බඩු මිල දරාගන්න බැරිද?
තියෙන දේ බෙදාගන්න
වැඩි වෙන බඩු මිලත් එක්ක ඔයාත් ලොකු සටනක් කරනවාද? එහෙමනම් ඔයාට හිතෙයි ‘මටත් නැති කොට මං කොහොමද අනිත් අයට දෙන්නේ’ කියලා. හැබැයි අනිත් අයට දේවල් දෙන එක සල්ලි ප්‍රශ්නවලට හොඳට මූණ දෙන්න උදව් වෙනවා. අරපිරිමැස්මෙන් වැඩ කරන ගමන්ම අනිත් අයට දේවල් දෙන එක කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඒක වැදගත් ඇයි?
පොඩියට හරි අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා. අපි ගැනම හොඳ හැඟීමකුත් ඇති වෙනවා. සමහර වෛද්‍යවරු කියනවා ඒක අපේ ශරීරය, මනස නිරෝගීව තියාගන්නත් උදව් වෙනවා කියලා. උදාහරණයකට මානසික පීඩනය, කනස්සල්ල, රුධිර පීඩනය වගේම ඇඟේපතේ කැක්කුම් වේදනා අඩු කරගන්නත් ඒක උදව් වෙනවා. සුවබර නින්දකටත් ඒක කියාපු බෙහෙතක්.
අපි සල්ලිවලින් හරි වෙන විදිවලින් හරි අනිත් අයට උදව් කළාම අනිත් අය අපිට කරන උදව් භාරගන්න ලේසියි. එංගලන්තයේ ඉන්න හවඩ් කියන දේ බලන්න. “මායි, නෝනායි අනිත් අයට උදව් කරන්න පුළුවන් විදි ගැන නිතරම හිතනවා. ඒ නිසා අපිට උදව්වක් ඕනෙ වෙලාවට අපිට හිතෙන්නේ නැහැ අපි එයාලට කරදරයක් කියලා.” ඇත්ත, අවංක කෙනෙක් දෙයක් දෙන්නේ ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හැබැයි එයා කවදාවත් තනි වෙන්නේ නැහැ. මොකද එයාට කරදරයක් වුණාම උදව්වට එන්න එයා වටේ හොඳ යාළුවෝ ඉන්නවා.
ඔයාට කරන්න පුළුවන් මොනවාද?
තියෙන දෙයින් දෙන්න. ඔයා ළඟ ලොකු දේවල් නැතත් අනිත් අයට දෙන්න පුළුවන් දේවල් ඔයා ළඟත් තියෙයි. සමහරවිට ඒ පොඩි කෑම වේලක් වෙන්න පුළුවන්. උගන්ඩාවේ ඉන්න ඩංකන්ගේ පවුලේ අය හරිම දුප්පත්. හැබැයි අනිත් අයට දේවල් දෙන්න එයාලා හරි ආසයි. ඩංකන් මෙහෙම කියනවා. “ඉරිදා දවස්වලට මායි, නෝනායි කාට හරි එන්න කියනවා අපිත් එක්ක කෑම ටිකක් කන්න. ඒක අපිට ලොකු සතුටක්.”
අනිත් අයට දේවල් දෙද්දී අපේ සීමාව අඳුරගන්න එකත් වැදගත්. මොකද දරන්න බැරි තරමට අනිත් අයට දේවල් දෙන්න ගියොත් පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් දීගන්නත් අපිට බැරි වෙයි.—යෝබ් 17:5.
මෙහෙම කරලා බලන්න. කාට හරි පොඩි කෑමකට නැත්නම් තේ එකක් බොන්න එන්න කියන්න. සමහරවිට ඔයා පාවිච්චියට ගන්නේ නැති දේවල් ගෙදර ඇති. ඒවායින් ප්‍රයෝජනයක් ගනියි කියලා හිතෙන යාළුවෙක්ට, අසල්වැසියෙක්ට ඒවා දුන්නොත් නරකද?
දෙන්න පුළුවන් තවත් දේවල්. අනිත් අය වෙනුවෙන් දෙන සමහර දේවල්වලට සත පහක්වත් යන්නේ නැහැ. උදාහරණයකට එයාලා වෙනුවෙන් කාලය දෙන එක, එයාලට උදව්වක් කරන එක වගේ දේවල්. තව කෙනෙක්ගේ හිත සැනසෙන විදිහට කතා කරන එකත් ඒ කෙනාට දෙන්න පුළුවන් තෑග්ගක්. ඉතින් ඔයාට අනිත් අයව කොච්චර වටිනවාද, ඔයා එයාලට කොච්චර ආදරෙයිද කියලා එයාලට කියන්න.
මෙහෙම කරලා බලන්න. ගෙදරදොරේ වැඩ ටික කරගන්න, කැඩුණු දෙයක් හදාගන්න කාටහරි උදව් කරන්න ඔයාට පුළුවන්ද? කඩේට ගිහින් බඩු ටිකක් ගෙනත් දෙන්න හරි බිලක් ගෙවලා එන්න හරි පුළුවන්ද? එහෙමත් නැත්නම් යාළුවෙක්ට කාඩ් එකක්, මෙසේජ් එකක් යවලා ඔයාට එයාව අමතක වෙලා නැහැ කියලා පෙන්නන්න.
ඔයා දෙන තරමට ඔයාගේ සතුටත් තව වැඩි වෙයි.