ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • භයානක මිතුරෙක්
    2010 පිබිදෙව්! | මැයි
    • භයානක මිතුරෙක්

      පාසැල් යන කාලයේ හමු වූ “මිතුරෙක්” ඔබට සිටියි. මිතුරන් අතර ඔබට පිළිගැනීමක් ලබා දුන්නේ ඔහුයි. ඔබ මානසික පීඩනයකින් පසු වූ අවස්ථාවලදී “සහනයක්”පතා නිතරම ගියේ ඔහු ළඟටයි. ඇත්තම කියනවා නම් ඔබට දැන් ඔහුව නැතුවම බැරි තත්වයකට පත් වෙලා.

      නමුත් ඔහු එතරම් හොඳ මිතුරෙකු නොවන බව කාලයත් සමඟ ඔබ තේරුම්ගන්නවා. ඔබ අකමැති වුණත් ඔබ යන සමහර තැන්වලට ඔහුවත් රැගෙන යන්න කියා ඔහු ඔබට බල කරනවා. කලකට ඉහතදී ඔබේ මිතුරන් අතර පිළිගැනීමක් ලබා දුන් ඔහු එසේ කළේ ඔබේ ජීවිතය අනතුරේ හෙළමිනුයි. ඒ විතරක් නොවෙයි ඔබ මහන්සියෙන් උපයන සල්ලිත් ඔහු නාස්ති කරනවා!

      ඔහුගෙන් ඈත් වෙන්න ඔබ උත්සාහ කළත් ඔහු නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු ඔබව පාලනය කරන්නත් පටන් අරන්! ඔහු වැනි කෙනෙකුව මිතුරෙක් කරගැනීම ගැන ඔබ දැන් ගොඩක් කනගාටු වෙනවා.

      දුම්පානය කරන්නන් හා දුම්වැටි අතර තිබෙන්නේත් එවැනිම සම්බන්ධයක්. අවුරුදු 50ක් තිස්සේ දුම්පානයට ඇබ්බැහි වී සිටි අර්ලීන් නමැති කාන්තාව මෙසේ පවසනවා. “හොඳ මිතුරෙකුගෙන් ලැබෙනවාට වඩා උපකාරයක් මට සිගරට් එකෙන් ලැබුණා. සමහර වෙලාවට මට හිටිය එකම යාළුවාත් ඒක තමයි.” දුම්වැටිය නරක මිතුරෙකු පමණක් නොව භයානක සතුරෙක් බවත් පසුව ඇය තේරුම්ගත්තා. මෙම ලිපියේ ආරම්භක වදන් ඇය සම්බන්ධයෙන්ද සත්‍යයක් වූ බව පැවසිය හැකියි. නමුත් දුම්පානය, දෙවි දී තිබෙන ශරීරය දූෂ්‍ය කරගැනීමක් බව තේරුම්ගත් ඇය එම පුරුද්ද නතර කළා.—2 කොරින්ති 7:1.

      එම හේතුව නිසාම ෆ්‍රෑන්ක් නමැත්තාද දුම්බීම නතර කිරීමට තීරණය කළා. නමුත් ඔහු දුම්පානය නතර කර දවසකට පමණ පසුව නැවතත් ඒ සඳහා දැඩි පෙලඹීමක් ඇති වුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “එදා මම දණ ගගා ගෙදර හැම අස්සක මුල්ලකම සිගරට් කොට හෙව්වා. මම මොන තරම් පහත් තත්වයකට වැටිලද කියලා එදයි මට තේරුණේ. ඊටපස්සේ නම් මම කවදාවත් සිගරට් බිව්වේ නැහැ.”

      බොහෝදෙනා දුම්කොළවලට එතරම් වහල් වී සිටින්නේ ඇයි? ඊට හේතු රාශියක් ඇති බව සොයාගෙන තිබෙනවා. ඒවා නම් (1) දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තහනම් මත්ද්‍රව්‍ය තරම්ම ඇබ්බැහි වන සුලු වීම, (2) දුම්පානය මගින් ශරීරගත වන නිකටින් මොළයට ගමන් කිරීමට ගත වන්නේ තත්පර හතක් තරම් කෙටි කාලයක් වීම, (3) ආහාර පාන ගැනීම තරම් එය සාමාන්‍ය දෙයක් වී තිබීම හා මානසික පීඩනයෙන් මිදීමට සමහරුන් එය භාවිත කිරීමයි.

      නමුත් අර්ලීන් හා ෆ්‍රෑන්ක්ගේ අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ දුම්පානයට ඇබ්බැහි වූ කෙනෙකුට ඉන් මිදිය හැකි බවයි. ඔබත් දුම්පානයෙන් මිදෙන්න ආශාවෙන් සිටින කෙනෙක්ද? ඊළඟ ලිපි කියවීම ඔබට විශාල උපකාරයක් වන අතර ඔබේ ජීවිතය නව මඟකට යොමු කිරීමට එමගින් අවස්ථාව උදා වෙයි.

  • ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න
    2010 පිබිදෙව්! | මැයි
    • ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න

      “දුම්පානය නතර කළ අයගේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ තිබූ දැඩි අධිෂ්ඨානයයි.”—Stop Smoking Now නමැති පොත.

      දුම්පානය නතර කරන්න ඔබත් කැමති නම් ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය බව මතක තබාගන්න. නමුත් එම අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නේ කෙසේද කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් එම පුරුද්ද අත්හැරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කල්පනා කිරීමයි.

      ඔබේ මුදල් ඉතුරු වෙයි. දිනකට සිගරට් පැකට් එකක් බොන පුද්ගලයෙක් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් පමණ වැය කරනවා. “සිගරට්වලට මම කොයි තරම් මුදලක් නාස්ති කළාද කියලා මට තේරුණේ පස්සෙයි.”—නේපාලයේ ජියානු.

      ඔබේ සතුට වැඩි වෙයි. දුම්පානය නතර කළ අයගේ ගඳ සුවඳ දැනීමේ හා රස දැනීමේ හැකියාව නැවතත් හොඳ තත්වයට පැමිණෙන අතර කාය ශක්තිය හා පෙනුමද වැඩි දියුණු වෙනවා. “දුම්පානය නතර කළාට පස්සේ මට දැනුණේ හරියට මගේ ජීවිතය අලුතෙන්ම පටන්ගත්තා වගෙයි.”—දකුණු අප්‍රිකාවේ රෙජිනා.

      ඔබේ සෞඛ්‍ය හොඳ අතට හැරෙයි. “දුම්පානය නතර කළ විගස ඕනෑම වයස් මට්ටමක පසු වන අයට යහපත් සෞඛ්‍යයක් අද්දකින්න ලැබෙයි.”—එක්සත් ජනපදයේ රෝග මර්දන හා වළක්වාගැනීමේ මධ්‍යස්ථාන.

      ඔබට ඔබ ගැනම හොඳ විශ්වාසයක් ඇති වෙයි. “මම සිගරට් බොන එක නතර කෙරුවේ ඒක මාව පාලනය කරනවාට මම අකමැති වුණ නිසයි.”—ඩෙන්මාර්කයේ හෙනින්.

      ඔබේ පවුලේ අයටත් මිතුරන්ටත් ප්‍රයෝජන ලැබෙයි. “දුම්පානය කරන අය අසල සිටින පුද්ගලයන් දහස් ගණනක් සෑම වසරකම පෙණහලු පිළිකාවලින් හා හෘද රෝගවලින් මිය යන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.”—ඇමරිකානු පිළිකා සංගමය.

      ඔබගේ නිර්මාතෘ සතුටු වෙයි. ‘ප්‍රේමණීය සහෝදරයෙනි, ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.’ (2 කොරින්ති 7:1) ‘ඔබේ ශරීර ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි ලෙස ඔප්පු කරන්න.’—රෝම 12:1.

      “ශරීරය අපවිත්‍ර කරන දේවල් අපි කරනවාට දෙවි අකමැති බව තේරුම්ගත්ත ගමන්ම මම දුම්පානය නතර කළා.”—ස්පාඤ්ඤයේ සිල්වියා.

      දුම්පානය නතර කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයට අමතරව පවුලේ අයගේ මෙන්ම මිතුරන්ගේ උපකාරද අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැක්කේ කුමක්ද?

  • අන් අයගේ උපකාර ලබන්න
    2010 පිබිදෙව්! | මැයි
    • අන් අයගේ උපකාර ලබන්න

      “තනිව සිටින කෙනෙකුව පැරදවීම සතුරෙකුට අපහසු දෙයක් නොවේ. එහෙත් ඔහුට විරුද්ධව නැඟී සිටීමට දෙදෙනෙකුට පුළුවන.”—දේශනාකාරයා 4:12.

      අන් අයගේ උපකාර තිබෙනවා නම් අපට ඕනෑම තත්වයකට සාර්ථකව මුහුණ දිය හැකියි. එමනිසා දුම්බීමේ පුරුද්ද නතර කිරීමට ඔබට උපකාර කරන්න කැමති පවුලේ සාමාජිකයන්ගේ හෝ මිතුරන්ගේ උපකාර පැතීම ඥානවන්තයි.

      දුම්පානය නතර කළ අයට ඔබේ තත්වය හොඳින් තේරුම්ගත හැකි නිසා ඔවුන්ගේ උපකාරද පතන්න. ඩෙන්මාර්කයේ සිටින ටෝබෙන් ඒ ගැන මෙසේ පවසනවා. “මේ පුරුද්ද නතර කරන්න අනික් අයගෙන් ලැබුණු උපකාර ගැන කියන්න මට වචන නැහැ.” ඉන්දියාවේ ජීවත් වන ඒබ්‍රහැම්ගේ අද්දැකීම මෙයයි. “මගේ පවුලේ අයයි ක්‍රිස්තියානි සභාවේ අයයි මට පෙන්වපු ප්‍රේමය නිසා මේ පුරුද්දෙන් ගොඩ එන්න පුළුවන් වුණා.” නමුත් සමහර අවස්ථාවලදී ඒ සඳහා පවුලේ අයගේ සහ මිතුරන්ගේ උපකාර පමණක් ප්‍රමාණවත් නොවන්න පුළුවන්.

      ඒ බව බග්වන්ඩාස් නමැති පුද්ගලයාගේ අද්දැකීමෙන් ඔප්පු වෙනවා. “මම අවුරුදු 27ක්ම දුම්පානය කළා. දුම්බීම වැරදියි කියලා බයිබලයෙන් ඉගෙනගත්තාම ඒක නතර කරන්න මම තීරණය කළා. දුම්බොන අය එක්ක ආශ්‍රයත් මම නතර කළා. උපදේශකයන් ළඟට ගියා. ඒත් ඒ කිසි දේකින් වැඩක් වුණේ නැහැ. මේ පුරුද්ද නතර කරගන්න උපකාර ඉල්ලලා එක දවසක් මම යෙහෝවා දෙවිට ගොඩක් යාච්ඤා කළා. අන්තිමේදී මට ඒකෙන් ජය ගන්න පුළුවන් වුණා.”

      දුම්පානය නතර කිරීමත් සමඟ ඇති වන අපහසුතාවන්ට මුහුණ දීමට සූදානම් වීමද ඉතා වැදගත්. ඒ සඳහා ඊළඟ ලිපිය කියවා බලන්න.

      [5වන පිටුවේ කොටුව]

      වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුද?

      දුම්පානය නතර කිරීමට අද දින බොහෝ රටවල නිකටින් ප්ලාස්ටර් වැනි ක්‍රම භාවිත කරනවා. (නිකටින් අඩංගු ප්ලාස්ටරයක් ශරීරයේ අලවාගැනීමෙන් එහි ඇති නිකටින් ක්‍රමානුකූලව රුධිරයට එක් වෙයි.) නමුත් ඒවා අත්හදා බැලීමට පෙර මෙම ප්‍රශ්න ගැන සිතන්න.

      ඉන් අත් වන ප්‍රයෝජන මොනවාද? දුම්පානය නතර කිරීමෙන් පසු ඇති වන අපහසුතාවන් අවම කරගැනීමට එවන් ප්‍රතිකාර ක්‍රම උපකාරවත් වන බව සමහරුන්ගේ මතයයි. නමුත් ඇත්තටම ඒවා ප්‍රයෝජනදායක ප්‍රතිකාර ක්‍රමද යන්න ගැන මත භේද පවතිනවා.

      එහි ඇති අනතුර කුමක්ද? සමහර ප්‍රතිකාරවල අතුරු පලයක් ලෙස වමනය ගතිය, මානසික පීඩනය සහ සියදිවි හානි කරගැනීමේ ප්‍රවණතාවක්ද ඇති විය හැකියි. නිකටින් ප්ලාස්ටර්වලින් සිදු වන්නේ දුම්වැටියේ ඇති නිකටින් වෙනත් ආකාරයකින් ශරීරගත කිරීමයි. ඒ අනුව සැබෑ තත්වය නම් එවන් ප්‍රතිකාර භාවිත කරන පුද්ගලයා තවමත් සිටින්නේ ඇබ්බැහි වූ තත්වයේමයි.

      විකල්ප ක්‍රම තිබෙනවාද? එක් සමීක්ෂණයකින් මෙසේ හෙළි වුණා. දුම්පානය නතර කළ අයගෙන් සියයට 88ක්ම කිසිම ප්‍රතිකාර ක්‍රමයක් භාවිත නොකර එක දවසින්ම එය නතර කළ බවයි. සාර්ථකම ක්‍රමය එය බව ඔවුන් පවසා තිබෙනවා.

  • කල් ඇතුව සූදානම් වන්න
    2010 පිබිදෙව්! | මැයි
    • කල් ඇතුව සූදානම් වන්න

      “අපේ කිරිකැටියා ගැන හිතලා සිගරට් බොන එක නරතර කරන්න මම හිතුවා. ‘දුම්බීම තහනම්’ කියන බෝඩ් එකකුත් ගෙදර එල්ලුවා. නමුත් පැයක්වත් ගියේ නැහැ ආයෙත් සිගරට් එකක් බොන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ආසාව හරියට සුනාමියක් වගේ මාව යට කරගත්තා. ඉතිං මං ආයෙත් සිගරට් එකක් පත්තු කරගත්තා.”—ජපානයේ යෝෂීමිට්සු.

      යෝෂීමිට්සුගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ දුම්පානය නතර කිරීම විශාල අභියෝගයක් බවයි. එමෙන්ම අධ්‍යයනයන්ගෙන්ද හෙළි වී තිබෙන්නේ දුම්බීම නතර කිරීමට උත්සාහ කළත් නැවතත් විටින් විට එම පුරුද්දට වැටුණු අයගෙන් සියයට 90කට ආසන්න සංඛ්‍යාවක් නැවතත් දිගටම එසේ කිරීමට පටන්ගෙන ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ ඔවුන් අධෛර්ය වී උත්සාහය අත්හැරීමයි. ඔබත් එම පුරුද්දෙන් මිදීමට වෙර දරන කෙනෙක් නම් පැමිණෙන අභියෝගයන්ට සූදානම් වීම ඉන් ජය ගැනීම සඳහා ඔබට පහසුවක් වෙයි. එම අභියෝග මොනවාද?

      දැඩි පෙලඹීම: ඔබ දුම්පානය නතර කළ දා සිට දින තුනක් යන තෙක් ඒ සඳහා දැඩි පෙලඹීමක් ඇති වුණත් සති දෙකක් තුළ එය අඩු වී යයි. ඒ කාලය තුළ “දුම්බීමට ඇති වන පෙලඹීම හරියට මුහුදු රැල්ල වගේ එනවා යනවා” කියා එක් පුද්ගලයෙක් පැවසුවා. නමුත් අවුරුදු ගණනාවකට පසුව පවා එවැනි පෙලඹීමක් ඇති විය හැකියි. ඔබටත් එසේ වුණොත් ඉක්මන් වී ඒ උගුලට හසු වෙන්න එපා. විනාඩි පහක් විතර සන්සුන්ව සිටින්න. ඉන්පසුව එම පෙලඹීම පහ වී යයි.

      වෙනත් ගැටලු: එම පුරුද්ද නතර කළ මුල් කාලයේදී අවදි වී සිටීම හා එක් දෙයකට අවධානය යොමු කිරීම දුෂ්කර බවත් ශරීරයේ බර වැඩි වන බවත් එවැනි අය අද්දකියි. ඊට අමතරව ඇඟපත රුදාව, කසනගතිය, දහඩිය දැමීම, කැස්ස, නොඉවසිල්ල හා නුරුස්නා ගතිය මෙන්ම මානසික පීඩනය පවා ඇති විය හැකියි. නමුත් ඒවායින් බොහොමයක් සති හතරත් හයත් ඇතුළත පහ වී යයි.

      ඒ දුෂ්කර කාලය තුළ ඊට මුහුණ දීමට ඔබට මෙසේ කළ හැකියි.

      ● වැඩි වේලාවක් නිදාගන්න.

      ● වැඩිපුර ජලය හෝ පලතුරු යුෂ පානය කරන්න. පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න.

      ● ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල යෙදෙන්න.

      ● ගැඹුරින් හුස්ම ගන්න. ඒ අතරතුරේදී ඔබගේ පෙණහලු නැවුම් වාතයෙන් පිරෙන ආකාරය සිතින් මවාගන්න.

      නැවත පෙලඹීමක් ඇති වන හේතු: සමහරවිට ඔබ දුම්පානය කිරීමට පුරුදු වී සිටියේ තේ, කෝපි වැනි දේවල් පානය කරන අවස්ථාවලදී නම් එවන් අවස්ථා සඳහා ගත කරන කාලය අඩු කරන්න.

      සමහර අය දුම්පානයට ඇබ්බැහි වීමෙන් සම්පූර්ණයෙන්ම මිදුණත් ඉහත හා සමාන අවස්ථාවන්වලදී නැවතත් දුම්පානය කිරීමට පෙලඹෙන්න පුළුවන්. කලින් සඳහන් කළ ටෝබෙන්ද ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දුන්නා. “දුම්බීම නතර කරලා අවුරුදු 19කට පස්සෙත් තවමත් තේ වෙලාවට සිගරට් එකක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.” සාමාන්‍යයෙන් යම් ක්‍රියාවක් සමඟ බැඳී තිබෙන දුම්බීමේ පුරුද්ද කාලයත් සමඟ අඩු වී යයි.

      ඔබ දුම්පානය නතර කිරීමට උත්සාහ කරනවා නම් මත්පැන් පානය කිරීම හා අන් අය මත්පැන් පානය කරන ස්ථානවල ගැවසීමෙන් වළකින්න. බොහෝවිට කෙනෙකු දුම්පානය කිරීමට නැවත පෙලඹෙන්නේ එවන් අවස්ථාවලදීයි. ඊට හේතු කිහිපයක් සලකා බලන්න.

      ● දුම්වැටියෙන් ලැබෙන ආශ්වාදය දෙගුණ තෙගුණ කිරීමට මත්පැන් ටිකකට වුණත් හැකියි.

      ● බොහෝ සාදයන්වලට සහභාගි වන්නන් මත්පැන් හා දුම්වැටි යන දෙකම භාවිත කරනවා පොදුවේ දකින්න තිබෙන දෙයක්.

      ● මත්පැන් නිසා කල්පනා ශක්තිය අඩු වෙන නිසා ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල විය හැකියි. ‘වයින් පානය කිරීමෙන් යහපත් චේතනා නැති වී යයි’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—හොෂෙයා 4:11.

      ඇසුරු කරන අය: හොඳ මිතුරන්ව තෝරාගන්න. දුම්පානය කරන හෝ ඒ සඳහා ඔබට ආරාධනා කරන අයගේ ඇසුර සීමා කරන්න. එමෙන්ම ඔබේ වෑයමට සමච්චල් කරන අයගෙන් ඈත් වෙන්න.

      හැඟීම්: නැවතත් දුම්පානයට පෙලඹුණු අයගෙන් තුනෙන් දෙකක්ම එසේ කළේ ඊට සුළු මොහොතකට කලින් ඔවුන් තුළ ඇති වූ මානසික පීඩනය හෝ කෝපය නිසා බව අධ්‍යයනයකින් හෙළි වුණා. ඔබත් එවැනි තත්වයකට මුහුණ දුන්නොත් වතුර වීදුරුවක් පානය කිරීමෙන්, චුවිංගම් එකක් හැපීමෙන් හෝ ටිකක් ඇවිදීමෙන් ඔබේ මනස වෙනතකට යොමු කරගන්න. එමෙන්ම යහපත් සිතුවිලිවලින් මනස පුරවාගැනීම සඳහා යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට හෝ බයිබලයෙන් යම් කොටසක් කියවීමට උත්සාහ කරන්න.—ගීතාවලිය 19:14.

      සාධාරණීකරණය කිරීමෙන් වළකින්න

      ● මම තව එකම එක උගුරයි බොන්නේ.

      සැබෑ තත්වය: එක උගුරකින් පවා නිකටින් අවශ්‍යතාව සියයට 50කින් පමණ ඉටු වන අතර එය පැය තුනකට පමණ සෑහේ. බොහෝවිට එහි අවසන් ප්‍රතිඵලය නැවතත් දුම්පානයට යොමු වීමයි.

      ● මම සිගරට් බොන්නේ මානසික පීඩනය අඩු කරගන්නයි.

      සැබෑ තත්වය: අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ නිකටින් මගින් මානසික පීඩනය තවත් වැඩි කරන බවයි. දුම්බීමේදී සිදු වන්නේ ශරීරයට නිකටින් නැති විට දැනුණු අපහසුතාවන් තාවකාලිකව යටපත් කිරීමක් පමණයි.

      ● නතර කරන්න දැන් කල් වැඩියි.

      සැබෑ තත්වය: එසේ සිතන්න එපා! ඉන් ඔබේ අධිෂ්ඨානය දුර්වල වෙයි. බයිබලයේද ඒ හා සමාන අදහසක් සඳහන් වෙනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝපදේශ 24:10) එම පුරුද්දෙන් මිදීමට ආශාවෙන් සිටින, මෙතෙක් සාකච්ඡා කළ යෝජනා ක්‍රියාත්මක කරන ඕනෑම කෙනෙකුට අනිවාර්යෙන්ම සාර්ථක විය හැකියි!

      ● මේක නතර කළොත් ඇඟට හරි අමාරුයි.

      සැබෑ තත්වය: දුම්පානය නතර කිරීමෙන් ඇඟට ලොකු අපහසුතාවක් දැනෙන බව ඇත්තයි. නමුත් සති කිහිපයකින් ඒ තත්වය මඟහැරී යයි. ඒ නිසා දැඩි අධිෂ්ඨානයකින් සිටින්න. කලකට පසුව පවා දුම්බීමට පෙලඹීමක් නැවත ඇති වුණත් එයද විනාඩි කිහිපයකින් පහව යයි. නමුත් එය එසේ වන්නේ ඔබ නැවතත් දුම්වැටියක් නොදැල්වුවොත් පමණයි.

      ● මම මානසික රෝගයකින් පෙළෙනවා.

      සැබෑ තත්වය: ඔබ මානසික පීඩනයෙන් හෝ භින්නෝන්මාදය වැනි තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා නම් දුම්බීම නතර කරගැනීමටද ඔබේ වෛද්‍යවරයාගෙන් උපකාර පතන්න. ඔහු හෝ ඇය ඔබට උපකාර කිරීමට කැමති වන අතර ඊට සරිලන අයුරින් ඖෂධ ලබා දීමටද ඔහු පියවර ගනියි.

      ● මම ආයෙත් බොන්න පටන්ගත්තොත්?

      සැබෑ තත්වය: දුම්පානය නතර කළ පසු නැවතත් එය සිදු වුණොත් තත්වය කුමක්ද? ඉන් ගොඩ ඒමට ඔබට බැහැ කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඔබට වැරදුණා කියන්නේ ඔබ අසාර්ථක වුණා කියන එක නොවෙයි. ඔබ අසාර්ථක වන්නේ ඉන් ගොඩ ඒමට නැවත උත්සාහ නොකළොත් පමණයි. ඒ නිසා නැවත නැවතත් උත්සාහ කරන්න. එවිට ඔබ සාර්ථක වෙනවා ස්ථිරයි!

      ඒ සම්බන්ධයෙන් රොමුඅල්ඩෝ කදිම ආදර්ශයක්. වසර 26ක් පුරා ඊට ඇබ්බැහි වී සිටි ඔහු එය අත්හැර දැනට වසර 30ක් වෙනවා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “ගණන් කරන්න බැරි වාර ගණනක් මම අසාර්ථක වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මට මාවම එපා වුණා. ඒ වුණත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මම අධිෂ්ඨාන කරගත්ත නිසාත් දිගටම ඔහුගේ උපකාර පතා යාච්ඤා කළ නිසාත් ඒ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වුණා.”

      දුම්පානය නතර කිරීමට ඔබට උපකාරවත් වන තවත් යෝජනා කිහිපයක් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

      [7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

      එය මාරාන්තිකයි

      දුම්කොළ විවිධ ආකාරවලින් භාවිතයට ගන්නවා. ඒවායින් කළ නිෂ්පාදන සමහර රටවල සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වෙළඳසැල්වල හා දේශීය ඖෂධ වෙළඳසැල්වල පවා අළෙවි කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ “දුම්කොළ කුමන ආකාරයෙන් භාවිත කළත් එය මාරාන්තික” බවයි. ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය නිසා පිළිකා සහ හෘදයාබාධ වැනි තවත් රෝගවලින් මරණය පවා අත් විය හැකියි. දුම්පානය කරන ගැබිනි මව්වරුන්ගේ නූපන් දරුවන්ට පවා ඉන් හානි සිදු විය හැකියි. අද දින දකින්න ලැබෙන දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මොනවාද?

      බීඩි: අතින් රෝල් කර නිෂ්පාදනය කරන මෙම කුඩා දුම්වැටි ආසියාතික රටවල ඉතා ජනප්‍රියයි. ඒවා මගින් සිගරට්ටුවකට වඩා වැඩි ප්‍රමාණයක් තාර, නිකටින් හා කාබන් මොනොක්සයිඩ් ශරීරගත වෙනවා.

      සුරුට්ටු: සාමාන්‍යයෙන් සුරුට්ටු නිෂ්පාදනය කරන්නේ දුම්කොළයක් හෝ එයින් නිෂ්පාදනය කළ කඩදාසියක් රෝල් කරගැනීමෙනුයි. සාමාන්‍යයෙන් සුරුට්ටුවක් සිගරට්ටුවකට වඩා සැරයි. ඒ නිසා සුරුට්ටුව නොදල්වා මුඛයේ තබාගෙන සිටියත් නිකටින් ශරීරගත වෙයි.

      කරාබුනැටි අඩංගු සිගරට්: මෙහි සියයට 60ක් පමණ දුම්කොළද සියයට 40ක් පමණ කරාබුනැටිද අඩංගුයි. ඒ නිසා මෙමගින් සාමාන්‍ය දුම්වැටියකට වඩා තාර, නිකටින් සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයක් ශරීරගත වෙනවා.

      දුම්කොළ පයිප්ප: මෙය ආරක්ෂිත ක්‍රමයක් කියා සමහරුන් සිතුවත් එය එසේ නොවෙයි. මෙයද පිළිකා සහ වෙනත් රෝගවලට මඟ පාදයි.

      වෙනත් ක්‍රම: දුම්කොළ සැපීම හා දුම්කුඩු ඉරීම ඊට ඇතුළත්. ඒ මගින් සිදු වන්නේ නිකටින් මුඛයෙන් රුධිරයට උරාගැනීමයි. මෙම ක්‍රමද කලින් සඳහන් කළ ඒවා තරම්ම භයානකයි.

      ජල බඳුනකට සවි කළ දුම් උරන උපකරණය: මෙම උපකරණය මගින් සිදු කරන්නේ දුම්කොළ දහනය වීමෙන් පැමිණෙන දුම්, ජලය හරහා ගමන් කිරීමට සැලැස්වීමයි. ඉන්පසුව එම දුම බටයක් මගින් උරයි. නමුත් එම ක්‍රියාවලිය මගින් පෙණහලුවලට ගමන් කරන පිළිකාකාරක ද්‍රව්‍ය හෝ වෙනත් විෂ ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ.

      [8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

      ඉන් මිදෙන්න ඔවුන්ට උපකාර කරන්න

      ● ශුභවාදීව සිතන්න: උපදෙස් දෙනවා හා චෝදනා කරනවා වෙනුවට ඔවුන්ව අගය කරන්න. “ඔයා නම් හැදෙන කෙනෙක් නෙවෙයි” කියනවා වෙනුවට “ආයෙත් උත්සාහ කරන්න. ඔයාට ඕක නතර කරන්න පුළුවන්” කියා පවසන්න.

      ● සමාව දෙන්න: එම පුරුද්දෙන් මිදෙන්න උත්සාහ කරන පුද්ගලයා ඔබ සමඟ කෝප වුණත් එය ගණන් නොගෙන සිටීමට උත්සාහ කරන්න. “ඔයා සිගරට් බොන කාලේ නම් මීට වඩා හොඳයි” කියා කිසිවිටකත් පවසන්න එපා! ඒ වෙනුවට “මම දන්නවා ඒක හරි අමාරුයි කියලා. නමුත් ඔයාගේ උත්සාහය මම අගය කරනවා” වැනි කාරුණික වදන්වලින් ඔහුව දිරිගන්වන්න.

      ● සැබෑ මිතුරෙක් වන්න: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 17:17) එමනිසා එවැනි කෙනෙකු සමඟ “සෑම වෙලේම” ඉවසීමෙන් හා ප්‍රේමයෙන් කටයුතු කිරීමට උත්සාහ කරන්න.

  • ඉන් මිදෙන්න ඔබට පුළුවන්!
    2010 පිබිදෙව්! | මැයි
    • ඉන් මිදෙන්න ඔබට පුළුවන්!

      ‘ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගැනීමට’ කාලය දැන් බව තේරුම්ගන්න. (1 ලේකම් 28:10) දුම්පානයෙන් මිදීම සඳහා ඔබ ගත යුතු තවත් වැදගත් පියවර කිහිපයක් තිබෙනවා. ඒ මොනවාද?

      දිනයක් නියම කරන්න. ඇමරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ එම පුරුද්ද නතර කිරීමට ඔබ තීරණය කළ දා සිට සති දෙකක් තුළ එය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. ඒ තුළින් ඔබේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි. ඔබ නියම කළ දිනය දිනදර්ශනයේ සටහන් කරන්න. එය ඔබේ මිතුරන්ටත් දැනුම් දෙන්න. එය වෙනස් කිරීමට කිසිම දෙයකට ඉඩ දෙන්න එපා!

      කාඩ්පතක් සකස් කරගන්න. පහත සඳහන් තොරතුරු මෙන්ම ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරන වෙනත් ඕනෑම තොරතුරක් ඊට ඇතුළත් කරන්න:

      ● දුම්පානය නතර කිරීමට හේතු

      ● ඒ සඳහා පෙලඹීමක් ඇති වන විට මිතුරෙකුව ඇමතීම සඳහා දුරකථන අංක

      ● බයිබලයේ ගලාති 5:22, 23හි සඳහන් අදහස් හෝ ඔබ ගත් අධිෂ්ඨානය ශක්තිමත් කරන වෙනත් අදහස්

      එම කාඩ්පත සෑම දිනකම කිහිප වරක් කියවන්න. එමෙන්ම දුම්පානය කිරීමට පෙලඹීමක් එන ඕනෑම අවස්ථාවක එසේ කරන්න.

      දින චර්යාව වෙනස් කරන්න. දුම්පානය නතර කිරීමට තීරණය කළ දිනයට පෙර සිටම ඒ හා බැඳි ක්‍රියාකාරකම් වෙනස් කිරීමට පටන්ගන්න. උදෑසන අවදි වූ සැණින්ම ඔබ දුම්පානයට හුරු වී සිටියා නම් දැන් එය පැයක් දෙකක් ප්‍රමාද කරන්න. ආහාර ගත් විගස ඊට පුරුදු වී සිටියා නම් එයද වෙනස් කරන්න. දුම්පානය කරන අය ගැවසෙන ස්ථාන මඟහරින්න. එමෙන්ම තනිව සිටින වෙලාවට ශබ්ද නඟා මෙසේ කීමට පුරුදු වන්න. “එපා! මම දැන් සිගරට් බොන්නේ නැහැ!” එවන් පියවර ගැනීමෙන් ළඟදීම ඔබ දුම්පානය නොකරන පුද්ගලයෙක් බවට පත් වෙන බව එය ඔබට සිහිගන්වයි.

      සූදානම් වන්න. ඔබ දුම්පානය නතර කළ පසු ඒ සඳහා නැවතත් ආශාවක් ඇති වන විට කෑමට ගැනීම සඳහා ටොෆි, රටකජු හා චුවින්ගම් වැනි දේවල් ළඟ තබාගන්න. ඔබ නියම කළ දිනය ගැන ඔබේ පවුලේ අයට මිතුරන්ට දන්වන්න. එමෙන්ම ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන උපකාර ගැනද පවසන්න. දුම්වැටියක් මිතුරෙකුගෙන් ඉල්ලා ගැනීමට වඩා එය ඔබේම නිවසේ ලාච්චුවේ තිබී නෙත ගැටුණොත් එය පානය කිරීමට පෙලඹෙන ප්‍රවණතාව වැඩියි. එමනිසා ඔබේ නිවසේ, කාර්යාලයේ, මෝටර් රථයේ ඔබේ සාක්කුවේ තිබිය හැකි දුම්වැටි හා ලයිටර්ද ඉවත් කර දමන්න. ඊට අමතරව යෙහෝවා දෙවිගේ බලයේ උපකාර පතා යාච්ඤා කරන්න. (ලූක් 11:13) විශේෂයෙන්ම ඔබේ අවසන් දුම්වැටියෙන් පසු වැඩි වැඩියෙන් එසේ කරන්න.

      මේ වන විට අසංඛ්‍යාත පිරිසක් වරක් කිට්ටුවෙන් ඇසුරු කළ ඒ නරක මෙන්ම භයානක මිතුරා වන දුම්වැටිය තම ඇසුරෙන් සම්පූර්ණයෙන්ම කපාහැර තිබෙනවා. ඔබටත් එය කළ හැකියි! එවිට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් මෙන්ම නිදහස්බවේ හැඟීමක්ද ඔබත් අද්දකියි!

      [9වන පිටුවේ පින්තූරය]

      තොරතුරු ඇතුළත් කාඩ්පත සෑමවිටම ඔබ ළඟ තබාගෙන දිනකට කිහිපවතාවක් කියවන්න

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න