ශුභාරංචිය නීතිමය ලෙස සුරැකීම
මිනිසා නුවරවල් ගොඩනඟාගෙන තිබෙන දා පටන් ඔවුන් එයට පවුරුත් ගොඩනඟාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගෙවී ගිය කාලවල, මෙම බලකොටු ආරක්ෂාවක් වී තිබෙනවා. රැකවලුන්ට මෙම ප්‍රාකාරය මුදුනේ සිට, සතුරන් විසින් සිදු කරන පවුරු බිඳ දැමීම් හෝ පෙරළීම්වලින් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට හැකි වුණා. මෙයින් ආරක්ෂාවක් ලැබුණේ නුවරවාසීන්ට පමණක් නොවෙයි, නමුත් අවට කුඩා නගරවල වාසය කරන අයටත් නිතරම පවුරුවලින් සරණක් ලැබුණා.—2 සාමුවෙල් 11:20-24; යෙසායා 25:12.
ඒ හා සමානව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආරක්ෂාවේ පවුරක්, එනම් නීතිමය පවුරක් ගොඩනඟාගෙන තිබෙනවා. මෙම පවුර ගොඩනඟාගෙන තිබෙන්නේ සමාජයේ වෙසෙන සෙසු අයගෙන් ඔවුන්ව හුදකලා කරගැනීමේ අටියෙන් නොවෙයි. මන්දයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ සමාජශීලී සහ මිත්‍රශීලී සෙනඟක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන පිරිසක්. ඒ වෙනුවට, එය සියලුම මනුෂ්‍යයන්ගේ මූලික නිදහස පිළිබඳ නීතිමය සහතිකයන් ශක්තිමත් කරනවා. ඒත් සමඟම, තම නමස්කාරය නිදහසේ කරගෙන යෑමට හැකි වන පරිද්දෙන්, එය සාක්ෂිකරුවන්ගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. (මතෙව් 5:14-16, සසඳන්න.) ඔවුන්ගේ නමස්කාර ක්‍රමය සහ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට තිබෙන ඔවුන්ගේ අයිතිය මේ පවුර මගින් ආරක්ෂා කෙරෙනවා. මොකක්ද මේ පවුර? එමෙන්ම එය ගොඩනැඟී තිබෙන්නේ කොහොමද?
ආරක්ෂාවේ නීතිමය පවුරක් ගොඩනැඟීම
රටවල් බහුතරයක යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආගමික නිදහස භුක්ති වින්දත්, සමහර රටවල්වල අයුක්තිසහගත පහර දීම්වල ගොදුරක් බවට ඔවුන් පත් වී තිබෙනවා. එකට එක්රැස් වීමෙන් හෝ ගෙයින් ගෙට ගොස් දේශනා කිරීමෙන් නමස්කාර කිරීමට තිබෙන ඔවුන්ගේ නිදහස තර්ජනයට ලක් වූ විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීත්‍යනුකූලව ක්‍රියා කර තිබෙනවා. සාක්ෂිකරුවන් සම්බන්ධ නඩු විභාග දහස් ගණන් ලෝක ව්‍යාප්තව සිදු කර තිබෙනවා.a එහෙත් ඒ සෑම නඩුවක්ම දිනාගෙන නැහැ. නමුත් පහළ අධිකරණයන් ඔවුන්ට විරුද්ධව තීන්දුව දුන් විට, ඔවුන් බොහෝ අවස්ථාවන්හිදී මහාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. කුමන ප්‍රතිඵල ඇතුවද?
විසිවන ශතවර්ෂයේ දශකයන් තුළ බොහෝ රටවල්වල අත් වූ නීතිමය ජයග්‍රහණයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ස්ථිරසාර පදනමක් සපයන පූර්වාදර්ශයන් පිහිටුවා ඇති අතර, ඔවුන් ඊට පසුව ඇති වූ නඩු විභාගවලදී ඒ මත අභියාචන ඉදිරිපත් කර තිබෙනවා. හරියට ගලින් ගල එකතු වීමෙන් පවුරක් සෑදෙනවා වගේ, මෙම වාසිදායක තීරණ එකතු වීමෙන් ආරක්ෂාවේ නීතිමය පවුරක් පිහිටුවනවා. පවුරක් වැනි වූ මෙම පූර්වාදර්ශයේ මුදුනේ සිට, සාක්ෂිකරුවන් තම නමස්කාරය කරගෙන යෑම සඳහා අවශ්‍ය වන ආගමික නිදහස වෙනුවෙන් දිගටම සටන් කර තිබෙනවා.
උදාහරණයක් වශයෙන්, 1943 මැයි 3වනදා, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව දුන් ම’ඩොක් එදිරිව පෙන්සිල්වේනියාවේ පොදු රාජ්‍ය මණ්ඩලය යන නඩු විභාගය සලකා බලන්න. නඩු විභාගයේදී නඟපු ප්‍රශ්නය වූයේ මෙයයි: යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ ආගමික පොත් පත් බෙදා දීමට, වෙළඳාම් කිරීම සඳහා වූ වානිජ්‍යමය බලපත්‍රයක් ලබාගත යුතුද? තමන්ට එසේ කිරීමට අවශ්‍ය නැතැයි යන ස්ථාවරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියා. ඔවුන්ගේ දේශනා සේවය ව්‍යාපාරික කටයුත්තක් නොවෙයි. කවදාවත් එය එසේ වෙලත් නැහැ. ඔවුන්ගේ අරමුණ ශුභාරංචිය දේශනා කිරීම විනා මුදල් ඉපයීම නෙවෙයි. (මතෙව් 10:8; 2 කොරින්ති 2:17, NW) ආගමික පොත් පත් බෙදා දීම සඳහා පූර්ව අවශ්‍යතාවක් හැටියට, බලපත්‍ර බද්දක් ගෙවීමේ ඕනෑම ආකාරයක ඉල්ලා සිටීමක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරෝධි දෙයක් හැටියට පිළිගනිමින්, ම’ඩොක් නඩු තීන්දුවේදී අධිකරණය සාක්ෂිකරුවන්ට එකඟ වුණා.b මෙම තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් පිහිටෙවූ අතර, සාක්ෂිකරුවන් එවක් පටන් බොහෝ නඩු විභාගවලදී එය ස්ථිර පදනමක් ලෙස ගනිමින් සාර්ථක ලෙස අභියාචන ඉදිරිපත් කර තිබෙනවා. ම’ඩොක් තීන්දුව ආරක්ෂාවේ නීතිමය පවුරේ ශක්තිමත් ගඩොලක් බව ඔප්පු වී තිබෙනවා.
එවැනි නඩු තීන්දු, සියලුම ජනයාගේ ආගමික නිදහස ආරක්ෂා කරලීමෙහිලා මහත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා සාක්ෂිකරුවන්ගෙන් සිදු වී තිබෙන දායකත්වය සම්බන්ධයෙන් සින්සින්නාටිහි නීති ප්‍රතිශෝධනය පිළිබඳ විශ්වවිද්‍යාලය මෙසේ පැවසුවා: “විශේෂයෙන්ම කතා කිරීමේ සහ ආගමික නිදහස සම්බන්ධයෙන් තිබූ සීමාවන් පුළුල් කිරීම තුළින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උන්නතියට ප්‍රබල බලපෑමක් කර තිබෙනවා.”
පවුර ශක්තිමත් කිරීම
සෑම නීතිමය ජයග්‍රහණයකින්ම පවුර ශක්තිමත් වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටත්, ඒ වගේම ලොව පුරා නිදහසට ඇලුම් කරන සෙසු සියලුමදෙනාටත් ප්‍රයෝජන ලැබී තිබෙන, 1990 ගණන්වලදී ලැබූ නඩු තීන්දු අතුරින් කීපයක් සලකා බලන්න.
ග්‍රීසිය. එක්දහස් නවසිය අනූතුනේ මැයි 25වනදා, මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය මගින් ග්‍රීක පුරවැසියෙකුට තම ආගමික විශ්වාසයන් අන්‍යයන්ට ඉගැන්වීමට තිබෙන අයිතිය තහවුරු කළා. නඩු විභාගයට සම්බන්ධව සිටියේ එවකට අවුරුදු 84ක් වයසැති මිනොස් කොකින්නාකිස්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට කොකින්නාකිස්ව 1938 සිට 60වාරයකටත් වැඩි වාර ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ග්‍රීක අධිකරණ ඉදිරියේ 18 වරක් පෙනී සිටීමටද, අවුරුදු හයකටත් වැඩි කාලයක් සිරගෙයි සිටීමටද සලස්වා තිබුණා. එක්දහස් නවසිය තිස්අටේ සිට 1992 දක්වා කාලය තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 20,000ක් පමණ අත්අඩංගුවට ගැනීමෙහිලා වැඩි වශයෙන්ම වග කිව යුතු නීතියක් වන, 1930ගණන්වල පැනවූ අන්‍ය ආගමකට හරවාගැනීම තහනම් කරන ග්‍රීක නීතිය යටතේ, ඔහුව වැරදිකරුවෙකු කර තිබුණා. ග්‍රීක රජය කොකින්නාකිස්ගේ ආගමික නිදහස උල්ලංගනය කර තිබූ බව තීන්දු කරමින්, යුරෝපා අධිකරණය ඔහුට අමෙරිකානු ඩොලර් 14,400ක වන්දි මුදලක් ප්‍රදානය කළා. අධිකරණය එම තීන්දුවේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැබවින්ම “හොඳින් ප්‍රසිද්ධ වූ ආගමක්” හැටියට තීන්දු කළා.—1993 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ 27-31 පිටු බලන්න.
මෙක්සිකෝව. එක්දහස් නවසිය අනූදෙකේ ජූලි 16වනදා මෙක්සිකෝවේදී, ආගමික නිදහස වෙනුවෙන් විශාල පියවරක් ගනු ලැබුවා. ප්‍රසිද්ධ නමස්කාරය සහ ආගමික සමිති සමාගම් පිළිබඳ නීතිය එම දිනයේදී පිහිටුවනු ලැබුවා. මෙම නීතිය තුළින්, අවශ්‍යතාවලට එකඟව ලියාපදිංචි කිරීමෙන් ආගමික ආයතනයක් හැටියට නීතිමය පිළිගැනීමක් ලබාගැනීමට ආගමික කණ්ඩායම්වලට හැකියි. කලින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටේ තිබෙන වෙනත් ආගම් වගේම පැවතුණත්, ඔවුන්ව නීතිමය ඒකකයක් හැටියට පිළිගෙන තිබුණේ නැහැ. එක්දහස් නවසිය අනූතුනේ අප්‍රියෙල් 13වනදා, සාක්ෂිකරුවන්, ලියාපදිංචි වීම සඳහා අයැදුම් කළා. සතුටුදායක ලෙස, 1993 මැයි 7වනදා ඔවුන්, ලා’ටෝ’රි ඩෙල් විහියා, අ.රි, සහ ලොස් ටෙස්ටිගෝ ඩි හේඕවා එන් මෙහිකෝ, අ.රි ලෙස නීත්‍යනුකූලව ලියාපදිංචි වුණ අතර, මේ දෙකම ආගමික සංගමයන්.—1994 ජූලි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ 12-14 පිටු බලන්න.
බ්‍රසීලය. බෙතෙල් ගෘහයේ සේවය කරන ස්වේච්ඡා සේවකයන්ව (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල නම) ආගමික සේවකයන් හැටියට තවදුරටත් නොසලකන බවත්, එමනිසා බ්‍රසීල කම්කරු නීතිය යටතට පැමිණෙන බවත්, 1990 නොවැම්බර් මාසයේ බ්‍රසීල මහජන ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනය (INSS) විසින් මුරටැඹ සමිතියේ ශාඛා කාර්යාලයට දැනුම් දෙනු ලැබුවා. සාක්ෂිකරුවන් එම තීන්දුව සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කළා. බ්‍රසීලියානු නීතිපති කාර්යාලයේ අධිකරණ උපදේශක මණ්ඩලය බෙතෙල් සේවකයන්ගේ තත්වය තහවුරු කරමින් ඔවුන් නීත්‍යනුකූල ආගමික පිළිවෙතක සාමාජිකයන් බවත්, ආගමික ආයතනයකට අයත් සේවකයන් බවත් සඳහන් කරමින් 1996 ජූනි 7වනදා තීන්දුවක් දුන්නා.
ජපානය. ජපානයේ ශ්‍රේෂ්ඨාධිකරණය 1996 මාර්තු 8වනදා, අධ්‍යාපනය සහ ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නයට තීන්දුවක් නිකුත් කළා. එය ජපානයේ සිටින සියලුදෙනාගේම සුබසෙත සඳහායි. කුනිහිටෝ කෝබායාෂි, සටන් ශාස්ත්‍ර පුහුණු වීම්වලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා, කෝබේ නාගරික කාර්මික තාක්ෂණික විද්‍යාලය ඔහුව අස් කිරීමෙන් නීතිය උල්ලංගනය කර තිබෙන බව, අධිකරණය ඒකමතිකව තීරණය කළා. ජපන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලිය මගින් අනුමැතිය දුන්, ආගමික නිදහස මත පදනම් වූ තීරණයක්, ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ පළමු වතාව බව මෙම නීතිය සනිටුහන් කරනවා. ඔහුගේ බයිබලය මත පුහුණු කළ හෘද සාක්ෂියට අනුව, මෙම සටන් ශාස්ත්‍ර ව්‍යායාම්, යෙසායා 2:4 වැනි බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බව මෙම තරුණ සාක්ෂිකරුවාට හැඟුණා. එහි මෙසේ සඳහන් වෙනවා: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” අධිකරණ තීන්දුව අනාගතික නඩු විභාග සඳහා පූර්වාදර්ශයක් ස්ථාපිත කළා.—1996 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 19-21 පිටු බලන්න.
1998 පෙබරවාරි 9වනදා, ‘ලෙයින් වළකින්න’ යන බයිබල් ආඥාවට අනුකූල නොවන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රතික්ෂේප කිරීමට සාක්ෂිකාරියක් වන මිසාඑ ටාකෙඩාට ඇති අයිතිය තහවුරු කරමින් තවත් වැදගත් තීරණයක් ටෝකියෝවේ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. (ක්‍රියා 15:28, 29) මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන කර තිබෙන අතර, ඉහළ උසාවියේ තීන්දුව තහවුරු කරයිද නැද්ද යන්න අපට ඉදිරියේදී දැනගන්න පුළුවන්.
පිලිපීනය. කොඩියට ආචාර කිරීම ගෞරවනීයව ප්‍රතික්ෂේප කිරීම නිසා, පාසැලෙන් අස් කර දැමූ යෞවන සාක්ෂිකරුවන් සම්බන්ධ නඩු විභාගයකදී, පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය 1993 මාර්තු 1වනදා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් නිකුත් කළා.
වාසිදායක සෑම අධිකරණ තීන්දුවක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පමණක් නොවෙයි, නමුත් සියලුම මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් සුරකින නීතිමය පවුර ශක්තිමත් කරන අමතර ගලක් හෝ ගඩොලක් වගෙයි.
පවුර ආරක්ෂා කිරීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව රටවල් 153ක නීත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති අතර, පිළිගත් වෙනත් ආගම් වගේම සුදුසු ආකාරයෙන් බොහෝ නිදහසක් භුක්ති විඳිනවා. නැඟෙනහිර යුරෝපය සහ කලින් සෝවියට් සංගමය තුළ දශක ගණනාවක වද හිංසා කිරීම් සහ තහනම් කිරීම්වලින් පසුව, දැන් ඇල්බේනියාව, කසකස්තානය, කිරිකිස්තානය, චෙක් ජනරජය, ජෝර්ජියාව, බෙලාරුස්, රුමේනියාව, ස්ලෝවැකියාව සහ හංගේරියාව වැනි රටවල්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූලව පිළිගෙන තිබෙනවා. කොහොම වුණත් දිගු කාලයක් පුරා ස්ථාපිත කර තිබෙන අධිකරණ ක්‍රමයක් තිබෙන බටහිර යුරෝපා රටවල්ද ඇතුළුව, අදදින සමහර රටවල් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් බරපතළ ලෙස අභියෝගයට ලක් කරනවා, එහෙමත් නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විරුද්ධවාදීන් සාක්ෂිකරුවන්ට එරෙහිව ‘අයුතු නීතියෙන් නපුරට මඟ පෑදීමට’ ක්‍රියාශීලීව උත්සාහ කරමින් සිටිනවා. (ගීතාවලිය 94:20, නව අනුවාදය) මේ අය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?c
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට, සියලු ආණ්ඩු ක්‍රම සමඟ සහයෝගීව කටයුතු කරන්න අවශ්‍ය වුණත්, තම නමස්කාරය කරගෙන යෑම සඳහා නීතිමය නිදහසත් ඔවුන්ට අවශ්‍යයි. ශුභාරංචිය දේශනා කිරීමට වූ ආඥාවද ඇතුළුව, දෙවිගේ ආඥාවලට කීකරු වීමෙන් ඔවුන්ව වළක්වන නීති හෝ අධිකරණ තීරණ ඕනෑම එකක් නිෂ්ඵල වන බවයි ඔවුන්ගේ ස්ථිර විශ්වාසය. (මාර්ක් 13:10) සුහද එකඟතාවකට පැමිණිය නොහැකි නම්, තම නමස්කාරය කරගෙන යෑමට දෙවිගෙන් ලත් අයිතිය සඳහා නීතිමය රැකවරණය අත් කරගැනීමට අවශ්‍ය වන සියලුම අභියාචන ක්‍රම ලුහුබඳිමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීතිමය පියවර ගන්නවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මෙලෙස පවසන දෙවිගේ පොරොන්දුව කෙරෙහි පූර්ණ නිසැකකමක් තිබෙනවා: “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය.”—යෙසායා 54:17.
[පාදසටහන්වල]
a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නීතිමය වාර්තාවන් පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා, කරුණාකර Watchtower Bible and tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දෙවිගේ රාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්) යන පොතේ 30වන පරිච්ඡේදය බලන්න.
b ම’ඩොක් තීන්දුවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ජෝන්ස් එදිරිව ඔපෙලිකා නගරය නමැති නඩු තීන්දුවේදී එය කලින් දුන් තීන්දුව වෙනස් කළා. 1942දී පැවැත්වූ ජෝන්ස් නඩු විභාගයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූ රොස්කෝ ජෝන්ස් නමැත්තා, බලපත්‍ර බද්දක් නොගෙවා ඇල්බාමාහි ඔපෙලිකා වීදිවල පොත් පත් බෙදා දීමෙහි හවුල් වීම නිසා, පහළ උසාවිය මගින් ඔහුව වරදකරුවෙකු බවට පත් කර තිබූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබුණා.
c අටේ සිට දහඅට දක්වා පිටුවල ඇති “ඇදහිල්ල නිසා වෛරයට ලක්ව” සහ “අපේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීම” යන ලිපි බලන්න.
[21වන පිටුවේ කොටුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මත ගෙනැවිත් තිබෙන වධ හිංසා කිරීම්, ඔවුන්ව ලොව පුරා රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන ඒමට මඟ පාදා තිබෙනවා. (ලූක් 21:12, 13) යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීතිමය ලෙස තම අයිතිවාසිකම් රැකගැනීමෙහිලා කළ හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෙම අයිතිවාසිකම්ද ඇතුළත් නීතිමය නිදහස ආරක්ෂා කිරීමට, බොහෝ රටවල අධිකරණ ජයග්‍රහණයන් හේතු පාදක වී තිබෙනවා. එනම්:
◻ වෙළඳ නියෝජිතයන් මත පනවා තිබුණු සීමාවන්වලින් නිදහස්ව ගෙයින් ගෙට ගොස් දේශනා කිරීමට—ම’ඩොක් එදිරිව පෙන්සිල්වේනියාවේ පොදු රාජ්‍ය මණ්ඩලය, එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය (1943); කොකින්නාකිස් එදිරිව ග්‍රීසිය, මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය (ECHR) (1993).
◻ නමස්කාරය සඳහා නිදහසේ එකට එක්රැස්වීමට—මනෝසකිස් සහ සෙසු පිරිස එදිරිව ග්‍රීසිය, ECHR (1996).
◻ ජාතික කොඩියට හෝ සලකුණට තමන් අවංකව ගෞරවය පෙන්වන්නේ කෙසේද කියා තීරණය කිරීමට—බටහිර ව’ජිනියා ජනපදයේ අධ්‍යාපන මණ්ඩලය එදිරිව බානට්, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය (1943); පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය (1993); ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය (1986).
◻ තම ක්‍රිස්තියානි හෘදය සාක්ෂියට විරුද්ධ වන යුධ හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට—යෙඕර්යතිස් එදිරිව ග්‍රීසිය, ECHR (1997).
◻ තම හෘදය සාක්ෂියට විරුද්ධ නොවන ප්‍රතිකාර ක්‍රම සහ බෙහෙත් වර්ග තෝරාගැනීමට—මලෙට් එදිරිව ශූල්මන්, ඔන්ටාරියෝ, කැනඩාව, අභියාචනා අධිකරණය (1990); මුරටැඹ එදිරිව ඊ.එල්.ඒ., ශ්‍රේෂ්ඨාධිකරණය, සැන් ජුඅන්, පුවටෝ රිකෝ (1995); ෆොස්මිරේ එදිරිව නිකලාවෝ, නියූ යෝක්, අ.එ.ජ. අභියාචන අධිකරණය (1990).
◻ තම විශ්වාසයන් ළමා භාරකාරත්ව ආරවුල්වලදී අභියෝගයට ලක් වන විටදී පවා, දරුවන්ව තම බයිබලය මත පදනම් වූ විශ්වාසයන්ට අනුව ඇති දැඩි කිරීමට—සැන්-ලෝරාන් එදිරිව සුසී, කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය (1997); හොෆ්මාන් එදිරිව ඔස්ට්‍රියා, ECHR (1993).
◻ අනිකුත් පිළිගත් ආගම් මගින් භාවිත කරන නියෝජිත ආයතනවලට ප්‍රදානය කරන බදු නිදහසම ලබන නීත්‍යනුකූල ආයතන පවත්වාගෙන යෑමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට—ජනයා එදිරිව හෙරීන්, අ.එ.ජ., නියූ යෝක්හි, අභියාචන අධිකරණය (1960).
◻ වෙනත් ආගම්වල පූර්ණ කාලීන ආගමික සේවකයන්ට ප්‍රදානය කරන බදු දීමනාවකට සමාන දීමනාවක්, යම් ආකාරයක විශේෂ පූර්ණ කාලීන සේවයක් සඳහා පත් කරන අයටත් ලබාගැනීමට—බ්‍රසීල මහජන ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනය, බ්‍රසීලියා, (1996).
[20වන පිටුවේ පින්තූරය]
මිනොස් කොකින්නාකිස් සහ ඔහුගේ බිරිඳ
[20වන පිටුවේ පින්තූරය]
කුනිහිටෝ කෝබායාෂි
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Complete Encyclopedia of Illustration/J. G. Heck