ජියෝර්ජි පෝචූල්යන් | ජීවිත කතාව
“මට රැකවරණයක් වුණේ යෙහෝවා දෙවියන්ගේ ආදරයයි!”
සයිබීරියාවේ මගදාන් කඳවුරට මාව යවද්දී මට අවුරුදු 23යි. එහේ මිනිස්සුන්ගෙන් මරව මරව වැඩ ගත්තා. එතකොට මං බව්තීස්ම වෙලා අවුරුද්දක් විතර ඇති. මං ඉස්සර හිතුමනාපෙට වැඩ කරන, පොඩ්ඩ බැරි වෙද්දී කේන්ති ගන්න කෙනෙක්. කොච්චරද කියනවා නං කඳවුරේදී මුලින්ම මං සාක්ෂි දරන්න ගිය වෙලාවේ ඒ කෙනාගෙන් ගුටි නොකා බේරිලා ආවේ අනූ නවයෙන්.
මං ඉස්සර කොමියුනිස්ට්වාදියෙක්. හැබැයි එහෙම හිටපු මං ඒ කාලේ හැමෝම පිළිලයක් විදිහට සලකපු ආගමකට ගියේ කොහොමද? කඳවුරේ හිටපු කාලෙදියි මාව පිටුවහල් කරපු කාලෙදියි යෙහෝවාගේ ආදරේ, ඔහු මට දීපු පුහුණුව මගේ ජීවිතේ වෙනස් කළේ කොහොමද? මේක තමයි මගේ ජීවිත කතාව.
යුක්තිය සහ හිතේ සාමය සොයා ගිය ගමන!
මං ඉපදුණේ 1930දී ටබෑනිවල. ඒක මෝල්දාවියාවේ උතුරට වෙන්න තිබ්බ පිටිසර ගමක්. අපේ අම්මලා වැඩ කළේ ගොවිපොළක. අපි හරි දුප්පත්. ඉතින් දරුවෝ හයදෙනාවම බලාගන්න එයාලා දහ දුක් වින්ඳා. මගේ අම්මා ඇදහැව්වේ රුසියානු ඕතඩොක්ස් ආගම. හැබැයි තාත්තා කතෝලික. මට මතකයි පූජකයන්ගේ වැරදි කියලා අම්මායි, තාත්තායි අනන්තවත් රණ්ඩු කරගන්නවා.
ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ මං කොම්සොමෝල් කියන කොමියුනිස්ට් යෞවන සමාජයකට බැඳුණා. එතකොට මට අවුරුදු 18යි. ඒකෙන් කළේ තරුණ අයගේ ඔළුවලට කොමියුනිස්ට්වාදී අදහස් දාන එක. වැඩි කාලයක් යන්න කලින් අපේ ගමේ තිබ්බ යෞවන සමාජයේ ලේකම් විදිහට එයාලා මාව පත් කළා. එයාලා හැම වෙලේම කිව්වේ “අපි හැමෝම සහෝදර සහෝදරියෝ, හැමෝටම එක වගේ දේවල් ලැබෙන්න ඕනේ. කාටවත් අසාධාරණයක් වෙන්න බෑ” කියලා. ඒ නිසා තමයි මං හරි ආසාවෙන් ඒකට බැඳුණේ. හැබැයි කාලයක් යද්දී තමයි මට තේරුණේ එයාලගෙත් බොරු කයිවාරුව විතරයි කියලා. එතනත් වෙන්නේ අයුක්තිය, අසාධාරණය. ඒ නිසා මං ගොඩක් කලකිරුණා.
ඒ කාලේ සෝවියට් සංගමයෙන්a පල්ලි වහලා දැම්මා, ආගමික කණ්ඩායම් විසුරුවාහැරියා. හැබැයි කොම්සොමෝල් තරුණ සමාජයේ බැහැලා වැඩ කරපු කෙනෙක් විදිහට මටත් සිද්ධ වුණා අකමැත්තෙන් වුණත් ඒ වැඩවලට හවුල් වෙන්න. අපේ ගමේ සාක්ෂිකරුවන් කීපදෙනෙක්ම හිටියා. එයාලා හරිම අවංක, කාටවත් කරදරයක් නැති මිනිස්සු කියලා මං දැනන් හිටියා. හැබැයි මං එයාලව සැලකුවේ අන්තවාදීන් විදිහට. ඒත් ඉතින් කවුද හිතුවේ අන්තවාදීන් කියලා හිතපු එයාලගෙන්ම මගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙයි කියලා.
මගේ මහප්පා හිටියෙත් අපේ ගමේමයි. එයාගේ නම දිමිත්‍රි. එයා සාක්ෂිකරුවෙක්. දවසක් එයා මගෙන් ඇහුවා “පුතේ, ඕකද ඔයා බලාපොරොත්තු වුණ ජීවිතේ” කියලා. ඒ 1952දී. මහප්පා එහෙම ඇහුවාම මං උඩ ගියා. මොකද කවුරුත් මීට කලින් මං ගැන හිතලා ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් අහලා තිබ්බේ නෑ. ඇත්තම කිව්වොත් උත්තර නැති දහසකුත් ප්‍රශ්න මගේ හිතේ හිර වෙලා තිබුණා. උදාහරණෙකට මං ඉස්සර හැම තිස්සෙම කල්පනා කරනවා දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ කියලා. ඉතින් ඊළඟ දවස් අටේදී මහප්පා මට තිබ්බ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන්ම පෙන්නුවා. සමහර දවස්වල පාන්දර දෙක, තුන විතර වෙන කල් අපි බයිබලේ ගැන සාකච්ඡා කළා.
සමහර දවස්වලට ජියෝර්ජියි, දිමිත්‍රියි රෑ එළි වෙන කල්ම බයිබලේ ගැන සාකච්ඡා කළා
ඒ සාකච්ඡාවලින් පස්සේ මං තීරණය කළා මං බයිබලේ ඉගෙනගන්න ඕනෙ කියලා. ඉගෙනගද්දී තමයි මට තේරුණේ මට ගොඩක් ආදරේ කරන තාත්තා කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා කියලා. (ගීතාවලිය 27:10) ඒ වෙද්දී මට බයිබලේ ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. හැබැයි කෙළින් තීරණයක් ගන්න තරම් ආදරයක් මගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ඇති වෙලයි තිබුණේ. ඒ නිසා අපේ යෞවන සමාජයේ සභාපතිගෙන් කොච්චර තර්ජන ආවත් මං ඒකෙන් අයින් වෙන්න තීරණය කළා. කොහොමහරි බයිබලය ඉගෙනගන්න අරන් මාස හතරකට පස්සේ, ඒ කියන්නේ 1952 සැප්තැම්බර්වල මං ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වුණා.
යෙහෝවා දෙවියන් ගැන මගේ හිතේ තිබ්බ ආදරේ සෝදිසියට ලක් වුණා
ඒ කාලේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලයි තිබුණේ. ඒත් මට ඕනෙ වුණේ යෙහෝවා වෙනුවෙන් මොනවා හරි කරලා මගේ හිතේ තියෙන ආදරේ ඔහුට පෙන්නන්න. ඒ නිසා ළඟ ගම්මානවල හිටපු සහෝදර සහෝදරියන්ට අපේ පොත් පත් හොරෙන් බෙදලා දෙන්න මං ඉදිරිපත් වුණා. ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි. මොකද ගමේ මිනිස්සු කොයි වෙලෙත් පිටගම්කාරයෝ ගැන ඇහැගහගෙනයි හිටියේ. එයාලට පොඩි හරි ඉවක් දැනුණොත් එයාලා කෙළින්ම ගිහින් ඒ ගැන බලධාරීන්ට කිව්වා. ඒ කාලේ සමහර සහෝදරයොත් මං දිහා බැලුවේ සැකෙන්. මොකද එයාලා හිතුවේ මං බොරුවට සාක්ෂිකාරයෙක් විදිහට රඟපාලා සාක්ෂිකරුවන්ගේ විස්තර බලධාරීන්ට ගිහින් කියනවා කියලා. හැබැයි මං ඔත්තුකාරයෙක් නෙවෙයි කියලා තේරුම්ගන්න එයාලට වැඩි කල් ගියේ නෑ. මොකද බව්තීස්ම වෙලා මාස දෙකකට පස්සේ තහනම් කරපු පොත් පත් බෙදලා දුන්නා කියලා නිලධාරීන් මාව අත්අඩංගුවට ගත්තා.
මාව අවුරුද්දක් විතර නඩු විභාගයක්වත් කරන්නේ නැතුව රඳවලා තියාගත්තා. ඒ කාලේ අතරතුර නිලධාරීන් මගෙන් ගොඩක් ප්‍රශ්න කළා. එයාලට ඕනෙ වුණේ කොහොමහරි මගේ විශ්වාසේ බිඳින්න. හැබැයි ඒ මොන දේ කළත් ඒ කිසිම දේකට මගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ආදරේ හොල්ලන්න බැරි වුණා. ඊටපස්සේ යුක්රේනයේ ඔඩෙසාවල මගේ නඩුව විභාග කළා. නිලධාරීන් ඒකට මගේ පවුලේ අයවත් කැඳෙව්වා. ඒ කාලේ මගේ පවුලේ කිසිම කෙනෙක් සත්‍යයේ හිටියේ නෑ.
නිලධාරීන් අපේ අම්මලාට කිව්වේ හරිම භයානක නිකායකින් මාව රවට්ටලා එයාලගේ සාමාජිකයෙක් කරගෙන තියෙනවා කියලා. ඒ විදිහට තමයි ඒ නිලධාරීන් මාව නඩුවට ඉදිරිපත් කළේ. එයාලා මගේ පවුලේ අයට කිව්වා මගේ සිහිවිකල් වෙලා කියලා. අපේ අම්මලාත් ඒක විශ්වාස කළා. ඒ නිසා අම්මලා ගොඩක් බය වුණා. ඔය ආගම අත්හැරලා එන්න කියලා අම්මලා මට අඬඅඬ කිව්වා. හැබැයි මං නෙමෙයි පොඩ්ඩක්වත් කලබල වුණේ. මං අම්මාට කිව්වා “අම්මේ, බය වෙන්න එපා. මං හොඳ සිහියෙන් තමයි ඉන්නේ. මෙච්චර කල් මං හොය හොය හිටපු දේ දැන් තමයි මට හම්බුණේ. ඒ නිසා මං ඒක කීයටවත් අත්හරින්නේ නෑ.” (හිතෝපදේශ 23:23) මං බයිබලේ ගැන ගොඩක් දේවල් දැනන් හිටියේ නෑ. හැබැයි යෙහෝවාව අත්හරින්නේ නැතුව ඉන්න ඒ දන්න ටික හොඳටම ඇති වුණා. ඔහොම ටික කාලයක් යද්දී අම්මලාටත් මගේ විශ්වාසයන් ගැන පැහැදීමක් ඇති වෙලා අවුරුදු හයකට විතර පස්සේ එයාලත් සාක්ෂිකරුවන් වුණා.
ජියෝර්ජිගේ දෙමාපියන් ඉස්සරහම එයා භයානක කල්ලියකට බැඳුණා කියලා උසාවියෙන් එයාට චෝදනා කළා
මට අවුරුදු 15කට බරපතළ වැඩ සහිත හිරදඬුවමක් නියම කළා. එයාලා මාව සයිබීරියාවේ කොලිමාවලට කෝච්චියෙන් යැව්වා. කොලිමා කියන්නේ ගොඩක් හිරකඳවුරු තිබුණ පැත්තක්. හිරකරුවන්ව මෙල්ල කරලා තියාගන්න ඕනෙ නිසා නිලධාරීන් එයාලට ගොඩක් ගැහුවා, හරියට කන්න දුන්නෙත් නැහැ. ඒක ඇතුළෙම මගේ ජීවිතේ නැති වෙලා යයිද කියලා මං හිටියේ බයෙන්.
දෙවියන්ගේ ආදරේ සහ පුහුණුව අඩුවක් නැතුව ලැබුණා
කඳවුරට ගියාට පස්සේ තමයි මං දැනගත්තේ එහේ සාක්ෂිකරුවෝ 34දෙනෙක් ඉන්නවා කියලා. එයාලගෙන් කීපදෙනෙක් කාටත් නොදැනෙන්න ඇවිල්ලා මගෙන් ඇහුවා “ඔයාගේ කණ්ඩායමේ යෝනාදාබ්ලා ඉන්නවාද” කියලා. යෝනාදාබ් කියන්නේ එයාලගේ රහස් වචනයක්. එහෙම අහපු ගමන්ම මං දැනගත්තා එයාලා මගේ සහෝදරයෝ කියලා. එයාලා ගොඩක් අද්දැකීම් තිබුණ අය. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන විදිහ, දෙවියන් කැමති ගුණාංග ඇති කරගන්න විදිහ කඳවුරේ හිටපු කාලේ එයාලා මට ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි සිහිබුද්ධියෙන් වැඩ කරන්නේ කොහොමද කියලත් එයාලා මට කියලා දුන්නා.
මං කඳවුරේදී මෙකැනික් කෙනෙක් විදිහටත් වැඩ කළා. මාත් එක්ක වැඩ කරපු කෙනෙක් හිටියා මාට්ෆි කියලා. දවසක් එයා සාන්තුවරුන්ගේ නම් 50ක් විතර දන්නවා කියලා හරි උජාරුවෙන් කියවන්න ගත්තා. මාත් ඉතින් කට පියාගෙන හිටියේ නෑ. සාන්තුවරුන්ට අපහාස වෙන විදිහට මාත් එහා පැත්තට කියලා දැම්මා. අන්තිමට එයාට හොඳටම තරහ ගිහින් මට ගහන්න ආවා. මං දුවපු නිසා තමයි බේරුණේ. පස්සේ මං දැක්කා සහෝදරයෝ මට හිනා වෙනවා. ඒ වෙලාවේ මට ටිකක් දුක හිතුණා. මං එයාලගෙන් ඇහුවා “ඇයි ඕගොල්ලෝ මට හිනා වෙන්නේ? මට ඕනෙ වුණේ එයාට දේශනා කරන්න” කියලා. එයාලා හරිම කාරුණිකව මට කියලා දුන්නා අපිට ඕනෙ බයිබලේ තියෙන පණිවිඩේ එයාලට කියන්න මිසක් එයාලව අවුස්සලා තරහ ගස්සන්න නෙවෙයි කියලා. (1 පේතෘස් 3:15) මාට්ෆි කියන්නේ සෝවියට් රජයට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. සාක්ෂිකරුවෝ බලධාරීන්ට යටත් වෙන විදිහ, එයාලට ගෞරව කරන විදිහ දැක්කාම සාක්ෂිකරුවන් ගැන මාට්ෆිගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ නිසා එයා බයිබලේ තියෙන පණිවිඩේ අහන්නත් ආස වුණා. දවසක් රෑ කඳවුරේ තිබුණ සීතල වතුර පිරුණු බැරල් එකක එයා බව්තීස්ම වුණ විදිහ මට අද වගේ මතකයි.
කඳවුරට ආපු මුල් කාලේ මටයි තව තරුණ සහෝදරයෝ දෙන්නෙක්ටයි දේශපාලනේ ගැන උගන්වන පන්තියකට සහභාගි වෙන්න කියලා නිලධාරීන් කිව්වා. අපි ඒකට යන්න කැමති වුණේ නැහැ. මොකද අපි හිතුවේ ඒ වගේ පන්තියකට යන එකත් හරියට දේශපාලනේට හවුල් වෙන වැඩක් කියලා. (යොහන් 17:16) අපි ඒ පන්තියට ගියේ නැති නිසා දඬුවමක් විදිහට එයාලා අපිව අඳුරු හිර කුටියක සති දෙකක් හිර කරලා තිබ්බා. එතනින් නිදහස් වුණාට පස්සේ අපි ගැන සැලකිලිමත් සහෝදරයෝ අපිට හරිම ආදරෙන් පෙන්නලා දුන්නා ඒ වගේ පන්තියකට ගියා කියලා අපි දේශපාලනයට සම්බන්ධ වෙනවාමයි කියලා කියන්න බැහැ කියලා. ඒ වෙනුවට ඒක සාක්ෂි දරන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලත් එයාලා අපිට මතක් කළා. ඔන්න ඔය විදිහට ඥානවන්තව, සාධාරණ විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා එයාලා අපිට කියලා දුන්නා.
සහෝදරයෝ මාව පුහුණු කරපු විදිහ නිසා යෙහෝවා දෙවියන් මං ගැන කොච්චර සැලකිලිමත්ද කියලා මට දැනුණා. ඒක තේරුම්ගන්න මං දවසක් වුණ සිද්ධියක් ඔයාලට කියන්නම්. අපේ කඳවුරේ එක පූජකයෙක් හිටියා. එයා තමයි කඳවුරේ සිද්ධ වුණ ගනු දෙනු, ගිණුම් වාර්තා බලාගත්තේ. මං එයා ළඟින් යන හැම වෙලාවෙම එයා මට කියනවා “ඔන්න, යකාගේ පුතා එනවා” කියලා. මාත් එක්ක හිටපු තව හිරකාරයෙක් මට කිව්වා “ඔයා සද්ද නොකර ඉන්න එපා. එයා එහෙම කියද්දී ‘ආ, තාත්තේ කොහොමද ඉතිං?’ කියලා එයාට කියන්න” කියලා. මාත් ඉතින් මෝඩයා වගේ එයා කියපු දේ අහලා අර පූජකයාට එහෙම කිව්වා. ඊටපස්සේ වුණ දේ ඉතින් හිතාගන්න පුළුවන්නේ. මං මදි නොකියන්න එදා ගුටි කෑවා. වෙච්ච සිද්ධිය සහෝදරයෝ දැනගත්තාම එයාලා මට තේරුම් කරලා දුන්නා මං වැඩ කරපු විදිහ එච්චර හොඳ නැහැ කියලා. (හිතෝපදේශ 29:11) අන්තිමේදී මං ගිහින් ඒ පූජකයාගෙන් සමාව ඉල්ලුවා.
කඳවුරට එන්න කලින් නං අපි රැස්වීම් තිබ්බේ මහ රෑ ජාමේ නැත්තම් පාන්දර කාටවත් පේන්නේ නැති විදිහට. හැබැයි ඉතින් කඳවුරට ආවට පස්සේ කොහේ කියලා හැංගෙන්නද? ඒ නිසා අපි නිලධාරීන් ඉන්න තැනම, එළිපිටම රවුමක් හැදිලා රැස්වීම් පැවැත්තුවා. අපි මතකයේ තිබ්බ බයිබල් පද පුංචි පුංචි කොළ කෑලිවල ලියාගෙන ගිහින් ඒවා තමයි සාකච්ඡා කළේ. අපිට ඕනෙ වුණේ පුළුවන් තරම් බයිබල් පද මතක් කරගෙන ඒවා ගැන හිතන්න. අපි රැස්වීම් පවත්වද්දී නිකන් හරි නිලධාරියෙක් එතනට ආවොත් අපි ටක් ගාලා අර කොළ කෑලි ටික ගිලිනවා.
කඳවුරේදී හොර රහසේ කරන්න බැරි නිසා සාක්ෂිකරුවන් නිලධාරීන් ඉස්සරහම බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කළා
පිටුවහල් කළත් දෙවියන්ගේ ආදරයෙන් ඈත් කරන්න බැරි වුණා
1960 මුල් ගණන්වල ජියෝර්ජිව කඳවුරෙන් නිදහස් කළාට පස්සේ
1959දී කඳවුරෙන් නිදහස ලැබුණට පස්සේ මාව කසක්ස්තානයේ කරගන්ඩාවලට පිටුවහල් කරන්න තීන්දුවක් ලැබුණා. ඒ අතරමැද කාලේදී මම බලධාරීන්ගෙන් දවස 20ක නිවාඩුවක් ගත්තා විවාහ වෙන්න ඕනේ නිසා. මං දන්න එක සහෝදරියක් හිටියා රුසියාවේ ටොම්ස්ක්වල. එයාගේ නම මරියා. එයා හරිම ලස්සන, දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. මං සාමාන්‍යයෙන් වහෙන් ඔරෝ කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අනං මනං නැතුව කෙළින්ම මං එයා ගාවට ගිහිල්ලා කිව්වා “මරියා, මට මේ ආදරේ කරකර ඉන්න කාලයක් නෑ. මාව කසාද බඳින්න” කියලා. එයා කැමති වුණා. ඉතින් අපි හරිම පොඩියට විවාහ උත්සවය ගත්තා. මං විරුද්ධවාදිකම් මැද විශ්වාසවන්තව හිටපු විදිහ මරියා ගොඩක් අගය කළා. එයාට ඕනෙ වුණේ දිගටම යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න මට හයියක් වෙන්න.—හිතෝපදේශ 19:14.
1960 ගණන් වෙද්දී අපිට ප්‍රසිද්ධියේ ගෙයින් ගෙට ගිහිල්ලා සේවේ කරන්න අවසර තිබුණේ නෑ. ඒ නිසා අපිට හම්බ වෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයට අරන් අපි අවිධිමත්ව සාක්ෂි දැරුවා. කවුරු හරි කෙනෙක් අපිව ගෙදරකට ආරාධනා කළාම, නිවාඩුවකට ගියාම අපි ඒ අවස්ථාවලත් එයාලට සාක්ෂි දැරුවා. තව දවස්වල සාක්ෂි දරන්න අපි අවස්ථාවන් හෙව්වා. උදාහරණෙකට කවුරු හරි කෙනෙක් ගෙයක් විකුණනවා කියලා දැන්වීමක් දාලා තියෙනවා නම් අපි ඒ අයිතිකාරයාව හම්බ වෙලා ගේ බලන ගමන් එයාට හෙමීට සාක්ෂි දරන්න උත්සාහ කරනවා. ඔය විදිහට සාක්ෂි දරලා හුඟදෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න අපිට පුළුවන් වුණා. එයාලගෙන් හයදෙනෙක් අන්තිමේදී දෙවියන්ට කැප වෙලා බව්තීස්මත් වුණා.
සමහර වෙලාවට ඡන්ද කාලේ සාක්ෂි දරන්න අපිට හොඳ අවස්ථා උදා වුණා. දවසක් අපේ වැඩපොළට රහස් පොලීසියේ නිලධාරීන් කීපදෙනෙක් ආවා. මං වැඩ කරන තැන තව සහෝදරයෝ කීපදෙනෙකුත් වැඩ කළා. ඉතින් නිලධාරීන් සේවකයන් 1,000ක් විතර ඉස්සරහා අපෙන් ඇහුවා ඇයි සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ වැඩපොළේ ප්‍රධාන ඉංජිනේරු මහත්තයායි තව සේවකයෝ කීපදෙනෙකුයි අපි වෙනුවෙන් කතා කළා. එයාලා කිව්වා අපි කඩිසරව, වගකීමෙන් වැඩ කරන, අවංක කට්ටියක් කියලා. ඒක ඇහුවාම අපිටත් පුදුම ශක්තියක් ආවා බය නැතුව අපේ විශ්වාසයන් ගැන ඒගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් අපි අපේ මතකයේ ලියවිලා තිබුණු බයිබල් පද පාවිච්චි කරලා එයාලට සාක්ෂි දැරුවා. කොහොමහරි එදා බය නැතුව සාක්ෂි දරපු නිසා වැඩපොළේ හිටපු හතරදෙනෙක් බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා. එයාලා අවුරුද්දක් යන්නත් කලින් බව්තීස්ම වුණා.
1970 මුල් ගණන්වල කසක්ස්තානයේ හිටිය හුඟදෙනෙක් සාක්ෂිකරුවන් වුණා. ඒ නිසා මුල්ම වතාවට සමුළුවක් පවත්වන්න අපි තීරණය කළා. ඒත් නිලධාරීන්ගේ ඇස් වහලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? ඒ කාලේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු සාක්ෂිකරුවන් දෙන්නෙක් හිටියා. ඉතින් ඒ විවාහයයි සමුළුවයි දෙකම එකට පවත්වන්න අපි සැලසුම් කළා. අල්මාටි නගරයට කිට්ටුව තිබුණ පුංචි ගමක තමයි අපි මේක තිබ්බේ. සමුළුවටයි විවාහයටයි අමුත්තන් 300කටත් වඩා වැඩියෙන් ඇවිල්ලා හිටියා. මගේ නෝනායි තව සහෝදරියන් කීපදෙනෙකුයි එකතු වෙලා තමයි ශාලාව සරසන එකයි කෑම වේල ලෑස්ති කරන එකයි බලාගත්තේ. එදා කථිකයෝ දොළොස්දෙනෙක් විතර බයිබලය මත පදනම් දේශන ඉදිරිපත් කළා. ඒ දේශනා අහලා හැමෝම සතුටු වුණා. එදා තමයි මුල්ම වතාවට එච්චර ලොකු සෙනඟක් ඉස්සරහා මං දේශනයක් දුන්නේ.
අභියෝග මැද මට රැකවරණයක් වුණේ දෙවියන්ගේ ආදරයයි
ජියෝර්ජියි, මරියායි එයාලගේ දුව ලුඩ්මිලා එක්ක
මගේ ආදරණීය බිරිඳ මරියා හරිම විශ්වාසවන්ත කෙනෙක්. එයා මගේ ජීවිතේට ලොකු ශක්තියක් වුණා. එයා හරිම කාරුණික, ඉවසීමෙන් වැඩ කරපු, මට ගොඩක් සහයෝගය දුන්න කෙනෙක්. හැම වෙලේම දෙවියන්ට මුල් තැන දුන්නා. ඒ වගේම මගේ මරියා ඇඟේපතේ හයිය තිබුණ, හරිම නිරෝගී ගැහැනියක්. හැබැයි හීනෙකින්වත් හිතපු නැති විදිහට එයාට ඔස්ටියෝපොරෝසිස් රෝගය හැදිලා අවුරුදු 16ක් තිස්සේ එයා එක්තැන් වුණා. 2014දී එයා මැරෙන කල්ම එයාව ආදරෙන් බලාගන්න මට උදව් කළේ අපේ දුව ලුඩ්මිලා.
මගේ ආදරණීය මරියා මොහොතක් මොහොතක් පාසා දුක් විඳිද්දී මට කරන්න පුළුවන් වුණේ බලාගෙන ඉන්න එක විතරයි. මට ලොකු අසරණකමක් දැනුණා. ඒත් එයා මැරෙන දවස වෙන කල්ම අපි දෙන්නා එකට එකතු වෙලා බයිබලේ කියෙව්වා. දිරිගැන්වෙන ලිපි කියෙව්වා. අපි හැම තිස්සෙම පාරාදීසේ ගැන කතා කළා. මරියා දුක් විඳින එක බලන් ඉන්න කොච්චර අමාරු වුණාද කියනවා නම් මං එයා ළඟින් ඉඳගෙන අඬපු වාර ගාණ අනන්තයි. හැබැයි බයිබලෙන් දෙවියන් දීලා තියෙන පොරොන්දු කියවන හැම වතාවකම දුක දරාගෙන එන ඕනම දෙයකට මුහුණ දෙන්න අපිට ලොකු ශක්තියක් ලැබුණා.—ගීතාවලිය 37:18; 41:3.
ජියෝර්ජි සහ ලුඩ්මිලා
යෙහෝවාගේ ආදරේ මගේ හදවතට දැනුණ පළවෙනි දවසේ ඉඳන් ඔහු මට උදව් කරපු විදිහ, මාව බලාගත්ත විදිහ මගේ ජීවිතේ හැම මොහොතකම මං අද්දැක්කා. (ගීතාවලිය 34:19) අද්දැකීම් අඩු තරුණයෙක් විදිහට මං ජීවිතේ වරද්දගත්ත තැන් ගොඩක් තිබුණා. ඒ හැම වෙලාවකදීම සහෝදරයෝ ඉවසීමෙන් මාව නිවැරදි කරද්දී යෙහෝවාගේ ආදරය මට දැනුණා. කඳවුරේ ඉන්න කාලෙදී, මාව පිටුවහල් කරපු කාලෙදී යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් වැටෙන්නේ නැතුව ඉන්න මට අත දුන්නා. මරියා අවසාන හුස්ම පොද හෙළන කල්ම එයාව ආදරෙන් රැකබලා ගන්න ඕනෙ කරන ශක්තිය ඔහු මට දුන්නා. මගේ ජීවිතේ ආපසු හැරිලා බලද්දී බය නැතුව කියන්න පුළුවන් මට රැකවරණයක් වුණේ යෙහෝවා දෙවියන් පෙන්නපු ඒ ආදරයයි කියලා.
a 1991 වෙන කල්ම කසක්ස්තානය, මෝල්දාවියාව සහ යුක්රේනය අයිති වුණේ සෝවියට් සංගමයට.