ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 අප්‍රියෙල් 13-14 පි.
  • වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තිමෝතිගෙන් ඉගෙනගන්න
  • වගකීම අගය කරන්න
  • තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න!
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ දියුණුව සියල්ලන්ට දැකගත හැකිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෞවනයෙනි දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත් කරගන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 අප්‍රියෙල් 13-14 පි.
තිමෝති

වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න

පහුගිය අවුරුද්දේ සහෝදරයන් දහස් ගාණක් වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් විදිහට පත් වුණා. ඔයාත් එහෙම කෙනෙක්ද? එහෙමනම් ඔයාට ඒ ගැන සතුටු ඇති.

ඒත් ඔයාට පොඩි බයකුත් දැනෙනවා ඇති. තරුණ වැඩිමහල්ලෙක් වන ජේසන් මෙහෙම කියනවා. “වැඩිමහල්ලෙක් විදිහට මාව පත් කළාම ‘මේක මට හරියට කරගන්න පුළුවන් වෙයිද’ කියලා බයක් දැනුණා.” මෝසෙස්ටයි, යෙරෙමියාටයි පැවරුම් ලැබුණාම ඒවා කරන්න තමන් දක්ෂ නැහැ කියලා එයාලටත් හිතුණා. (නික්. 4:10; යෙරෙ. 1:6) බය නැති කරගෙන ලැබුණ වගකීම හොඳින් කරන්න ඔයාට පුළුවන් කොහොමද? තිමෝතිගේ ආදර්ශය ඔයාට උදව් වෙයි.—ක්‍රියා 16:1-3.

තිමෝතිගෙන් ඉගෙනගන්න

සංචාරක සේවයේ යන්න පැවරුම ලැබෙද්දී තිමෝති 18ත් 21ත් අතර වයසක ඉන්න ඇති. ඒ වගේ පැවරුමක් කරන්න තමන්ට පුළුවන් වෙයිද කියලා තරුණ තිමෝතිට හිතෙන්න ඇති. පැවරුමට අයිති සමහර දේවල් කරන්න එයා ටිකක් අදිමදි කළා වෙන්නත් පුළුවන්. (1 තිමෝ. 4:11, 12; 2 තිමෝ. 1:1, 2, 7) ඒත් අවුරුදු 10කට පස්සේ පාවුල් තිමෝති ගැන ෆිලිප්පි සභාවට කියන දේ බලන්න. ‘ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. ඔහුට සමාන ගතිලක්ෂණ ඇති පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය.’—ෆිලි. 2:19, 20.

ඒ තරම් හොඳ වැඩිමහල්ලෙක් වෙන්න තිමෝතිට පුළුවන් වුණේ කොහොමද? ඔයාට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් 6ක් බලමු.

තිමෝති සහෝදරියකට තෑග්ගක්දෙමින්

1. අනිත් අය ගැන අවංකවම සැලකිලිමත් වුණා. පාවුල් ෆිලිප්පිවරුන්ට කිව්වේ තිමෝති “ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි” කියලා. (ෆිලි. 2:20) තිමෝතිට සහෝදරයන් ගැන ලොකු කැක්කුමක් තිබුණා. දෙවිට ළං වෙන්න එයාලට උදව් කරන්නයි එයාට ඕනෙ වුණේ. ඒ නිසා එයාලා වෙනුවෙන් කාලය, ශ්‍රමය එයා කැමැත්තෙන්ම යෙදෙව්වා.

සහෝදරයෙනි, වෙලාවට ගමනාන්තයට යන්න ඕනෙ නිසා මඟීන්ව අතහැරලා යන බස්රථ රියදුරෙක් වගේ වෙන්න එපා. අවුරුදු 20ක් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන විලියම් තරුණ වැඩිමහල්ලන්ට මෙහෙම කියනවා. “සභාවේ අයට ආදරේ කරන්න. දේවල් අකුරටම කරන්න හදනවා වෙනුවට සහෝදරයන්ගේ අවශ්‍යතාවන්ට වැඩි අවධානයක් දෙන්න.”

තිමෝති ශුද්ධ ලියවිල්ලේ තියෙන අදහසක් කෙනෙක්ට පෙන්වමින්

2. දේවසේවයට මුල් තැන දුන්නා. තිමෝතියි, අනිත් අයයි අතරේ තිබුණ වෙනස ගැන පාවුල් මෙහෙම කිව්වා. “අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති. ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත.” (ෆිලි. 2:21) ඒක ලියද්දී පාවුල් හිටියේ රෝමයේ. එහේ හිටපු සහෝදරයන් මුල් තැන දුන්නේ තමන්ගෙම කාරණාවලට. ඒත් තිමෝති එහෙම නැහැ. ශුභාරංචිය වෙනත් පැතිවලටත් අරන් යන්න එයාට අවස්ථාව ලැබුණාම එයාට තිබුණෙත් “මම යන්න කැමතියි. මාව යවන්න” කියන ආකල්පයයි.—යෙසා. 6:8.

එදිනෙදා වැඩයි, දෙවිට කරන සේවයයි සමබරව කරන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා අවබෝධ කරගන්න.’ (ෆිලි. 1:10) දෙවිට වැදගත් දේවලට ඔයාත් වැදගත් තැනක් දෙන්න. ඊළඟට ජීවිතේ සරල කරගන්න. ඔයාගේ කාලය, ශක්තිය සොරාගන්න දේවල් අයින් කරන්න. පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන් සිතින් පලවාහරින්න. ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, විශ්වාසය, ප්‍රේමය හා සමාදානය යන දේවල් ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න.’—2 තිමෝ. 2:22.

තිමෝති සභාවකට කතා කරමින්

3. දෙවිගේ සේවය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. පාවුල් ෆිලිප්පිවරුන්ට මෙහෙම කිව්වා. “[තිමෝති] ඒ සේවය සඳහා කොතරම් සුදුසු කෙනෙක්ද කියා ඔබටත් හොඳ අවබෝධයක් ඇත. පියෙකු සමඟ සිටින දරුවෙක් මෙන් ඔහු මා සමඟ ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කළා.” (ෆිලි. 2:22) තිමෝති කම්මැළි වුණේ නැහැ. පාවුල් එක්ක කරට කර වැඩ කළා. ඒකෙන් ඒ දෙන්නා අතරේ තිබුණ බැඳීමත් වැඩි වුණා.

දෙවිගේ සංවිධානයේ වැඩවල අඩුවක් නැහැ. ඒවා කරද්දී ලොකු තෘප්තියක් ලැබෙනවා. සහෝදරයන්ට තව ළං වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න” අදිටන් කරගන්න.—1 කොරි. 15:58.

තිමෝති පාවුල්ගෙන් ඉගෙනගනිමින්

4. ඉගෙනගත්ත දේවල් අදාළ කරගත්තා. පාවුල් තිමෝතිට මෙහෙම ලිව්වා. ‘මා ඉගැන්වූ දේවල්, මා ජීවිතය ගත කළ විදිහ, මා ජීවත් වීමට හේතුව, මා ගොඩනඟා ගත් විශ්වාසය, මා ඉවසිලිවන්තව කටයුතු කළ විදිහ, මා ප්‍රේමය දැක්වූ විදිහ, විඳදරාගත් විදිහ හොඳින් දැක බලාගන්න ඔබට හැකි වුණා.’ (2 තිමෝ. 3:10) පාවුල්ගෙන් ඉගෙනගත්ත දේවල් තිමෝති අදාළ කරගත්ත නිසා කලින්ට වඩා වැඩි වගකීම් තිබුණ පැවරුම් එයාට ලැබුණා.—1 කොරි. 4:17.

දැනටමත් ඔයා වයසින් වැඩි, අද්දැකීම් තියෙන සහෝදරයෙක්ව ආදර්ශයට ගන්නවාද? ටොම් මෙහෙම කියනවා. “අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක් මට හොඳ පුහුණුවක් දුන්නා. මම නිතරම දේවල් එයාගෙන් ඇහුවා. එයා දුන්න උපදෙස් අදාළ කරගත්තා. බය නැති කරගන්න ඒක මට උදව් වුණා.”

තිමෝති උගන්වන්න හොඳින් සූදානම් වෙමින්

5. එයාවම පුහුණු කරගත්තා. “දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් පුහුණු වන්න” කියලා පාවුල් තිමෝතිට කිව්වා. (1 තිමෝ. 4:7) ක්‍රීඩකයෙක්ට පුහුණුකරුවෙක් හිටියත් එයා තනියම පුහුණු වෙන්නත් ඕනේ. පාවුල් තිමෝතිට මෙහෙම උනන්දු කළා. ‘ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීම ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.’—1 තිමෝ. 4:13-15.

ඔයාගේ දක්ෂතා දියුණු කරගන්න. නිතිපතා අධ්‍යයනය කරන්න. සංවිධානය දෙන අලුත්ම මඟ පෙන්වීම් ගැන දැනුවත් වෙන්න. කෙනෙක්ට හිතෙයි ‘දැන් මට අද්දැකීම් තියෙනවානේ. සංවිධානය දීලා තියෙන මඟ පෙන්වීම් ආයේ ආයේ හොයලා බලන්න ඕනෙ නෑ’ කියලා. ඒත් තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන උගුලට අහු වෙන්න එපා. තිමෝති වගේ ඔයාත් ‘ඔයා උගන්වන දේ ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න.’—1 තිමෝ. 4:16.

තිමෝති යාච්ඤා කරමින්

6. දෙවිගේ බලය මත රඳා හිටියා. තිමෝති කරපු සේවය ගැන මතක් කරලා පාවුල් මෙහෙම කිව්වා. “ඔබට විශ්වාසයකින් භාර දී ඇති ඒ අගනා දේ අප සියලුදෙනා තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය මාර්ගයෙන් රැකගන්න.” (2 තිමෝ. 1:14) දෙවි කැමති විදිහට දිගටම සේවය කරන්න නම් තිමෝති දෙවිගේ බලය මත රඳා ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.

දශක කීපයක්ම වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන ඩොනල්ඩ් මෙහෙම කියනවා. “වගකීම් දරන අය දෙවි එක්ක එයාලට තියෙන බැඳීම අගය කරන්න ඕනේ. එතකොට ‘විඩාවට පත් නොවී එයාලා තවත් ශක්තිමත් වෙයි.’ දෙවිගෙන් බලය ඉල්ලලා ඒ බලය එයාලා තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් සභාවේ අයට එයාලා වටිනා සම්පතක් වෙයි.”—ගීතා. 84:7; 1 පේතෘ. 4:11.

වගකීම අගය කරන්න

අලුතින් වගකීම් ලැබුණ සහෝදරයන් හුඟදෙනෙක් දෙවිට කරන සේවය හොඳින් කරනවා දකින්න ලැබෙන එක සතුටක්. ජේසන් මෙහෙම කියනවා. “මේ වගකීම ලැබුණ දවසේ ඉඳන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. වගකීම හොඳට කරන්න පුළුවන් කියන විශ්වාසයත් වැඩි වුණා. මගේ පැවරුමෙන් දැන් මං ලොකු සතුටක් ලබනවා. ඒක මට ලැබුණ වරප්‍රසාදයක්.”

ඔයාගේ අදිටනත් දෙවිට තව හොඳින් සේවය කරන එකද? එහෙමනම් තිමෝතිගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාටත් පුළුවන් වෙයි දෙවිගේ සෙනඟට වටිනා සම්පතක් වෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න