පාඩම් ලිපිය 50
ගීතිකාව 48 දෙවි සමඟින් පා නඟමු
යෙහෝවා වගේ නිහතමානී වෙන්න
“ඔයාලා දෙවියන්ගේ ආදරණීය දරුවන් නිසා දෙවියන්ව අනුකරණය කරන්න.”—එෆී. 5:1.
ලිපියේ අරමුණ
යෙහෝවාගේ නිහතමානිකම ආදර්ශයට ගන්න පුළුවන් පැති හතරක් බලමු.
1. යෙහෝවාගේ නිහතමානිකම හරිම විශේෂයි කියන්නේ ඇයි?
අද ඉන්න පාලකයන් නිහතමානී අය කියලා කියන්න පුළුවන්ද? කොහොමටවත් බැහැ. ඒත් යෙහෝවා සියලු බලැති දෙවියන් වෙලත් ඔහු නිහතමානියි. (ගීතා. 113:5-8) යෙහෝවා වගේ නිහතමානී කෙනෙක් තවත් නැහැ. ඔහු ළඟ උඩඟුකම ගෑවිලාවත් නැහැ. දැන් අපි යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ තියෙන ලස්සන පැති හතරක් ගැන බලමු. ඒ හැම එකකින්ම ඔහුගේ නිහතමානිකම පේන්නේ කොහොමද කියලත් යේසුස් එයාගේ තාත්තා වගේ නිහතමානිකම පෙන්නුවේ කොහොමද කියලත් අපි බලමු. ඒ ගැන බලද්දී යෙහෝවාට තව ළං වෙන්නත් තව වැඩියෙන් ඔහුගේ නිහතමානිකම ආදර්ශයට ගන්නත් අපිට පුළුවන් වෙනවා.
යෙහෝවා ලේසියෙන් ළං වෙන්න පුළුවන් කෙනෙක්
2. ගීතාවලිය 62:8 යෙහෝවා ගැන අපිට කියන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
2 ආඩම්බර කෙනෙක් ළඟට ගිහින් කතා කරන එක ලේසි නැහැ. එයා හිතන්නේ එයා අනිත් අයට වඩා හැම දේම හොඳට කරනවා කියලා. ඒ නිසා එයා අනිත් අයව ගණන් ගන්නේ නැහැ. ඉතින් අනිත් අයත් ඒ වගේ කෙනෙක් ළඟට යන්න අදිමදි කරනවා. හැබැයි ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා ඊට වඩා වෙනස්. ඔහු නිහතමානී නිසා අපේ හිතට දැනෙන දේවල්, අපේ හිතට බරක් වෙන දේවල් ගැන ඔහුට කියන්න කියලා ඔහු අපිට ආදරෙන් කියනවා. (ගීතාවලිය 62:8 කියවන්න.) දරුවන් තමන්ට හැඟෙන විදිහ කියද්දී තාත්තා කෙනෙක් ආසාවෙන් අහන් ඉන්නවා වගේ යෙහෝවාත් ඔහුගේ සේවකයන්ගේ යාච්ඤා ආසාවෙන් අහනවා. යෙහෝවා ඔහුගේ සේවකයන් කරපු යාච්ඤා ගොඩක් බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. ඒකෙනුත් තේරෙනවා යෙහෝවා අපේ යාච්ඤා අහන්න කොයි තරම් කැමතිද කියලා. (යොෂු. 10:12-14; 1 සාමු. 1:10-18) හැබැයි අපිට හිතෙනවා නම් යෙහෝවාට යාච්ඤා කරන්න තරම්වත් අපි වටින්නේ නැහැ කියලා මොකද කරන්නේ?
පුතෙක් සෙල්ලම් කරන්න ගිහිල්ලා ගෙදර මල් වාස් එකක් කඩලා. එයා ඒ ගැන කියද්දී යෙහෝවාව ආදර්ශයට ගන්න තාත්තා, කේන්ති ගන්නේ නැතුව හරිම ඉවසීමෙන් අහන් ඉන්නවා (2 ඡේදය බලන්න)
3. අපි නිතරම යෙහෝවාට යාච්ඤා කරනවාට ඔහු කැමතියි කියලා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?
3 යෙහෝවාගේ ආදරේ ලබන්න තරම් අපි වටින්නේ නැහැ කියලා හිතුණත් අපිට දිගටම ඔහුට යාච්ඤා කරන්න පුළුවන්. එහෙම කියන්නේ ඇයි? යේසුස් අකීකරු පුතා ගැන කියපු කතාවේ යෙහෝවාව සමාන කළේ දයාවෙන් පිරුණු තාත්තාට. ආයේ පවුලට එකතු වෙන්න තරම් තමන් වටින්නේ නැහැ කියලා පුතා හිතුවත් එයා ගෙදර එද්දී තාත්තා මොකද කළේ? පුතා එනවා දුර තියා දැක්කාම ඒ තාත්තා “පුතා ගාවට දුවගෙන ගිහින් එයාව බදාගෙන ආදරෙන් ඉඹගත්තා.” (ලූක් 15:17-20) යෙහෝවාත් ඒ තාත්තා වගේ. කරපු වරදක් නිසා දුකෙන්, කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් යාච්ඤා කරපු ගමන්ම යෙහෝවා එයාට ඇහුම්කන් දෙනවා. (විලා. 3:19, 20) ඒ තාත්තා පුතා ළඟට දුවගෙන ගියා වගේ යෙහෝවාත් ඒ කෙනා ළඟට ගිහින් එයාව සනසනවා. එයාට ඔහුගේ ආදරේ දැනෙන්න සලස්වනවා. (යෙසා. 57:15) යෙහෝවා අද ‘අපි ගාවට දුවගෙන එන්නේ’ කොහොමද? ඔහු ඒක කරන්නේ වැඩිමහල්ලන්, යෙහෝවාට ආදරේ කරන පවුලේ අය, සභාවේ අය මාර්ගයෙන් අපිව සනසලයි. (යාකො. 5:14, 15) ඔහු එහෙම කරන්නේ අපි ඔහුට ළං වෙලා ඉන්නවා දකින්න ඔහු කැමති නිසයි.
4. බය නැතුව යේසුස් එක්ක කතා කරන්න මිනිස්සුන්ට පුළුවන් වුණේ ඇයි?
4 යේසුස් එයාගේ තාත්තාව ආදර්ශයට ගත්තා. යේසුත් එයාගේ තාත්තා වගේම නිහතමානියි. ඒ නිසයි මිනිස්සු කිසිම බයක් සැකක් නැතුව එයා ළඟට ආවේ. යේසුස්ගෙන් ප්‍රශ්න අහන්නත් එයාලා බය වුණේ නැහැ. (මාක් 4:10, 11) එයාලාගේ අදහස් ගැන අහද්දීත් එයාලා බය නැතුව හිතේ තියෙන හැම දේම යේසුස්ට කිව්වා. (මතෙ. 16:13-16) එයාලා අතින් වරදක් වුණාම යේසුස් කේන්ති ගනියි කියලා එයාලා බය වුණේ නැහැ. මොකද එයාලා දැනන් හිටියා යේසුස් දයාවන්ත, ආදරෙන් පිරුණ, ඉවසන කෙනෙක් කියලා. (මතෙ. 17:24-27) යේසුස් කොච්චර කිට්ටුවෙන් එයාගේ තාත්තාව ආදර්ශයට ගත්තාද කියනවා නම් එයා නිසා යෙහෝවාව තවත් හොඳට අඳුරගන්න ගෝලයන්ට පුළුවන් වුණා. (යොහ. 14:9) යේසුස් වැඩ කරපු විදිහෙන් එයාලා තේරුම්ගත්තා යෙහෝවා එදා හිටපු ආගමික නායකයන් වගේ නපුරු, උඩඟු, අනිත් අයව ගණන් ගන්නේ නැති කෙනෙක් නෙවෙයි කියලා. යෙහෝවා නිහතමානියි කියලත් ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඔහුට කතා කරන්න පුළුවන් කියලත් එයාලා තේරුම්ගත්තා.
5. අපි නිහතමානී වෙද්දී අනිත් අයට අපි ගාවට එන්න පහසු ඇයි?
5 යෙහෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අපි නිහතමානී නම් අපි ළඟට ඇවිල්ලා ඕන දෙයක් අපිත් එක්ක කතා කරන්න අනිත් අයට පහසුයි. අපි නිහතමානී නැත්නම් අපි අනිත් අයට ඊර්ෂ්‍යා කරයි. එයාලට වඩා අපි හොඳයි කියලා හිතයි. එයාලට සමාව දෙන්න අදිමදි කරයි. එතකොට අපිට ළං වෙන්න අනිත් අය කැමති වෙන්නේ නැහැ. හැබැයි අපි නිහතමානී නම් අපි අනිත් අයට ආදරෙන් සලකනවා. එයාලා ගැන ඉවසනවා. කැමැත්තෙන්ම සමාව දෙනවා. එහෙම කෙනෙක්ට ළං වෙන්න හැමෝම කැමතියි. (කොලො. 3:12-14) විශේෂයෙන්ම වැඩිමහල්ලන් අනිත් අයට ළං වෙන්න පුළුවන් අය වෙන්න ඕනේ. අනිත් අයට ලේසියෙන්ම එයාලා එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට එයාලා නිතරම සහෝදරයන් එක්ක කාලේ ගත කරන්න ඕනේ. එයාලා වීඩියෝ කොන්ෆරන්ස්වලින් ඉන්නවා වෙනුවට නමස්කාර මධ්‍යස්ථානයටම ගිහින් රැස්වීම්වලට හවුල් වෙන්න ලොකු උත්සාහයක් ගන්නවා. පුළුවන් හැම වෙලාවකම එයාලා සහෝදර සහෝදරියන් එක්ක ගෙයින් ගෙට සේවේ හවුල් වෙනවා. එහෙම කරද්දී වැඩිමහල්ලන්ව තව හොඳට අඳුරගන්න සභාවේ අයට පුළුවන්. එතකොට බයක් නැතුව ඕනම දෙයක් වැඩිමහල්ලන් එක්ක කතා කරන්න එයාලට පහසුයි.
යෙහෝවා සාධාරණයි
6-7. තමන්ගේ සේවකයන්ගේ ඉල්ලීම් අහලා යෙහෝවා ගත්ත තීරණ වෙනස් කරපු අවස්ථා කියන්න.
6 උඩඟු අය හැම වෙලේම තමන් හරියි කියලා හිතන නිසා අනිත් අයට ඇහුම්කන් දීලා වෙනස්කම් කරගන්න කැමති නැහැ. ඒත් යෙහෝවා එහෙම නැහැ. ඔහු හැම වෙලාවෙම හරිම දේ මොකක්ද කියලා දන්නවා වුණත් ඔහු නිහතමානී නිසා අනිත් අය කියන දේවල් අහලා, ගත්ත තීරණ වෙනස් කරනවා. මිරියම්ගේ සිද්ධිය ගැන හිතන්න. එයා ආරොන් එක්ක එකතු වෙලා මෝසෙස් ගැන වැරදි කිව්වා. මෝසෙස් යෙහෝවා පත් කරපු කෙනෙක්. වෙන විදිහකට කියනවා නම් මිරියම් කළේ යෙහෝවාට අගෞරව කරපු එකයි. ඒ නිසා යෙහෝවාට හුඟක් කේන්ති ගිහින් එයාට ලාදුරු රෝගයෙන් පහර දුන්නා. ඒත් මිරියම්ට උදව් කරන්න කියලා ආරොන් මෝසෙස්ට කිව්වාම මෝසෙස් ඒ ගැන යෙහෝවාට කන්නලව් කළා. උඩඟු කෙනෙක් නම් එයා ගත්ත තීරණේ වෙනස් කරන්නේ නැහැ. හැබැයි යෙහෝවා මෝසෙස් කියන දේ අහලා මිරියම්ව සුව කළා.—ගණන්. 12:1-15.
7 යෙහෝවාගේ නිහතමානිකම ඔහු හෙසකියා රජ එක්ක වැඩ කරපු විදිහෙනුත් පේනවා. යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘව යවලා හෙසකියාට කිව්වා එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ හෙසකියා අඬඅඬ යෙහෝවාගෙන් ඉල්ලුවා එයාව සුව කරන්න කියලා. යෙහෝවා එයාගේ ඉල්ලීම අහලා එයාට තව අවුරුදු 15ක් ජීවත් වෙන්න අවස්ථාව දුන්නා. (2 රාජා. 20:1, 5, 6) යෙහෝවා නිහතමානී නිසා මිනිස්සුන්ට අනුකම්පාව පෙන්නලා ඔහු ගත්ත තීරණ වුණත් වෙනස් කරන්න ලෑස්තියි.
8. යේසුස් සාධාරණ කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද? (මාක් 3:1-6)
8 යේසුස් එයාගේ තාත්තාව ආදර්ශයට ගත්තා. යේසුස් පොළොවේ ඉද්දී පුළුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කළා. උදාහරණෙකට සබත් දවසේදී සුව කරන එක වැරදියි කියලා ආගමික නායකයන් හිතුවත් යේසුස් මිනිස්සුන්ව සුව කළා. මොකද යේසුස් කියන්නේ හිතේ කිසි තෙතමනයක් නැති, දැඩි කෙනෙක් නෙවෙයි. (මාක් 3:1-6 කියවන්න.) යේසුස් අද ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්නන විදිහෙනුත් පේනවා එයා කොච්චර සාධාරණ කෙනෙක්ද කියලා. සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම යේසුස් එයාත් එක්ක ඉවසීමෙන් වැඩ කරනවා. ඒක හදාගන්න එයාට පුළුවන් තරම් උදව් කරනවා.—එළි. 2:2-5.
9. හිතන, වැඩ කරන විදිහෙන් අපි සාධාරණයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
9 යෙහෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? සාධාරණව හිතන්නේ, වැඩ කරන්නේ කොහොමද කියලා අපි යෙහෝවාගෙන් ඉගෙනගන්න ඕනේ. (යාකො. 3:17) උදාහරණෙකට සාධාරණව වැඩ කරන දෙමාපියන් කවදාවත් දරුවන්ගෙන් කරන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපිට උත්පත්ති 33:12-14 යාකොබ් වැඩ කරපු විදිහෙන් තේරුම්ගන්න පුළුවන්. නිහතමානී, සාධාරණ දෙමාපියන් කවදාවත් එක දරුවෙක්ව තව දරුවෙක් එක්ක සන්සන්දනය කරන්නෙත් නැහැ. වැඩිමහල්ලොත් එයාලා සාධාරණ අය කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි වැඩිමහල් මණ්ඩලේ ඉන්න වැඩිදෙනෙක් යම් තීරණේකට එකඟයි නම්, ඒකෙන් බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නෙත් නැත්නම් ඒකට එකඟ වෙන එක. (1 තිමෝ. 3:2, 3) කෙනෙක්ගේ අදහසකට අපි 100%ක් එකඟ නොවුණත් එයා ඒ විදිහට හිතන්නේ ඇයි කියලා තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. (රෝම 14:1) සභාවේ ඉන්න අපි හැමෝගෙම ඉලක්කය වෙන්න ඕනෙ ‘අපි අපේම මතයේ එල්ලිලා ඉන්න අය නෙමෙයි කියලා හැමෝටම දකින්න’ සලස්වන එක.—ෆිලි. 4:5.
තාත්තා ළමයි දෙන්නා එක්ක සේවේ හවුල් වෙද්දී ඒ දෙන්නා එකම විදිහට සේවේ කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ (9 ඡේදය බලන්න)
යෙහෝවා ඉවසනවා
10. යෙහෝවා ඉවසනවා කියලා පෙන්නලා තියෙන්නේ මොන විදිවලින්ද?
10 උඩඟු අය අනිත් අය වෙනුවෙන් ඉවසීමෙන් බලාගෙන ඉන්න කැමති නැහැ. හැබැයි යෙහෝවා තරම් ඉවසීමෙන් බලන් ඉන්න කෙනෙක් තවත් නැහැ. උදාහරණෙකට දුෂ්ට අයව විනාශ කරනවා කියලා යෙහෝවා නෝවාට කියලා අවුරුදු 120කට පස්සේ තමයි ඔහු ජලගැල්ම ගෙනාවේ. (උත්. 6:3) ඒ නිසා නෝවාට පුළුවන් වුණා දරුවන් බිහි කරලා, එයාලව උස් මහත් කරලා එයාලවත් හවුල් කරගෙන නැව හදන්න. පස්සේ කාලෙකදී ආබ්‍රහම් සොදොම් සහ ගොමෝරාවේ විනාශය ගැන යෙහෝවාගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහද්දී ඔහු ගොඩක් ඉවසීමෙන් එයාට ඇහුම්කන් දුන්නා. ආඩම්බර කෙනෙක් නම් අහයි “ඔයා කවුද මගෙන් ප්‍රශ්න අහන්න” කියලා. ඒත් යෙහෝවා නිහතමානී නිසා ඔහු ආබ්‍රහම් එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කළා.—උත්. 18:20-33.
11. 2 පේතෘස් 3:9 කියන විදිහට යෙහෝවා මේ කාලෙත් ඉවසන්නේ ඇයි?
11 යෙහෝවා අපේ කාලේදීත් ඉවසනවා. විනාශය ගේනවා කියලා ඔහු තීරණේ කරලා තියෙන දවස එන කල් ඔහු ඉවසීමෙන් බලන් ඉන්නවා. “මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.” (2 පේතෘස් 3:9 කියවන්න.) යෙහෝවා ඉවසන එකෙන් ප්‍රයෝජන තියෙනවාද? ඔව්. මේ වෙද්දීත් මිලියන ගාණක් ඔහුට ළං වෙලා තියෙනවා. තව මිලියන ගාණක් එහෙම කරයි කියලා අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි යෙහෝවා හැමදාටම ඉවසන්නේ නැහැ. ඔහු මිනිස්සුන්ට ආදරේ වුණත් එයාලා කැමති කැමති හැම දේම කරන්න ඔහු එයාලට ඉඩ දෙන්නේ නැහැ. ඒකයි ඔහු ළඟදීම දුෂ්ටකම්වලට තිත තියන්නේ.—හබ. 2:3.
12. යෙහෝවාගේ ඉවසීම යේසුස් ආදර්ශයට ගත්තේ කොහොමද?
12 යේසුස් එයාගේ තාත්තාව ආදර්ශයට ගත්තා. අවුරුදු දහස් ගාණක් තිස්සේ යේසුත් යෙහෝවා වගේ ඉවසනවා. සාතන් යෙහෝවාටයි, ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ටයි අපහාස කරද්දී යේසුස් ඉවසීමෙන් බලන් හිටියා. (උත්. 3:4, 5; යෝබ් 1:11; එළි. 12:10) මිනිස්සු දරුණු දේවලට මූණ දෙනවා, දුක් විඳිනවා යේසුස් දැක්කා. “යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්න” යේසුස්ට කොච්චර වුවමනාවක් ඇද්ද! (1 යොහ. 3:8) එහෙමනම් ඇයි යෙහෝවා කියන කල් යේසුස් ඉවසීමෙන් බලන් ඉන්නේ? ඒ, ඔහු නිහතමානී නිසයි. එයා දන්නවා අවසානය ගේන්න ඕනෙ කවද්ද කියලා තීරණේ කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවාට විතරයි කියලා.—ක්‍රියා 1:7.
13. යේසුස් එයාගේ ගෝලයන් එක්ක ඉවසීමෙන් වැඩ කළේ කොහොමද? ඒ ඇයි?
13 යේසුස් එයාගේ ගෝලයන් එක්කත් වැඩ කළේ හරිම ඉවසීමෙන්. උදාහරණෙකට තමන් අතර උසස්ම කෙනා කවුද කියලා ගෝලයෝ නිතර නිතර වාද කරද්දී යේසුස් හිතුවේ නැහැ ‘මෙයාලාගෙන් නං කිසිම වැඩක් නෑ. මෙයාලා කවදාවත් හැදෙන්නේ නෑ’ කියලා. ඒ වෙනුවට යේසුස් එයාලා එක්ක දිගටම ඉවසීමෙන් වැඩ කළා. (ලූක් 9:46; 22:24-27) කාලයත් එක්කම එයාලා වෙනස් වෙයි කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබ්බා. ඔයාගේ අතිනුත් එකම වැරැද්ද ආයේ ආයේ වෙලා තියෙනවාද? එහෙමනම් අපේ රජ නිහතමානී, ඔයා ගැන ගොඩක් ඉවසන කෙනෙක් කියලා දැනන් ඉන්න එක ඔයාට සහනයක් නෙවෙයිද?
14. තව ඉවසීමෙන් වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?
14 යෙහෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? තව වැඩියෙන් යෙහෝවා හිතන විදිහට, වැඩ කරන විදිහට හිතන්න, වැඩ කරන්න නම් අපි “ක්‍රිස්තුස් හිතන විදිහට” හිතන්න ඉගෙනගන්න ඕනේ. (1 කොරි. 2:16) ඒක අපිට කරන්න පුළුවන් කොහොමද? ඒකට අපි සුවිශේෂ පොත් හතර කියවන්න ඕනේ. ඒවා කියවද්දී යේසුස් කළේ මොනවාද, එයා එහෙම කළේ ඇයි කියලා හොඳට හිතන්න ඕනේ. යේසුස් වගේ හිතන්න උදව් කරන්න කියලා අපි යෙහෝවාගෙන් ඉල්ලන්නත් ඕනේ. අපි යේසුස් වගේ හිතන්න ඉගෙනගන්න තරමට අපිට පුළුවන් යෙහෝවා වගේ අපි එක්කත් අනිත් අය එක්කත් ඉවසීමෙන් වැඩ කරන්න.—මතෙ. 18:26-30, 35.
යෙහෝවා නිහතමානී අයට ගෞරව කරනවා
15. ගීතාවලිය 138:6 කියන දේ යෙහෝවා කරලා තියෙන්නේ කොහොමද?
15 ගීතාවලිය 138:6 කියවන්න. විශ්වයේ උසස්ම කෙනා වන යෙහෝවා නිහතමානී අය ගැන හිතනවා කියලා දැනන් ඉන්න එක කොච්චර සතුටක්ද! ඉතිහාසය පුරා මිනිස්සු එච්චර ගණන් ගත්තේ නැති හැබැයි යෙහෝවා ලොකු අවධානයක් දුන්න හුඟදෙනෙක් හිටියා. ඒ සමහර අය ගැන අපි ගොඩක් විස්තර දන්නේ නැහැ. ඒත් යෙහෝවා ඒ අය ගැන බයිබලේට ඇතුළත් කළා. උදාහරණෙකට සේවිකාවක් වුණ දෙබොරා ගැන හිතන්න. එයා අවුරුදු 125ක් විතර ඊසාක්ගේ සහ යාකොබ්ගේ පවුල්වල සේවිකාවක් විදිහට වැඩ කළා. ඒ විශ්වාසවන්ත කාන්තාව ගැන අපි ගොඩක් විස්තර දන්නේ නැති වුණාට යෙහෝවාට එයාව කොච්චර වටිනවාද කියන එක ගැන බයිබලේට ඇතුළත් කරන්න යෙහෝවා මෝසෙස්ට මඟ පෙන්නුවා. (උත්. 24:59; 35:8, පාදසටහන) ඊට සියවස් ගාණකට පස්සේ යෙහෝවා එඬේර කොල්ලෙක් වුණ දාවිත්ව ඊශ්‍රායෙල් ජාතියේම රජ විදිහට පත් කළා. (2 සාමු. 22:1, 36) යේසුස් ඉපදුණාම ඒ ගැන දැනුම් දෙන්න යෙහෝවා දේවදූතයන්ව යැව්වේ බෙත්ලෙහෙම අවට හිටපු එඬේරු ළඟට. කවුරුත් වැඩිය ගණන් ගන්නේ නැති ඒ එඬේරු තමයි මෙසියස් ඉපදුණා කියන ආරංචිය මුලින්ම දැනගත්තේ. ඒ විදිහට යෙහෝවා එයාලට ගෞරව කළා. (ලූක් 2:8-11) අලුත උපන් යේසුස්ව අරන් යෝසෙප් සහ මරියා දේවමාලිගාවට ආවාම මහලු සිමියොන්ටයි, ආනාටයි තමන්ගේ පුතාව බලන්න යෙහෝවා අවස්ථාව දුන්නා. ඒක එයාලට කොච්චර ගෞරවයක්ද! (ලූක් 2:25-30, 36-38) “යෙහෝවා කොයි තරම් උසස් වුණත් නිහතමානී අය ගැන ඔහු සැලකිලිමත්” කියලා ඒ උදාහරණවලින් පේනවා.
16. යෙහෝවා අනිත් අයට සලකපු විදිහ යේසුස් ආදර්ශයට ගත්තේ කොහොමද?
16 යේසුස් එයාගේ තාත්තාව ආදර්ශයට ගත්තා. යේසුත් එයාගේ තාත්තා වගේම අනිත් අය ඒ තරම් ගණන් ගන්නේ නැති අයට ගෞරවයෙන් සැලකුවා. “ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අයට” එයා දේවරාජ්‍යය ගැන සත්‍යය කියලා දුන්නා. (ක්‍රියා 4:13; මතෙ. 11:25) යේසුස් අසනීපෙන් හිටපු හුඟදෙනෙක්ව සුව කළා. එයා ඒක කළේ එයාලට ආදරෙයි, එයාලට ගෞරව කරනවා කියලා දැනෙන විදිහට. (ලූක් 5:13) යේසුස් මැරෙන්න කලින් රෑ එයාගේ ගෝලයන්ගේ කකුල් හේදුවා. ඒක සාමාන්‍යයෙන් ගෙදර ඉන්න සේවකයෙක් කරන වැඩක් නිසා යේසුස් එහෙම කරපු එකෙන් එයාලට ගෞරවය පෙන්නුවා. (යොහ. 13:5) යේසුස් ස්වර්ගයට යන්න කලින් එදා ඉඳන් අද වෙන කල් ඉන්න එයාගේ අනුගාමිකයන් හැමෝටම, කෙනෙක්ට කරන්න පුළුවන් වටිනාම පැවරුම භාර දුන්නා. ඒ තමයි මිනිස්සුන්ට සදාකාල ජීවිතේ ලබාගන්න උදව් කරන එක. ඒ වගේ පැවරුමක් අපිට දීලා යේසුස් අපිට කොච්චර ලොකු ගෞරවයක් දුන්නාද!—මතෙ. 28:19, 20.
17. අනිත් අයට ගෞරවයෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 යෙහෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? පසුබිම, හමේ පාට, අධ්‍යාපන මට්ටම මොකක් වුණත් ශුභාරංචිය ගැන අහන්න කැමති හැමෝටම පණිවිඩේ කියන එකෙන් අපි එයාලට ගෞරව කරනවා කියලා පෙන්නනවා. අපිට මොන දක්ෂතා තිබුණත් සභාවේ මොන වගකීම් තිබුණත් අපේ සහෝදරයන් අපිට වඩා වැදගත් කියලා හිතලා වැඩ කරන එකෙනුත් එයාලට ගෞරවය පෙන්නන්න අපිට පුළුවන්. (ෆිලි. 2:3) ඒ විදිවලින් සහ තවත් විදිවලින් අපි නිහතමානීව, ‘කැමැත්තෙන්ම ගෞරවය පෙන්නද්දී’ යෙහෝවා අපි ගැන සතුටු වෙනවා.—රෝම 12:10; ශෙප. 3:12.
හැම පසුබිමකම ඉන්න අයට ශුභාරංචිය ගැන කියලා අපි යෙහෝවාගේ නිහතමානිකම ආදර්ශයට ගන්නවා (17 ඡේදය බලන්න)a
18. යෙහෝවා වගේ නිහතමානී වෙන්න ඔයා කැමති ඇයි?
18 අපේ ආදරණීය තාත්තා වගේ නිහතමානී වෙන්න අපි මහන්සි වෙද්දී අපිට ළං වෙන්න අනිත් අයට තවත් ලේසියි. අපි තව සාධාරණ, ඉවසීමෙන් වැඩ කරන අයත් වෙයි. ඒ වගේම යෙහෝවා වගේ අනිත් අයට ගෞරව කරන්නත් අපිට පුළුවන් වෙයි. තව වැඩියෙන් යෙහෝවා වගේ නිහතමානී වෙන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරද්දී යෙහෝවා ඉස්සරහා අපි තවත් වටින අය වෙයි.—යෙසා. 43:4.
ගීතිකාව 159 යෙහෝවා, මේ ගීතේ ඔබටයි
a පින්තූරේ අදහස: හිරේ ඉන්න අයට බයිබලේ තියෙන දේවල් උගන්නලා සහෝදරියන් යෙහෝවාගේ නිහතමානිකම ආදර්ශයට ගන්නවා.