පාඩම් ලිපිය 40
ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
අපේ ජීවිත සතුටින් පුරවන්නේ යෙහෝවායි
‘ මම මගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරී යන්න සලස්වන දෙවියන් ළඟට යනවා.’—ගීතා. 43:4.
ලිපියේ අරමුණ
අපේ සතුට හොරාගන්න දේවල් කීපයක් ගැනත් නැති වුණ සතුට ආයේ ලබාගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
1-2. (අ) අද ඉන්න හුඟදෙනෙක්ට අද්දකින්න වෙලා තියෙන්නේ මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
හුඟදෙනෙක් සතුට හොයාගෙන පිස්සුවෙන් වගේ එක එක දේවල් පස්සේ දුවනවා. හැබැයි එයාලා දුවන්නේ මිරිඟුවක් පස්සේ. හුඟදෙනෙක් ඉන්නේ දුකෙන්. එයාලාගේ ජීවිතවලට බලාපොරොත්තුවක් නැහැ. යෙහෝවාගේ සෙනඟ අතර ඉන්න සමහරුන්ටත් ඒ වගේ හැඟෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” නිසා දුකක්, කනස්සල්ලක් දැනෙන ප්‍රශ්නවලට අපිත් මූණ දෙනවා.—2 තිමෝ. 3:1.
2 අපේ සතුට හොරාගන්න දේවල් කීපයක් ගැනත් නැති වුණ සතුට ලබාගන්න පුළුවන් විදිහත් අපි බලමු. හැබැයි ඊට කලින් බලමු සැබෑ සතුටේ උල්පත කවුද කියලා.
සැබෑ සතුටේ උල්පත
3. යෙහෝවාගේ නිර්මාණවලින් අපිට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරත් බලන්න.)
3 යෙහෝවා හැමදාම ඉන්නේ සතුටින්. ඔහු ආස අපිත් සතුටින් ඉන්නවාට. ඔහු අපිව සතුටින් තියන්න හුඟක් දේවල් නිර්මාණය කරලා තියෙනවා. අපේ ලස්සන නිවහනින්, ලස්සන ලස්සන පාටවලින්, දුවලා පැනලා හුරතල් වෙන සතුන්ගෙන්, රස නහර පිනා යන කෑමවලින් පේන්නේ යෙහෝවාගේ ආදරේ නෙවෙයිද? ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්න.
Baby elephant: Image © Romi Gamit/Shutterstock; penguin chicks: Vladimir Seliverstov/500px via Getty Images; baby goats: Rita Kochmarjova/stock.adobe.com; two dolphins: georgeclerk/E+ via Getty Images
දුවලා පැනලා හුරතල් වෙන සතුන්ගෙන් පේනවා යෙහෝවා සතුටින් ඉන්න කෙනෙක් කියලා (3 ඡේදය බලන්න)
4. (අ) දුක් වේදනා දැක්කත් සතුටින් ඉන්න යෙහෝවාට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) යෙහෝවා අපිට දීලා තියෙන තෑග්ග මොකක්ද? (ගීතාවලිය 16:11)
4 මිනිස්සු විඳින දුක යෙහෝවා දන්නවා. ඔහු ඒවා ගණන් නොගෙන ඉන්නේ නැහැ. අපි දුක් විඳිනවා දකිද්දී ඔහුටත් ලොකු වේදනාවක් දැනෙනවා. හැබැයි බයිබලේ කියන්නේ ඔහු “ප්‍රීතිමත් දෙවියන්” කියලා. (1 තිමෝ. 1:11) මෙච්චර දුක් වේදනා දකිද්දී යෙහෝවා කොහොමද ඔහුගේ සතුට රැකගන්නේ? ඔහුට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දුක් වේදනා සදහටම නැති කරන දවස ඔහු දැනටමත් තීරණේ කරලා තියෙන නිසයි. ඒ දවස එන කල් ඔහුට ඕනෙ දුක දරාගන්න අපිට උදව් කරන්න. ඔහු ඒක කරන්නේ සතුට කියන තෑග්ග අපිට දීලා. (ගීතාවලිය 16:11 කියවන්න.) ඔහු ඒ තෑග්ග යේසුස්ටත් දුන්නා.
5-6. යේසුස් සතුටින් ඉන්නේ ඇයි?
5 යෙහෝවාට පස්සේ සතුටින්ම ඉන්නේ යේසුස්. එහෙම කියන්න හේතු කීපයක් බලන්න. යේසුස් “නොපෙනෙන දෙවියන්ගේ ගතිලක්ෂණ හැම එකක්ම ඒ විදිහටම” ඔහුගේ ජීවිතෙන් පෙන්නුවා. (කොලො. 1:15; 1 තිමෝ. 6:15) ඒ වගේම වෙන කාටත් වඩා වැඩි කාලයක් යේසුස් ඔහුගේ තාත්තා එක්ක හිටියා. ඔහුගේ තාත්තා තමයි නියම සතුටේ උල්පත.
6 තාත්තා ඔහුගෙන් බලාපොරොත්තු වුණ හැම දේම කරලත් යේසුස් ලොකු සතුටක් අද්දැක්කා. (හිතෝ. 8:30, 31; යොහ. 8:29) යේසුස්ගේ විශ්වාසවන්තකම ගැන යෙහෝවා ගොඩක් සතුටු වුණා.—මතෙ. 3:17.
7. අපිට නියම සතුට ලබාගන්න පුළුවන් කොහොමද?
7 අපිටත් පුළුවන් සතුටේ උල්පත වන යෙහෝවාට තව ළං වෙලා නියම සතුට ලබාගන්න. අපි යෙහෝවා ගැන ඉගෙනගන්න තරමට, ඔහුව ආදර්ශයට ගන්න තරමට අපේ සතුටත් වැඩි වෙනවා. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන දේ කරන එකෙනුත් ඔහු කැමති දේ කරද්දී ඔහු අපි ගැන සතුටු වෙනවා කියලා දැනන් ඉන්න එකෙනුත් අපිට ලොකු සතුටක් දැනෙනවා.a (ගීතා. 33:12) ඒත් කාලෙන් කාලෙට අපිට දුකක් දැනෙනවා නම්, සතුට නැති වෙලා ගිහින් කියලා හිතෙනවා නම් ඒ කියන්නේ යෙහෝවා අපි ගැන සතුටු වෙන්නේ නැහැ කියන එකද? නැහැ. අපිට උරුම වෙලා තියෙන පාපය නිසා සමහර වෙලාවට අපිට දුකක්, වේදනාවක්, මානසික පීඩනයක් දැනෙයි. යෙහෝවා ඒක දන්නවා. ඔහු ඒක තේරුම්ගන්නවා. (ගීතා. 103:14) දැන් අපි බලමු සතුට අපෙන් උදුරගන්න හොරු තුන්දෙනෙක් ගැන. නැති වුණ සතුට ආයේ ලබාගන්නේ කොහොමද කියලත් බලමු.
සතුට හොරාගන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා
8. ප්‍රශ්න ගැටලු අපිට බලපාන්නේ කොහොමද?
8 පළවෙනි හොරා: ප්‍රශ්න ගැටලු. ඔයා විරුද්ධවාදිකම් අද්දකිනවාද? ස්වාභාවික විපතක්, ආර්ථික ප්‍රශ්නයක්, අසනීපයක් නැත්නම් මහලු වයස නිසා දුක් විඳිනවාද? ඒ වගේ ප්‍රශ්නවලට පුළුවන් අපේ සතුට ලේසියෙන්ම හොරාගන්න. විශේෂයෙන්ම ඒවා විසඳන්න, වෙනස් කරන්න අපිට මුකුත් කරගන්න බැරි වෙද්දී අපිට ලොකු දුකක් දැනෙනවා. බයිබලෙත් කියනවා “හිතේ වේදනාව නිසා කෙනෙක් මනසින් කඩන් වැටෙනවා” කියලා. (හිතෝ. 15:13) වැඩිමහල්ලෙක් වන බබීස්ගේ අම්මායි, තාත්තායි, අයියායි අවුරුදු හතරක් ඇතුළත නැති වුණා. එයා මෙහෙම කියනවා. “මට එයාලා එක්ක කාලේ ගත කරන්න ඕනෙ වුණත් කරන්න වැඩ ගොඩක් තිබුණ නිසා ඒක කරගන්න බැරි වුණා. සමහර වෙලාවට මට ලොකු අසරණකමක් දැනුණා. මට මං ගැනම කලකිරුණා.” ජීවිතේ අපි මූණ දෙන ඒ වගේ ප්‍රශ්න නිසා අපි හෙම්බත් වෙනවා, මනසින් වැටෙනවා.
9. නැති වුණ සතුට ලබාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (යෙරෙමියා 29:4-7, 10)
9 නැති වුණ සතුට ලබාගන්නේ කොහොමද? වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතහිත වධ වෙන එක නවත්තලා අපිට තියෙන දේවල් අගය කරන එකෙන් සතුට ලබාගන්න අපිට පුළුවන්. ලෝකේ අය කියන්නේ සතුටින් ඉන්න නම් හැම දේම තිතටම තියෙන්න ඕනෙ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. උදාහරණෙකට වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිය යුදෙව්වන්ට යෙහෝවා කිව්වා විදේශිකයන් විදිහට එයාලා ඉන්න දේශයේ සතුටින් ඉන්න එයාලට පුළුවන් හැම දේම කරන්න කියලා. (යෙරෙමියා 29:4-7, 10 කියවන්න.) මොකක්ද පාඩම? සමහර ප්‍රශ්න ඔයාට වෙනස් කරන්න බැහැ කියලා තේරුම්ගන්න. ප්‍රශ්න මැද වුණත් ඔයා දැන් අද්දකින හොඳ දේවල් අගය කරන්න. මතක තියාගන්න, යෙහෝවා ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ. ඔහු ඔයාගේ උදව්වට ඉන්නවා. (ගීතා. 63:7; 146:5) හදිසි අනතුරක් නිසා සහෝදරි එෆී රෝද පුටුවට වැටුණා. එයා මෙහෙම කියනවා. “යෙහෝවායි, පවුලේ අයයි, සභාවේ අයයි මට සෑහෙන්න උදව් කළා. මං හැම දේම අත්හැරියා නම් ඒකෙන් පේන්නේ එයාලාගේ උදව් මට වැඩක් නෑ කියලයි. ඒත් මට ඕන වුණේ එයාලා මං වෙනුවෙන් කරපු, කරන දේවලට මගේ අගය පෙන්නන්න. ඉතිං මං සතුටින් ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.”
10. ප්‍රශ්න තිබුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් ඇයි?
10 අපි කැමති විදිහට දේවල් වුණේ නැතත් අපිටයි, අපේ පවුලේ අයටයි නරක දේවලට මූණ දෙන්න වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්.b (ගීතා. 126:5) මොකද අපි සතුටින් ඉන්නවාද නැද්ද කියන එක තීරණේ වෙන්නේ අපි මූණ දෙන දේවල් අනුව නෙවෙයි. පුරෝගාමි සේවේ කරන මරියා මෙහෙම කියනවා. “ප්‍රශ්න එද්දී ඔයා සතුටින් ඉන්නවා කියන්නේ ඔයා හැඟීම් හිර කරගන්නවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් පේන්නේ යෙහෝවාගේ පොරොන්දු ඔයාට අමතක නෑ කියලයි. අපේ සතුට දිගටම තියාගන්න අපේ තාත්තා අපිට උදව් කරනවා.” අපේ ප්‍රශ්න කොච්චර අමාරු වුණත් ඒවා තාවකාලිකයි. හරියට මුහුදු වෙරළක තියෙන පිය සටහන් වගේ. ඒවා තිබුණාද කියලවත් ආයේ හොයාගන්න බැරි වෙන විදිහට ළඟදීම හේදිලා යනවා.
11. පාවුල්ගේ ආදර්ශය ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?
11 ‘මට මෙච්චරම ප්‍රශ්න තියෙන්නේ යෙහෝවා මං ගැන සතුටු වෙන්නේ නැති නිසාද’ කියලා ඔයාටත් හිතෙනවාද? එහෙමනම් ගොඩක් අමාරු දේවලට මූණ දීපු විශ්වාසවන්ත අය ගැන ටිකක් හිතන්න. පාවුල් ඒ වගේ කෙනෙක්. “ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත්” ශුභාරංචිය ගැන කියන්න යේසුස්මයි එයාව තෝරගත්තේ. (ක්‍රියා 9:15) ඒක කොච්චර වටින පැවරුමක්ද! හැබැයි පාවුල්ට ප්‍රශ්නවලින් නම් අඩුවක් තිබුණේ නැහැ. (2 කොරි. 11:23-27) එක පිට එක ආපු ඒ ප්‍රශ්නවලින් පෙනුණේ යෙහෝවා පාවුල් ගැන සතුටු වුණේ නැහැ කියලද? කොහොමටවත් නැහැ! ඒ වෙනුවට එයා ඒ ප්‍රශ්න දරාගත්ත එකෙන් පේනවා යෙහෝවාගේ ආශීර්වාදේ එයාට තිබුණා කියලා. (රෝම 5:3-5) දැන් ටිකක් ඔයා ගැන හිතන්න. කොච්චර ප්‍රශ්න ආවත් ඔයාත් විශ්වාසවන්තව ඒවා දරාගන්නවා. ඒකෙන්ම පේනවා යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා, ඔහුගේ ආශීර්වාදේ ඔයාට තියෙනවා කියලා.
12. කැමති විදිහට සේවේ කරගන්න බැරි වෙද්දී ඒක අපිට බලපාන්න පුළුවන් කොහොමද?
12 දෙවෙනි හොරා: ඉටු නොවුණු බලාපොරොත්තු. (හිතෝ. 13:12) යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ නිසාත් ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අපේ හිතේ තියෙන අගය නිසාත් අපිට ඕනෙ ඔහු වෙනුවෙන් උපරිමය කරන්න. හැබැයි අපි ඉන්න තත්වේ නිසා අපි කරන්න ආස හැම දේම අපිට කරන්න බැරි වෙයි. අපිට කරන්න බැරි දේවල් ගැන ඉලක්ක තියාගත්තොත් අපි අධෛර්යය වෙයි. (හිතෝ. 17:22) පුරෝගාමි කරන සහෝදරි හොලී මෙහෙම කියනවා. “මට ඕන වුණේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට ගිහින්, ඊටපස්සේ වෙන රටක සේවේ කරන්න. රැමාපෝ ඉදි කිරීම් ව්‍යාපෘතියට හවුල් වෙන්නත් මං ආසාවෙන් හිටියා. ඒත් හිතපු නැති විදිහට ජීවිතේ සිද්ධ වුණ දේවල් නිසා ඒ ඉලක්කවලට යන එක මට අමාරු වුණා. ඒකෙන් මං මානසිකව වැටුණා.” හුඟදෙනෙක්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි.
13. මොන දේට මූණ දුන්නත් අපිට කරන්න පුළුවන් සමහර දේවල් මොනවාද?
13 නැති වුණ සතුට ලබාගන්නේ කොහොමද? අපිට කරන්න බැරි දේවල් යෙහෝවා කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට සේවේ කරන්න අපි මොන මොන වගේ දේවල් කරනවාද කියලා බලලා නෙවෙයි ඔහු අපේ වටිනාකම මනින්නේ. ඔහුට ඕනෙ අපි අපේ සීමාව තේරුම් අරන් විශ්වාසවන්තව සේවේ කරනවා දකින්නයි. (මීකා 6:8; 1 කොරි. 4:2) අපි කරන දේවලට වඩා ඔහු බලන්නේ අපේ හදවත දිහායි. ඉතින් යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් අපි අපෙන් බලාපොරොත්තු වෙන එක සාධාරණද?c ඔයා කරන්න ආසාවෙන් හිටපු දේවල් ඔයාට කරන්න බැරි වුණත් ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. යෞවනයෙක්ව පුහුණු කරන්න ඔයාට පුළුවන්ද? මහලු කෙනෙක්ට හයියක් වෙන්න පුළුවන්ද? කෙනෙක්ව හම්බ වෙලා, කෝල් එකක් දීලා, මෙසේජ් එකක් යවලා දිරිගන්වන්න පුළුවන්ද? කරන්න පුළුවන් දේවල් ගැන හිතලා ඔයා ඒවා කරද්දී යෙහෝවා සතුට කියන තෑග්ග දීලා ඔයාට ආශීර්වාද කරයි. ළඟදීම ඔයා හීනෙකින්වත් හිතුවේ නැති විදිවලින් යෙහෝවාට සේවේ කරන්න ඔයාට අවස්ථා ලැබෙයි. හොලී මෙහෙම කියනවා. “කලකිරෙද්දී මං හිතනවා ‘මං ඉස්සරහා සදාකාලෙම තියෙනවානේ’ කියලා. එදාට යෙහෝවාගේ උදව්වෙන් මගේ සමහර ඉලක්කවලට යන්න මට පුළුවන් වෙයි.”
14. අපේ සතුට හොරාගන්න පුළුවන් තව දෙයක් මොකක්ද?
14 තුන්වෙනි හොරා: තමන්ගෙම සතුට ගැන හිතන එක. සමහරු සෝෂල් මීඩියාවල දේවල් දාන්නේ එයාලා ආස ආස දේවල් කරන එකෙන් ලොකු සතුටක් ලැබෙනවා කියලා පේන විදිහට. ඒවා දකිද්දී අපිටත් හිතෙයි අපි කැමති දේවල් කරන එකෙන්, අපි ආස ආස දේවල් ගන්න එකෙන්, කැමති කැමති තැන් බලන්න යන එකෙන් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා. අපි ආස කරන දේවල් කරන එකේ වරදක් නැහැ. යෙහෝවාත් කැමතියි ඔහු අපි වෙනුවෙන් නිර්මාණය කරපු දේවලින් අපි සතුටක් ලබනවා දකින්න. හැබැයි හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා එයාලට සතුටක් ලැබෙයි කියලා එයාලා හිතන දේවල් නිසාම එයාලාගේ සතුට නැති වෙලා කියලා. පුරෝගාමි කරන සහෝදරි ඊවා මෙහෙම කියනවා. “ඔයා හැම වෙලාවෙම හිතන්නේ ඔයාවම සතුටු කරගන්න විදිහ ගැන නං ඔයා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නෑ. අන්තිමට ඔයාට ලොකු හිස්කමක් දැනෙයි. ඔයා හෙම්බත් වෙයි.”
15. සලමොන් රජගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
15 සලමොන් රජ එයාට සතුටක් ලැබෙයි කියලා හිතන හුඟක් දේවල් කළා. එයා එක එක විදිහේ රස කෑම කෑවා. එක එක විදිහේ සංගීත රස වින්දා. ගොඩක් වටින දේවල් ගත්තා. හැබැයි ඒ කිසිම දේකින් එයා බලාපොරොත්තු වුණ සතුට ලැබුණේ නැහැ. ඒකයි එයා මෙහෙම කිව්වේ. “ඇහැ කොච්චර දේවල් දැක්කත් සෑහීමට පත් වෙන්නේ නැහැ. කොච්චර දේවල් ඇහුවත් කන සෑහීමට පත් වෙන්නේ නැහැ.” (දේශ. 1:8; 2:1-11) සතුටක් ලැබෙයි කියලා මේ ලෝකේ හුඟදෙනෙක් හිතන දේවල් හරියට හොර සල්ලි වගේ. බැලූ බැල්මට වටිනාකමක් තියෙනවා වගේ පෙනුණාට බලාපොරොත්තු වෙන සතුට ඒවාවලින් ලැබෙන්නේ නැහැ.
16. අනිත් අයට දේවල් දෙන එකෙන් නැති වුණ සතුට ලබාගන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
16 නැති වුණ සතුට ලබාගන්නේ කොහොමද? යේසුස් කිව්වේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) වැඩිමහල්ලෙක් වන අලෙකෝස් කියන දේ බලන්න. “මං නිතරම බලනවා පොඩි පොඩි විදිවලින් අනිත් අයට උදව් කරන්න. එහෙම කරද්දී මං මට වඩා අවධානය දෙන්නේ අනිත් අයට. ඒක මට සතුටක්.” ඔයාට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? කවුරු හරි දුකෙන් ඉන්නවා කියලා දැක්කොත් එයාත් එක්ක කතා කරන්න. එයාගේ ප්‍රශ්න විසඳන්න ඔයාට බැරි වෙයි. හැබැයි එයා කියන දේවල් හොඳට අහගෙන ඉද්දී, එයාව තේරුම්ගන්න උත්සාහ කරද්දී ඒක එයාට ලොකු සහනයක් වෙයි. යෙහෝවා එයාට ආදරේ නිසා එයාට හැඟෙන හැම දෙයක්ම ඔහුට කියන්න කියලා එයාට මතක් කරන්න. (ගීතා. 55:22; 68:19) යෙහෝවා එයාව අත්හැරලා නැහැ කියලත් කියන්න. (ගීතා. 37:28; යෙසා. 59:1) එයාත් එක්ක පොඩි කෑමක් ගන්න එක, ටිකක් ඇවිදින්න යන එක වගේ දේවලුත් ඔයාට කරන්න පුළුවන්. ඔයාත් එක්ක සේවේ යන්න එන්න කියලත් එයාට කියන්න. මිනිස්සුන්ට ශුභාරංචිය කියද්දී එයාගේ හිතට ලොකු සතුටක් දැනෙයි. අනිත් අයට හයියක් වෙන්න ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න. අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඔයා වැඩි කාලයක් දෙන තරමට නැති වුණ සතුටත් ඔයාට ලැබෙයි.—හිතෝ. 11:25.
ඔයා වෙනුවෙන්ම දේවල් කරනවා වෙනුවට අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න (16 ඡේදය බලන්න)d
17. නියම සතුට ලබන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (ගීතාවලිය 43:4)
17 ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි ළං වෙද්දී නියම සතුට අද්දකින්න අපිට පුළුවන්. බයිබලේ සහතික වෙනවා යෙහෝවා ‘අපේ ජීවිත සතුටින් පිරී ඉතිරී යන්න සලස්වනවා’ කියලා. (ගීතාවලිය 43:4 කියවන්න.) ඒ නිසා මොන ප්‍රශ්නේ ආවත් අපි බය වෙන්න, කලබල වෙන්න ඕනෙ නැහැ. අපි දිගටම යෙහෝවා දිහා බලාගෙන ඉමු. මොකද ඔහු තමයි නිමක් නැති සතුටේ උල්පත!—ගීතා. 144:15.
ගීතිකාව 155 අපේ සතුට ඔබයි සැමදා
a “සතුට ලබාගන්න යෙහෝවා ළඟට යන්න” කියන කොටුව බලන්න.
b උදාහරණෙකට jw.org එකේ පළ වුණ ‘2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5’ ඩෙනිස් සහ ඉරීනා ක්‍රිස්ටන්සන්ගේ අද්දැකීම බලන්න.
c තව විස්තර දැනගන්න 2008 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ “ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න” කියන ලිපිය බලන්න.
d පින්තූරවල අදහස: සහෝදරියක් එයාටම ගොඩක් දේවල් ගන්නවා. හැබැයි දිරිගැන්වීම් ඕන කරන වයසක සහෝදරියක් වෙනුවෙන් මල් පොකුරක් අරගෙන එයා ඊට වඩා සතුටක් අද්දකිනවා.