ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 20 පරි. 209-219 පි.
  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “පරිශුද්ධ සේවයක්” වෙන්නේ කොහොමද?
  • සහන සේවා කටයුතුවල අරමුණු
  • සහන සේවා කටයුතුවලින් ලැබෙන දිගුකාලීන ප්‍රයෝජන
  • ඔබටත් හවුල් වෙන්න පුළුවන්ද?
  • විපතකින් පසු ලැබෙන සහන සේවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?
    නිතර අසන ප්‍රශ්න
  • 2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • 2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 20 පරි. 209-219 පි.

20වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතු

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

විපත් සිද්ධ වුණාම ප්‍රේමණීයව උපකාර කරයි

1, 2. (අ) යුදයේ හිටිය ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද? (ආ) ඒ අය සහෝදර ප්‍රේමය අද්දැක්කේ කොහොමද?

ක්‍රි.ව. 46දී විතර යූදා දේශයේ ඇති වුණු දරුණු සාගතයක් නිසා කෑමවල මිල ගණන් අහස උසටම නැග්ගා. කෑම වේලක්වත් ගන්න අතේ සල්ලි තිබුණේ නැති නිසා යුදෙව් ක්‍රිස්තියානීන් හිටියේ හාමතෙන්. හැබැයි ඒ අය හිතපු නැති විදිහට යෙහෝවා දෙවි ඒ අයට උදව් කළා. ක්‍රිස්තියානීන් ඊට කලින් කවදාවත් ඒ වගේ දෙයක් අද්දැකලා තිබුණේ නැහැ.

2 සිරියාවේ අන්තියෝකියේ හිටිය යුදෙව් සහ යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට ඒ ගැන ආරංචි වුණාම ඔවුන් සහනාධාර එකතු කරලා බානබස් සහ සාවුල් අතේ ඒවා යෙරුසලමේ වැඩිමහල්ලන්ට යැව්වා. (ක්‍රියා 11:27-30; 12:25 කියවන්න.) අන්තියෝකියේ සහෝදරයන් ඒ විදිහට පෙන්වපු ප්‍රේමය ගැන යුදයේ සහෝදරයන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

3. (අ) අන්තියෝකියේ හිටිය ක්‍රිස්තියානීන්ව අද අපි ආදර්ශයට ගන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (“අපේ පළවෙනි විශාලම සහන සේවා වැඩසටහන” යන කොටුවත් බලන්න.) (ආ) අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?

3 එක පළාතක ජීවත් වුණු ක්‍රිස්තියානීන් තවත් පළාතක ජීවත් වුණු ක්‍රිස්තියානීන් වෙනුවෙන් සහනාධාර යවපු සිද්ධියක් හැටියට බයිබලයේ මුල්ම වතාවට වාර්තා වෙලා තියෙන්නේ ඒ අවස්ථාව ගැනයි. එදා අන්තියෝකියේ හිටිය අපේ සහෝදරයන්ගේ ඒ කදිම ආදර්ශය අදටත් අපි අනුගමනය කරනවා. වෙන පළාතක ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියන් විපතකට මුහුණ දීලා ඉන්නවා කියලා ආරංචි වුණාම අපි පුළුවන් ඉක්මනින් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා.aඒ විදිහට සහන සේවාවන් සපයන එක යෙහෝවා දෙවිට කරන සේවයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපි මුලින්ම මේ ප්‍රශ්න තුනට උත්තර බලමු. සහන සේවා කටයුතු අපේ පරිශුද්ධ සේවයට අයිතියි කියලා කියන්න පුළුවන් ඇයි? සහන සේවා සපයන එකේ අරමුණු මොනවාද? සහන සේවා කටයුතුවලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

“පරිශුද්ධ සේවයක්” වෙන්නේ කොහොමද?

4. දෙවිට කරන සේවය ගැන පාවුල් කොරින්ති සභාවේ අයට කිව්වේ මොනවාද?

4 යෙහෝවා දෙවිට කරන සේවයට අයිති පැති දෙකක් ගැන පාවුල් කොරින්ති සභාවට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළා. පාවුල් ඒ ලියුම ලිව්වේ අභිෂේක ලත් අයට වුණත් ඒකේ සඳහන් වෙන දේවල් “වෙනත් බැටළුවන්ටත්” අදාළයි. (යොහ. 10:16) පාවුල් සඳහන් කරපු විදිහට අපේ සේවයට අයිති එක පැත්තක් තමයි “සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය.” (2 කොරි. 5:18-20) ඒකට දේශනා සේවය සහ මිනිසුන්ට සත්‍යය ගැන උගන්වන එක අයිතියි. (1 තිමෝ. 2:3-6) අපේ සේවයට අයිති අනිත් පැත්ත තමයි අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි කරන දේවල්. පාවුල් ඒක හැඳින්නුවේ “ශුද්ධ තැනැත්තන්ට උපකාර කිරීමේ සැලැස්ම [සේවය]” කියලයි. (2 කොරි. 8:4) “සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය” සහ “ශුද්ධ තැනැත්තන්ට උපකාර කිරීමේ සැලැස්ම” ගැන කතා කරද්දී ඒ තැන් දෙකේදීම පාවුල් පාවිච්චි කළේ “ඩීයාකොනීයා” කියන ග්‍රීක වචනය. ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් මොනවාද?

5. සහන සේවා කටයුතු ගැන කතා කරද්දී පාවුල් ඒක විස්තර කරන්න සේවය කියන වචනය පාවිච්චි කරපු එකේ තියෙන විශේෂත්වය මොකක්ද?

5 ඒ සේවයන් දෙකම විස්තර කරන්න පාවුල් එකම ග්‍රීක වචනය පාවිච්චි කරපු එකෙන් අදහස් වෙන්නේ අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න සහන සේවා සපයන එකත් සභාව මාර්ගයෙන් සිද්ධ වෙන සේවාවන්වලටම අයිති වෙනවා කියන එකයි. කලින් අවස්ථාවක පාවුල් මෙහෙම කියලා තිබුණා. “විවිධාකාර සේවාවන් ඉටු කළත් සිටින්නේ එකම ස්වාමීන්ය. සියලුදෙනා විවිධාකාර වැඩකටයුතු ඉටු කළත් . . . ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය.” (1 කොරි. 12:4-6, 11) සභාව මාර්ගයෙන් සිද්ධ වෙන හැම සේවයක්ම “පරිශුද්ධ සේවයක්” කියලා ඔහු සඳහන් කළා. (රෝම 12:1, 6-8) ඒ නිසා සහන සේවා සපයන එකත් පරිශුද්ධ සේවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. “ශුද්ධ තැනැත්තන්ට යම් උපකාර ලබා දෙන්න” ඔහු තම පෞද්ගලික කාලය කැමැත්තෙන්ම යෙදෙව්වේ ඒ නිසයි.—රෝම 15:25, 26.

6. (අ) සහන සේවා කටයුතු අපි කරන නමස්කාරයට අයිතියි කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) ලෝකෙ පුරාම අපේ සහන සේවා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. (“හදිසි විපතක් සිද්ධ වුණාම කරන්න ඕන දේවල්” යන කොටුව බලන්න.)

6 සහන සේවා කටයුතු යෙහෝවා දෙවිට කරන නමස්කාරයට අයිති වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පාවුල් කොරින්තිවරුන්ට උදව් කළා. ඒක පැහැදිලි කරන්න ඔහු මෙහෙම කිව්වා. ක්‍රිස්තියානීන් අනිත් අයට සහන සේවා සපයන්නේ ඒ අය “ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට යටත්ව සිටින” නිසයි. (2 කොරි. 9:13) ක්‍රිස්තුස් උගන්වලා තියෙන දේවල් ඒ අය අදාළ කරගන්න නිසා අවශ්‍යතාව තියෙන සහෝදර සහෝදරියන්ට ඒ අය උදව් කරනවා. එහෙම කරන්න ඒ අය පෙලඹෙන්නේ “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” නිසයි. (2 කොරි. 9:14; 1 පේතෘ. 4:10) සහෝදරයන්ට සහන සේවා සපයන එක ගැන 1975 ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “මේ විදිහට කරන කාරුණික ක්‍රියාවන් යෙහෝවා දෙවි සහ ක්‍රිස්තුස් හුඟක් අගය කරනවා කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.” ඇත්තෙන්ම සහන සේවා කටයුතු අපේ පරිශුද්ධ සේවයට අයිති හුඟක් වැදගත් අංගයක්.—රෝම 12:1, 7; 2 කොරි. 8:7; හෙබ්‍රෙ. 13:16.

සහන සේවා කටයුතුවල අරමුණු

7, 8. අපි කරන සහන සේවා කටයුතුවල එක අරමුණක් මොකක්ද? පැහැදිලි කරන්න.

7 සහන සේවා සපයන එකේ අරමුණු ගැන පාවුල් කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළා. (2 කොරින්ති 9:11-15 කියවන්න.) “බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වන සේවය” විදිහට හඳුන්වලා තියෙන සහන සේවයේ අරමුණු තුනක් ගැන ඒ ලියුමෙන් දැනගන්න පුළුවන්. ඒ ගැන අපි දැන් බලමු.

8 සහන සේවා කටයුතුවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා. කලින් ඡේදයේ සඳහන් වෙන බයිබල් පද පහේ පාවුල් කී වතාවක් සහෝදරයන්ට යෙහෝවා දෙවි ගැන සඳහන් කළාද කියලා ටිකකට හිතන්න. “දෙවිට ස්තුති දීම” සහ “දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීම” ගැන පාවුල් ඒ අයට මතක් කළා. (2 කොරි. 9:11, 12) ඒ වගේම සහන සේවා නිසා “දෙවිට ප්‍රශංසාව හා ගෞරවය” දෙන්නත් “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” අගය කරන්නත් ක්‍රිස්තියානීන් පෙලඹෙනවා කියලා පාවුල් සඳහන් කළා. (2 කොරි. 9:13, 14) සහන සේවා ගැන කරපු සාකච්ඡාව ඔහු අවසන් කළේ ‘දෙවිට ස්තුති වේවා’ කියලයි.—2 කොරි. 9:15; 1 පේතෘ. 4:11.

9. සමහර අයට සාක්ෂිකරුවන් ගැන හිතපු විදිහ වෙනස් කරගන්න සහන සේවා කටයුතු උදව් වුණේ කොහොමද? උදාහරණයක් දෙන්න.

9 සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් ඔහුගේ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වන්නත් පුළුවන් කියලා පාවුල් වගේම අද ඉන්න ක්‍රිස්තියානීනුත් පිළිගන්නවා. (1 කොරි. 10:31; තීත. 2:10) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් මිනිසුන්ට තියෙන වැරදි අදහස් නැති කරගන්න සහන සේවා කටයුතු උදව් වෙලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නැති කාන්තාවක් එයාගේ ගෙදර දොරේ ගහලා තිබුණා “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් තට්ටු කරන්න එපා” කියලා. දවසක් එයා හිටිය පළාතේ චණ්ඩ මාරුතයක් ඇති වුණා. ඒ කාලෙදී එයා දැක්කා අලාභහානි වෙලා තිබුණු ගෙයක් හදන්න ඇවිත් හිටිය සෙනඟක් අනිත් අයට වඩා කොයි තරම් වෙනස්ද කියලා. ඒ අය කවුද කියලා දැනගන්න එතැනට ගියාම එයා දැනගෙන තියෙනවා එතැන ස්වේච්ඡා සේවකයන් විදිහට වැඩ කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. ඒ ගැන දැනගත්තාම එයා කොයි තරම් පුදුම වුණාද කියනවා නම් “මං මෙච්චර කල් ඔයගොල්ලන් ගැන හිතාගෙන හිටියේ වැරදි විදිහටනේ” කියලා එයා සාක්ෂිකරුවන්ට කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී දොරේ ගහලා තිබුණු දැන්වීමත් ගලවලා දැම්මා.

10, 11. (අ) සහන සේවා කටයුතුවලින් සහෝදරයන්ගේ අවශ්‍යතා ඉක්මනින්ම ඉටු වෙනවා කියලා ඔප්පු වෙන්නේ මොන උදාහරණවලින්ද? (ආ) සහන සේවකයන්ට උපකාරයක් වුණේ මොන සඟරාවද? (“සහන සේවා කටයුතුවලට පහසුවක් වුණු සඟරාවක්” යන කොටුව බලන්න.)

10 සහන සේවා කටයුතුවලින් සහෝදර සහෝදරියන්ගේ ‘අවශ්‍යතා හොඳින් ඉටු වෙනවා.’ (2 කොරි. 9:12) අපේ සහෝදර සහෝදරියන් මොකක් හරි විපතකට මුහුණ දීලා තියෙනවා කියලා දැනගත්තාම අපි පුළුවන් ඉක්මනින් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ ඇයි? ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වන අපි හරියට “එකම ශරීරයක්” වගෙයි. ‘එක අවයවයකට වේදනාවක් ඇති වෙද්දී අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනෙනවා.’ (1 කොරි. 12:20, 26) දෙවිගේ සෙනඟ අතරේ ඉන්න හුඟක් අය තමන්ගේ වැඩ පැත්තකට දාලා විපතට පත් වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් කරන්න යන්නේ ඒ අය ගැන තියෙන දයානුකම්පාව සහ සහෝදර ස්නේහය නිසයි. (යාකො. 2:15, 16) උදාහරණයක් බලන්න. 2011දී ඇති වුණු සුනාමි තත්වය නිසා ජපානයේ නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කරන්න “අද්දැකීම් තියෙන සහෝදරයන් කිහිපදෙනෙක්ව” අවශ්‍යයි කියලා එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලය එහේ තිබුණු නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටුවලට දැනුම් දීලා තියෙනවා. සති කිහිපයක් ඇතුළත 600දෙනෙක් විතර තමන්ගේම වියදමින් ජපානයට ගිහින් ඒ වැඩවලට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් ඒ ගැන කිව්වේ “අපිට ඒක අදහාගන්නත් බැරි වුණා” කියලයි. ජපානයේ ඉන්න සහෝදරයෙක් ස්වේච්ඡා සේවකයෙක්ගෙන් අහලා තියෙනවා මෙහෙට ඇවිත් උදව් කරන්න හිතුණේ ඇයි කියලා. එතකොට ඒ සහෝදරයා මෙහෙම කියලා තියෙනවා. “ජපානයේ ඉන්න සහෝදරයනුත් ‘අපේම ශරීරයේ’ කොටසක් නිසා ඒ අය දුකෙන් ඉද්දී අපිටත් ඒක දැනෙනවා.” සහන සේවාවල හවුල් වෙන අය තමන්ගේ සහෝදරයන්ට උදව් කරන්න සමහර අවස්ථාවලදී ජීවිතයත් පරදුවේ තියලා තියෙනවා.b—1 යොහ. 3:16.

1946දී ස්විට්සර්ලන්තයේ ක්‍රිස්තියානි සහෝදරියක් සෙසු සහෝදර සහෝදරියන් වෙනුවෙන් සහනාධාර යවන්න සූදානම් කරයි

1946දී ස්විට්සර්ලන්තය

අපේ පළවෙනි විශාලම සහන සේවා වැඩසටහන

දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙලා මාස කිහිපයකින් ඒ කියන්නේ 1945 සැප්තැම්බර් මාසෙදී සහෝදර නෝර් “මධ්‍යම යුරෝපයේ සහෝදරයන්ට සහනාධාර” යවන්න සංවිධානය කරපු විශේෂ වැඩසටහනක් ගැන නිවේදනය කළා.

සති කිහිපයකට පස්සේ එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ තවත් රටවල හිටිය සාක්ෂිකරුවන් ඇඳුම් සහ කෑම එකතු කරන්න පටන්ගත්තා. 1946 ජනවාරි මාසයේ ඉඳන් ඒවා ඉතාලිය, එංගලන්තය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, චීනය, චෙකොස්ලෝවැකියාව, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, නෝර්වේ, පිලිපීනය, පෝලන්තය, ප්‍රංශය, බල්ගේරියාව, බෙල්ජියම, රුමේනියාව, හංගේරියාව සහ ෆින්ලන්තය කියන රටවල හිටිය සහෝදරයන්ට යවලා තියෙනවා.

අවුරුදු දෙකහමාරක් පුරාම ඒ විදිහට නැව්වලින් සහනාධාර යවලා තියෙනවා. සහෝදර සහෝදරියන් 85,000දෙනෙක් විතර යුද්ධයෙන් පීඩා විඳපු සාක්ෂිකරුවන්ට සහනාධාර දෙන්න ඉදිරිපත් වුණා. ඒ සහනාධාරවලට ආහාර කිලෝග්‍රෑම් 3,00,000ක් විතර, ඇඳුම් කිලෝග්‍රෑම් 4,50,000ක් විතර සහ සපත්තු කුට්ටම් 1,24,000ක් අයිති වුණා. 1948 අගෝස්තු මාසයේදී අවසන් වුණු ඒ වැඩසටහන ගැන 1949 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. “අපේ සහෝදර සහෝදරියන් එකිනෙකාට කොයි තරම් ආදරය කරනවාද කියලා මේකෙන් හොඳින්ම පැහැදිලි වුණා. ඒ විදිහට සහනාධාර එව්වාම සහෝදරයන්ට නමස්කාර කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඒවා එවපු අය තේරුම් අරන් හිටියා. ඒ අය සහනාධාර දුන්නේ ස්වාමීන්ව ගෞරවයට පත් කරන්න. ඇත්තෙන්ම ඒ විදිහට සහෝදරයන්ට උදව් කරන්න ලැබුණු එක ඒ අය සැලකුවේ ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් විදිහටයි.” ඒ වැඩසටහනෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වුණා. සහෝදර සහෝදරියන්ට අවශ්‍ය දේවල් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන් අතරේ තිබුණු එක්සත්කමත් වැඩි වුණා.

11 සාක්ෂිකරුවන් නොවන අයත් අපි කරන සහන සේවා කටයුතු අගය කරනවා. උදාහරණයක් බලන්න. 2013දී එක්සත් ජනපදයේ ආර්කන්සාස් ප්‍රාන්තයේ ඇති වුණු විපතක් නිසා එහේ අයට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තිබුණු සාක්ෂිකරුවන් ගැන එක පුවත්පතක මෙහෙම සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳින් සංවිධානය වෙලා ඉන්න සෙනඟක් නිසා විපතක් වුණාම ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා ඒ අය දන්නවා. ඒ නිසා ඒ වගේ වෙලාවකදී ඒ අය හරිම දක්ෂ විදිහට අවශ්‍ය දේවල් ඉක්මනින්ම කරනවා.” ඇත්තෙන්ම පාවුල් කියපු විදිහටම අපිත් අපේ සහෝදරයන්ගේ “අවශ්‍යතා හොඳින් ඉටු කරනවා” කියලා කියන්න පුළුවන්.

12-14. (අ) විපත්වලට මුහුණ දෙන අයට නමස්කාර කටයුතුවලට හවුල් වෙන්න උදව් කරන එක මොන තරම් වැදගත්ද? (ආ) නමස්කාර කටයුතුවලට හවුල් වෙන එකේ වැදගත්කම කාවද්දන අද්දැකීම් මොනවාද?

12 විපත්වලට මුහුණ දෙන අයට ආයෙත් ඉක්මනින්ම නමස්කාර කටයුතුවල හවුල් වෙන්න සහන සේවා කටයුතු උදව් වෙනවා. ඒක වැදගත් ඇයි? පාවුල් කිව්වේ සහන සේවාවලින් ප්‍රයෝජන ලබන අය “දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීමට” පෙලඹෙනවා කියලයි. (2 කොරි. 9:12ආ) ඒ වගේ අයට දෙවිට ස්තුති කරන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ පුළුවන් ඉක්මනින් ආයෙත් නමස්කාර කටයුතුවලට හවුල් වෙන එක නෙවෙයිද? (ෆිලි. 1:10) 1945 ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණු මේ දේ බලන්න. ‘සම්මාදම් එකතු කරන වැඩේට පාවුල් කැමති වුණා. මොකද ඒකෙන් ක්‍රිස්තියානි සහෝදරයන්ගේ අවශ්‍යතා ඉටු වෙන නිසා උද්‍යෝගයෙන් දේවසේවයේ යන්න ඒ අයට පුළුවන් වෙනවා.’ අද අපිත් උත්සාහ කරන්නේ ඒ දේම කරන්න තමයි. විපතකට මුහුණ දීලා ඉන්න සහෝදරයන් දේශනා සේවයේ හවුල් වෙද්දී දුකින් ඉන්න මිනිසුන්ව සනසන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක ඒ අයටත් ශක්තියක්.—2 කොරින්ති 1:3, 4 කියවන්න.

13 විපත්වලට මුහුණ දීලා සහන සේවාවලින් ප්‍රයෝජන ලබපු අය ඉක්මනින්ම ආයෙත් දේශනා සේවයේ හවුල් වුණු නිසා ප්‍රයෝජන ලබලා තියෙනවා. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “දේශනා සේවයේ ගිය එක අපේ පවුලේ හැමෝටම ලොකු ආශීර්වාදයක් වුණා. අපේම කාරණා ගැන හිතහිතා ළත වෙන්නේ නැතුව ඉන්න, සේවයේ ගිහින් අනිත් අයව සනසවපු එක අපිට උදව්වක් වුණා.” එක සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “සිද්ධ වුණු විපත ගැන මොහොතකට හරි අමතක කරන්න නමස්කාර කටයුතුවලට හවුල් වුණු එක මට උදව්වක් වුණා. මට ලොකු ආරක්ෂාවක් දැනුණා.” තවත් සහෝදරියක් මෙහෙම කිව්වා. “වෙච්ච දේවල් වෙනස් කරන්න අපි කාටත් බැහැ. හැබැයි අපි දේශනා සේවයේ ගිහින් අපේ බලාපොරොත්තුව ගැන අනිත් අයත් එක්ක කතා කරපු නිසා පාරාදීසය ගැන අපිට තිබුණු බලාපොරොත්තුව තවත් ශක්තිමත් වුණා.”

14 විපත්වලට මුහුණ දෙන අය පුළුවන් ඉක්මනින් රැස්වීම්වලට සහභාගි වෙන එකත් හුඟක් වැදගත්. සහෝදරි කියොකොගේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙනවා. වයස අවුරුදු පනස් ගණන්වල ඉද්දී සහෝදරි කියොකො සුනාමියකට මුහුණ දීපු නිසා අන්තිමේදී එයාට ඉතුරු වුණේ ඇඳන් හිටිය ඇඳුමයි සෙරෙප්පු දෙකයි විතරයි. ඒ නිසා කරන්න ඕන මොනවාද කියලවත් එයාට හිතාගන්න බැරි වුණා. හැබැයි එක වැඩිමහල්ලෙක් කියලා තියෙනවා ඒ සතියට නියමිත රැස්වීම ඒ සහෝදරයාගේ වාහනේ ඉඳන් පවත්වනවා කියලා. ඒ ගැන කියොකො කිව්වේ මෙහෙමයි. “වැඩිමහල් සහෝදරයයි එයාගේ බිරිඳයි මමයි තව සහෝදරියකුයි තමයි එදා ඒ රැස්වීමට හිටියේ. ඒ රැස්වීම තිබ්බේ ටික වෙලාවකට වුණත් ඒකෙන් මගේ මනසට ලොකු සහනයක් දැනුණා. මම මුහුණ දීපු කටුක අද්දැකීමත් මට අමතක වුණා. අපේ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එකෙන් කොයි තරම් ලොකු ශක්තියක් ලැබෙනවාද කියලා එදා මං අද්දැක්කා.” තවත් විපතකට මුහුණ දීපු සහෝදරියක් රැස්වීම්වලින් ලබපු ප්‍රයෝජන ගැන මෙහෙම කිව්වා. “ඒ නිසා තමයි මට මගේ දුක දරාගන්න පුළුවන් වුණේ.”—රෝම 1:11, 12; 12:12.

සහන සේවා කටයුතුවලින් ලැබෙන දිගුකාලීන ප්‍රයෝජන

15, 16. (අ) සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී ඒකෙන් කොරින්ති සභාවේ අය වගේම අනිත් ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? (ආ) සහන සේවාවලින් අදටත් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 සහන සේවාවලට හවුල් වෙද්දී ඒකෙන් කොරින්තිවරුන් සහ අනිත් ක්‍රිස්තියානීන් ලබන ප්‍රයෝජන ගැනත් පාවුල් සඳහන් කළා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කරන ඔවුහු [සහනාධාර ලබපු යෙරුසලමේ හිටිය යුදෙව්වන්], කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව අද්දකින ඔබව දැකීමටත් මහත් ආශාවකින් සිටිති.” (2 කොරි. 9:14) ඔව්, කොරින්තියේ හිටිය ක්‍රිස්තියානීන් සහනාධාර යවපු නිසා යුදෙව් ක්‍රිස්තියානීන් පෙලඹුණා ඒ අය වෙනුවෙනුත් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් වෙනුවෙනුත් යාච්ඤා කරන්න. ඒ වගේම යුදෙව් ක්‍රිස්තියානීන්ට ඒ අය ගැන ලොකු ආදරයකුත් ඇති වුණා.

16 සහන සේවාවලින් ලැබෙන ප්‍රයෝජන ගැන 1945 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “අවශ්‍යතාව තියෙන සහෝදරයන් වෙනුවෙන් හැකියාව තියෙන සහෝදරයන් උදව් කරද්දී ඒ අය අතර තියෙන බැඳීම කොයි තරම් ශක්තිමත් වෙනවාද!” සහන සේවා කටයුතුවලට හවුල් වෙන අය ඒක අද්දැකලා තියෙනවා. ගංවතුරෙන් විපතට පත් වුණු අයට උදව් කරන්න ගිය වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “සහන සේවාවලට හවුල් වෙද්දී සහෝදරයන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.” සහන සේවා නිසා ප්‍රයෝජන ලබපු සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “අපේ සහෝදරත්වය තමයි මේ පොළොවේ දැනට අපිට තියෙන පාරාදීසය.”—හිතෝපදේශ 17:17 කියවන්න.

17. (අ) යෙසායා 41:13 සඳහන් දේ සහන සේවා කටයුතුවලට අදාළ වෙන්නේ කොහොමද? (ආ) සහන සේවය නිසා යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙලා තියෙන විදිහ ගැනත් සහෝදරයන් අතර තියෙන බැඳීම ශක්තිමත් වෙන විදිහ ගැනත් පැහැදිලි කරන්න. (“සහනය සලසන ස්වේච්ඡා සේවකයන්” යන කොටුවත් බලන්න.)

17 විපත්වලට මුහුණ දෙන අය සහන සේවාවලින් ප්‍රයෝජන ලබද්දී දෙවි දීලා තියෙන මේ පොරොන්දුව මොන තරම් ඇත්තක්ද කියලා ඒ අය අද්දකිනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.” (යෙසා. 41:13) ඒ ගැන එක සහෝදරියක් කියපු දේ බලන්න. “සිද්ධ වෙලා තිබුණු හානිය නිසා මම හිටියේ කිසිම දෙයක් කරකියාගන්න බැරුවයි. හැබැයි යෙහෝවා දෙවි මගේ අතින් අල්ලගත්තා. සහෝදරයන් මට උදව් කරපු විදිහ නම් මට වචනෙන් විස්තර කරන්න බැහැ.” විපතකට මුහුණ දීපු ප්‍රදේශයක හිටිය වැඩිමහල්ලන් දෙන්නෙක් සභාවේ හැමෝටම හැඟුණු විදිහ ගැන කිව්වේ මෙහෙමයි. “භූමිකම්පාව නිසා අපි හුඟක් දුක් වින්දත් යෙහෝවා දෙවි අපිට උපකාර කරන විදිහ අපි අපේ සහෝදරයන්ගෙන් අද්දැක්කා. සහන සේවා ගැන අපි කලින් කියවලා තිබුණා. හැබැයි ඒක ඇත්තටම සිද්ධ වෙන විදිහ අපි අපේ ඇස් පනාපිටම දැක්කා.”

පීටර් ජොන්සන් නමස්කාරයට සම්බන්ධ ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතියකට හවුල් වෙමින්

ඔහුගේ ජීවිතය වෙනස් වුණා

සහන සේවා කටයුතුවල හවුල් වෙන එකෙන් යෞවනයන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අවුරුදු 18දී සහන සේවා කටයුතුවල හවුල් වුණු පීටර් ජොන්සන් ඒ ගැන කියපු දේ බලන්න. “සහන සේවා කටයුතුවලට හවුල් වෙන අය වගේම ඒකෙන් ප්‍රයෝජන ලබන අයත් කොයි තරම් ලොකු සතුටක් අද්දකිනවාද කියලා මං දැක්කා. ඒක මගේ හිතට තදින්ම දැනුණා. ඒ නිසා මගේ උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරන්න මං අරන් තිබුණු අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා.” ඒකෙන් පස්සේ පීටර් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ වගේම බෙතෙල් එකේ වැඩ කරන්නත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටුවක සේවය කරන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. ඒ ගැන පීටර් කිව්වේ මෙහෙමයි. “1974දී සහන සේවා කටයුතුවලට හවුල් වුණු එකෙන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.” යෞවන දරුවෙනි, පීටර්ගේ ඒ කදිම ආදර්ශය අනුගමනය කරන්න ඔයාලත් කැමතිද? සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී දෙවිගේ සේවකයෙක් විදිහට විවිධ පැවරුම් ඉටු කරන්න ඔයාලටත් අවස්ථාව ලැබෙයි.

ඔබටත් හවුල් වෙන්න පුළුවන්ද?

18. සහන සේවා කටයුතුවලට හවුල් වෙන්න කැමති නම් ඔබට කරන්න පුළුවන් මොනවාද? (“ඔහුගේ ජීවිතය වෙනස් වුණා” යන කොටුවත් බලන්න.)

18 සහන සේවා කටයුතුවල හවුල් වෙන එකෙන් ලැබෙන සතුට අද්දකින්න ඔබත් කැමතිද? එහෙනම් ඒ ගැන ඔබේ සභාවේ වැඩිමහල්ලන් එක්ක කතා කරන්න.c සහන සේවා කටයුතු ගැන අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක් කිව්වා “සහන සේවා කමිටුවක මඟ පෙන්වීමක් නැතුව කවදාවත් ආපදාවක් වෙලා තියෙන තැනකට යන්න එපා” කියලා. ඒක සහන සේවා කටයුතු පිළිවෙළකට කරගෙන යන්න උදව් වෙනවා.

19. සහන සේවා කටයුතුවලට හවුල් වෙන අය නිසා අපි ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

19 සහන සේවා කටයුතුවල හවුල් වෙද්දී “එකිනෙකාට ප්‍රේම කළ යුතුයි” කියලා යේසුස් දීපු ආඥාවට කීකරු වෙන්න පුළුවන් වෙනවා. එහෙම කරද්දී අපි ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් කියලත් ඔප්පු වෙනවා. (යොහ. 13:34, 35) දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත අය විපත්වලට මුහුණ දෙද්දී ඒ අයට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අය යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා. ඒ වගේ හුඟදෙනෙක් අපි අතරේ ඉන්න එක මොන තරම් ලොකු ආශීර්වාදයක්ද!

a මේ පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ සාක්ෂිකරුවන් වෙනුවෙන් කරලා තියෙන සහන සේවා කටයුතු ගැනයි. හැබැයි සාක්ෂිකරුවන් නොවන අයත් ඒකෙන් ප්‍රයෝජන ලබලා තියෙනවා.—ගලා. 6:10.

b 1994 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 23-27 පිටුවල සඳහන් “බොස්නියාවේ අපගේ ඇදහිලිවන්තයන්ගේ පවුලට ආධාර කිරීම” යන ලිපිය බලන්න.

c සමහර රටවල සහන සේවා කටයුතුවලට හුඟක් අවස්ථාවලදී හවුල් කරගන්නේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන කණ්ඩායම්වල සේවය කරන අයවයි.

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • සහන සේවා කටයුතු දෙවිට කරන පරිශුද්ධ සේවයට අයිතියි කියලා අපි දන්නේ කොහොමද?

  • සහන සේවාවල අරමුණු තුනක් මොනවාද?

  • සහන සේවාවලින් ලැබෙන දිගුකාලීන ප්‍රයෝජන මොනවාද?

  • යොහන් 13:34 පදයේ යේසුස් දීපු ආඥාව සහන සේවා කටයුතුවලට අදාළ වෙන්නේ කොහොමද?

සහනය සලසන ස්වේච්ඡා සේවකයන්

මධ්‍යම සහ බටහිර අප්‍රිකාව

ගෝත්‍රික අරගල නිසා 1994දී රුවන්ඩාවේ මිනිසුන් 8,00,000ක් විතර මරලා දැම්මා. ඒ කනගාටුදායක සිද්ධියෙන් පස්සේ මධ්‍යම අප්‍රිකාවේ තවත් රටවලත් ප්‍රශ්න ඇති වුණු නිසා හුඟක් අය සරණාගත කඳවුරුවලට ගිහින් තියෙනවා. එහේ අසරණ තත්වයට පත් වෙලා හිටිය සාක්ෂිකරුවන්ට උදව් කරන්න ප්‍රංශය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය කියන රටවල සාක්ෂිකරුවන් ටොන් 300ක් විතර ආහාර, ඇඳුම්, බෙහෙත්, කූඩාරම් සහ තවත් දේවල් එවලා තිබුණා. සති කිහිපයක් ඇතුළත ඒවා සහෝදරයන්ට දීලා තියෙනවා.

ඒ වගේම අප්‍රිකාවේ සිවිල් යුද්ධ, සාගත සහ වසංගත නිසා අසරණ වුණු සාක්ෂිකරුවන්ට උදව් කරන්න සාමාජිකයන් දහදෙනෙක් ඇතුළත් වෛද්‍ය කණ්ඩායමක් ප්‍රංශයෙන් ඇවිත් තියෙනවා. ඒ කණ්ඩායමේ ඉන්න වෛද්‍යවරුන් සහ හෙදියන් හැමෝම සාක්ෂිකරුවන්. පහුගිය අවුරුදු දෙකේදී විතරක් ඒ අය වෛද්‍ය පරීක්ෂණ 10,000කට වඩා කරලා තියෙනවා. ඒ හැම දේකින්ම යෙහෝවා දෙවිවත් ඔහුගේ සංවිධානයත් ප්‍රශංසාවට පත් වෙලා තියෙනවා. එක හෙදියක් කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “අපේ සහෝදර සහෝදරියන්ට අපි උදව් කරන්න යද්දී අවට ඉන්න මිනිස්සු හරිම ගෞරවයෙන් මෙහෙම කියනවා. ‘මේ අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, ඒ අය ඇවිත් තියෙන්නේ එයාලගේ සහෝදරයන්ට උදව් කරන්න.’” එක හෙදියක් සහෝදරියකට සාත්තු කළාට පස්සේ ඒ සහෝදරි මෙහෙම කියලා තියෙනවා. “මගේ සහෝදරිය ඔයාට හුඟක් ස්තුතියි. බොහොම ස්තුතියි යෙහෝවා දෙවියනි!”

සමහර අවස්ථාවලදී සිද්ධ වෙන හදිසි අනතුරු නිසාත් සහන සේවාවන් වුවමනා වෙනවා. උදාහරණයක් බලන්න. 2012දී වුණු රිය අනතුරක් නිසා නයිජීරියාවේ පුංචි සභාවක හිටිය සාක්ෂිකරුවන් 13දෙනෙක් මැරුණා. තවත් 54දෙනෙක්ට බරපතළ විදිහට තුවාල වුණා. ඒ නිසා සහන සේවා කමිටුවකින් ඒ අයව දවස පුරාම බලාගන්න ඉක්මනින්ම අවශ්‍ය පියවර ගත්තා. අපේ සහෝදර සහෝදරියන්ව බලාගන්න විදිහ දැකපු කාන්තාවක් එයාගේ ආගමේ පාස්ටර්ට කෝල් කරලා මෙහෙම කියලා තියෙනවා. “මාව බලන්න අපේ පල්ලියේ එක් කෙනෙක්වත් ආවේ නැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොන තරම් ආදරයකින් ඒ අයගේ සෙනඟව බලාගන්නවාද කියලා මෙහෙට ඇවිත් බලන්න.”

ඒ සභාවේ හිටිය අය සිද්ධ වුණු විපත ගැන හුඟක් දුක් වුණත් අනිත් සහෝදර සහෝදරියන් පෙන්වපු ප්‍රේමය නිසා ඔවුන් ලොකු සහනයක් අද්දැක්කා. සහන සේවා සපයන්න ඇවිත් හිටිය අය දුකින් හිටිය අයව සනසන්න කොයි තරම් දේවල් කළාද කියලා දැකපු නිසා කලින්ටත් වඩා වැඩියෙන් දේශනා සේවයේ හවුල් වෙන්න ඒ සභාවේ ඉන්න අය පෙලඹුණා. ඒ අනතුර වෙන්න කලින් ඒ සභාවේ හිටියේ ප්‍රචාරකයන් 35දෙනයි. හැබැයි අවුරුද්දක් ඇතුළත ප්‍රචාරකයන්ගේ ගණන 60ක් වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාව

2013දී ක්වීන්ස්ලන්තයේ ඇති වුණු ගංවතුරක් නිසා සාක්ෂිකරුවන් 70කට ඉන්න හිටින්න තැන් නැති වුණා. ඒ විපතට මුහුණ දීපු මාක් සහ රොන්ඩ එයාලගේ දුවත් එක්ක සහන කඳවුරකට ගිහින් තියෙනවා. එතැන “ඉඳගන්නවත් ඉඩක් තිබුණේ නැහැ” කියලා රොන්ඩ කිව්වා. ඒ මදිවට නිතරම ඇහුණු හෙලිකොප්ටර්වල සද්දේ නිසා එතැන තිබුණු කලබලකාරී ගතිය තවත් වැඩි වෙලා. ඒ හැම දෙයක් ගැනම කනස්සල්ලෙන් හිටිය රොන්ඩ, මාක්ගෙන් අහලා තියෙනවා “දැන් අපි මොකද කරන්නේ” කියලා. ඒ වෙලාවේදී මාක් යෙහෝවා දෙවිට යාච්ඤා කරලා තියෙනවා. ඊටපස්සේ වුණු දේ ගැන රොන්ඩ කියපු දේ බලන්න. “විනාඩි 30කට විතර පස්සේ අපි හිටිය තැනට කාර් එකක් ආවා. ඒකේ හිටියේ අපේ සහෝදරයන් තුන්දෙනෙක්. ඒ අය අපිව දැක්කාම මෙහෙම කිව්වා. ‘අපි ආවේ ඔයාලව එක්කන් යන්න. ඔයාලට පුළුවන් අපේ සහෝදරයෙක්ගේ ගෙදර නවතින්න.’” ඒ ගැන තමන්ට හැඟුණු විදිහ රොන්ඩ කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සංවිධානය අපි ගැන කොයි තරම් සැලකිලිමත් වෙනවාද කියලා අපිට තේරුණා. හැබැයි ඒ වෙලාවේදී අපිට දැනුණු විදිහ විස්තර කරන්න නම් වචන නැහැ.”

ඒ විපතට මුහුණ දීපු සහෝදරයන්ට උදව් කරන්න ස්වේච්ඡා සේවකයන් 250කට වඩා වැඩිදෙනෙක් ගිහින් තියෙනවා. ඒ ගැන වැඩිහිටි සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “උදව් කරන්න ආපු කණ්ඩායමේ හිටිය සාක්ෂිකරුවන් වැඩ කළේ හරියට කඩියෝ වගේ. හරිම ඉක්මනට මගේ ගේ අස්පස් කළා. ඒ අය අපිට උදව් කරපු විදිහ නම් මටයි මගේ නෝනටයි කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

බ්‍රසීලය

2008දී සිද්ධ වුණු නාය යෑමක් නිසා සාන්ත කතරිනා කියන ප්‍රාන්තයේ හිටිය මිනිසුන් 80,000කට විතර ගෙවල් දාලා යන්න වුණා. එක පුද්ගලයෙක් කිව්වේ “ඒක හරියට මඩයි ගසුයි එකතු වෙලා ආපු සුනාමියක් වගේ” කියලයි. ඒකට මුහුණ දීපු සමහර සහෝදරයන් සමුළු ශාලාවක නතර වෙලා තියෙනවා. “ඒ අයට ඉතුරු වෙලා තිබුණේ ඒ අය ඇඳගෙන හිටිය ඇඳුම් විතරයි, ඒවත් මඩින් නෑවිලයි තිබුණේ” කියලා ඒ ශාලාව බලාගත්ත සහෝදරයා කිව්වා. එක සහෝදරියක් කියපු මේ දේ බලන්න. “තත්පර ගාණකින් අපේ ගේ විනාශ වෙන විදිහ බලාගෙන ඉද්දී මට ලොකු වේදනාවක් දැනුණා. හැබැයි අපේ සහෝදර සහෝදරියන් අපිව සනසපු විදිහ මට අද වගේ මතකයි. හුඟක් අය අපිට හරිම ආදරෙන් සැලකුවා. ස්වර්ගයේ වස්තු රැස් කරන එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න ඒ අද්දැකීම මට උදව් වුණා.”

බ්‍රසීලයේ විපතට පත් වෙලා ඉන්න අය වෙනුවෙන් සහන සේවා කටයුතු සංවිධානය කරමින් අවශ්‍ය දේවල් බෙදාහරිමින් ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

2009දී සහනාධාර සපයන මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරපු බ්‍රසීලයේ සාන්ත කතරිනාවල සමුළු ශාලාව

රියෝ ඩි ජැනිරෝ නගරයට කිට්ටුවෙන් තියෙන කඳුකර පළාතක නිතරම වගේ නාය යෑම් සිද්ධ වෙනවා. ඒ වගේ තත්වයන්වලදී ඉක්මනින්ම උදව් කරන්න පුළුවන් වෙන විදිහට අපේ සහෝදරයන් සහන සේවා කමිටුවක් සංවිධානය කළා. නාය යෑමක් ඇති වෙයි කියලා අනතුරු ඇඟවීමක් ලැබුණොත් ඒ ගැන දැනුම් දෙන්න පත් කරලා තිබුණු සහෝදරයන් ඉක්මනින්ම ඒ ගැන සහන සේවා කමිටුවට දැනුම් දෙනවා. එතකොට ස්වේච්ඡා සේවකයන් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මානුෂීය සේවය” කියලා සඳහන් කරපු ට්‍රක් රථවල නැඟලා ඉක්මනින්ම එතැනට යනවා. කරන්න ඕන දේවල් ගැන ඒ අයට හොඳින්ම පුහුණු කරලයි තියෙන්නේ. සාක්ෂිකරුවන් කියලා හඳුනාගන්න පුළුවන් වෙන්න ඒ අයට විශේෂ ඇඳුමක් දීලා තියෙනවා. ඒ අය රෝහල් සබඳතා කමිටුවේ අයත් එක්ක එකතු වෙලා විපතට පත් වුණු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා. සහන සේවාවල වැඩ කරන අය කෑම, වතුර, බෙහෙත්, ඇඳුම් වගේම පිරිසිදු කරන්න අවශ්‍ය දේවලුත් අරගෙන එනවා. මඩවලින් නෑවිලා තියෙන ගෙයක් සුද්ද කරන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මෑතකදී සිද්ධ වුණු එක නාය යෑමකට පස්සේ ස්වේච්ඡා සේවකයන් 60දෙනෙක් එක ගෙදරකින් ට්‍රක් රථ හතරක් පිරෙන්න මඩ අයින් කළා.

හදිසි විපතකට සූදානම් වීම

විපතක් වෙන්න කලින් කරන්න ඕන දේවල් ගැන වගේම විපතකට මුහුණ දුන්නාම කරන්න ඕන දේවල් ගැන සභාවල ඉන්න වැඩිමහල්ලන්ව සහ සංචාරක සේවකයන්ව දැනුවත් කරන්න කියලා පාලක මණ්ඩලය හැම ශාඛා කාර්යාලයකටම මඟ පෙන්වලා තියෙනවා. උදාහරණයකට සභාවේ ඉන්න හැම සාමාජිකයෙකුගේම දුරකථන අංකය සහ ලිපිනය වැඩිමහල්ලන් ළඟ තියෙන්න ඕනේ.

හදිසි විපතක් සිද්ධ වුණාම කරන්න ඕන දේවල්

  1. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ප්‍රචාරකයන් විදිහට සේවය කරන පවුලක් ගැන සොයා බලයි

    සභාවේ වැඩිමහල්ලන් හැම ප්‍රචාරකයෙක් ගැනම හොයලා බලනවා

  2. හැම තොරතුරක්ම වැඩිමහල්ලන් සභාවේ සම්බන්ධීකාරකට දැනුම් දෙනවා

  3. හදිසි විපතක් වුණාම සභාවල සම්බන්ධීකාරකයන්, සංචාරක සේවකයන්, ශාඛා කාර්යාලයෙන් පත් කරලා තියෙන සහෝදරයන් සහ ශාඛා කාර්යාලයේ සහෝදරයන් අදහස් හුවමාරු කරගනියි

    සම්බන්ධීකාරක සංචාරක සේවකයන්ට සහ ශාඛා කාර්යාලයෙන් ඒ සඳහා පත් කරලා තියෙන සහෝදරයන්ට තොරතුරු දැනුම් දෙනවා

  4. ආහාර සහ වතුර ලබා දෙනවා

    පුළුවන් තරම් ඉක්මනින්ම ආහාර, වතුර, නවාතැන්, වෛද්‍ය ප්‍රතිකාර, සැනසීම සහ දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න අවශ්‍ය උපකාර ලබා දෙනවා

  5. සහන සේවා අවශ්‍යතා ගැන එවන වාර්තාවන් සලකලා බලයි

    ශාඛා කාර්යාලය සිද්ධ වුණු විපත ගැන තොරතුරු සහ අවශ්‍ය කරන දේවල් ගැන පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුවට දැනුම් දෙනවා

  6. සහනාධාර බෙදා දෙයි

    සහන සේවා කමිටුව සහනාධාර ලබා දෙන්න සැලසුම් කරනවා. ඒ වගේම විපතට පත් වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට ආපහු සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න අවශ්‍ය උපකාර දෙනවා

  7. පියාසර කරන ගුවන්යානයක්

    සම්බන්ධීකාරකයන්ගේ කමිටුව ඒ තොරතුරු සලකලා බලලා උපකාර අවශ්‍ය නම් වෙන රටවලින් ස්වේච්ඡා සේවකයන්ව එවන්න සැලසුම් කරනවා

සහන සේවා කටයුතුවලට පහසුවක් වුණු සඟරාවක්

සාක්ෂිකරුවන්ගේ සහන සේවා කටයුතු ගැන පළ වුණු සඟරාවේ කවරය

2013 ජූනි මාසයේදී සාක්ෂිකරුවන්ගේ සහන සේවා කටයුතු ගැන විස්තර කරන සඟරාවක් ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් වුණා. ඒක විශේෂයෙන්ම සකස් කරලා තිබුණේ එක්සත් ජනපදයේ සහන සේවා කටයුතු සංවිධානය කරන රජයේ සේවකයන් වෙනුවෙන්. 1940 මැදභාගයේ ඉඳන් සාක්ෂිකරුවන් කරලා තිබුණු සමහර සහන සේවාවන් ගැන සඳහන් වුණු ඒ සඟරාවේ සාක්ෂිකරුවන් සහන සේවාවන් ඉටු කරලා තියෙන විවිධ රටවල් ලකුණු කරපු සිතියමකුත් තිබුණා. ඒ සඟරාවේ තියෙන ප්‍රයෝජනය ගැන එක වැඩිමහල්ලෙක් කියපු මේ දේ බලන්න. “නිතරම ස්වාභාවික විපත් ඇති වෙන ප්‍රදේශවල ඉන්න රජයේ බලධාරීන්ට අපේ සහන සේවා කටයුතු ගැන පැහැදිලි කරන්න සහන සේවා කමිටුවල ඉන්න සහෝදරයන් ඒ සඟරාව පාවිච්චි කරනවා. රජයේ බලධාරීන්ව කලින්ම දැනුවත් කළාම විපතක් වුණාට පස්සේ ඒ වගේ ප්‍රදේශවලට ඇතුල් වෙන්න අවසර ගන්න ලේසියි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න