-
“මේ සියල්ල සිදුවන්ට ඕනෑය”1999 මුරටැඹ | මැයි 1
-
-
“මේ සියල්ල සිදුවන්ට ඕනෑය”
“[යේසු] ඔවුන්ට උත්තර දෙමින්: . . . මේ සියල්ල සිදුවන්ට ඕනෑය. නමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.”—මතෙව් 24:4-6.
1. අපගේ උනන්දුව අවදි කළ යුත්තේ කුමන විෂයද?
ඔබේ ජීවිතය ගැනත් ඔබේ අනාගතය ගැනත් ඔබ උනන්දු වෙනවාට කිසිම සැකයක් නැහැ. එසේ නම් 1877දී සී. ටී. රසල්ගේ අවධානයට හසු වූ විෂයක් සම්බන්ධයෙන් ඔබත් උනන්දු විය යුතුයි. පසු කාලයකදී වොච් ටවර් සමිතිය පිහිටෙවූ රසල්, අපේ ස්වාමීන්ගේ නැවත පැමිණීමේ අරමුණ සහ ආකාරය (ඉංග්‍රීසියෙන්) නමැති පොත් පිංචය රචනා කළා. පිටු 64කින් සමන්විත මෙම පොත් පිංචය යේසුගේ නැවත පැමිණීම, නැතහොත් අනාගතික ඊම ගැන සාකච්ඡා කළා. (යොහන් 14:3) එක් අවස්ථාවක, ඔලීව කන්දේදී එම නැවත පැමිණීම ගැන ප්‍රේරිතයන් මෙසේ විමසුවා: “මෙම දේවල් සිදු වනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත් [හෝ “ඊමටත්,” කිං ජේම්ස් වර්ෂන්] දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?”—මතෙව් 24:3, NW.
2. යේසු පුරෝකථනය කළ දේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී මතයන් බොහොමයක් තිබෙන්නේ මන්ද?
2 යේසු දුන් පිළිතුර ඔබ දන්නවාද? එමෙන්ම ඔබට එය වැටහෙනවාද? එය සුවිශේෂ තුනක සඳහන් වී තිබෙනවා. මහාචාර්ය ඩී. ඒ. කාසන් මෙසේ ප්‍රකාශ කරනවා: “මතෙව් 24හි සහ එහි සමාන්තරයන් වන මාර්ක් 13 හා ලූක් 21 තරම් අර්ථ කථනය කරන්නන් අතර මත භේදවලට තුඩු දුන් තවත් බයිබල් පරිච්ඡේද ඇත්නම් ඒ ස්වල්පයක් පමණි.” ඉන්පසු ඔහුගේම අදහස ඔහු ඉදිරිපත් කරනවා. එය පරස්පර විරෝධී මනුෂ්‍ය මතයන්ගෙන් තවත් එකක් පමණයි. පසුගිය සියවසේ හෝ ඊට ආසන්න කාලයේ එවැනි මතයන් බොහොමයකින් ඇදහිල්ලේ ඌනතාවක් පිළිබිඹු කළා. එවැනි දේවල් ඉදිරිපත් කළ අය විසින්, අප සුවිශේෂවල කියවන දේවල් යේසු කිසිවිටක නොපැවසූ බව හෝ යේසු පැවසූ දේවල් පසු කාලයකදී විකෘති කළා හෝ එසේත් නැතිනම් ඔහුගේ පුරෝකථනයන් වැරදුණු බව කියා සිටියා. මෙම මතයන් පිටුපස බයිබල් විවේචකයන් සිටියා. එක් විචාරකයෙක් මාර්ක්ගේ සුවිශේෂය දෙස ‘මහායාන බෞද්ධ දර්ශනයේ දෘෂ්ටියෙන් පවා බැලුවා’!
3. යේසුගේ අනාවැකියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවතීර්ණ වන්නේ කෙසේද?
3 ඊට වෙනස්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන්, යේසු තම මරණයට දින තුනකට ප්‍රථමයෙන් ඔලීව කන්දේදී තමා සමඟ සිටි ප්‍රේරිතයන් සිව්දෙනාට පැවසූ දේත් ඇතුළුව, බයිබලයේ තිබෙන සත්‍යතාව සහ විශ්වාසවන්තභාවය පිළිගන්නවා. යේසු එහිදී දුන් අනාගතවාක්‍යය සම්බන්ධයෙන් වඩා පැහැදිලි තේරුම්ගැනීමක් සී. ටී. රසල්ගේ කාලයේ සිට, දෙවිගේ සෙනඟ ප්‍රගතිශීලීව අත් කරගෙන තිබෙනවා. පසුගිය අවුරුදු කීපය තුළදී මුරටැඹ මගින් මේ අනාවැකිය සම්බන්ධයෙන් ඔවුන්ගේ දෘෂ්ටිය තවදුරටත් පැහැදිලි කොට තිබෙනවා. ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම දැකීම නිසා එම තොරතුරු ඔබට හොඳින් කාවැදී තිබෙනවාද?a අපි එය නැවත සලකා බලමු.
නුදුරු අනාගතයේ භයානක ඉටුවීමක්
4. ප්‍රේරිතයන් අනාගතය සම්බන්ධයෙන් යේසුගෙන් ඇසුවේ කුමක් නිසා විය හැකිද?
4 යේසු, මෙසියස් බව ප්‍රේරිතයන් දැන සිටියා. එමනිසා, ඔහු තමාගේ මරණය, නැවත නැඟිටීම සහ නැවත පැමිණීම ගැන සඳහන් කරනවා ඇසූ විට, ඔවුන් නිසැකවම පුදුමයට පත්ව මෙසේ සිතන්න ඇති: ‘යේසු මරණයට පත් වී අපෙන් සමුගන්නවා නම් මෙසියස් විසින් සිදු කරනු ලැබීමට බලාපොරොත්තු වන පුදුමාකාර දේවල් ඔහු ඉටු කරන්නේ කොහොමද?’ යේසු තවදුරටත් යෙරුසලමේ සහ එහි දේවමාළිගයේ අවසානයක් ගැන කතා කළා. ප්‍රේරිතයන් පුදුමයට පත් වී ‘එය සිදු වන්නේ කවදාද සහ කොහොමද’ කියා සිතන්න ඇති. මේ දේවල් තේරුම්ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රේරිතයන් මෙසේ ඇසුවා: “ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද”?—මාර්ක් 13:4; මතෙව් 16:21, 27, 28; 23:37–24:2.
5. යේසුස් පැවසූ දේ පළවන ශතවර්ෂයේදී ඉටු වූයේ කෙසේද?
5 යුද්ධ, සාගත, වසංගත, භූමිකම්පා, ක්‍රිස්තියානීන්ට වෛර කරනු ලැබීම සහ පීඩා කිරීම, බොරු මෙසියස්වරුන් සහ පුළුල්ව පැතිර පවතින රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමක් සිදු වන බව යේසු පුරෝකථනය කළා. එවිට අවසානය පැමිණීමට නියමිතව තිබුණා. (මතෙව් 24:4-14; මාර්ක් 13:5-13; ලූක් 21:8-19) යේසු මෙය පැවසුවේ පො.යු. 33වන අවුරුද්දේ මුලදීයි. ඇත්තවශයෙන්ම ඊළඟ දශක තුළදී පුරෝකථනය කළ දේවල් පුදුමාකාර ලෙසින් සිදු වෙමින් තිබුණු බව සාවධානව සිටි ඔහුගේ ගෝලයන්ට වටහාගැනීමට හැකි වුණා. ඔව්, පො.යු. 66-70 අතර කාලයේදී රෝමවරුන් අතින් යුදෙව් දේවල පිළිවෙළ නිමාවට පත් කරමින් ලකුණේ ඉටුවීමක් එම කාලයේ තිබුණු බව ඉතිහාසය ඔප්පු කරනවා. එය සිදු වුණේ කොහොමද?
6. පොදු යුගයේ 66දී රෝමවරුන් සහ යුදෙව්වන් අතරේ වර්ධනය වූයේ කුමක්ද?
6 පොදු යුගයේ 66 යුදෙව්වන්ගේ උණුසුම් ග්‍රීෂ්ම කාලය තුළදී යුදෙව් අතිඋද්‍යෝගවාදීන් ප්‍රදේශයේ වෙනත් ස්ථානවලත් සැහැසියාව වර්ධනය වීමට හේතු කරවමින් යෙරුසලම් දේවමාළිගය අසල පිහිටි බලකොටුවක සිටි රෝම හේවායන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කළා. මහාචාර්ය හයින්රිහ් ග්‍රෙට්ස් යුදෙව් ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ විස්තර කරනවා: “සිරියාවේ ආණ්ඩුකාරයා වශයෙන් රෝම හමුදාමය ගෞරවය සුරැකීම තම යුතුකම ලෙස සැලකූ සෙස්ටියස් ගැලස්ට . . . කැරැල්ල හාත්පස පැතිරෙන ආකාරය කිසිදු ප්‍රයත්නයක් නොගෙන තවදුරටත් බලාසිටීමට නොහැකි වුණා. ඔහු තම සේනාංක එකතු කරගත් අතර, අවට සිටි අධිපතීන් ස්වේච්ඡාවෙන්ම ඔවුන්ගේ හමුදාවන් එව්වා.” 30,000කින් සමන්විත මෙම හමුදාව යෙරුසලම වැටලුවා. යම් තාක් දුරකට සටන් කිරීමෙන් පසුව යුදෙව්වන් දේවමාළිගය අසල පිහිටි තාප්ප පිටුපස සැඟවුණා. “දවස් පහක්ම එක දිගටම රෝමවරුන් තාප්පවලට පහර දුන්නත්, යුදෙව්වන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ ඔවුන්ට අනිවාර්යයෙන්ම පසුබැසීමට සිදු වුණා. දේවමාළිගය ඉදිරියේ පිහිටි උතුරු තාප්පයෙන් කොටසක් බිඳ හෙළීමට ඔවුන්ට හැකි වුණේ හයවන දිනයේදීයි.”
7. යුදෙව්වන් වැඩිදෙනෙකුට වඩා යේසුගේ ගෝලයන්ට දේවල් දෙස වෙනස් ආකාරයකින් බැලීමට හැකි වූයේ මන්ද?
7 දෙවි තමන්වත් තම ශුද්ධ නගරයත් ආරක්ෂා කරයි කියා යුදෙව්වන් බොහෝ කලක් පුරා සිතාගෙන සිටි නිසා ඔවුන් මොනතරම් ව්‍යාකූලත්වයට පත් වෙන්න ඇද්ද කියා නිකම් සිතා බලන්න! එසේවුවත් යෙරුසලමට විපත්ති පැමිණීමට නියමිතව තිබෙන බවට යේසුගේ ගෝලයන්ට කලින් අනතුරු අඟවා තිබුණා. යේසු මෙසේ පුරෝකථනය කර තිබුණා: “නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන, නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේය.” (ලූක් 19:43, 44) නමුත් පොදු යුගයේ 66දී, යෙරුසලම ඇතුළත සිටි ක්‍රිස්තියානීන්ට මරණය ඉන් අදහස් වුණාද?
8. යේසු පුරෝකථනය කළේ කුමන භයානක දෙයක් ගැනද? එමෙන්ම කාලය ලුහුඬු කරනු ලැබූ “තෝරාගනු ලැබූවන්” වූයේ කවුරුන්ද?
8 ඔලීව කන්දේදී ප්‍රේරිතයන්ට පිළිතුරු දෙන විට, යේසු මෙලෙස පුරෝකථනය කළා: ‘මක්නිසාද දෙවි මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. ස්වාමීන් ඒ දවස් ලුහුඬු නොකළේ නම් [කිසි මාංසයක්, NW] ගැළවෙන්නේ නැත. නුමුත් ඔහු තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬු කළේය.’ (මාර්ක් 13:19, 20; මතෙව් 24:21, 22) එමනිසා දවස් ලුහුඬු කරනු ලැබූ අතර, “තෝරාගත්තවුන්” ගැළවුණා. ඔවුන් කවුරුන්ද? නිසැකවම යෙහෝවාට නමස්කාර කරන බව කියා සිටියත් ඔහුගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කර තිබූ කැරලිකාර යුදෙව්වන් නොවේ. (යොහන් 19:1-7; ක්‍රියා 2:22, 23, 36) එවකට සිටි සැබවින්ම තෝරාගනු ලැබූවන් වූයේ මෙසියස් සහ ගැළවුම්කරු ලෙස යේසු කෙරෙහි ඇදහිල්ල තැබූ යුදෙව් සහ යුදෙව් නොවන අයයි. දෙවි එවැනි අයව තෝරාගෙන තිබුණු අතර පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ඔවුන්ව නව ආත්මික ජාතියකට එනම් ‘දෙවිගේ ඉශ්‍රායෙල්ට’ ඇතුළත් කළා.—ගලාති 6:16; ලූක් 18:7; ක්‍රියා 10:34-45; 1 පේතෘස් 2:9.
9, 10. රෝමවරුන්ගේ ප්‍රහාරයේදී දවස් ‘ලුහුඬු කරනු ලැබුවේ’ කෙසේද? එමෙන්ම කුමන ප්‍රතිඵල ඇතුවද?
9 දවස් ‘ලුහුඬු කරනු ලැබුවාද?’ එමෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන් යෙරුසලමේ සිටි තෝරාගනු ලැබූ ආලේප ලත් අය ගැළවුණාද? මහාචාර්ය ග්‍රෙට්ස් මෙසේ අදහස් දක්වනවා: “සරත් ඍතුව ඉක්මනින්ම පැමිණීමට තිබූ නිසා එම කාලයේදී වීරවත් අතිඋද්‍යෝගවාදීන්ට එරෙහිව සටන දිගටම කරගෙන යෑමත්, දීර්ඝ යුද සංග්‍රාමයක නිරත වීමත් නුවණට හුරු දෙයක් ලෙස [සෙස්ටියස් ගැලස්] සිතුවේ නැහැ. . . . හමුදාවට අවශ්‍ය ආහාර පාන ආදී අවශ්‍යතා නොලැබී යෑමට ඉඩ තිබුණා. ඒ අනුව බලද්දී, පසුබැසීම වඩා නුවණට හුරු බව ඔහු සිතුවා.” සෙස්ටියස් ගැලස් කුමක් සිතමින් සිටියා වූවත්, පසුපස එළවාගෙන ආ යුදෙව්වන් විසින් සිදු කළ සෑහෙන පාඩු විඳිමින් රෝම හමුදාව නුවරින් පසුබැස්සා.
10 පුදුමසහගත ලෙස සිදු වූ එම රෝමවරුන්ගේ පසුබැසීම තුළින් යෙරුසලම ඇතුළේ අනතුරේ සිටි ‘මාංසවලට’ එනම් යේසුගේ ගෝලයන්ට ගැළවීම සඳහා ප්‍රස්තාව සැලසුණා. මෙම ප්‍රස්තාවේ කවුළුව විවෘත වූ විට ක්‍රිස්තියානීන් ප්‍රදේශයෙන් පලා ගිය බව ඉතිහාසය වාර්තා කරනවා. අනාගතය කලින් දැනගැනීමට සහ තමාට නමස්කාර කරන්නන්ගේ ගැළවීම සහතික කිරීමට ඇති දෙවිගේ හැකියාව මොනතරම් විශිෂ්ට ලෙස විදහාපෙන්වීමක්ද! නමුත් යෙරුසලමේ සහ යුදයේ රැඳී සිටි නොඇදහිලිකාර යුදෙව්වන්ට සිදු වූයේ කුමක්ද?
සමකාලීනයන් එය අද්දකී
11. “මේ පරම්පරාව” ගැන යේසු පැවසුවේ කුමක්ද?
11 දේවමාළිගය මත කේන්ද්‍රගතව තිබූ යුදෙව්වන්ගේ නමස්කාර ක්‍රමය සදහටම පවතී කියා ඔවුන් බොහොමයකට හැඟුණා. නමුත් යේසු මෙසේ පැවසුවා: “අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. එසේම නුඹලා මේ සියල්ල දකින කල, [ඔහු] දොරටු සමීපයෙහිම බවත් දැනගන්න. සැබවක් නුඹලාට කියමි—මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.”—මතෙව් 24:32-35, ඇල අකුරු අපේය.
12, 13. “මේ පරම්පරාව” සම්බන්ධයෙන් කළ යේසුගේ යොමු දැක්වීම ගෝලයන් තේරුම්ගන්න ඇත්තේ කෙසේද?
12 පොදු යුගයේ 66ට මඟ පෑදූ අවුරුදුවලදී ක්‍රිස්තියානීන් සංයුක්ත ලකුණේ මූලික අංගයන් බොහොමයක් ඉටු වෙමින් තිබෙනවා දැක තිබුණා. එනම් යුද්ධ, සාගත, ඒ වගේම රාජ්‍යයේ ශුභාරංචිය පුළුල්ව දේශනා කිරීමක් පවා දැක තිබුණා. (ක්‍රියා 11:28; කොලොස්සි 1:23) ඒත් අවසානය පැමිණියේ කවදාද? “මේ පරම්පරාව [ග්‍රීක් භාෂාවෙන් ජෙ·නෙ·ආʹ] පහව නොයන්නේය” කියා යේසු පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද? ආගමික නායකයන් ඇතුළුව විරුද්ධ වූ යුදෙව්වන්ගෙන් සමන්විත සමකාලීනයන් සියල්ලන්වම යේසු නිතරම “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක්” කියා හඳුන්වා තිබුණා. (මතෙව් 11:16; 12:39, 45; 16:4; 17:17; 23:36) එහෙයින් ඔහු ඔලීව කන්දේදී නැවතත් “මේ පරම්පරාව” සම්බන්ධයෙන් කතා කළ විට, පැහැදිලිවම ඔහු ඉතිහාසය පුරා සිටි මුළු යුදෙව් ජාතියවම හෝ ‘තෝරාගත් වංශයක්ව’ සිටියත් තම අනුගාමිකයන්ව හෝ අදහස් කළේ නැහැ. (1 පේතෘස් 2:9) එමෙන්ම යේසු “මේ පරම්පරාව” කාලපරිච්ඡේදයක් ලෙස හඳුන්වමින් සිටියෙත් නැහැ.
13 ඒ වෙනුවට, තමා දුන් ලකුණේ ඉටුවීම අද්දකින්න යන එවකට සිටි විරුද්ධ වූ යුදෙව්වන්ව යේසුගේ මනසේ තිබුණා. ලූක් 21:32හි සඳහන් ‘මේ පරම්පරාවට’ යොමු දැක්වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජොඑල් බී. ග්‍රීන් මෙසේ සඳහන් කරනවා: “තුන්වන සුවිශේෂයේ, ‘මේ පරම්පරාව’ (සහ ඊට සම්බන්ධ වූ යෙදුම්) ලෙස සාමාන්‍යයෙන් අදහස් කර තිබෙන්නේ දෙවිගේ අරමුණට විරුද්ධ වන මනුෂ්‍ය කණ්ඩායමක්වයි. . . දිව්‍ය අරමුණට මුරණ්ඩු ලෙස පිටුපාන මිනිසුන්ට [එය යොමු දක්වනවා].”b
14. එම “පරම්පරාව” අද්දැක්කේ කුමක්ද? නමුත් එහිදී ක්‍රිස්තියානීන් සඳහා වෙනස් ඉරණමක් තිබුණේ කෙසේද?
14 ලකුණේ ඉටුවීම දකින්න හැකි වූ යුදෙව් විරුද්ධවාදීන්ගෙන් යුත් නපුරු පරම්පරාව යුදෙව් දේවල පිළිවෙළේ අවසානය අද්දකින්න නියමිතව තිබුණා. (මතෙව් 24:6, 13, 14) ඒ වගේම ඔවුන් එය අද්දැක්කා! වෙස්පේසියන් අධිරාජ්‍යයාගේ පුත් ටයිටස්ගේ නායකත්වය යටතේ පො.යු. 70දී රෝම හමුදාව නැවත පැමිණියා. නැවතත් නගරය තුළ කොටු වූ යුදෙව්වන්ගේ දුක් විඳීම විශ්වාස කරන්න බැරි තරම්.c සියල්ල සියැසින්ම දුටු ෆ්ලේවියස් ජොසීෆස්ගේ වාර්තාවන්ට අනුව, රෝමවරුන් නගරය සුනු විසුනු කළ විට, 11,00,000ක් පමණ යුදෙව්වන් මිය ගොස් තිබුණු අතර 1,00,000ක් පමණ වහල්භාවයට ගෙන යනු ලැබුවා. මේ අයගෙන් බොහෝදෙනෙක් වැඩි කල් යන්න මත්තෙන් කුසගින්නෙන් හෝ රෝම රංග භූමිවලදී භයානක ලෙස මරුමුවට පත් වුණා. ඇත්තෙන්ම, පො.යු. 66-70 අතර කාලයේදී ඇති වූ පීඩාව, යෙරුසලම සහ යුදෙව් පිළිවෙළ කවදා හෝ අද්දැක තිබූ හෝ අද්දකින්න යන පීඩාවලට වඩා මහත්ම පීඩාවයි. යේසුගේ අනාවැකිමය අනතුරු ඇඟවීමට ඇහුම්කන් දී පො.යු. 66දී රෝම හමුදාව ඉවත්ව ගියාට පසු යෙරුසලම අතහැර ගිය ක්‍රිස්තියානීන්ට අත් වූ ප්‍රතිඵලය මොනතරම් වෙනස්ද! පොදු යුගයේ 70දී ආලේප ලත් ක්‍රිස්තියානීන් වන “තෝරාගනු ලැබූවන්” ‘ගැළවුණා,’ නැතිනම් ඔවුන්ව ආරක්ෂිතව තබනු ලැබුවා.—මතෙව් 24:16, 22.
සිදුවීමට තිබෙන තවත් ඉටුවීමක්
15. යේසුගේ අනාවැකියට, පො.යු. 70න් පසුව වඩා මහත් ඉටුවීමක් තිබෙන්න යන බව අපට සහතික විය හැක්කේ කෙසේද?
15 කොහොමවුණත් එය අවසානය නොවෙයි. නගරය විනාශ කිරීමෙන් පසුව තමා යෙහෝවාගේ නාමයෙන් පැමිණෙන බව යේසු කලින් අඟවා තිබුණා. (මතෙව් 23:38, 39; 24:2) ඔලීව කන්දේදී ඊළඟට පැවසූ ඔහුගේ අනාවැකියෙන් ඔහු මෙය පැහැදිලි කරනවා. පැමිණෙන “මහත් පීඩාව” ගැන සඳහන් කිරීමෙන් පසුව, බොරු ක්‍රිස්තුවරු පැමිණෙන බව සහ යෙරුසලම අන්‍යජාතීන් විසින් දීර්ඝ කාලපරිච්ඡේදයකට මඩිනු ලබන බව ඔහු පැවසුවා. (මතෙව් 24:21, 23-28; ලූක් 21:24) එය පැමිණීමට තිබුණු තවත් ඒ වගේම ඊටත් වඩා මහත්, ඉටුවීමක් වූවා විය හැකිද? එය එසේ වන බව කරුණුවලින් පෙනී යනවා. මතෙව් 24:6-8 සහ ලූක් 21:10, 11, (පො.යු. 70දී යෙරුසලම මත විනාශය පැමිණීමෙන් පසුව ලියනු ලැබූ) එළිදරව් 6:2-8 සමඟ සසඳන විට, යුද්ධ, ආහාර හිඟකම් සහ වසංගත වඩා මහත් පරිමාණයකින් ඉදිරියේදී ඇතිවීමට තිබෙන බව අප දකිනවා. යේසුගේ වචනවල මෙම මහත් ඉටුවීම, 1914දී, Iවන ලෝක මහා යුද්ධය ඇති වූ අවස්ථාවේ සිට සිදු වෙමින් තිබෙනවා.
16-18. ඉදිරියේදී සිදු වෙයි අපට අපේක්ෂා කළ හැක්කේ කුමන දේවල්ද?
16 ලකුණේ වත්මන් දින ඉටුවීම තුළින් ඉදිරියේදී “මහත් පීඩාවක්” පැමිණීමට තිබෙන බව ඔප්පු කරනවායයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශක ගණනාවක් පුරා උගන්වා තිබෙනවා. වර්තමාන නපුරු “පරම්පරාව” එම පීඩාව අද්දකින්න යනවා. පොදු යුගයේ 66දී සිදු වූ ගැලස්ගේ ප්‍රහාරයෙන් යෙරුසලම මත පීඩාව ඇරඹුණාක් මෙන් නැවතත් ආරම්භක අදියරක් (සියලුම බොරු ආගම් මතට ප්‍රහාරයක්) තිබෙන්න යන බව පෙනී යනවා.d ඉන්පසු අවිනිශ්චිත අතරමැදි කාලයකින් පසුව අවසානය පැමිණෙන්න යනවා. එනම් පොදු යුගයේ 70ට සමාන්තර විනාශයක්. එමෙන්ම මෙය ලෝක ව්‍යාප්ත මට්ටමකින් සිදු වන්න යනවා.
17 අප ඉදිරියේ තිබෙන පීඩාවට යොමු දක්වමින් යේසු මෙසේ පැවසුවා: “ඒ දවස්වල පීඩා [බොරු ආගමේ විනාශය] පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.”—මතෙව් 24:29, 30.
18 “ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම” යම් ආකාරයක අහසේ ආශ්චර්යවත් සිදුවීම් හටගන්නා බව යේසු පවසනවා. (සසඳන්න යෝවෙල් 2:28-32; 3:15.) මෙය අකීකරු මනුෂ්‍යයන්ව කොතරම් බියට සහ තැතිගැන්මකට ලක් කරන්න යනවාද කියනවා නම්, ‘ඔවුන් වැලපෙන්න’ යනවා. බොහෝදෙනෙක් ‘භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් ක්ලාන්ත වන්න යනවා.’ නමුත් සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් තත්වය මෙය වන්ට යන්නේ නැහැ. මොවුන් ‘තමන්ගේ මිදීම ළං වන බැවින් ඉහළ බලා, හිස් ඔසවන්න යනවා.’—ලූක් 21:25, 26, 28.
විනිශ්චය ඉදිරියේ!
19. එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාව ඉටු වන්නේ කවදාද කියා අපට තහවුරු කරගත හැක්කේ කෙසේද?
19 මතෙව් 24:29-31හි පුරෝකථනය කරන දේ සැලකිල්ලට ගන්න. එනම් (1) මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන බව, (2) මෙම පැමිණීම මහත් තේජසකින් යුක්ත වන බව, (3) දේවදූතයන් ඔහු සමඟ සිටින්න යන බව සහ (4) පොළොවේ සියලු ගෝත්‍ර ඔහුව දකින්න යන බව. මෙම අංගයන් එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාවේදී යේසු නැවතත් සඳහන් කරනවා. (මතෙව් 25:31-46) එමනිසා මෙම උපමාව, පීඩාවේ ආරම්භක අදියරෙන් පසුව, යේසු තම දේවදූතයන් සමඟ පැමිණ විනිශ්චය කිරීම සඳහා ඔහුගේ සිංහාසනයේ හිඳගන්නා විට ඇති වන අවස්ථාව ගැන සාකච්ඡා කරන බව අපට නිගමනය කළ හැකියි. (යොහන් 5:22; ක්‍රියා 17:31; සසඳන්න 1 රාජාවලිය 7:7; දානියෙල් 7:10, 13, 14, 22, 26; මතෙව් 19:28.) විනිශ්චය කරනු ලබන්නේ කාවද? එමෙන්ම කුමන ප්‍රතිඵල ඇතුවද? ජාතීන් ඔහුගේ ස්වර්ගික සිංහාසනය ඉදිරියේ රැස්ව සිටින්නාක් මෙන් යේසු සියලුම ජාතීන් වෙත අවධානය යොමු කරන්න යන බව උපමාව පෙන්වනවා.
20, 21. (අ) යේසුගේ උපමාවේ බැටළුවන්ට සිදු වන්න යන්නේ කුමක්ද? (ආ) එළුවන් අනාගතයේදී කුමක් අද්දකින්න යනවාද?
20 බැටළු ගුණැති මිනිසුන්ව සහ ස්ත්‍රීන්ව යේසුගේ අනුමැතිය ලත් දකුණු අත පැත්තට වෙන් කරන්න යනවා. ඒ ඇයි? මන්දයත්, ඔවුන් ක්‍රිස්තුස්ගේ ස්වර්ගික රාජ්‍යයේ හවුල්කරුවන් වීමට යන ආලේප ලත් ක්‍රිස්තියානීන්ට එනම් යේසුගේ සහෝදරයන්ට යහපත කිරීම සඳහා තම ප්‍රස්තාවන් උපයෝගි කරගත් නිසායි. (දානියෙල් 7:27; හෙබ්‍රෙව් 2:9–3:1) උපමාවට අනුව, බැටළු ගුණැති ක්‍රිස්තියානීන් මිලියන ගණනක් යේසුගේ ආත්මික සහෝදරයන්ව හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට සහය දීමක් වශයෙන් වැඩ කරමින් සිට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ‘මහත් සමූහයට’ මහත් පීඩාවෙන් ගැළවීමේ සහ ඉන්පසු දෙවිගේ රාජ්‍යයේ භූමික විෂයෙහි එනම් සදාකාලයටම පාරාදීසයේ ජීවත් වීමේ බයිබලය මත පදනම් වූ බලාපොරොත්තු තිබෙනවා.—එළිදරව් 7:9, 14; 21:3, 4; යොහන් 10:16.
21 එහිදී එළුවන්ට සිදු වෙන්න යන්නේ මොනතරම් වෙනස් ප්‍රතිඵලයක්ද! ඔවුන්ව, යේසු පැමිණෙන විට ‘වැලපෙන්නන්’ ලෙස මතෙව් 24:30හි විස්තර කරනවා. රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කිරීම, යේසුගේ ගෝලයන්ට විරුද්ධ වීම සහ පහව යන ලෝකයට ඇලුම් වීම ආදිය සම්බන්ධයෙන් ඔවුන් නාමයක් ගොඩනඟා ගන්නා නිසා ඔවුන්ට එසේ වන්නේ හොඳ හේතු ඇතුවයි. (මතෙව් 10:16-18; 1 යොහන් 2:15-17) එළුවන් කවුරුන්ද යන්න තීරණය කරන්නේ යේසු මිස පොළොවේ සිටින ඔහුගේ කිසිම ගෝලයෙක් නොවෙයි. එළුවන් ගැන යේසු මෙසේ පවසනවා: ‘මොව්හු සදාකාල දඬුවම ලබන්නෝය.’—මතෙව් 25:46.
22. අපගේ වැඩිමනත් අවධානය ලබන්න වටින්නේ යේසුගේ අනාවැකියේ කුමන කොටසද?
22 මතෙව් 24 සහ 25වන පරිච්ඡේදවල සඳහන් අනාවැකිය තේරුම්ගැනීම සම්බන්ධයෙන් අපේ ප්‍රගතිය විශිෂ්ටයි. කොහොමවුණත් අපේ වැඩිමනත් අවධානය ලබන්ට වටින කොටසක් යේසුගේ අනාවැකියේ තිබෙනවා. එනම් ‘පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබීම.’ මේ සම්බන්ධයෙන් සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා සූදානම්ව සිටීම සම්බන්ධයෙන් විචාර බුද්ධිය පාවිච්චි කරන මෙන් යේසු තම අනුගාමිකයන්ට උනන්දු කළා. (මතෙව් 24:15, 16) මෙම “පාළුකරන පිළිකුල” කුමක්ද? එය ශුද්ධස්ථානයේ තිබෙන්න යන්නේ කවදාද? ඒ වගේම අපේ වර්තමාන සහ අනාගත ජීවිතයේ අපේක්ෂාවන් මෙයට සම්බන්ධ වන්නේ කෙසේද? ඊළඟ ලිපියෙන් මෙය සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන්වල]
a 1994 පෙබරවාරි 15; 1995 ඔක්තෝබර් 15 හා නොවැම්බර් 1 මෙන්ම 1996 අගෝස්තු 15 මුරටැඹ කලාපවල පාඩම් ලිපි බලන්න.
b බ්‍රිතාන්‍ය ජාතික විශාරද ජී. ආර්. බීස්ලි ම’රේ මෙසේ නිරීක්ෂණය කරනවා: “ ‘මේ පරම්පරාව’ යන යෙදුම අර්ථ කථනය කරන්නන්හට කිසිදු අපහසුතාවක් ඇති කළ යුතු නැහැ. මුල් ග්‍රීක් භාෂාවට අනුව ජෙනෙආ යන්නෙන් උපත, පැවැත්ම සහ එහෙයින් ජාතිය අදහස් කළ බව පිළිගන්නා අතරේදී . . . [ග්‍රීක් සෙප්ටූඅජින්ට්හි] එය බොහෝවිට පරිවර්තනය කර තිබෙන්නේ වයස් සීමාව, මිනිස් යුගය හෝ සමකාලීනයන් යන අදහසින් පරම්පරාව යන අර්ථය ඇති ඩෝර් යන හෙබ්‍රෙව් යෙදුමයි. . . . යේසුට යොමු දැක්වීමේදී මෙම යෙදුමට දෙවැදෑරුම් අර්ථයක් තිබෙන බව පෙනෙනවා: එක් අතකින් එමගින් නිතරම යේසුගේ සමකාලීනයන්ව අදහස් කළ අතර, අනිත් අතට එමගින් සම්පූර්ණයෙන්ම විවේචනාත්මක අදහසක් ඇඟෙව්වා.”
c සමහර අවස්ථාවලදී, රෝමවරුන් විසින් දවසකට සිරකරුවන් 500දෙනෙක්ව වධකණුවල එල්ලනු ලැබූ බව යුදෙව් ඉතිහාසය නමැති පොතේ මහාචාර්ය ග්‍රෙට්ස් පවසනවා. වහල්භාවයට ගත් අනිත් යුදෙව්වන්ගේ අත් කපා නැවත නගරය වෙත එවනු ලැබුවා. එහි පැවතියේ කුමන තත්වයක්ද? “මුදල්වල අගය නැති වී ගොස් තිබුණු නිසා, එමගින් රොටි මිල දී ගැනීමට නොහැකි වුණා. ඉතා අප්‍රසන්න මෙන්ම පිළිකුල උපදවන ආහාරයකට, පිදුරු ටිකකට, හම් කෑල්ලකට එසේත් නැතිනම් බල්ලන්ට විසි කරන බොකු බඩවැල්වලට . . . මිනිසුන් කර කියාගැනීමට දෙයක් නොමැතිව වීදිවල සටන් කළා. ශීඝ්‍රයෙන් වැඩි වන මිහිදන් නොකළ මළ මිනි නිසා උණුසුම් ග්‍රීෂ්ම සුළඟ වසංගත පතුරුවන්නක් වූ අතර මහජනයා රෝගවලට, සාගතවලට සහ කඩුවලට ගොදුරු වුණා.”
d අනාගතයේදී පැමිණෙන පීඩාවේ මෙම අංගය ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනවා.
ඔබට මතකද?
◻ මතෙව් 24:4-14 පළමු සියවසේදී ඉටු වූයේ කෙසේද?
◻ මතෙව් 24:21, 22හි පුරෝකථනය කර තිබුණු ආකාරයට ප්‍රේරිතයන්ගේ කාලයේදී දවස් ලුහුඬු කරනු ලැබුවේ සහ මාංස බේරුණේ කෙසේද?
◻ මතෙව් 24:34හි සඳහන් ‘පරම්පරාවට’ අයත් ගතිලක්ෂණ මොනවාද?
◻ ඔලීව කන්දේදී දුන් අනාවැකියට තවත් එමෙන්ම ඊටත් වඩා විශාල ඉටුවීමක් තිබෙන බව අප දන්නේ කෙසේද?
◻ එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාව ඉටුවීමට යන්නේ කවදාද? එමෙන්ම කෙසේද?
[12වන පිටුවේ පින්තූරය]
රෝමයේ තිබෙන ටයිටස්ගේ ආරුක්කුවේ ඇති කැටයම්වල යෙරුසලෙම් විනාශයෙන් කොල්ල කෑ දේවල් පෙන්නුම් කරනවා
[හිමිකම් විස්තර]
Soprintendenza Archeologica di Roma
-
-
“කියවන්නා විචාර බුද්ධිය පාවිච්චි කරත්වා”1999 මුරටැඹ | මැයි 1
-
-
“කියවන්නා විචාර බුද්ධිය පාවිච්චි කරත්වා”
“පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද . . . එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.”—මතෙව් 24:15, 16.
1. ලූක් 19:43, 44හි සඳහන් යේසු දුන් අනතුරු ඇඟවීමට තිබුණේ කුමන ප්‍රතිඵලයද?
පැමිණෙන විපතක් ගැන සාවධානව සිටීම, එය මඟහැරීමට අපට උපකාරවත් විය හැකියි. (හිතෝපදේශ 22:3) එහෙයින් පො.යු. 66දී සිදු වූ රෝමවරුන්ගේ ප්‍රහාරයට පසුව යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන්ගේ තත්වය සිතින් මවාගන්න. නගරය වට කරනු ලබන බවට සහ විනාශ කරනු ලබන බවට යේසු අනතුරු අඟවා තිබුණා. (ලූක් 19:43, 44) යුදෙව්වන්ගෙන් බහුතරයක් ඔහුව නොසලකා හැරියා. නමුත් ඔහුගේ ගෝලයන් ඔහුගේ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පො.යු. 70දී පැමිණි විපතෙන් ඔවුන්ව ගළවනු ලැබුවා.
2, 3. මතෙව් 24:15-21හි වාර්තා කර ඇති යේසුගේ අනාවැකිය ගැන අප උනන්දු විය යුත්තේ ඇයි?
2 යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා, වසංගත සහ දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන ක්‍රිස්තියානීන්ව වධ හිංසාවට ලක් කිරීම ආදිය සිදු වන බව දැක්වෙන සංයුක්ත ලකුණක්, අදදින අප සඳහා වැදගත්කමකින් යුත් අනාවැකියක යේසු සඳහන් කළා. (මතෙව් 24:4-14; ලූක් 21:10-19) ඒ වගේම අවසානය ආසන්නව තිබූ බව එනම් ‘පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයේ තිබීම’ දැනගැනීම සඳහා ඔහුගේ ගෝලයන්ට උපකාරවත් වන හෝඩුවාවකුත් යේසු ඉදිරිපත් කළා. (මතෙව් 24:15, ඇල අකුරු අපේය.) එම අර්ථාන්විත වදන් අපේ ජීවිතයට දැනුත් අනාගතයේදීත් බලපාන්න යන්නේ කෙසේද කියා බැලීම සඳහා නැවත පරීක්ෂා කර බලමු.
3 ලකුණ ගෙනහැර දැක්වීමෙන් පසු යේසු මෙසේ පැවසුවා: “එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා [විචාර බුද්ධිය පාවිච්චි කරත්වා, NW]), එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා. ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා. නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ. නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න. මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.”—මතෙව් 24:15-21.
4. පළමු ශතවර්ෂයේදී මතෙව් 24:15ට ඉටුවීමක් තිබූ බව අඟවන්නේ කුමක්ද?
4 මාර්ක් සහ ලූක්ගේ වාර්තාවලින් අමතර තොරතුරු සපයනවා. මතෙව්, “ශුද්ධස්ථානයෙහි තිබෙනවා” යන යෙදුම යොදන ස්ථානයේ, මාර්ක් 13:14හි පවසන්නේ “නුසුදුසු ස්ථානයේ සිටිනවා” කියායි. ලූක් 21:20හි යේසු තවදුරටත් මෙසේ පවසනවා: “එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.” යුදෙව්වන්ට ශුද්ධ ස්ථානයක් වූවත් තවදුරටත් යෙහෝවාට එසේ නොවූ, යෙරුසලම සහ එහි දේවමාළිගය මත පො.යු. 66දී එල්ල වූ රෝම ප්‍රහාරයට පළමු ඉටුවීම අදාළ වූ බව දැකීම සඳහා මෙය අපට උපකාර කරනවා. පොදු යුගයේ 70දී රෝමවරුන් විසින් නගරය සහ දේවමාළිගය විනාශ කළ විට සම්පූර්ණ පාළුවීමක් සිදු වුණා. ඒ කාලයේ “පිළිකුල” වූයේ කුමක්ද? එමෙන්ම එය ‘ශුද්ධස්ථානයෙහි තිබුණේ’ කෙසේද? නවීන දින ඉටුවීම පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රශ්නවලට තිබෙන උත්තර උපකාරවත් වෙන්න යනවා.
5, 6. (අ) දානියෙල් 9වන පරිච්ඡේදය කියවන පාඨකයන්ට විචාර බුද්ධිය අවශ්‍ය වන්නේ ඇයි? (ආ) “පිළිකුල” සම්බන්ධයෙන් වූ යේසුගේ අනාවැකිය ඉටු වූයේ කෙසේද?
5 කියවන්නන්ට විචාර බුද්ධිය පාවිච්චි කරන මෙන් යේසු උනන්දු කළා. කුමක් කියවන පාඨකයාටද? දානියෙල් 9වන පරිච්ඡේදය කියවන පාඨකයාට විය හැකියි. මෙසියස් පැමිණෙන්නේ කවදාද කියා අඟවන, එමෙන්ම අවුරුදු තුනහමාරකට පසුව ඔහුව ‘සිඳ දමනු ලබන’ බව පුරෝකථනය කිරීම අඟවන අනාවැකියක් එහි අපට දැකගත හැකියි. අනාවැකිය මෙසේ පවසනවා: “පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේය.”—දානියෙල් 9:26, 27; දානියෙල් 11:31; 12:11ද බලන්න.
6 මෙය, අවුරුදු 200කට පමණ කලින්, IVවන ඇන්ටියෝකස් විසින් සිදු කළ දේවමාළිගය කෙලෙසීමට අදාළ වූ බව යුදෙව්වන් සිතුවා. නමුත් යේසු පෙන්නුම් කළේ, “පිළිකුල” දක්නට ලැබීම සහ ‘ශුද්ධස්ථානයෙහි තිබීම’, ඉදිරියේදී සිදුවීමට තිබුණු බවයි. ඒ නිසා විචාර බුද්ධිය පාවිච්චි කිරීමට ඔහු උනන්දු කළා. පොදු යුගයේ 66දී පැහැදිලිව පෙනෙන්න තිබුණු ධජ සහ පතාක සමඟින් පැමිණෙන්න සිටි රෝම හමුදාවට යේසු එය යොමු දක්වමින් සිටි බව පැහැදිලියි. එවැනි ධජ සහ පතාක, පිළිම හා සමානව දිගු කාලයක් පුරා භාවිත කළ අතර, ඒවා යුදෙව්වන්ට පිළිකුල්සහගත දේවල් වුණා.a නමුත් ඔවුන් ‘ශුද්ධස්ථානයෙහි සිටින්නේ’ කවදාද? රෝම හමුදාව ඔවුන්ගේ ධජ සහ පතාක ඇතුව යුදෙව්වන් විසින් ශුද්ධයයි සැලකූ යෙරුසලමට සහ එහි දේවමාළිගයට පහර දුන් විට මෙය සිදු වුණා. රෝමවරුන් දේවමාළිගාව පිහිටි ප්‍රදේශයේ තිබුණු තාප්පය යටින් හාරන්න පවා පටන්ගත්තා. ඇත්තවශයෙන්ම බොහෝ කලක් පුරා පිළිකුල්ව තිබුණු දෙයක් දැන් ශුද්ධස්ථානයක දකින්න ලැබුණා!—යෙසායා 52:1; මතෙව් 4:5; 27:53; ක්‍රියා 6:13.
නවීන දින ‘පිළිකුලක්’
7. අපේ කාලයේ ඉටු වෙමින් පවතින්නේ යේසුගේ කිනම් අනාවැකියද?
7 පළමුවන ලෝක මහා යුද්ධයේ සිට අප මතෙව් 24වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති යේසුගේ ලකුණේ මහා පරිමාණ ඉටුවීමක් දැක තිබෙනවා. එහෙත් ඔහුගේ මෙම වචන මතක් කරගන්න: “පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද . . . එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.” (මතෙව් 24:15, 16) එනිසා අනාවැකියේ මෙම අංගයේ ඉටුවීමක් අපේ කාලයෙත් තිබිය යුතුයි.
8. අවුරුදු ගණනාවක සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් නූතන කාලවල “පිළිකුල” හඳුනාගෙන තිබෙන්නේ කෙසේද?
8 මෙම අනාවැකිවල ඉටුවීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සේවකයන්ගේ තිබුණු නිසැකභාවය නිරූපණය කරමින් 1921 ජනවාරි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්), මැදපෙරදිගෙහි වර්ධනය වූ දේවල් සම්බන්ධ කරමින් එය වෙත අවධානය දුන්නා. අනතුරුව, 1929 දෙසැම්බර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ 374වන පිටුවේ ස්ථිරවම මෙසේ පැවසුවා: “ජාතීන්ගේ සංගමයේ සම්පූර්ණ ප්‍රවණතාව වන්නේ ජනයාව දෙවිගෙන් සහ ක්‍රිස්තුස්ගෙන් ඉවත් කිරීම වන අතර, එනිසා එය පාළු කරන යමක්, සාතන්ගේ නිපැයුමක් සහ දෙවි ඉදිරියෙහි පිළිකුල්සහගත දෙයක් වෙනවා.” එමනිසා එක්දාස් නවසිය දහනවයේදී “පිළිකුල” විද්‍යමාන වුණා. කාලයාගේ ඇවෑමෙන් ජාතීන්ගේ සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට පත් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිගු කාලයක සිට, මෙම මනුෂ්‍ය සාම සංවිධාන දෙවි ඉදිරියේ පිළිකුල්සහගත තත්වයක තිබෙන බව නොවළහා ප්‍රකාශ කර තිබෙනවා.
9, 10. “පිළිකුල” ශුද්ධස්ථානයේ තිබෙන අවස්ථාව සම්බන්ධ අපේ දෘෂ්ටිය මහත් පීඩාව සම්බන්ධයෙන් වූ අපේ කලින් තේරුම්ගැනීමට බලපෑවේ කෙසේද?
9 කලින් ලිපියේ, මතෙව් 24 සහ 25 පරිච්ඡේදයන්වල තිබෙන කරුණු බොහොමයක් සම්බන්ධයෙන් පැහැදිලි කරන ලද දෘෂ්ටියක් සාරාංශ කළා. ‘පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබීම’ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කිරීම් තිබෙනවාද? පැහැදිලිවම තිබෙනවා. යේසුගේ අනාවැකිය, ‘ශුද්ධස්ථානයෙහි තිබීම,’ පුරෝකථනය කළ ‘පීඩාවේ’ ආරම්භයත් සමඟ කිට්ටුවෙන් සම්බන්ධ කරනවා. එමනිසා, “පිළිකුල” දිගු කාලයක සිට පැවතියත්, එය ‘ශුද්ධස්ථානයෙහි තිබීම’ සහ මහත් පීඩාව අතර තිබෙන සම්බන්ධය, අප මේ ගැන සිතන ආකාරයට බලපෑමක් ඇති කළ යුතුයි. ඒ කොහොමද?
10 මහත් පීඩාවේ පළමු අදියර 1914දී ආරම්භ වූ බව සහ එහි අවසාන අදියර අර්මගෙදොන් යුද්ධයේදී පැමිණෙන්න යන බව දෙවිගේ ජනයා වරක් තේරුම්ගත්තා. (එළිදරව් 16:14, 16; සසඳන්න 1939 අප්‍රියෙල් 1, මුරටැඹ [ඉංග්‍රීසියෙන්] 110 පිටුව.) එහෙයින්, Iවන ලෝක මහා යුද්ධය අවසන් වූ විගස, පසුව පැමිණෙන දවසක “පිළිකුල” ශුද්ධස්ථානයෙහි තිබෙන්න ඇතැයි වරක් සිතුවේ මන්ද කියා අපට තේරුම්ගත හැකියි.
11, 12. වර්ෂ 1969දී මහත් පීඩාව සම්බන්ධයෙන් කිනම් නැවත සකස් කළ දෘෂ්ටිය ඉදිරිපත් කෙරුණාද?
11 කොහොමවුණත්, පසු කාලයකදී අප දේවල් වෙනස් ආකාරයකින් දැකීමට පටන්ගෙන තිබෙනවා. එක්දාස් නවසිය හැටනවයේ, ජූලි 10වන බ්‍රහස්පතින්දා, නියූ යෝක් නගරයේ පැවති “පොළොව මත සාමය” නමැති ජාත්‍යන්තර එක්රැස්වීමේදී, මුරටැඹ බයිබල් හා පත්‍රිකා සමිතියේ එවකට උපසභාපතිව සිටි එෆ්. ඩබ්. ෆ්‍රාන්ස් හැඟීම් දනවන කතාවක් ඉදිරිපත් කළා. යේසුගේ අනාවැකිය සම්බන්ධයෙන් වූ කලින් වටහාගැනීම නැවත පරීක්ෂා කිරීමේදී සහෝදර ෆ්‍රාන්ස් මෙසේ පැවසුවා: “‘මහත් පීඩාව’ පො.යු. 1914දී ආරම්භ වී තිබුණු බවට පැහැදිලි කිරීමක් දෙනු ලැබූ අතර, එය සම්පූර්ණයෙන්ම අවසානයකට පත්වීමට ඉඩ නොදී 1918 නොවැම්බර් මාසයේදී දෙවි Iවන ලෝක මහා යුද්ධය නතර කළා. එතැන් සිට, අර්මගෙදොන් යුද්ධයෙන් ආරම්භ වන ‘මහත් පීඩාවේ’ අවසාන අදියර සඳහා ඉඩ දීමට ප්‍රථමයෙන් ඔහුගේ තෝරාගනු ලැබූ ක්‍රිස්තියානීන් වන ආලේප ලත් ඉතිරි කොටසට ක්‍රියාත්මක වීම සඳහා දෙවි අතරමැදි කාලයකට ඉඩ දෙමින් සිටියා.”
12 ඉන්පසු කැපීපෙනෙන ලෙස සකස් කළ පැහැදිලි කිරීමක් මෙසේ ඉදිරිපත් කරනු ලැබුවා: “පළමු ශතවර්ෂයේ සිදුවීම්වලට අනුරූපව . . . මහා පරිමාණයේ ‘මහත් පීඩාව’ පො.යු. 1914දී ආරම්භ වූයේ නැහැ. ඒ වෙනුවට 1914 සිට 1918 අතර කාලයේදී යෙරුසලමේ නවීන දින ප්‍රතිරූපය මත සිදු වූයේ ‘ගාවිනාවල පටන්ගැන්මක්’ පමණයි. . . . මතු කිසි කලෙක ඇති නොවන්නාවූ ‘මහත් පීඩාව’ තව ඉදිරියේ තියෙන්න යනවා. ඉන් අදහස් වන්නේ (ක්‍රිස්තියානි ලෝකය ඇතුළුව) බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ විනාශයෙන් පසුව, අර්මගෙදොන්හිදී ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධය’ සිදු වන බවයි.” සම්පූර්ණ මහත් පීඩාව තව ඉදිරියේදී සිදු වන්න තිබුණු බව ඉන් අදහස් වුණා.
13. “පිළිකුල” ‘ශුද්ධස්ථානයේ තිබීමට’ අනාගතික ඉටුවීමක් තිබෙන බව පැවසීම තර්කානුකූල වන්නේ ඇයි?
13 “පිළිකුල” ශුද්ධස්ථානයක තිබෙන්න යන්නේ කොයි අවස්ථාවේදීද යන්න නිශ්චය කරගැනීමට මෙය කෙළින්ම සම්බන්ධයි. පළමු ශතවර්ෂයේ සිදු වූ දේ මතක් කරගන්න. රෝමවරුන් පො.යු. 66දී යෙරුසලමට පහර දුන් නමුත් ඔවුන් බලාපොරොත්තු සුන් වූ ආකාරයකින් පසුබැස්ස අතර එමගින් ක්‍රිස්තියානි ‘මාංසවලට’ ගැළවීම සඳහා ප්‍රස්තාව ලැබුණා. (මතෙව් 24:22, NW) ඒ අනුව මහත් පීඩාව ඉක්මනින්ම ආරම්භ වෙයි කියා අප බලාපොරොත්තු වන නමුත්, දෙවිගේ තෝරාගනු ලැබූවන් උදෙසා එය ලුහුඬු කරනු ලබනවා. මෙම වැදගත් කරුණ සැලකිල්ලට ගන්න: පුරාණ අදාළ වීමේදී ‘පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබීම’, පො.යු. 66දී සෙන්පති ගැලස් යටතේ සිදු කළ රෝම ප්‍රහාරයට සම්බන්ධ කරනු ලැබුවා. එම ප්‍රහාරයේ නූතන දින සමාන්තරය එනම් මහත් පීඩාවේ ආරම්භය තව ඉදිරියටයි තිබෙන්නේ. එමනිසා 1919 සිට විද්‍යමාන වූ “පාළුකරන පිළිකුල” පෙනෙන විදිහට ශුද්ධස්ථානයෙහි තිබෙන්නේ තව ඉදිරියේදීයි.b මෙය සිදු වන්න යන්නේ කෙසේද? එසේම එය අපට බලපාන්න පුළුවන් කොහොමද?
අනාගතයේ ප්‍රහාරයක්
14, 15. අර්මගෙදොන් දක්වා මඟ පාදන සිද්ධීන් තේරුම්ගැනීමට එළිදරව් 17වන පරිච්ඡේදය අපට උපකාරවත් වන්නේ කෙසේද?
14 අනාගතයේදී බොරු ආගම් මත ගෙනෙන විනාශකාරි ප්‍රහාරයක් ගැන එළිදරව් පොතේ විස්තර කරනවා. බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනිය, එනම් පොළොවේ වේශ්‍යාවන්ගේ මව්ට’ එරෙහිව සිදු කරන දෙවිගේ විනිශ්චය 17වන පරිච්ඡේදයේ දක්වා තිබෙනවා. ක්‍රිස්තියානි ලෝකය මූලිකවම සම්බන්ධව සිටින අතර, දෙවිත් සමඟ ගිවිසගත් සම්බන්ධතාවක් තිබෙන බව කියා සිටිනවා. (යෙරෙමියා 7:4 සසඳන්න.) ක්‍රිස්තියානි ලෝකය ඇතුළු බොරු ආගම් දිගු කලක් පුරා “පොළොවේ රජවරු” සමඟ අයථා සම්බන්ධකම් පවත්වා තිබුණත්, එවැනි ආගම් විනාශ කිරීමේදී මෙය අවසන් වෙන්න යනවා. (එළිදරව් 17:2, 5) කාගේ අතින්ද?
15 කාලයකට පවතින, පසුව අතුරුදහන් වන සහ ඉන්පසු නැවත පැමිණෙන “රතුපාට මෘගයෙකු [වන මෘගයෙකු, NW]” ගැන එළිදරව් පොත විස්තර කරනවා. (එළිදරව් 17:3, 8) මෙම මෘගයාට ලෝක නායකයන්ගේ උදව් ලැබෙනවා. මෙම සංකේත මෘගයා, 1919දී ජාතීන්ගේ සංගමය (‘පිළිකුල් දෙයක්’) ලෙස බිහි වූ සාම සංවිධානයක් ලෙස හඳුනාගැනීමට අනාවැකිය තුළ සපයා ඇති තොරතුරු අපට උපකාර කරනවා. එය දැන් එක්සත් ජාතීන් ලෙස හඳුන්වනු ලබනවා. ඉදිරියේදී දෙවි මෙම ‘මෘගයාට’ අයත්ව සිටින ඇතැම් මනුෂ්‍ය පාලකයන්ගේ සිත්වලට, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය පාළු කිරීමේ අදහස දමන්න යන බව එළිදරව් 17:16, 17හි පෙන්වනවා. එම ප්‍රහාරය මහත් පීඩාවේ ආරම්භය සනිටුහන් කරනවා.
16. ආගම සම්බන්ධයෙන් කිනම් සැලකිය යුතු වර්ධනය වීම් සිදු වෙමින් පවතිනවාද?
16 මහත් පීඩාවේ ආරම්භය නුදුරු අනාගතයේදී සිදුවීමට තිබෙන නිසා, ‘ශුද්ධස්ථානයෙහි තිබීම’ අපෙන් තව ඉදිරියේද තිබෙන්නේ? පෙනෙන විදිහට ඔව්. “පිළිකුල” මේ ශතවර්ෂයේ මුලදීම පෙනෙන්න තිබුණු අතර, එතැන් සිට දශක ගණනාවක් පුරා පැවත තිබුණත්, නුදුරු අනාගතයේදී එය “ශුද්ධස්ථානයෙහි” අද්විතීය ආකාරයකින් තිබෙන්න යනවා. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තු අනුගාමිකයන් බලා සිටියාක් මෙන් නවීන දින ක්‍රිස්තියානීනුත්, ‘ශුද්ධස්ථානයෙහි තිබීම’ වර්ධනය වන ආකාරය බලන්න ඉතා ආශාවෙන් සිටිනවා. අපට සියලුම විස්තර දැනගැනීම සඳහා සැබෑ ඉටුවීම වන තුරු බලා සිටීමට සිදු වන බව අප පිළිගත යුතුයි. ඒ වුණත්, සමහර රටවල්වල දැනටමත් පෙනෙන්න තිබෙන, එමෙන්ම වර්ධනය වන විරෝධයක් ආගම් කෙරෙහි තිබෙන බව අප සැලකිල්ලට ගත යුතුයි. සමහර දේශපාලන බලවේගයන්, සත්‍ය ඇදහිල්ලෙන් ඉවත් වූ කලින් ක්‍රිස්තියානීන්ව සිටි අය සමඟ එකතු වී සමස්තයක් වශයෙන් ආගමට එරෙහිව සහ විශේෂයෙන්ම සැබෑ ක්‍රිස්තියානීන්ට එරෙහිව විරෝධතාව වැඩි කරමින් සිටිනවා. (ගීතාවලිය 94:20, 21; 1 තිමෝති 6:20, 21) ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන බලවේගයන් දැන් පවා ‘බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරන’ අතර, එළිදරව් 17:14හි අඟවා ඇති පරිදි, මෙම සටන වඩාත් තීව්‍ර වෙන්න යනවා. ඔවුන්ට, තේජවත් තත්වයක සිටින, මහිමවත් කළ දෙවිගේ බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්ට වචනානුසාරයෙන්ම පීඩා කළ නොහැකි වුණත්, ඔවුන් තවදුරටත්, දෙවිගේ සැබෑ නමස්කාරකයන් වන විශේෂයෙන්ම ඔහුගේ “ශුද්ධවන්තයන්ට” එරෙහිව තම විරෝධය ප්‍රකාශ කරනවා. (දානියෙල් 7:25; සසඳන්න රෝම 8:27; කොලොස්සි 1:2; එළිදරව් 12:16ආ.) බැටළු පැටවා සහ ඔහුත් සමඟ සිටින අය ජයග්‍රාහකයන් වන බවට දිව්‍ය සහතිකයක් අපට තිබෙනවා.—එළිදරව් 19:11-21.
17. අපගේම මතයේ එල්බගෙන නොසිට, “පිළිකුල” ශුද්ධස්ථානයේ තිබෙන්න යන ආකාරය ගැන අපට කුමක් කිව හැකිද?
17 බොරු ආගම පාළු කිරීමට යන බව අප දන්නවා. මහා බබිලෝනිය ‘ශුද්ධවන්තයන්ගේ ලෙයින් මත් වී සිටින’ අතර, රැජිනක් ලෙස ක්‍රියා කර තිබෙන නමුත් ඇගේ විනාශය ස්ථිරයි. පොළොවේ රජවරුන් අතරේ ඇය පතුරුවා තිබෙන දූෂිත බලපෑම භයානක ලෙස වෙනස් කරමින්, එම සබඳතාව ‘අං දසය සහ මෘගයාගේ’ පැත්තෙන් බද්ධ වෛරයක් බවට හැරෙන්න යනවා. (එළිදරව් 17:6, 16; 18:7, 8) ‘රතුපාට මෘගයා’ ආගමික වේශ්‍යාවට පහර දෙන විට, භය උපදවන ආකාරයකින් “පිළිකුල” ක්‍රිස්තියානි ලෝකයේ නාමමාත්‍ර ශුද්ධස්ථානයේ තිබෙන්න යනවා.c එහෙයින් ශුද්ධයයි එය විසින්ම මවාපෑමක් කරන නොඇදහිලිකාර ක්‍රිස්තියානි ලෝකයෙන් පාළු කිරීම ආරම්භ වෙන්න යනවා.
‘පලායන්න’—කොහොමද?
18, 19. ‘කඳුවලට පලායෑම’ ආගම් වෙනස් කිරීමක් අදහස් නොකරන බව පෙන්වීමට දී තිබෙන්නේ කුමන හේතුද?
18 ‘පිළිකුල ශුද්ධස්ථානයේ තිබීම’ ගැන පුරෝකථනය කිරීමෙන් පසු විචාර බුද්ධියෙන් කටයුතු කරන අයට ක්‍රියාත්මක වන ලෙස යේසු අනතුරු ඇඟෙව්වා. එම අවසාන මොහොතේදී, එනම් “පිළිකුල” “ශුද්ධස්ථානයෙහි තිබෙන” විට, බොහෝ මනුෂ්‍යයන් බොරු ආගම්වලින් පලා ගොස් සැබෑ නමස්කාරය වැලඳගන්නා බව ඔහු අදහස් කළාද? එසේ සිතන්න බැහැ. පළමු ඉටුවීම සැලකිල්ලට ගන්න. යේසු මෙසේ පැවසුවා: “යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.”—මාර්ක් 13:14-18, ඇල අකුරු අපේය.
19 යෙරුසලමේ සිටින්නන් පමණක් ඉවතට යා යුතු බව ඔහු පැවසුවේ නැහැ. එසේ වූවා නම්, යුදෙව් නමස්කාරයේ කේන්ද්‍රස්ථානයෙන් ඔවුන් ඉවත් වීම අවශ්‍ය බව පෙන්වීම යේසුගේ අරමුණ වීමට ඉඩ තිබුණා. එමෙන්ම, ඔහුගේ අනතුරු ඇඟවීම තුළ ආගම වෙනස් කිරීමක් සම්බන්ධව එනම් බොරු ආගමෙන් පලා ගොස් සත්‍යය වැලඳගැනීමක් සම්බන්ධව සඳහන් කළෙත් නැහැ. නිසැකවම යේසුගේ ගෝලයන්ට එක් ආගමකින් තවත් ආගමකට යෑමක් සම්බන්ධව අනතුරු ඇඟවීමක් අවශ්‍ය වූයේ නැහැ. මන්දයත් ඔවුන් ඒ වන විටත් සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වී සිටියා. ඒ වගේම පො.යු. 66 ප්‍රහාරය යෙරුසලමේ සහ යුදය පුරා සිටි යුදෙව් ආගම පවත්වන්නන්ට, එම ආගම අත්හැර ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීමට පෙලඹවූයේ නැහැ. පලා ගිය රෝමවරුන් පසුපස ලුහුබැඳ ගිය අය නැවත නගරයට පැමිණි බව මහාචාර්ය හයින්රිහ් ග්‍රෙට්ස් පවසනවා: “අතිඋද්‍යෝගවාදීන් ප්‍රීතියෙන් පිනාගිය යුධ ගීත ගායනා කරමින් යෙරුසලමට (ඔක්තෝබර් 8වනදා) නැවත පැමිණි අතර, නිදහසේ සහ ස්වාධීනත්වයේ ප්‍රීතිමත් බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ හදවත් උතුරා ගියා. . . . දෙවි ඔවුන්ගේ පියවරුන්ට උදව් කර තිබුණාක් මෙන් ඔවුන්ටත් උදව් කර තිබුණේ නැද්ද? අතිඋද්‍යෝගවාදීන් අනාගතයේදී කුමක් සිදු වේද කියා බිය වූයේ නැහැ.”
20. කඳුවලට පලායෑමට වූ යේසුගේ අනතුරු ඇඟවීමට මුල් ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
20 එසේ නම්, එවකට සිටි තෝරාගනු ලැබූ සාපේක්ෂ වශයෙන් සුළු පිරිස යේසුගේ උපදෙසට අනුව ක්‍රියා කළේ කෙසේද? යුදය අතහැර යොර්දානය හරහා කඳුවලට පලායෑමෙන්, ඔවුන් දේශපාලන වශයෙන් හෝ ආගමික වශයෙන් යුදෙව් පිළිවෙළේ කොටසක්ව නොසිටි බව පෙන්නුවා. නිවෙස්වල තිබෙන ඔවුන්ගේ වස්තුවවත් එකතු කරගන්නේ නැතුව ඔවුන් වතු පිටි සහ නිවාස අතහැර දමා ගියා. යෙහෝවා සලසන ආරක්ෂාව සහ උපකාරය සම්බන්ධව ඇති නිසැකභාවය තුළින්, ඔවුන් වැදගත්යයි පෙනෙන්ට තිබුණු සෑම දෙයකටම වඩා ඔහුගේ නමස්කාරය ඉදිරියෙන් තැබුවා.—මාර්ක් 10:29, 30; ලූක් 9:57-62.
21. “පිළිකුල” පහර දෙන විට අප බලාපොරොත්තු නොවිය යුත්තේ කුමන ප්‍රතිඵලයද?
21 දැන් මහත් ඉටුවීම සැලකිල්ලට ගන්න. බොරු ආගමෙන් ඉවතට පැමිණීමට සහ සැබෑ නමස්කාරය වැලඳගැනීමට අප දශක ගණනාවක් පුරා ජනයාට උනන්දු කරමින් සිට තිබෙනවා. (එළිදරව් 18:4, 5) මිලියන ගණනක් එසේ කර තිබෙනවා. මහත් පීඩාව ආරම්භ වූ විට විශාල සංඛ්‍යාවක් නිර්මල නමස්කාරය වෙත හැරෙන බවක් යේසුගේ අනාවැකියේ අඟවන්නේ නැහැ. මන්දයත් නිසැකවම පො.යු. 66දී විශාල පිරිසකගේ හැරීමක් සිදු වූයේ නැහැ. නමුත් සැබෑ ක්‍රිස්තියානීන්ට යේසුගේ අනතුරු ඇඟවීම අදාළ කරගෙන පලායෑමට මහත් පෙලඹීමක් තිබෙන්න යනවා.
22. කඳුවලට පලායෑම සම්බන්ධයෙන් වූ අපේ අදාළ කරගැනීමට කුමක් ඇතුළත් විය හැකිද?
22 අපට මහත් පීඩාව සම්බන්ධව තොරතුරු සියල්ලම දැනට ලබාගත නොහැකි වුණත්, යේසු කතා කළ පලායෑම අපේ භූගෝලීය පිහිටීම වෙනස් කිරීමෙන් සිදු නොවන එකක් බව අපට තර්කානුකූලව නිගමනය කළ හැකියි. දෙවිගේ ජනයා දැනටමත් ලොව වටා, සෑම තැනකම වගේ සිටිනවා. එනිසා පලායෑම අවශ්‍ය වූ විට ක්‍රිස්තියානීන්ට තමන් හා බොරු ආගමික සංවිධාන අතර පැහැදිලි වෙනසක් දිගටම පවත්වාගන්න සිදු වන බව අපට සහතික විය හැකියි. වස්ත්‍ර හෝ වෙනත් දේවල් ගැනීම සඳහා කෙනෙක්ගේ නිවසට ආපසු නොයෑම ගැන යේසු අවවාද කළ බවත් සැලකිල්ලට ගත යුතු වැදගත් දෙයක් වෙනවා. (මතෙව් 24:17, 18) එමනිසා, අප ද්‍රව්‍යමය දේවල් සලකන ආකාරය බැලීම සඳහා පරීක්ෂණවලට අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකියි. වඩාත් වැදගත් වන්නේ එයද? නැතිනම් දෙවිගේ පැත්තේ සිටින සියලුදෙනාටම පැමිණෙන ගැළවීමද? ඔව්, අපේ පලායෑමට ඇතැම් දුෂ්කරතා සහ අහිමි වීම් ඇතුළත් විය හැකියි. අපට සම කළ හැකි යුදයේ සිට යොර්දානය හරහා පෙරිය කඳුවලට පලා ගිය පළමු ශතවර්ෂයේ ඇදහිලිවන්තයන් මෙන් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්ව සිටිය යුතුයි.
23, 24. (අ) අපට ආරක්ෂාව ලැබෙන්න යන්නේ කොහෙන් පමණක්ද? (ආ) ‘පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයේ තිබීම’ සම්බන්ධයෙන් යේසුගේ අවවාදය අපට කිනම් බලපෑමක් ඇති කළ යුතුද?
23 දිගටම අපේ රක්ෂස්ථානය වන්නේ යෙහෝවා සහ ඔහුගේ පර්වතයක් බඳු සංවිධානය බවට අප නිසැක විය යුතුයි. (2 සාමුවෙල් 22:2, 3; ගීතාවලිය 18:2; දානියෙල් 2:35, 44, 45) අපට ආරක්ෂාව ලැබෙන්න යන්නේ එහිදීයි. ‘කඳුවල ගුහාවලට පලා යන, පර්වතවල’ සැඟවෙන ජන සමූහයාව, එනම් මහා බබිලෝනිය පාළු කිරීමෙන් පසුව ඉතා කෙටි කාලයකට ඉතිරි වන මනුෂ්‍ය සංවිධානවලට පලා යන විශාල ජන සමූහයාව අප අනුකරණය කරන්නේ නැහැ. (එළිදරව් 6:15; 18:9-11) පොදු යුගයේ 66දී යුදයට පලාගිය ගර්භිණි ස්ත්‍රීන්ට හෝ සීතල, වර්ෂා සහිත දේශගුණයක ගමන් කිරීමට සිදු වූ ඕනෑම කෙනෙක්ට මෙන් කාලය වඩාත් අසීරු විය හැකි බව ඇත්තයි. නමුත් දෙවි ආරක්ෂාව සලසා දෙයි කියා අපට ස්ථිර වෙන්න පුළුවන්. යෙහෝවා සහ රාජ්‍යයේ රජු වශයෙන් පාලනය කරන ඔහුගේ පුත්‍රයා මත රඳා සිටීම අප දැන් තවත් ශක්තිමත් කරගනිමු.
24 සිදුවීමට යන දේ ගැන බියෙන් ජීවත් වීමට අපට කිසිම හේතුවක් නැහැ. එවකට සිටි තම ගෝලයන් බියෙන් සිටිනවා දැකීමට යේසුට අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම දැන් හෝ පැමිණීමට තිබෙන දවස්වලදී අප බියෙන් සිටිනවා දැකීමට ඔහුට අවශ්‍ය නැහැ. අපේ හෘද සහ මනස් සූදානම් කරවීම සඳහා ඔහු අපව අවදියෙන් තැබුවා. බොරු ආගම් මත සහ මෙම දුෂ්ට පිළිවෙළේ ඉතිරි කොටස මත විනාශය පැමිණෙන විට, පක්ෂපාත ක්‍රිස්තියානීන් දඬුවම් ලබන්නේ නැහැ. ඔවුන් විචාර බුද්ධිය පාවිච්චි කරන අතර, ‘පිළිකුල ශුද්ධස්ථානයේ තිබීම’ සම්බන්ධයෙන් දුන් අනතුරු ඇඟවීමට ඇහුම්කන් දෙනවා. ඔවුන් තම නොසැලෙන ඇදහිල්ල මත ඒකාන්තව ක්‍රියා කරන්න යනවා. අප යේසු පොරොන්දු වූ මේ දේ කිසිවිටකත් අමතක නොකරමු. “අන්තිමය දක්වාම ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නා ගළවනු ලබන්නේය.”—මාර්ක් 13:13.
[පාදසටහන්වල]
a “රෝමවරුන් රැගෙන ආ ධජ සහ පතාක, රෝමයේ පිහිටි දේවමාළිගාවල ආගමික වශයෙන් ගරුබුහුමන් දක්වමින් මහත් භක්ත්‍යාදරයකින් රැකගනු ලැබුවා. ඒ වගේම ඔවුන්ගේ සෑම යුධ ජයග්‍රහණයකදීම මෙම ධජ සහ පතාකවලට තිබෙන ඔවුන්ගේ භක්තිය වැඩිවර්ධනය වුණා. ඇතැම්විට [හේවායන්ට එය] පොළොවේ තිබුණු පරිශුද්ධම දෙය වූවා විය හැකියි. රෝම හේවායා තමාගේ ධජයෙන් හෝ පතාකයෙන් දිවුරුම් දුන්නා.”—බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්), 11වන සංස්කරණය.
b පොදු යුගයේ 66-70 අතර කාලයේදී යේසුගේ වදන්වල ඉටුවීම, මහත් පීඩාවේදී ඒවා ඉටු වන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට අපට උපකාර කළත්, ඒවා එකිනෙකට වෙනස් පසුබිම්වලට අයත් නිසා ඉටුවීම් දෙකම හරියටම සමාන්තර විය නොහැකි බව සඳහන් කළ යුතුයි.
ඔබට මතකද?
◻ පළමු ශතවර්ෂයේදී “පාළුකරන පිළිකුල” විද්‍යමාන වූයේ කෙසේද?
◻ නවීන දින “පිළිකුල” අනාගතයේ යම් අවස්ථාවක ශුද්ධස්ථානයේ තිබෙයි කියා සිතීම සාධාරණ වන්නේ මන්ද?
◻ එළිදරව් පොතේ පුරෝකථනය කර තිබෙන්නේ ‘පිළිකුලක්’ විසින් සිදු කරන කුමන ප්‍රහාරය ගැනද?
◻ අපේ පැත්තෙන් කිනම් ආකාරයේ ‘පලායෑමක්’ ඉදිරියේදී අවශ්‍ය විය හැකිද?
[16වන පිටුවේ පින්තූරය]
මහා බබිලෝනිය ‘වේශ්‍යාවන්ගේ මව්’ ලෙස හඳුන්වනවා
[17වන පිටුවේ පින්තූරය]
එළිදරව් 17වන පරිච්ඡේදයේ සඳහන් රතුපාට වන මෘගයාට යේසු “පිළිකුළ” ලෙස යොමු දක්වනු ලැබුවා
[18වන පිටුවේ පින්තූරය]
රතුපාට වන මෘගයා ආගම් මතට පාළු කර දමන ප්‍රහාරයක් එල්ල කරනවා
-