ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • තීරණාත්මක දවසක ආරම්භය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 105වෙනි පරිච්ඡේදය

      තීරණාත්මක දවසක ආරම්භය

      යේසුස් සඳුදා සවස යෙරුසලමෙන් පිට වී ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටි බෙතානියට ආපසු පැමිණෙනවා. මෙය, යෙරුසලමෙහි දේවසේවයේ යෙදෙන අන්තිම වතාවයි. මේ වන විට දවස් දෙකක්ම නිමා වී තිබෙනවා. යේසුස් නැවතත් තම මිත්‍ර ලාසරුස්ගේ නිවසේ රාත්‍රිය ගත කරන බවට සැකයක් නැහැ. සිකුරාදා යෙරිකෝවේ සිට පැමිණීමෙන් අනතුරුව ඔහු බෙතානියේ ගත කරන සතර වන රාත්‍රිය මෙයයි.

      නීසාන් 11වන අඟහරුවාදා අලුයම වන විට ඔහු නැවත වතාවක් තම ගෝලයන් සමඟ ගමන් කරමින් සිටිනවා. මෙය, යේසුස් මෙතෙක් කළ දේවසේවයේ වඩාත්ම කාර්යබහුල දවස වන අතර එය තීරණාත්මක දවසක්ද වෙනවා. ඔහු දේවමාලිගාවට යන අන්තිම දවසයි මේ. ඒ වගේම ඔහුගේ නඩු විභාගය හා මරණයට කලින් ඔහු ප්‍රසිද්ධියේ දේවසේවයේ යෙදෙන අන්තිම දවස මෙයයි.

      යෙරුසලමට යෑම සඳහා යේසුස් හා ඔහුගේ ගෝලයන් ගමන් කරන්නේ ඔලීව කන්ද හරහා තිබෙන මාර්ගය ඔස්සේයි. බෙතානියේ සිට එම මාර්ගය හරහා ගමන් ගන්නා විට යේසුස් කලින් දවසේ උදෑසන ශාප කළ අත්තික්කා ගස පේතෘස්ගේ නෙත ගැටෙනවා. ඔහු මෙසේ පවසනවා. “රබ්බි, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගස මැලවී තිබේ.”

      යේසුස් ඒ ගස මැලවෙන්න සැලැස්සුවේ මන්ද? ඊට හේතුව අඟවමින් ඔහු මෙසේ පවසනවා. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට ඇදහිල්ල ඇතිව සිටියොත් පමණක්, මා අත්තික්කා ගසට කළ දේ ඔබත් කරනවා ඇත. එපමණක්ද නොව, ඔබ මේ කන්දට, [ඔවුන් සිටගෙන සිටින ඔලීව කන්දට] ‘ඉදිරී ගොස් මුහුදේ වැටෙන්න’ යයි කීවොත් එයද සිදු වනු ඇත. එහෙයින් ඇදහිල්ලෙන් යුතුව ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සියල්ලම ඔබට ලැබෙන්නේය.”

      ඉතිං, ගස මැලවෙන්න සැලැස්වීමෙන් දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වීමේ ඇති වැදගත්කම පිළිබඳව යේසුස් තම ගෝලයන්ට ආදර්ශ පාඩමක් උගන්වනවා. ඔහු සඳහන් කරන්නේ මෙසේයි. “ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සියලු දේ ඔබට ලැබුණේයයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේමය.” ළඟදීම ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන බිය උපදවන පරීක්ෂා ගැන සලකා බලද්දී ඔවුන් මේ පාඩම ඉගෙනගැනීම මොන තරම් වැදගත් දෙයක්ද! එහෙත් අත්තික්කා ගස මැලවෙන්න සැලැස්වීම හා ඇදහිල්ල නමැති ගුණාංගය අතර තවත් සම්බන්ධයක් තිබෙනවා.

      අත්තික්කා ගස හා සමානව, ඊශ්‍රායෙල් ජාතියට තිබෙන්නෙත් මුළා කරවනසුලු පෙනුමක්. ඊශ්‍රායෙල් ජාතිය දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටිනවා. ඒ වගේම, ඔවුන් ඔහුගේ අණ පනත් පිළිපදින බවක් පෙනෙන්ට තිබිය හැකියි. එහෙත් ඔවුන් ඇත්තෙන්ම ඇදහිල්ල නොමැති, යහපත් පල නොදරන ජාතියක් බව ඔප්පු වී තිබෙනවා. ඇදහිල්ල නොමැති නිසා ඔවුන් දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තත්වයට පවා පත් වෙලා! ඉතිං, පල නොදරන අත්තික්කා ගස මැලවී යෑමට සැලැස්වීමෙන් යේසුස් නිදර්ශනය කරමින් සිටින්නේ පල නොදරන, ඇදහිල්ල නොමැති මේ ජාතියට අවසානයේදී අත් වන ප්‍රතිඵලයයි.

      කෙටි වේලාවකින් පසුව, යේසුස් හා ඔහුගේ ගෝලයන් යෙරුසලමට ඇතුල් වෙනවා. සිරිත් පරිදි ඔවුන් දේවමාලිගාවට යන අතර එහිදී යේසුස් ඉගැන්වීමට පටන්ගන්නවා. කලින් දවසේ මුදල් මාරු කරන්නන්ට විරුද්ධව යේසුස් කටයුතු කළ ආකාරය තවමත් නායක පූජකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ මතකයේ රැඳී ඇති බව නොඅනුමානයි. ඒ නිසා, ඔවුන් මෙසේ ප්‍රශ්න කරනවා. “ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද? ඔබට මේ අධිකාරිය දුන්නේ කවුද?”

      යේසුස් පිළිතුරු වශයෙන් පවසන්නේ මෙසේයි. “මමත් ඔබෙන් එක දෙයක් අසමි. ඔබ මට එය කීවොත්, මා මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට කියමි: යොහන් කළ බව්තීස්මය ලැබුවේ කාගෙන්ද? ස්වර්ගයෙන්ද නැත්නම් මිනිසුන්ගෙන්ද?”

      මෙයට පිළිතුරු දිය යුත්තේ කෙසේද කියා පූජකයන් හා වැඩිමහල්ලන් තම තමන් අතරේ සාකච්ඡා කරනවා. ‘අප “ස්වර්ගයෙන්” කියා කීවොත්, “එසේ නම් ඔබ ඔහුව විශ්වාස නොකළේ මන්ද?” කියා ඔහු අපෙන් අසන්නේය. නමුත් “මිනිසුන්ගෙන්” යයි කීවොත්, අපට සමූහයාට භයෙන් සිටීමට සිදු වේ. මන්ද, ඒ සියලුදෙනාම යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සලකන බැවිනි.’

      කොහොම පිළිතුරු දෙන්නද කියා නොදැන සිටින නිසා නායකයන් යේසුස්ට පවසන්නේ “අපි නොදනිමු” කියායි.

      එවිට යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “මා මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට නොකියමි.” මතෙව් 21:19-27; මාක් 11:19-33; ලූක් 20:1-8; NW.

      ▪ නීසාන් 11වන අඟහරුවාදා විශේෂ දවසක් වන්නේ කුමක් නිසාද?

      ▪ අත්තික්කා ගස මැලවී යෑමට සැලැස්වීමෙන් යේසුස් කිනම් පාඩම් උගන්වයිද?

      ▪ යේසුස් දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා අසන අයට ඔහු පිළිතුරු දෙන්නේ කෙසේද?

  • මිදිවත්තේ උපමා මගින් සැබෑව හෙළි කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 106වෙනි පරිච්ඡේදය

      මිදිවත්තේ උපමා මගින් සැබෑව හෙළි කිරීම

      යේසුස් සිටින්නේ දේවමාලිගාවෙයි. ඔහු ක්‍රියා කරන්නේ කාගේ අධිකාරයෙන්ද කියා ඇසූ ආගමික නායකයන්ව නිරුත්තර කරමින් ඔහු පිළිතුරු දුන්නේ දැන් මොහොතකට ඉස්සෙල්ලයි. ඔවුන්ගේ මනස් අවුල්ව තිබියදීම යේසුස් මෙසේ අසනවා. “ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?” ඉන්පසු, ඔහු උපමාවක් භාවිත කරමින් ඔවුන්ට පෙන්වා දෙනවා ඔවුන් ඇත්තෙන්ම කුමනාකාරයේ අයද කියා.

      යේසුස් මෙසේ විස්තර කරනවා. “මිනිසෙකුට දරුවන් දෙදෙනෙක් සිටියෝය. ඔහු පළමුවෙනියා ළඟට ගොස්, ‘දරුව, ගොස් අද මිදිවත්තේ වැඩ කරන්න’ යයි කීවේය. එවිට ඔහු, ‘ස්වාමිනි, මම යන්නෙමි’ යි කීවත්, ඔහු ගියේ නැත. එම මිනිසා දෙවෙනියා ළඟට ඇවිත් ඒ දේම කීවේය. ඔහු පිළිතුරු දෙමින් ‘මම නොයමි’ යි කීවේය. නමුත් පසුව ඔහු ඒ ගැන කනගාටු වී ගියේය.” එවිට “මේ දෙදෙනා අතරින් තම පියාගේ කැමැත්ත කළේ කවුද” කියා යේසුස් අසනවා.

      ඔහුගේ විරුද්ධවාදීන් පිළිතුරු දෙන්නේ “දෙවෙනියා” කියායි.

      ඒ නිසා යේසුස් පැහැදිලි කරනවා මෙලෙස. “සැබවින්ම මම ඔබට කියමි, බදු එකතු කරන්නෝද ගණිකාවෝද ඔබට පෙරටුවෙන් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙති.” ඇත්තෙන්ම කියනවා නම්, බදු එකතු කරන්නන් හා වේශ්‍යාවන් මුලින්ම දෙවිට සේවය කිරීමට අකමැති වුණා. එහෙත් පසුව, දෙවෙනි දරුවා මෙන් ඔවුන් පසුතැවිලි වී ඔහුට සේවය කරන්න පටන්ගත්තා. අනික් අතට, ආගමික නායකයන් පළමුවෙනි දරුවා මෙන් දෙවිට සේවය කරන බව කියා සිටියා. එහෙත් යේසුස් සඳහන් කරන පරිදි, “යොහන් [බව්තීස්ත] ධර්මිෂ්ඨ මඟෙහි ඔබ වෙතට ආවේය. නමුත් ඔබ ඔහුව විශ්වාස කළේ නැත. එනමුත් බදු එකතු කරන්නෝද ගණිකාවෝද ඔහුව විශ්වාස කළහ. නමුත් ඔබ එය දැක, ඔහුව විශ්වාස කරන පිණිස ඉන්පසුවවත් කනගාටු වුණේ නැත.”

      යේසුස් ඊළඟට පෙන්වන පරිදි, එම ආගමික නායකයන් දෙවිට සේවය කිරීමට අපොහොසත් වෙනවා පමණක් නොවෙයි, ඔවුන් ඇත්තටම දුෂ්ට, නපුරු මිනිසුන්. “මිදිවත්තක් වැවූ වතුහිමියෙක් සිටියේය. ඔහු එය වටා වැටක් බැඳ, වයින් යන්ත්‍රයකට වළක් හාරා ටැඹක් ඉදි කර, එය වැවිලිකරුවන්ට බද්දට දී පිටරට ගියේය. පලදාව නෙළන කාලය පැමිණි විට, තමාට අයිති පල ලබාගන්නා පිණිස ඔහු වැවිලිකරුවන් වෙතට තමාගේ දාසයන් යැව්වේය. එනමුත් වැවිලිකරුවෝ ඔහුගේ දාසයන්ව අල්ලාගෙන, එක් කෙනෙකුට තැළූහ; එක් කෙනෙකුව මැරූහ; තවත් කෙනෙකුට ගල් ගැසූහ. නැවතත් ඔහු, පළමුවෙන් යැවූ ගණනට වඩා වැඩියෙන් වෙනත් දාසයන් යැව්වේය. නමුත් ඔවුහු මොවුන්ටත් එසේම කළහ.”

      ‘වතුහිමියා’ වන යෙහෝවා දෙවි තම ‘මිදිවත්තේ’ “වැවිලිකරුවන්” වෙතට යැවූ ‘දාසයන්ගෙන්’ නියෝජනය වන්නේ අනාගතවක්තෘවරුන්වයි. වැවිලිකරුවන් කවුද? “මිදිවත්ත” වශයෙන් බයිබලයේ හඳුන්වා දී තිබෙන ඊශ්‍රායෙල් ජාතියේ ප්‍රධාන නියෝජිතයන් වන්නේ ඔවුන්ය.

      “වැවිලිකරුවන්” ‘දාසයන්ට’ හිරිහැර කර මරණයට පත් කරන බැවින් යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “අන්තිමට ඔහු, [මිදිවත්තේ අයිතිකරු] ‘ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇත’ යයි කියා තම පුත්‍රයාව ඔවුන් වෙතට යැව්වේය. වැවිලිකරුවෝ පුත්‍රයාව දැක, තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මේ උරුමක්කාරයාය. එන්න, අපි මොහුව මරා දමා මොහුගේ උරුමය ලබාගනිමු!’ යයි කීවෝය. එබැවින් ඔවුහු ඔහුව අල්ලාගෙන, මිදිවත්තෙන් පිටතට දමා ඔහුව මරණයට පත් කළහ.”

      දැන් ආගමික නායකයන්ගෙන් යේසුස් මෙසේ අසනවා. “මිදිවත්තේ අයිතිකරු ආ විට, ඔහු ඒ වැවිලිකරුවන්ට කුමක් කරනවා ඇද්ද?”

      ආගමික නායකයන් පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔවුන් නපුරු නිසා, ඔහු ඔවුන් පිට දරුණු විනාශයක් පමුණුවා නියම කාලයේදී තමන්ට පලදාව ලබා දෙන වෙනත් වැවිලිකරුවන්ට ඒ මිදිවත්ත බද්දට දෙනු ඇත.”

      යෙහෝවාගේ “මිදිවත්ත” වන ඊශ්‍රායෙල් ජාතියේ “වැවිලිකරුවන්” අතර ඔවුනුත් සිටින නිසා ආගමික නායකයන් නොදැනුවත්වම තමන් පිටම විනිශ්චය ප්‍රකාශ කරගන්නවා. එවැනි වැවිලිකරුවන්ගෙන් යෙහෝවා බලාපොරොත්තු වන පලදාව නම් ඔහුගේ පුත්‍රයා වන සැබෑ මෙසියස් කෙරෙහි ඇදහිල්ල තැබීමයි. එබඳු පලදාවක් නිපදවීමට අසමත් වන නිසා යේසුස් ඔවුන්ට මෙසේ අනතුරු අඟවනවා. “‘ඉදි කරන්නන් ඉවතලූ ගලම ප්‍රධාන ගල වී ඇත. එය යෙහෝවාගෙන්ය. අපේ ඇස් හමුවෙහි එය විස්මයජනකය’ යන්න ශුද්ධ ලියවිලිවල [ගීතාවලිය 118:22, 23හි] ඔබ කවදාවත් කියවා නැද්ද? එහෙයින් මම ඔබට කියමි, දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ. තවද, මේ ගල මත වැටෙන තැනැත්තා කැබලි වන්නේය. එය යමෙකු පිට වැටුණොත්, එය ඔහුව සුනුවිසුනු කර දමන්නේය.”

      යේසුස් කතා කරමින් සිටින්නේ තමන් ගැන බව වටහාගන්නා ලියන්නන් හා නායක පූජකයන් නියම “උරුමක්කාරයා” වන ඔහුව ඝාතනය කිරීමට සොයනවා. ඒ නිසා දෙවිගේ රාජ්‍යයේ පාලකයන් වීමේ වරප්‍රසාදය සමස්තයක් වශයෙන් ඊශ්‍රායෙල් ජාතියෙන් ඉවත් කරන අතර සුදුසු පල නිපදවන ‘මිදිවතු වැවිලිකරුවන්ගෙන්’ යුත් අලුත් ජාතියක් බිහි කරනු ලබනවා.

      යේසුස්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සලකන සෙනඟට භයෙන් සිටින නිසා ආගමික නායකයන් ඔහුව මේ අවස්ථාවේදී මරා දැමීමට උත්සාහ කරන්නේ නැහැ. මතෙව් 21:28-46; මාක් 12:1-12; ලූක් 20:9-19; NW; යෙසායා 5:1-7.

      ▪ යේසුස්ගේ පළමු උපමාවේ දරුවන් දෙදෙනා නියෝජනය කරන්නේ කවුරුන්වද?

      ▪ දෙවන උපමාවේ, ‘වතුහිමියාගෙන්,’ ‘මිදිවත්තෙන්,’ ‘වැවිලිකරුවන්ගෙන්,’ ‘දාසයන්ගෙන්’ හා ‘උරුමක්කාරයාගෙන්’ නියෝජනය වන්නේ කවුරුන්වද?

      ▪ ‘මිදිවත්තේ වැවිලිකරුවන්ට’ කුමක් සිදු වනු ඇද්ද? ඔවුන්ගේ තැන ගනු ලබන්නේ කවුරුන්ද?

  • විවාහ මංගල්‍යය පිළිබඳ උපමාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 107වෙනි පරිච්ඡේදය

      විවාහ මංගල්‍යය පිළිබඳ උපමාව

      යේසුස් උපමා දෙකක් මාර්ගයෙන් ලියන්නන්ගේ හා නායක පූජකයන්ගේ දුෂ්ටකම හෙළි කර තිබෙනවා. මේ නිසා ඔවුන්ට දැන් වුවමනා වන්නේ ඔහුව මරණයට පත් කරන්නයි. එහෙත් යේසුස්ට තවත් බොහෝ දේවල් තිබෙනවා ඔවුන්ට කියන්න. ඔහු ඔවුන්ට තවත් උපමාවක් කියනවා.

      “තම පුත්‍රයාට විවාහ මංගල්‍යයක් පිළියෙළ කළ රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන වී ඇත. විවාහ මංගල්‍යය සඳහා ආරාධනය ලැබූවන්ව කැඳවන පිණිස ඔහු තම දාසයන්ව යැව්වේය. නමුත් ආරාධිතයෝ එන්න අකමැති වූහ.”

      තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වෙනුවෙන් විවාහ මංගල්‍යයක් පිළියෙළ කරන රජු වන්නේ යෙහෝවා දෙවියි. අන්තිමේදී, අභිෂේක ලත් අනුගාමිකයන් 1,44,000දෙනෙකුගෙන් යුත් මනාලිය ස්වර්ගයේ සිටින යේසුස්ට එකතු වෙනවා. රජුගේ යටත්වැසියන් වන්නේ ඊශ්‍රායෙල් ජනයායි. මොවුන්ව ක්‍රි.පූ. 1513දී මෝසෙස්ගේ නීතික ගිවිසුමට ඇතුල් කරගත් අතර එමගින් “පූජක රාජ්‍යයක්” වීමේ ප්‍රස්තාව ඔවුන්ට විවෘත වුණා. ඒ නිසා, විවාහ මංගල්‍යයට සහභාගි වීමේ ආරාධනාව ඔවුන් මුල් වතාවට ලැබුවේ ඒ අවස්ථාවේදීයි.

      එහෙත්, ආරාධිතයන්ට මුල් කැඳවීම ඉදිරිපත් කරනු ලැබුවේ ක්‍රි.ව. 29 ශරත් ඍතුවේදී යේසුස් හා ඔහුගේ ගෝලයන් (රජුගේ දාසයන්) රාජ්‍ය දේශනා කිරීමේ කාර්යය ආරම්භ කිරීමෙන් අනතුරුවයි. නමුත් ක්‍රි.ව. 29 සිට ක්‍රි.ව. 33 දක්වා දාසයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම කැඳවීම පිළිගැනීමට ඊශ්‍රායෙල් ජාතිය අකමැති වුණා. ඒ නිසා යේසුස් විස්තර කරන පරිදි, ආරාධනය කරන ලැබූ ජාතියට දෙවි තවත් අවස්ථාවක් ලබා දුන්නා.

      “නැවත වරක් ඔහු වෙන දාසයන් යවා, ‘“මෙන්න! මාගේ දහවල් භෝජනය පිළියෙළ කර ඇත. මාගේ ගොනුන්ද තර කළ සතුන්ද මරා, සියල්ල සූදානම්ව තිබේ. විවාහ මංගල්‍යයට එන්න” කියා ආරාධිතයන්ට කියන්න’ යයි කීවේය.” ආරාධිතයන්ට කළ මෙම දෙවෙනි නැත්නම් අන්තිම කැඳවීම ඇරඹුණේ යේසුස්ගේ අනුගාමිකයන් මත ශුද්ධාත්මය වගුරුවනු ලැබූ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. මෙම කැඳවීම ක්‍රි.ව. 36 දක්වා පැවතුණා.

      එහෙත් ඊශ්‍රායෙලිතයන්ගෙන් වැඩි පිරිසක් මෙම කැඳවීම සතේකටවත් මායිම් නොකර ප්‍රතික්ෂේප කළා. යේසුස් එය මෙසේ විස්තර කරනවා. “ඔවුන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටද තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතුවලටද ගියහ. නමුත් අනිත් අය ඔහුගේ දාසයන්ව අල්ලාගෙන, ඔවුන්ට අගෞරවනීයව සලකා, ඔවුන්ව මරා දැමූහ.” නමුත් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “රජ උදහස් වී, තමාගේ සේනා යවා ඒ මිනීමරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළේය.” මෙය සිදු වූයේ ක්‍රි.ව. 70දී, රෝමවරුන් යෙරුසලම බිමටම සමතලා කර, එම මිනීමරුවන්ව ඝාතනය කළ විටයි.

      මේ අතරතුරේදී සිදු වූ දෙය යේසුස් ඊළඟට මෙසේ පැහැදිලි කරනවා. “ඉන්පසු [රජු] තම දාසයන්ට කතා කොට, ‘විවාහ මංගල්‍යය සූදානම් කර තිබේ. නමුත් ආරාධිතයෝ එය ලබන්න වටින්නෝ නොවූහ. ඒ නිසා නුවරින් එපිටට විහිදෙන මාවත්වලට ගොස්, ඔබට සම්බ වන සියල්ලන්ටම විවාහ මංගල්‍යයට ආරාධනා කරන්න’ යයි කීවේය” දාසයන් මෙසේ කරද්දී, ‘කෑම මේසයට පැමිණෙන අයගෙන් විවාහ මංගල්‍ය ශාලාව පිරී යනවා.’

      ආරාධිතයන් වාසය කළ නුවරින් එපිට මාවත්වලින් අමුත්තන්ව එකතු කිරීමේ මෙම කාර්යය ආරම්භ වුණේ ක්‍රි.ව. 36දීයි. යුදෙව් නොවන අචර්මච්ඡේදිතයන්ගෙන් මුලින්ම එක්රැස් කරනු ලැබුවේ රෝම හමුදා නිලධාරියෙකු වූ කොර්නේලියස්ව හා ඔහුගේ පවුලේ අයවයි. කැඳවීම ප්‍රතික්ෂේප කළ අයගේ තැන ගත් මෙම යුදෙව් නොවන අයව එක්රැස් කිරීම 20වන සියවස දක්වාත් සිදු කර තිබෙනවා.

      විවාහ මංගල්‍ය ශාලාව පිරෙන්නේ 20වන සියවසේදීයි. එවිට සිදු වන දෙය යේසුස් මෙසේ විස්තර කරනවා. “අමුත්තන්ව බැලීමට රජ පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ සිටි මිනිසෙකුව ඔහු දැක්කේය. එබැවින් ඔහු ඔහුට කතා කොට, ‘යහළුව, ඔබ මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ මෙතැනට ඇතුල් වුණේ කෙසේද?’ යයි ඇසීය. ඔහු නිරුත්තර විය. එවිට රජ තම සේවකයන්ට කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය’ යි කීවේය.”

      මංගල්‍ය වස්ත්‍රයක් නොහැඳ සිටින තැනැත්තාගෙන් නිරූපණය වන්නේ ක්‍රිස්තියානි ලෝකයේ ව්‍යාජ ක්‍රිස්තියානීන්වයි. දෙවි කිසිවිටෙකත් මෙවැනි අයව නියම ආත්මික ඊශ්‍රායෙලිතයන් වශයෙන් පිළිගෙන සිටියේ නැහැ. දෙවි කවදාවත් ඔවුන්ව රාජ්‍යයේ උරුමක්කාරයන් වශයෙන් ශුද්ධාත්මයෙන් අභිෂේක කළේ නැහැ. ඒ නිසා ඔවුන්ව පිටත අන්ධකාරයෙහි දමා තිබෙන්නේ විනාශ වන පිණිසයි.

      යේසුස් තම උපමාව අවසන් කරන්නේ “ආරාධිතයෝ බොහෝය, නමුත් තෝරාගත් අය ස්වල්පය” කියමිනුයි. ඇත්තවශයෙන්ම, ක්‍රිස්තුස්ගේ මනාලි පංතියේ සාමාජිකයන් වීමට ඊශ්‍රායෙල් ජාතියෙන් බොහෝදෙනෙකු කැඳවනු ලැබුවත්, ඊශ්‍රායෙල් ජාතිකයන්ගෙන් තෝරාගනු ලැබුවේ ස්වල්පදෙනෙකු පමණයි. ස්වර්ගික විපාකය ලබන අමුත්තන් 1,44,000 දෙනාගෙන් වැඩිදෙනෙකු ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවන අයයි. මතෙව් 22:1-14, NW; නික්මයාම 19:1-6; එළිදරව් 14:1-3, NW.

      ▪ විවාහ මංගල්‍යයට මුලින්ම ආරාධනා කරනු ලැබුවේ කවුරුන්වද? ඔවුන්ට ආරාධනාව ලැබුණේ කවදාද?

      ▪ ආරාධිතයන්ට මුල් කැඳවීම ලැබෙන්නේ කවදාද? ආරාධනාව දීමට යොදාගන්නා දාසයන් කවුරුන්ද?

      ▪ දෙවෙනි කැඳවීම ඉදිරිපත් කළේ කවදාද? ඉන්පසුව ආරාධනා කරනු ලබන්නේ කවුරුන්වද?

      ▪ විවාහ මංගල්‍ය වස්ත්‍රයක් නොමැති මිනිසාගෙන් නිරූපණය වන්නේ කවුරුන්වද?

      ▪ කැඳවනු ලබන බොහෝදෙනා හා තෝරාගනු ලබන ස්වල්පදෙනා කවුරුන්ද?

  • යේසුස්ව හසු කරගන්නට ඔවුන් අසමත් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 108වෙනි පරිච්ඡේදය

      යේසුස්ව හසු කරගන්නට ඔවුන් අසමත් වෙයි

      යේසුස් දේවමාලිගාවේ උගන්වමින් සිටි නිසාත් ආගමික වශයෙන් ඔහුට සතුරුකම්පාන අයගේ දුෂ්ටකම හෙළි කරන උපමා තුනක් කියා දුන් නිසාත් පරිසිවරුන් කෝපයට පත් වී සිටිනවා. ඔවුන් දැන් කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි, වැරදි යමක් කීමට සලස්වා ඔහුව හසු කරගැනීමටයි. කුමන්ත්‍රණයක් යෙදුවායින් පසු ඔවුන් යේසුස්ව හසු කරගැනීමට ඔවුන්ගේ ගෝලයන්වත් හෙරොද්ගේ පක්ෂයේ අයවත් ඔහු වෙතට යවනවා.

      ඔවුන් පවසන්නේ මෙසේයි. “ගුරුතුමෙනි, ඔබ සත්‍යය කතා කරන බවත් සත්‍යයට අනුව දෙවිගේ මාර්ගය උගන්වන බවත් අපි දනිමු. තවද, ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස නොබලන හෙයින් ඔබ කිසිවෙකුටවත් විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දනිමු. ඒ නිසා ඔබ මේ ගැන සිතන්නේ කුමක්දැයි අපට කියන්න. සීසර්ට ඇඟ බද්ද ගෙවිය යුතුද නැද්ද?”

      යේසුස් ඔවුන්ගේ චාටු බස්වලට රැවටෙන්නේ නැහැ. ඔහු දන්නවා, ‘නැහැ, මේ බද්ද ගෙවීම නීත්‍යනුකූල වන්නේවත් සුදුසු වන්නේවත් නැහැ’ කියා පැවසුවොත් රෝම අධිරාජ්‍යයට ද්‍රෝහිවීමේ වරදට හසු වෙයි කියා. එහෙත්, ‘ඔව්, ඔබ මේ බද්ද ගෙවිය යුතුයි’ කියා පැවසුවොත් රෝම අධිරාජ්‍යයේ ආධිපත්‍යයට පිළිකුල් කරන යුදෙව්වරුන් ඔහුට වෛර කරාවි. ඒ නිසා, ඔහු මෙසේ පිළිතුරු දෙනවා. “කුහකයෙනි, ඔබ මාව පරීක්ෂා කරන්නේ මන්ද? ඇඟ බද්ද ගෙවන කාසිය මට පෙන්වන්න.”

      ඔවුන් ඔහු වෙතට කාසියක් ගෙනා විට, “මේ රූපයත් සටහනත් කාගෙද” කියා ඔහු අසනවා.

      “සීසර්ගේ” කියා ඔවුන් පිළිතුරු දෙනවා.

      එවිට යේසුස් පවසන්නේ, “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න” කියායි. යේසුස් දක්ෂ ලෙස පිළිතුර දුන් ආකාරය අසන විට ඔවුන් මවිතයට පත් වෙනවා. ඉන්පසු, ඔවුන් ඔහුව අත්හැර එතැනින් යනවා.

      යේසුස්ව හසු කරගැනීමට පරිසිවරුන්ට නොහැකි වන බව දකින විට නැවත නැඟිටීමක් නැහැයි කියා පවසන සද්දුසිවරුන් ඔහු වෙතට ගොස් මෙසේ අසනවා. “ගුරුතුමෙනි, ‘මිනිසෙකුට දරුවන් නොසිට මිය ගියොත්, ඔහුගේ සහෝදරයා ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයා වෙනුවෙන් දරුවන් ඉපදවිය යුතුය’ යි මෝසෙස් කියා තිබේ. අප අතර සහෝදරයෝ හත්දෙනෙක් සිටියහ. පළමුවැන්නා විවාහ වූ පසු මියගියේය. ඔහුට දරුවන් නොසිටි හෙයින් ඔහුගේ බිරිඳ තම සහෝදරයාට භාර වූවාය. දෙවෙනියා, තුන්වෙනියා සහ හත්වෙනියා දක්වාද එසේම සිදු විය. සියල්ලන්ට පසුව ස්ත්‍රියද මිය ගියාය. ඒ හැමදෙනාම ඇයව විවාහ කරගත් බැවින්, නැවත නැඟිටීමේදී ඇය හත්දෙනාගෙන් කාගේ බිරිඳ වන්නේද?”

      යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “ඔබ වැරදි ලෙස වටහාගෙන තිබෙන්නේ ශුද්ධ ලියවිලිවත් දෙවිගේ බලයවත් නොදන්න නිසා නොවේද? මන්ද, මළවුන්ගෙන් නැඟිටින විට, මිනිසුන් විවාහ වන්නේවත් ස්ත්‍රීන්ව විවාහ කර දෙන්නේවත් නැත. ඔවුහු ස්වර්ගයේ දේවදූතයන් මෙන් සිටින්නෝය. නමුත් මළවුන් නැවත නැඟිටුවනු ලබන බව, මෝසෙස්ගේ පොතෙහි සඳහන් කටු පඳුර පිළිබඳ වාර්තාවේ ඔබ කියෙව්වේ නැද්ද? එනම්, ‘මම ආබ්‍රහම්ගේ දෙවිය, ඊසාක්ගේ දෙවිය, යාකොබ්ගේ දෙවිය’ යි දෙවි මෝසෙස්ට කීවේය. ඔහු මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවි කෙනෙක්ය. ඔබ බොහෝ සෙයින් වැරදි ලෙස වටහාගෙන තිබේ.”

      යේසුස්ගේ පිළිතුරෙන් සෙනඟ නැවතත් විස්මයට පත් වෙනවා. සමහර ලියන්නෝ පවා “ගුරුතුමෙනි, ඔබ හොඳින් කතා කළේය” කියා පිළිගන්නවා.

      යේසුස් සද්දුසිවරුන්ව නිහඬ කළ බව දකින විට පරිසිවරුන් එකතු වී ඔහු වෙතට පැමිණෙනවා. ඔහුව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඔවුන් සමඟ සිටින ලියන්නෙක් අසනවා, “ගුරුතුමෙනි, නීතියේ උතුම්ම ආඥාව කොයි එකද” කියා.

      යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “පළමුවැන්න නම් මේය, ‘ඊශ්‍රායෙලය, සවන් දෙන්න. අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’ දෙවැන්න නම් මේය, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ඔබ ප්‍රේම කරන්න.’ මේවාට වඩා උතුම් ආඥාවක් නැත.” යේසුස් තවදුරටත් පවසන්නේ මේ ආකාරයටයි. “මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී.”

      ලියන්නා එකඟ වෙමින් මෙසේ පවසනවා. “ගුරුතුමෙනි, ‘ඔහු එක් කෙනෙක්මය, ඔහු හැර තව කිසිවෙක් නැත’ යයි ඔබ මැනවින් කීවේය. එය සත්‍යයට එකඟය. තවද, ඔහුට මුළු හදවතින්ද, මුළු බුද්ධියෙන්ද මුළු ශක්තියෙන්ද ප්‍රේම කිරීම සහ තමන්ට මෙන් තම අසල්වාසියාට ප්‍රේම කිරීම යන මේ දේ, මුළු දවන පූජා සියල්ලට සහ යාගවලට වඩා වටින්නේය.”

      ලියන්නා නැණවත් ලෙස උත්තර දුන් බව වටහාගනිමින් යේසුස් පවසන්නේ, “ඔබ දෙවිගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහිය” කියායි.

      යේසුස් ඉරිදා, සඳුදා හා අඟහරුවාදා යන දවස් තුන පුරාම දේවමාලිගාවේ උගන්වා තිබෙනවා. මිනිසුන් ඔහුට කන් දී තිබෙන්නේ මහත් උනන්දුවෙනුයි. එහෙත් ආගමික නායකයන්ට වුවමනා වන්නේ ඔහුව මරණයට පත් කරන්නයි. මේ දක්වා ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල වී තිබෙනවා. මතෙව් 22:15-40; මාක් 12:13-34; ලූක් 20:20-40; NW.

      ▪ යේසුස්ව හසු කරගැනීමට පරිසිවරුන් කුමන්ත්‍රණය කරන්නේ කොහොමද? ඔහු ඔව් හෝ නැහැ කියා පිළිතුරු දුන්නොත් කුමක් සිදු වනු ඇද්ද?

      ▪ තමාව හසු කරගැනීමට සද්දුසිවරුන් දරන ප්‍රයත්නය යේසුස් නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද?

      ▪ පරිසිවරුන් යේසුස්ව පරීක්ෂා කිරීමට තවදුරටත් උත්සාහ කරන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද?

      ▪ යේසුස් යෙරුසලමේ අන්තිම වතාවට කරන සේවයේදී, දවස් කීයක් දේවමාලිගාවේ ඉගැන්නුවාද? කිනම් බලපෑමක් ඇතුවද?

  • යේසුස් තම විරුද්ධවාදීන්ව හෙළා දකී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 109වෙනි පරිච්ඡේදය

      යේසුස් තම විරුද්ධවාදීන්ව හෙළා දකී

      යේසුස් තම ආගමික විරුද්ධවාදීන්ව නිරුත්තර කර තිබෙන නිසා ඔහුගෙන් තව ප්‍රශ්න ඇසීමට තරම් එඩිතරකමක් ඔවුන්ට නැහැ. ඒ නිසා ඔවුන්ගේ අඥානකම හෙළි කිරීමට මුල පුරමින් ඔහු ඔවුන්ගෙන් මෙසේ විමසනවා. “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද?”

      “දාවිත්ගේ” යයි පරිසිවරු පවසනවා.

      ක්‍රිස්තුස් හෙවත් මෙසියස්ගේ මාංසික මුතුන්මිත්තා දාවිත් බව යේසුස් ප්‍රතික්ෂේප නොකළත්, ඔහු මෙසේ අසනවා. “එසේ නම් [ගීතාවලිය 110හි] දාවිත් ආනුභාවයෙන් ඔහුට ‘ස්වාමීන්’ යයි කියන්නේ කෙසේද? මන්ද ඔහු, ‘යෙහෝවා මාගේ ස්වාමීන්ට කතා කොට: “මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු මාගේ දකුණු පැත්තේ ඉඳගන්න” යයි පැවසුවේය’ කියා කීවේය. එබැවින් දාවිත් ඔහුට ‘ස්වාමීන්’ යයි කියනවා නම්, ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කෙසේද?”

      පරිසිවරුන් ක්‍රිස්තුස්ගේ හෝ අභිෂේක ලත් තැනැත්තාගේ නියම අනන්‍යතාව නොදන්නා නිසා, ඔවුන් නිශ්ශබ්දව සිටිනවා. පෙනෙන ආකාරයට පරිසිවරුන් විශ්වාස කරන්නේ මෙසියස් දාවිත්ගෙන් පැවතෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියායි. එහෙත් ඇත්තවශයෙන්ම ස්වර්ගයෙහි ජීවත් වූ ඔහු, දාවිත්ට වඩා උතුම් කෙනෙක්. වෙනත් ආකාරයකින් පැවසුවොත් ඔහු දාවිත්ගේ ස්වාමියායි.

      දැන් යේසුස් සෙනඟ හා ඔහුගේ ගෝලයන් වෙතට හැරී ලියන්නන් හා පරිසිවරුන් සම්බන්ධයෙන් අනතුරු අඟවනවා. දෙවිගේ නීතිය උගන්වමින් “මෝසෙස්ගේ ආසනයට ගොස් ඔවුන්ම වාඩි වී” සිටින නිසා, “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පවත්වන්න” කියා යේසුස් ඔවුන්ට උනන්දු කරනවා. “නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැත” කියා ඔහු තවදුරටත් පවසනවා.

      ඔවුන් කුහකයෝ. ඒ විතරක් නෙවෙයි, මාස ගණනාවකට පෙර එක්තරා පරිසිවරයෙකුගේ නිවසේ ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී කළ ආකාරයටම යේසුස් ඔවුන්ව හෙළා දකිනවා. “ඔවුන් සෑම දෙයක්ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිසය.” ඒ සඳහා ඔහු දැන් උදාහරණ සපයනවා.

      “ඔවුහු තම ආරක්ෂාව පිණිස පළඳින ෆිලක්තාරි පළල් කරගනිති.” නළලේ හෝ අතේ ඉහළ කොටසේ පළඳින මේ ෆිලක්තාරි හෙවත් ශුද්ධ ලියවිලි පාඨ ඇතුළත් කුඩා පෙට්ටි තුළ නික්මයාම 13:1-10, 11-16; සහ ද්විතීය කථාව 6:4-9; 11:13-21 යන නීතියේ කොටස් සතර අන්තර්ගත වුණා. එහෙත් නීතිය සම්බන්ධයෙන් තමන් දැඩි උද්‍යෝගයකින් සිටින බව ඇඟවීමට පරිසිවරු මෙම ෆිලක්තාරිවල ප්‍රමාණය විශාල කරනවා.

      ඔවුන් “තමුන්ගේ වස්ත්‍රවල දාවලු මහත් කරති” කියා යේසුස් තවදුරටත් පවසනවා. ගණන් කථාව 15:38-40හි ඊශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණා තමන්ගේ වස්ත්‍රවල දාවලු සෑදීමට. නමුත් පරිසිවරු තමන්ගේ දාවලු අන් සෑම කෙනෙකුගේ ඒවාට වඩා විශාල කරගන්නවා. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ සියල්ලන්ටම පෙනෙන පිණිසයි! ඔවුන් ‘ප්‍රධානතම ස්ථානයට කැමතිය’ කියා යේසුස් පවසනවා.

      කනගාටුදායක ලෙස, ප්‍රසිද්ධිය ලැබීමට ඇති මෙම ආශාව ඔහුගේ ගෝලයන්ටත් බලපා තිබෙනවා. එනිසා ඔහු උපදෙස් දෙන්නේ මෙසේයි. “ඔබ, රබ්බියයි කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම ගුරුතුමෙකි. ඔබ සියල්ලෝම සහෝදරයෝය. තවද, පොළොවෙහිදී කාටවත් පියාණන්යයි නොකියන්න. මන්ද ඔබට ඉන්නේ එකම පියෙකි. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තාය. ‘නායකයන්’ කියාවත් කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.” ගෝලයන්, ප්‍රථමයා වීමට තමන් තුළ තිබෙන ආශාව මුලිනුපුටා දැමිය යුතුයි! යේසුස් ඔවුන්ට උපදෙස් දෙන්නේ, “ඔබ අතරේ උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුය” කියායි.

      ඔහු ඊළඟට, ලියන්නන් හා පරිසිවරුන්ට අත් වන දුක ගැන ප්‍රකාශ කරමින් කිහිප වතාවක්ම ඔවුන්ව කුහකයන් ලෙස හඳුන්වනවා. ඔහු පවසන පරිදි, ඔවුන් “මිනිසුන් ඉදිරියෙහි ඇති ස්වර්ග රාජ්‍යය වසන්නහුය.” තවද “මොවුහු වැන්දඹුවන්ගේ ගෙවල් නාස්ති කර දමන අතර, අනුන්ට පෙනෙන ලෙස දීර්ඝ යාච්ඤා කරති.”

      “අන්ධ මඟ පෙන්වන්නෙනි, ඔබට දුක් වේ” යයි යේසුස් පවසනවා. ඔහු පරිසිවරුන්ව හෙළා දකින්නේ ඔවුන් තුළ ආත්මික සාරධර්ම නොමැති නිසයි. ඔවුන් හිතුමතේට ගන්නා තීරණවලින් මෙය පැහැදිලිව දක්නට තිබෙනවා. උදාහරණයකට ඔවුන් කියා සිටිනවා, ‘යමෙකු දේවමාලිගාවේ නාමයෙන් දිවුරුවොත් එය නිෂ්ඵල දෙයක්. නමුත් යමෙකු දේවමාලිගාවේ රන්වල නාමයෙන් දිවුරුවොත් ඔහු බැඳී සිටිනවා’ කියා. නමස්කාරය පිරිනමන ස්ථානය වන දේවමාලිගාවේ ආත්මික වටිනාකමට වඩා එහි රන්වලට වැඩි අවධානයක් දීමෙන් ඔවුන් හොඳ නරක වෙන් කරගැනීමට නොහැකි තරමට අන්ධ තත්වයක සිටින බව ඔවුන් හෙළි කරනවා.

      යේසුස් කලින් කළාක් මෙන් දැනුත්, “යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා” නොසලකා හරිමින් එතරම් වැදගත්කමක් උසුලන්නේ නැති පලාවලින් දසයෙන් කොටසක් ගෙවීම වෙතට වැඩි අවධානයක් දීම ගැන පරිසිවරුන්ව හෙළා දකිනවා.

      යේසුස් පරිසිවරුන්ව හඳුන්වන්නේ ‘මදුරුවා අයින් කර ඔටුවා ගිල දමන අන්ධ මඟ පෙන්වන්නන්’ වශයෙනුයි. ඔවුන් තමන් බොන වයින්වල සිටින මදුරුවාව ඉවත් කරන්නේ ඌ කෘමියෙක් වන නිසා පමණක් නොව, නමුත් එය චාරිත්‍රානුකූලව අපිරිසිදු වන නිසයි. එහෙත්, ඔවුන් නීතියේ වඩා වැදගත් කාරණා නොසලකා හැරීම, චාරිත්‍රානුකූලව අපිරිසිදු සතෙකු වන ඔටුවෙකු ගිල දැමීමට සමාන කළ හැකියි. මතෙව් 22:41–23:24; මාක් 12:35-40; ලූක් 20:41-47; NW; ලෙවී කථාව 11:4, 21-24.

      ▪ ගීතාවලිය 110හි දාවිත් පැවසූ දෙය පිළිබඳව යේසුස් පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ මන්ද?

      ▪ පරිසිවරුන් ශුද්ධ ලියවිලි පාඨ ඇතුළත් ෆිලක්තාරි පළල් කර, ඔවුන්ගේ වස්ත්‍රවල දාවලු මහත් කරන්නේ මන්ද?

      ▪ යේසුස් ගෝලයන්ට දෙන්නේ කිනම් උපදේශයක්ද?

      ▪ පරිසිවරුන් හිතුමතේට ගන්නා තීරණ මොනවාද? වඩාත් වැදගත් කාරණා නොසලකා හැරීම ගැන යේසුස් ඔවුන්ව හෙළා දකින්නේ කෙසේද?

  • දේවමාලිගාවේ සිදු කරන දේවසේවය අවසන්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 110වෙනි පරිච්ඡේදය

      දේවමාලිගාවේ සිදු කරන දේවසේවය අවසන්

      යේසුස් දේවමාලිගාවට පැමිණ සිටින අන්තිම වතාවයි මේ. ඇත්තෙන්ම, පොළොව මත ප්‍රසිද්ධියේ සිදු කරන තම දේවසේවය තව කෙටි කාලයකින් අවසන් වෙනවා. තව සිදුවීමට ඉතිරිව ඇත්තේ ඔහුගේ නඩු විභාගය හා මරණය සම්බන්ධ සිද්ධීන් පමණයි. එම සිද්ධීන් තව දින තුනකින් සිදුවීමට නියමිතයි. දැන් ඔහු දිගටම ලියන්නන්ව හා පරිසිවරුන්ව හෙළා දකිනවා.

      යේසුස් තව තුන් වතාවක්ම ශබ්ද නඟා පවසන්නේ, “ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ” කියායි. මුලින්ම ඔහු ඔවුන්ට දුක් වේ කියා ප්‍රකාශ කරන්නේ, ඔවුන් “කුසලානත් දීසියත් පිටතින් පවිත්‍ර කරන නමුත් එහි ඇතුළත කොල්ලකෑමෙනුත්, සංයමයක් නැති හැසිරීම්වලිනුත් පිරී [තිබෙන]” බැවිනුයි. ඒ නිසා ඔහු අවවාද කරන්නේ, “කුසලානත් දීසියත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න” කියායි.

      ඔහු ඊළඟට ලියන්නන් සහ පරිසිවරුන්ට දුක් වේ කියා ප්‍රකාශ කරන්නේ, පිටතින් ශ්‍රද්ධාවන්තයයි පෙන්වමින් තමන්ගේ ඇතුළාන්ත දූෂ්‍යකම හා අපවිත්‍රකම සැඟවීමට ඔවුන් උත්සාහ කරන නිසයි. “ඔබ හුණු ගා සුදු කළ සොහොන් ගෙවලට සමානය” කියා ඔහු පවසනවා. “ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මළවුන්ගේ ඇට කටුවලින්ද සියලු ආකාර අපවිත්‍රකම්වලින්ද පිරී තිබේ.”

      අන්තිමේදී, ඔවුන්ගේ කුහකකම මනාව පැහැදිලි වන්නේ ඔවුන් සිදු කරන යහපත් ක්‍රියා වෙතට අන්‍යයන්ගේ අවධානය ඇදගැනීමට ඔවුන් අනාගතවක්තෘවරුන් උදෙසා සොහොන් ගෙවල් තනා ඒවා සැරසීම තුළිනුයි. එහෙත් යේසුස් හෙළි කරන පරිදි, ඔවුන් “අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්.” ඇත්තෙන්ම, ඔවුන්ගේ කුහකකම හෙළි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකු සිටින්නේ අවදානම් තත්වයකයි!

      යේසුස් දැන් දිගටම කතා කරමින් ඉතා දැඩි ස්වරයකින් ඔවුන්ව හෙළා දකිනවා. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ ගෙහෙන්නාවේ විනිශ්චයෙන් කෙසේ පලා යන්නද” කියා ඔහු අසනවා. ගෙහෙන්නාව කියන්නේ යෙරුසලමේ කුණු කසළ ගොඩ දැමීමට පාවිච්චි කරන මිටියාවතක්. ඉතිං යේසුස් පවසමින් සිටින්නේ, දුෂ්ට ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීම නිසා ලියන්නන්ට සහ පරිසිවරුන්ට සදාකාල විනාශය අත් වන බවයි.

      ඔහු තම නියෝජිතයන් වශයෙන් යවන අය සම්බන්ධයෙන් යේසුස් මෙසේ පවසනවා. “ඔබ ඔවුන්ගෙන් සමහරදෙනෙකුව මරා, කණුවල ඇණ ගසනවා ඇත. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරනු ඇත. මෙලෙස, ධර්මිෂ්ඨ වූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධ ස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ [දෙවන ලේකම්හි යෙහෝයාදා වශයෙන් හඳුන්වන] බරකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවන ලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ ඔබ පිට පැමිණෙන්නේය. මේ සියල්ලම මේ පරම්පරාව පිට පැමිණෙන්නේයයි සැබවින්ම මම ඔබට කියමි.”

      සෙකරියා ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයන්ට හික්මවීම ලබා දුන් නිසා, “ඔවුහු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කොට [යෙහෝවාගේ] ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.” එහෙත්, යේසුස් පුරෝකථනය කරන පරිදි, එසේ වගුරුවන ලද ධර්මිෂ්ඨ ලේ සඳහා ඊශ්‍රායෙල්වරුන්ට වන්දි ගෙවීමට සිදු වෙනවා. වසර 37කට පසුව, ක්‍රි.ව. 70දී, රෝම හමුදාව යෙරුසලම විනාශ කර දමා, යුදෙව්වරුන් දශලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ අවස්ථාවේදී ඔවුන් එසේ වන්දි ගෙවනවා.

      මෙම බියකරු තත්වය ගැන කල්පනා කරද්දී, යේසුස්ට දැනෙන්නේ දැඩි වේදනාවක්. ඔහු නැවත වරක් මෙසේ ප්‍රකාශ කරනවා. “යෙරුසලම, යෙරුසලම, . . කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත. බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.”

      යේසුස් මෙසේත් පවසනවා. “යෙහෝවාගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාද ලද්දේය!’ යි ඔබ කියන තුරු මෙතැන් පටන් ඔබ මා කිසිසේත් දකින්නේ නැතැයි මම ඔබට කියමි.” එය සිදු වන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදීයි. එනම්, ඔහු තම ස්වර්ගික රාජ්‍ය පාලනය අරඹන විටයි. ඒ අවස්ථාවේදී මනුෂ්‍යයන් ඔහුව දකිනු ඇත්තේ ඇදහිල්ල නමැති ඇස්වලිනුයි.

      දේවමාලිගාවේ මුදල් බඳුන්වලට සෙනඟ මුදල් දමන හැටි හොඳින් දැකබලා ගත හැකි ස්ථානයකට යේසුස් දැන් ගමන් කරනවා. ධනවතුන් බොහෝ කාසි දමනවා. නමුත් ඒ අතර, දිලිඳු වැන්දඹුවක් ඇවිත් ඉතා සුළු වටිනාකමකින් යුත් කුඩා කාසි දෙකක් දමනවා.

      යේසුස් ගෝලයන්ව තමන් ළඟට කැඳවා මෙසේ පවසනවා. “සැබවින්ම මම ඔබට කියමි, මේ දිලිඳු වැන්දඹුව, මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියල්ලන්ට වඩා දැම්මාය.” එහෙම වෙන්නේ කොහොමද කියා ඔවුන් සමහරවිට කල්පනා කරනවා ඇති. ඒ නිසා, යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “ඒ සියලුදෙනාම දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනි. නමුත් ඇයට අග හිඟකම් තිබියදීත් තමන් සතුව තිබුණු සියල්ල, එනම් ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල දැම්මාය.” මෙසේ පැවසීමෙන් පසු, යේසුස් අවසාන වතාවට දේවමාලිගාවෙන් පිට වී යනවා.

      දේවමාලිගාවේ විශාලත්වය හා අලංකාරය ගැන විස්මයට පත් වන ඔහුගේ ගෝලයෙක් පවසන්නේ මෙසේයි. ‘ගුරුතුමෙනි, බලන්න! මේ ගල් දිහා! මේ ගොඩනැඟිලි දිහා!’ඇත්තෙන්ම වාර්තා කර ඇති පරිදි, එම ගල්වල දිග මීටර් 11කටත් පළල මීටර් 5කටත් උස මීටර් 3කටත් වඩා වැඩියි!

      එවිට යේසුස් පිළිතුරු දෙන්නේ,“මේ මහත් ගොඩනැඟිලි ඔබට පෙනෙනවාද? මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ලම බිම හෙළනු ලබන්නේය” කියායි.

      මේ දේවල් පැවසීමෙන් පසු, යේසුස් සහ ඔහුගේ ගෝලයන් කිද්‍රොන් මිටියාවත හරහා ගොස් ඔලීව කන්දට නඟිනවා. මෙතැන් සිට ඔවුන්ට තේජාන්විත දේවමාලිගාව හොඳින් දැකබලා ගත හැකියි. මතෙව් 23:25–24:3; මාක් 12:41–13:3; ලූක් 21:1-6; NW; 2 ලේකම් 24:20-22.

      ▪ දේවමාලිගාවට යන තම අන්තිම ගමනේදී යේසුස් කරන්නේ කුමක්ද?

      ▪ ලියන්නන්ගේ හා පරිසිවරුන්ගේ කුහකකම හෙළි වන්නේ කෙසේද?

      ▪ ‘ගෙහෙන්නාවේ විනිශ්චය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

      ▪ වැන්දඹුව ධනවතුන්ට වඩා වැඩියෙන් සම්මාදම් දැමුවායයි යේසුස් පවසන්නේ ඇයි?

  • අන්තිම දවස් සඳහා ලකුණ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 111වෙනි පරිච්ඡේදය

      අන්තිම දවස් සඳහා ලකුණ

      දැන් අඟහරුවාදා මධ්‍යහ්නයයි. යේසුස් ඔලීව කන්දේ වාඩි වී පහළ පිහිටා ඇති දේවමාලිගාව දෙස බලමින් සිටිනවා. ඒ අතරේ පේතෘස්, අන්දෘ, යාකොබ් හා යොහන් ඔහු වෙතට පැමිණෙනවා ඔහු සමඟ තනිව කතා කරන්න. දේවමාලිගාවේ ගලක් පිට ගලක් ඉතිරි නොවන බව යේසුස් දැන් ටිකකට කලින් පවසා තිබූ නිසා, ඔවුන් දේවමාලිගාවට සිදු වනු ඇත්තේ කුමක්ද යන්න ගැන සැලකිලිමත් වෙනවා.

      නමුත් ඔවුන් යේසුස් වෙතට පැමිණෙන්නේ මීට අමතරව තවත් කාරණා කිහිපයක්ම මනසේ තබාගනිමිනුයි. සති කිහිපයකට පෙර, “මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වීමට නියමිත” කාලය හෙවත් තමා ‘පැමිණ සිටීමට’ නියමිත කාලය ගැන යේසුස් කතා කර තිබුණා. ඒ වගේම ඊට කලින් වතාවකදී, “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන ඔහු ඔවුන්ට පවසා තිබුණා. ප්‍රේරිතයන් දැඩි කුතුහලයකින් සිටින්නේ ඒ නිසයි.

      “[යෙරුසලමේ හා එහි දේවමාලිගාවේ විනාශයට හේතු වන] ඒ දේ සිදු වන්නේ කවදාද කියාත්, ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද කියාත් අපට කියන්න” කියා ඔවුන් ඉල්ලා සිටිනවා. ඇත්තෙන්ම, ඔවුන් අසන එම ප්‍රශ්නය තුළ ඔවුන්ට දැනගැනීමට වුවමනා කාරණා තුනක් තිබෙනවා. පළමුව, යෙරුසලමේ හා එහි දේවමාලිගාවේ අවසානය ගැනත් ඊළඟට රාජ්‍ය බලයෙන් යුක්තව යේසුස් පැමිණ සිටින කාලය ගැනත් අන්තිමට, දැන් පවතින සමාජ ක්‍රමය මුළුමනින්ම නැතිවීම ගැනත් ඔවුන්ට දැනගන්න අවශ්‍යයි.

      යේසුස් ඔවුන්ට දෙන සවිස්තරාත්මක පිළිතුරෙහි එම කාරණා තුනම ආවරණය වෙනවා. ඔහු ලකුණක් ලබා දෙනවා යුදෙව් සමාජ ක්‍රමය අවසන් වන්නේ කවදාද කියා හඳුනාගත හැකි වන පිණිස. ඒත් එක්කම ඔහු ගෝලයන්ට අමතර විස්තර ඇතුළත් තවත් ලකුණක් දෙනවා. ඔවුන් ජීවත් වන්නේ යේසුස් පැමිණ සිටින කාලය තුළ බවත් දැන් පවතින සමාජ ක්‍රමයේ විනාශය අත ළඟ කාලයක සිදුවීමට නියමිත බවත් ගෝලයන්ට එමගින් දැනගත හැකියි.

      කාලය ගෙවී යත්ම, යේසුස්ගේ අනාවැකියේ ඉටුවීම ප්‍රේරිතයන් නිරීක්ෂණය කරනවා. ඇත්තෙන්ම, ඔහු පුරෝකථනය කළ දේවල් ඔවුන් ජීවත් වන කාලය තුළදීම ඉටු වෙන්න පටන්ගන්නවා. මෙසේ, වසර 37කට පසු, ක්‍රි.ව. 70දී ජීවත්ව සිටි ක්‍රිස්තියානීන් යුදෙව් ක්‍රමයත් එහි දේවමාලිගාවත් විනාශ වන විට පුදුමයට පත් වුණේ නැහැ.

      එහෙත්, රාජ්‍ය බලයෙන් යුක්තව ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය ආරම්භ වුණේ ක්‍රි.ව. 70දී නොවෙයි. එය ඇරඹුණේ ඉන් වසර ගණනාවකට පසුවයි. ඒ කවදාද? යේසුස්ගේ අනාවැකිය සලකා බලද්දී මෙය හෙළි වේවි.

      යේසුස් පුරෝකථනය කරනවා “යුද්ධ හා යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති” අසන්න ලැබෙන බව. “ජාතියක් ජාතියකට විරුද්ධව” නැඟී සිටින බවත් ආහාර හිඟකම්, භූමිකම්පා සහ වසංගත ඇති වන බවත් ඔහු පවසනවා. ඔහුගේ ගෝලයන්ට වෛර කරනු ලබනවා. ඔවුන්ව මරණයට පත් කරනවා. බොරු අනාගතවක්තෘවරු නැඟිට බොහෝදෙනෙකුව මුළා කරනවා. නීති විරෝධී ක්‍රියා වැඩි වන නිසා බොහෝදෙනෙකුගේ ප්‍රේමයද පිරිහෙනවා. ඒත් එක්කම, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සාක්ෂියක් පිණිස සියලු ජාතීන්ට දේශනා කරනු ලබනවා.

      ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලමේ විනාශයට කලින් යේසුස්ගේ අනාවැකිය සුළු ආකාරයකින් ඉටු වුවත්, එහි ප්‍රධාන ඉටුවීම දැකගත හැකි වන්නේ ඔහු පැමිණ සිටින කාලය හා පවතින සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය තුළදීයි. වර්ෂ 1914 සිට පවතින ලෝක සිදුවීම් ඉතා සුපරීක්ෂාකාරීව සලකා බලද්දී පෙනී යන්නේ, යේසුස්ගේ එම අතිවැදගත් අනාවැකියේ ප්‍රධාන ඉටුවීම සිදු වුණේ එම වසරේදී බවයි.

      යේසුස් දෙනු ලබන ලකුණේ තවත් කොටසක් වන්නේ, “පාළු කිරීම සිදු කරන පිළිකුල” දක්නට ලැබීමයි. ක්‍රිස්තු වර්ෂ 66දී, පිළිකුල් දේ වශයෙන් දක්නට ලැබුණේ ‘කඳවුරු බැඳ සිටි [රෝම] සේනාවනුයි.’ එම සේනාවන් යෙරුසලම වටලා එහි පවුර බිඳ දැමුවා. ඒ අවස්ථාවේදී, එම “පිළිකුල” නොතිබිය යුතු තැනක දක්නට තිබුණා.

      එම ලකුණේ ප්‍රධාන ඉටුවීම ගත් කල, පිළිකුල් දේ වන්නේ ජාතීන්ගේ සංගමය හා එහි අනුප්‍රාප්තිකයා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ලෝක සාමය වෙනුවෙන් පිහිටුවා ඇති මෙම සංවිධානය දේවරාජ්‍යයෙහි තැන ගන්නා බව ක්‍රිස්තියානි ලෝකය විශ්වාස කරනවා. එය මොන තරම් පිළිකුල්සහගත අදහසක්ද! යථා කාලයේදී, එක්සත් ජාතීන් සමඟ ඇසුරු කරන දේශපාලන බලවතුන් (යෙරුසලම මගින් සංකේතවත් වූ) ක්‍රිස්තියානි ලෝකයට විරුද්ධව නැඟිට ඇයව පාළු කරනවා.

      යේසුස් මෙසේ පුරෝකථනය කරන්නේ ඒ නිසයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” මිලියන ගණනකට අධික සංඛ්‍යාවක් බිලිගත් ක්‍රි.ව. 70දී සිදු වූ යෙරුසලමේ විනාශය ඇත්තවශයෙන්ම මහත් පීඩාවක්. ඒ වගේම, යේසුස්ගේ අනාවැකියේ මෙම කොටසේ ප්‍රධාන ඉටුවීම ඊටත් වඩා මහත් එකක් වන බව නිසැකයි.

      අන්තිම දවස් තුළදී නිසැකකම

      නීසාන් 11වන අඟහරුවාදා නිම වේගන එද්දී රාජ්‍ය බලයෙන් යුක්තව තමා පැමිණ සිටින කාලය හා පවතින සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය පිළිබඳ ලකුණ ගැන යේසුස් තම ප්‍රේරිතයන් සමඟ දිගටම සාකච්ඡා කරමින් සිටිනවා. බොරු ක්‍රිස්තුස්වරුන් පසුපස යෑම ගැන ඔහු ඔවුන්ට අනතුරු අඟවනවා. ඔහු පවසන්නේ “හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ” යැවීමට ඔවුන් උත්සාහ කරාවි කියායි. එහෙත් දූරදර්ශී රාජාලීන් මෙන් එම තෝරාගත් අය අදෘශ්‍යමානව පැමිණ සිටින සැබෑ ක්‍රිස්තුස් වෙතට, එනම් සැබෑ ආත්මික ආහාර තිබෙන තැනට එක්රැස් වෙනවා නියතයි. ඔවුන් නොමඟ ගිහින් බොරු ක්‍රිස්තුස් කෙනෙකු වෙතට එක්රැස් වෙන්නේ නැහැ.

      බොරු ක්‍රිස්තුස්වරුන්ට පෙනී සිටිය හැක්කේ දෘශ්‍යමානව පමණයි. ඊට වෙනස්ව, යේසුස්ගේ පැමිණ සිටීම අදෘශ්‍යමානයි. යේසුස් පවසන පරිදි මහත් පීඩාව පටන්ගන්නා විට “හිරු අඳුරු වන්නේය. සඳ එළිය නොදෙන්නේය.” මෙය මිනිස් ඉතිහාසයේ අඳුරුම කාල පරිච්ඡේදය වනු ඇති බවට කිසිම සැකයක් නැහැ. එය හරියට දිවා කාලයේදී හිරු අඳුරු වීම හා රාත්‍රියේදී සඳ එළිය නොතිබීම හා සමාන වනු ඇති.

      “අහසේ බලයන්ද සොලවනු ලබන්නේය” කියා යේසුස් තවදුරටත් පවසනවා. ඔහු මෙමගින් අඟවන්නේ භෞතික අහස බියකරු පෙනුමක් ගන්නා බවයි. මීට කලින් මිනිසා අද්දැක ඇති මොනයම් දෙයකටත් වඩා මෙම කාලය බියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරී පවතියි.

      එහි ප්‍රතිඵලයක් වශයෙන්, යේසුස් මෙසේ පවසනවා. “මුහුදේ ඝෝෂාව සහ එහි කැලඹීම නිසා ගැලවෙන මාර්ගය නොදන්නා හෙයින් පොළොවේ ජාතීන්ට මහත් වේදනාවක් වන්නේය. . . . මිනිස්සු භයෙන්ද මුළු ලොවට සිදුවීමට යන දේ ගැන සිතීමෙන්ද ක්ලාන්ත වන්නෝය.” ඇත්තෙන්ම, මනුෂ්‍ය පැවැත්මේ මෙම අඳුරුම කාල පරිච්ඡේදය අවසානය කරා ළඟා වෙද්දී, “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තමන්ටම ගසාගන්නෝය.”

      නමුත් මෙම දුෂ්ට සමාජ ක්‍රමය විනාශ කිරීමට ‘මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් යුක්තව’ පැමිණෙන විට සියල්ලන්ම ශෝක වන්නේ නැහැ. “තෝරාගත් අය” වන ක්‍රිස්තුස්ගේ ස්වර්ගික රාජ්‍යයෙහි ඔහු සමඟ හවුල් වන, 1,44,000දෙනා ශෝක නොවෙයි. ඔවුන්ට සහය දක්වන, යේසුස් මීට කලින් “වෙනත් බැටළුවන්” වශයෙන් හැඳින්වූ අයද ශෝක වන්නේ නැහැ. මිනිස් ඉතිහාසයේ අඳුරුම යුගයේ ජීවත් වුණත් මොවුන් යේසුස්ගේ මෙම දිරිගැන්වීමට ප්‍රතිචාරය දක්වනවා. “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟය.”

      අන්තිම දවස්වල ජීවත් වන ඔහුගේ ගෝලයන්ට අවසානය කොතරම් ළඟද කියා නිශ්චය කරගත හැකි වන පිණිස යේසුස් මෙම උපමාව කියා දෙනවා. “අත්තික්කා ගස සහ අන් සියලු ගස් ගැන කල්පනා කර බලන්න. ඒවා දළු දා තිබෙනවා දුටු විට ගිම්හානය ළඟ බව ඔබ දන්නහුය. එලෙසම, ඔබත් මේ දේවල් සිදු වනවා දකින විට, දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න. සැබවින්ම මම ඔබට කියමි, සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසිසේත් පහව නොයන්නේය.”

      මෙසේ, ලකුණේ විවිධ අංග ඉටු වෙනවා දකින විට, දැන් පවතින සමාජ ක්‍රමයේ අවසානය අත ළඟ බවත් නුදුරු අනාගතයේදී දෙවිගේ රාජ්‍යය සියලුම දුෂ්ටකම් මුලිනුපුටා දමනු ඇති බවත් ඔහුගේ ගෝලයන් තේරුම්ගත යුතුයි. ඇත්තෙන්ම, අවසානය පැමිණෙන්නේ යේසුස් පුරෝකථනය කළ සියලුම දේවල ඉටුවීම දකින ජනයාගේ ජීවිත කාලය තුළයි! අතිවැදගත් කාලයක් වන අන්තිම දවස්වල ජීවත් වන ගෝලයන්ට අවවාද කරමින් යේසුස් මෙසේ පවසනවා.

      “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, මලපතක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය මුළු පොළෝ තලය පිට වාසය කරන සියල්ලන් පිට පැමිණෙන්නේය. එසේ නම් සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.”

      නුවණ ඇති හා නුවණ නැති කන්‍යාවෝ

      රාජ්‍ය බලයෙන් යුක්තව තමා පැමිණ සිටින කාලය සඳහා ලකුණ කුමක්ද කියා ප්‍රේරිතයන් ඇසූ ප්‍රශ්නයටයි යේසුස් මෙතෙක් වේලා පිළිතුරු දෙමින් සිටියේ. ඔහු දැන් උපමා තුනක් යොදාගනිමින් එම ලකුණේ තවත් අංග කිහිපයක් පැහැදිලි කර දෙනවා.

      ඔහු පැමිණ සිටින කාලය තුළදී ජීවත් වන අයට මේ සෑම උපමාවකම ඉටුවීම දැකගත හැකි වෙනවා. ඔහු පළමුවන උපමාව හඳුන්වා දෙන්නේ මෙලෙසයි. “පහන් රැගෙන මනාලයා හමු වන්න පිටත්ව ගිය කන්‍යාවන් දසදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමාන වන්නේය. ඔවුන් අතරෙන් පස්දෙනෙක් නුවණ නැති අයය, පස්දෙනෙක් නුවණ ඇති අයය.”

      “කන්‍යාවන් දසදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමාන වන්නේය” යන ප්‍රකාශයෙන් යේසුස් අදහස් කරන්නේ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නා අයගෙන් අඩක් නුවණ නැති අය බවත්, අඩක් නුවණ ඇති අය බවත් නොවෙයි. ඒ වෙනුවට ඔහු අදහස් කරන්නේ ස්වර්ග රාජ්‍යය එම උපමාවල සඳහන් ඇතැම් තත්වයන්ට සමාන වන බවයි. එහෙමත් නැත්නම්, රාජ්‍යය හා සම්බන්ධ ඇතැම් කාරණා එම උපමාවල සඳහන් යම් යම් අංගයන්ට සමාන වන බවයි.

      කන්‍යාවන් දසදෙනාගෙන් නියෝජනය වන්නේ ස්වර්ග රාජ්‍යයට යෑමට නියමිතව සිටින හෝ එසේ යනවායයි කියා සිටින සියලුම ක්‍රිස්තියානීන්වයි. ක්‍රිස්තියානි සභාව නැවත නැඟිටුවන ලද මහිමයට පත් කරන ලද මනාලයා වන යේසුස් ක්‍රිස්තුස්ට විවාහ කර දීමට පොරොන්දු කරනු ලැබුවේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. එහෙත් විවාහ මංගල්‍යය ස්වර්ගයෙහි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අනාගතයේ යම් දවසකයි.

      මෙම උපමාවේදී කන්‍යාවන් දසදෙනා පිටත්ව යන්නේ මනාලයාව පිළිගැනීමට හා මංගල පෙරහැරට එකතු වීමේ අරමුණ ඇතුවයි. ඔහු පැමිණෙන විට, ඔවුන් මනාලයාව ගෞරවයට පත් කරමින් තම පහන් මගින් පෙරහැරේ ගමන් මඟ ආලෝකවත් කරනවා. මනාලයා ඒ අතරතුර මනාලියව රැගෙන යන්නේ ඇය උදෙසා සූදානම් කර තිබෙන නිවස වෙතටයි. කෙසේවෙතත්, යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “නුවණ නැති අය තම පහන් ගෙන ගියත්, තෙල් ගෙන ගියේ නැත. නමුත් නුවණ ඇති අය තමන්ගේ පහන් සමඟ බඳුන්වලද තෙල් ගෙන ගියහ. මනාලයා එන්න ප්‍රමාද වෙද්දී, ඒ සියල්ලෝම නිදිබර වී නිදාගත්හ.”

      මනාලයාගේ දීර්ඝ ප්‍රමාදයෙන් අඟවන්නේ ආණ්ඩු කරන රජු වශයෙන් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට තවත් බොහෝ කලක් ගත විය යුතු බවයි. ඔහු සිංහාසනාරූඪ වන්නේ 1914දීයි. ඊට කලින් ගෙවුණු දීර්ඝ රාත්‍රියේදී කන්‍යාවන් සියලුදෙනාම නිදාගන්නවා. එහෙත් මේ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පවරන්නේ නැහැ. නුවණ නැති කන්‍යාවන්ව හෙළා දකිනු ලබන්නේ ඔවුන්ගේ බඳුන්වල තෙල් නොතිබීම නිසයි. මනාලයා පැමිණීමට පෙර කන්‍යාවන් අවදි වන ආකාරය යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “‘මෙන්න මනාලයා! ඔහුව හමු වන්න පිටත්ව යන්න’ යයි කියන හඬක් මධ්‍යම රාත්‍රියේ විය. එවිට ඒ සියලු කන්‍යාවෝ නැඟිට තමුන්ගේ පහන් සකස් කළහ. නුවණ නැති අය, නුවණ ඇති අයට කතා කොට, ‘අපේ පහන් නිවීගෙන යන නිසා ඔබේ තෙල්වලින් ටිකක් අපට දෙන්න’ යයි කීවෝය. නුවණ ඇති අය උත්තර දෙමින්, ‘සමහරවිට අප දෙගොල්ලන්ටම ප්‍රමාණවත් තෙල් මෙහි නැති වන්න පුළුවන. ඒ නිසා, තෙල් විකුණන්නන් ළඟට ගොස් ඔබටම තෙල් මිලේට ගන්න’ යයි කීවෝය.”

      තෙල්වලින් සංකේතවත් කරන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ව ප්‍රදීපකයන් වශයෙන් බැබළවීමට සලස්වන සාධකයනුයි. එනම්, ක්‍රිස්තියානීන් තදින් ඇලී සිටින දෙවිගේ අනුභාවය ලත් වචනය සහ එම වචනය තේරුම්ගැනීමට උපකාරවත් වන ශුද්ධාත්මයයි. එම ආත්මික තෙල් නුවණ ඇති කන්‍යාවන්ට උපකාරවත් වෙනවා විවාහ මංගල්‍යයට යන අතරතුරේදී ආලෝකය විහිදුවාලමින් මනාලයාව පිළිගැනීමට. එහෙත් නුවණ නැති කන්‍යා පංතියට තම බඳුන්වල එනම්, තමන් ළඟ අවශ්‍ය කරන ආත්මික තෙල් නැහැ. ඒ නිසා සිදු වන දෙය යේසුස් මෙසේ විස්තර කරනවා.

      “[නුවණ නැති කන්‍යාවෝ තෙල්] මිලේට ගන්නා පිණිස පිටත්ව යන අතරේ, මනාලයා ආවේය. එවිට, සූදානම්ව සිටි කන්‍යාවෝ ඔහු සමඟ විවාහ මංගල්‍යයට ඇතුල් වූහ. ඉන්පසු දොර වසා දමන ලදි. අනික් කන්‍යාවෝද පසුව ඇවිත්, ‘මහත්මයාණෙනි, මහත්මයාණෙනි, දොර අරින්න!’ යයි කීවෝය. ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවක් මම ඔබට කියමි, මම ඔබව නොහඳුනමි’ යි කීවේය.”

      ක්‍රිස්තුස් ස්වර්ගික රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණි පසු, සැබෑ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත නුවණ ඇති කන්‍යා පංතිය අවදි වී, මෙම අන්ධකාර ලෝකය තුළ ආලෝකය විහිදුවාලීමේ වරප්‍රසාදය පිළිගන්නවා. එසේ සිදු කරන්නේ ආපසු පැමිණි මනාලයාට ප්‍රශංසා කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. එහෙත් මනාලයාව ප්‍රශංසා කරමින් ඔහුව පිළිගැනීමට නුවණ නැති කන්‍යාවන්ගෙන් නියෝජනය වන අය සූදානම් නැහැ. ඒ නිසා ස්වර්ගයෙහි සිදු වන මෙම විවාහ මංගල්‍යයට නියමිත කාලය පැමිණෙන විට, ක්‍රිස්තුස් ඔවුන්ට දොර විවෘත කරන්නේ නැහැ. ඔහු ඝනාන්ධකාරයෙන් වෙළී සිටින පිටත ලෝකයට ඔවුන්ව අත්හරිනවා. එවිට, නීති විරෝධී ක්‍රියා කරන අනෙක් සියලුදෙනා සමඟ ඔවුනුත් විනාශ වනු ඇති. “එබැවින් සෝදිසියෙන් සිටින්න. මන්ද, ඔබ දවසවත් පැයවත් දන්නේ නැත” කියා පවසමින් යේසුස් තම උපමාව අවසන් කරනවා.

      තලෙන්ත පිළිබඳ උපමාව

      යේසුස් ඔලීව කන්දේ සිට ඔහුගේ ප්‍රේරිතයන් සමඟ තවදුරටත් සිදු කරන මෙම සාකච්ඡාවේදී උපමා තුනෙන් දෙවෙනි එක කියා දෙනවා. දවස් කිහිපයකට කලින් ඔහු යෙරිකෝවේ සිටි විට, රාජ්‍යයේ පැමිණීම සඳහා තවත් බොහෝ කල් ඇති බව පෙන්වීමට ඔහු මීනා කාසි පිළිබඳ උපමාව කියා දුන්නා. ඔහු දැන් විස්තර කරන්න යන උපමාවේත් ඒ හා සමාන අංගයන් බොහොමයක් තිබෙනවා. එහෙත්, එහි ඉටුවීම සිදු වන්නේ රාජ්‍ය බලයෙන් යුක්තව ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී වන අතර එමගින් විස්තර කෙරෙන්නේ එම කාලය තුළදී සිදු කරන ක්‍රියාකාරකම් ගැනයි. එයින් නිරූපණය වන්නේ පොළොවේ සිටින අතරතුරේදී ක්‍රිස්තුස්ගේ ගෝලයන් ‘ඔහු සන්තක දේ’ වැඩි දියුණු කිරීම සඳහා වැඩ කළ යුතු බවයි.

      යේසුස් එම උපමාව මෙසේ අරඹනවා. “මන්දයත් එය [එනම්, රාජ්‍යයට සම්බන්ධ වී ඇති තත්වයන්], මිනිසෙකු පිටරට යන්න සූදානම්ව සිටියදී, තම දාසයන් කැඳවා තමා සන්තක දේ ඔවුන්ට භාර දුන්නාක් මෙනි.” ඒ මිනිසාගෙන් නියෝජනය කරන්නේ යේසුස්වයි. ඔහු පිටරටකට එනම්, ස්වර්ගයට යෑමට පෙර තම දාසයන්ට, එනම් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට අපේක්ෂාවෙන් සිටින ගෝලයන්ට තමා සන්තක දේ භාර දෙනවා. මේ සන්තක දේවල් භෞතික දේපළ නොවෙයි. ඒවායෙන් නියෝජනය වන්නේ තවත් ගෝලයන් සෑදීමේ ප්‍රස්තාව විවෘත කර දෙන ඔහු විසින් වගා කරන ලද කෙතක්.

      යේසුස් ස්වර්ගයට යෑමට ටික කලකට පෙර තමා සන්තක දේ තම දාසයන්ට භාර දෙනවා. ඔහු එසේ කරන්නේ කොහොමද? රාජ්‍ය පණිවුඩය පොළොවේ සීමාවන් දක්වා දේශනා කිරීම මගින් වගා කරන ලද කෙතේ දිගටම වැඩ කිරීමට ඔවුන්ට උපදෙස් දීමෙනුයි. යේසුස් පවසන පරිදි, ඔහු “එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දී පිටරට ගියේය.”

      ක්‍රිස්තුස් සන්තක දේ වන තලෙන්ත අට බෙදාහරින්නේ දාසයන්ගේ දක්ෂතාවන් හෝ ආත්මික හැකියාවන් අනුවයි. දාසයන්ගෙන් නියෝජනය කරන්නේ විවිධ පංතිවලට අයත් වන ගෝලයන්වයි. පළමුවන සියවස තුළදී, තලෙන්ත පහ ලැබූ පංතියට ප්‍රේරිතයනුත් ඇතුළත් වූ බව නිසැකයි. තලෙන්ත පහ සහ දෙක ලැබූ දාසයන් රාජ්‍යය පිළිබඳව දේශනා කිරීමෙන් හා ගෝලයන් සෑදීමෙන් ඒවා දෙගුණ කරන බව යේසුස් තවදුරටත් විස්තර කරනවා. එහෙත්, එක් තලෙන්තයක් ලැබූ දාසයා එය පොළොව යට සඟවා තැබුවා.

      යේසුස් දිගටම කියා දෙන්නේ මෙසේයි. “බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලුවේය.” ක්‍රිස්තුස් ගණන් හිලව් බැලීමට පැමිණියේ අවුරුදු 1,900කට පමණ පසුව විසිවන සියවසේදීයි. ඇත්තෙන්ම, එය සිදු වන්නේ ‘බොහෝ කලකට පසුවයි.’ ඊළඟට යේසුස් මෙසේ පැහැදිලි කරනවා.

      “තලෙන්ත පහ ලැබූ තැනැත්තා තවත් තලෙන්ත පහක්ද ගෙනැවිත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට භාර දුන්නේය. මෙන්න, මම තව තලෙන්ත පහක් උපදවාගතිමි’ යි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහු අමතා, ‘යහපත්, විශ්වාසවන්ත දාසය, ඉතා අගෙයි! ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළේය. බොහෝ දේවල් භාරව සිටීමට මම ඔබව පත් කරමි. ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න’ යයි කීවේය.” තලෙන්ත දෙකක් ලැබූ දාසයාද එලෙසම තම තලෙන්තවලින් දෙගුණයක් ඉපයෙව්වා. ඔහුටත් ලැබුණේ එම පැසසුමම හා විපාකයමයි.

      එහෙත්, මෙම විශ්වාසවන්ත දාසයන් තම ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වන්නේ කොහොමද? ඔවුන්ගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රීතිය වන්නේ ස්වර්ගයෙහි තම පියාණන් වෙතට ගොස් රාජ්‍යය උරුම කරගැනීමයි. නවීන දින සිටින විශ්වාසවන්ත දාසයන් ඉමහත් ප්‍රීතියක් අද්දකින්නේ ඔවුන්ට රාජ්‍යය සම්බන්ධයෙන් වැඩිපුර වගකීම් විශ්වාසයෙන් යුතුව භාර දෙන නිසයි. ඒ විතරක් නොව, ඔවුන් තම භූමික ජීවිතය අවසන් කර නැවත නැඟිටුවනු ලැබූ පසු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමෙන් මහත් සතුටක් භුක්ති විඳිනවා. නමුත් තුන්වන දාසයා ගැන කුමක් කිව හැකිද?

      “ස්වාමිනි, . . . ඔබ තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගතිමි” කියා මෙම දාසයා පැමිණිලි කරනවා. “‘එබැවින් මම භය වී, ගොස් ඔබේ තලෙන්තය පොළොවේ සඟවා තැබුවෙමි. මෙන්න, ඔබ සතු දේ’ යයි කීවේය.” දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩෙහි යෙදීම මගින් වගා කරන ලද කෙතෙහි වැඩ කිරීම මෙම දාසයා හිතාමතාම ප්‍රතික්ෂේප කළා. ඉතිං ස්වාමියා ඔහුව හඳුන්වන්නේ “දුෂ්ට කම්මැළි” දාසයෙක් හැටියටයි. ස්වාමියා ඔහු කෙරෙහි මෙම විනිශ්චය ප්‍රකාශ කරනවා. “එබැවින් ඔහුගෙන් තලෙන්තය ගෙන . . . කිසි කමකට නැති මේ දාසයාව පිටත අන්ධකාරයට වීසි කරන්න. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය.” පිටතට වීසි කරනු ලබන මෙම දුෂ්ට දාස පංතියට අයත් අය කිසිම ආකාරයකින්වත් ආත්මික ප්‍රීතියක් භුක්ති විඳින්නේ නැහැ.

      ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි කියා සිටින සියලුදෙනාටම මෙය වැදගත් පාඩමක්. පිටත අන්ධකාරයට වීසි කරනු ලැබීම හා අවසානයේදී විනාශ කරනු ලැබීම මඟහැරීමටත්, ක්‍රිස්තුස්ගෙන් විපාක ලබමින් ඔහුගේ පැසසුමට ලක්වීමටත් ඔවුන් අනිවාර්යයෙන්ම තමන්ගේ ස්වර්ගික ස්වාමියා සන්තක දේවල් වැඩි කිරීමට වැඩ කළ යුතුයි. එසේ කළ හැක්කේ දේශනා කිරීමේ වැඩයෙහි පූර්ණ ලෙස සහභාගි වීමෙනුයි. ඔබ මේ වැඩෙහි කඩිසර ලෙස යෙදී සිටිනවාද?

      රාජ්‍ය බලයෙන් යුක්තව ක්‍රිස්තුස් පැමිණෙන විට

      යේසුස් තවමත් සිටින්නේ ඔලීව කන්දේ තම ප්‍රේරිතයන් සමඟයි. ඔහු පැමිණ සිටින කාලයටත් සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටත් ලකුණක් දෙන මෙන් ප්‍රේරිතයන් කළ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වමින් ඔහු දුන් උපමා තුනෙන් අන්තිම එක ඔවුන්ට දැන් කියා දෙනවා. යේසුස් එය අරඹන්නේ මෙලෙසයි. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන කල, ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නේය.”

      මේ පැමිණීම සිදු වන්නේ සමාජ ක්‍රමයේ අවසානය ඉතා ආසන්න වන විටයි. එහෙත් ඔහු පැමිණෙන්නේ කුමන අරමුණක් උදෙසාද? යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “සියලු ජාතීන් ඔහු ඉදිරියෙහි රැස් කරනු ලැබේ. එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔහුද මිනිසුන්ව වෙන් කරන්නේය. ඔහු බැටළුවන්ව තමන්ගේ දකුණු පැත්තටද එළුවන්ව තමන්ගේ වම් පැත්තටද දමන්නේය.”

      අනුග්‍රහය ලැබූවන් ලෙස වෙන් කරනු ලබන අයට සිදු වන දේ විස්තර කරමින් යේසුස් මෙසේ පවසනවා. “එවිට රජ තම දකුණු පැත්තේ සිටින්නන්ට මෙසේ කියන්නේය, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. ලෝකය පිහිටුවීමේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.” මේ උපමාවේ සඳහන් වන බැටළුවන් ස්වර්ගයෙහි ක්‍රිස්තුස් සමඟ පාලනය කරන්නේ නැහැ. ඔවුන් රාජ්‍යය උරුම කරගන්නේ එහි භූමික යටත්වැසියන් වීමෙනුයි. “ලෝකයේ පිහිටුවීම” සිදු වුණේ මනුෂ්‍ය වර්ගයාව මුදාගැනීමට දෙවි සකස් කළ විධිවිධානයෙන් ප්‍රයෝජන ගත හැකි දරුවන්ව ආදම් සහ ඒව බිහි කළ පසුවයි.

      එහෙත් බැටළුවන් රජුගේ අනුග්‍රහය ලත් දකුණු පැත්තට වෙන් කරන්නේ මන්ද? රජු මෙසේ පිළිතුරු දෙයි. “මන්ද මට බඩගිනි විය, ඔබ මට කන්න යමක් දුන්නහුය. මට පිපාසා විය, ඔබ මට බොන්න යමක් දුන්නහුය. මම ආගන්තුකයෙකුව සිටියෙමි, ඔබ මාව සාදරයෙන් පිළිගත්තහුය. මම නිර්වස්ත්‍රව සිටියෙමි, ඔබ මාව පැළඳෙව්වහුය. මට අසනීප විය, ඔබ මාව බලාගත්තහුය. මම සිරගෙයි සිටියෙමි, ඔබ මාව බලන්න ආවහුය.”

      බැටළුවන් පොළොවේ සිටින බැවින් ස්වර්ගයේ සිටින තමන්ගේ රජු වෙනුවෙන් එවැනි ක්‍රියා කළේ කොහොමදැයි දැනගැනීමට ඔවුන්ට අවශ්‍යයි. “ස්වාමිනි, කොයි කලෙක ඔබ බඩගිනිව සිටිනවා දැක අපි ඔබට කන්න දුනිමුද? පිපාසයෙන් සිටිනවා දැක ඔබට බොන්න යමක් දුනිමුද? කොයි කලෙක ඔබ ආගන්තුකයෙකුව සිටිනවා දැක අපි ඔබව සාදරයෙන් පිළිගතිමුද? නැතහොත් නිර්වස්ත්‍රව සිටිනවා දැක ඔබව පැළඳුවෙමුද? කොයි කලෙක ඔබ අසනීපව හෝ සිරගෙයි හෝ සිටිනවා දැක අපි ඔබව බලන්න ආවෙමුද” කියා ඔවුන් අසනවා.

      එවිට රජු පිළිතුරු දෙන්නේ මෙසේයි. “සැබවින්ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට ඔබ එසේ කළා නම්, ඔබ එය කළේ මටය.” ක්‍රිස්තුස්ගේ සහෝදරයෝ වන්නේ ස්වර්ගයෙහි ඔහු සමඟ පාලනය කිරීමට යන 1,44,000දෙනාගෙන් පොළොව මත ඉතිරිව සිටින අයයි. ඔවුන්ට යහපත්කම් කිරීම හරියට තමාට යහපතක් කළා හා සමානයි කියා යේසුස් පෙන්නුම් කරනවා.

      ඊළඟට, රජු අමතන්නේ එළුවන්වයි. “ශාප ලද්දෙනි, මා වෙතින් ඉවත්ව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. මන්ද මට බඩගිනි විය, නමුත් ඔබ මට කන්න කිසිවක් දුන්නේ නැත. මට පිපාසා විය, නමුත් ඔබ මට බොන්න කිසිවක් දුන්නේ නැත. මම ආගන්තුකයෙකුව සිටියෙමි, නමුත් ඔබ මාව සාදරයෙන් පිළිගත්තේ නැත. නිර්වස්ත්‍රව සිටියෙමි, නමුත් ඔබ මාව පැළඳෙව්වේ නැත. අසනීපවද සිරගෙයිද සිටියෙමි, නමුත් ඔබ මාව බලාගත්තේ නැත.”

      එහෙත්, එළුවන් මැසිවිලි නඟන්නේ මෙසේයි. “ස්වාමිනි, කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසයෙන් හෝ ආගන්තුකයෙකුව හෝ නිර්වස්ත්‍රව හෝ අසනීපව හෝ සිරගෙයි හෝ සිටිනවා දැක අපි ඔබට උපස්ථාන නොකළෙමුද?” බැටළුවන්ට යහපත් විනිශ්චයක් ලබා දීමට යොදාගන්නා මිනුම් දණ්ඩමයි එළුවන්ට දරුණු විනිශ්චයක් ලබා දීමට යොදාගන්නේ. එනම් “සැබවින්ම මම ඔබට කියමි, මේ [මගේ සහෝදරයන් අතරින්] ඉතා සුළු තැනැත්තන්ගෙන් එක් කෙනෙකුට වුවද ඔබ එසේ නොකළා නම්, ඔබ එය නොකළේ මටය” කියා යේසුස් පිළිතුරු දෙනවා.

      මින් පැහැදිලි වන්නේ, මෙම දුෂ්ට සමාජ ක්‍රමය අවසන් වීමට මදකට කලින් මහත් පීඩාව සිදු වන අතරතුරේදී ක්‍රිස්තුස් රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණ සිටින විට විනිශ්චයක් සිදු කරනු ඇති බවයි. එළුවන් “සදහටම කපාහැරීමටද ධර්මිෂ්ඨයෝ [බැටළුවන්] සදාකාල ජීවනයටද පිටත්ව යන්නෝය.” මතෙව් 24:2–25:46; 13:40, 49; මාක් 13:3-37; ලූක් 21:7-36; 19:43, 44; 17:20-30; 2 තිමෝති 3:1-5; යොහන් 10:16; එළිදරව් 14:1-3; NW.

      ▪ ප්‍රේරිතයන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසන්නේ ඇයි? පෙනෙන ආකාරයට ඔවුන්ගේ මනසෙහි ඇත්තේ වෙනත් කුමන කාරණාද?

      ▪ ක්‍රිස්තු වර්ෂ 70දී ඉටු වන්නේ යේසුස්ගේ අනාවැකියේ කිනම් කොටසද? එවිට සිදු නොවන්නේ කුමක්ද?

      ▪ යේසුස්ගේ අනාවැකියේ පළමුවන ඉටුවීම සිදු වන්නේ කවදාද? එහි ප්‍රධාන ඉටුවීම සිදු වන්නේ කවදාද?

      ▪ එහි පළමුවන හා අන්තිම ඉටුවීම්වලදී පාළු කිරීම සිදු කරන පිළිකුලෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?

      ▪ යෙරුසලමේ විනාශය මහත් පීඩාවේ අන්තිම ඉටුවීම නොවන බව පැවසිය හැක්කේ මන්ද?

      ▪ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය සනිටුහන් කරන ලෝක සිදුවීම් මොනවාද?

      ▪ ‘පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තමන්ටම ගසාගන්නේ’ කවදාද? එවිට, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් කුමක් කරමින් සිටීවිද?

      ▪ අවසානය ආසන්න බව තම අනාගත ගෝලයන්ට තේරුම්ගැනීමට හැකි වන පිණිස යේසුස් කියා දෙන්නේ කිනම් උපමාවක්ද?

      ▪ අන්තිම දවස්වල ජීවත් වන්නාවූ තම ගෝලයන් සඳහා යේසුස් කිනම් උපදේශයක් සපයයිද?

      ▪ කන්‍යාවන් දසදෙනාගෙන් සංකේතවත් කරන්නේ කාවද?

      ▪ ක්‍රිස්තියානි සභාව මනාලයාට විවාහ කර දීමට පොරොන්දු කරන ලද්දේ කවදාද? තම මනාලිය විවාහ මංගල්‍යයට ගෙන යෑම සඳහා මනාලයා පැමිණෙන්නේ කවදාද?

      ▪ තෙල්වලින් නියෝජනය කරන්නේ කුමක්ද? එය ඇතුව සිටීමෙන් නුවණ ඇති කන්‍යාවන්ට කුමක් කිරීමට හැකි වේවිද?

      ▪ විවාහ මංගල්‍යය පවත්වන්නේ කොතැනදීද?

      ▪ නුවණ නැති කන්‍යාවන්ට අහිමි වන උදාර විපාකය කුමක්ද? ඔවුන්ගේ ඉරණම කුමක්ද?

      ▪ තලෙන්ත පිළිබඳ උපමාවෙන් උගන්වන පාඩම කුමක්ද?

      ▪ දාසයන් කවුරුන්ද? ඔවුන්ට විශ්වාසවන්තව භාර දෙන්නේ ස්වාමියා සන්තක කුමන දේවල්ද?

      ▪ ගණන් හිලව් බැලීමට ස්වාමියා පැමිණෙන්නේ කවදාද? ඔහුට පෙනී යන්නේ කුමක්ද?

      ▪ විශ්වාසවන්ත දාසයන් ඇතුල් වන්නේ කුමන ප්‍රීතියකටද? තුන්වන දාසයාට එනම්, දුෂ්ට දාසයාට සිදු වන්නේ කුමක්ද?

      ▪ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී ඔහු කරන්නේ කුමනාකාරයේ විනිශ්චයක්ද?

      ▪ බැටළුවන් රාජ්‍යය උරුම කරගන්නේ කිනම් අර්ථයකින්ද?

      ▪ ‘ලෝකයේ පිහිටුවීම’ සිදු වුණේ කවදාද?

      ▪ බැටළුවන් හෝ එළුවන් වශයෙන් මනුෂ්‍යයන් විනිශ්චය කරනු ලබන්නේ කිනම් පදනමක් මතද?

  • යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 112වෙනි පරිච්ඡේදය

      යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟය

      නීසාන් 11වන අඟහරුවාදා නිම වේගන එද්දී ඔලීව කන්ද මත ප්‍රේරිතයන්ට උගන්වමින් සිටි යේසුස් තම ඉගැන්වීම අවසන් කරනවා. එය මොන තරම් කාර්ය බහුල, වෙහෙසකර දවසක් වෙන්න ඇද්ද! ඉන්පසු, සමහරවිට රාත්‍රිය ගත කරන පිණිස බෙතානියට ආපසු හැරී යන ගමන් ඔහු ගෝලයන්ට මෙසේ පවසනවා. “තව දවස් දෙකකින් පාස්කුව පැමිණෙන බව ඔබ දන්නහුය. මනුෂ්‍ය පුත්‍රයාව කණුවක ඇණ ගසන පිණිස භාර දෙනු ලබන්නේය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න