මරණය ගැන තියෙන බය නැති කරගන්නේ කොහොමද?
බයිබලයේ ඒ ගැන කියන දේ
අපි කවුරුත් මැරෙන්න ආස නැහැ. ඒ නිසා තමයි ජීවිතය රැකගන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්නේ. (1 කොරින්ති 15:26) ඒත් මිථ්‍යා විශ්වාස හා වැරදි ඉගැන්වීම් නිසා සමහර අය මරණය ගැන බොරු බයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒ අය “ජීවිත කාලය පුරාම වහලුන්” වෙලා. (හෙබ්‍රෙව් 2:15) හැබැයි මරණය ගැන සත්‍යය දැනගත්තම ජීවිතයේ සතුට නැති කරන ඒ බොරු බයෙන් නිදහස් වෙන්න පුළුවන්.—යොහන් 8:32.
මරණය ගැන සත්‍යය
මැරුණු කෙනෙක්ට කිසිම සිහිකල්පනාවක් නැහැ. (ගීතාවලිය 146:4) බයිබලයේ මරණය සමාන කරලා තියෙන්නේ තද නින්දකටයි. (ගීතාවලිය 13:3; යොහන් 11:11-14) තද නින්දක ඉද්දී මොකුත් දැනෙන්නේ නැහැ වගේ මැරුණාමත් මොකුත්ම දැනෙන්නේ නැහැ. ඒ නිසා මැරුණාට පස්සේ කොහේ හරි ගිහින් වධ වේදනා විඳින්න වෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ.
මැරුණ අයට බැහැ අපිට කරදර කරන්න. හතුරුකම් කරපු කෙනෙක්ට වුණත් මැරුණාට පස්සේ මොකුත් කරන්න පුළුවන්කමක් නැහැ. (හිතෝපදේශ 21:16) මැරුණ අයගේ “වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—දේශනාකාරයා 9:6.
කෙනෙක් මැරුණාම එයා සදහටම අපෙන් වෙන් වුණා කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.
කිසි කෙනෙක් මැරෙන්නේ නැති කාලයක් එනවා කියලා දෙවියන් කියලා තියෙනවා. (එළිදරව් 21:4) මැරෙයි කියන බය නැතුව ජීවත් වෙන්න ලැබෙන ඒ කාලය ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.