-
ගැලවීමට මඟ කුමක්ද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
ගැලවීමට මඟ කුමක්ද?
බොහෝ ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ තමන් ‘අලුත් උපතක්’ ලබා ඇති බවයි. අලුත් උපතක් ලැබීම සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණක් මෙන්ම ගැලවීමට මඟ කියාත් ඔවුන් විශ්වාස කරනවා. ක්‍රිස්තියානි ධර්මය උගන්වන කෙනෙක් ඒ ගැන පැවසුවේ ‘යමෙක් අලුත් උපතක් නොලැබුවොත් ඔහු ක්‍රිස්තියානියෙකු නොවෙයි’ කියායි.
සමහරවිට ඔබත් ඒ ගැන කල්පනා කර ඇති. අලුත් උපතක් ලැබීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ගැලවීම ලැබීමට සමානද? අලුත් උපතක් නොලැබූ කෙනෙකුට ගැලවීම ලැබෙන්නේ නැද්ද? දැන් අපි අලුත් උපතක් ලැබූ කෙනෙක්යයි බොහෝදෙනා හඳුන්වන්නේ කාටද කියා බලමු.
‘අලුත් උපතක්’ ලැබූ කෙනෙක් කියා බොහෝදෙනෙක් හඳුන්වන්නේ “දෙවිගේ ශුද්ධාත්මය මාර්ගයෙන් විශේෂ පණිවිඩයක් ලැබුණු අයටයි. බොහෝවිට එවැනි දෙයක් අද්දකින්නේ ක්‍රිස්තියානි අයයි. එම සිද්ධියෙන් පසු ඒ පුද්ගලයන් තම ජීවිතය ගත කරන්නේ දෙවි වෙනුවෙන්මයි” කියා එක්ශබ්දකෝෂයක සඳහන් වෙනවා. එමෙන්ම ඔවුන් විශ්වාස කරන්නේ දැනටමත් ඔවුන් ගැලවී සිටිනවා කියායි.—Merriam-Webster’s Collegiate Dictionary—Eleventh Edition
නමුත් අලුත් උපතක් ලැබීම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔබ කැමතිද? මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඔබ ජීවත් වන ආකාරය කෙරෙහිත් ඔබේ අනාගත බලාපොරොත්තු කෙරෙහිත් බලපානවා. එමනිසා ඒ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා සොයා බැලීම ඉතාම වැදගත්.
බයිබලයේ පවසන්නේ කුමක්ද?
‘අලුත් උපතක්’ ගැන යේසුස් හා යෙරුසලමේ සිටි යුදෙව් ආගමික නායකයෙක් අතර සිදු වූ සාකච්ඡාව ගැන යොහන් 3:1-12 දක්වා වාර්තා වෙනවා. එම සම්පූර්ණ වාර්තාව මෙහි තිබෙන කොටුවේ සඳහන් වෙනවා. එය කියවන්න කියා අප ඔබට දිරිගන්වන්න කැමතියි.
‘අලුත් උපත’ සිදු වන ආකාරය යේසුස් එම වාර්තාවෙහි පැහැදිලි කළා. ඔහු එම ආගමික නායකයා සමඟ කළ සාකච්ඡාව පහත සඳහන් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයාගැනීම සඳහා අපට උපකාරයක් වෙනවා.
◼ අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද?
◼ අලුත් උපතක් ලැබීමට තීරණය කරන්නේ එක් එක් පුද්ගලයාද?
◼ අලුත් උපතක් ලැබීමේ අරමුණ කුමක්ද?
◼ එය සිදු වන්නේ කෙසේද?
◼ එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා අද්දකින වෙනස කුමක්ද?
අප දැන් මෙම ප්‍රශ්න එකින් එක සලකා බලමු.
[4වන පිටුවේ කොටුව/පින්තූරය]
‘කෙනෙක් අලුත් උපතක් ලැබිය යුතුයි’
“එකල, පරිසිවරයෙකු මෙන්ම යුදෙව්වරුන්ගේ පාලකයෙකු වූ නිකදේමස් නම් මිනිසෙක් සිටියේය. මොහු රාත්‍රියේ ඔහුව හමුවීමට ඇවිත්, “රබ්බි, ඔබ දෙවි වෙතින් පැමිණි ගුරුවරයෙකු බව අපි දනිමු. මන්ද, තමන් සමඟ දෙවි නැතිනම්, ඔහුට ඔබ කරන මේ ලකුණු සිදු කිරීමට නොහැකිය” යි ඔහුට කීවේය. යේසුස් පිළිතුරු දෙමින්, “යමෙකු නැවත ඉපදෙන්නේ [අලුත් උපතක් ලබන්නේ] නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියයි සැබවින්ම මම ඔබට කියමි” යයි ඔහුට පැවසීය. නිකදේමස් ඔහු අමතා, “මිනිසෙකු මහලුව සිටියදී ඔහුට උපදින්න පුළුවන් කොහොමද? ඔහුට දෙවන වරටත් මව් කුසට ඇතුල් වී උපදින්න පුළුවන්ද?” කියා ඇසීය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය: “සැබවින්ම මම ඔබට කියමි, යමෙකු වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැක. මාංසයෙන් ඉපදුණු දේ මාංසිකය. ආත්මයෙන් ඉපදුණු දේ ආත්මිකය. ඔබ සැමෝම නැවත උපදින්න ඕනෑයයි [අලුත් උපතක් ලැබිය යුතුයි කියා] මා ඔබට පැවසීම ගැන පුදුම නොවන්න. සුළඟ කැමති කැමති තැනට හමයි. එහි ශබ්දයද ඔබට ඇසෙයි. නමුත් එය කොතැනින් එනවාද කියාවත් කොතැනට යනවාද කියාවත් ඔබ දන්නේ නැත. ආත්මයෙන් ඉපදුණු සියල්ලන්ද එසේමය.” නිකදේමස් පිළිතුරු දෙමින්, “මේ දේවල් සිදු වෙන්න පුළුවන් කොහොමද?” කියා ඔහුගෙන් ඇසීය. යේසුස් ඔහු අමතා මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබ ඊශ්‍රායෙලයෙහි ගුරුවරයෙකුව සිටියදීත්, මේ දේවල් දන්නේ නැද්ද? සැබවින්ම මම ඔබට කියමි, අපි දන්නා දේ කියන්නෙමු. අපි දුටු දේ ගැන සාක්ෂි දරන්නෙමු. නමුත් ඔබ අප දෙන සාක්ෂිය පිළිගන්නේ නැත. මා ඔබට පොළොවේ දේවල් ගැන කී විට විශ්වාස කරන්නේ නැත්නම්, මා ඔබට ස්වර්ගයේ දේවල් ගැන කීවොත් ඔබ විශ්වාස කරන්නේ කොහොමද?”—යොහන් 3:1-12.
-
-
අලුත් උපත එය කොතරම් වැදගත්ද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
අලුත් උපත එය කොතරම් වැදගත්ද?
යේසුස් නිකදේමස් සමඟ කළ සාකච්ඡාව පුරාම අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද කියා කාවැද්දුවා. ඔහු එය පැහැදිලි කළේ කෙසේද?
අලුත් උපතක් ලැබීමේ වැදගත්කම යේසුස් පැවසුවේ මේ ආකාරයටයි. ‘යමෙක් අලුත් උපතක් ලබන්නේ නැත්නම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියි.’ (යොහන් 3:3) “නැත්නම්” හා “නොහැකියි” යන වචනවලින් අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද කියා පැහැදිලි වෙනවා. මෙය තේරුම්ගැනීමට සාමාන්‍ය උදාහරණයක් ගැන සිතමු. “හිරු පායන්නේ නැත්නම් දිවා ආලෝකය දැකගත නොහැකියි.” එයින් පැහැදිලි වන්නේ දිවා ආලෝකය ලැබීමට හිරු පෑයීම අත්‍යවශ්‍ය බවයි. ඒ හා සමානව යේසුස් පැවසුවේ යමෙක් දෙවිගේ රාජ්‍යය දකින්න නම් ඔහු අලුත් උපතක් ලැබීම අත්‍යවශ්‍ය බවයි.
යමෙකුට මේ ගැන සුළු හෝ සැකයක් තිබෙනවා නම් එය ඉවත් කිරීමේ අරමුණින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබ සැමෝම නැවත උපදින්න ඕනෑය [අලුත් උපතක් ලැබිය යුතුයි].” (යොහන් 3:7) මෙහිදී යේසුස් පැහැදිලි කරන්නේ ‘දේවරාජ්‍යයට ඇතුල් වීමට’ අලුත් උපතක් ලැබීම අත්‍යවශ්‍ය බවයි.—යොහන් 3:5.
අලුත් ඉපදීමක් ලැබීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස යේසුස් සැලකූ නිසා අපි ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත යුතුයි. උදාහරණයකට තමන් අලුත් උපතක් ලබනවාද නැද්ද කියා එක් එක් ක්‍රිස්තියානියෙකුට තීරණය කළ හැකිද? මෙය ඊළඟ ලිපියෙන් සලකා බලමු.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“හිරු පායන්නේ නැත්නම් දිවා ආලෝකය දැකගත නොහැකියි”
-
-
අලුත් උපත එය තීරණය කරන්නේ කවුද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
අලුත් උපත එය තීරණය කරන්නේ කවුද?
‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා යේසුස් පැවසුවා. (යොහන් 3:7) එක් එක් පුද්ගලයා ‘අලුත් උපතක්’ ලැබීමට තීරණය කරන බව ඉන් අදහස් කරනවාද? අද සිටින සමහර ක්‍රිස්තියානි ආගමික නායකයන් යේසුස් පැවසූ දෙය අණක් ලෙස සලකමින්, තම අනුගාමිකයන්ද තනි තනිවම ‘අලුත් උපතක්’ ලැබීමට උත්සාහ කළ යුතුයි කියා පවසනවා. ඔවුන් පවසන ආකාරයට ‘අලුත් උපතක්’ ලැබීමට තීරණය කරන්නේ එක් එක් පුද්ගලයායි. නමුත් එය යේසුස් නිකදේමස්ට පැවසූ දෙයට එකඟද?
යේසුස් පැවසූ වදන් හොඳින් සලකා බැලීමේදී පෙනී යන්නේ අලුත් උපත ලැබීම යමෙක් තනියෙන් ගන්නා තීරණයක් නොවන බවයි. එසේ පවසන්නේ ඇයි? “අලුත් උපතක් ලැබීම”ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක යෙදුම “ඉහළින් උපත ලැබිය යුතුයි” කියාද පරිවර්තනය කළ හැකියි.a ඒ අනුව අලුත් උපත සිදු කරන්නේ ‘ඉහළ’ හෙවත් ‘ස්වර්ගයේ’ සිටින දෙවි විසිනුයි. (යොහන් 19:11; යාකොබ් 1:17) මේ අනුව අලුත් උපතක් ලැබීම තීරණය කරන්නේ කවුද? එය තීරණය කරන්නේ එක් එක් පුද්ගලයා නොව දෙවි විසින් බව පැහැදිලියි.—1 යොහන් 3:9.
කලින් ඡේදයේ සඳහන් “ඉහළින්” යන වචනයෙන් තවදුරටත් පැහැදිලි වන්නේ යමෙක් තමන්ගේ තීරණයකට අනුව අලුත් උපතක් ලබන්නේ නැති බවයි. උදාහරණයක් හැටියට මෙසේ සිතන්න. ඔබේ උපත සිදු වූයේ ඔබ ගත් තීරණයකට අනුවද? නැහැ. ඔබේ පියා ඔබව ජනිත කළ නිසයි ඔබ ඉපදුණේ. ඒ හා සමානව කෙනෙකුට අලුත් උපතක් ලැබෙන්නේ ස්වර්ගයෙහි සිටින අපේ පියා ඒ සඳහා අපව තෝරාගත්තොත් පමණයි. (යොහන් 1:13) ඒ බව පේතෘස් පැවසූ මේ වචනවලින් පැහැදිලිව පෙනී යනවා. ‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ආශීර්වාද වේවා! ඔහු සිය මහත් දයාවට අනුව අලුත් උපතක් අපට දුන්නේය.’—1 පේතෘස් 1:3.
එය අණක්ද?
සමහරු මෙසේ ප්‍රශ්න කිරීමට ඉඩ තිබෙනවා. අලුත් උපතක් ලැබීම අපට තනිව කළ හැකි දෙයක් නෙවෙයි නම් ‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා යේසුස් අණ කළේ ඇයි? යේසුස් අපෙන් ඉල්ලා සිටින්නේ අපට කරන්න බැරි දෙයක්ද? අපට කරන්න බැරි දෙයක් ඉල්ලා සිටියා නම් එය සාධාරණ නැහැ. එසේනම් ඔබ ‘අලුත් උපතක්’ ලැබිය යුතුයි යන ප්‍රකාශය අප තේරුම්ගත යුත්තේ කෙසේද?
ග්‍රීක භාෂාවට අනුව ඉහත වචන පැවසුවේ අණක් ලෙස නොව සාමාන්‍ය ප්‍රකාශයක් හැටියටයි. ඒ අනුව එම වචනවලින් යේසුස් අදහස් කළේ නැවත උපත ලැබීම අවශ්‍ය දෙයක් බවයි.
අණ දීමක් හා සාමාන්‍ය ප්‍රකාශයක් අතර වෙනස උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු. පාසැල් කිහිපයක් තිබෙන නගරයක් ගැන සිතන්න. ඉන් එක් පාසැලකට ඇතුළත් කරගන්නේ යම් ජාතියකට අයත් ළමුන් පමණක් කියා සිතමු. දිනක් එම ජාතියට අයත් නොවන ශිෂ්‍යයෙක් ‘මාව මේ පාසැලට ඇතුල් කරගන්න පුළුවන්ද’ කියා ගුරුවරයෙකුගෙන් අසනවා. එවිට ගුරුවරයා ‘මේ පාසැලට ඇතුල් වෙන්න නම් ඔයා මේ පාසැලේ ළමුන්ගේ ජාතියේ කෙනෙක් විය යුතුයි’ කියා පවසනවා. මෙහිදී ගුරුවරයා එම ශිෂ්‍යයාට අණක් දුන්නාද? නැහැ. ඒ වෙනුවට පාසැලට ඇතුල් වීම සඳහා ඔහුට තිබිය යුතු සුදුසුකමක් ගැන සඳහන් කළා පමණයි. ඒ හා සමානව ‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා පැවසූ වචනවලින් යේසුස් අදහස් කළේ යමෙක් ‘දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම’ සඳහා ලැබිය යුතු අවශ්‍යතාවක් මිස අණක් නොවෙයි.
දේවරාජ්‍යය හා අලුත් උපත අතර යම් සම්බන්ධයක් තිබෙනවා. යමෙක් අලුත් උපතක් ලබන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර සලකා බලන විට එම සම්බන්ධය තේරුම්ගත හැකියි. එමෙන්ම අලුත් උපතක් ලැබීම යන්නෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද යන්නත් දැනගත හැකියි.
[පාදසටහන]
a සමහර බයිබල් පරිවර්තනවල යොහන් 3:3 සඳහන් කර තිබෙන්නේ මෙසේයි. ‘යමෙක් ඉහළින් නූපදින්නේ නම් ඔහුට දෙවිගේ රාජ්‍යය දකින්න නොහැකිය.’—ඇත්ත ඇති තැන.
[6වන පිටුවේ පින්තූරය]
අලුත් උපත හා බිලිඳෙකුගේ උපත අතර තිබෙන සමානකම කුමක්ද?
-
-
අලුත් උපත එය ලැබීමේ අරමුණ කුමක්ද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
අලුත් උපත එය ලැබීමේ අරමුණ කුමක්ද?
ගැලවීම ලබාගැනීමට නම් යමෙක් අලුත් උපතක් ලැබිය යුතුයි කියා බොහෝදෙනෙක් විශ්වාස කරනවා. කෙසේවෙතත් අලුත් උපතක් ලැබීමේ අරමුණ ගැන යේසුස්ම පැවසූ මේ වදන් සලකා බලන්න. “යමෙකු නැවත ඉපදෙන්නේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියයි සැබවින්ම මම ඔබට කියමි.” (යොහන් 3:3) ඒ අනුව යමෙක් අලුත් උපතක් ලැබිය යුත්තේ ගැලවීම ලබාගැනීමට නොව දේවරාජ්‍යයට ඇතුල් වීමටයි. ‘ඒ වුණත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමත් ගැලවීම ලැබීමත් යන දෙකෙන්ම අදහස් කරන්නේ එකම දේ නේද’ කියා සමහරුන් ඇසිය හැකියි. නැහැ. මේ දෙකෙන්ම අදහස් කරන්නේ එකම දේ නෙවෙයි. මේ දෙක අතර තිබෙන වෙනස තේරුම්ගැනීමට “දෙවිගේ රාජ්‍යය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද කියා මුලින්ම අපි සලකා බලමු.
රාජ්‍යයක් කීමෙන් අදහස් කරන්නේ ආණ්ඩුවක්. එසේනම් “දෙවිගේ රාජ්‍යය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ “දෙවිගේ ආණ්ඩුවයි.” ‘මනුෂ්‍ය පුත්‍රයා’ හෙවත් යේසුස් එහි රජ බව බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම යේසුස් සමඟ හවුල් පාලකයන්ද සිටින බව එහි පවසනවා. (දානියෙල් 7:1, 13, 14; මතෙව් 26:63, 64) යේසුස් සමඟ පාලනයට හවුල් වන අයව “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද” තෝරාගනු ලබන බවත් ඔවුන් “පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිත” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 5:9, 10; 20:6) රජවරුන් ලෙස පාලනය කරන අය 1,44,000දෙනෙකුගෙන් සමන්විත ‘පොළොවෙන් මිල දී ගෙන’ තිබෙන ‘කුඩා රැළක්’ බව එහි තවදුරටත් සඳහන් වෙනවා.—ලූක් 12:32; එළිදරව් 14:1, 3.
දෙවිගේ රාජ්‍යය පිහිටා තිබෙන්නේ කොහේද? “දෙවිගේ රාජ්‍යය,” ‘ස්වර්ග රාජ්‍යය’ ලෙසද හඳුන්වා තිබෙන නිසා එම රාජ්‍යය පිහිටා තිබෙන්නේ ස්වර්ගයෙයි. (ලූක් 8:10; මතෙව් 13:11) මිනිසුන් අතරෙන් තෝරාගෙන තිබෙන කණ්ඩායමක්ද යේසුස් සමඟ එහි පාලනයට හවුල් වෙනවා.
එසේනම් ‘දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීමට’ කෙනෙක් අලුත් උපතක් ලැබිය යුතුයි කියා යේසුස් පැවසූ විට ඔහු අදහස් කළේ තමා සමඟ ස්වර්ගයේ හවුල් පාලකයන් වීමට සිටින එම කණ්ඩායම ගැනයි. මේ අනුව ස්වර්ගයේ සිට පාලනය කිරීම සඳහා මිනිසුන් අතරෙන් සීමිත පිරිසක් සූදානම් කිරීම අලුත් උපතේ අරමුණයි.
අලුත් උපතක් ලැබීමේ වැදගත්කමත්, එය ලබා දෙන්නේ දෙවි බවත්, එහි අරමුණ වන්නේ ස්වර්ගයේ සිට කරනු ලබන පාලනය සඳහා මිනිසුන් අතරෙන් සීමිත පිරිසක් සූදානම් කිරීම බවත් මෙතෙක් අප සලකා බැලුවා. නමුත් අලුත් උපත සිදු වන්නේ කෙසේද කියා අප ඊළඟ ලිපියෙන් බලමු.
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ස්වර්ගයේ සිට පාලනය කිරීම සඳහා මිනිසුන් අතරෙන් සීමිත පිරිසක් සූදානම් කිරීම අලුත් උපතේ අරමුණයි
[7වන පිටුවේ පින්තූරය]
මිනිසුන් අතරෙන් තෝරාගත් කණ්ඩායමක්ද යේසුස් සමඟ පාලනයට හවුල් වෙනවා
-
-
අලුත් උපත එය සිදු වන්නේ කෙසේද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
අලුත් උපත එය සිදු වන්නේ කෙසේද?
අලුත් උපත සිදු වන්නේ කෙසේද කියාත් යේසුස් නිකදේමස්ට පැවසුවා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “යමෙකු වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැක.” (යොහන් 3:5) එසේනම් “වතුරෙන් සහ ආත්මයෙන්” අලුත් උපත සිදු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
“වතුරෙන්” බව්තීස්ම වීම
නිකදේමස් යුදෙව් ආගමික නායකයෙක් වූ නිසා අතීතයේදී දෙවි ‘තම ආත්මය’ මාර්ගයෙන් කළ බලවත් ක්‍රියා ගැන ඔහු හොඳින් දැන සිටි බව නිසැකයි. (උත්පත්ති 41:38; නික්මයාම 31:3; 1 සාමුවෙල් 10:6) ඒ නිසා යේසුස් “ආත්මයෙන්” කියා පවසන විට එයින් අදහස් කළේ දෙවිගේ බලයට කියා ඔහු දැන සිටින්න ඇති.
යේසුස් වතුරෙන් කියා පැවසූ විට එයින් අදහස් කළේ කුමක්ද? යේසුස් නිකදේමස් සමඟ කළ සාකච්ඡාවට පෙර හා පසුව සිදු වූ දේවල් සලකා බලන්න. එම සිදුවීම්වලින් පෙනී යන්නේ යොහන් බව්තීස්ත මෙන්ම යේසුස්ගේ ගෝලයන්ද මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කරමින් සිටි බවයි. (යොහන් 1:19, 31; 3:22; 4:1-3) ඒ කාලයේ මෙය නොදැන සිටි කෙනෙක් යෙරුසලමේ සිටියේ නැහැ. ඒ නිසා යේසුස් වතුරෙන් කියා පැවසූ විට එයින් අදහස් කළේ වතුරෙන් බව්තීස්ම වීම ගැනයි.a
“ආත්මයෙන්” බව්තීස්ම කිරීම
‘වතුරෙන් ඉපදීම’ කියන්නේ වතුරෙන් බව්තීස්ම වීම නම් ‘ආත්මයෙන් ඉපදීම’ කියන්නේ කුමකටද? යේසුස් නිකදේමස් සමඟ සාකච්ඡා කිරීමට පෙර වතුරෙන් පමණක් නොව දෙවිගේ බලයෙන්ද බව්තීස්ම කිරීම ගැන යොහන් බව්තීස්ත සඳහන් කළා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මම ඔබව වතුරෙන් බව්තීස්ම කළෙමි. නමුත් ඔහු [යේසුස්] ඔබව ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කරන්නේය.” (මාක් 1:7, 8) එවැනි බව්තීස්මයක් සිදු වූ මුල්ම අවස්ථාව ගැන මාක් නමැති බයිබල් ලේඛකයා මෙසේ වාර්තා කරනවා. “ඒ දවස්වලදී යේසුස්, ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන් අතින් යොර්දානයෙහි බව්තීස්ම විය. ඔහු දියෙන් උඩට මතු වූ කෙණෙහිම, අහස විවර වී ශුද්ධාත්මය [දෙවිගේ බලය] පරෙවියෙකු මෙන් ඔහු පිට බසිනවා ඔහු දුටුවේය.” (මාක් 1:9, 10) යේසුස් දියෙන් උඩට මතු වූ සැණින් වතුරෙන් බව්තීස්ම වුණා. ඒ සමඟම දෙවි තම බලය යේසුස්ට ලබා දුන් විට ඔහු දෙවිගේ බලයෙන් බව්තීස්ම වුණා.
යේසුස් බව්තීස්ම වී අවුරුදු තුනකට පමණ පසු ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “වැඩි කලක් යෑමට මත්තෙන් ඔබව ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කරනවා ඇත.” (ක්‍රියා 1:5) එය සිදු වුණේ කවදාද?
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් 120දෙනෙකු පමණ යෙරුසලමේ නිවසක රැස්ව සිටියා. ඒ අවස්ථාවේදී ‘තද සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් හදිසියෙන්ම පැමිණ, ඔවුන් ඉඳගෙන සිටි නිවස මුළුමනින්ම පිරී ගියා. එවිට ගිනි දළු වැනි දිව් ඔවුන්ට පෙනුණු අතර, ඒවා බෙදී ගොස් එකිනෙකා මත රැඳුණා. එවිට ඒ සියලුදෙනාම ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණ’ වුණා. (ක්‍රියා 2:1-4) එම ගෝලයන් යෙරුසලමේ සිටි බොහෝදෙනෙකුටද බව්තීස්ම වීමට එදාම උනන්දු කළා. පේතෘස් රැස්ව සිටි ජනයාට පැවසුවේ මෙසේයි. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න. එවිට, නොමිලේ දෙන ශුද්ධාත්මය [දෙවිගේ බලය] නමැති දීමනාව ඔබට ලැබෙන්නේය.” රැස්ව සිටි ජනයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “ඔහුගේ වචනය උනන්දුවෙන් පිළිගත් අය බව්තීස්ම වූහ. එදින තුන්දහසක් පමණ ඔවුන්ට එකතු වූහ.”—ක්‍රියා 2:38, 41.
ආකාර දෙකෙන්ම බව්තීස්ම වීම
අලුත් උපතක් ලැබීමට නම් යමෙක් ඉහත සඳහන් කළ ආකාර දෙකෙන්ම බව්තීස්ම විය යුතුයි. යේසුස්ද මුලින්ම වතුරෙන් බව්තීස්ම වූ බව සැලකිල්ලට ගන්න. ඔහුට දෙවිගේ බලය ලැබුණේ ඉන්පසුවයි. ඒ හා සමානව ඔහුගේ මුල් ගෝලයන් මුලින්ම බව්තීස්ම වූයේ වතුරෙන්. (ඔවුන්ගෙන් සමහරෙකුව බව්තීස්ම කළේ යොහන් බව්තීස්තයි.) දෙවිගේ බලය ඔවුන්ට ලැබුණේ ඉන්පසුවයි. (යොහන් 1:26-36) ක්‍රිස්තියානීන් බවට පත් වූ 3,000දෙනාට දෙවිගේ බලය ලැබුණෙත් වතුරෙන් බව්තීස්ම වුණාට පසුවයි.
අද කාලයේදී අලුත් උපත සිදු වන්නේ කෙසේද? එය සිදු වන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් අද්දුටු ආකාරයටමයි. මුලින්ම යමෙක් තමන්ගේ පව් ගැන පසුතැවිලි වීමත් වැරදි ක්‍රියා අත්හැරීමත් අවශ්‍යයි. ඉන්පසු තමන්ගේ ජීවිතය දෙවිට කැප කර, කැප වූ බව පෙන්වීමට බව්තීස්ම වීමත් අවශ්‍යයි. මෙයින් පෙනී යන්නේ කෙනෙක් වතුරෙන් බව්තීස්ම වීමට ගන්නා තීරණය පෞද්ගලික එකක් බවයි. දෙවි තම රාජ්‍යයේ පාලකයන්ව තෝරාගන්නේ එසේ වතුරෙන් බව්තීස්ම වූ අය අතරෙනුයි. එසේ තෝරාගන්නෙත් තම ආත්මයෙන් හෙවත් බලයෙන් බව්තීස්ම කරන්නෙත් දෙවියි. එය දෙවිගේ තීරණයක් මිස පුද්ගලයෙකුගේ තීරණයක් නොවෙයි. යමෙක් අලුත් උපතක් ලබන්නේ මේ ආකාර දෙකෙන්ම බව්තීස්ම වූ පසුවයි.
එසේනම් ‘වතුරෙන් සහ ආත්මයෙන් ඉපදීමක්’ ගැන යේසුස් නිකදේමස්ට පැවසුවේ ඇයි? එසේ පැවසුවේ වතුරෙන් හා ආත්මයෙන් [දෙවිගේ බලයෙන්] බව්තීස්ම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා අද්දකින පුදුමාකාර වෙනස කාවැද්දීමටයි. අප ඒ ගැන ඊළඟට සාකච්ඡා කරමු.
[පාදසටහන]
a ඒ හා සමානව බව්තීස්මය ගැන වරක් පේතෘස් සඳහන් කළේ මෙසේයි. “වතුරෙන් බව්තීස්ම වීම තහනම් කරන්න කාට පුළුවන්ද?”—ක්‍රියා 10:47.
[9වන පිටුවේ පින්තූරය]
පසුතැවිලි වූ අයව යොහන් බව්තීස්ම කළේ වතුරෙන්
-
-
අලුත් උපත ඉන් අද්දකින වෙනස කුමක්ද?2009 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
අලුත් උපත ඉන් අද්දකින වෙනස කුමක්ද?
යේසුස් ‘ආත්මයෙන් ඉපදීම’ ගැනද සඳහන් කළා. (යොහන් 3:5) “ඉපදීම” යන වචනයෙන් “ආරම්භයක්” අදහස් වෙනවා. උදාහරණයකට “ජාතියක උපත” කීමෙන් අදහස් කරන්නේ ඒ ජාතියේ පටන්ගැන්මටයි. ඒ අනුව “අලුත් උපතක්” ලැබීම යන්නෙන් අදහස් කරන්නේ “අලුතෙන් ආරම්භ වීමයි.” මෙයින් පෙනී යන්නේ ‘අලුත් උපතක්’ ලැබීමත් සමඟම දෙවි හා දෙවිගේ බලයෙන් බව්තීස්ම වන අය අතර සමීප සබඳතාවක් ආරම්භ වන බවයි. එය සිදු වන්නේ කෙසේද?
දේවරාජ්‍යයේ හවුල් පාලකයන් ගැන පැහැදිලි කරන විට පාවුල් දරුකමට හදා වඩා ගන්නා [පුත්‍රකමට ගන්නා] දරුවෙකු ගැන උදාහරණයක් යොදාගත්තා. ඒ හා සමාන අද්දැකීමක් ඔහුගේ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ද අද්දකින බව ඔහු පැවසුවා. ඒ අයව දෙවි ‘පුත්‍රකමට’ ගෙන ‘පුත්‍රයන් සමඟ කටයුතු කරන්නාක් මෙන් කටයුතු කරන’ බවත් පාවුල් පැවසුවා. (ගලාති 4:5; හෙබ්‍රෙව් 12:7) දරුකමට හදා වඩා ගැනීම ගැන පාවුල් පැවසූ උදාහරණය, දෙවිගේ බලයෙන් පුද්ගලයෙක් බව්තීස්ම වන විට ඔහු සිය ජීවිතයේ අද්දකින වෙනස වටහාගැනීමට උපකාරවත් වෙනවා. අපි නැවත වරක් වෙනත් ජාතියකට අයත් ළමුන් ඉගෙනගන්න පාසැලකට ඇතුල් වෙන්න ආසාවෙන් සිටින ළමයාගේ උදාහරණය සලකා බලමු.
පුත්‍රකමට ගන්නා විට අද්දකින වෙනස
අප සලකා බලන උදාහරණයේ සඳහන් ළමයාට පාසැලට ඇතුල් විය නොහැක්කේ ඔහු වෙනත් ජාතියකට අයත් නිසයි. නමුත් එක දවසක් ඔහුගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙනවා. පාසැලේ සිටින ළමුන්ගේ ජාතියට අයත් එක්තරා පියෙක් එම දරුවාව දරුකමට හදා වඩා ගැනීමට නීත්‍යනුකූලව භාරගන්නවා. මේ තත්වය එම දරුවාට බලපාන්නේ කෙසේද? එම පියා ඔහුව දරුවෙකු ලෙස හදා වඩා ගන්නා නිසා පාසැලට ඇතුල් වීමේ අයිතිය දරුවාට ලැබෙනවා. මෙසේ ඔහුව දරුකමට හදා වඩා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා.
ඒ හා සමානව අලුත් උපතක් ලබන අයද සුවිශේෂි වෙනස්කම් අද්දකින බව එම උදාහරණයෙන් පෙනී යනවා. ඉහත සඳහන් කළ දරුවා හා සමානව අලුත් උපතක් ලබන කෙනෙක් අද්දකින වෙනස දැන් අපි සලකා බලමු. එම දරුවාව ඒ පාසැලට ඇතුල් කරගන්නේ පාසැලේ ඉගෙනගන්නා ළමුන්ගේ ජාතියේ කෙනෙක්ය යන සුදුසුකම සපුරාලනවා නම් පමණයි. එහෙත් ඔහුගේම හැකියාවෙන් එම සුදුසුකම අත් කරගන්න බැහැ. ඒ හා සමානව, මිනිසුන් අතරින් සුළු පිරිසකට දෙවිගේ ආණ්ඩුවේ පාලනයට හවුල් වීමට හැකි වන්නේ ‘අලුත් උපතක්’ ලැබීම යන සුදුසුකම සපුරාලනවා නම් පමණයි. ඔවුන්ට ඒ සුදුසුකම ලැබෙන්නේ තමන්ගේ හැකියාවෙන් නොව දෙවිගේ උපකාරයෙනුයි.
එම දරුවාව පාසැලට ඇතුල් කිරීමට අවස්ථාව උදා වුණේ කොහොමද? පියෙක් එම දරුවාව හදා වඩා ගැනීමේ නැතහොත් පුත්‍රකමට ගැනීමේ නීතිමය අවශ්‍යතාව ඉටු කළ නිසයි. එයින් දරුවාගේ පෞද්ගලිකත්වයේ වෙනසක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට දරුවාට අලුත් හැඳුනුමක් ලැබුණා. එය හරියට ඔහුගේ ජීවිතයට අලුත් ආරම්භයක් නැතහොත් අලුත් උපතක් ලැබුණා හා සමානයි. එම පියාගේ පුතෙක් බවට පත් වූ නිසා ඔහුගේ ජීවිතයේ වෙනසක් සිදු වුණා. මේ නිසා අලුත් පාසැලකට යන්නත් අලුත් පවුලක සාමාජිකයෙක් වෙන්නත් ඔහුට ප්‍රස්තාව උදා වුණා.
ඒ හා සමානව යෙහෝවා දෙවි කෙනෙක්ව තෝරාගෙන දරුවෙකු ලෙස පිළිගන්නා විට ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා. එම කණ්ඩායමේ කෙනෙකු වන පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට පැවසුවේ දෙවිගේ බලය නිසා ඔවුන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගත්තා කියායි. ඒ බලයේ ක්‍රියාකාරිත්වය නිසා ‘අබ්බා පියාණෙනි’ කියා දෙවිට පවසන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. එමෙන්ම එසේ තමන් දෙවිගේ දරුවන් බව ඔවුන්ගේ සිත්වලට ස්ථිර වශයෙන්ම දැනෙන්නේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසායි කියා පාවුල් පැවසුවා. (රෝම 8:15, 16) එම ක්‍රිස්තියානීන්ව පුත්‍රකමට ගැනීම නිසා ඔවුන් දෙවිගේ පවුලේ සාමාජිකයන් හෙවත් “දෙවිගේ දරුවෝ” බවට පත් වුණා.—1 යොහන් 3:1; 2 කොරින්ති 6:18.
දෙවි විසින් ඔවුන්ව දරුකමට හදා වඩා ගත්තත් ඔවුන්ට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය එලෙසම පවතිනවා. (1 යොහන් 1:8) කෙසේවෙතත් පාවුල් පැහැදිලි කළ ලෙස දරුවන් හැටියට හදා වඩා ගැනීමේ සුදුසුකම් ඔවුන්ට ලැබුණු විට ඔවුන්ට අලුත් හැඳුනුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී යේසුස් සමඟ ස්වර්ගයේ ජීවත් වීමට යන බවට ප්‍රබල විශ්වාසයක් දෙවිගේ බලය මාර්ගයෙන් ඔවුන් තුළ ඇති කරයි. (1 යොහන් 3:2) දෙවිගේ බලය මගින් ඔවුන් තුළ ඇති වන එම විශ්වාසය නිසා ඔවුන් ජීවිතය දෙස බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටයි. (2 කොරින්ති 1:21, 22) මෙසේ අලුත් උපතක් ලබනවා හා සමානව ඔවුන්ගේ ජීවිතයට අලුත් ආරම්භයක්ද ලැබෙයි.
දෙවි පුත්‍රකමට ගන්නා අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය; අවුරුදු දහස පුරා ඔහු සමඟ රජකම් කරන්නෝය.” (එළිදරව් 20:6) මේ අනුව යේසුස් සමඟ ස්වර්ග රාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ ප්‍රස්තාව ඔවුන්ට තිබෙනවා. ඔවුන්ට “දිරාපත් නොවන, දූෂ්‍ය නොවූ, නොමැලවෙන උරුමයක්” ලැබෙන බවද පේතෘස් සඳහන් කළා. (1 පේතෘස් 1:3, 4) ඔවුන්ට ලැබෙන්නේ මොන තරම් වටිනා උරුමයක්ද!
කෙසේවෙතත් එම පාලනය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. අලුත් උපතක් ලබන අය ස්වර්ගයේ රජවරුන් ලෙස පාලනය කරද්දී ඔවුන්ගේ යටත් වැසියන් වන්නේ කවුද? එම ප්‍රශ්නය ඊළඟ ලිපියෙන් සලකා බලමු.
[10වන පිටුවේ පින්තූරය]
පුත්‍රකමට ගැනීම ගැන පාවුල් පැවසුවේ කුමක්ද?
-