤා කරන විදිහ ගැන කියලා දෙද්දී කරපු යාච්ඤාවේ තියෙනවා. ඒකේ යේසුස් කිව්වා “ඔබේ රාජ්‍යය පැමිණේවා! ඔබේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා” කියලා.—මතෙ. 6:10.
15. ඉස්සරහට යේසුස් මොනවාද කරන්නේ?
15 ළඟදීම අර්මගෙදොන් යුද්දේදී යේසුස් දෙවියන්ගේ සතුරන් එක්ක සටන් කරලා දුෂ්ටයන්ව විනාශ කරනවා. (එළි. 16:14, 16; 19:11-16) ඒත් එක්කම ඔහු සාතන්ව “අගාධයට” වීසි කරලා කිසිම දෙයක් කරකියාගන්න බැරි තත්වෙට එයාව පත් කරනවා. (එළි. 20:1-3) ඊටපස්සේ යේසුස් මේ පොළොව අවුරුදු දාහක් පාලනය කරද්දී නැති වුණ සාමය ආයෙත් උදා කරලා මිනිස්සුන්ට පරිපූර්ණ අය වෙන්න උදව් කරනවා. ඒ වගේම ඔහු මැරුණ අයව නැවත නැඟිට්ටවනවා. මේ මුළු පොළොවම පාරාදීසයක් කරනවා. ඒ විදිහට ඔහු යෙහෝවා අරමුණු කරපු දේ ඉටු කරනවා.—එළි. 21:1-4.
16. දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී මොන වගේ තත්වයක් තියෙයිද?
16 දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී අපිට උරුම වුණ පව්කාරකම නැත්තටම නැති වෙලා යනවා. එදාට යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපේ පව්වලට සමාව ඉල්ලන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම යේසුස් මැදිහත්කරු විදිහටවත් 1,44,000දෙනා පූජකයන් විදිහටවත් සේවේ කරන්න ඕන වෙන්නේ නැහැ. එදාට ‘අන්තිම හතුරා වන ආදම්ගෙන් උරුම වුණ මරණය නැති කරලා දානවා.’ මැරුණ අයව නැවත නැඟිට්ටවන නිසා සොහොන් ගෙවල් හිස් වෙනවා. පොළොවේ ඉන්නේ පරිපූර්ණ අය විතරයි.—1 කොරි. 15:25, 26.
17-18. (අ) දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී මොකද වෙන්නේ? (ආ) ආයෙත් පාලනය යෙහෝවාගේ අතට භාර දෙන්න කාලේ ආවාම යේසුස් මොනවා කරයිද? (1 කොරින්ති 15:24, 28) (පින්තූරයත් බලන්න.)
17 දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී තව විශේෂ දෙයක් වෙනවා. ඒ, යෙහෝවා සාධාරණ, ශුද්ධ දෙවි කෙනෙක් කියන එක ගැන ආයේ කවුරුත් ප්‍රශ්න කරන්නේ නැති එකයි. ඒ ඇයි? මතකද, ඒදන් උයනේදී සාතන් කිව්වා යෙහෝවා බොරුකාරයෙක්, ඔහු මිනිස්සුන්ට ආදරේ නැහැ කියලා? හැබැයි එදා ඉඳන් යෙහෝවාට ආදරේ කරන අය ඕන තරම් ඉඳලා තියෙනවා. එයාලා පෙන්නලා තියෙනවා යෙහෝවාගේ නම ශුද්ධයි කියන එක එයාලට විශ්වාසයි කියලා. ඉතින් දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී යෙහෝවා බොරුකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු වෙයි. ඔහු ආදරණීය තාත්තා කෙනෙක් කියන දේ සැක කරන්න කිසිම හේතුවක් නැති වෙයි.
18 දහස් අවුරුදු පාලනය ඉවර වෙද්දී හැමෝම තේරුම්ගන්නවා සාතන් තමයි බොරුකාරයා කියලා. රාජ්‍යයේ පාලනය යෙහෝවාට භාර දෙන්න කාලේ ආවාම යේසුස් මොනවා කරයිද? යේසුත් සාතන් වගේ යෙහෝවාට විරුද්ධව කැරලිගහයිද? නැහැ. (1 කොරින්ති 15:24, 28 කියවන්න.) යේසුස් කැමැත්තෙන්ම රාජ්‍යය ආයෙත් ඔහුගේ තාත්තාට භාර දීලා දෙවියන්ගේ පාලනයට යටත් වෙනවා. සාතන් වගේ නෙවෙයි යේසුස් ඔහුට තියෙන හැම බලතලයක්ම කැමැත්තෙන්ම භාර දෙන්නේ යෙහෝවා ගැන තියෙන ආදරේ නිසයි.
දහස් අවුරුදු පාලනය අවසානයේදී යේසුස් කැමැත්තෙන්ම රාජ්‍යය ආපහු යෙහෝවාගේ අතට භාර දෙනවා (18 ඡේදය බලන්න)
19. යෙහෝවාගේ නම යේසුස්ට කොච්චර වටිනවාද?
19 යෙහෝවා ඔහුගේ නම නියෝජනය කරන්න යේසුස්ට භාර දුන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද යේසුස් ඔහුගේ තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා කිසිම අඩුවක් නැතුව පෙන්නුවා. ඒකෙන් මොනවාද අපිට තේරෙන්නේ? අනිත් හැම දේටම වඩා යේසුස්ට යෙහෝවාගේ නම වටිනවා කියලයි. ඒකයි ඒ නම වෙනුවෙන් යේසුස් මැරෙන්න වුණත් කැමති වුණේ. ඒ වගේම දහස් අවුරුදු පාලනය අවසානයේ ඔහුට දුන්න හැම දෙයක්ම ඔහු යෙහෝවාට කැමැත්තෙන්ම ආයෙත් භාර දෙන්නෙත් ඒ නිසයි. අපිට කොහොමද පුළුවන් යේසුස් වගේ වෙන්න? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 16 යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
a දේවදූතයන් පණිවිඩ අරන් යද්දී එයාලත් යෙහෝවාව නියෝජනය කළා. ඒකයි දේවදූතයන් කතා කරන සමහර තැන්වලත් යෙහෝවා කතා කළා කියලා බයිබලේ තියෙන්නේ. (උත්. 18:1-33) යෙහෝවා තමයි මෝසෙස්ට නීතිය දුන්නේ කියලා බයිබලේ කිව්වාට තවත් බයිබල් පදවල කියනවා ඒක දෙවියන් දේවදූතයන් මාර්ගයෙන් මෝසෙස්ට දුන්නා කියලා.—ලෙවී. 27:34; ක්‍රියා 7:38, 53; ගලා. 3:19; හෙබ්‍රෙ. 2:2-4.
b පැහැදිලි කිරීමක්: නම “ශුද්ධයි කියලා සලකනවා,” නැත්නම් “පෙන්නනවා” කියන්නේ ඒක ගෞරවයට පත් කරනවා, ඒක ගෞරවයෙන් සලකනවා කියන එකයි. නම “නිදොස් කරනවා” කියන්නේ කෙනෙක් ගැන බොරු කියලා එයාගේ හොඳ නම නැති කළාම ඒ නමට වුණ කැළල අයින් කරන එකටයි.
c යේසුස්ගේ මරණය නිසා මිනිස්සුන්ට සදාකාල ජීවිතේ ලබාගන්න අවස්ථාව තියෙනවා.
d 2021 අප්‍රියෙල් ‘මුරටැඹ’ සඟරාවේ 30-31 පිටුවල තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.