ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfs 22 ලිපිය
  • යෙහෝවා හැමදාමත් උදව්වට හිටියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා හැමදාමත් උදව්වට හිටියා
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෞවන කාලේදීත් යෙහෝවා උදව්වට හිටියා
  • යෙහෝවාට ආදරේ කරන බිරිඳක්
  • ආයෙත් හිරගෙදරට
  • යෙහෝවා දිගටම උදව්වට හිටියා
  • යාච්ඤාවලට උත්තර දීලත් යෙහෝවා උදව් කළා
  • යෙහෝවා ලිඩ්යාගේ උදව්වටත් හිටියා
  • පවුලක් විදිහට යෙහෝවාට සේවය කළා
  • තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස මා කළ සේවය
    2009 පිබිදෙව්!
  • විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී
    2002 පිබිදෙව්!
  • “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තිබුණු මගේ හැඟීම ඕගොල්ලෝ වෙනස් කළා”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අඩ සියවසක කාලයක් පුරා ඒකාධිපති පාලනයක් යටතේ
    1999 පිබිදෙව්!
තව තොරතුරු
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
lfs 22 ලිපිය
වර්ජිලියුස් පුඩ්යූවීස්.

වර්ජිලියුස් පුඩ්යූවීස් | ජීවිත කතාව

යෙහෝවා හැමදාමත් උදව්වට හිටියා

1976 දවසක අපේ නැන්දයි, මාමයි අපිව බලන්න ආවා. එදා එයාලා ආපු නිසා අපේ පවුලේ අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ වෙද්දී අපේ මාමා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන් අරන් තිබුණා. එයා අපේ අම්මලට කිව්වා එයා බයිබලෙන් අලුත් දෙයක් ඉගෙනගත්තා කියලා. මුලින්ම එයා කිව්වේ යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයෝ ගැන ඔහු කිව්ව දේවල්. ඒවා තියෙන්නේ මතෙව් 23වෙනි පරිච්ඡේදයේ. ඊටපස්සේ එයා ඒ කාලේ හිටපු ආගමික නායකයන්ගෙයි, අපේ කාලේ ඉන්න ආගමික නායකයන්ගෙයි සමානකම් ගැන කතා කළා. හැබැයි ඒ කාලේ හිටපු ආගමික නායකයන්ගේ වැරදි යේසුස් ඒ විදිහට කෙළින්ම කිව්වා කියලා අම්මාට හිතාගන්න බැරි වුණා. මොකද අපේ අම්මා කතෝලික කණුවක්. ඉතින් එයා හිතුවා ඒ ගැන බයිබලෙන්ම හොයලා බලන්න ඕනෙ කියලා.

අපි හිටියේ ලිතුවේනියාවේ. ඒක සෝවියට් සංගමය යටතේ තිබුණ රටක්. ඒ කාලේ රජයෙන් ආගමික නිදහසට ගොඩක් තහංචි දාලා තිබුණා. හරිම ටික දෙනෙක් ළඟ තමයි බයිබලයක් හරි තිබුණේ. ඉතින් අම්මා පල්ලියෙන් බයිබලයක් උස්සන් ඇවිත් ඒ කාලේ හිටපු ආගමික නායකයන් ගැන යේසුස් ඇත්තටම එහෙම කිව්වාද කියලා තහවුරු කරගත්තා. ඒකෙන් පස්සේ අම්මාගේ කුතුහලේ තවත් වැඩි වුණා. බයිබලේ මේ වගේ තව මොන මොන දේවල් තියෙනවාද කියලා දැනගන්න හිතාගෙන මාමාත් එක්ක පාඩම් කරපු සාක්ෂිකරුවාගෙන් එයා තව පොත් පත් ඉල්ලගත්තා.

වැඩි දවසක් යන්න කලින් අපේ පවුලේ හැමෝම රැස්වීම් යන්න පටන්ගත්තා. ඒ වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලා තිබ්බ නිසා රැස්වීම් තිබ්බේ එක එක තැන්වල. සමහර දවස්වලට ළඟපාත තිබුණ කැලේකත් රැස්වීම් තිබ්බා. 1978දී අපේ අම්මා බව්තීස්ම වුණා. මායි, මගේ නිවුන් සහෝදරිය ඩන්ගුවෝලේයි බව්තීස්ම වුණෙත් එදාමයි. එතකොට අපිට 15යි. අපේ තාත්තා බව්තීස්ම වුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ.

අවුරුදු හතරක් වයස වර්ජිලියුස් එයාගේ නිවුන් සහෝදරිය ඩන්ගුවෝලේගේ කරට අත දාගෙන ඉන්නවා.

මටයි, මගේ නිවුන් සහෝදරිය ඩන්ගුවෝලේටයි වයස අවුරුදු හතරේදී

යෞවන කාලේදීත් යෙහෝවා උදව්වට හිටියා

අපි බව්තීස්ම වෙලා මාසයක් යද්දී මටයි, ඩන්ගුවෝලේටයි ඉස්කෝලේදී පීඩා එන්න පටන්ගත්තා. ඉස්කෝලේ තිබුණ විශේෂ රැස්වීමක සෝවියට් ජාතික ගීය කියද්දී අපි දෙන්නා නැඟිට්ටේ නැහැ කියලා ටීචර්ස්ලා දැක්කා. ඉතින් එයාලා ප්‍රින්සිපල්ට අපි ගැන කිව්වා. ඊටපස්සේ එයා KGB නිලධාරීන්ට, ඒ කියන්නේ රහස් පොලිසියේ නිලධාරීන්ට අපි ගැන දැනුම් දීලා තිබුණා. ඒ නිලධාරීන් ඉක්මනටම අපේ ගෙදරට ඇවිල්ලා අපේ පවුලේ අයගෙන් ප්‍රශ්න කළා.

අපේ විශ්වාසය රැකගන්න අපිට අමාරු වුණ තව හේතුවක් තිබුණා. ටීචර්ලට ඕන වුණේ දෙවි කෙනෙක් නැහැ කියන අදහස කොහොමහරි අපේ ඔළුවට දාන්න. මට මතකයි අපිට අවුරුදු 16දී ටීචර් කෙනෙක් පන්තියේ හැමෝටම කිව්වා “මම දෙවි කෙනෙක්ව විශ්වාස නොකිරීමට හේතු” කියන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න කියලා. මට ඒ අදහසට එකඟ වෙන්න බැරි නිසා “මම දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා” කියලා කොළේක ලියලා ඒක මගේ මේසේ උඩින් තිබ්බා. ඒක දැක්කාම ටීචර්ට හොඳටම කේන්ති ගිහින් එයා කෑගහලා කිව්වා “එහෙනම් ඔයා දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ ඇයි” කියලා ලියන්න කියලා. මගේ විශ්වාසයන් ගැන ලියන්න මට අවසර ලැබුණ එක ගැන මට ගොඩක් සතුටු හිතුණා. ඊටපස්සේ මායි, ඩන්ගුවෝලේයි ඒ ගැන රචනාවක් ලියන්න පටන්ගත්තා. දෙවියන්ව විශ්වාස කරපු තවත් ගෑණු ළමයි දෙන්නෙක් ඒක දැකලා එයාලත් ඒ ගැනම ලිව්වා. ඒක යෙහෝවා මට ජය ගන්න උදව් කරපු එක පීඩාවක් විතරයි. ඔහු මට ඒ වගේ උදව් කරපු තව අවස්ථා ගොඩක් තිබුණා.—1 කොරින්ති 10:13.

සැරයක් පෙරමුණ ගන්න සහෝදරයෝ ‘අහිමි පාරාදීසයේ සිට උරුම වූ පාරාදීසය දක්වා’ (සිංහලෙන් නැහැ.) කියන පොත මාසෙකට තියාගන්න අපිට දුන්නා. මං දන්න තරමින් ඒ වෙද්දී අපේ රටේ ඒ පොත් හතරක් පහක් විතරයි තිබ්බේ. මායි, ඩන්ගුවෝලේයි කතා වුණා “ඒ පොත හැමදාටම අපි ගාව තියාගන්න පුළුවන් නම් කොච්චර හොඳද” කියලා. ඒත් ඉතිං එහෙම කරන්න බැහැනේ. ඉතින් අපි ඒ පොත ඒ විදිහටම කොපි කරගත්තා. ලියලා ලියලාම අපේ අත්වලට හොඳ ගණන්. ඒත් ඒ මහන්සිය අපතේ ගියේ නැහැ. මොකද ඒ පොතේ තිබුණ දේවල් උදව් වුණා අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න.

හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා 1982දී මාව හිරේ දැම්මා. එතකොට මට 19ක් වුණා විතරයි. අපරාධකාරයන්ගෙන් වට වෙලා හිරේ ලගින්න වෙච්ච එක මට ලේසි වුණේ නැහැ. ඒත් මං හිටපු හිරකඳවුරේම තව සාක්ෂිකාරයෙක් හිටියා. ඉඳලා හිටලා එයාව හරි හම්බ වෙන්න ලැබුණ එක ලොකු දෙයක්. අවුරුදු දෙකකට පස්සේ මාව හිරෙන් නිදහස් කළා. ඒත් ඒක මට හිරේ යන්න වුණ අන්තිම අවස්ථාව නම් නෙමෙයි.

යෙහෝවාට ආදරේ කරන බිරිඳක්

ලිඩ්යායි, මායි බඳින්න ටික දවසකට කලින්

1984 හිරෙන් නිදහස් වුණාට පස්සේ මට යෙහෝවාට ආදරේ කරන ලස්සන සහෝදරියක් එක්ක විවාහ වෙන්න පුළුවන් වුණා. එයාගේ නම ලිඩ්යා. එයා හිටියේ යුක්රේනයේ. ඒත් අපි බැන්දාට පස්සේ එයා එයාගේ ගම රට දාලා ලිතුවේනියාවට ආවා. එයාගේ පවුලේ අයත් සාක්ෂිකරුවෝ නිසා ඉස්කෝලේ යන කාලේ එයාටත් ගොඩක් පීඩා ඇවිල්ලා තිබුණා. ඒ පීඩාවලට හොඳට මූණ දෙන්න එයාට උදව් වෙලා තියෙන්නේ නාට්සි ගාල් කඳවුරුවල හිටපු සහෝදරයන්ගෙයි, සයිබීරියාවට පිටුවහල් කරපු සහෝදරයන්ගෙයි අද්දැකීම්.

1980 ගණන් වෙද්දීත් ලිතුවේනියාවේ අපේ වැඩ තහනම් කරලයි තිබුණේ. ඉතින් සාක්ෂිකරුවෙක්ගේ වෙඩින් එකක් තියෙද්දී සහෝදරයන් ඒක අවස්ථාවක් කරගත්තා දෙදින සමුළුවක් පවත්වන්න. අපේ වෙඩින් එකෙත් ඒකම කළා. අපේ වෙඩින් එකට ආපු අය අපිත් එක්ක සතුටු වෙලා, අපිට සුබ පැතුවා. ඊටපස්සේ හැමෝම එකතු වෙලා දේශන කීපයකට ඇහුම්කන් දීලා හුඟක් ගීතිකා කිව්වා. ඒ විතරක් නෙවෙයි අපිට බයිබල් නාට්‍යය හතරක්ම බලන්නත් අවස්ථාව ලැබුණා. මට මතක හැටියට ඒකට 450දෙනෙක් විතර ඇවිත් හිටියා. සෝවියට් රටවල්වල හිටපු අපේ නෑදෑයන්ටත් අපි ආරාධනා කරලා තිබුණා. හැබැයි අපේ සහෝදරයන්ට තේරුණා ඔය අමුත්තෝ අතරේ KGB නිලධාරීනුත් ඉන්නවා කියලා. එයාලට නම් අපි එන්න කියලා තිබුණේ නැහැ.

ලොකු ටෙන්ට් එකක පවත්වන වර්ජිලියුස් පුඩ්යූවීස්ගේ විවාහ උත්සවය. එදාම තමයි එයාගේ නෑදෑ නංගි කෙනෙකුත් විවාහ වුණේ. එයාලා හතරදෙනාම එකම මේසේ වාඩි වෙලා ඉන්නවා.

අපේ වෙඩින් එකත් එක්කම දෙදින සමුළුවකුත් පැවැත්තුවා. අපේ නෑදෑ නංගි කෙනෙකුත් එදාම විවාහ වුණා

ආයෙත් හිරගෙදරට

සාක්ෂිකරුවෙක් හිරෙන් නිදහස් වුණාට පස්සෙත් එයා සෝවියට් පාලනයට සහයෝගය දෙන්නේ නැත්නම් සමහර වෙලාවට රජය එයාව ආයෙත් හිරේ දානවා. ඉතින් අපි බැඳලා අවුරුද්දක් යන්නත් කලින් මට විරුද්ධව ආයෙත් නඩුවක් දැම්මා. මං උසාවියේ පෙනී හිටපු දවසේ ලිඩ්යා හිටියේ ළඟපාත තිබුණ ඉස්පිරිතාලෙක. මොකද ඒ වෙද්දී එයාට බබෙක් හම්බ වෙන්න හිටියා. නඩුව අතරතුර මට ලිඩ්යාව බලන්න යන්න අවසර දුන්නේ නැහැ. හැබැයි විවේක කාලයක් ලැබුණ ගමන් මං ඉස්පිරිතාලේ පැත්තට ඇවිදගෙන ගිහින් ලිඩ්යා හිටපු කාමරේ ජනේලේ ගාවට ගියා. එතන ඉඳන් පොඩි වෙලාවකට හරි එකිනෙකාව ශක්තිමත් කරගන්න අවස්ථාවක් ලැබුණ එක ලොකු දෙයක්. මොකද එදා හවස මට අවුරුදු තුනක හිරදඬුවමක් නියම කළා.

වර්ජිලියුස් ඉස්පිරිතාලේ ඉන්න එයාගේ බිරිඳ ලිඩ්යාගේ කාමරේ ජනේලේ ගාව හිටගෙන ඉන්නවා. වර්ජිලියුස් කතා කරද්දී ලිඩ්යා හොඳට අහගෙන ඉන්නවා.

හැබැයි දවස් දෙකකට පස්සේ ලිඩ්යාට ලැබෙන්න හිටපු දරුවා නැති වුණා. ඒ නිසා එයාගේ හිතට කොච්චර වේදනාවක් දැනුණාද කියනවා නම් එයා කිව්වේ එයාට දැනුණේ එයාගේ හිත කෑලි කෑලිවලට ඉරලා දැම්මා වගේ කියලයි. ඒ මදිවට ලිඩ්යා ලිතුවේනියාවටත් අලුත්. එයාට එහෙට හුරු වෙන්නත් වුණා. එයා කතා කලේ යුක්රේනියානු භාෂාවයි, රුසියානු භාෂාවයි විතරයි. අපේ අම්මලාට ඒ භාෂා එච්චර බැහැ. ඒ නිසා එයාලත් එක්ක එකට ජීවත් වෙන එක ලිඩ්යාට ලේසි වුණේ නැහැ. ඒත් මේ හැම දෙයක්ම වෙද්දී ලිඩ්යා යෙහෝවා මතම රැඳිලා හිටියා. අපේ අම්මලත් එයාව ආදරෙන් බලාගෙන ඒ අමාරු කාලය පුරාම එයාව සැනසුවා.

යෙහෝවා දිගටම උදව්වට හිටියා

පළවෙනි සැරේ හිරේදී මං ඉගෙනගත්ත දේවල් දෙවෙනි සැරේ හිරේ ගිය වෙලාවේ මට උදව් වුණා. මං ඉගෙනගත්ත එක දෙයක් තමයි පීඩා විඳදරාගන්න දේශනා කරන එක උදව් වෙනවා කියන එක. මට මතකයි ඒ දවස්වල අපිව හිරකඳවුරට ගෙනියන්නේ වාහනවල, කෝච්චිවල පටවලා. සමහර වෙලාවට පස් හයදෙනෙක්ට යන්න පුළුවන් ඉඩේ 15ක් 20ක් විතර දානවා. ඒ විදිහට යන එන ගමනුත් මං අනිත් අයට සාක්ෂි දැරුවා. මං පැහැදිලි කළා මං යුද්ධවලදී, දේශපාලනයේදී පැති ගන්නේ නැහැ, ඒ නිසයි මාව හිරේ දාලා තියෙන්නේ කියලා. දෙවි කෙනෙක්ව විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් මං එයාලට කතා කළා.

මං හිටියේ මරියම්පෝලෙයි කියන හිරකඳවුරේ.a එහේ හිරකාරයෝ 2,000ක් හිටියා. මං දන්න තරමින් ඒ අතර හිටපු එකම සාක්ෂිකරුවා මං. හිරකාරයෝ නිතරම අනිත් හිරකාරයන්ට තර්ජනය කරනවා, එයාලට ගහනවා. සමහර වෙලාවට මරනවත් එක්ක. ඒවා එයාලට හරි සාමාන්‍යයි. හැබැයි එයාලා මට නම් දරුණු විදිහට ගහලා තියෙන්නේ එක පාරයි. මේ වගේ අමාරු වටපිටාවක් මැද්දේ වුණත් මං අනිත් අයට ආදරේ පෙන්නන්න උත්සාහ කළා. හැම දේම එපා වෙලා හිටපු හිරකාරයන්ව මං ශක්තිමත් කළා. හිරගෙදරකදී තව කෙනෙක්ගෙන් ඒ වගේ උදව්වක් ලැබෙන්නේ හරිම කලාතුරකින්.

අපිට කරදර කළේ හිරකාරයෝ විතරක් නෙමෙයි, KGB නිලධාරීනුත් හැම වෙලේම අපේ ඔළුව අවුල් කරන්නයි හැදුවේ. කොහොමහරි එයාලා අපේ ගෙදර කතා වුණ දේවල් දැනගෙන හිටියා. ඒ කොහොමද කියලා නම් මං දන්නේ නැහැ. ඊටපස්සේ එයාලා ඇවිල්ලා ඒවා මටත් කියනවා. එයාලා පෙන්නන්න හැදුවේ අපේ ගෙදර දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා, පවුලේ කට්ටිය අතරේ කිසි සමඟියක් නැහැ කියලා. මං නම් එයාලා කිව්ව දේවල් සත පහකට විශ්වාස කළේ නැහැ. මං හිරෙන් නිදහස් වුණාට පස්සේ තමයි දැනගත්තේ නිලධාරීන් ඇත්ත කොච්චර විකෘති කරලාද කියලා තියෙන්නේ කියලා.—මතෙව් 10:16.

සැරයක් අපේ සහෝදරියක් එයා හොඳට දන්න අඳුරන බන්ධනාගාර නිලධාරියෙක්ට පොඩි බයිබලයක් දීලා තිබුණා සැක නොහිතෙන විදිහට මට ගිහින් දෙන්න කියලා. ඒකෙන් බලලා මං රෑට රෑට කන්ද උඩ දේශනාවේ පද කීපයක් පොඩි කොළ කෑල්ලක ලියාගත්තා. ඊටපස්සේ පහුවෙනිදා වැඩ කරද්දී මං ආයේ ආයේ ඒක කියෙව්වා. මං එහෙම කළේ කාටත් පේන්නේ නැති වෙන්න. රුසියානු භාෂාව මගේ මව් භාෂාව නෙමෙයි. හැබැයි ඔය විදිහට මං රුසියානු භාෂාවෙන් කන්ද උඩ දේශනාව කටපාඩම් කරගත්තා. ඒත් අන්තිමේදී නිලධාරීන්ට මගේ බයිබලේ අහු වෙලා එයාලා ඒක මගෙන් ගත්තා. හැබැයි ඒ වෙන කොට කන්ද උඩ දේශනාව තිබ්බේ පොතේ විතරක් නෙමෙයි මගේ හිතෙත් ඒක තිබ්බා.

හිරේ ඉන්න වර්ජිලියුස් මේසේ උඩ තියෙන පුංචි කොළ කෑල්ලක බයිබල් පද ලියනවා. කවුරු හරි එයි කියන බයට එයා පිටිපස්ස හැරිලා බලනවා. එයාගේ මේසේ ලාච්චුවේ බයිබලේ දාලා තියෙනවා.

ලිඩ්යා හැම දවසකම වගේ මට ලියුමක් එව්වා. එයාගෙන් ලැබුණ ඒ උදව් මට ලොකු ශක්තියක් වුණා. හැබැයි එයාට ලියුමක් යවන්න මට අවසර ලැබුණේ මාසෙකට දෙපාරක් විතරයි. ඒත් ඒ ලියුම් දෙක එන කල් එයා ඇඟිලි ගැන ගැන බලන් හිටියා. මොකද එයා ඒවායින් වැදගත් දේවල් තුනක් දැනගත්තා. ඒ තමයි මං තාම ජීවතුන් අතර ඉන්නවා. මං යෙහෝවාව අතහැරලා නැහැ සහ මං ඉස්සර වගේම ලිඩ්යාට ආදරෙයි කියන දේ.

යාච්ඤාවලට උත්තර දීලත් යෙහෝවා උදව් කළා

දවසක් හිරකාරයෝ කණ්ඩායමක් නිලධාරීන්ගෙන් ඉල්ලුවා එයාලට පවරලා තියෙන වැඩ තව ටිකක් ලේසි කරන්න කියලා. ඒ දේ වෙන කල් එයාලා වැඩ කරන එක නතර කළා. ඒකට නිලධාරීන් එයාලට දරුණු විදිහට දඬුවම් කළා. ඊටපස්සේ නිලධාරීන් මටයි, තව කීපදෙනෙක්ටයි කිව්වා ‘ඒ කණ්ඩායමට පැවරිලා තිබුණ වැඩේ දැන් ඔයාලා කරගෙන යන්න’ කියලා.

මං ඒ වැඩ කරන්න බැහැ කියලා කිව්වොත් මටත් අර විදිහටම දඬුවම් ලැබෙනවා. හැබැයි මං වැඩේ භාරගත්තොත් අනිත් හිරකාරයෝ මගෙන් පළිගනියි, මට හොඳටම ගහයි නැත්නම් මාව මරලා හරි දායි. මට ලොකු පීඩනයක් දැනුණා. මොනවාද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. මොකද මාව දෙපැත්තෙන්ම හිර වෙලා හිටියේ. (2 ලේකම් 20:12) ඉතිං මං යෙහෝවාගේ උදව් ඉල්ලලා ලොකු ඕනකමකින් යාච්ඤා කළා.

මං ඒ වෙද්දිත් වැඩ කරකර හිටපු කණ්ඩායමේ හිරකාරයෙක් හදිසියේම ඇවිල්ලා අපිට කිව්වා වැඩ බලන නිලධාරියාව හම්බ වෙන්න එන්න කියලා. ඒ හිරකාරයත් එක්ක මං එකට වැඩ කරලා තිබුණා. ඒත් අපි අතරේ එහෙමටයි කියලා යාළුකමක් තිබුණේ නැහැ. ඒ වුණාට එයා නිලධාරියාට එකහෙළාම කිව්වා මාව මං හිටපු කණ්ඩායමේම තියන්න කියලා. ඒ නිලධාරියාත් කාටවත් ඔළුව නවන ජාතියේ කෙනෙක් නෙමෙයි. ඉතිං දෙගොල්ලෝ අතරේ ලොකු වචන හුවමාරුවක් ගියා. හැබැයි අන්තිමේදී ‘එහෙනං ඔයා ඒ කණ්ඩායමේම ඉන්න’ කියලා එයා අපිව ඔෆිස් එකෙන් එළවලා දැම්මා. ඒක මට ලොකු සහනයක් වුණා. (2 පේතෘස් 2:9) හිරකාරයෙක් තවත් හිරකාරයෙක්ට උදව්වක් කරන්න මෙච්චර මහන්සි වෙනවා මං හිරේ හිටපු අවුරුදු ගාණ පුරාම දැකලා තිබුණේ නැහැ. ඒ අද්දැකීමෙන් මං ඉගෙනගත්තා අපේ යාච්ඤාවලට උත්තර දෙන්න යෙහෝවාට ඕනෙම කෙනෙක්ව පාවිච්චි කරන්න පුළුවන් කියලා.

වැඩ බලන නිලධාරියෙක් එක්ක රණ්ඩු කරන හිරකාරයාගේ පිටිපස්සේ වර්ජිලියුස් හිටගෙන ඉන්නවා. අනිත් හිරකාරයෝ වටේට හිටගෙන ඉන්නවා.

යෙහෝවා ලිඩ්යාගේ උදව්වටත් හිටියා

මං හිරේ හිටපු කාලේ ලිඩ්යාට වෙච්ච දේවල් කීපයක් මං ඔයාලට කියන්නම්. එයා රස්සාවක් හොයහොය හිටියා. හැබැයි මං හිරේ හිටපු නිසා ගොඩක් අය එයාට රස්සාවක් දෙන්න කැමති වුණේ නැහැ. මොකද KGB නිලධාරීන් එයාලටත් ප්‍රශ්න ඇති කරයි කියලා එයාලා බය වුණා. අන්තිමේදී එයාට රස්සාවක් හම්බ වුණා. ඒත් එයාට පැය 12ක් තිස්සේ ළමයි 30දෙනෙක් බලාගන්න තිබුණා. ඒක හෙම්බත් වෙන රස්සාවක්. හැබැයි යෙහෝවා හැම දවසකම වැඩට යන්න ලිඩ්යාට ශක්තිය දුන්නා. ඒ විතරක් නෙමෙයි ලිතුවේනියාව පුරාම හිටපු සහෝදර සහෝදරියන් කිලෝමීටර් සිය ගණන් දුර ගෙවාගෙන එයාව බලන්න ආවා. එයාලා ලිඩ්යාව සැනසුවා, එයාත් එක්ක කාලේ ගත කළා. එයාලා ලිඩ්යාට රුසියානු භාෂාවෙන් සඟරාත් ගෙනල්ලා දුන්නා. ඉතින් එයාට තනිකමක් දැනුණේම නැහැ.

පවුලක් විදිහට යෙහෝවාට සේවය කළා

හිරෙන් නිදහස් වුණාට පස්සේ ලිතුවේනියානු භාෂාවට අපේ පොත් පත් පරිවර්තනය කරන වැඩ සංවිධානය කරන්න මං උදව් කළා. ඒ වැඩ කෙරුණේ හොර රහසේ. හැබැයි අවුරුදු කීපයකට පස්සේ සෝවියට් සංගමය බිඳ වැටුණා. ඉතින් ලිතුවේනියාවේ අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව ලියාපදිංචි කළා. ටික කාලයක් යද්දී එහේ පරිවර්තන කාර්යාලයකුත් පිහිටෙව්වා. අපේ ගෙදර ඉඳලා පරිවර්තන කාර්යාලයට යන්න පැය එකහමාරකට වඩා යනවා. ඒත් මං අවුරුදු පහක් තිස්සේ හැම සතියකම එහේ සේවය කළා. මං ඒක කළේ හරිම සතුටින්.

1997 අගෝස්තු මාසේ මටයි, ලිඩ්යාටයි ආරාධනාවක් ලැබුණා ලිතුවේනියා ශාඛා කාර්යාලයේ ඒ කියන්නේ බෙතෙල් එකේ සේවය කරන්න. ඒ ආරාධනාව ලැබුණාම අපිට දැනුණේ කියාගන්න බැරි සතුටක්! ඒ වෙද්දී අපිට දුවලා දෙන්නෙක් හිටියා. ලොකු දුවගේ නම ඔක්සානා. එයාට අවුරුදු නවයයි. පොඩි දුවගේ නම ස්වයියූනේ. එයාට අවුරුදු පහයි. දවස් තුනක් ඇතුළත බෙතෙල් එකට කිට්ටුවෙන් ඉන්න තැනකුත් හොයාගෙන ඔක්සානාව අලුත් ඉස්කෝලෙකට දාන්නත් අපිට සිද්ධ වුණා.

වර්ජිලියුස් ඔටුන්නක් වෙනුවට තොප්පියකුත් සළුවක් වෙනුවට බ්ලැන්කට් එකකුත් දාගෙන එයාගේ දුවලා දෙන්නාත් එක්ක එස්තර් පොතේ තියෙන කොටසක් රඟපානවා.

අපිට ඕනෙ වුණේ අපේ පවුලේ නමස්කාරය අර්ථවත් වගේම රසවත් එකක් කරන්න. මේ අපි අහෂ්වේරොෂ්, එස්තර් සහ මොර්දෙකයිගේ සිද්ධියක් රඟ දක්වන අවස්ථාවක්

අපේ ළමයින්වත් බලාගන්න ගමන් බෙතෙල් සේවයත් කළේ කොහොමද කියලා දන්නවාද? මං උදෙන්ම බෙතෙල් එකට යනවා. ළමයි දෙන්නා ඉස්කෝලේ ගියාට පස්සේ ලිඩ්යාත් බෙතෙල් එකට එනවා. හැබැයි එයාලාගේ ඉස්කෝලේ ඇරෙන්න ටිකකට කලින් ලිඩ්යා ආයෙත් ගෙදර යනවා. එතකොට එයාලට ලිඩ්යාත් එක්ක කාලේ ගත කරන්න පුළුවන්නේ.

ලිතුවේනියාවේ ශාඛා කාර්යාලයේ කැප කිරීමකදී වර්ජිලියුස්, ලිඩ්යා, ඔක්සානා සහ ස්වයියූනේ ගත්ත පින්තූරයක්.

2003දී ලිතුවේනියාවේ ශාඛා කාර්යාලයේ තිබුණ කැප කිරීමකදී ඒ රටේ ඇඳුම් ඇඳගෙන ගත්ත පින්තූරයක්

අපේ පවුලේ කට්ටියට සිකුරාදා එන කල් ඉවසිල්ලක් නැහැ. මොකද එදාට තමයි අපි පවුලේ නමස්කාරය කරන්නේ. ඉතින් අපි කෑම උයලා, ගේ අස්පස් කරලා, පවුලක් විදිහට විනෝද වෙනවා. කාලෙන් කාලෙට අපි දුවලාව එක්කගෙන මුහුදු වෙරළවල්, කඳුකර පැති වගේ තැන් බලන්න යනවා. එතකොට යෙහෝවාගේ නිර්මාණ දකින්න එයාලට අවස්ථාව ලැබෙනවානේ. ඒ විතරක් නෙමෙයි, අපි යුරෝපයේ තියෙන අනිත් ශාඛා කාර්යාල පෙන්නන්නත් එයාලව එක්කන් ගියා. ඒකෙන් ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ව අඳුරගන්න එයාලට පුළුවන් වුණා. අපේ දුවලා දෙන්නා ගැන හිතද්දී මටයි, ලිඩ්යාටයි හරිම සතුටුයි. ඒ දෙන්නාම අවුරුදු 15දී ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. දැන් ඔක්සානා එයාගේ මහත්තයා ජීන් බෙන්වා එක්ක ලිතුවේනියානු ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයේ සේවය කරනවා. අපේ පොඩි දුව ස්වයියූනේ එයාගේ මහත්තයා නිකලස් එක්ක ප්‍රංශයේ බෙතෙල් එකේ සේවය කරනවා.

හැමදාමත් මගෙයි, ලිඩ්යාගෙයි ජීවිගේ වැදගත්ම දේ වුණේ යෙහෝවාට කරන සේවය. අපි දෙන්නාට “එක ශරීරයක් වගේ” වෙන්න වැඩියෙන්ම උදව් වුණ දේ තමයි ඒක. (එෆීස 5:31, පදසහටන; දේශනාකාරයා 4:12) අවුරුදු ගාණක් පුරා මූණ දීපු පීඩා නිසා අපිව හැම පැත්තකින්ම තැළුණත්, “හෙල්ලෙන්න බැරි තරමටම අපිව හිර කරන්න” කාටවත් පුළුවන් වුණේ නැහැ. මොකද යෙහෝවා අපිත් එක්ක හිටියා. (2 කොරින්ති 4:8, 9) ජීවිත කාලේ පුරා ආපු හැම පීඩාවකදීම යෙහෝවා අපේ උදව්වට හිටපු විදිහ අපි අද්දැක්කා. ඔහු ඉස්සරහටත් ඒ දේම කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.

මගේ ආදරණීය බිරිඳ ලිඩ්යා එක්ක

a 1955 ඉඳලා 1990 වෙන කල් ඒකට කිව්වේ කප්සුකාස් කියලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න