වයසට ගියත් සතුටින්!
වයසට යනවා කියලා දැනෙද්දී ඔයාට හිතෙන්නේ මොකක්ද? හුඟක් අයට කනස්සල්ලක් බයක් ඇතිවෙනවා. ඒකට හේතුව වයසට යද්දී හුඟක් වෙලාවට ශරීරය වැහැරෙන්න, මතකය අඩු වෙන්න, නිදන්ගත රෝග ඇති වෙන්න ඉඩකඩ තියෙන නිසයි.
හැමෝම එකම විදිහට වයසට යන්නේ නැහැ. සමහරුන්ට හොඳ සෞඛ්‍යයක් තියෙනවා. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක සමහර රෝග පාලනය කරන්නත් ඒවාට ප්‍රතිකාර කරන්නත් පුළුවන්. ඒ නිසා සමහර රටවල ඉන්න හුඟක් අය වයසට ගියත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා.
සෞඛ්‍ය ගැටලු තිබුණත් නැතත් හුඟක් අය කැමතියි වයසට ගියත් සතුටින් ඉන්න. හැබැයි ඒකට, අලුත් තත්වය අනුව හැඩගැහෙන්න කැමැත්තකුත් හැකියාවකුත් තියෙන්න ඕනේ. හිතන විදිහ සකස් කරගන්නත් ඕනේ. ඒකට උදව් වෙන සරල, ප්‍රයෝජනවත් බයිබල් ප්‍රතිපත්ති කීපයක් බලමු.
සීමාව තේරුම්ගන්න: “නිහතමානී අය ප්‍රඥාවන්තය.” (හිතෝපදේශ 11:2) වයසක අය “නිහතමානී” නම් කලින් වගේම දේවල් කරන්න බැහැ කියලා තේරුම්ගන්නවා. බ්‍රසීලයේ වයස අවුරුදු 93ක් වන චාල්ස් ඒ වගේ කෙනෙක්. ඔහු කියන්නේ මෙහෙමයි. “වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වයසට යන එක තමයි. ආයෙත් තරුණ වෙන්න බෑනේ!”
ඒත් සීමාව තේරුම්ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ “මං දැන් වයසයි මට දැන් මුකුත් කරන්න බැහැ” කියලා හිතහිතා ඉන්න ඕන කියන එක. එහෙම හිතුවොත් අධෛර්යය වෙන්න පුළුවන්. බයිබලයේ හිතෝපදේශ 24:10 කියන්නේ “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියලයි. තමන්ගේ සීමාවන් දන්න කෙනෙක් තමන්ට පුළුවන් දේ උපරිමයෙන් කරනවා.
ඉතාලියේ කොර්රාදෝගේ වයස 77යි. ඔහු මේ නැණවත් උපදෙස දුන්නා. “වාහනයකින් කන්දක් නඟිනවා නම් ගියර් එක මාරු කරලා වේගය අඩු කරන්න ඕනේ. නැත්නම් එන්ජිම නතර වෙනවා.” වයසට යද්දී වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දෙන්නෙක් තමයි කොර්රාදෝ සහ ඔහුගේ භාර්යාව. ඔවුන් ගෙදරදොරේ වැඩ කරද්දී විවේකයක් ගන්නත් කාලසටහන හදාගත්තා. එතකොට දවස අවසානයේදී හොඳටම හෙම්බත් වෙලා කියලා දැනෙන්නේ නැහැ. බ්‍රසීලයේ 81ක් වයසැති මෙරියන් කියන කාන්තාව මෙහෙම කිව්වා. “එක දිගටම වැඩ කරගෙන යන්නේ නැතුව පොඩි විවේකයක් ගන්න මම ඉගෙනගත්තා. ඒ වෙලාවට ඉඳගෙන හරි හාන්සි වෙලා හරි පොතක් පතක් කියවනවා නැත්නම් සංගීතයට ඇහුම්කන් දෙනවා. මගේ සීමාවන් මම තේරුම් අරගෙනයි ඉන්නේ.”
සමබර වෙන්න
සමබර වෙන්න: “ස්ත්‍රීන් මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිය යුතු අතර ඔවුන් තුළින් විනීතකමද හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන ආකාරයද පිළිබිඹු විය යුතුයි.” (1 තිමෝති 2:9) “මනා පිළිවෙළකින් යුත් වස්ත්‍ර” කියන එකෙන් අදහස් වෙනවා සමබරව, ප්‍රියමනාප විදිහට අඳින්න ඕන කියලා. 74වන වියේ පසුවන කැනඩාවේ බාබ්රා මෙහෙම කිව්වා. “මම පිරිසිදුවට, පිළිවෙළට ඇඳගෙන ඉන්න උත්සාහ කරනවා. ‘මං දැන් වයසයිනේ, මොනවා ඇන්දත් කමක් නෑනේ’ කියලා අපිළිවෙළට ඉන්නේ නැහැ.” බ්‍රසීලයේ ෆර්න්ට 91යි. ඇය මෙහෙම කියනවා. “මං ඉඳලා හිටලා කඩෙන් අලුත් ඇඳුම් ගන්නවා. ඒකෙන් මම සතුටක් ලබනවා.” වයසට ගිය පුරුෂයන් ගැන කියන්න පුළුවන් මොකක්ද? බ්‍රසීලයේ 73ක් වයසැති ආන්ටෝන්යෝ කියන්නේ “මම පිරිසිදුවට, පිළිවෙළකට ඇඳගෙන ඉන්න ආසයි. සනීපාරක්ෂාව ගැන හිතලා මම හැමදාම නාලා රැවුල කපලා ඉන්නවා” කියලයි.
හැබැයි අපි ඕනෑවට වඩා පෙනුම ගැන හිතලා වැඩ කරන්න ගියොත් “හොඳ සිහිකල්පනාවකින්” වැඩ කරන්න බැරි වෙනවා. ඇඳුම් පැළඳුම් ගැන සමබර ආකල්පයක් තියෙන දකුණු කොරියාවේ ඉන්න බෝක්-ඊම්ගේ වයස 69යි. ඇය මෙහෙම කිව්වා. “මං තරුණ කාලේ ඇන්ද සමහර ඇඳුම් දැන් මට ගැළපෙන්නේ නැහැ.”
හොඳ ආකල්පයක් තියාගන්න
හොඳ ආකල්පයක් තියාගන්න: “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.” (හිතෝපදේශ 15:15) අතේ පයේ වාරුව අඩු වෙද්දී තරුණ කාලේ කරපු දේවල් ගැන හිතලා සිත්තැවුලක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සිතුවිලිවලම ගිලිලා ඉන්න හදන්නේ නැතුව ගොඩ එන්න වෑයම් කරන්න. අතීතය ගැන හිතහිතා හිටියොත් දැන් ඔබට කරන්න පුළුවන් දේවල් පවා කරන්න බැරි වෙයි. කැනඩාවේ 79 හැවිරිදි ජෝසෆ් හොඳ ආකල්පයක් ඇතුව ඉන්න කෙනෙක්. “මම උත්සාහ කරන්නේ දැන් කරන්න පුළුවන් දේවල් සතුටින් කරන්නයි. කලින් කරපු දේවල් දැන් කරන්න බැහැ කියලා ළත වෙවී ඉන්නේ නැහැ.”
කියවීම සහ ඉගෙනගැනීම වගේ දේවල් කරන එකෙන් දැනුම වැඩි කරගන්නත් හොඳ ආකල්පයක් ඇතුව ඉන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම කියවන්නත් අලුත් දේවල් ඉගෙනගන්නත් අවස්ථාව හොයාගන්න. පිලිපීනයේ අර්නේස්ටෝට 74යි. ඔහු පුස්තකාලෙට ගිහිල්ලා ආස හිතෙන පොත් අරගෙන කියවනවා. ඔහු කියන්නේ මෙහෙමයි. “මං ඉන්නේ ගෙදර වුණත් තාමත් එහෙ මෙහෙ ගිහිල්ලා විනෝද වෙනවා. හැබැයි ඒ යන්නේ මනසින්.” ස්වීඩනයේ ලෙනාට් දුෂ්කර වැඩක් පටන්ගත්තා. ඒ තමයි අලුත් භාෂාවක් ඉගෙනගන්න එක. ඔහුගේ වයස 75යි.
පරිත්‍යාගශීලී වෙන්න
පරිත්‍යාගශීලී වෙන්න: “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.” (ලූක් 6:38) ඔබේ කාලයයි ඔබ සතු දේවලුයි අනිත් අය එක්ක බෙදා හදා ගන්න පුරුදු වෙන්න. එතකොට වටින දෙයක් කළා කියලා සතුටක් ලබන්න පුළුවන්. බ්‍රසීලයේ 85වන වියේ ඉන්න හෝස අමාරුකම් තිබුණත් අනිත් අයට උදව් කරන්න වෑයමක් දරනවා. ඇය මෙහෙම කිව්වා. “යාළුවෙක් ලෙඩ වුණාම, අධෛර්යය වුණාම කෝල් කරලා හරි ලියුම් යවලා හරි එයාව දිරිගන්වනවා. සමහර වෙලාවට පුංචි පුංචි තෑගිත් යවනවා. ලෙඩ වෙලා ඉන්න අයට කෑමක් හදලා දෙන්නත් මං ආසයි.”
අපි අනිත් අයට දෙනවා නම් අපිටත් ලැබෙනවා. ස්වීඩනයේ 66වන වියේ පසුවන යාන් මෙහෙම කියනවා. “අපි අනිත් අයට ආදරෙන් සලකනවා නම් අපිටත් ආදරය, කරුණාව ලැබෙනවා.” අනිත් අයව අගය කරන, අනිත් අයට ආදරය කරන පරිත්‍යාගශීලී කෙනෙක්ට අනිත් අයත් ඉබේම ළං වෙනවා.
මිත්‍රශීලී වෙන්න: “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1) තනියෙන් ඉන්න ඕන අවස්ථා තියෙනවා තමයි. හැබැයි හැම වෙලාවකම තනි වෙන්න හොඳ නැහැ. මිතුරන් ආශ්‍රය කරන්න කැමති නයිජීරියාවේ 72 හැවිරිදි ඉනසන්ට් මෙහෙම කියනවා. “හැම වයසකම ඉන්න අයව ඇසුරු කරන්න මං ආසයි.” ස්වීඩනයේ 85 හැවිරිදි බර්යේ මෙහෙම කියනවා. “මං නිතරම උත්සාහ කරන්නේ තරුණ අය එක්ක ඉන්න. එයාලගේ ශක්තිය මටත් ශක්තියක්. එතකොට හිතෙන් හරි මට තරුණ වෙන්න පුළුවන්.” ඉඳලා හිටලා යාළුවන්ට ආරාධනා කරන්න. දකුණු කොරියාවේ හාන්-සික්ට 72යි. ඔහු මෙහෙම කිව්වා. “මගේ බිරිඳයි මමයි හරි කැමතියි වයසක අයයි, තරුණ අයයි හැමෝටම රෑ කෑමකට හරි සාදයකට හරි ආරාධනා කරන්න.”
මිත්‍රශීලී වෙන්න
මිත්‍රශීලී අය හොඳින් කතාබහ කරනවා. ඒ කියන්නේ තමන්ම කතා නොකර අනිත් අයටත් කතා කරන්න ඉඩ දෙන්න සහ ඒ අයට ඇහුම්කන් දෙන්න ඕන කියන එකයි. අනිත් අය ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න. මොසැම්බික්වල ඉලිනාගේ වයස 71යි. ඇය මෙහෙම කියනවා. “මං අනිත් අයට ගරු කරන මිත්‍රශීලී කෙනෙක්. ඒගොල්ලන් කියන දේට මං හොඳින් ඇහුම්කන් දෙනවා. එතකොට ඒගොල්ලන් හිතන දේ, ආස දේ දැනගන්න මට පුළුවන්.” බ්‍රසීලයේ සූසේට වයස 73යි. ඔහු කියන්නේ “හොඳින් ඇහුම්කන් දෙන, අනිත් අයට අනුකම්පා කරන, අගය කරලා ප්‍රශංසා කරන, විහිළුතහළු කරලා ඉන්න අය එක්ක ආශ්‍රය කරන්න කවුරුත් කැමතියි” කියලයි.
ඔබේ අදහස් දක්වද්දී “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.” (කොලොස්සි 4:6) සැලකිලිමත්ව දිරිගන්වන විදිහට කතා කරන්න.
ස්තුතිවන්ත වෙන්න: ‘ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි.’ (කොලොස්සි 3:15) උදව්වක් ලැබුණාම ඒක අගය කරන්න. ස්තුතිවන්ත වෙන එක හොඳ මිත්‍රත්වයන් ඇති කරගන්න උදව්වක්. “මායි මගේ සැමියයි ගෙවල් මාරු කළා. ඒ වෙලාවේ අපිට උදව් කරන්න ගොඩක් යාළුවෝ ආවා. ඒගොල්ලන්ට ස්තුති කරන්න අපිට වචන නැහැ. අපි ඒ හැමෝටම ස්තුති කරලා කාඩ් යැව්වා. සමහරුන්ව ගෙදරට අඬගහලා කෑම වේලක් දුන්නා” කියලා කැනඩාවේ 74 හැවිරිදි මාරීපෝල් කිව්වා. නමස්කාර මධ්‍යස්ථානයට තමන්ව ගෙනියන එක අගය කරන කාන්තාවක් වන දකුණු කොරියාවේ 76 හැවිරිදි ජෙවන් මෙහෙම කියනවා. “ඒක මට ලොකු උදව්වක්. ඒ නිසා වියදම පියවගන්න කැමැත්තෙන්ම මුදලක් දෙනවා. සමහර වෙලාවට ස්තුතිය පළ කරලා පුංචි තෑග්ගකුත් දෙනවා.”
ඔබට ලැබිලා තියෙන ජීවිතය ගැනත් ස්තුතිවන්ත වෙන්න. “මළ සිංහයෙකුට වඩා පණපිටින් සිටින බල්ලෙකු හොඳය” කියලා ප්‍රඥාවන්ත සලමොන් රජ අපිට සිහිගැන්නුවා. (දේශනාකාරයා 9:4) කැමැත්තෙන්ම සකස් වෙනවා නම්, හරි ආකල්පයක් ඇතුව ඉන්නවා නම් වයසට ගියත් සතුටින් ඉන්න පුළුවන්.
ස්තුතිවන්ත වෙන්න