1925 ඉන්ඩියානාවල ඉන්ඩියානාපොලිස් නගරේ තිබුණ සමුළුව
සියවසකට පෙර—1925
1925 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ තිබුණා “මේ අවුරුද්ද උදා වෙන කල් ක්‍රිස්තියානීන් බලන් හිටියේ බලාපොරොත්තු පොදිබැඳන්” කියලා. හැබැයි ඒකේ මෙහෙමත් තිබුණා. “ක්‍රිස්තියානීන් මේ අවුරුද්දේ වෙයි කියලා ආසාවෙන් බලන් ඉන්න දේවල් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්නත් හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ස්වාමීන් භාර දීපු වැඩේ සතුටින් කරන්න එයාලට බැරි වෙයි.” බයිබල් ශිෂ්‍යයන් 1925දී වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ මොනවාද? බලාපොරොත්තු වුණ විදිහට දේවල් වුණේ නැතත් එයාලා දිගටම ස්වාමීන් භාර දුන්න වැඩේ උද්‍යෝගයෙන් කළේ කොහොමද?
බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී
1925දී මේ පොළොව පාරාදීසයක් වෙයි කියලා බයිබල් ශිෂ්‍යයන් බලාපොරොත්තුවෙන් හිටියා. ඒ ඇයි? පස්සේ කාලෙක පාලක මණ්ඩලේ සේවේ කරපු සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර් මෙහෙම කිව්වා. “අපි විශ්වාස කළේ 1925දී පොළොවේ ඉතුරු වෙලා හිටපු අභිෂේක ලත් අයව ස්වර්ගයට ගනියි කියලා. ඊටපස්සේ ආබ්‍රහම්, දාවිත් වගේ විශ්වාසවන්ත පුරුෂයන්ව නැවත නැඟිට්ටවලා මේ පොළොවේ අධිපතීන් විදිහට සේවේ කරන්න එයාලට භාර දෙයි කියලත් අපි හිතුවා.” හැබැයි අවුරුද්ද ගෙවීගෙන යද්දී බයිබල් ශිෂ්‍යයන් බලාපොරොත්තු වුණ විදිහට දේවල් වුණේ නැහැ. ඒ නිසා සමහරු අධෛර්යය වුණා.—හිතෝ. 13:12.
අධෛර්යය වුණත් හුඟක් බයිබල් ශිෂ්‍යයන් උද්‍යෝගයෙන් දේශනා කළා. එයාලා තේරුම්ගත්තා වැදගත්ම දේ යෙහෝවා ගැන අනිත් අයට දේශනා කරන එකයි කියලා. එයාලා ගුවන්විදුලි සේවාවන් පාවිච්චි කරලා හුඟදෙනෙක් අතරට ශුභාරංචිය ගෙනිච්ච විදිහ දැන් අපි බලමු.
තවත් ගුවන්විදුලි සේවා මධ්‍යස්ථාන
1924දී පටන්ගත්ත WBBR ගුවන්විදුලි සේවයට හුඟදෙනෙක් සවන් දුන්නා. ඒ නිසා 1925දී තවත් ගුවන්විදුලි මධ්‍යස්ථානයක් හදන්න තීරණේ කළා. එයාලා ඒක හැදුවේ ඉලිනොයිස්වල චිකාගෝවලට කිට්ටුවෙන් තිබුණ තැනක. ඒක හැඳින්නුවේ WORD කියලා. ඒකේ ඉදි කිරීම් වැඩවලට හවුල් වුණ සහෝදර රැල්ෆ් ලෙෆ්ලර් මෙහෙම කිව්වා. “සීතල හැන්දෑවල දුර ඈත පැතිවල හිටපු හුඟදෙනෙක් මේ ගුවන්විදුලි සේවයට සවන් දුන්නා.” උදාහරණෙකට කි.මී. 5,000කට වඩා ඈතින් තිබුණ ඇලස්කාවේ හිටපු පවුලක් අපේ මුල්ම වැඩසටහන්වලින් එකකට සවන් දුන්නා. ඊටපස්සේ එයාලා ඒකට ස්තුති කරලා සහෝදරයන්ට ලියුමක් එව්වා. ඒ වැඩසටහන්වලින් ලොකු දිරිගැන්වීමක් ලැබුණා කියලා එයාලා ඒකේ කියලා තිබුණා.
වම: ඉලිනොයිස්වල තිබුණ WORD ගුවන්විදුලි සේවාවේ කුලුන
දකුණ: රැල්ෆ් ලෙෆ්ලර් ගුවන්විදුලි මධ්‍යස්ථානයේ වැඩ කරන ගමන්
මේ ගුවන්විදුලි සේවාව හුඟදෙනෙක්ට අහන්න පුළුවන් වුණ හේතුව ගැන 1925 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් කරලා තිබුණා. “WORD එක ඇමරිකාවේ තිබුණ හොඳම ගුවන්විදුලි මධ්‍යස්ථාන අතරින් එකක්. මොකද මේකට පාවිච්චි කරලා තියෙන්නේ වොට් 5,000ක ට්‍රාන්ස්මීටරයක්. ඒ නිසා ඇමරිකාවේ නැඟෙනහිර සහ බටහිර වෙරළ තීරවල හිටපු අයට, කියුබාවේ හිටපු අයට, උතුරු පැත්තේ ඈත කෙළවරේ තිබුණ ඇලස්කාවේ හිටපු අයට මේකට සවන් දෙන්න පුළුවන් වුණා. මේ ගුවන්විදුලි සේවය නිසා සත්‍යය ගැන කලින් අහපු නැති අයට ඒ ගැන දැනගන්න ලැබුණා.”
ජෝජ් නේෂ්
ඔය කාලේදීම බයිබල් ශිෂ්‍යයන්ට ඕනෙ වුණා ගුවන්විදුලි සේවය පාවිච්චි කරලා කැනඩාවේ ඉන්න අයටත් ශුභාරංචිය කියන්න. ඒ නිසා 1924දී සස්කැචුවාන් පළාතේ සස්කැටූන් නගරේ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් ඉදි කළා. ඒකට කිව්වේ CHUC කියලා. ඒක කැනඩාවේ මුලින්ම පටන්ගත්ත ආගමික ගුවන්විදුලි සේවාවන්වලින් එකක්. 1925දී, පොඩියට තිබුණ මේ ගුවන්විදුලි මධ්‍යස්ථානය තවත් ලොකු තැනකට ගෙනියන්න එයාලට ඕන වුණා. ඉතින් සංවිධානය සස්කැටූන්වල තිබුණ පරණ නාට්‍ය ශාලාවක් සල්ලිවලට අරන් ඒක අලුත්වැඩියා කරලා එතනට ඒක අරන් ගියා.
සස්කැචුවාන් පළාතේ දුර ඈත නගරවල හිටපු හුඟදෙනෙක්ට ශුභාරංචිය මුල්ම වතාවට අහන්න ලැබුණේ මේ ගුවන්විදුලි සේවය නිසයි. පිටිසර පැත්තක හිටපු ග්‍රෙයම් කියන කාන්තාව මේකට සවන් දුන්නාට පස්සේ අපේ ප්‍රකාශන එවන්න කියලා ඉල්ලලා ලියුමක් එව්වා. ඒ ගැන සහෝදර ජෝජ් නේෂ් මෙහෙම කියනවා. “එයාගේ ඉල්ලීම පරක්කු කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අපිට දැනුණා. ඉතිං අපි ඉක්මනටම ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන ප්‍රකාශනයේ වෙළුම් ඔක්කොම යැව්වා.” වැඩි කල් යන්න කලින් ග්‍රෙයම් මහත්මිය ඈත පැතිවල හිටපු අයටත් ශුභාරංචිය කිව්වා.
වටිනා සත්‍යයක් තව පැහැදිලි වුණා
1925 මාර්තු 1 ‘මුරටැඹ’ කලාපයේ “ජාතියක උපත” කියලා හරිම වැදගත් ලිපියක් පළ වුණා. ඇයි ඒක එච්චර වැදගත්? කාලයක් තිස්සේම බයිබල් ශිෂ්‍යයන් දැනන් හිටියා සාතන්ට සංවිධානයක් තියෙනවා කියලා. ඒ සංවිධානයට භූතයන්, බොරු ආගම්, ව්‍යාපාර ලෝකය, දේශපාලන ලෝකය අයිතියි කියලත් එයාලා දැනන් හිටියා. ඒත් ඒ ලිපියෙන් යෙහෝවාටත් සංවිධානයක් තියෙනවා කියලා තේරුම්ගන්න දාසයා සහෝදරයන්ට උදව් කළා. ඒ සංවිධානය සාතන්ගේ සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්නවා කියලත් ඒකේ ඉන්න අය සාතන්ටයි, භූතයන්ටයි විරුද්ධව ඉන්න එක්සත්ව වැඩ කරනවා කියලත් ඒකේ පැහැදිලි කළා. (මතෙ. 24:45) 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වා කියලත් ඊටපස්සේ ඇති වුණ යුද්ධය නිසා සාතන්වයි, භූතයන්වයි ස්වර්ගයෙන් එළවලා පොළොවට දැම්මා කියලත් දාසයා පැහැදිලි කළා. දැන් සාතනුයි, භූතයනුයි කොටු වෙලා ඉන්නේ පොළොවේ.—එළි. 12:7-9.
දාසයා ඒ ලිපියේ විස්තර කරපු දේ පිළිගන්න සමහර බයිබල් ශිෂ්‍යයන්ට ලේසි වුණේ නැහැ. ඒ නිසා ඒ ලිපියේ මෙහෙමත් තිබුණා. “මේ ලිපියේ තියෙන දේවල් විශ්වාස කරන්න කාට හරි අමාරු නම් යෙහෝවාව විශ්වාස කරලා ඉවසීමෙන් බලන් ඉන්න. එහෙම බලන් ඉන්න අතරේ දිගටම ඔහුට විශ්වාසවන්තව සේවේ කරන්න.”
ඒ ලිපිය ගැන බයිබල් ශිෂ්‍යයන්ට හැඟුණ විදිහ ගැන බ්‍රිතාන්‍යයේ කෝල්පෝටර්වරයෙක් (පුරෝගාමීන්ව ඉස්සර හැඳින්නුවේ ඒ නමින්) වුණ ටොම් එයර් මෙහෙම කිව්වා. “එළිදරව් 12වෙනි පරිච්ඡේදය පැහැදිලි කරලා තිබුණ විදිහ ගැන සහෝදරයන්ට පුදුම සතුටක් දැනුණේ. මේ වෙද්දීත් දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවලා තියෙනවා කියලා අපිට තේරුණාම ඒ ගැන හැමෝටම කියන්න අපිට ලොකු උද්‍යෝගයක් ඇති වුණා. යෙහෝවා ඉස්සරහට මොන වගේ දේවල් කරයිද කියලා ආසාවෙන් බලන් ඉන්නත් ඒක අපිට උදව් වුණා.”
යෙහෝවා වෙනුවෙන් සාක්ෂි දරන අය
අද නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට යෙසායා 43:10 තියෙන යෙහෝවා කියන මේ වචන හොඳට හුරුයි. “මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තෝරගත්ත මගේ සේවකයා ඔබයි.” ඒත් 1925ට කලින් මේ බයිබල් පදය අපේ සඟරාවල විස්තර කරලා තිබුණේ නැති තරම්. හැබැයි 1925දී යෙසායා 43:10, 12 ගැන ‘මුරටැඹ’ කලාප 11ක විස්තර කරලා තිබුණා.
1925 අගෝස්තු අන්තිමට ඉන්ඩියානාපොලිස් නගරේ සාක්ෂිකරුවන් සමුළුවක් පැවැත්තුවා. සමුළු වැඩසටහන් පත්‍රිකාවේ සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් ඒකට ආපු අයව පිළිගන්න පොඩි පණිවිඩයක් ලියලා තිබුණා. ඒකේ මෙහෙම තිබුණා. “අපි මේ සමුළුවට ආවේ ස්වාමීන්ගෙන් ශක්තිය ලබාගෙන කලින්ටත් වඩා ආසාවකින් ඔහුගේ සාක්ෂිකරුවන් විදිහට දේශනා කරන්න යන්නයි.” දවස් අටක් පුරා තිබුණ සමුළුවේදී බයිබල් ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා එයාලට ලැබෙන හැම අවස්ථාවකදීම යෙහෝවා ගැන සාක්ෂි දරන්න කියලා.
අගෝස්තු 29වෙනි සෙනසුරාදා සහෝදර රදෆර්ඩ් “සේවයට සැරසෙන්න” කියන මාතෘකාවෙන් දේශනයක් දුන්නා. එයා සාක්ෂි දරන එකේ වැදගත්කම මෙහෙම පැහැදිලි කළා. “යෙහෝවා ඔහුගේ සෙනඟට කියනවා ‘මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තමයි දෙවියන්’ කියලා. ඊටපස්සේ ‘සෙනඟට පේන්න සංඥාවක් ඔසවන්න’ කියන ඔහු ප්‍රබල ආඥාව දෙනවා. සංඥාවක් ඔසවන්න, ඒ කියන්නේ යෙහෝවා ගැන සාක්ෂි දරන්න පුළුවන් යෙහෝවාගේ සෙනඟට විතරයි. මොකද එයාලටයි ඔහුගේ බලය ලැබෙන්නේ.”—යෙසා. 43:12; 62:10.
‘බලාපොරොත්තුවේ පණිවිඩයක්’ කියන පත්‍රිකාව
ඒ දේශනයෙන් පස්සේ සහෝදර රදෆර්ඩ් ‘බලාපොරොත්තුවේ පණිවිඩයක්’ කියන මාතෘකාව තියෙන සම්මුතියක් කියෙව්වා. එදා රැස් වෙලා හිටපු හැමෝම ඒකට එකඟ වුණා. ඒකේ මෙහෙම තිබුණා. “දේවරාජ්‍යයට විතරයි නියම සාමය, සෞභාග්‍යය, නිමක් නැති සතුට, නිදහස වගේම නිරෝගී ජීවිතයක් දෙන්න පුළුවන්.” ඒ සම්මුතිය පස්සේ භාෂා කීපයකටම පරිවර්තනය කරලා පත්‍රිකාවක් විදිහටත් මුද්‍රණය කළා. ඒ පත්‍රිකාවේ පිටපත් මිලියන 40ක් විතර බෙදාහැරියා.
ඒ සමුළුව තියලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි බයිබල් ශිෂ්‍යයන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්න පටන්ගත්තේ. ඒත් යෙහෝවා වෙනුවෙන් සාක්ෂි දරන එක කොච්චර වැදගත්ද කියලා එයාලා ඒ සමුළුවෙන් පස්සේ තේරුම්ගත්තා.
උනන්දු අයව ආයෙත් බලන්න යයි
බයිබල් ශිෂ්‍යයන්ගේ ගාණ වැඩි වෙද්දී එයාලව දිරිගැන්නුවා ශුභාරංචියට උනන්දු අයව ආයෙත් බලන්න යන්න කියලා. ‘බලාපොරොත්තුවේ පණිවිඩයක්’ කියන පත්‍රිකාව බෙදාහැරපු ව්‍යාපෘතියෙන් පස්සේ ‘බුලටින්’a පත්‍රිකාවේ මඟ පෙන්වීමක් දීලා තිබුණා “අපේ ප්‍රකාශන ගත්තේ නැතත් ‘බලාපොරොත්තුවේ පණිවිඩයක්’ කියන පත්‍රිකාව තියලා ආපු ගෙවල්වලට ආයෙත් යන්න” කියලා.
ටෙක්සාස්වල හිටපු බයිබල් ශිෂ්‍යයෙක් එවපු වාර්තාවක් 1925 ජනවාරි ‘බුලටින්’ පත්‍රිකාවේ තිබුණා. ඒකේ මෙහෙම තිබුණා. “අලුත්ම පැත්තක සේවේ යනවාට වඩා අපි මීට කලින් කීපසැරයක්ම ගිය පැතිවල දේශනා කරද්දී අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත පස්වතාවක් විතර සේවේ කරලා තිබුණ පොඩි ටවුමක මගේ අම්මායි, සහෝදරි හෙන්රික්සුයි සේවේ ගියා. මීට කලින් කවදාවත් දීපු නැති තරම් පොත් ප්‍රමාණයක් දෙන්න එයාලට පුළුවන් වුණා.”
පැනමාවල කෝල්පෝටර්වරයෙක් විදිහට සේවේ කරපු කෙනෙක් මෙහෙම ලියලා එවලා තිබුණා. “මුල් වතාවේ මං දේශනා කරද්දී පණිවිඩේ අහන්න කැමති වුණේ නැති හුඟදෙනෙක් මං දෙවෙනි, තුන්වෙනි වතාවේ යද්දී පණිවිඩේ අහන්න කැමති වුණා. මේ අවුරුද්දේ මං ගොඩක් කළේ මීට කලින් මං සේවේ යද්දී හම්බ වුණ අයව ආයේ බලන්න ගිය එක. ඒකෙන් මට හොඳ අද්දැකීම් හම්බ වුණා.”
අනාගත සැලසුම්
1925 අවුරුද්ද අවසානේ සහෝදර රදෆර්ඩ් කෝල්පෝටර්වරුන්ට ලියුමක් යැව්වා. ඒ අවුරුද්දේ කරපු සේවේ ගැනයි, ඊළඟ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැනයි සඳහන් කරලා එයා මෙහෙම ලිව්වා. “පහු වුණ අවුරුද්දේ, දුකෙන් හිටපු හුඟදෙනෙක්ට සහනයක් දෙන්න ඔයාලට පුළුවන් වුණා. ඒකෙන් ඔයාලටත් ලොකු සතුටක් ලැබුණා කියලා සැකයක් නැහැ. ඊළඟ අවුරුද්දේ දෙවියන් ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් සාක්ෂි දරලා ඔයාලා ඔහුගේ සෙනඟ කියලා හැමෝටම පෙන්නන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි එක්සත්ව අපේ දෙවියන්ටත් අපේ රජටත් ප්‍රශංසා කරන්න දිගටම අපේ හඬ එකතු කරමු.”
1925 අවුරුද්ද අවසන් වෙද්දී සහෝදරයන් බෘක්ලින්වල තිබුණ බෙතෙල් නිවස තව විශාල කරන්න සැලසුම් කළා. 1926 පටන්ගන්නවත් එක්කම සංවිධානය එතෙක් කරපු විශාලතම ඉදි කිරීම් ව්‍යාපෘතියට අත ගහන්න ලෑස්ති වෙලයි හිටියේ.
1926 බෘක්ලින්වල ඇඩම්ස් වීදියේ ඉදි කිරීම් වැඩ
a දැන් ඒකට කියන්නේ ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ කියලයි.