සැප්තැම්බර් 1, සඳුදා
“හිමිදිරි උදෑසන විහිදෙන ආලෝකයක් අපි ළඟට බැහැලා එයි.”—ලූක් 1:78.
මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න දෙවියන් යේසුස්ට බලය දුන්නා. යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා ඕනම ප්‍රශ්නයක් විසඳන්න යේසුස්ට පුළුවන් කියලා. උදාහරණෙකට ඔහුට පුළුවන් අසනීප, මරණය ඇතුළුව අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම මුල් වුණ හේතුව ඒ කියන්නේ පාපය වුණත් අයින් කරලා දාන්න. (මතෙ. 9:1-6; රෝම 5:12, 18, 19) “සියලු ආකාර” අසනීප හොඳ කරන්න පුළුවන් කියලා යේසුස් ඔප්පු කළා. (මතෙ. 4:23) කොටින්ම කිව්වොත් කෙනෙක්ව මරණයෙන් නැඟිට්ටවන්නත් යේසුස්ට බලය තියෙනවා. (යොහ. 11:43, 44) ඒ වගේම බිහිසුණු කුණාටු නිහඬ කරන්න, දරුණු භූතයන්ව මෙල්ල කරන්න ඔහුට පුළුවන්. (මාක් 4:37-39; ලූක් 8:2) යෙහෝවා ඒ තරම් බලයක් යේසුස්ට දුන්නා නම් යේසුස් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳයිද කියලා අපි සැකයක් තියාගන්න ඕනෙද? දේවරාජ්‍යයෙන් පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා අපිට සහතිකයි. මොකද යේසුස් ඒ හැම ආශ්චර්යයක්ම කළේ මනුෂ්‍යයෙක් විදිහට ඉද්දී. එහෙමනම් දේවරාජ්‍යයේ රජ විදිහට ඔහු ඉස්සරහට ඊට වඩා කොච්චර දේවල් කරයිද! w23.04 3 5-7¶
සැප්තැම්බර් 2, අඟහරුවාදා
“දෙවියන්ගේ බලය හැම දෙයක්ම එළිදරව් කරනවා. දෙවියන් ගැන දන්නේ නැති ගැඹුරු කාරණා පවා එළිදරව් කරනවා.”—1 කොරි. 2:10.
ඔයා ඉන්නේ ගොඩක් ප්‍රචාරකයන් ඉන්න සභාවක නම් ඔයා උත්තර දෙන්න අත ඉස්සුවත් ඔයාට අවස්ථාව ලැබෙන්නේ නැතුව ඇති. එහෙනම් ඔයාටත් හිතිලා ඇති ‘මං රැස්වීම් ගිහින් ඔහේ අහන් ඉඳලා එනවා’ කියලා. හැබැයි එහෙම හිතලා අදහස් දෙන්නේ නැතුව ඉන්න එපා. උත්තරේකට, දෙකකට නෙවෙයි කීපයකටම ලෑස්ති වෙලා යන්න. එතකොට පාඩම මුලදී උත්තරයක් දෙන්න බැරි වුණත් ඒ අවස්ථාව පස්සේ හරි හම්බ වෙයි. ‘මුරටැඹ’ ලිපිය ලෑස්ති වෙද්දී හැම ඡේදයක්ම ප්‍රධාන තේමාවට සම්බන්ධ වෙන විදිහ ගැන හිතන්න. එතකොට ඕනම ඡේදයකදී හොඳ අදහසක් දෙන්න ඔයාට පුළුවන් වෙයි. ඊට අමතරව ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ගැඹුරු කාරණා ගැන සාකච්ඡා කරන ඡේදවලට වැඩිපුර ලෑස්ති වෙන්න. ඒ ඇයි? මොකද ඒ වගේ ඡේදවලදී වැඩිදෙනෙක් අත් උස්සන්නේ නැති නිසා ඔයාගෙන් උත්තරේ අහන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් රැස්වීම් කීපයකදීම එක දිගට ඔයාගෙන් අදහසක් ගත්තේ නැත්නම්? ඔයාට පුළුවන් මෙහෙයවන සහෝදරයාව හම්බ වෙලා “මං මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කැමතියි” කියලා එයාට කලින්ම කියන්න. w23.04 21-22 9-10¶
සැප්තැම්බර් 3, බදාදා
“යෝසෙප් යෙහෝවාගේ දූතයා කියපු විදිහටම එයාගේ බිරිඳව ගෙදරට එක්කගෙන ආවා.”—මතෙ. 1:24.
දෙවියන් දීපු මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි යෝසෙප්ට හොඳ සැමියෙක් වෙන්න පුළුවන් වුණේ. අඩුම තරමේ අවස්ථා තුනකදීවත් පවුලට සම්බන්ධ කාරණා ගැන දෙවියන් එයාට කෙළින්ම මඟ පෙන්වීම් දුන්නා. කොච්චර කැප කිරීම් කරන්න වුණත් යෝසෙප් ඒවාට ඉක්මනින්ම කීකරු වුණා. (මතෙ. 1:20; 2:13-15, 19-21) ඒ නිසා මරියාව ආරක්ෂා කරන්න, එයාට සහයෝගය දෙන්න, එයාව රැකබලා ගන්න යෝසෙප්ට පුළුවන් වුණා. යෝසෙප් ගැන මරියාට කොච්චර ආදරයක්, ගෞරවයක් ඇති වෙන්න ඇද්ද! ස්වාමිපුරුෂයෙනි, ඔයාලත් හැම වෙලාවෙම බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවාද? ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්න වුණත් ඒවා අහක යන්නේ නැහැ. එහෙම කරද්දී ඔයා බිරිඳට කොච්චර ආදරෙයිද කියලා එයාට දැනෙනවා. අවුරුදු 20කට විතර කලින් විවාහ වුණ සහෝදරියක් මෙහෙම කියනවා. “මගේ මහත්තයා හැම තිස්සේම බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලලා වැඩ කරද්දී මට එයා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මං හොඳටම දන්නවා එයා කවදාවත් අපිට නරකක් වෙන තීරණයක් ගන්නේ නෑ කියලා.” w23.05 21 5¶