ටපානි විටාලා | ජීවිත කතාව
බිහිරි අයට උදව් කරන්න මට තිබුණේ දැවෙන ආසාවක්!
මුලින්ම මට සාක්ෂිකරුවන්ව හම්බ වුණ වෙලාවේ එයාලා මට පෙන්නුවා “බිහිරි අයගේ කන් ඇරෙන්නේය” කියලා බයිබලේ තියෙන පොරොන්දුව. (යෙසායා 35:5) මං උපතින්ම බිහිරි කෙනෙක්. ඉතිං මට කවදාවත් සද්ද ඇහිලා නැති නිසා ඒක කොයි වගේ වෙයිද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ නිසා එයාලා කියපු දේ මගේ හිතට එච්චර වැදුණේ නෑ. හැබැයි පස්සේ එයාලා මට පෙන්නුවා දෙවියන්ගේ රාජ්‍යයෙන් අසාධාරණකම්, යුද්ධ, අසනීප, කොටින්ම කිව්වොත් මරණය පවා නැති කරනවා කියලා. අන්න ඒකට නං මගේ හිත ගියා. කාලයත් එක්කම ඔය පණිවිඩේ අනිත් බිහිරි අයටත් කියන්න මගේ හිතේ ඇති වුණේ දැවෙන ආසාවක්!
මං ඉපදුණේ 1941දී ෆින්ලන්තයේ විරාත්වල. මගේ අම්මාටයි, තාත්තාටයි, නංගිටයි, මල්ලිටයිත් කතා කරන්න බෑ. මගේ නෑයෝ හුඟදෙනෙක්ටත් එහෙමයි. ඉතිං අපි කතා කළේ සංඥා භාෂාවෙන්.
බයිබලෙන් ගොඩක් වටින දේවල් දැනගත්තා
මං ගිය බෝඩිං ඉස්කෝලේ තිබ්බේ ගෙදර ඉඳන් කිලෝමීටර් 240ක් (හැතැප්ම 150ක්) විතර ඈතින්. එහේ කිසිම කෙනෙක්ට සංඥා භාෂාවෙන් කතා කරන්න තහනම්. මොකද ඒ ගුරුවරු කිව්වේ සාමාන්‍ය අය වගේ කට ඇරලා කතා කරන්න ඉගෙනගන්න කියලා. ඒ වගේම කෙනෙක් කතා කරද්දී තොල් දිහා බලන් ඉඳලා ඒක තේරුම්ගන්න කියලයි අපිට කිව්වේ. ඔන්න ඔය ක්‍රමේ තමයි ඒ කාලේ ෆින්ලන්තයේ බිහිරි ඉස්කෝලවල තිබ්බේ. බැරි වෙලාවත් ටීචර්ලා දැක්කොත් අපි සංඥා භාෂාවෙන් කතා කරනවා, අපි ඉවරයි. එයාලා තඩි රූලක් හරි කෝට්ටක් හරි අරන් අපේ අත්වලට හොඳටම තඩි බෑවා. සමහර වෙලාවට දවස් ගාණක් යන කල් ඇඟිලි ඉදිමිලා.
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මං කෘෂිකර්මය ගැන පාඨමාලාවක් හැදෑරුවා. මොකද අපිට ගොවිපොළක් තිබ්බා. ඉතිං කවදා හරි අම්මායි, තාත්තායි නැති දවසක මං එපෑනේ ඒක බලාගන්න. පාඨමාලාවෙන් පස්සේ ගෙදර එද්දී මං දැක්කා මේසේ උඩ ‘මුරටැඹ’ ‘පිබිදෙව්!’ සඟරා තියෙනවා. තාත්තා කිව්වා බයිබලේ තියෙන ලස්සන දේවල් ගැන ඒ සඟරාවල තියෙනවා කියලා. කොහොමහරි මං හිටපු නැති දවස් ටිකේ දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් බයිබලේ තියෙන දේවල් ගැන අම්මාටයි, තාත්තාටයි කියලා දීලා තියෙනවා. අපේ අම්මලාට කතා කරන්න බෑනේ. ඉතිං ඒ දෙන්නා පණිවිඩේ කියලා තියෙන්නේ කොළවල ලියලා.
තාත්තා මට කිව්වා දෙවියන්ගේ රාජ්‍යය ආවාම මේ පොළොව පාරාදීසයක් වගේ වෙනවා කියලා. එතකොට මැරුණු අයත් නැවත නැඟිටිනවාලු. එච්චර කල් මං හිතාගෙන හිටියේ මැරුණාට පස්සේ ස්වර්ගයට යනවා කියලා. ඉතිං මට හිතුණා ෂුවර් එකට තාත්තා මේ පටලගෙන, මොකද ඒ ආපු දෙන්නාට සංඥා භාෂාවත් බෑනේ.
ඉතිං ඒ දෙන්නා ආයෙත් අම්මලාව හම්බ වෙන්න ආවාම මං එයාලාගෙන් ඇහුවා තාත්තා කියපු දේවල් ඇත්තද කියලා. එයාලා කිව්වා “ඔව්” කියලා. පස්සේ එයාලා යොහන් 5:28, 29 යේසුස් කියපු දේ මට බයිබලෙන් පෙන්නුවා. එයාලා මට පැහැදිලි කළා දෙවියන් ළඟදීම මේ පොළොවේ තියෙන හැම දුෂ්ටකමක්ම නැති කරලා කිසිම අසනීපයක් නැතුව සාමයෙන් හැමදාටම ජීවත් වෙන්න මිනිස්සුන්ට අවස්ථාව දෙනවා කියලා.—ගීතාවලිය 37:10, 11; දානියෙල් 2:44; එළිදරව් 21:1-4.
මට ඒ ගැන තව විස්තර දැනගන්න ඕන වුණා. ඒ නිසා මං ඇන්ටෙරෝ කියන කෙනාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. එයා සංඥා භාෂාව දැනන් හිටියේ නෑ. ඒ නිසා පොතේ තියෙන ප්‍රශ්නවලට මං උත්තර දුන්නේ කොළේක ලියලා. පස්සේ එයා ඒ උත්තර කියවලා තව මොනවා හරි කියන්න තියෙනවා නං එයාත් ඒ කොළේම ඒක ලියනවා. එයාට තව අමතර ප්‍රශ්න අහන්න ඕනෙ නං ඒවාත් එයා කොළේ ලියනවා. ඔය විදිහට කොළවල ලියලිය තමයි සතියකට පැය දෙක ගාණේ අපි පාඩම කළේ. ඔය වැඩේ මාත් එක්ක කරන්න ඇන්ටෙරෝට සෑහෙන ඉවසීමක් ඕනෙ වුණා.
1960දී මං සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගියා. එයාලා ඒක සංඥා භාෂාවටත් පරිවර්තනය කළා. සිකුරාදා හවස එක නිවේදනයක් දුන්නා කැමති අයට ඊළඟ දවසේ බව්තීස්ම වෙන්න පුළුවන් කියලා. ඉතිං සෙනසුරාදා උදේම මං කොට කලිසම ගත්තා, තුවාය ගත්තා, මාත් ගිහින් බව්තීස්ම වුණා.a වැඩි කල් යන්න කලින් මගේ පවුලේ අනිත් හැමෝමත් බව්තීස්ම වුණා.
කාලෙත් එක්කම මගේ පවුලේ හැමෝම බව්තීස්ම වුණා
සත්‍යය අනිත් අයත් එක්ක බෙදාගත්තා
මට ඕන වුණේ කොහොමහරි මං ඉගෙනගත්ත දේවල් අනිත් බිහිරි අයටත් කියන්න. මං මගේ අද්දැකීමෙන්ම තේරුම් අරන් හිටියා ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි සංඥා භාෂාවෙන්ම එයාලට පණිවිඩේ කියන එක කියලා. ඉතිං මං හරිම උද්යෝගයෙන් මගේ ගමෙන්ම ඒ වැඩේ පටන්ගත්තා.
පස්සේ මං ටැම්පරේවලට පදිංචිය මාරු කළා. ඒක ජනාකීර්ණ ලොකු නගරයක්. මං එහේ හැම ගෙයක් ගෙයක් ගාණෙම ගිහින් ඇහුවා “ඔයාලා දන්න බිහිරි අය එහෙම ඉන්නවාද” කියලා. ඉතිං ඔය විදිහට තමයි මං බයිබල් පාඩම් හොයාගත්තේ. වැඩි කාලයක් යන්න කලින් ටැම්පරේවල බිහිරි ප්‍රචාරකයන් 10දෙනෙක්ටත් වඩා හිටියා.
1965දී තමයි මට මයිරේව හම්බ වුණේ. ඊළඟ අවුරුද්දේම අපි දෙන්නා කසාද බැන්දා. එයා හරිම ඉක්මනට සංඥා භාෂාව ඉගෙනගත්තා. මයිරේ ගොඩක් කඩිසර, විශ්වාසවන්ත කෙනෙක්. අපි දෙන්නා එකට එකතු වෙලා අවුරුදු 50ක් යෙහෝවාට සේවේ කළා.
1966දී අපි විවාහ වුණ දවස
අපි බැදලා අවුරුදු දෙකකට පස්සේ අපිට පුතෙක් හම්බ වුණා. එයාගේ නම මාකෝ. එයාට නං හොඳට කතා කරන්න පුළුවන්. එයා පොඩි කාලේ ඉඳන්ම ෆීනිෂ් භාෂාව වගේම ෆීනිෂ් සංඥා භාෂාවත් ඉගෙනගත්තා. මාකෝ බව්තීස්ම වෙද්දී එයාට 13යි.
කාලෙත් එක්කම ටැම්පරේවල තිබුණ සංඥා භාෂා කණ්ඩායමට හුඟක් අය ආවා. ඉතිං 1974දී අපි ටුර්කුවලට පදිංචිය මාරු කළා. එහේ එක බිහිරි සාක්ෂිකරුවෙක්වත් හිටියේ නෑ. ඒ නිසා කලින් වගේම අපි ගෙයක් ගෙයක් ගාණේ ගිහින් බිහිරි අයව හොයන්න පටන්ගත්තා. ටුර්කුවල හිටපු කාලේ මගේ බයිබල් පාඩම් 12ක් බව්තීස්ම වුණා.
බෝල්ටික් රටවල සේවය
1987දී මාකෝට බෙතෙල් එකේ පැවරුමක් ලැබුණා. ඒ වෙද්දී ටුර්කුවල තිබුණ අපේ සංඥා භාෂා කණ්ඩායමත් ගොඩක් දියුණු වෙලා තිබුණ නිසා අපිත් හිතුවා වෙන පැත්තකට සේවේ කරන්න යන්න ඕනෙ කියලා.
ඔය කාලේදී නැඟෙනහිර යුරෝපයේ නිදහසේ සේවේ යන්න ආයෙත් අවස්ථාව උදා වුණා. ඉතිං 1992දී මායි, තව බිහිරි සහෝදරයෙකුයි එස්තෝනියාවේ ටැලින්වලට ගියා.
අපිට එහෙදී එක සහෝදරියක්ව හම්බ වුණා. ඒ සහෝදරියගේ අයියා බිහිරි කෙනෙක්. එයා නං අපේ පණිවිඩේට වැඩි උනන්දුවක් පෙන්නුවේ නෑ. හැබැයි එස්තෝනියාවේ හිටපු හුඟක් බිහිරි අයව හොයාගන්න එයා අපිට උදව් කළා. අපි එස්තෝනියාවේ හිටපු අන්තිම දවසේ රෑ එයා අපිව බිහිරි අයගේ සමිති රැස්වීමකට ගෙනිච්චා. අපි කලින්ම එතන්ට ගිහින් මේසයක් උඩ එස්තෝනියානු භාෂාවෙන් සහ රුසියානු භාෂාවෙන් අපේ පොත්, සඟරා අතුරලා තිබ්බා. එදා අපිට පුළුවන් වුණා පොත් 100ක් සහ සඟරා 200ක් විතර අනිත් අයට දෙන්න. ඒ විතරක් නෙවෙයි අපිට නැවත බැලීම් 70ක් විතර හම්බ වුණා. ඔන්න ඔය විදිහට තමයි එස්තෝනියාවේ සංඥා භාෂාවෙන් අපේ වැඩකටයුතු පටන්ගන්න අත්තිවාරම දැම්මේ.
බෝල්ටික් රටක සේවේ කරන්න යන අතරතුරේදී
ඔය සිද්ධියෙන් පස්සේ මයිරේයි, මායි නිතරම වගේ එස්තෝනියාවට ගිහින් සේවේ කරලා එනවා. පස්සේ අපි දෙන්නා තීරණය කළා රස්සාව කරන පැය ගාණ අඩු කරලා ස්ථාවර පුරෝගාමි පටන්ගන්න. 1995දී අපි හෙල්සිංකිවල කිට්ටුව පදිංචියට ගියා. මොකද එතන ඉඳන් බෝට්ටුවෙන් හරිම ලේසියෙන් ටැලින්වලට ගිහින් සේවේ කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එහේ සේවෙන් අපි හිතුවටත් වඩා හොඳ ප්‍රතිඵල ලැබුණා.
අපි දෙන්නාට කරන්න පුළුවන් බයිබල් පාඩම් කීයද, ඒ ගාණ අපි උපරිමයෙන්ම කළා. අපි පාඩම් කරපු 16දෙනෙක් බව්තීස්ම වුණා. ඒ අතරේ අක්කා නගෝ දෙන්නෙකුත් හිටියා. එයාලා දෙන්නාට කන් ඇහෙන්නෙත් නෑ, ඇස් පේන්නෙත් නෑ. අපි එයාලත් එක්ක බයිබල් පාඩම කළේ අතින් අල්ලලා කරන සංඥා භාෂාවෙන්.
බිහිරි අයත් එක්ක බයිබල් පාඩම් කරන එක හිතන තරම් ලේසිත් නෑ. මොකද ඔය කාලේ වෙද්දී අපි පාවිච්චි කරපු සංඥා භාෂාවෙන් කිසිම ප්රකාශනයක් සංවිධානයෙන් දීලා තිබ්බේ නෑ. ඉතිං මං අපේ සඟරා, පොත්පත්වල තියෙන හිතට කාවදින පින්තූර කපලා එකතු කරගත්තා. ඊටපස්සේ ඒක ඇල්බම් එකක් වගේ හදාගත්තා. ඒක පාවිච්චි කරලා තමයි මං අනිත් අයට ඉගැන්නුවේ.
ෆින්ලන්තයේ බෙතෙල් එකෙන් අපිට කිව්වා ලැට්වියාවේ සහ ලිතුවේනියාවේ සංඥා භාෂාවෙන් අපේ වැඩ තව දියුණු කරන්න මොනවාද කරන්න ඕනෙ කියලා හොයලා බලන්න කියලා. ඒ නිසා මට පුළුවන් වුණා ඒ වගේ බෝල්ටික් රටවල්වලට කීප සැරයක්ම යන්න. අපි එහෙට ගිහින් එහේ සහෝදරයන්ට බිහිරි අයව හොයාගන්න උදව් කළා. සාමාන්‍යයෙන් හුඟක් රටවල්වල ඒ රටටම ආවේණික සංඥා භාෂාවක් තියෙනවා. ඒ නිසා මට සිද්ධ වුණා එස්තෝනියා, ලැට්වියා සහ ලිතුවේනියා සංඥා භාෂාව ඉගෙනගන්න. ඊට අමතරව මං රුසියානු සංඥා භාෂාවත් ටිකක් ඉගෙනගත්තා. මොකද බෝල්ටික් රටවල රුසියානු අයත් හිටියා.
ඔය විදිහට අපි අවුරුදු අටක්ම එස්තෝනියාවේ සහ අනිත් බෝල්ටික් රටවල්වල සේවේ කළා. ඊටපස්සේ අපි හිතපුවත් නැති විදිහට මයිරේට පාකින්සන් කියන ලෙඩේ හැදුණා. ඉතිං රටින් රටට ගිහින් සේවේ කරන එක අපිට නවත්තන්න සිද්ධ වුණා.
බිහිරි අයට තවත් උදව්
1997දී ෆින්ලන්ත ශාඛා කාර්යාලයෙන් සංඥා භාෂා පරිවර්තන කණ්ඩායමක් පටන්ගත්තා. අපි එහෙට කිට්ටුව හිටපු නිසා මයිරේටයි, මටයි පුළුවන් වුණා ඒ වැඩවලට උදව් කරන්න. මං දැනටත් ඉඳලා හිටලා ඒ වැඩවලට හවුල් වෙනවා. අපි ඒ සේවේ කළේ අපේ පුතා මාකෝ එක්ක. පුතායි, අපේ ලේලි කර්සීයි එක එක රටවල්වලට ගිහින් සංඥා භාෂා පරිවර්තන කණ්ඩායම්වලට උදව් කළා.
ෆීනිෂ් සංඥා භාෂාවෙන් වීඩියෝ හදන්න හවුල් වෙන ගමන්
බෙතෙල් එකෙන් සාමාන්‍ය ප්‍රචාරකයන්ටත් සංඥා භාෂාව ඉගෙනගන්න වැඩසටහන් සංවිධානය කළා. ඒ වැඩසටහන් හරිම වටිනවා. මොකද ඒවා නිසා ගොඩක් ප්‍රචාරකයන්ට පුළුවන් වුණා සංඥා භාෂා සභාවලට, කණ්ඩායම්වලට උදව් කරන්න. ඒක දේශනා සේවේට, රැස්වීම්වලට ගොඩක් උදව් වුණා. ඒ සභාවල, කණ්ඩායම්වල වගකීම් දරන්නත් ගොඩක් සහෝදරයෝ හිටියා.
සේවේ කරන්න මට තාමත් තියෙන්නේ දැවෙන ආසාවක්!
2004දී මයිරේටයි, මටයි පුළුවන් වුණා හෙල්සිංකිවල පළවෙනි ෆීනිෂ් සංඥා භාෂා සභාව පිහිටුවන්න උදව් කරන්න. අවුරුදු තුනක් යද්දී ඒ සභාව සෑහෙන්න දියුණු වුණා. එහේ ගොඩක් උද්යෝගයෙන් සේවේ කරපු පුරෝගාමීනුත් හිටියා.
ඊටපස්සේ අපි දෙන්නා හිතුවා ප්‍රචාරකයන් අඩු වෙනත් පැත්තකට ගිහින් සේවේ කරමු කියලා. ඒ නිසා 2008දී අපි ආයේ ටැම්පරේවලට ආවා. එහේ සංඥා භාෂා කණ්ඩායමට තමයි අපි මීට අවුරුදු 34කට කලින් ගියේ. කොහොමහරි අපි එහෙට ගිහින් අවුරුද්දකට විතර පස්සේ ඒක සභාවක් වුණා. ඒක තමයි ෆින්ලන්තයේ දෙවෙනි සංඥා භාෂා සභාව වුණේ.
පස්සේ මයිරේගේ අසනීපේ එන්න එන්නම වැඩි වුණා. 2016දී එයා මැරෙන කල්ම එයාව ආදරෙන් බලාගන්න පුළුවන් වුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මට එයා නැති අඩුව තාමත් දැනෙනවා. හැබැයි මං ආසාවෙන් බලන් ඉන්නවා කිසිම අසනීපයක් නැති ඒ කාලේදී ආයේ එයාව දකින්න.—යෙසායා 33:24; එළිදරව් 21:4.
මං දැන් යෙහෝවාට සේවේ කරන්න අරන් අවුරුදු 60කටත් වැඩියි. හැබැයි තාමත් මං වගේම බිහිරි අයට සත්‍යය ගැන කියන්න මගේ හිතේ තියෙන්නේ දැවෙන ආසාවක්!
a දැන් කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් වැඩිමහල්ලන් ඒ කෙනා එක්ක සාකච්ඡාවන් පවත්වනවා. හැබැයි ඒ කාලේ ඒ සැලැස්ම තිබුණේ නැහැ.