වොරන් රෙනෝල්ඩ්ස් | ජීවිත කතාව
එදා ගත්ත තීරණය ගැන අද මං සතුටු වෙනවා
දවසක් ඕස්ට්‍රේලියාවේ වයඹ පැත්තේ තිබුණ පිටිසර පළාතක අපි ටිකදෙනෙක් ගිනිමැලයක් ගහගෙන කතා කරකර හිටියා. යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන තමයි අපි එදා කතා කළේ. එදා විතරක් නෙමෙයි අපි වෙන රටවලත් එක එක භාෂා කතා කරන සහෝදරයෝ එක්ක ඔය විදිහට ගිනිමැල ළඟ වාඩි වෙලා යෙහෝවා ගැන කතා කරලා තියෙනවා. ගිනිමැලය ළඟ මට ඉස්සරහින් මූණේ ලස්සන හිනාවක් තියාගෙන කාන්තාවක් වාඩි වෙලා හිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි මං ගොඩක් ආදරේ කරන මගේ බිරිඳ. ඒ වෙද්දී අපි දෙන්නා එක එක පැතිවල සේවේ කරලා ගොඩක් රසබර අද්දැකීම් ලබලා තිබුණා. තරුණ කාලේදී නම් මං කොහොමටවත් හිතුවේ නැහැ මං ඒ වගේ තැන්වල ජීවත් වෙයි කියලා. ඇත්තම කියනවා නම් මේ සේවේ තෝරගත්තේ නැත්නම් තරුණ කාලේදී මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට හැරෙන්න තිබුණා. මං ඒ ගැන විස්තර ඔයාලට කියන්නම්.
මං හැදුණේ වැඩුණේ ඕස්ට්‍රේලියාවේ පිටිසර පැත්තක. අපේ අම්මලටයි, ආච්චිලා සීයලටයි සත්‍යය ලැබුණේ 1950 ගණන්වල. මට අවුරුදු 6ක් වෙද්දී මං සේවේ යන්න පටන් අරන් අවුරුදු 13දී බව්තීස්ම වුණා. ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලෙට නිතරම වගේ මං සහායක පුරෝගාමි සේවෙත් කරනවා. මං යෙහෝවාට ගොඩක් ආදරේ කළා. මට ඕනෙ වුණේ හැමදාටම ඔහුට සේවේ කරන්නයි.
මගේ මල්ලිලා හතරදෙනායි, අම්මායි, තාත්තායි එක්ක
මට වයස අවුරුදු 15දී අපේ ඉස්කෝලේ සර්ලා දැක්කා මං ක්‍රීඩාවට හුඟක් දක්ෂයි කියලා. ඒ හින්දා ප්‍රසිද්ධ රග්බි ආයතනයකින් ආපු දෙන්නෙක් මට ශිෂ්‍යයත්වයක් දෙන්නත් කැමති වුණා. ඉතින් ඕක අහලා රග්බි තරුවක් වෙන්න මගේ හිතෙත් ආසාවක් ඇති වුණා. හැබැයි ඒ වෙද්දීත් මං යෙහෝවාට මගේ ජීවිතේ කැප කරලයි තිබ්බේ. අපේ තාත්තා කිව්වා ‘ඔයා ඔය පාරේ දිගටම යනවාද කියලා තීරණයක් ගන්න කලින් යෙහෝවාට වෙච්ච පොරොන්දුව ගැන හොඳට හිතලා බලන්න’ කියලා. ඉතින් තාත්තා කියපු විදිහට මං ඒ ගැන හොඳට හිතලා බැලුවා. මට තේරුණා මං මේක තෝරගත්තොත් මට දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා කියලා. ඒ නිසා මං ‘බැහැ’ කිව්වා. ඊට මාස කීපයකට පස්සේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල ක්‍රීඩා ආයතනයකින් මට ආයෙත් සැරයක් ශිෂ්‍යයත්වයක් දුන්නා. එයාලට ඕනෙ වුණේ මැරතන් තරඟවලට මාව පුහුණු කරන්න කියලා එයාලා කිව්වා. මට ඕස්ට්‍රේලියාව නියෝජනය කරලා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හරි ඔලිම්පික්වලට හරි යන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙද්දීත් මං යෙහෝවාට දීපු පොරොන්දුව අමතක කරලා තිබුණේ නෑ. ඔහු ගැන මගේ හිතේ ලොකු ආදරයක් තිබුණා. ඒ නිසා ඒ සැරෙත් මගේ උත්තරේ වුණේ ‘බැහැ’ කියන එක.
වැඩි දවසක් යන්න කලින් මං ඉස්කෝලේ ගමන නතර කළාට පස්සේ පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඒක මට කාලයක් තිස්සේ තිබ්බ හීනයක්. ඒත් ඔය කාලේ අපේ පවුලේ අයට ගොඩක් සල්ලි ප්‍රශ්න තිබුණා. ඒ නිසා මට පුරෝගාමි සේවේ නතර කරන්න වුණා. ඊටපස්සේ මං ෆාම් එකක ඩ්‍රයිවින් රස්සාවකට ගියා. එතකොට මට වයස අවුරුදු 18ක් 19ක් විතර ඇති. මං ජීවත් වුණේ තනියම. ඔය කාලේ මං මගේ නමස්කාර දේවල් කළේ ඔහේ කරන්නන් වාලේ, පුරුද්දට වගේ. ඉතින් යෙහෝවා එක්ක තිබුණ මගේ බැඳීම හොඳටම දුර්වල වුණා. මං ආශ්‍රය කළෙත් එච්චර හොඳ අයව නෙමෙයි. එයාලා බීමට ඇබ්බැහි වෙලා හිටපු හරිම ජරා ජීවිත ගත කරපු අය. ඉතින් මගේ හිතත් ටිකෙන් ටික ඔය පැත්තට හැරුණා. අන්තිමේදී මං යෙහෝවා එක්ක තිබුණ බැඳීම පැත්තකට දාලා ඒ වෙලාවට විතරක් දැනෙන සතුට ගැන හිතලා වැඩ කරන්න පටන්ගත්තා.
මට ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ වුණා. ඒ නිසා මං දුර ඈත තිබුණ ටවුමකට පදිංචිය මාරු කළා. එතකොට මගේ පරණ යාළුවොත් ළඟපාතක නෑනේ. එහෙදී මං ටිකෙන් ටික යෙහෝවාට ළං වෙන්න පියවර ගත්තා. මට ඕනෙ වුණේ ආයෙත් කොහොමහරි පුරෝගාමි සේවේ පටන්ගන්න. ඔන්න ඔය කාලේදී මට ලියෑන් මැක්ෂෙරී කියලා ගම්බද පළාතකින් ආපු හරිම ලැජ්ජාශීලී ගෑනු ළමයෙක්ව හම්බ වුණා. එයා ඒ වෙද්දීත් පුරෝගාමි සේවේ කරකර හිටියේ. ඉතින් අපි දෙන්නා හොඳ යාළුවෝ වුණා. අපි අපේ ඉලක්ක ගැනත් කතා කළා. අපි දෙන්නාම මිෂනාරි සේවෙටත් ගොඩක් ආස වුණා. ඉතින් 1993දී අපි දෙන්නා කසාද බැන්දා. අපි දෙන්නාටම ඕනෙ වුණේ අපේ ජීවිත ඉස්සරහට ගෙනියන්න යෙහෝවාට භාර දෙන්නයි.
ඉලක්කවලට ළඟා වුණ විදිහ
ඔය අවුරුද්දේම මමත් ලියෑන් එක්ක ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. අපි දෙන්නාටම ඕනෙ වුණේ ණය වෙන්නේ නැතුව සරල ජීවිතයක් ගත කරන්න. ඒ හින්දා අපි පරණ කැරවෑන් එකක් (ගෙයක් වගේ තියෙන පොඩි වාහනයක්) සල්ලි දීලා ගත්තා. ඊළඟට ගෙවුණ අවුරුදු හය පුරාම කොහේ හරි අවශ්‍යතාවක් තියෙනවා කියලා දැනගත්තාම අපි ඒ පැතිවලට ගිහිල්ලා පොඩි පොඩි රස්සාවල් කරන ගමන් සේවේ කළා. අපි ක්වීන්ස්ලන්තයේ හුඟක් ඇතුළට වෙන්න තිබුණ පුංචි පුංචි සභාවල තමයි සේවේ කෙරුවේ. ගොඩක් වෙලාවට අපේ වාහනේ නැවැත්තුවේ පාළු පැතිවල. අපි රැස්වීම් තිබ්බේ එළිමහනේ, එහෙම නැත්නම් ප්‍රජා ශාලාවල. ඒ කාලේ හරිම සතුටින් ගෙවුණා. ඒත් අපේ හිතේ නිතරම දුවපු ප්‍රශ්නයක් තමයි ‘යෙහෝවා වෙනුවෙන් අපිට තව මොනවාද කරන්න පුළුවන්’ කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්න වැඩි දවසක් ගියේ නෑ.
ඕස්ට්‍රේලියාවේ පිටිසර පළාතක සේවය කරද්දී එළිමහන් තැනක පවත්වපු රැස්වීමක්
යෙහෝවාගේ සංවිධානයෙන් අපිට පැවරුමක් ලැබුණා වෙන රටක මිෂනාරි සේවේ කරන්න. ඒත් අපි ගිලියද් පාසැලටවත් ගිහිල්ලා නැති නිසා අපිට හිතුණේ ඒ වගේ සේවයක් කරන්න අපි හොඳ මදි කියලයි. අපි දෙන්නා සේවේට ගොඩක් ආසයි. ඒත් අපි සේවේ කරපු පැතිවල අපිට ගොඩක් බයිබල් පාඩම් තිබුණේ නැහැ. ඒ නිසා අපිට හිතුණේ අපි දක්ෂ ගුරුවරු නෙමෙයි කියලා.
ඉතින් අපි ඒ ගැන ශාඛා කමිටුවේ සේවය කරපු සහෝදර මැක්ස් ලොයිඩ්a එක්කත් කතා කළා. එයා අපිව ගොඩක් ශක්තිමත් කළා. එයා කිව්වා ‘ඔයාලා යෙහෝවාට ඉඩ දෙනවා නම් ඔහුට පුළුවන් ඔයාලා හිතන්නෙවත් නැති දේවල් කරන්න ඔයාලට උදව් කරන්න’ කියලා. එයා තාත්තා කෙනෙක් වගේ දුන්න ඒ දිරිගැන්වීම හිතට අරන් අපි අපේ පැවරුම භාරගත්තා. අපිට යන්න තිබුණේ ශ්‍රී ලංකාවට.
ලේසි නැති පැවරුමක්!
1999දී අපි ශ්‍රී ලංකාවේ අගනුවර වුණ කොළඹට ආවා. ඕස්ට්‍රේලියාවේ පිටිසර පළාතක හිටපු අපිට ඒක සෑහෙන ලොකු වෙනසක්. එහේ ඒ වෙද්දී සිවිල් යුද්ධයක් තිබුණා. ආර්ථිකයත් පල්ලෙහටම වැටිලයි තිබුණේ. සමහර තැන්වල ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ. හිඟන්නොත් හැම තැනම. එහේ භාෂාවන් ඉගෙනගන්න එකත් හරිම අමාරුයි. හැබැයි අපරාදේ කියන්න බෑ ඒ සහෝදර සහෝදරියන් නම් රත්තරන් වගේ. වැඩිදෙනෙක් යෙහෝවා ගැන දන්නේ නැති වුණාට එහේ මිනිස්සුත් හරිම නිහතමානියි.
අපිට පැවරුම ලැබුණේ මහනුවරට. ඒක තේ වතුවලින්, වැසි වනාන්තරවලින් වට වුණ ලස්සන නගරයක්. එහේ හුඟක් ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානත් තියෙනවා. එහේ ඉන්න හුඟක් මිනිස්සු අපේ නිර්මාතෘ වන යෙහෝවා ගැන කිසි දෙයක් දන්නේ නැති තරම්. අපි ගිය සභාවේ සිංහල, දෙමළ භාෂා දෙකම කතා කරන සහෝදර සහෝදරියන් හිටියා. ඒ භාෂා දෙකෙන්ම රැස්වීමුත් තිබුණා. සිංහල භාෂාව ඉගෙනගන්න එක නම් එච්චර ලේසි දෙයක් නෙමෙයි. අපි අමාරුවෙන් පටල පටල සිංහල කතා කරද්දී අපේ සභාවේ අයටයි, අපිත් එක්ක බයිබලේ පාඩම් කරපු අයටයි හිනා ගිය වෙලාවලුත් තිබුණා. හැබැයි අපි ඒ වෙනුවෙන් දරපු මහන්සිය එයාලා ගොඩක් අගය කළා.
ශ්‍රී ලංකාවේ දේශනයක් දෙද්දී සහෝදරයන් දෙන්නෙක් ඒක සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කරනවා
අපිට තිබුණ ලොකුම අභියෝගය භාෂාව ඉගෙනගන්න එකම නෙවෙයි. එහෙදී තමයි අපි ජීවිතේ පළවෙනි වතාවට සත්‍යය නිසා ගොඩක් දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දුන්නේ. මට මතකයි එක දවසක් මැර කල්ලියක් අපිව වට කළා. එයාලා අපේ සඟරා පොත් පත් ඔක්කොම ගිනි තියලා මටයි, මාත් එක්ක හිටපු සහෝදරයාටයි අතින් පයින් හොඳටම ගැහුවා. ඔය වෙලාවේ අපි යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා ‘අපිට සන්සුන්ව ඉන්න උදව් කරන්න, හදිස්සියේවත් අපි මැරුණොත් අපිව අමතක කරන්න එපා’ කියලා. හොඳ වෙලාවට ටිකකින් ඒ මැරයෝ ටික එතනින් යන්න ගියා. අපි ඒ ගමෙන් එළියට ආවේ වෙවුල වෙවුල. එදා අපිව ආරක්ෂා කළාට අපි යෙහෝවාට ගොඩක් ස්තුති කළා.
කාලයක් යද්දී ලංකාව අපේ ගෙදර වගේ වුණා. යුද්දේ නිසා හුඟක් අය බෙදිලා හිටියත් අපි දැක්කා සත්‍යයට ආදරේ කරන අයව යෙහෝවා ඔහුගේ පවුලට එකතු කරගත්ත විදිහ. ඒ ලස්සන දිවයිනේ අපිට හුඟක් මිහිරි මතකයන් තියෙනවා. හැබැයි අවුරුදු දෙකකට විතර පස්සේ එහේ ආගමික නායකයන් බලධාරීන්ට බලපෑම් කරපු නිසා අපිටයි, හුඟක් මිෂනාරිවරුන්ටයි රටෙන් පිට වෙන්න වුණා.
ඊටපස්සේ ගෙවුණ සති කීපය නම් අපිට සෑහෙන අමාරු වුණා. ඊළඟට මොනවාද වෙන්නේ, අපිට කොහෙට යන්න වෙයිද කියලා අපි කල්පනා කළා. වැඩි දවසක් යන්න කලින් පාලක මණ්ඩලයෙන් අපිට දැනුම් දුන්නා පැපුවා නිව් ගිනියාවට ගිහින් සේවය කරන්න කියලා. ඉතින් 2001 සැප්තැම්බර්වල අපි ඒ රටේ අගනුවර වන පොර්ට් මොර්ස්බිවලට ආවා.
පැපුවා නිව් ගිනියාව - අමුතුම රටක්
පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියාවේ අසල්වැසි රටක් වුණාට එහේ ජීවිතේ, සංස්කෘතිය හරිම වෙනස්. අපිට ඒ වෙනසටත් හැඩගැහෙන්න වුණා. එහේ භාෂා 800කට වැඩියෙන් තියෙනවා. ඒ අතරින් වැඩිදෙනෙක් කතා කරන ටොක් පිසිං භාෂාව අපි ඉගෙනගත්තා.
එහේ පොපොන්ඩෙටා කියන නගරයේ අවුරුදු තුනක් සේවේ කළාට පස්සේ අපිට චාරිකා සේවේ කරන්න පැවරුමක් ලැබුණා. යෙහෝවා අපිව ඒ වගේ දේකට පාවිච්චි කරයි කියලා නම් අපි කවදාවත් හිතුවේ නැහැ. ඉස්සර ඉඳන්ම මං චාරිකා සේවකයන් දෙන මඟ පෙන්වීම්, එයාලා අවබෝධයෙන් වැඩ කරන විදිහ, එයාලා උගන්නන විදිහ ගොඩක් අගය කළා. හැබැයි ඒ වගේ පැවරුමකට මාව ගැළපෙන්නේ නැහැ කියලයි මට හිතුණේ. මට කවදත් තිබුණේ මිෂනාරි සේවේ කරන ඉලක්කයක්. චාරිකා සේවය ගැන නම් මං හිතලවත් තිබුණේ නෑ. යෙහෝවා මං වගේ කෙනෙක්ට මෙච්චර වටින පැවරුමක් දුන්න එක ගැන හිතද්දී මට නම් පුදුමත් හිතෙනවා.
පැපුවා නිව් ගිනියාවේ වයඹ පැත්තේ දුෂ්කර පළාතක තියෙන කණ්ඩායමක් බලන්න ගිය වෙලාවක්
පැපුවා නිව් ගිනියාවේ කණ්ඩායමක් බලන්න ගියාට පස්සේ ඒ ගැන ශාඛා කාර්යාලයට වාර්තාවක් ලියන ගමන්
අපි නගරබද පළාත්වල සේවය කරද්දී එහේ කරන්ට් එක, වතුර තිබ්බා. නිදාගන්න ඇඳක් තියෙන කාමරයක් හම්බ වුණා. හැබැයි පිටිසර පැත්තේ සේවය කරද්දී නම් හුඟක් වෙලාවට ඔය මුකුත්ම තිබුණේ නැහැ. අපි නිදාගත්තේ මඩුවල. ඉව්වේ දර ලිපක් හදාගෙන. නෑවේ ඇළදොළවල්වල. හැබැයි ඒවායේ කිඹුල්ලු ඉන්නවා කියලා ආරංචි වුණොත් අපි බකට් එකකට වතුර අරන් ගිහිල්ලා මඩුවේ ඉඳන්ම නාගත්තා.
මෙහේ සේවය කරද්දී අපිට වෙන කොහෙවත් කරපු නැති විදිහට අපේ ඇඟපත මහන්සි කරලා දේවල් කරන්න වුණා. හැබැයි ‘අපිට තියෙන ශක්තිය අපි පාවිච්චි කළොත්’ යෙහෝවා ඕනෙම වැඩකට ආශීර්වාද කරනවා කියලා අපි දැනගෙන හිටියා. (විනිශ්චයකරුවෝ 6:14) අපිට යන්න තිබුණ හුඟක් සභා, කණ්ඩායම් තිබුණේ හරිම දුෂ්කර තැන්වල. සමහර ඒවාට යන්න තිබුණේ වැසි වනාන්තර මැදින්. තවත් ඒවාට යන්න වගුරු බිම් පහු කරන්න ඕනේ. තවත් සමහර සභා තිබුණේ කඳු මුදුන්වල. ඒ වගේ සමහර තැන්වලට අපි ගියේ කැබ් එකෙන්, බෝට්ටුවලින් නැත්නම් ප්ලේන් එකෙන්. හැබැයි අපේ සහෝදර සහෝදරියන්ව බලන්න අපිට වැඩිපුරම යන්න වුණේ පයින්.b
සේවයේ යද්දී ආපු ඕනෙම අභියෝගයකට මූණ දෙන්න ලියෑන් ලෑස්ති පිට හිටියා
ඉන්දුනීසියාවේ දේශ සීමාව ළඟ තිබුණ එක සභාවකට යන්න අපිට කිලෝමීටර් 350කට (හැතැක්ම 200කට) වඩා යන්න ඕනෙ වුණා. ඒ පාරවල් ගන්න දෙයක් නැහැ. එහෙම යද්දී අපිට පොඩි පොඩි ඇළදොළ, ගංගා 200කට වඩා පහු කරන්න වෙනවා. ඒවායින් සමහර ඒවාට හරිහමං පාලමක්වත් නැහැ. ඔහොම යද්දී ඉහේ කෙස් ගාණට අපි ගිය කැබ් එක මඩේ එරිලා තියෙනවා. ඒක ගොඩ ගන්න, තල්ලු කරන්න අපි මොන තරම් නම් කට්ටක් කාලා ඇද්ද! හැබැයි ඒ මහන්සිය නම් අපතේ ගියේ නැහැ. මොකද සහෝදරයෝ අපි එන කල් කෑමත් ලෑස්ති කරන් හරිම සතුටින් බලාගෙන හිටියා.
පැපුවා නිව් ගිනියාවේ පාරවල්වල ගමන ලේසි නැහැ
සමහර කඳුකර පැතිවලට යද්දී අපි ගියේ පොඩි ප්ලේන් එකක. ඒ වගේ වෙලාවට මුළු පැත්තම වළාකුළුවලින් වැහිලා තියෙද්දී ප්ලේන් එකේ පයිලට්ට වුණා ප්ලේන් එක බාන්න තැනක් හොයාගන්න වළාකුළු අතරින් හිඩසක් මතු වෙන කල් ඉන්න. හැබැයි ප්ලේන් එක බාන්න කලින් ඒ හරියේ ළමයි, සත්තු එහෙම ඉන්නවාද කියලත් බලන්න ඕනේ. ඒ නිසා ටිකක් පල්ලෙහට ඇවිල්ලා පොඩි රවුමක් ගහන්න වෙනවා. ඔහොම බලලා බලලා ප්ලේන් එක බාන්න වෙන්නේ මඩ පිරිච්ච, ගල් මතු වෙච්ච භයානක තැනක. සමහර වෙලාවට ඒ වගේ තැන් තිබුණේ මීටර් 2,100කට (අඩි 7000කට) වඩා උස කඳු මුදුන්වල. ආපහු එහෙන් පිට වෙන එකත් ලේසි නැහැ. ප්ලේන් එක බිම දිගේ ඉස්සරහට ගිහින් කන්දේ ගැට්ට ළඟටම ආවාම තමයි උඩට නග්ගන්න වෙන්නේ. ඒකත් හරිම භයානක දෙයක්.c
සමහර වෙලාවට අපිට සෑහෙන උස කඳු තරණය කරන්න වුණා. අව්වේ පිච්චි පිච්චි දාඩිය දදා මඩ වගුරුවල බැහැගෙන යන්න වුණා. හැබැයි ඒ හැම වෙලාවකම අපේ බෑග්වල සඟරා, පොත් පත් ටිකයි අපේ කෑම බීම ටිකයි නම් වැරදුණේ නැහැ. ගමන අමාරු වුණත් අපේ සහෝදර සහෝදරියොත් අපිත් එක්ක හිටපු නිසා එකිනෙකාව දිරිගන්වන්න, එයාලත් එක්ක කතාබහ කරන්න, පොඩි විහිළුවක් කරලා හිනා වෙන්න අපි ඒවා හොඳ අවස්ථාවන් කරගත්තා.
පැපුවා නිව් ගිනියාවේ කෙරම් ගඟ දිගේ සේවය කරන පැත්තට යන ගමන්
1 තෙසලෝනික 2:8 පාවුල් කිව්වා ‘ඔයාලා ගැන අපේ හිතේ තියෙන ආදරේ, සෙනෙහස නිසා අපේ ජීවිත වුණත් ඔයාලා වෙනුවෙන් දෙන්න අපි ලෑස්ති වෙලා හිටියා’ කියලා. අපේ සහෝදර සහෝදරියන්ටත් අපි ගැන හැඟුණේ ඒ විදිහටමයි. ආයුධ ගත්ත මැර කල්ලිවලින් අපිව ආරක්ෂා කරන්න එයාලා එයාලාගේ ජීවිත වුණත් අනතුරේ දැම්මා. මට මතක් වෙනවා දවසක් ලියෑන්ට වෙච්ච සිද්ධියක්. එක මනුස්සයෙක් කඩුවක් වනවන ලියෑන්ගේ ළඟටම ආවා. ඒ වෙලාවේ මාත් ළඟ හිටියේ නැහැ. හැබැයි අපේ සහෝදරයෙක් ටක් ගාලා මැදට පැනලා ලියෑන්ව බේරගත්තා. අනිත් අයත් ඇවිල්ලා ඒ මනුස්සයාව අල්ලගත්ත නිසා අපේ සහෝදරයාට පොඩ්ඩක් තුවාල වුණා ඇරෙන්න ලොකු කරදරයක් වුණේ නැහැ. පැපුවා නිව් ගිනියාවේ නීතියට තැනක් ඇත්තෙම නෑ. ඒ නිසා හුඟක් අපරාධ සිද්ධ වෙනවා. හැබැයි යෙහෝවා හැම දවසකම අපිව බලාගත්තා. ඒ නිසයි අපේ සහෝදර සහෝදරියන්ව දිගටම දිරිගන්වන්න, ශක්තිමත් කරන්න අපිට පුළුවන් වුණේ.
පැපුවා නිව් ගිනියාවේ හොඳ බේත් හේත් එහෙම ලේසියෙන් හොයාගන්න බෑ. ඒ නිසා ලෙඩක් හැදුණාම සෑහෙන්න දුක් විඳින්න වෙනවා. 2010දී ලියෑන්ට බැක්ටීරියා ආසාදනයක් හැදිලා එයා මැරෙන්නම ගියා. ඉතින් අපි එයාට බෙහෙත් කරන්න ඉක්මනටම ඕස්ට්‍රේලියාවට ගියා. ඒ කාලේ ඔළුව කෙළින් තියාගෙන සන්සුන්ව ඒකට මූණ දෙන්න යෙහෝවාම තමයි අපිට උදව් කළේ. කොහොමහරි අන්තිමේදී ලියෑන්ට හරියනම බෙහෙත ඩොක්ටර්ස්ලා හොයාගත්තා. ඒ වෙලාවේ එක ඩොක්ටර් කෙනෙක් කිව්වා “මෙච්චර කල් ඔයගොල්ලෝ දෙවියන් වෙනුවෙන් දේවල් කළා. ඔන්න දැන් දෙවියන් ඔයගොල්ලෝ වෙනුවෙන් දේවල් කරන්න පටන් අරන්” කියලා. ඊට මාස ගාණකට පස්සේ තමයි අපි ආයෙත් පැපුවා නිව් ගිනියාවට ආවේ.
ආයෙත් මව්බිමට
ඊටපස්සෙත් අවුරුද්දක විතර කාලයක් ලියෑන්ට බෙහෙත් කරන්න අපිට නිතරම ඕස්ට්‍රේලියාවට යන්න එන්න වුණා. අන්තිමේදී 2012දී ශාඛා කාර්යාලයෙන් අපිට කිව්වා ඕස්ට්‍රේලියාවේම නැවතිලා ලියෑන්ගේ බේත් හේත් ගැන බලන එක හොඳයි කියලා. අපි අවුරුදු ගාණක්ම හිටියේ ඕස්ට්‍රේලියාවෙන් පිට. ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරගන්න එක, අපේ සතුට තියාගන්න එක අසනීපෙට මූණ දෙනවාටත් වඩා අපිට අමාරු වුණා. පැපුවා නිව් ගිනියාවේ කරපු පැවරුමයි, එහේ සහෝදරයන්වයි දාලා යන්න වෙද්දී අපිට ගොඩක් දුක හිතුණා. අපිට හිතුණේ අපිට දුන්න වැඩේ හරියට කරගන්න බැරි වුණා, දැන් යෙහෝවාටත් අපෙන් කිසිම වැඩක් ගන්න බැරුව ඇති කියලයි. අවුරුදු ගාණකට පස්සේ ඕස්ට්‍රේලියාවට ආපු නිසා අපිට දැනුණේ හරියට නුහුරු නුපුරුදු තැනකට ආවා වගේ. ඒ කාලේ අපේ සහෝදර සහෝදරියන්ගේ උදව් නම් අපිට සෑහෙන්න ඕන වුණා.
ලියෑන්ට ටිකක් හොඳ වුණාට පස්සේ අපිට නිව් සවුත් වේල්ස්වල වොලොන්ගොන් කියන නගරයේ විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න පැවරුමක් ලැබුණා. එහේ අවුරුද්දක් විතර සේවය කරගෙන ඉද්දී අපිට ආරාධනාවක් ලැබුණා විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට (දැන් කියන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල කියලයි.) සහභාගි වෙන්න කියලා. ඊටපස්සේ ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයෙන් චාරිකා සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. අවුරුදු ගාණක්ම අපි ජනාකීර්ණ නගරවල, දුෂ්කර පැතිවල, ධීවර ගම්මානවල තිබුණ එක එක සභාවලට, කණ්ඩායම්වලට ගියා. දැන් අපි සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ වයඹ පැත්තේ සහ නැඟෙනහිර ටිමෝරයේ.
නැඟෙනහිර ටිමෝරයේ සේවය කරද්දී
මගේ හෙවණැල්ල වගේ මගේ උදව්වට හැම තිස්සේම මගේ ලියෑන් ඉන්නවා. යෙහෝවාට සේවය කරනවාට වඩා දෙයක් එයාට නැහැ. ඇත්තටම එයා යෙහෝවාගෙන් මට ලැබුණ වටින තෑග්ගක්. අපිට කොච්චර අමාරු පැවරුමක් ලැබුණත් පහසුකම් කොච්චර අඩු වුණත් ලියෑන් කවදාවත් ඒක කරන්න බැහැ කියලා නහයෙන් අඬලා නෑ. කවුරු හරි ඇහුවාම ඔයා කොහොමද ඔච්චර හොඳට ඔය අභියෝගවලට මූණ දෙන්නේ කියලා ලියෑන් කියනවා “මං අකුරක් නෑර හැම දේම යෙහෝවාට කියනවා” කියලා. ඒ වගේම එයා බයිබලේ කියවලා එයාට හිතෙන, දැනෙන විදිහ, එයා වැඩ කරන විදිහ යෙහෝවාට ඕන විදිහට වෙනස් කරගන්නවා.
තරුණ කාලේදී මං මගේ ක්‍රීඩා දිවියට සමු දීලා මාව ඉස්සරහට ගෙනියන්න යෙහෝවාට ඉඩ දුන්නා. ඒ ගැන මං කවදාවත් පසුතැවෙන්නේ නෑ. යෙහෝවා දෙන ඕනෙම පැවරුමක් අපි භාරගන්නවා නම් ඔහුට පුළුවන් ඒක හොඳට කරන්න ඕන කරන පුහුණුව අපිට දෙන්න. අභියෝග එද්දී, තීරණ ගන්න වෙද්දී ඉස්සෙල්ලාම යෙහෝවාට යාච්ඤා කරලා ඕන කරන ප්‍රඥාව, බලය ඔහුගෙන් ඉල්ලන එක කොච්චර වැදගත්ද කියලා මං ඉගෙනගෙන තියෙනවා. අපේ ආදරණීය තාත්තා යෙහෝවා අපිට දීලා තියෙන්නේ කිසිම දේකින් අඩුවක් නැති ආශීර්වාදවලින් පිරුණ ජීවිතයක්. “මැටි බඳුන්” වගේ ඉන්න අපිව පාවිච්චි කරලා යෙහෝවා තව මොන මොන දේවල් කරයිද කියලා දකින්න අපි හරිම ආසාවෙන් ඉන්නවා.—2 කොරින්ති 4:7.
a මැක්ස් ලොයිඩ්ගේ ජීවිත කතාව 2012 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 17-21 පිටුවල තියෙනවා.
b අපි චාරිකා සේවේ කරද්දී බෝට්ටුවකින් සහෝදරයන්ව බලන්න ගිය අවස්ථාවක් ගැන ‘2011 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ තියෙනවා. (සිංහලෙන් නැහැ.)
c 2010 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 16-17 පිටුවල තියෙන “අහස උසට නැඟ ගිය කොරල්පර” කියන ලිපිය බලන්න.