ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 2/15 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අභිනය සහ මුහුණේ ඉරියව්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • දෙවි පිළිකුල් කරන උත්සව හා චාරිත්‍ර
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • මත්පැන් පානය කිරීම වැරදිද?
    2006 පිබිදෙව්!
  • හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 2/15 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මත් පැන් පානයේදී සව්දිය පිරීම ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එසේනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයට හවුල් වීමෙන් වැළකී සිටින්නේ ඇයි?

මිතුරන් එකතු වී බියර්, වයින් හෝ මත් පැන් පානය කරන විට වීදුරු ඉහළට ඔසවා සව්දිය පිරීම බොහෝ රටවල දැකිය හැකි පැරණි චාරිත්‍රයක් වෙනවා. සමහර ප්‍රදේශවල සව්දිය පුරන විට කරන්නේ තමන්ගේ වීදුරු එකට එක වැද්දීමයි. සමහර තැන්වල සව්දිය පිරීමට මුල්වන තැනැත්තා යමෙකුට නිරෝගී සුවය, දීර්ඝායුෂ හෝ සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඊට හවුල් වන අනිත් අය කරන්නේ ඊට එකඟත්වය පළ කරමින් තමන්ගේ වීදුරු ඉහළට ඔසවා මත් පැන් තොලගෑමයි. හුඟදෙනෙක් මෙය නිකම්ම සිරිතක් ලෙස සැලකුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊට හවුල් වන්නේ නැහැ. ඒ ඇයි?

සාක්ෂිකරුවන් ඊට හවුල් නොවන්නේ යම් කෙනෙක් නිරෝගීව සිටිනවා හෝ සතුටින් සිටිනවා දකින්න ඔවුන් අකමැති නිසා නෙවෙයි. මුල් සියවසේ සිටි පාලක මණ්ඩලය සභාවන්ට ලිපි ලියූ අවස්ථාවලදී ඒ ලිපි අවසන් කළේ ‘ඔබට ශුභසිද්ධ වේවා!’ කියා හෝ “ඔබට සෙත් වේ වා!” කියායි. (ක්‍රියා 15:29) යෙහෝවා දෙවිට නමස්කාර කළ ඇතැම් අය “රජ්ජුරුවන් සදාකල් ජීවත් වෙත්වා” කියා පවසමින් රජවරුන්ට ශුභ පැතුවා.—1 රාජාවලිය 1:31; නෙහෙමියා 2:3.

සව්දිය පිරීමේ චාරිත්‍රය මුලින්ම ආරම්භ වූයේ කෙසේද? එක් විශ්වකෝෂයක් (The Encyclopædia Britannica, 1910) උපුටා දක්වමින් 1968 ජනවාරි 1 වොච්ටවර් සඟරාවේ මෙසේ පළ වී තිබුණා. “මේ චාරිත්‍රය මුලින්ම ආරම්භ වී තිබෙන්නේ දෙවිවරුන් හා මිය ගිය අය වෙනුවෙන් කරන පූජාවක් ලෙසයි. ග්‍රීකවරුන් හා රෝමවරුන් උත්සවවලදී ඔවුන්ගේ දෙවිවරුන්ව හා මිය ගිය මුතුන්මිත්තන්ව සිහි කරමින් මත් පැන් පාන කිරීම හෝ එය පූජාවක් ලෙස වත් කිරීම සිදු කළා.” එම විශ්වකෝෂයේ මෙසේද සඳහන් වෙනවා. “සව්දිය පිරීම ආගමික වත් පිළිවෙළත් හා බැඳී තිබෙනවා.”

අදත් සව්දිය පුරන්නේ එම හේතු පදනම් කරගෙනද? මේ ගැන එක් පොතක මෙසේ වාර්තා වෙනවා. ‘ පුරාණයේ පැවති චාරිත්‍රයකින් පටන් ගත් සව්දිය පිරීමට ආගමික මුහුණුවරක් වර්තමානයේ බොහෝදුරට දකින්න නැහැ. මේ චාරිත්‍රය පුරාණයේදී සිදුකළේ දෙවිවරුනට පරිශුද්ධ පානයක් ඔප්පු කළ අවස්ථාවේදීයි. එවැනි අවස්ථාවලදී එයට හවුල් වු අය යමෙකුට දීර්ඝායුෂ හා නිරෝගි සුවය පතමින් මත් පැන් පානය කළා. එසේත් නැත්නම් රුධිරය ටිකක් පුජාවක් ලෙස වත් කළා..’—International Handbook on Alcohol and Culture, 1995.

යම් වස්තුවක, මෝස්තරයක හෝ චාරිත්‍රයක මූලාරම්භය ඉපැරණි ආගමකට සම්බන්ධ වූ පමණින් සැබෑ නමස්කාරකයන් ඒවායින් වැළකී සිටිය යුතු බවක් අදහස් කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට දෙළුම් ගෙඩිය ගැන සලකා බලන්න. එක් බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “දෙළුම් ගෙඩිය මිථ්‍යා දෘෂ්ටික ආගම්වල සංකේතයක් ලෙස භාවිත කර තිබෙන බව පේනවා.” කෙසේවෙතත් උත්තම පූජකයාගේ ඇඳුමේ වාටියේ දෙළුම් ගෙඩි නූල්වලින් සාදන්න කියා දෙවි පවසා තිබුණා. එමෙන්ම සාලමොන් ඉදි කළ දේවමාලිගාවේ පිත්තල කණුවල දෙළුම් ගෙඩි කැටයම් කර තිබුණා. (නික්මයාම 28:33; 2 රාජාවලිය 25:17) එමෙන්ම විවාහයේදී පළඳින මුද්දට එක්තරා යුගයක ආගමික පසුබිමක් තිබුණා. එහෙත් අද බොහෝදෙනෙක් එම මුද්ද සලකන්නේ යම් කෙනෙක් විවාහ වී සිටින බවට අඟවන ලකුණක් ලෙස පමණයි.

කෙසේවෙතත් ආගමික ක්‍රියාවන්ට සම්බන්ධ වෙමින් මත් පැන් පානය කිරීම ගැන කුමක් කිව හැකිද? එක්තරා අවස්ථාවකදී ෂෙකෙම්හි සිටි බාල්ට නමස්කාර කල මිනිසුන් පිරිසක් “තමන් දෙවියාගේ ගෙට ඇතුල්ව මංගල්‍යයක් පවත්වා කා බී අබිමෙලෙක්ට ශාප කළෝය” කියා බයිබලයේ වාර්තා වෙනවා. (විනිශ්චයකාරයෝ 9:22-28) එවැනි මංගල්‍යවලදී අධික ලෙස මත් පැන්ද පානය කළා. යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් එවැනි මංගල්‍යයකට හවුල් වී අබිමෙලක්ට ශාප කරන්න කියා බොරු දෙවියෙකුට හඬ ගසයිද? ඊශ්‍රායෙලයේ විසූ බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට අකීකරු වූ කාලයක පැවති තත්වයක් විස්තර කරමින් ආමොස් මෙසේ පැවසුවා. “සැම පූජාසන ළඟ තුමූ සැතපෙති. දඩගැසුම් කෑ අයගේ මිදි යුෂ තමන් දෙවියන්ගේ ගෘහයේදී බොති.” (ආමොස් 2:8) දෙවිවරුන්ට පූජාවක් හැටියට වයින් වත් කළ හෝ පානය කළ එවැනි අවස්ථාවකට සැබෑ නමස්කාරකයන් සහභාගි වූවා කියා සිතන්න පුළුවන්ද? (යෙරෙමියා 7:18) සැබෑ දෙවිට නමස්කාර කළ කෙනෙක් වයින් වීදුරුවක් ඉහළට ඔසවා යමෙකුගේ අනාගතයට ආශීර්වාද කිරීමට දෙවි කෙනෙකුගේ මැදිහත් වීම පතයිද?

යෙහෝවා දෙවිට නමස්කාර කළ අය ඇතැම් අවස්ථාවලදී තමන්ගේ අත් ඔසවා දෙවිගෙන් ආශීර්වාද ඉල්ලුවා. ඔවුන් අත් එසෙව්වේ සැබෑ දෙවි වෙතටයි. මොවුන්ගෙන් කෙනෙක් වන සාලමොන් ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. “සාලමොන් . . . යෙහෝවාගේ පූජාසනය ඉදිරිපිටදී ස්වර්ගය දෙස තමන් අත් ඔසවා මෙසේ කීය: ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා, . . . ඔබ සමාන දෙවි කෙනෙක් නැත්තේය. . . . එසේය, ඔබගේ වාසස්ථානය වූ ස්වර්ගයෙහි සිට ඇසුව මැනව. අසා කමා කළ මැනව.” (1 රාජාවලිය 8:22, 23, 30) ඒ හා සමානව එස්රාද “උතුම් දෙවි වූ යෙහෝවාට ආශීර්වාද කළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා හිස් නමා බිමට මුහුණ ලා යෙහෝවාට නමස්කාර කළෝය.” (නෙහෙමියා 8:6; 1 තිමෝති 2:8) එහෙත් දෙවිට පක්ෂපාතව සිටි අය අත් ඉහළට එසෙව්වේ වාසනාව සලසා දෙන දෙවි කෙනෙකුගෙන් ආශීර්වාදයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි.—යෙසායා 65:11.

මත් පැන් පානය කරන විට තමන්ගේ වීදුරු ඉහළට ඔසවා සව්දිය පුරන්නේ දෙවි කෙනෙකුගෙන් ආශීර්වාදයක් ඉල්ලීමේ අරමුණින් කියා අද හුඟදෙනෙක් සිතන්නේ නැහැ. එහෙත් තමන් එසේ මත් පැන් අඩංගු වීදුරු ඉහළට ඔසවන්නේ ඇයි කියා හරියට පැහැදිලි කරන්නත් ඔවුන්ට බැහැ. කෙසේවෙතත් මේ ගැන තමන් හරිහැටි දන්නේ නැති නිසා එයට හවුල් වීම ප්‍රශ්නයක් නැහැ කියා සැබෑ ක්‍රිස්තියානීන් සිතන්න නැහැ.

බොහෝදෙනෙක් පුරුද්දක් ලෙස කරන බොහෝ දේවල් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට ජාතික කොඩිය ඉදිරියේ බොහෝදෙනෙක් විශේෂ ඉරියව්වකින් සිටියත් සාක්ෂිකරුවන් එසේ කරන්නේ නැහැ. නමුත් ඔවුන් එවැනි විශේෂ ඉරියව් දෙස විවේචනාත්මක ඇසකින් බලන්නේ නැහැ. එමෙන්ම ඔවුන් එවැනි දේවලට හවුල් වන්නෙත් නැහැ. එවැනි උත්සවයක් පවත්වන වේලාව ගැන ඔවුන් දන්නවා නම් ඔවුන් වෑයම් කරන්නේ අන් අයව බාධාවට පත් නොවන ලෙස ක්‍රියා කරන්නයි. දේශානුරාගී හැඟීමක් අඟවන ඉරියව්වලින් ඔවුන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්නේ ඒවා බයිබලයට පටහැනි නිසයි. (නික්මයාම 20:4, 5; 1 යොහන් 5:21) මත් පැන් පානය කරන විට වීදුරු ඉහළට එසවීම ආගමකට සම්බන්ධ දෙයක් බව අද හුඟදෙනෙක් සලකන්නේ නැහැ. එහෙත් ඉපැරණි ආගම්වලින් ආරම්භ වූ මෙය දෙවි කෙනෙකුගෙන් උපකාරයක් ඉල්ලීමක් හැටියට තවමත් සැලකිය හැකි නිසා සැබෑ ක්‍රිස්තියානීන් සව්දිය පිරීමට හවුල් වන්නේ නැහැ.—නික්මයාම 23:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න